ක්‍රි.ව. 4 වන සියවසේ දී ශ්‍රී ලංකාවේ බැංකු ක්‍රමයක් පැවතියාද ? (Banking System In Sri Lanka)

ක්‍රි.ව. 4 වන සියවසේ දී ශ්‍රී ලංකාවේ බැංකු ක්‍රමයක් පැවතියාද ? (Banking System In Sri Lanka) - Your Choice Way

නූතන මූල්‍ය ආයතන මෙන් ගනුදෙනු කරුවන්ගෙන් තැන්පතු ලබාගෙන එම තැන්පතු ආයෝජනය කරමින් ලාභ ලැබීමටත්,එම ලාභයෙන් කොටසක් තැන්පතුකරුවන්ට වාර්ෂික පොලිය වශයෙන් ලබාදීමටත් හැකි ලෙස ක්‍රියාත්මක වූ බැංකු ක්‍රමයක් ශ්‍රී ලංකාවේ තිබු බවට සාක්ෂි සපයන තෝනිගල සෙල්ලිපිය වසර 25 කට පසු නැවත මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තිබේ.

වවුනියාව සහ අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ පිහිටි තෝනිගල සෙල්ලිපිය යුද සමයේදී එයට හානිවෙතැයි ඇතිවූ බිය හේතූවෙන් වසා දමන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මීට පෙර කටයුතු යොදා තිබුණි.

තෝනිගල සෙල්ලිපිය යනු කුමක්ද....?
තෝනිගල සෙල්ලිපිය මහසෙන් රජුගේ පුත් ශ්‍රී මේඝවර්ණාභය රජු (ක්‍රි.ව 303-331) විසින් කරවා ඇති සෙල්ලිපියකි. එය බැංකු ක්‍රමය,පොලී ක්‍රමය හා ස්ථිර තැන්පතු ක්‍රමය සම්බන්ධයෙන් වන ලොව පැරණිතම ලියවිල්ලක් වන බව පුරාවිද්‍යා මතයයි.

මෙම සෙල්ලිපියෙන් ක්‍රි.ව. 4 වන සිය වන විටත් ශ්‍රී ලංකාවේ බැංකු ක්‍රමයක් තිබූ බවට ඇඟවෙන බව කියවේ. එය නූතන මූල්‍ය ආයතන මෙන් ගනුදෙනු කරුවන්ගෙන් තැන්පතු ලබාගෙන එම තැන්පතු ආයෝජනය කරමින් ලාභ ලබන්නටත්,එම ලාභයෙන් කොටසක් තැන්පතුකරුවන්ට වාර්ෂික පොලිය වශයෙන් ලබා දෙන්නට ඇති බවටත් සාක්ෂි සපයයි.

ආචාර්ය(රාජකීය) පණ්ඩිත කොත්මලේ අමරවංශ හිමි විසින් 1969 වසරේ රචිත ලක්දිව සෙල්ලිපි නමැති ග්‍රන්ථයේ සෙල්ලිපිය දක්වා ඇත්තේ මෙලෙසය.

යහපතක් වේවා පෘථිවිශ්වර (පෙර සිටි) මහසෙන මහ රජහුගේ පුත්‍ර ශ්‍රී මේඝවර්ණාභය මහරජහුගේ සේසත් නැගීමෙන් තුන් වන වර්ෂයෙහි නගරයෙහි උතුරු පැත්තේ (පිහිටි) කලහුමනක නම් වෙළෙඳ ශ්‍රේණියෙහි (වෙළෙඳ නගරයෙහි) තම (ධනය) වැය (වියදම්) කිරීමක් හෝ අඩු කිරීමක් නොකරන සේ පිහිටුවන ලද කඩුබලගම වසන ඇමැති මඬුල්ලෙහි (කෙනෙකු වූ) සිවයගේ පුත්‍ර දෙවයගේ (දේව විසින්) යහිස පවය නම් අභිනව විහාරයට දෙන ලද ආර්යවංශ වෘත්තිය (ආර්ය වංශ පුජා උත්සවය සඳහා) යාල දෙකක් හා දසාමුණක වී ද, සාමුණක උඳු ද, දස අමුණක මුං ද, මෙකී දෙයාල දසාමුණක වී වලින් මාස් කන්නයේ අස්වැන්නෙන් ලැබෙන පොලිය ද යල් අස්වැන්නෙන් ලැබෙන පොලිය ද මැද අස්වැන්නෙන් ලැබෙන පොලිය ද, පස්විස් අමුණක වී ද, මෙ ස අමුණක උඳුවල පොලිය (වන) එක් අමුණු දෙපෑළක උඳු ද සාමුණක මුංවල පොලිය (වන) දෑමුණු දෙපෑළක මුං ද (යන) මෙකී තාක් තැන්පත්වන තැන්පත් වස්තුවෙහි ප්‍රාග්ධනය වියදම් නොකොට එයින් ලැබෙන පොලිය පමණක් ගෙන (එයින්) යාළ (ගැල්) තුනහමාරකින් දිනපතා දානය ද (අතරකජ) අතුරුපස ද, අතුරුපස ගන්නා වේලෙහි වළඳන සෙසු ආහාර වර්ගද, දී කිරි, මී පැණි, කැවිලි, පැණි, තල ද, දුන්තෙල් ද, ලුණු ද පලාවර්ග ද කහ නැතහොත් බුලත් ද විහාර පිසීමෙහි (පිසීමට) දිය යුතු මිල ද, මෙකීතාක් වස්තුව (එහි) පොලියෙන් ගෙන පැමිණි හෙවත් පැමිණෙන (සෑම) වස්කාලයක් තුළ නිකිණි මස ශුල්ක පක්ෂයෙහි දොළොස්වක් දිනයෙහි ආර්යවංශ ප්‍රතිපදාවේ නියුතු මහ භික්ෂු සංඝයාට (දෙන ලෙස) නියම කොට යහිස පවුයෙහි නව විහාරයට දෙන ලදී.

ඒ අනුව සෙල්ලිපියේ සඳහන් කරුණු වල සරල අර්ථය පහත පරිදි එහි සඳහන් කොට තිබේ.

ශ්‍රී මේඝවර්ණාභය රජුගේ ඇමැතිවරයෙකු වූ සිවගේ පුත් දේව විසින් වෙළෙඳ ආයතනයක (මූල්‍ය ආයතනයක) ධාන්‍ය වර්ග කිහිපයක් තැන්පත් කර එය ස්ථිර තැන්පතුවක් වශයෙන් පවත්වා ගනිමින් එයින් ලැබෙන පොලී ප්‍රමාණයෙන් යහීස පව ආරාමයෙහි වසරක් පාසා අරියවංශ නම් පුජා උත්සවය අඛණ්ඩව පැවැත්වීම සඳහා භික්ෂූන් වහන්සේලාට සිව්පසය දීමට සඳහන් කරමින් මෙය කරවා ඇත.

මෙම මූල්‍ය ආයතනයේ තැන්පත්කොට ඇති ධනය වන්නේ ධාන්‍යයයි. ඒවා නම් වී, උඳු (උදි), මුං (බයලි) යන ධාන්‍ය වර්ගයන්ය. තැන්පත්කර ඇති ධාන්‍ය ප්‍රමාණයන් මෙසේය.

වී - දෙහකඩ දස අමුණක වී ඉච......
("දෙහකඩ දස අමුණක වී" යනු වී අමුණු 50 ක්)

උඳු - ස අමුණක උඳි ඉච...... 
(උඳු අමුණු 6 ක්)

මුං - බයලි දස අමුණක ඉච 
(මුං දස අමුණක්)
ලිපියට අනුව වර්ෂයකට කන්න තුනක් වී වපුරා ඇති අතර එනම් "පිට දඩහසහි අකල හසහි මදෙහසහි" යනුවෙන් එහි සඳහන්ය. සම්පූර්ණ වර්ෂයක අස්වැන්නේ ස්ථිර තැන්පතුවට ඒ ඒ ධාන්‍ය සඳහා උක්ත මූල්‍ය ආයතනය මඟින් ලබාදෙන ලද පොලිය මෙසේය.

වී - පචවිසි අමුණක වී ඉච...... 
(තැන්පත් කළ අමුණු 50 ට පොලිය වශයෙන් අමුණු 25 ක් වී ලැබෙන්නේ නම් ප්‍රතිශතයක් වශයෙන් වාර්ෂික පොලී අනුපාතය 50% කි)

උඳු - එක් අමුණු දෙපෙකඩක්...... 
(පොලිය අමුණු 1.5 ක් බව. පෙකඩ යනු අමුණෙන් 1/4 කි. ඒ අනුව දෙපෙකඩක් යනු අමුණෙන් 2/4 කි. ප්‍රතිශතයක් වශයෙන් වාර්ෂික පොලී අනුපාතය 25% කි)

මුං - දෙඅමුණු දෙපෑකඩක්..... 
(පොලිය අමුණු 2.5 ක් බව. ප්‍රතිශතයක් වශයෙන් වාර්ෂික පොලී අනුපාතය 25% කි)
උක්ත තොරතුරුවලට අනුව මෙම ආයතනයේ ස්ථිර තැන්පතු වශයෙන් ධාන්‍ය තැන්පත් කරන ගනුදෙනුකරුවන්ට වසර අවසානයේ දී පොලිය වශයෙන් ධාන්‍ය ලබාදීමට නම් එම ආයතනය වාර්ෂිකව ඉපයීමක් කළ යුතුය. ඒ අනුව මෙම බැංකුව තමන් සතු ධාන්‍ය තැන්පතු ආයෝජනය කර ලාභ ඉපයීමක් කරන්නට ඇත.

සෙල්ලිපිය පිහිටි ස්ථානය.....
සෙල්ලිපිය සහිත පුරාවිද්‍යා ස්ථානය වවුනියාව සහ අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ පිහිටා ඇති අතර, වවුනියාව නගරයේ සිට හොරොව්පොතාන දක්වා මාර්ගයේ කිලෝමීටර නමයක් පමණ දුරකින් වන කුඩාකච්චකොඩිය ගම්මානයේ පිහිටා ඇත.

සෙල්ලිපිය වසා දැමීමට හේතුව.....
යුද සමයේ බෝම්බ පතිත වෙතැයි බියෙන් වසර 25 ක් පමණ පස් තට්ටුවකින් තෝනිගල සෙල්ලිපිය වසා දමා තිබිණ.

අනතුරුව වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍රගේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වවුනියාව කාර්යාල නිලධාරීන්ගේ මැදිහත්වීම යටතේ සෙල්ලිපිය වසා තිබු පස් තට්ටුව ඉවත් කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කළහ.

සෙල්ලිපිය වසා තිබු පස් තට්ටුව විවෘත කිරීමෙන් අනතුරුව තෝනිගල සෙල්ලිපිය මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් වර්තමානයේ විවෘත කොට ඇත.

සෙල්ලිපිය සම්බන්ධයෙන් වන පර්යේෂණ
ගල් තලාවේ සෙල්ලිපි තුනක සාධක පවතින අතර, පුරාවිද්‍යා ස්මාරක හා ගල් පොකුණු දෙකක් අවට දැකගත හැකි බවට පුරාවිද්‍යාඥයින් පවසයි.

මනිආර්කුලම් නම් වැවක් අසල පිහිටි පුරාවිද්‍යා ස්ථානය පිලිබඳ ජේ.පී. ලෙවිස් විසින් 1892 දි වාර්තා කොට ඇති අතර, එච්.සී.පී. බෙල් විසින්ද 1894 දී තෝනිගල සෙල්ලිපිය සම්බන්ධයෙන් වාර්තා කොට ඇති බව පුරාවිද්‍යා ගවේෂකයෝ සඳහන් කළහ.

තෝනිගල සෙල්ලිපිය........
ලේඛනය නිසි ලෙස අර්ථ දැක්වීම සඳහා විවිධ විද්වතුන් උත්සාහ දරා ඇති අතර, ලිපිය ලිවීම ආරම්භ කිරීමට පෙර පාෂාණය මතුපිට සුමට කර නැති අතර, සෙල්ලිපියේ රේඛා ඒකාකාර දිගකින් යුක්ත නොවන බවද සෙනරත් පරණවිතාන සූරීන් විසින් දක්වා ඇත.

සෙල්ලිපියේ පළමු පේලි 12 මනා සංරක්ෂණ තත්ත්වයක පවතින බවත්, අවසන් පේලි 5 තරමක් හානි වි ඇති බවත් සංරක්ෂණ නිලධාරීහු පැවසූහ.

මහජන ප්‍රදර්ශනයට විවෘත කොට ඇති මෙම සෙල්ලිපියේ ස්පර්ශ පිටපත් ලබා ගැනීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛණ හා නාණකවිද්‍යා අංශයේ නිලධාරීන් විසින් නැවත සිදුකරමින් සිටියි.

සෙල්ලිපිය විවෘත කිරීමේ වැදගත්කම කුමක්ද....?
සෙල්ලිපිය විවෘත කිරීමේ වැදගත්කම කුමක්ද යන්න සම්බන්ධයෙන් වවුනියාව පුරාවිද්‍යා කාර්යාලයේ පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී වික්‍රමසිරි පියදාසගෙන් බිබිසි සිංහල සේවය සිදුකළ විමසීමකදී හෙතෙම පැවසූවේ, "තෝනිගල සෙල් ලිපිය බැංකු ක්‍රමය, පොලී ක්‍රමය හා ස්ථාවර තැන්පතු සම්බන්ධයෙන් වන මුල්ම ලියවිල්ලක් වන බැවින් ඒ සම්බන්ධයෙන් වන අධ්‍යයනයන් මෙමඟින් සිදුකිරීමට හැකියි." යන්නයි.

"ලොව පුරා සංචාරකයින් අදාළ ස්ථානය වෙත ගෙන්වා ගැනීමට කටයුතු කිරීම තුළින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබෙනවා." හෙතම පවසයි.

"බැංකු ක්‍රමය,පොලී ක්‍රමය ගැන ලොව පැරණිම ලියවිල්ලක් වන මේ සෙල්ලිපිය සම්බන්ධයෙන් ලංකාවේ බැංකු ආයතන වැඩි අවධානයක් යොමුකරලා මේ සෙල්ලිපිය ආරක්ෂා කර ගත යුතුයි." ඔහු අවධාරණය කළේය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වවුනියාව කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂක ඒ.ඩි.ජයතිලකගේ මෙහෙයවීමෙන්, වවුනියාව පුරාවිද්‍යා කාර්යාල නිලධාරීන් විසින් සෙල්ලිපිය විවෘත කර සංරක්ෂණ කටයුතු සිදුකරන බවද වවුනියාව පුරාවිද්‍යා කාර්යාලයේ පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී වික්‍රමසිරි පියදාසගේ වැඩිදුරටත් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

උපුටාගැණීම BBC..................අන්තර්ජාලය ඇසුරෙනි....................දැනුම සොයන්න මේ පාරෙන් එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ක්‍රි.ව. 4 වන සියවසේ දී ශ්‍රී ලංකාවේ බැංකු ක්‍රමයක් පැවතියාද ? (Banking System In Sri Lanka) ක්‍රි.ව. 4 වන සියවසේ දී ශ්‍රී ලංකාවේ බැංකු ක්‍රමයක් පැවතියාද ? (Banking System In Sri Lanka) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, September 23, 2022 Rating: 5

0 comments:

Post a Comment