ජපන් සෙබලුන් 480ක් කිඹුලන්ට ගොදුරු වූ දෙවන ලෝක යුද්ධයේ අප්‍රකට ඛේදවාචකය (Ramree Island)

ජපන් සෙබලුන් 480ක් කිඹුලන්ට ගොදුරු වූ දෙවන ලෝක යුද්ධයේ අප්‍රකට ඛේදවාචකය (Ramree Island) - Your Choice Way

දෙවන ලෝක යුද්ධය (WW2) 1939 වසරේ සැප්තැම්බර් මස පලමු දින ජර්මානු හමුදා පෝලන්තය අත්පත් කර ගැනීමත් සමග ඇරඹුණු අතර එය අවසන් වූයේ 1945 වර්ෂයේ සැප්තැම්බර් මස දෙවන දින ජපානය තම යටත් වීම නිල වශයෙන් නිවේදනය කිරීමත් සමගයි. දෙවන ලෝක යුද්ධය අතර තුර නාසි හමුදා විසින් සිදුකල අති බිහිසුණු සංහාරයන් හා සෝවියට් හමුදාවේ වීරක්‍රියා ප්‍රසිද්ධ ඉතිහාසය තුල ඉතාමත් ජනප්‍රිය කාරනා බවට පත් වී තිබෙන  නමුත් වසර හයක් පුරාවට ඇදී ගිය මේ මහා සංග්‍රාමය තුල ඉතිහාසයේ එතරම් ජනප්‍රිය නොවූ ඉතාමත් බිහිසුණු මෙන්ම හද කම්පා කරවන සිදුවීම් විශාල ප්‍රමාණයක්ද සිදු වී තිබෙනවා. පෂ්චාත් යුධ අපරාධ සිදුවීම් මෙන්ම ස්වභාවික අනතුරු, සතුන් පහරදීමෙන් සිදු වූ මහා විනාශයන්ද ඒ අතර විශාල ප්‍රමාණයක් තිබෙනවා. රම්රී දූපතේ ඛේදවාචකය (Ramree Island Massacre) නමින් හැදින්වෙන මේ අවාසනාවන්ත සිදුවීමද එලෙස එතරම්ම කතා බහට ලක් නොවුනු දෙවන ලෝක යුධ සමයේ සිදු වූ තවත් භයානක සිදුවීමක්.

රම්රී දිවයින (Ramree Island) වර්තමාන මියන්මාරයට ( පෙර බුරුමය – Burma) අයත්ව පිහිටා ඇති කුඩා දිවයිනක්. වර්ග කිලෝමීටර් 1350ක පමණ භූමි ප්‍රදේෂයක් ඇති මෙම දූපත වත්මන් මියන්මාරයේ රඛීන් ප්‍රාන්තයට (Rakhine State) අයත් කොටසක් ලෙසයි සිතියම් ගතකර ඇත්තේ. මෙම දිවයින ගොඩබිමක්, කලපුවක් සහිත ප්‍රදේෂයක් හරහා කැලෑබද ප්‍රදේෂයකට යා වෙන ලෙස නිර්මාණය වූ භූමියක්. ‍රම්රී දිවයින ඈත අතීතයේ සිටම කිඹුලන් අරක්ගත් භූමියක් ලෙසයි හදුන්වාදී ඇත්තේ. කරදිය ආශ්‍රිතව කිඹුලන් යම් ප්‍රමාණයක් අදටත් මේ දිවයිනේ වාසය කරනවා. රම්රී දූපත ජපන් ඉම්පීරියල් හමුදාව (Imperial Army of Japan) 1942 වසරේදී අල්ලා ගනු ලැබුවා. ඒ ඔවුන් බුරුමයට එල්ල කල ආක්‍රමණය අතරතුරදී. ලෝක යුද්ධයේ අවසන් සමය වූ 1945 වර්ෂයේදීත් ජපන් හමුදාවේ සෝල්දාදුවන් 2000කට වැඩි සංඛ්‍යාවක් රම්රී හා ඒ ආශ්‍රිත භූමියේ රැදී සිට තිබෙනවා. ජපානය ක්‍රමයෙන් ප්‍රහාරයට ලක් වනවිට එහි රැදී සිටි හමුදා දැඩි ආහාර හිගයකට මුහුණදී සිටි බවත් ඔවුන්ට පහසුකම් නොලැබීම නිසා මදුරුවන්, උග්‍ර විෂ සහිත මකුලුවන් හා ගෝනුස්සන්ගේ ප්‍රහාරයන්ට ඔවුන් නිරන්තරයෙන් ලක්වූ බවත් වාර්තා තුල සදහන් වනවා. පානීය ජලය නොමැතිව විශාල ගැටලුවකට මෙම ජපන් හමුදා කණ්ඩය මුහුණපා සිටි අතර ජලය සොයා කැලය තුලට ගිය බොහෝ හමුදා සෙබලුන් මදුරුවන්ගේ ප්‍රහාරයට ලක් වී මැලේරියාව සෑදී මිය ගොස් තිබුනා. පානීය ජල ගැටලුව හා මදුරු උවදුරු නිසාම මෙම හමුදා කණ්ඩායම කදවුරු බැදගෙන සිට තිබුනේ දූපතේ මධ්‍යයට වන්නයි. මෙවන් ගැටලුකාරී පරිසරයක, රම්රි දූපත ආශ්‍රිතව රැදී සිටි මෙම ජපන් හමුදා කණ්ඩය ශරීරිකව ඉතාමත් දුර්වල වී සිටි හමුදාවක්. මන්ද දෙවන ලෝක යුද්ධයේ අවසාන සමය වන විට ජපානය පූර්ණ වශයෙන් කඩා වැටී තිබූ නිසා මෙම දිවයිනේ සිටි හමුදා භට පිරිස් වෙත ජපානයෙන් අවශ්‍ය ආධාර කිසිවක් ලැබුනේ නැහැ. මේනිසා ඔවුන් යම් ආකාරයක හුදකලා වූ පසුබිමකයි මෙම දිවයින තුල රැදී සිටියේ. 

1945 වර්ෂයේ මුල් භාගයේ බ්‍රිතාන්‍ය සෙබලුන් ඉන්දියන් සාගරය ආශ්‍රිත ජපන් හමුදා කදවුරු වලට දැඩි ප්‍රහාර එල්ල කරමින් ඒවා අත්පත් කර ගැනීම සිදුකල අතර ඒ අනුව1945 වර්ෂයේ ජනවාරි මස 25වනදා බ්‍රිතාන්‍ය සෙබලුන් ගුවන් මගින් රම්රී දිවයිනට ගොඩ බසිනු ලැබුවා. ඒ ජපන් හමුදාව විනාශ කොට දිවයින අල්ලා ගැනීමේ අරමුණින්. ජපන් ඉම්පීරියල් හමුදාවේ සෙබලුන් ඉලක්ක කර දරුණු ප්‍රහාරයක් බ්‍රිතාන්‍ය හමුදාව එල්ල කල අතර දුර්වල වී සිටි ජපන් හමුදාව ක්‍රමයෙන් විනාශ වන්නට පටන් ගත්තා. ගැටුම් අවසානයේ ජපන් හමුදා සෙබලුන් විශාල ප්‍රමාණයක් මියගිය අතර ඉතිරි වූයේ 1000ක පමණ වූ තුවාල ලැබූ සෙබලුන් පිරිසක්. දිගින් දිගටම එල්ල වන බ්‍රිතාන්‍ය හමුදා ප්‍රහාර හමුවේ දිවි ගලවා ගැනීම සදහා ජපන් සෙබලුන් සිදුකලේ කැලෑබද ප්‍රදේෂය වෙත පලායෑම සදහා සැලසුම් සකස් කිරීමයි. නමුත් ඔවුන් නොසිතූ අයුරින් 1945 වර්ෂයේ පෙබරවාරි මස 19වනදා රාත්‍රියේ බ්‍රිතාන්‍ය සෙබලුන් පලායමින් සිටි ජපන් සෙබලුන් ඉලක්ක කර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කලා. රාත්‍රියේ පැන යන සෙබලුන් කඩෝලාන සහිත කලපු ප්‍රදේෂයකට පැමිණෙනවා. මේ කඩොලාන කලාපයෙන් එපිට තිබුනේ විශාල වනාන්තරයයි. වනාන්තරයට පලා ගොස් නැවත ප්‍රතිසංවිධානය වීමේ අරමුණින් කඩොලාන කලපුව හරහා පැනයාමට ජපන් ඉම්පීරියල් සෙබලුන් පෙලබෙනවා. නමුත් ඔවුන් දැන නොසිටි මහා භයානක සතුන් කොට්ඨාශයක් මේ ප්‍රදේෂයේ නිහඩව ඔවුන් ජලයට බසින තෙක් මග බලා සිටියා.

කරදිය කිඹුලන්.....
බ්‍රිතාන්‍ය හමුදාව ජපන් සෙබලුන් ලුහුබැද යමින් දිගින් දිගම ප්‍රහාර එල්ල කල අතර එක් වරම ජපන් හමුදාවේ ප්‍රති ප්‍රහාර වල අස්වාභාවික ස්වභාවයක් බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන් අධ්‍යනය කලා. ප්‍රහාර එල්ල කිරීම මදකට නැවැත්වූ ඔවුන් සිදුවන්නේ කුමක්දැයි සොයා ගැනීමට මදක් ඒ දෙසට සවන් යොමා සිටියා. එක්වරම ආතක්පාතක් නොමැතිව හතර අතේ එල්ල වන වෙඩි ප්‍රහාරයන් හා ජපන් සෙබලුන්ගේ කෑ මොරදීම් වලින් බ්‍රිතාන්‍ය සෙබලුන් භීතියට පත් වූ අතර ඔවුන් ප්‍රහාර එල්ල නොකර ජපන් සෝල්දාදුවන්ට කුමක් සිදුවුනේ දැයි මවිතයෙන් යුතුව එලිවන තෙක් බලා සිටියා. පසුදින උදෑසන කලපුවට ගිය ඔවුන් භීතියෙන් වෙව්ලන්න වුයේ ඔවුන් දුටු දර්ෂණය අදහා ගැනීමට නොහැකිවයි.

මුළු කලපුවම රුධිරයෙන් රතු පැහැ වී තිබුනා. තැනින් තැන කොටස් සීසීකඩ විසිරී පාවෙන ජපන් සෙබලුන්ගේ මල සිරුරු විශාල ප්‍රමාණයක් ඇති බව ඔවුන් නිරීක්ෂණය කලා. ජපන් සෙබලුන්ගේ අත්පා කොටස් කරදියේ ඔබ මොබ පාවෙමින් තිබුනා. සිදු වී ඇත්තේ කුමක්දැයි වටහා ගැනීමට බ්‍රිතාන්‍ය හමුදාවට මද වේලාවක් ගත වූ අතර හොදින් පරිසරය නිරීක්ෂණය කල බ්‍රිතාන්‍ය සෙබලුන් දුටුවේ ඉවුරේ හා ජලයේ දැවැන්ත කිඹුලන් රංචු වශයෙන් විශාල ප්‍රමාණයක් සිටින බවයි. මෙම කිඹුලන් ජපන් ජාතික සෙබලුන්ගේ ජීවිත වලට වගකියා තිබුනේ ඉතාමත් සෝචනීය ආකාරයකටයි. 

මෙම දර්ෂණය සියසින් දැක මහත් කම්පනයට පත්වූ බ්‍රිතාන්‍ය සෙබලෙක් වූ බෘස් වයිට් (Bruce White) 1962 වසරේදී මේ පිලිබදව වාර්තාවක් මෙලෙස ලියා පලකර තිබුනා.           

“එය මිහිපිට අපායක් වගේ. බැලූ බැලූ තැන පාවෙන මස් කොටස්. දැවැන්ත කිඹුලන් ඔවුන්ව කොටස් වලට ඉරා තිබුනා. සමහර කිඹුලන් අඩි 20කටත් වඩා විශාලයි. විසිරුනු මස් කොටස් කන්න උකුස්සන් ආ විට කිඹුලන් යන්නට ගියා. අපට පන අදිමින් සිටි සෙබලු 20ක් පමන බේර ගන්න හැකි වුනා”

පසුව බ්‍රිතාන්‍ය හමුදාව සකස් කල වාර්තාවක කිඹුලන් විසින් මරා දැමූ ජපන් සෙබලුන් සංඛ්‍යාව 480ක් ලෙස සටහන් කර තිබෙනවා. සමහර විදෙස් මූලාශ්‍ර මෙලෙස මියගිය ජපන් සෙබලුන් සංඛ්‍යාව 500ක් ලෙසත් වාර්තා කර තිබෙනවා. ඉතිරි ජපන් හමුදා සෙබලුන් පිලිබදව පැහැදිලි වාර්තාවක් නොමැති වුවත් ඔවුන් බ්‍රිතාන්‍ය හමුදා ප්‍රහාරයන් හමුවේ මියයන්නට ඇති බවටයි විශ්වාස කරන්නේ. දරුණු තුවාල ලබා ජීවතුන් අතර සිටි ජපන් හමුදා සෙබලුන් කිහිප දෙනෙකු බ්‍රිතාන්‍ය හමුදාව විසින් මුදාගෙන තම භාරයට ගෙන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යවා තිබුනා. රම්රී දූපතේ සිදුවුනු මේ මහා ඛේදවාචකය ලෝක ඉතිහාසයේ විවිධ ආකාරයෙන් වාර්තා අතරට ගොස් තිබෙනවා. සතුන් පිරිසකගේ පහර දීමකින් එකම ස්ථානයකදී මියගිය වැඩිම පිරිස අයත් වන සිදුවීම ලෙස ගිනස් ලෝක වාර්තා අතරට යාමට තරම් මෙම සිදුවීම භයානක වුනා. අදටත් එම වාර්තාව එලෙසම ලෙයින් ලියවී තිබෙනවා. ඒ වගෙම දෙවන ලෝක යුද්ධය අතර තුර සතුන් පහර දීමකින් සිදුවුනු භයානකම අනතුර හා කිඹුලන් පහර දීමකින් සිදුවූ භයානකම අනතුර ලෙසත් මෙම රම්රී දූපතේ ඛේදවාචකය හැදින්වීමට පුළුවන්.

කරදිය කිඹුලන් අදටත් රම්රී දිවයිනේ දකින්නට ලැබෙනවා. නමුත් අද මෙම කිඹුලන් මෙහි සිටින්නේ ඉතාමත් සුළු ගහණයක් පමණයි. 1960 වර්ෂය ආසන්න වකවානුවෙන් පසුව මෙම කිඹුලන් විශාල වශයෙන් ඔවුන්ගේ සම ලබාගැනීම සදහා ඝාතනය කර තිබෙනවා. මේ නිසා අද වනවිට ඉතිරී වී ඇත්තේ කුඩා ප්‍රමාණයක්. නමුත් අදටත් මෙම දූපතේ අඩි 20කට වඩා වැඩි විශාලත්වයකින් යුත් දැවැන්ත කරදිය කිඹුලන් දකින්න පුළුවන්. රම්රී දිවයිනේ ඛේදවාචකය මෙලෙස ඉතිහාසයට එක් වී තිබියදී කලක් මෙම දූපත කිඹුලන්ගේ දිවයින ලෙසත් හදුන්වා තිබුනා.......

...............අන්තර්ජාලය ඇසුරෙනි...........දැනුම සොයන්න මේ පාරෙන් එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ජපන් සෙබලුන් 480ක් කිඹුලන්ට ගොදුරු වූ දෙවන ලෝක යුද්ධයේ අප්‍රකට ඛේදවාචකය (Ramree Island) ජපන් සෙබලුන් 480ක් කිඹුලන්ට ගොදුරු වූ දෙවන ලෝක යුද්ධයේ අප්‍රකට ඛේදවාචකය (Ramree Island) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 23, 2022 Rating: 5

0 comments:

Post a Comment