බිනර පුරපසළොස්වක පොහොය වැදගත්කම 🌺 (Binara Pohoya Day)

බිනර පුරපසළොස්වක පොහොය වැදගත්කම 🌺 (Binara Pohoya Day) - Your Choice Way

කොළඹ ආනන්ද විද්‍යාලයෙහි
හිටපු සහකාර විදුහල්පති
බෙල්ලන්විල රාජමහා විහාරවාසී ශාස්ත්‍රපති
අතපත්තුකන්දේ ආනන්ද හිමි,

අද දිනයෙහි පින්වත් පිරිස සිල් සමාදන්වීම් භාවනාකිරීම් වැනි ප්‍රතිපත්ති පූජාමය පින්කම්වලත් බුද්ධ පූජා, බෝධි පූජා වැනි ආමිස පූජා පින්කම්වලත් වෙනදාට වැඩි උනන්දුවකින් යෙදී සිටින බව ඉතා ප්‍රකටව දැකිය හැකි වේ. එයට හේතුව අද පුරපසළොස්වක පොහොය දිනයක් වීමයි. මෙම පුරපොහෝ දිනය අප විසින් හඳුන්වනු ලබනුයේ බිනර පුර පසළොස්වක් පෝය යනුවෙනුයි. වස් කාල සීමාවට අයත් වැදගත් පොහෝ දිනයකි. ගිහියන් වූ හැම දෙනාමත් පැවිදි මහා සංඝරත්නයත් වැඩි උනන්දුවකින් ආගමික වත්පිළිවෙත්වල යෙදෙමින් ශාසනික ප්‍රතිපත්ති සපුරා ගන්නා වකවානුවක් ලෙස වස්සාන කාලය සඳහන් කළ හැකිය. මෙවන් වූ පින්බර සමයක බිනරපුර පොහෝ දිනයෙහි වැදගත්කම පිළිබඳව විමසා බැලීම හැම දෙනාගේම ශ්‍රද්ධාව වැඩිදියුණු වීම සඳහා හේතු වනු ඇත.

බිනර පොහෝ දිනය බෞද්ධ වූ අපට වැදගත් වීම සඳහා හේතු වන කරුණු කිහිපයක් පිළිබඳව හැමදෙනාගේ අවධානය යොමු කළ හැකිව තිබේ. ශාසනික වශයෙන් ඉතා වැදගත් සිදුවීමක් සිදු වූ දිනයක් වශයෙන් සංස්කෘතිකමය ලෙසින් මෙන්ම සාහිත්‍යමය වශයෙන් ද අද දිනය සිහිකටයුතු දිනයක් වේ.

ශාසනික වශයෙන් අද දිනය වැදගත් වන්නේ කාන්තාවන් සඳහා ශාසනික දොරගුළු විවර වී කාන්තාවන්ට නියම විමුක්තිය සැලසුණු දිනයක් වශයෙනුයි. එනම් භික්‍ෂුණී ශාසනයෙහි ආරම්භක දිනය පමණක් නොව සිව්වනක් පිරිස සම්පූර්ණත්වයට පත් දිනය වන්නේ ද බිනරපුර පොහෝ දිනයයි. භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා වශයෙන් සඳහන් වන සිව් පිරිසෙහි භික්‍ෂුණීන් පිළිබඳව සඳහනක් ශාසනයේ ආරම්භක වකවානුවේදී දැකිය හැකි නොවේ. කාලයක් ගතවීමෙන් පසුව භික්‍ෂුණීන් පිළිබඳ තොරතුරු අනාවරණය වීම ඇරැඹුණි. භික්‍ෂුණී ශාසනය පිළිබඳ අදහස ප්‍රථමයෙන්ම බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කරනු ලැබුවේ උන්වහන්සේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන අවස්ථාවකය. මහාප්‍රජාපතී ගෝතමිය විසින් කාන්තාවන් ශාසනයට ඇතුළත් කර ගන්නා ලෙස කරන ලද ඉල්ලීම බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කෙරුණේ වුවද එම ඉල්ලීම උන්වහන්සේ එක හෙළාම ප්‍රතික්‍ෂේප කළ සේක. එහෙත් තම අපේක්‍ෂාව අත්නොහළ ප්‍රජාපතී ගෝතමීය මේ පිළිබඳව ධර්ම භාණ්ඩාගාරික වූත් අග්‍ර උපස්ථායක වූත් ආනන්ද තෙරුන්ට ද සැලකර සිටියා ය. ආනන්ද තෙරණුවෝද බුදුරජාණන් වහන්සේගේ සුළු මෑණියන් වූ මහාප්‍රජාපති ගෝතමියගේ අපේක්‍ෂාව වූ කාන්තාවන්ට පැවිද්ද ලබාදීම පිළිබඳ අදහස තථාගතයන් වහන්සේ වෙත ඉදිරිපත් කළහ. බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීමද ප්‍රතික්‍ෂේප කළ අතර ආනන්ද තෙරුන් විසින් නැවත නැවත ද එම ඉල්ලීම ඉදිරිපත් කරන ලදී. මෙසේ කිහිපවරක්ම බුදුරජාණන් වහන්සේ විසින් කාන්තා පැවිද්ද පිළිබඳ අදහස තරයේම බැහැර කරන ලැබූ ආකාරය පිළිබඳ අපේ ධර්ම සාහිත්‍යයෙහි ඉතා මැනැවින් විස්තර කොට තිබේ.

මෙසේ සසුන්ගතවීම සඳහා ඉදිරිපත් ව සිටි කාන්තාවන් වැඩි පිරිසක් තථාගතයන් වහන්සේගේ කිඹුල්වත් පුර ගමනේ දී පැවිදි වූ කුමාරවරුන්ගේ භාර්යාවන්වීම විශේෂතම කරුණක් ලෙස සඳහන් වේ. අනතුරුව බුදුරදුන් කිඹුල්වත් නුවරින් නික්ම විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩ වසන සමයෙහි මහාප්‍රජාපතී ගෝතමිය හිස මුඩු කර කසාවත් හැඳ පන්සියයක් පමණ ස්ත්‍රීන් සමඟ එහි පැමිණියා ය. මෙම ඉල්ලීම පිළිබඳ අත්නොහළ උත්සාහයක නිරතව සිටි අනඳ තෙරුන් මෙහිදී නැවත ඉදිරිපත් ව කාන්තාවන් සසුනට ඇතුළු කර ගැනීමේ ඇති වටිනාකම යළිත් සිහිපත් කරමින් බුදුරජාණන් වහන්සේගේ කරුණාව සහ අනුකම්පාව ගෝතමිය ඇතුළු කාන්තා පිරිස කෙරෙහි යොමු කරවීමට සමත් වූ ආකාරය අපේ ධර්ම සාහිත්‍යයෙහි විස්තර කොට ඇත්තේ ඉතා චමත්කාරයෙන් යුතුවය. අපේ බුදුරජාණන් වහන්සේ එහි දී කාන්තා පැවිද්ද සඳහා අවසර ලබාදීමේ තීරණයට පැමිණ මහා ප්‍රජාපතී ගෝතමිය අෂ්ට ගරු ධර්ම පිළිගනී නම් එයම එතුමියගේ පැවිද්ද හා උපසම්පදාව පිහිටීමට හේතුවන බව ආනන්ද හිමියන්ට වදාළ සේක. එම අෂ්ටගරු ධර්ම මෙසේ ය.

1. උපසම්පදාවෙන් වස් සියයක භික්‍ෂුණියක වුවද එදින උපසම්පදා භික්‍ෂූන් දැක වැඳ පුදා ගෞරව දැක්විය යුතු ය.

2. භික්‍ෂූන් නොමැති ප්‍රදේශවල භික්‍ෂුණියක වස් නොවිසිය යුතු ය.

3. භික්‍ෂුණියක විසින් අඩමසක් පාසා භික්‍ෂු සංඝයාගෙන් පොහොය විචාරා අවවාද ලැබිය යුතු ය.

4. වස් අවසන භික්‍ෂු භික්‍ෂුණී යන උභතෝ සංඝයා ඉදිරියේ වස් පවාරණය කළ යුතු ය.

5. ගරු ඇවතකට පත් භික්‍ෂුණියක විසින් උභතෝ සංඝයා ඉදිරියේ මානත් පිරිය යුතු ය.

6. වසරක පරිවාස කාලයක් ශිෂ්‍ය මානවිකාවකව සිට උභතෝ සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතු ය.

7. කවර හේතුවක් නිසා හෝ භික්‍ෂුණියක විසින් භික්‍ෂුවකට ආක්‍රෝශ පරිභව නොකළ යුතු ය.

8. භික්‍ෂූන් විසින් භික්‍ෂුණියන්ට අවවාද කරනු ලැබිය යුතු අතර භික්‍ෂුණීන් භික්‍ෂූන්ට අවවාද නොකළ යුතු ය.

අනඳ තෙරුන් විසින් මෙම ගරු ධර්ම කියවා තේරුම් කොට දී මෙය පිළිගන්නේ නම් එයම ඔබට මහණ උපසම්පදාව වන්නේ යයි ප්‍රකාශ කළ අතර මහා ප්‍රජාපතී ගෝතමිය, බුදුරදුන් විසින් පනවන ලද මෙම අෂ්ට ගරු ධර්ම පිළිගන්නේ යයි සාධුකාර දෙමින් තෙවරක්ම ප්‍රකාශ කළා ය. එයම මහා ප්‍රජාපති ගෝතමියගේ පැවිද්ද හා උපසම්පදාව විය. ඉන්පසු සෙසු සියලු කුමාරිකාවෝ ද භික්‍ෂු සංඝයාගෙන් පැවිදි උපසම්පදාව ලැබූහ. මෙම සුවිශේෂී ශාසනික සිදුවීම සිදුවූයේ අද වැනි බිනරපුර පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයෙහි සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ පහළ වූ භාරතීය සමාජයෙහි කාන්තාව කෙරෙහි දක්වන ලද සැලකිල්ල ඉතා අවාසනාවන්ත වූවකි. කාන්තාවකගේ ඉපදීම පවුලක අවාසනාවන්ත සිදුවීමක් ලෙස සලකන ලද අතර ස්වාමියාගේ අභාවයෙන් පසු දැවෙන දර සෑයට පැන මරණය වැළැඳගත යුතුය යන නියමයක් ද විය. කුඩා කළ මව්පියන් යටතේත් තරුණ කාලය ස්වාමියා යටතේත් මහලු කාලය දරුවන් යටතේත් ජීවත්විය යුතු වූ අතර ඔවුන්ගේ ප්‍රධානම ක්‍රියාව දරුවන් වැදීමට පමණක් සීමා කොට තිබිණ. විවිධ පුද්ගල හා සමාජ අතවරයන්ට ලක්කොට නොසලකා හැර තිබූ ස්ත්‍රීන් සඳහා බිනර පොහෝ දිනයෙහි ලබාදුන් නිදහසින් කාන්තාව පූජනීයත්වයට පත් කෙරිණි. බුදුදහමෙන් ලැබුණ එම මානව නිදහස පිළිබඳව කෘතවේදීභාවය අද ද කාන්තා සමාජය තුළින් දැකිය හැකි ය. විශේෂයෙන්ම ආගමික කටයුතුවල දී පුරෝගාමිව කටයුතු කරමින් සසුනට කෘතෝපකාරවීම ඔවුන් යුතුකමක් ලෙස සලකනවා විය හැකි ය. මේ අනුව බිනර පොහෝ දිනය කාන්තාවන් සඳහා සුවිශේෂී දිනයක් වන බව කිව හැකි ය.
.....දම් සරණ...
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බිනර පුරපසළොස්වක පොහොය වැදගත්කම 🌺 (Binara Pohoya Day) බිනර පුරපසළොස්වක පොහොය වැදගත්කම 🌺 (Binara Pohoya Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, September 10, 2022 Rating: 5

0 comments:

Post a Comment