Your Choice Way

මාංශ භක්ෂක ශාක (Carnivorous Plants)

මාංශ භක්ෂක ශාක (Carnivorous Plants) - Your Choice Way

සොබාදහම කියන්නේ හරිම අපූරු සුන්දර තැනක්. ඒවගේම හරිම අවදානම් තැනක්. අපි මේ කතා කරන්න සූදානම් වන්නේ සොබා දහමේ මර උගුල් ලෙස සැලකෙන, මාංශ භක්ෂක ශාක හෙවත් විලෝපික ශාක ගැන. විලෝපික ශාක කියන්නේ වෙනත් සත්ව විශේෂ හෝ කෘමි විශේෂ හෝ ගොදුරු කර ගෙන ආහාරයට ගන්නා ශාකවලටයි. මාංශභක්ෂක හා ශාක භක්ෂක දෙවර්ගය ම එකක් ලෙස ගෙනයි, මෙසේ හැඳින්වෙන්නේ. ඒ ශාකත් ප‍්‍රභාසංශ්ලේෂණය මගින් තමයි, සාමාන්‍යයෙන් ආහාර නිපදවා ගන්නේ. අතිරේකව අවශ්‍ය පෝෂක කොටස් පහසුවෙන් ලබා ගන්නයි, මේ විදියට විලෝපික හැසිරීමට යන්නේ. ගසක පිළිලයක් වුනත් විලෝපික ශාකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ විදියෙ විලෝපික ශාක විශේෂ 400ක් තරම් ප‍්‍රමාණයක් ලොව පුරා විසිරී තියෙනවා.

මස් කන්න පුරුදු වුණේ ඇයි...?
මාංශ භක්ෂක ශාක හෙවත් කෘමි භක්ෂක ශාක සතුව තියෙනවා, විශේෂ පෝෂණ ක‍්‍රමයක්. අනෙක් ශාක විශේෂ වගේම මේවායේත් පත‍්‍ර කොළ පාටයි. ඒ ඒවායේ ක්ලෝරෝෆිල් හෙවත් හරිතප‍්‍රද අඩංගු නිසයි. හේ නිසා ඒවාට ආහාර පිළියෙළ කර ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඇයි මේ ශාක මේ විදියට කෘමීන් ආහාරයට ගන්නේ ? කෑම සඳහා ඒ ශාකවලට කෘමීන් අවශ්‍ය වන්නේ ඒවායේ වැඞීමට අත්‍යවශ්‍ය පෝෂකයක් වන නයිට‍්‍රජන් අඩංගු ආහාරවල ඌණතාව සපුරා ගැනීමටයිි. ගොදුරු කර ගන්නා කෘමීන්ගේ සිරුරු ජීර්ණයට පත් කොට අවශ්‍ය සාරයන් උරා ගැනීමයි මෙහි දී සිදුවන්නේ. මාංශ භක්ෂක ශාක වැඩිපුරම වැඩෙන්නේ මඩ වගුරු ආශ‍්‍රිත ප‍්‍රදේශවලයි. සාමාන්‍යයෙන් වගුරු ප‍්‍රදේශවල පසෙහි නයිට‍්‍රජනීය ලවණ ඌණතාවක්, ඒ කියන්නේ හිඟකමක් තියෙනවා. ඒ නිසා කෘමි සතුන් ගොදුරු කරගෙන ඒ අවශ්‍යතාව සපුරා ගැනීමට මෙම ශාක හැඩගැසීම පරිණාමයේ තවත් අපූරු අවස්ථාවක් කියලයි, උද්භිද විද්‍යාඥයින් කියන්නේ.

පොදු ලක්ෂණ හඳුනා ගනිමු...
මංශභක්ෂක ශාක කෘමීන් අල්ලා ගැනීම පිණිස අවයවවලින් සමන්විත වෙනවා. මේ අවයව කියලා කියන්නේ පත‍්‍රවලටයි. මෙම ශාක වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. සමහර ශාක කෘමීන් අල්ලා ගැනීමට විශේෂ උපක‍්‍රම යොදා ගන්නවා. අනෙක් ශාක, කෘමීන් ගොදුරු කර ගන්නේ ස්වභාවික පිහිටීම උපකාර කර ගෙනයි.

ශාක මාංශ භක්ෂකයන් ලෙස පරිණාමය වූ හැටි.....
එකිනෙකට බොහෝ දුරින් සම්බන්ධ ශාක,  මස් අනුභවය සඳහා වූ සිය හැකියාවන් අත්පත් කරගෙන ඇත්තේ සමාන ජානමය වෙනස්කම් තුළිනි.

ඔස්ටේ‍්‍රලියානු බාඳුරා ශාකයෙහි තිබෙන මුඛයක් බඳු පත‍්‍රයක වැසීමට තරම් අවාසනාවන්ත වන කෘමියෙකුට අත් වන්නේ මහා භයානක ඉරණමකි. එම ශාකයේ කෙන්ඩියක් හෝ කොතලයක් බඳු කොටසට ගොදුර ඇද ගනු ලබන අතර ‘කොතලය’ තුළ ඇති විශේෂිත එන්සයිම කොක්ටේලය (මිශ‍්‍රනය) ගොදුර ජීරණය කරයි.

පර්යේෂකයෝ  බාඳුරා ශාකයේ ජිනෝමය අධ්‍යයනයට ලක් කර කෘමීන් ජීරණය කරන එහි දියර හෝ තරල වෙනත් මාංශ භක්ෂක ශාකවල එවන් තරල හා සංසන්දනය කළහ.  එහි දී ඔවුනට හෙළි වූයේ ලොව පුරා මාංශ භක්ෂක ශාක, වසර මිලියන ගණනාවක පරිණාමය තුළ බොහෝ දුරස්ථ වී ඇති නමුත් ඒවායේ ඇත්තේ (කෘමීන් ජීරණයට මග පාදන) එකම මාරන්තික අණුක සංයෝග වට්ටෝරුව බවයි.

’අපි මේ දකින්නේ අභිසාරී(convergent) පරිණාමය පිළිබඳ කැපී පෙනෙන අවස්ථාවක් ’ නිව්යෝක් හි  බෆලෝ  විශ්ව විද්‍යාලයේ ශාක ජිනෝම විද්‍යාඥ වික්ටර් ඇල්බට් කියා සිටියි. මේ අධ්‍යයනය මෙහෙයවනු ලැබුවේ ඇල්බට් විසිනි. අධ්‍යයන වාර්තාව පෙබරවාරි 6 දා Nature Ecology and Evolution  සඟරාවේ පළ වී ඇත.

සපුෂ්පක ශාක පවුල හෙවත් කුලය පුරාවට  මාංශ භක්ෂක ශාක හටගනී. නිරිත දිග ඔස්ටේ‍්‍රලියාවේ වෙරළබඩ තීරයකට දේශීය වූ ඔස්ටේ‍්‍රලියානු බාඳුරා ශාකය(Cephalotus follicularis) අග්නිදිග ආසියාවේ සහ ඇමරිකා   මහද්වීපයන්හි දක්නට ලැබෙන  අනෙකුත් බාඳුරා විශේෂවලට වඩා star fruit (Averrhoa carambola)  නම් විශේෂයට සමීප නෑකමක් දක්වයි. මෙයින් හැඟෙන්නේ මාංශ භක්ෂකත්වය නැවත නැවතත් පරිණාමය වී ඇති බවයි. ශාක තුල මෙසේ සිදුවන්නට ඇත්තේ ඒවා වැවෙන පෝෂක හීන පසෙහි තත්ත්වයන්ට මුහුණ දීමට විය හැකියි. ‘මේ ශාක උත්සාහ කරන්නේ, සිය ගොදුරෙන් නයිට‍්‍රජන් හා පොස්පරස් උකහා ගන්නයි.’

ඕස්ටේ‍්‍රලියානු බාඳුරා ශාකය, දත් විදහා හිනැහෙන මුවක් බඳු මාරක ‘කොතල’ ස්වරූප පත‍්‍ර මෙන්ම පැතලි පත‍්‍ර නිර්මාණය කරයි. එම විශේෂ වල ජිනෝම අනුක‍්‍රමණය කිරීමෙන් පසුව, කොතල ස්වරූපයේ පත‍්‍ර සහ මාංශ භක්ෂක නොවන පත‍්‍ර අතර, වෙනස් ආකාරයට ක‍්‍රියාකාරී වන ජාන හඳුනාගන්නට ඇල්බට්ගේ කණ්ඩායමට හැකි විය.

මාරක ජාන වට්ටෝරුව...
අභිසාරී පරිණාමය අණුක මට්ටම දක්වා සිදුවන්නේ කෙලෙස ද යන්න නව අධ්‍යයනය මගින් ප‍්‍රදර්ශනය කරනු ලබන  හෙයින් එම  අධ්‍යයනය  වැදගත් වන බව මැසචුසෙට්ස්, පීටර්ෂෑම් හි Harvard Forest වල පරිසර විද්‍යාඥයෙකු වන  ඒරන් එලිසන් ප‍්‍රකාශ කරයි. ජාන අතර කෘමීන්,  තම මරණයට කැඳවන මකරන්දය නිපදවීමට ආධාර විය හැකි පිෂ්ටය සහ සීනි සෑදීමට සම්බන්ධ ජානද එමෙන්ම කොතලයෙන් ගොදුරට පැන යාම අසීරු කරවන ඉටි වැනි ද්‍රව්‍යය කේතනය  කරන ජාන ද වේ.

බාඳුරා කොතලය සිය ගොදුරු ගිල දමන්නේ කෙසේ දැයි තීරණය කරනු වස් පර්යේෂකයෝ Cephalotus වල සහ අනෙකුත් සම්බන්ධයක් නොමැති මාංශ භක්ෂක ශාකවල ජීර්ණ කොක්ටේල් මිශ‍්‍රනය පිරික්සා බැලූ අතර ස්කන්ධ වර්ණාවලිමිතියක් (spectrometry) යොදා ගනිමින් සම්පූර්ණ වශයෙන් ප්‍රෝටීන 35 ක් හඳුනා ගත්හ. මේ ප්‍රෝටීන බොහොමයක්ම,  ව්‍යාධිජනක (pathogens) ඈත් කර තැබීම පිණිස අනෙකුත් සපුෂ්ප ශාක යොදා ගන්නා ඒවාට සම්බන්ධය. නිදසුනක් ලෙස ශාක දිලීර වලින් ආරක්ෂාව සඳහා කයිටින්(chitin) බහුඅවයවකය බිඳ දැමීමට  එන්සයිම නිපදවයි. එහෙත් ඇල්බට් සැක කරන්නේ,  ඕස්ටේ‍්‍රලියානු බාඳුරා සහ අනෙකුත් මාංශ භක්ෂක ශාක කෘමීන්ගේ (කයිටින් වලින්ම නිර්මාණය වී ඇති) පිටසැකිලි(exoskeletons) ජීර්ණය කර ගැනීමේ   වෙනත් කාර්යය පවරා  එන්සයිමය භාවිතා කරන බවයි.

බාඳුරා ශාක විශේෂයන් ඇතුළුව දුරින් නෑකම් දක්වන මාංශ භක්ෂක ශාකවල ජීර්ණ තරල ප්‍රෝටීන සෑදීමට යොදා ගන්නා ජාන වලට පොදු පරිණාමීය සම්භවයක් තිබෙන බව නව අධ්‍යයනයේ දී ඇල්බට් ඇතුළු කණ්ඩායමට පෙනී ගියේය. එපමණක් නොව, විවිධ විශේෂ තුළ එක සමාන ආකාරයෙන් ඔවුන්  කේත ගත කරන එන්සයිමවල ස්වරූපය වෙනස් කිරීමට හැකිවන අයුරින් මෙකී සමහර ජාන ස්වාධීනව පරිණාමය වී ඇත. පර්යේෂකයන්ට තවමත් ඔප්පු කිරීමට සාක්ෂි නැතත්, ඔවුන් අදහස් කරන්නේ ජීර්ණ තරලයෙහි ඒවා එක්ව තිබෙන විට මෙකී ජාන විකෘතීන් එන්සයිම ස්ථාවර කිරීමට උපකාරී වන බවයි.

කෘමීන් අනුභව කිරීමට හැකියාව වර්ධනය කර ගත්තද මුලින්ම ඔවුන් හසු කර ගැනීමේ  හැකියාව ශාකයට නොමැති නම් එම හැකියාවෙන් වැඩක් නොවේ. මෙහිදී පරිණාමය විවිධාකාර පිළියම් සපයා ඇති බව ඇල්බට් පෙන්වා දෙයි. Venus fly-traps ශාක සිය ගොදුරු හසු කර ගැනීමට  මැසි උගුල් යොදා යොදා ගන්නා අතර bladderworts සිය ගොදුර අක‍්‍රිය කිරීමට ඉතා කුඩා චූෂණ කෝප්ප යොදා ගනී. 1875 දී චාල්ස් ඩාවින් Insectivorous Plants( කෘමිභක්ෂක ශාක) යනුවෙන් පළ කල පොතෙහි sundews කෘමීන් තම පත‍්‍රවලට හසු කර ගැනීම  පිණිස යොදා ගන්නා  ග‍්‍රාහිකා ඇඳ තිබුණි. ‘‘ඩාවින් මාංශ භක්ෂක ශාක ගැන පොතක් ම ලිව්ව එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ’’ ඇල්බට් කියා සිටියි..

බාඳුරා මර උගුල...
ශ්‍රී ලංකාවට ආවේණික බාඳුරා හෙවත් 
Pitcher Plant / Nepenthes distillatoria....
නැපෙන්තස් ඩිස්ටිලාටෝරියා ලෙස හඳුන්වන බාඳුරා ශාඛය කෘමීන්   අල්ලා   ගැනීමට   සකස්   වුවකි  ශ්‍රී ලංකාවේ  සිංහරාජ  වනාන්තරය සහ   සමනල කන්ද   යන  ස්ථාන  වල පැතීරි ඇති  බාඳුරා ශාකයේ ඇති මල් පැණි වල ඇති සුවදවත් බව නිසා කෘමීන් බාඳුරා පුෂ්පයට ආකර්ශනය වේ.සමහර බාඳුරා පුෂ්ප සෙ.මී.02 ත් සෙ.මී.50 ත් අතර දිගකින  පිහිටා ඇත. මෙම මලට බාඳුරා යන නම ලැබී ඇත්තේ  එහි ඇති ජෝගුවක (pitcher) හැඩැති කෘමි උගුල නිසාය. මෙම උගුල බොහෝ දෙනා "බඳුරා මල" ලෙස හැඳින්වූවද එය සැබැවින්ම මලක් නොවේ. බඳුරා මල සාමාන්‍ය මලක් ආකාරයට දිස්වේ.

කෘමීන් එම මලට ආකර්ශණය වී එය තුලට ගොස් බාඳුරා කෙණ්ඩියෙහි පතුලේ ඇති මල් පණි බී එන්නට සැරසෙන විට එහි බිත්ති ලිස්සන සුළු නිසා ආපසු එලියට එන්නට නොහැකිව සිරවේ. එවිට නැවතත් කෘමියා මලේ පතුලටම වැටී මරණයට පත්වේ. එවිට මෙම කෘමීන් ජීර්නය කර ශාකයට අවශ්‍ය පොෂ්‍ය පදාර්ථ ලබාගනී. මෙවැනි ශාක මාංශ භක්ෂක ශාක(CARNIVOROUS) ලෙසද හදුන්වනු ලැබේ.

කොළ පැහැති හෝ රතුපැහැති ශාක විශේෂ දෙකක් තෙත් කලාපයේ සිංහරාජය, කන්නෙළිය වැනි වැසි වනාන්තරයන්හි දී හමු‍වෙයි. රෝස පැහැති වූ විශේෂයක් මුතුරාජවෙල ප‍්‍රදේශයේ ඇත. බාඳුරා කෙණ්ඩියේ පියන විවර වීමට පෙර එහි ඇති ද්‍රාවණය කක්කල් කැස්සට ද වඳ බව නැති කිරීමටද ගනිතියි කියති.

ශ්‍රී ලංකාවට ආවේණික වූ බඳුරා ශාකය පිලිබඳව මුල්වරට විස්තරයක් ලියන ලද්දේ ඩෙන්මාර්ක් ජාතික වෛද්‍යවරයෙකුවූ තෝමල් බාතොලින් විසින් 1677දීය. ඔහු එය "මිරැන්ඩා හර්බා - අපූර්ව පැලෑටිය" ලෙස හඳුන්වයි.  1680දී ඕලන්ද ජාතික වෙළෙන්දෙකු හා ස්වභාවික විද්‍යා උද්යෝගියෙකුවූ  ජේකොබ් බ්‍රෙයිනි මෙම ශාකය "බාඳුරා සින්ගලෙන්සියම්" ලෙස හඳුන්වාදී ඇත. 

බාඳුරා ශාකයේ ස්වභාවික හැසිරීම මුල්වරට පැහැදිලිව විස්තරකරන ලද්දේ 1683දී ස්වීඩන ජාතික වෛද්‍යවරයෙකු හා ස්වභාවිකවිද්‍යාඥයෙකු වූ හර්මන් නික්ලස් ග්‍රිම් විසිනි. ඔහු එය "ප්ලාන්ටා මිරබිලිස් ඩිස්ටිලටොරියා - විශ්මිත ආසවන හැකියාවක් ඇති පැලෑටිය" ලෙස හඳුන්වන ලදී. 

බාඳුරා ශාකය ශ්‍රී ලංකාවෙහි පමණක් දක්නට ලැබෙන මෙරටට ආවේණික ශාකයකි..

බාඳුරා (pitcher plant)කියන්නේ අපේ රටේ බහුලව දකින්න පුළුවන් මාංශ භක්ෂක ශාකයක්. මේවා වැඩෙන්නේ සෙවණ ඇති මඩ වගුරු බිම්වලයි. බාඳුරා හැඳින්වෙන්නේ නෙපෙන්තස් ඩිස්ටිලාටෝරියා (penthes distillatoria) යන උද්භිද විද්‍යා නාමයෙන්. දුර්වල කඳක් ඇති වැල් ශාකයක් නිසා මෙහි මැද නාරටි දිගින් යුක්තයි. ඒවා වෙනත් වැලක් මෙන් ආධාරකයක එතී වෙළී පිහිටන නිසා මේ ශාකයට සෘජුව පිහිටීමේ ශක්තිය ලැබෙනවා. කෘමීන් අල්ලා ගැනීම සඳහා මෙහි එක් පත‍්‍ර තලයක හැඩය වෙනස් වෙලා ඒ කියන්නේ විකරණය වෙලා කෙණ්ඩියක් (pitcher) එහෙම නැතිනම් මල්ලක් ලෙස සැකසී තියෙනවා. බාඳුරා මල ලෙස හැඳින්වෙන්නේ මේ කෙණ්ඩියයි. ඇත්තටම නම් මෙය මලක් නොවේ. මර උගුලක්. පත‍්‍ර තලය කෙණ්ඩිය වී ඇති අතර පත‍්‍ර නටුව පත‍්‍රයක් මෙන් පළල් වී පිහිටනවා. එය හැඳින්වෙන්නේ පත‍්‍රාභයක් ලෙසයි. මේ කෙණ්ඩිය බොහෝ විට අඟල් 3 ක් පමණ දිගයි. පහළ පළල්. ඉහළ කෙළවර පටුයි.

කෘමීන් ආකර්ෂණය කර ගන්නා හැටි
කෙණ්ඩියෙහි පෙනුම බොහෝ විට රතු මිශ‍්‍ර රෝස පැහැයක් ගන්නවා. එය කෘමීන් ආකර්ෂණය කර ගැනීමට යොදූ උපායක්. කෙණ්ඩියේ මුඛයේ එසේත් නැතිනම් ඉහළ කෙළවරෙහි පියනක් තියෙනවා. කෙණ්ඩිය ළපටි කාලයේ දී මේ පියන වැසී පවතිනවා. එය විවෘත වෙන්නේ හොඳින් මේරුණු පසුවයි. විවෘත වූ විට පියන සෘජුව පිහිටනවා. මෙම කෙණ්ඩිය තුළ ඇත්තේ බැක්ටීරියා අඩංගු ජීර්ණ යුෂක්. කෙණ්ඩියට ආකර්ෂණය වී එයට ඇදී එන පුංචි කෘමීන් කෙණ්ඩියේ මුඛයෙහි ඇති දාරයෙහි වසනවා. එය ලිස්සනසුලූයි. ඒ නිසා කෘමීන් කෙණ්ඩිය තුළට ලිස්සා වැටෙනවා. කෙණ්ඩියේ ඇතුළත බිත්තිද ලිස්සනසුලූ නිසා වැටුණු කිසිවෙකුට යළි ඉන් පිට වීමට හැකි වන්නේ නෑ. කෙණ්ඩියේ අඩංගු යුෂවල ගිලීමෙන් මෙසේ වැටෙන කෘමීන් මිය යනවා. උන්ගේ සිරුරු කොටස් කෙණ්ඩිය තුළම දිරවීමට ලක් වෙනවා. ඉන්පසු ඒවායේ ඇති පෝෂ්‍ය කොටස් කෙණ්ඩිය හරහා ශාකයට උරා ගන්නවා.

කඳුළු හෙළන ඇසක් බඳු කඳුලැස්ස....
බාඳුරා ශාක මෙන්ම කඳුලැස්ස (sundew)ශාකයත් තෙතමනය අධික සෙවණ සහිත තැන්වලයි වැඩෙන්නෙ. මෙහි උද්භිද විද්‍යා නාමය ඩ්‍රොසේරා ඉන්ඩිකා (Drosera indica)යි. ‘වීනස් ෆ්ලයි ට‍්‍රැප්’ කියන්නෙත් කඳුලැස්ස පවුලට ම අයත් ශාකයක්. සාමාන්‍යයෙන් බහුලව හමුවන කඳුලැස්ස ශාකය ඉතා කුඩායි. මේ ශාකය බොහෝ විට හමුවන්නේ විලක් හෝ වගුරක් අද්දරයි.

කඳුලැස්ස ශාකයට පොළොවට ඇළී එකිනෙකට ළං ළං ව පිහිටා ඇති පත‍්‍ර රැසක් හා සෘජුව පිහිටින කඳක් තියෙනවා. මෙසේ පිහිටන පත‍්‍ර සමූහය හැඳින්වෙන්නේ සෙව්වන්දියක් කියායි. මෙහි පත‍්‍රවල පැහැය රතට හුරුයි. දික්වූ නටුවලින් සමන්විතයි. පත‍්‍ර තලය පැතළියි. හැඩය අණ්ඩාකාරයි. මේ පුෂ්ප මංජරිය ශාකයට ඇති විශේෂ ලක්ෂණයක්. පත‍්‍ර තලයේ සහ දාරයේ තියෙනවා, ග‍්‍රාහිකා රාශියක්. පත‍්‍ර දාරය අද්දර තියෙන්නේ දික් වූ ග‍්‍රාහිකා. මැද තියෙන්නේ කෙටි මහත හැඩයෙන් යුත් ග‍්‍රාහිකායි. මේ සෑම ග‍්‍රාහිකාවක්ම කෙළවර වෙන්නේ වටකුරු ග‍්‍රන්ථියකිනුයි.

දිලිසෙන ඇලෙන ද්‍රව බිංදු....
මෙහි ඇති ග‍්‍රාහිකා තුඩුවලින් ස‍්‍රාවය වෙන්නේ ඇලෙනසුලූ ද්‍රව බිංදුයි. මෙම ද්‍රව බිංදු මතට හිරු එළිය වැටුණු විට දිලිසීමට පටන් ගන්නවා. මෙයට කඳුලැස්ස යන නම ලැබී ඇත්තේ මෙහි පිහිටීම ඇසක් බඳු නිසාත් මෙය ස‍්‍රාවය කරන ද්‍රව බිංදු කඳුළු මෙන් දිලිසෙන නිසාත්ය. මෙම දිලිසෙන පත‍්‍ර දෙසට ඇදී එන කෘමීන් පත‍්‍රයේ ඇති ද්‍රාවයේ ඇලෙනවා. එමෙන්ම පත‍්‍රයේ ඇති ඇස් පිහාටු බඳු ග‍්‍රාහිකා පත‍්‍රය මැදට නැමී කෘමියා හිර කර ගන්නවා. කුඩා කෘමීන්ට මෙම මර උගුලෙන් බේරී යාමට හැකි වන්නේ නෑ. එහෙත් ඉඳහිට ශක්තිමත් කෘමියකු බේරී යන අවස්ථාත් තියෙනවා. සාමාන්‍යයෙන් මෙම ශාකය ආහාරයට ගන්නේ හෝහපුටුවන්, මැස්සන්, මදුරුවන් වැනි කුඩා සතුන්. මේ සතකු අසුවූ විට දිරවීමට සතියක් විතර ගත වෙනවා.

උත්තේජනය වන ග‍්‍රාහිකා....
ග‍්‍රාහිකා මේ අයුරින් නැමෙන්නේ කෘමීන්ගේ පැමිණීම නිසයි. කෘමීන් එහි ස්පර්ශ වන නිසයි. මේ ස්පර්ශ නිසා ඒ ශාකය තුළ උත්තේජනයක් ඇති වෙනවා. රසායනික වෙනස් වීමක් නිසයි, මේ උත්තේජනය ඇති වන්නේ. ග‍්‍රාහිකාවල ග‍්‍රහණයට හසුවී මියයන කෘමියාගේ සිරුර ඉන්පසු ජීර්ණයට පත්වෙනවා. මෙය සිදුවන්නේ ග‍්‍රාහිකාවලින් වෑස්සෙන ජීර්ණ යුෂ හේතුවෙන්. කෘමියාගේ මාංශල කොටස් ජීර්ණය වී ද්‍රාව්‍ය බවට පත්වෙනවා. ඒවා පත‍්‍ර තුළින් ශාකයට උරා ගන්නවා. පසුව දිරවිය නොහැකි ඇට කොටස් පත‍්‍රය මත තිබෙනු දැක ගත හැකියි. කෘමීන් ගොදුරු කර නො ගෙන වුනත් කඳුලැස්ස ශාකයට ජීවත්වෙන්න පුළුවන්. ඒත් මේ අයුරින් මාංශල ආහාර ලැබීම නිසා ශාකය වඩාත් නිරෝගීව වැඩෙනවා.

ජලයේ මතුවන නිල්මොනරැස්ස....
නිල්මොනරැස්ස තවත් සතුන් අල්ලා කන ශාකයක්. එය උට්රිකුලාරියා රෙටිකුලාටා (Utricularia reticulata)යන උද්භිද විද්‍යා නාමයෙන් තමයි හැඳින්වෙන්නෙ. මෙය ජලයේ ගිලී වැඩෙන ජලජ ශාකයක්. ජලය මතුපිටට පැමිණෙන්නේ පුෂ්ප මංජරිය විතරයි. අධික ලෙස අතු බෙදීම නිසා මෙය දිස්වෙන්නේ කෙදි රාශියක් ලෙසයි. මෙහි පත‍්‍රද සිහින් කෙඳි ලෙසට බෙදී තිබෙනවා. මේ පත‍්‍ර අතරින් සමහරක් ආශයක් හෙවත් පැසක් ලෙසට විකරණය වී තියෙනවා. ජලයේ පාවෙමින් පැසට පුළුවන් ජලයේ වසන කුඩා කෘමීන් අල්ලා ගන්නට. මේ පැසෙහි පළල් පෙදෙස ශාකයට සවි වී තියෙනවා.

සක්‍රිය උගුල් දොරක්...
පටු කෙළවරෙහි තියෙන්නේ සාමාන්‍ය වශයෙන් වැසී තියෙන උගුල් දොරක්. මේ උගුල් දොර දෙපසෙහි ඇත්තේ රෝම කිහිපයක්. උගුල් දොරෙන් පිටතට විහිදෙන සංවේදී රෝම හතරක් තියෙනවා. කෘමියෙක් මෙම සංවේදී රෝමවල ස්පර්ශ වුණොත් උගුල් දොර සැණෙකින් පැස තුළට විවර වෙනවා. එවිට වේගයෙන් ජලය ආශය තුළට ඇතුළු වෙනවා. එතකොට ජලයේ සිටින කෘමියා ජලයත් සමඟ පැස තුළට ඇදී යනවා. පැය භාගයක පමණ කාලයකට පසු පැස තුළ පිරුණු ජලය හිස් කර පැසට යළි කි‍්‍රයාකාරී වීමේ හැකියාව ලැබෙනවා. කෘමීන්ගේ දිරවීම හා පෝෂණ කොටස් උරා ගැනීම සිදුවන්නේ මේ පැස තුළ දීමයි.

කෘමියකු ස්පර්ශ වීමේ දී කී‍්‍රයාකාරී වන සංවේදී කෙඳි ඇතුළත් ශාකවල ඇති මේ ඇටවුම් හැඳින්වෙන්නේ සකි‍්‍රය උගුල් ලෙසයි. බටර්වර්ත්, බ්ලැඩර්වර්ත්, සන්ඩිව් හෙවත් කඳුලැස්ස පවුලට අයත් වීනස් ෆ්ලයි ට‍්‍රැප් වැනි ශාකවලට ඇත්තේ මෙවැනි උගුල්. ඒවායේ සතුන් අල්ලා ගන්නා යාන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක වෙනවා. එහෙත් බාඳුරා වැනි ශාකවල පැස අයත් වන්නේ අකි‍්‍රය උගුල් ගණයටයි. ඒවා කෘමීන් ආකර්ෂණය කර ගන්නේ ඒවායේ වර්ණ, සුවඳ, මල් පැණි ආදිය මගිනුයි. උගුලේ කට මත වැසූ කෘමීයා ඉබේම ලිස්සා ඒ තුළට වැටෙනවා. ඒවායේ එසැණ කි‍්‍රයාත්මක වීමක් නැහැ. පැසක් ඇති බොහෝ ශාක අයත් වන්නේ අකි‍්‍රය උගුල් ගණයටයි. සමහර ශාකවල පත‍්‍රවල කෘමීන් ඇලෙනසුලූ ගතියක් තියෙනවා. කෘමියකු මේ පත‍්‍රයක ඇලූණොත් පත‍්‍රය රෝල් වී කෘමියා වෙළා ගන්නවා. පත‍්‍රය තුළින් මතුවන රසායනික දියරයකින් කෘමියා දිය කර උගේ සාරය උරා ගන්නට ශාකයට පුළුවන්....

.............ලොව පුරා ඇති මාශ භක්ෂක ශාක වර්ග කීපයක්...........
(1) වීනස් ගේ මැසි උගුල (Venus flytrap)
• Kingdom: Plantae
• Phylum: Angiosperms
• Class: Eudicots
• Sub Class: Core eudicots
• Order: Caryophyllales
• Family: Droseraceae
• Genus: Dionaea
• Species: D. muscipula
• විද්‍යාත්මක නාමය : Dionaea muscipula
වීනස් ගේ මැසි උගුල නම් වූ මෙම මාංශ භක්ෂක ශාකය, එක්සත් ජනපදයේ උතුරු හා දකුණු කැරොලිනා වෙරළ තීරයන් හි ත් ,අර්ධ ඝර්ම කලාපීය තෙත් බිම් වලත් දක්නට ඇත. විකරණය වූ පත්‍ර සහිත මෙම ශාකය, කුඩා කෘමීන් ව සිය ආහාරය ලෙස ගනියි.

(2) Pinguicula vulgaris.....
• Kingdom: Plantae
• Phylum: Angiosperms
• Class: Eudicots
• Sub Class: Asterids
• Order: Lamiales
• Family: Lentibulariaceae
• Genus: Pinguicula
• Species: P. vulgaris
• විද්‍යාත්මක නාමය: Pinguicula vulgaris
සෙන්ටි මීටර 3-16 දක්වා උසට වැඩෙන මෙම පැළෑටියේ, මිලිමීටර 15ක් පමණ දිගු,දම් පැහැ පුනීලාකාර මලක් හටගනී. මාංශ භක්ෂක ශාකයක් වන මෙම ශාකය යුරෝපාකරයේ , රුසියාවේ, කැනඩාවේ හා එක්සත් ජනපදයේ කඳුකර ප්‍රදේශයන් හි බහුල ව දක්නට ලැබේ.

(3) Drosera rotundifoli....
• Kingdom: Plantae
• Phylum: Angiosperms
• Class: Eudicots
• Sub Class: Core eudicots
• Order: Caryophyllales
• Family: Droseraceae
• Genus: Drosera
• Species: D. rotundifolia
• විද්‍යාත්මක නාමය: Drosera rotundifolia
දර්ශීය ශාකයක් සෙන්ටිමීටර 3-5 අතර විශ්කම්භයක් දරන අතර සෙන්ටිමීටර 5-25 දක්වා උසකින් යුක්ත වේ.මෙම ශාකය බොහෝ විට දක්නට ලැබෙන්නේ තෙත් බිම් සහ දිය සීරාව සහිත පහත් බිම් වල ය.

(4) Darlingtonia californica....
• Kingdom: Plantae
• Phylum: Angiosperms
• Class: Eudicots
• Sub Class: Asterids
• Order: Ericales
• Family: Sarraceniaceae
• Genus: Darlingtonia
• Species: D. californica
• විද්‍යාත්මක නාමය:Darlingtonia californica
නාග ලිලී, නාග පැළෑටිය නමින් ද හඳුන්වන මෙම ශාකය මාංශ භක්ෂක ශාක පවුලේ තවත් අලංකාර සාමාජිකයෙකි.

(5) Sarracenia purpure.....
• Kingdom: Plantae
• Phylum: Angiosperms
• Class: Eudicots
• Sub Class: Asterids
• Order: Ericales
• Family: Sarraceniaceae
• Genus: Sarracenia
• Species: S. purpurea
• විද්‍යාත්මක නාමය: Sarracenia purpurea
විසිතුරු ශාකයක් ලෙස ද භාවිතා කරන මෙම පැළෑටිය මාංශ භක්ෂක ශාක අතර ආකර්ෂණීය පැළෑටියකි.

(6) Sarracenia flava....
• Kingdom: Plantae
• Phylum: Angiosperms
• Class: Eudicots
• Sub Class: Asterids
• Order: Ericales
• Family: Sarraceniaceae
• Genus: Sarracenia
• Species: S. flava
• විද්‍යාත්මක නාමය: Sarracenia flava
මෙම ශාකය නවීන ලෝකයට ආගන්තුක වන අතර එක්සත් ජනපදයේ දකුණු ඇලබාමා,ජෝර්ජියා,දකුණු වර්ජිනියා සහ කැරොලිනා ආදී ප්‍රදේශ වල සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතී.

(7)  Nepenthes truncate......
• Kingdom: Plantae
• Phylum: Angiosperms
• Class: Eudicots
• Sub Class: Core eudicots
• Order: Caryophyllales
• Family: Nepenthaceae
• Genus: Nepenthes
• Species: N. truncate
• විද්‍යාත්මක නාමය: Nepenthes truncate
පිලිපීනයට ආවේණික වූ මෙම ශාකය අනෙකුත් කෘමි භක්ෂක ශාක වලට සාපේක්ෂ ව තරමක් විශාල ය.

(😎 Utriculariagibba..........
• Kingdom: Plantae
• Phylum: Angiosperms
• Class: Eudicots
• Sub Class: Asterids
• Order: Lamiales
• Family: Lentibulariaceae
• Genus: Utricularia
• Subgenus: Utricularia
• Section: Utricularia
• Species: U. gibba
• විද්‍යාත්මක නාමය: Utricularia gibba
ජලජ මාංශ භක්ෂක ශාකයක් වන මෙය ඇන්ටාක්ටිකාව හැර අනෙකුත් සියලුම මහද්වීප වල දක්නට ලැබේ. ප්‍රමාණයෙන් කුඩා ශාකයකි.ජලයේ අර්ධ වශයෙන් ගිලී හෝ පාවෙමින් පවතී.

ඉහත ඉදිරිපත් කර ඇත්තේ ශාක ලෝකයේ දක්නට ඇති ලක්ෂ සංඛ්‍යාත මාංශ භක්ෂක ශාක අතරින් අතලොස්සක් පමණි. මෙම ශාක තම නයිට්‍රජන් අවශ්‍යතාවය සපුරා ගන්නේ සතුන් ආහාරයට ගැනීමෙනි.කුඩා සතුන් ආහාරයට ගැනීමට හැඩගැසුණු සුවිශේෂී ව්‍යුහ මෙම ශාක වලට ඇත.සතුන් උගුලට හසු කර ගැනීමෙන් පසු එම ව්‍යුහ තුළදී ම ජීර්ණයට ලක් වන අතර,ජීර්ණයෙන් අනතුරුව පෝෂක ද්‍රව්‍ය ශාකයට උරා ගැනේ...

...............අන්තර්ජාලය ඇසුරෙනි................දැනුම සොයන්න මේ පාරෙන් එන්න

මාංශ භක්ෂක ශාක (Carnivorous Plants) - Your Choice Way

මාංශ භක්ෂක ශාක (Carnivorous Plants) - Your Choice Way

මාංශ භක්ෂක ශාක (Carnivorous Plants) - Your Choice Way

මාංශ භක්ෂක ශාක (Carnivorous Plants) - Your Choice Way

මාංශ භක්ෂක ශාක (Carnivorous Plants) - Your Choice Way


මාංශ භක්ෂක ශාක (Carnivorous Plants) - Your Choice Way

මාංශ භක්ෂක ශාක (Carnivorous Plants) - Your Choice Way

මාංශ භක්ෂක ශාක (Carnivorous Plants) - Your Choice Way

මාංශ භක්ෂක ශාක (Carnivorous Plants) - Your Choice Way

මාංශ භක්ෂක ශාක (Carnivorous Plants) - Your Choice Way

මාංශ භක්ෂක ශාක (Carnivorous Plants) - Your Choice Way

මාංශ භක්ෂක ශාක (Carnivorous Plants) - Your Choice Way

මාංශ භක්ෂක ශාක (Carnivorous Plants) - Your Choice Way

මාංශ භක්ෂක ශාක (Carnivorous Plants) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මාංශ භක්ෂක ශාක (Carnivorous Plants) මාංශ භක්ෂක ශාක (Carnivorous Plants) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, June 13, 2022 Rating: 5

0 comments:

Post a Comment