දිවට රස ගෙනෙන ලුණු වල ඇති මාරාන්තික බව දැනගනිමු (Salt)

දිවට රස ගෙනෙන ලුණු වල ඇති මාරාන්තික බව දැනගනිමු (Salt) - Your Choice Way

ලුණුවලට ඇත්තේ දීර්ඝ ඉතිහාසයක්‌. පංච රසයෙන් එකක්‌ ද වන ලුණු, ආහාර රසකාරකයක්‌ ලෙසත්, ආහාර කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක්‌ ලෙසත්, ඖෂධයක්‌ ලෙසත් ඈත අතීතයේ ඉඳන් මිනිසුන් භාවිතයට ගෙන ඇති බවට සාක්‍ෂි තිබේ.

ආහාරයට එක්‌කරන, කෑමට ගන්නා සාමාන්‍ය ලුණු නොහොත් "සෝඩියම් ක්‌ලෝරයිඩ්" (NaCl) නමින් හඳුන්වන රසායනික සංයෝගයට අමතරව, ලුණු වර්ග අටක්‌ පිළිබඳව පැරණි පුස්‌කොළ පොත්වල සඳහන්ව ඇත.
ලුණු අපේ බත් පතේ පමණක්‌ නොව, සමාජය තුළත් කොතරම් සමාජ බලයක්‌ අත්කරගෙන සිටියාද කිවහොත්, 18 වැනි සියවසේදී පුද්ගලයකුගේ සමාජ තත්ත්වය පෙන්වීමට ද ලුණු භාවිත කර තිබේ.

පෙර කී විවිධ ප්‍රයෝජනයන් සහ වටිනාකම් නිසාවෙන් ලුණු "කුස්‌සියේ මනාලිය" සහ "කුළුබඩු ලොවේ රැජින" ලෙසින් ද නම්බුනාම ලැබ තිබෙන්නේය.

ලුණු රසට වැඩිපුර ලොල්වීම භයානකය...
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ලුණු අත්‍යවශ්‍ය වුවද, ලුණු රසට වැඩිපුර ලොල්වීම, මරණීය රෝගාබාධවලට හේතු වන බව සිහියේ තබාගැනීම වැදගත් කාරණාවකි.

දැන් කාලේ අපේ රටේ බොහෝ දෙනකු ආහාර අනුභවයේදී හයක්‌ හතරක්‌ නොදැන, කන්නන් වාලේ කන ඇත්තන් බව පැවසීමට හේතු කාරණා ඕනෑ තරම් ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව මෙරට ජනයා සීනි සහ පැණි රස කෑම මෙන්ම, ලුණු කෑම පිළිබඳවත් එතරම් සැලකිල්ලක්‌ දක්‌වන්නේ නැති බව හොඳටම පැහැදිලි වේ.

ඒ නිසා පෙර කී කුස්‌සියේ මනාලිය අපට පිහියෙන් අනින්නේ කොහොමදැයි සොයා බලනු වටී.

දිනකට කොපමණ ලුණු අවශ්‍යද..?
ලුණුවලින් අපේ ශරීරයට ලැබෙන අත්‍යවශ්‍ය ඛනිජ ලවනය වන්නේ සෝaඩියම් ය. අපට දෛනිකව සෝඩියම් අවශ්‍ය වන්නේ, අංශු මාත්‍රාවකි. එම ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌, අප දිනපතා අනුභව කරන එළවළු, පලතුරු වැනි ආහාරවලින් ද ලැබෙන බව අප සිහියේ තබාගත යුතුය.

ලුණු වැඩියෙන් ශරීරගතවීම බරපතළ සෞඛ්‍යාබාධවලට මුල්වන නිසා දිනකට උපරිම ලෙස ගත හැකි එකතු කළ හැකි ලුණු ප්‍රමාණය (Added salt) වැඩිහිටියකු සඳහා ග්‍රෑම් 05 ක්‌ ලෙසත්, ළමයකු සඳහා ඉන් අඩක්‌ ලෙසත්, ළදරුවන්ට ලුණු ලබා නොදිය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

පමණට වඩා ලුණු කෑමෙන් විපත් බොහෝය...
බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන් පිරිසක්‌ කර ඇති පර්යේෂණයකදී තහවුරු වී ඇත්තේ දිනකට අනුමත උපරිම ප්‍රමාණයට වඩා ලුණු කෑමට ගන්නා සෑම පුද්ගලයන් පස්‌දෙනකුගෙන් එක්‌ අයකුටම හෘදයාබාධ වැළඳිය හැකි බවය.

මෙහි බරපතළම තත්ත්වය වන්නේ මෙම හෘදයාබාධ අඩු වයසින්ම වැළඳීමය.

විශේෂයෙන් ළමයින්ට ලුණු සහිත ආහාර අධිකව ලබාදීමෙන් ඔවුන්ගේ නොමේරූ වකුගඩුවලට හානි සිදුවිය හැකි බවත් වැඩිහිටියන් ලුණු සහිත ආහාර වැඩිපුර ආහාරයට ගැනීමෙන් අධික රුධිර පීඩනය, ආඝාතය, අංශභාගය වැනි රෝගවලට ගොදුරුවීමේ අවදානමට ලක්‌විය හැකි බවත් අධික ලුණු පරිභෝජනය පිළිකා රෝගයට ද හේතුවිය හැකි බවත් වෛද්‍යවරු අවධාරණය කරන කාරණාවකි.

මීට අමතරව අධික ලුණු භාවිතයෙන් අක්‌මාව ඉදිමීමේ තත්ත්වය, සමේ කැසීම, බිබිලි දැමීම, ඇස්‌ පෙනීමේ දුර්වලතා, අධික පිපාසය, මුත්‍ර රෝග සහ වකුගඩු ආබාධ ඇතිවිය හැකි බවටත් වෛද්‍යවරු අනතුරු අඟවති.

ලුණු සහ අධි රුධිර පීඩනය අතර ඇති සම්බන්ධතාව අවුරුදු 4,000 කට පමණ පෙර සිට චීන වෛද්‍යවරු දැන සිට ඇත.

ලොවේ ඇත්තන් ලුණු කන හැටි....
ලෝක ප්‍රජාවේ ලුණු පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්, එය මේ වන විට එක්‌ පුද්ගලයකු දිනකට පරිභෝජනය කරන ලුණු ප්‍රමාණය ග්‍රෑම් 9 ත් 12 ත් තරම් ඉහළ ප්‍රමාණයක්‌ වන බවත් ඊට සාපේක්‍ෂව හෘද රෝගීන් සහ ආඝාත රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක්‌ පෙන්නුම් කෙරෙමින් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව පැහැදිලි වේ.

ලොව වැඩිම ලුණු පරිභෝජනයක්‌ පවතින රටවල් වන්නේ ඇමරිකා එක්‌සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය වැනි රටවල්ය. ලොව වැඩිම හෘද රෝගීන් සහ අධි රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් ප්‍රමාණයක්‌ හමුවන්නේ ද එම රටවල්වලිනි.

ඇමරිකාව පමණක්‌ සැලකූ විට එරට සිදුවන සෑම මරණ දහයකින්ම එකකටම හේතුව, අධික ලුණු පරිභෝජනයයි. 

සමස්‌තයක්‌ ලෙස යුරෝපා ප්‍රජාවේ රටවල් තුළ එක්‌ පුද්ගලයකු එක්‌ දිනකදී අනුභව කරනු ලබන ලුණු ප්‍රමාණය ග්‍රෑම් 10-12 ත් අතර ප්‍රමාණයකි. යුරෝපා රටවල සිදුවන මරණවලින් සියයට 42 ක්‌ පමණ හෘද රෝගීන් වේ.

මහජන සෞඛ්‍ය සඳහා ලොව කීර්තිමත් සරසවියක්‌ වන, හාවඩ් සරසවියේ කර ඇති පර්යේෂණයකට අනුව, අධික ලෙස ලුණු රසයට ලොල් වීමෙන් 2010 වසර තුළ පමණක්‌ ලොව පුරා මිනිසුන් මිලියන 3 ක්‌ පමණ එළොව ගොස්‌ ඇත.

වසරකදී ලුණු කිලෝග්‍රෑම් කෝටි 10 ක්‌ ආහාරයට ගන්නා රටක්‌....
ශ්‍රී ලාංකිකයන්ගේ ඒකපුද්ගල ලුණු පරිභෝජනය ඉතාමත් නරක සහ භයානක ලෙස ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවා තිබේ. එය අනුමත උපරිම ප්‍රමාණය මෙන් තුන් ගුණයකි. එනම් ග්‍රෑම් 15 ක්‌ පමණ වන බව පැවසේ. මෙම අගය පෙර සඳහන් කළ යුරෝපා රටවල්වලටත් වඩා භයානක තත්ත්වයකි.

අපේ ආහාරයේ ලුණු වැඩි වුණේ කොහොමද...?
එකල මෙරට ජනයාගේ ශරීරයට ලුණු ඇතුළු වුණේ ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන කෑම වේල් තුන මගිනි. එම ආහාර වේල් සකස්‌ කර ගැනීමේදී සෞඛ්‍යයට අහිතකර නොවන පදමට ලුණු ඇඹුල්, මිරිස්‌ පහේ දැමීමට පෙර පැරැන්නන් වගබලාගෙන තිබිණි.

එහෙත් ආහාර අනුභවය වාණිජකරණය වීමත් සමඟම, ලොව පුරා මිනිස්‌සු සකස්‌ කළ සාප්පු කෑම සහ හෝටල් කෑම අනුභවයට මහත් ගිජුභාවයක්‌ දක්‌වන්නට වූහ. ඒ අනුව අද අපි දිනකට ප්‍රධාන ආහාර වේල් මගින් ලබාගන්නා ප්‍රමාණය මෙන් තුන් ගුණයක පමණ ලුණු සහ සීනි ප්‍රමාණයක්‌ උදේ සිට නිදාගන්නා තෙක්‌ ආමාශගතකර ගන්නා බනිස්‌ ගෙඩියේ, ක්‍රීම්කැකර් එකේ සිට කඩෙන් කන ෆ්‍රයිඩ් රයිස්‌, හොට්‌ ඩොග්, පීසා, බිරියානිය, සබ්මරීනය දක්‌වා වන ආහාර හරහා ශරීරගත කර ගනිමින් සිටින්නෙමු.
(එක්‌ කොත්තුවක, ෆ්‍රයිඩ් රයිස්‌ එකක පමණක්‌ එකතු කළ ලුණු ග්‍රෑම් 06 ක්‌ පමණ තිබේ.)

ඔබේ ලුණු කෑම නිවැරැදිදැයි මැන ගන්නට ක්‍රමයක්‌......
ඔබ සෞඛ්‍යයට අහිතකර නොවන ලෙස ලුණු ආහාරයට ගන්නවාදැයි බලා ගැනීමේ ක්‍රමයක්‌ වෛද්‍ය පර්යේෂණායතනය හඳුන්වා දී ඇත.

ඒ අනුව ග්‍රෑම් 400 ක අයඩිනීකෘත මේස ලුණු (ලුණු කුඩු) පැකට්‌ එකක්‌ සාමාජිකයන් පස්‌දෙනකු සිටින පවුලකට දින 28 කට ප්‍රමාණවත් විය යුතු වේ. ඔබේ පවුලට ඒ ප්‍රමාණය නොසෑහෙනවා නම් ලුණු කෑමෙන් ඔබ ෆේල්ය. (මන්ද, සකස්‌ කළ ආහාර වර්ගවලිනුත් ඔබ සෝඩියම් ලබාගන්නා බැවිණි. පහත තොරතුරු බලන්න.)

සකස්‌ කළ ආහාරය අඩංගු වන සෝඩියම් ප්‍රමාණය....
  • චීස්‌ අවුන්ස 4 කෑල්ලක 430 මිලිග්‍රෑම්
  • බටර් එක්‌ මේස හැන්දක 117 මිලිග්‍රෑම්
  • මාගරින් එක්‌ මේස හැන්දක 105 මිලිග්‍රෑම්
  • සුදු පාන්/ කේක්‌ එක්‌ කෑල්ලක 153 මිලිග්‍රෑම්
  • බේකන් අවුන්ස තුනක 621 මිලිග්‍රෑම්
  • සොසේජස්‌ අවුන්ස තුනක 900 - 600 මිලිග්‍රෑම්
  • සෝයා සෝස්‌ එක්‌ මේස හැන්දක 914 මිලිග්‍රෑම්
  • චිලි/ තක්‌කාලි/ සුදුලූනු සෝස්‌ එක්‌ මේස හැන්දක 310 මිලිග්‍රෑම්
  • චිප්ස්‌/ බයිට්‌ස්‌ වර්ග එක්‌ අවුන්සයක 179 මිලිග්‍රෑම්
(මූලාශ්‍රය - www.alsosalt.com  වෙබ් අඩවිය)

කඩ කෑමවල සැඟවුණු සෝඩියම්......
සෝඩියම් සකස්‌ කළ ආහාරවලට එකතු වෙන්නේ ලුණු හැටියට පමණක්‌ නොවන බව ද මෙහිලා මතක්‌ කළ යුතුය. සකස්‌ කළ ආහාර කල් තබාගැනීමට එක්‌ කරනු ලබන සෝඩියම් මෙටා බයි සල්ෆේට් සහ මොනො සෝඩියම් ග්ලුටමේට්‌ (අජිනමොටෝ) වැනි වෙනත් ආහාර ආකලන වර්ගවලත් සෝඩියම් අඩංගු වේ.

එවැනි සුලභ ආහාර තිරකාරකයක්‌ වන (ආහාර නිෂ්පාදිතයේ සෑම තැනකම සංයුතිය එකාකාරව පැතිර තිබීම සඳහා) බේකින් පවුඩර් තේ හැඳි එකක සෝඩියම් මිලිග්‍රෑම් 488 ක්‌ තිබේ. එහෙත් මෙම රසායනික ද්‍රව්‍යයන් අපට හඳුනාගැනීමට නොහැකි වන්නේ ඒවායේ අප දන්නා ලුණු රසය නොමැති නිසාය. එහෙත් මේවායින් ද ලුණුවලින් සිදුවන හානියම සිදුවනු ඇත.

ඩබල් ගේම් ගහන කොම්පැනි කෑම.....
සකස්‌ කළ ආහාර මිනිසුන් අතර ප්‍රචලිත කිරීමේදී ඒවායේ රසය, වයනය හා කල් පැවැත්ම සුවිශේෂී කාරණාවක්‌ වෙයි. ආහාර නිෂ්පාදන සමාගම් විසින් අධික ලෙස ලුණු සහ සෝඩියම් අඩංගු රසායනික ද්‍රව්‍යයන් ආහාරවලට එක්‌ කරන්නට හේතු වන රහස එයයි.

කෙසේ වෙතත් මෙම සකස්‌ කළ ආහාරවල ප්‍රමිතිය සහ ඒවායේ සෞඛ්‍ය ආරක්‍ෂිතභාවය ද රටකින් රටකට වෙනස්‌ වන බවත් පෙනෙන්නට ඇත.

යම් රටක ජනතාව තමන් කන බොන දේවල් පිළිබඳව සිහි බුද්ධියෙන් යුතුව සොයා බලනවා නම් සහ ආහාරවල අන්තර්ගතයන් සහ සෞඛ්‍ය ආරක්‍ෂිතභාවය සඳහා නීති රීති ක්‍රියාත්මක කෙරෙනවා නම් ආහාර නිෂ්පාදකයන් තම නිෂ්පාදනයන් එකී තත්ත්වයන්ට යම් තරමකට හෝ අනුගත කරන ආකාරයත්, එසේ නොමැති රටවල් තුළ පාළු අම්බලමේ වළං බිඳින ගොනකු සේ හැසිරෙන ආකාරයත් දකින්නට තිබේ.

ලුණු කෑම අඩු කිරීම ලෙහෙසි නැත.....
සාමාන්‍ය කෙනෙකුට දැඩි අධිෂ්ඨානයක්‌ සහ කැපවීමක්‌ නොමැතිනම් ලුණු සඳහා වන ඇබ්බැහිවීමෙන් අත්මිදෙන්නට නොහැකි බව පර්යේෂකයෝ පවසති.

අනෙක්‌ අතට සීනි පාලනය කර ගැනීමට කෙනෙකුට වුවමනා නම් සීනි අඩංගු ආහාර පිළිබඳව පූර්ව නිගමනවලට එළැඹ ඒවායින් වැළකී සිටීමට පිළිවන.

එහෙත් නිවසේදී තමන් විසින් ලුණු අඩුවෙන් දමා හිතා මතා පිළියෙල කර ගනු ලබන ආහාර මෙන් නොව සියලුම සකස්‌ කළ ආහාර වර්ග සහ හෝටල් කෑම තුළ ලුණු අන්තර්ගත වන බැවින් අධික ලුණු ප්‍රමාණයක්‌ ශරීරගතවීම ලෙහෙසියෙන් පාලනය කර ගන්නට නොහැකි වනු ඇත. ලෝක වාසීන්ගේ ලුණු පරිභෝජනයෙන් සියයට 70 කටම හේතුව සකස්‌ කළ ආහාර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලුණු කෑම අඩු කළොත් ලැබෙන වාසි සුළුපටු නොවේ.....
ඇමරිකාව සැලකූ විට එරට එක්‌ පුද්ගලයකු එක්‌ දිනකට තම ලුණු පරිභෝජනයෙන් ග්‍රෑම් 2 ක්‌ පමණ අඩු කළොත් එරට සෞඛ්‍ය සඳහා වන වාර්ෂික වියදම, ඩොලර් බිලියන 18 කින් අඩුකරගත හැකි බවත් එරට ආහාර කර්මාන්තකරුවන් සහ ආපනශාලා හිමියන් තම ආහාර නිෂ්පාදනවලට එක්‌කරන ලුණු ප්‍රමාණය අඩකින් අඩු කළොත්, එරට වැසියන්ගේ ජීවිත ලක්‍ෂයක්‌ පමණ මරණයෙන් බේරාගැනීමට හැකිවනු ඇති බවත් විද්‍යාඥයන් අවධාරණය කර ඇත.

මෙකී දත්තයන් අපේ රටට ද වලංගුය. මක්‌නිසාද යත්, දිනකට හෘදයාබාධ සහ ආඝාත රෝගවලින් පමණක්‌ මෙරට වැසියන් 200 ක්‌ පමණ මියයන නිසාවෙනි.

ඔබත්, ඔබේ සහ පවුලේ උදවියගේ නිරෝගිකම පිළිබඳව සිහිබුද්ධියෙන් යුතුව කටයුතු කරන්නේ නම්, ආහාර වේලට වැඩිපුර එකතු කරන ලුණු කපාහැරීම පිළිබඳව දෙවරක්‌ නොසිතන්න. නිකන් පුරුද්දට බතටත්, කරවල, හාල්මැස්‌සන් වෑංජනයටත් ලුණු දමන්නේ මොකටදැයි සිතා බැලීමෙන් ලුණු අඩුවෙන් කෑම සඳහා වන ඔබේ මෙහෙයුමට හොඳ ආරම්භයක්‌ ලබාගන්නට පිළිවන.

ඉතින් හොද්දට ලුණු ටිකක්‌ දමා මදිවුණා කියලා ගෙදර උන්දැට ලුණු ඇඹුල් ඇතිව අමතන්නේ නැතිව, මීට පස්‌සේ ලුණු කෑමේදී පරෙස්‌සම් වුණොත් නරකක්‌ වෙන එකක්‌ නැති බව නොකියාම බැරිය.

ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්‍ෂක - ඇල්ල
Srilanka Magazine May 23, 2019

...............උපුටාගැණීම අන්තර්ජාලයෙන්..........දැනුම සොයන්න මේ පාරෙන් එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දිවට රස ගෙනෙන ලුණු වල ඇති මාරාන්තික බව දැනගනිමු (Salt) දිවට රස ගෙනෙන ලුණු වල ඇති මාරාන්තික බව දැනගනිමු (Salt) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, September 19, 2022 Rating: 5

0 comments:

Post a Comment