මාස තුනක් පුරාවට ගිනිගෙන දැවුනු ටෙරාකොටා සෝල්දාදුවන්ගේ අප්‍රකට කතාව (Terracotta Soldiers)

මාස තුනක් පුරාවට ගිනිගෙන දැවුනු ටෙරාකොටා සෝල්දාදුවන්ගේ අප්‍රකට කතාව (Terracotta Soldiers) - Your Choice Way

1974 වර්ෂයේ එක්තරා දිනක චීනයේ ෂියෑන් (Xi’an) ප්‍රාන්තයේ ලින්ටොන්ග් (Lingtong) නම් ප්‍රදේෂයේ ගොවිතැන් කරන්න ලිදක් හාරමින් සිටි යැංග් ෂීෆා (Yang Zhifa) නම් ගොවි මහතා හා ඔහුගේ සොයුරන් පස් දෙනාට ලිද තුලින් මතුවන පිලිම හිසක් දකින්න ලැබෙනවා. මේ පිලිබදව විමසිල්ලෙන් පසුවුනු ඔවුන් තවදුරටත් ලිද හෑරීම සිදුකල අතර එය විශාල පිලිමයක් බව හදුනා ගැනීමට ඔවුන්ට එතරම් වේලාවක් ගතවුනේ නැහැ. ඔවුන් දිගින් දිගටම මේ ස්තානය තවදුරටත් හාරන්න පටන් ගත්තා. එවිට තමයි ඔවුන්ට වැටහුනේ මෙම ස්තානයේ තියෙන්නෙ එක් පිලිමයක් විතරක් නොවෙයි කියල. යැංග් ෆීෂා වහාම මෙම සිද්දිය එම ප්‍රදේෂයේ පරිපාලන නිලධාරීන් වෙත සැල කල අතර ඔවුන් මෙම ස්ථානයට පැමිණ එය නිරීක්ෂණය කර චීනයේ එවකට සිටි පුරාවිද්‍යා නිලධාරීන්ට කරුණු වාර්තා කලා.

චීන පුරාවිද්‍යා ආයතනයේ සිටි සම්මානනීය පුරාවිද්‍යා ගවේෂණ නිලධාරියෙකු වූ ෆාවෝ කැන්ග්මින් (Zhao Kangmin) ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් මෙම ස්තානය නිරීක්ෂණය කිරීම සදහා පැමිණෙන්නේ මේ අනුවයි. ඔවුන් අධ්‍යනය කරන ලද පලමු කරුණ වූයේ මෙම පිලිම හමුවූ ලිද පවතින්නේ චීන ඉතිහාසයේ ප්‍රධානතම අධිරාජය වූ චින් අධිරාජයේ (Qin Dynasty) සිටි පලමු චින් (Qin) අධිරාජයාගේ සොහොන් ගැබ පිහිටා ඇති ස්ථානය ලෙස සැලකෙන ලී (Mount Li) කදුවැටිය නැත්නම් ලිෂාන් (Lishan) කදුකරයට කිලෝමීටර් 1.5ක් තරම් ඉතාමත් ආසන්නයේ වන බවයි.

දිගින් දිගටම මෙම ස්ථානයේ කැනීම් සිදුකිරීම ඔවුන් විසින් ඇරඹූ අතර හාරන හාරන තැනින් පිලිම මතු වීමට පටන් ගත්විට ඔවුන්ට වැටහුනේ මෙය චීන ඉතිහාසයේ අති විශේෂ සොයා ගැනීමක් වනු ඇති බවයි. මුලින් කම්කරුවන් කිහිප දෙනෙකු යොදා ගෙන මෙම කැනීම් කරන ලද අතර ෆාවෝ ගැන්ග්මින් පුරාවිද්‍යාවේදියාට දින කිහිපයක් යන විට මෙම ස්ථානය කුමක්ද යන්න පිලිබදව සෙමින් වැටහෙන්නට පටන් ගත්තා. 

චීන පුරාවෘත වල සදහන් වන චින් අධිරාජයාගේ වල දමන ලද හමුදාව නැතිනම් මලවුන්ගේ හමුදාව මෙය විය යුතු බව ඔහුට ක්‍රමයෙන් වැටහුනා. පුරාණ පුරාවෘතයක් ලෙස සලකන ලද එම කතා පුවත මෙලෙසින් සොයා ගැනීමට ලැබීම ඔහුගේ ඇග කිලිපොලා ගිය සිදුවීමක් වුනු බවයි වාර්තා තුල සදහන් වන්නේ. දිගින් දිගටම ඔවුන් කැනීම් කටයුතු වල නිරත වුනු අතර දිනෙන් දින හමුවන පිලිම ප්‍රමාණය දෙගුණයකින් වැඩිවිමට පටන් ගත්තා. මේනිසා පුරාවිද්‍යා නිලධාරීන්ට විශාල කම්කරුවන් ප්‍රමාණයක් මෙම කටයුතු  සදහා යොදවන්න සිදුවුනා. පලමු කැනීම් වලදී පිලිම 100කට අධික සංඛ්‍යාවක් හමුවුනු අතර නැවත නැවතත් සිදුකල කැනීම් වලදී හමුවන පිලිම සංඛ්‍යාව 1000 දක්වා වැඩි වුනා. 

කැනීම් අතර තුර ඔවුන් නිරීක්ෂණය කල සාධකයක් වූයේ මේ පිලිම කොටස් වශයෙන් වල දමා ඇති බවයි. ක්‍රමයෙන් පිලිම මතු කරගෙන යන විට මෙම කැනීම් භූමිය තුල වලදැමූ සම්පූර්ණ හමුදාවකගේම පිලිම ඇති බව ඔවුන් සොයාගත්තා. සෝල්දාදුවන්ගේ මෙන්ම අශ්වයන්ගේත්, අසුන් පිට නැග යන හමුදා නිලධාරීන්ගේ පිලිමත්, අශ්වයින් කිහිප දෙනෙකු ගැටගැසූ අශ්ව කරත්තයක විශාල පිලිමයක් මෙන්ම තාරාවන් වැනි කුරුල්ලන්ගේ පිලිමත් මතුකර ගැනීමට පුරාවිද්‍යා නිලධාරීන්ට නොබෝ දිනකින් හැකි වුණා. දිනෙන් දින මෙම කැනීම් භූමිය විශාල වන්නට පටන්ගත් අතර එය පූර්ණ ලෙස වර්ග කිලෝමීටර් 98ක් (වර්ග සැතපුම් 38ක්) පුරාවට විසිරී ඇති බවයි වාර්තා වල සදහන් වන්නේ. 

මෙම පිලිම හොදින් අධ්‍යනය කල පුරාවිද්‍යා නිලධාරීන් විශ්මය ගෙන්දෙන දෙයක් නිරීක්ෂණය කරන්න සමත් වුනා. ඒ තමයි මේ පිලිම එකක් වත් එකිනෙකට සමාන නැති බව. මේ වන විට මෙම භූමියෙන් පිලිම 8000කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. එලෙස සොයාගෙන තිබෙන සෑම සෝල්දාදුවෙක්ගේ පිලිමයක්ම කුමන හෝ දෙයකින් එකිනෙකට වෙනස්. බොහෝවිට මෙම පිලිම වල උස එකිනෙකට සමාන වන්නේ නැහැ, මුහුනේ හැඩ තල, නාසය, ඇස්, කන් වල පිහිටීම එකිනෙකට සමාන නැහැ. කුමන හෝ වෙනස් කමක් මේ පිලිම අතර දක්නට තිබෙනවා. සෝල්දාදුවන්ගේ පිලිම පමණක් නොවෙයි අශ්වයන්ගේ පිලිමත් එකිනෙකට වෙනස්. මේ නිසා මේ නිර්මාණය වසරකින් දෙකකින් කරන ලද නිර්මාණයක් නොවන බව කැනීම් සිදුකිරීම ඇරඹූ මුල් අවධියේම පුරාවිද්‍යාවේදීන්ට අවබෝද වුනා. 

එක හා සමාන පිලිම දෙකක සුළු වෙනසක්
ඒ අනුව මේ විශිෂ්ඨ නිර්මාණයේ අග මුල සොයා යන්න පුරාවිද්‍යාවේදීන් කණ්ඩායමක් සැලසුම් සකස් කලා. ඔවුන් චීන ඉතිහාසය නැවත මුල සිට අගටම පීරන්න පටන් ගත්තා. සීමා චියැන් (Sima Qian) නම් චීන ඉතිහාසය පිලිබද සටහන් තබන ලද ඉතිහාසඥයෙකුගේ සටහන් වල මේ නිර්මාණය පිලිබදව තොරතුරු ඔවුන්ට හමුවන්නේ ඒ අනුවයි.

ක්‍රිස්තු පූර්ව 145ත් 90ත් අතර කාල වකවානුවක වාසය කල මෙම ඉතිහාසඥයා විසින් චීන රාජවංශයෙන් පිලිබදව වැදගත් සටහන් රාශියක් තබා තිබුනා. එහි මේ පිලිබදව මෙලෙස සටහනක් තබා තිබෙනවා. 

“චින් ෂී හුවාන් රජු චීනයේ පලමු අධිරාජයායි. ඔහු සිංහාසයනට පත්වන්නේ ඔහුට වයස අවුරුදු 13දී. චින් රාජවංශයේ ආරම්භකයා වන ඔහු ක්‍රිස්තු පූර්ව 247 සිට 221 දක්වා කාල වකවානුව තුල රාජ්‍ය පාලනයේ නිරතවී සිට ඇති අතර ඔහු ඉතාමත් කුරිරු පාලකයෙක් ලෙසයි හැදින්වෙන්නේ. නමුත් ඔහු මුලු චීනයම එක්සේසත් කල අතර සතුරන් සියලු දෙනා ඝාතනය කරමින් එක් ධජයක් යටතට චීනය එක් කිරීමට සමත් වුනා. ඔහුගේ අභාවය සිදුවුනේ ක්‍රිස්තු පූර්ව 210 වකවානුවේ. චින් අධිරාජයා මෙලොව සිටියදී ලෝකය පාලනය කලා සේම පරලොවදී මලවුන්ගේ ලෝකය පාලනය කිරීම සදහා ඔහුට හමුදාවක් අවශ්‍ය වුනා. මේ නිසා ඔහුට පරලොවදී මලවුන්ගේ ලෝකය පාලනය කිරීමට අවශ්‍ය සේනාවක් නිර්මාණය කරන්න ඔහුට අවශ්‍ය වුනා. මේ අනුව ක්‍රිස්තු පූර්ව 246 වකවානුවේදී මෙම ටෙරාකොටා හමුදාව නිර්මාණය කිරීම ආරම්භ කරල තිබෙනවා”

මෙම හමුදාව නිර්මාණය කර තිබෙන්නේ එවකට චින් අධිරාජයා සතුව සිටි  ඔහුගේ රණ ශූර භටයන්ගේ හැඩරුවට සමාන වන ලෙසයි. මේ නිසා තමයි මෙහි පිලිම එකකට එකක් සමාන නොවන්නේ. මේ පිලිම සියල්ල නිම කරන්න වසර 38කට ආසන්න කාලයක් ගතවෙලා තිබෙනවා. මෙම භූමියේ ලක්ෂ 700,000කට ආසන්න කම්කරුවන් හා ප්‍රතිමා නිර්මාණ ශිල්පීන් ප්‍රමාණයක් වැඩ කරල තියෙනව කියලත් වාර්තා වල සදහන් වනවා. හැබැයි මෙම කම්කරුවන් මෙම ස්ථානයේ බලහත්කාරයෙන් සේවයේ යොදවල තිබෙනව කියලයි පුරාවිද්‍යාවේදීන් මේ වෙද්දි කරුණු අනාවරණය කරගෙන තිබෙන්නේ. මෙම භූමිය හා චින් අධිරාජයාගේ සොහොන පවතින ලිෂාන් කදු භූමිය එකම නිර්මාණ භූමියක් බවත් චින් අධිරාජයා මියගිය පසු ඔහුගේ සොහොන් භූමිය ලෙස මෙම සම්පූර්ණ ප්‍රදේෂයම වෙන් කර තිබූ බවත් පුරාවිද්‍යාවේදීන් සොයාගනු ලැබුවා. 2007 වසරේදී මෙම භූමිය සම්බන්ධව කරන ලද පරීක්ෂණ වලින් හෙලි වුනේ මෙම භූමිය තුල අඩි 90ක් උසට තනන ලද බිත්ති තිබී ඇති බවයි. මෙම ප්‍රදේෂය සම්පූර්ණයෙන් ආවරණය වන ලෙස ආවරණයක් තනා තිබී ඇති බවත් ඔවුන් සොයාගෙන තිබෙනවා. 

සීමා චියෑන් විසින් තැබූ වාර්තා වල මෙම කරුණු තහවුරු වෙන ආකාරයේ වාර්තා හමුවී තිබෙනවා. ඔහුගේ වාර්තා වල තව දුරටත් සදහන් වන්නේ මෙම ආවර්ණය තුල විශ්වය (Universe) දැක්වෙන ආකාරයේ නිර්මාණයක් මුතු මැණික් අල්ලා නිර්මාණය කර තිබූ බවයි. චින් අධිරාජයා මිහිදන් කිරීමේදී ඔහුගේ මුලු වස්තුවම මෙම ස්තානයේ තැන්පත් කර තිබූ බව ඔහු සදහන් කරනවා. ඒවගෙම මෙම භූමියේ බිමට රසදිය ගල්වා ජලය නිරූපණය කිරීමට කටියුතු කර තිබූ බවත් සීමා චියෑන් තවදුරටත් වාර්තා කර තිබෙනවා. සීමා චියෑන්ගේ මෙම වාර්තාව තහවුරු වන කරුණක් වූයේ මෙම භූමිය හා එය අවට ප්‍රදේෂයේ පස් වල අධික රසදිය සාන්ද්‍රනයක් ඇති බව ගවේෂකයන්ට සොයාගැනීමට ලැබීමයි. 

මෙම සොහොන් භූමිය නිර්මාණය කිරීමෙන් පසු අධිරාජයාගේ වස්තූන් මෙහි තැන්පත් කිරීමට ආදාර කල හා එහි අවසාන නිර්මාණය සිදුකල කම්කරුවන් මෙය තුලම ඝාතනය කර ඇති බවයි පුරාවිද්‍යාඥයන් පවසන්නේ. එයට සාක්ෂි සපයමින් පුද්ගල ඇටකටු විශාල ප්‍රමාණයක් මෙහි හමුවී තිබෙනවා. අධිරාජයාගේ ධනය හා වස්තුව පිලිබදව පිටස්තරයන් දැනුවත් වීම වැලැක්වීම මෙම ක්‍රියාවේ අරමුණ වෙලා තිබෙනවා. මෙම නිර්මාණය සිදුකිරීමෙන් පස්සෙ මෙම භූමිය ආරක්ෂා කිරීම සදහා විශාල හමුදා කණ්ඩායමක් යොදවා තිබෙනවා. නමුත් ඉතාමත් ටික කාලයකින් මෙම භූමියට ප්‍රහාරයක් එල්ල වුනා.

සිමා චියෑන්ගේ වාර්තා වලට අනුව අධිරාජයාගේ මරණයෙන් වසර පහකටත් අඩු කාලයකදී ඔහුගේම හමුදාවේ ජෙනරල් වරයෙක්ව සිටි ජෙනරල් ෂියෑන් යූ (General Shian Yu) විසින් මෙම ස්තානයට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙහි තිබූ වස්තුව ඔහු විසින් කොල්ල කෑ අතර මෙම භූමිය විනාශ වන ලෙස එයට ගිනි තබා තිබුනා. දැව මන්දිරයක් වූ මේ භූමිය ඔහුගේ ප්‍රහාරයෙන් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වුනු අතර මේ ගින්න ලෝක ඉතිහාසයේ සිදුවූ දැවැන්තම ස්වභාවික නොවන ගින්න ලෙසයි වාර්තා වී ඇත්තේ. මෙම ගින්න නිවාගත නොහැකිව මාස තුනක කාලයක් පැවතුනු බව සීමා චියෑන් වාර්තා කර තිබෙනවා. මේ ගින්නෙන් මේ වර්ග කිලෝමීටර් 98කට වැඩි ප්‍රමාණයක් පුරා පැතිරී තිබූ දැවැන්ත නිර්මාණයේ වහල නැත්නම් ආවරණය සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙනව වගෙම ගින්නට හසුනොවී ඉතිරිව ඇත්තේ එකම එක පිලිමයක් පමණයි. ඒ දුනු හේවායෙකුගේ පිලිමියක් බවයි වාර්තා කර ඇත්තේ. පසුව මෙම පිලිම නැවත ප්‍රතිසංස්කරණ කර ඇති අතර අද පවතින පිලිම වලට වඩා විශාල පිලිම ප්‍රමාණයක් මෙම ස්තානයේ තිබී තිබෙන බව එයින් පැහැදිලි වෙනවා. 

අදට පුරාවිද්‍යාවේදීන් විසින් සංරක්ෂනය කර ඇති මේ භූමිය තුල හමුදාව කණ්ඩ වල පිලිම 8000කට වැඩි ප්‍රමාණයක්, අශ්වාරෝහක රථ 130ක් මෙන්ම අශ්වයන් 670කගේ පිලිම තිබෙනව. මීට අමතරව තාරාවන්, කුරුල්ලන් මෙන්ම සංගීතකරුවන්ගේ, වාදකයන්ගේ මෙන්ම සර්කස් කරුවන්ගේ පිලිමත් හමුවී තිබෙනවා. අදටත් මෙම භූමියේ පිලිම සොයාගෙන අවසන් නැහැ. තව තවත් මෙම භූමියෙන් නව පිලිම සොයාගැනීම සිදු කරනවා. 

අද වන විට මෙම භූමිය චීනයේ ප්‍රධානම සංචාරක ආකර්ෂණය දිනාගත් ස්තාන වලින් එකක්. ලොව අටවන පුදුමය ලෙසත් කලක් මෙය නම් කර තිබුනා. එලිමහන් කෞතුකාගාරයක් ලෙස අදවන විට සංරක්ෂණය කර ඇති මෙම භූමියේ ප්‍රධාන කොටස් හතරක් දකින්න පුලුවන්. පලමු කොටස වෝල්ට් වන් (Vault 1) ලෙස හැදින්වෙන අතර එහි ප්‍රදර්ෂණය සදහා සෝල්දාදුවන්ගේ පිලිම 2000ක් පමණ තබා තිබෙනවා. දෙවන කොටසේ දුනුවායන්ගේ හා අශ්ව රත දකින්න පුලුවන්. තුන්වන කොටස නැත්නම් වෝල්ට් 3 එකේ හමුදා නිලධාරීන්ගේ පිලිම තැන්පත් කර තිබෙනවා. සිව්වන කොටස තමයි වැදගත්ම කොටස. මෙහි චින් ෂී හුවාන් (Qin Shi Huang) අධිරාජයාගේ අශ්ව රතය තැන්පත් කර තිබෙනවා. මෙම රතය තඹ රන් රථයක් වන අතර එම ආකාරයේ ලොව මෙතෙක් හමුවූ විශාලම නිර්මාණය ලෙස සැලකෙන්නේ මෙම අශ්ව රතයයි. එය කොටස් 3400කින් සමන්විත වන අතර බරින් කිලෝග්‍රෑම් 1234ක් වනවා. එහි කිලෝග්‍රෑම් 7ක් බර රන් හා රිදී කැටයම් දකින්න ලැබෙන බවයි වාර්තා වන්නේ. 

මෙම භූමියෙන් සංචාරකයන් සදහා විවෘත කර ඇත්තේ ඉතාමත් සීමිත ඉඩකඩක් පමණයි. විශේෂයෙන් අධිරාජයාගේ සොහොන ඇති භූමිය කිසිවෙකුට අණවසරයෙන් ඇතුල් විය නොහැකි කලාපයක් ලෙසට නම් කර තිබෙනවා. මෙම කලාපය තුල භූගත කුටීර ඇති බවත් ඒවා තුල අධිරාජයාගේ විනාශ නොවුනු නිධානයන් තවමත් ඇති බවත් පුරාවෘත්ත වල සඳහන් වනවා. ඒ වගෙම මෙම නිධානයන් සහිත කුටීර විවෘත කරන්නන් චින් අධිරාජයාගේ ශාපයට ගොදුරු වන බවත් එම පුරාවෘත්ත වල තවදුරටත් සඳහන් වනවා. සෑම වසරකම මිලියනයකට අධික සංචාරකයන් ප්‍රමාණයක් මෙම ස්ථානය නැරඹීමට පැමිණෙන බව චීන වෙබ් අඩවි තුල වාර්තා වනවා. 

මෙහි යන ඔබට එහි සිට සමරු සටහන් ලබාදෙන මෙම විශ්ම කර්ම නිර්මාණය සොයාගත් ගොවීන්ගෙන් දැනට ජීවතුන් අතර සිටින කිහිප දෙනෙකු දැකගන්න පුලුවන්.

නමුත් මෙම විශිෂ්ඨ නිර්මාණය සොයාගත් කණ්ඩායමේ කිසිවෙකුගේ ජීවිත මේ නිසා සරු වුනේ නැහැ. මෙම කණ්ඩායමෙන් එක් ගොවියෙන් සියදිවි නසාගත්තා. තවත් දෙදෙනෙක් වයස අවුරුදු 50ට පෙර අකාලයේ රෝගාතුර වී මියගියා. අනෙක් පුද්ගලයන්ට තම වාසස්තාන පවා අහිමි වුනු අතර අද වන විට ඉතා සුලු වැටුපකට සමරු සටහන් ලබාදීමට ඔවුන්ට සිදුවී තිබෙනවා.

ටෙරාකොටා සෝල්දාදුවන්ගේ භූමිය අති විශිෂ්ඨ නිර්මාණයක් බව අවිවාදයෙන් යුතුව සදහන් කල හැකී. මෙම නිර්මාණය සිදු කිරීමට පාදක වුනු අරමුණ කුමක් වුවද එය නිර්මාණය කල පුරාණ චීන කලාකරුවන්ගේ විශිෂ්ඨත්වය නම් අනිවාර්යයෙන් ඇගයීමට ලක්විය යුතුයි......

.................අන්තර්ජාලය ඇසුරෙනි.................... දැනුම සොයන්න මේ පාරෙන් එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මාස තුනක් පුරාවට ගිනිගෙන දැවුනු ටෙරාකොටා සෝල්දාදුවන්ගේ අප්‍රකට කතාව (Terracotta Soldiers) මාස තුනක් පුරාවට ගිනිගෙන දැවුනු ටෙරාකොටා සෝල්දාදුවන්ගේ අප්‍රකට කතාව (Terracotta Soldiers) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 06, 2022 Rating: 5

0 comments:

Post a Comment