Your Choice Way

නදීෂ් සමග මාලිගාවට ගියේ අන්ජලිගේ අවතාරයද (Anjali)

නදීෂ් සමග මාලිගාවට ගියේ අන්ජලිගේ අවතාරයද (Anjali) - Your Choice Way

ක‍්‍රීං…. ක‍්‍රීං….. ක‍්‍රීං…. නදීෂ්ගේ දුරකතනය නාදවිය. බිත්තියේ එල්ලා ඇති ඔරලෝසුව දෙසට ඔහුගේ දෑස ගමන් කළේ නිරායාසයෙනි. වෙලාව රාත‍්‍රී 9.10 පමණ විය. දුරකතනයේ සඳහන් නුපුරුදු අංකය දෙස මොහොතක් බලාගෙන සිටි නදීෂ් දුරකතනය ක‍්‍රියාත්මක කරවා අතට ගත්තේය.

‘අයියේ මං අංජලිකා. අයියා මාව දන්නේ නැතුව ඇති. ඒ වුණාට මම අයියව දන්නවා. අයියා…. අර කම්පැනි එකේ නේද වැඩ කරන්නේ’ ඇය දිගින් දිගටම විස්තර කියාගෙන ගියේය. ඇය නම් තමා ගැන හොඳින්ම දන්නා තැනැත්තියක බව නදීෂ්ට සුළු මොහොතක් ගතවෙද්දීම අවබෝධ විය.

‘නංගි ඔයාට කොහෙන්ද මගේ ෆෝන් නම්බර් එක’ ඔහු ඇසුවේ ඇය හඳුනාගැනීමේ අටියෙනි.

‘මට යාළුවෙක්ගෙන් ලැබුණා’ එහෙත් ඇය අංකය ලබාදුන් යාළුවා ගැන කිසිදු සඳහනක් කළේ නැත.

‘අයියට මම කතා කරන එක කරදරයක්ද?’

‘නැහැ නංගී’

ඇය මේ ආකාරයට දින තුනක්ම නදීෂ්ට ඇමතුම් ලබාදුන්නාය. ඒ රාත‍්‍රී කාලයේදීමය. තුන්වැනි දිනයේ රාත‍්‍රී නවයට පමණ ඇරඹුණු නදීෂ්ගේත්, නන්නාඳුනනා යුවතියගේත් කතාව නිමාවට පත්වූයේ පසුදා හිරුකිරණ පොළොවට පතිත වන මොහොතේදීය. ඒ වනවිට ඇය නදීෂ්ගේ හිත සම්පූර්ණයෙන්ම දිනාගෙන අවසානය.

කෙමෙන් කෙමෙන් රාත‍්‍රිය උදාවෙමින් තිබිණි. නදීෂ් දුරකතනය නාද වන තුරු බලා සිටියේ නොඉවසිල්ලෙනි. ක‍්‍රීං….ක‍්‍රීං…..ක‍්‍රීං…..

සුපුරුදු පරිදි දුරකතනය නාද විය.

‘අයියේ මම…..’

‘කොහොමද?’

‘අයියගෙන් මට ලොකු උදව්වක් ඕනේ….’

‘මොකක්ද?’

‘මට දළඳා මාලිගාවට යන්න ඕනේ…. මම වෙච්ච බාරයක් තියෙනවා ඒක ඔප්පු කරන්න ඕනේ…’

‘කවුරු කවුරුද යන්නේ නංගි’

‘ඔයයි මමයි’

නදීෂ් මොහොතක් කල්පනා කළේය. ඇයගේ යෝජනාවට දෙන උත්තරය කුමක්ද?

‘ඇයි අයියේ ඔයා මාත් එක්ක යන්න බයද?’ නදීෂ්ගේ පිළිතුර පමා වූ තැන ඇය ඇසුවාය.

‘නැහැ. ඒත් මම තවම ඔයාව හරියට දන්නේ නෑනේ… ඒකයි මම බැලූවේ’

‘එහෙනම් දැන ගන්නත් එක්ක යමු’

‘හරි මම එන්නම්’

’උදේ 6.00 වෙද්දී මම කොල්ලූපිටියේ ලිබර්ටි ප්ලාසා එක ඉස්සරහා ඉන්නම්’

ඔවුන් කතාකරගත් පරිදි පසුදා උදේ හය වනවිට නදීෂ්ගේ කාරය ලිබර්ටි ප්ලාසා ඉදිරිපිටට පැමිණියේය. නදීෂ් කාරයේ සිටම වටපිට බැලූවේ තවමත් නොදුටු ඇයව දැකබලා ගැනීමේ ආශාවෙනි. සුදෝ සුදු ගවුමකින් සැරසුණු තරුණියක් මාර්ගය අසල සිටගෙන සිටියි. ලිහිල්ව තිබූ ඇයගේ දිගු කෙස් වැටිය ඒ මුහුණට ගෙන ආවේ අලංකාරයකි. ඇය ඉදිරිපිට වාහනය නතර කළ නදීෂ් මොහොතක් ඇය දෙස බලා සිටියේ මේ තමාට කතා කළ තරුණියමදැයි යන සැකයෙන් යුක්තවය. තමා මෙතෙක් කටහඬින් පමණක් හැඳිනූ ‘අංජලී’ ඇත්තෙන්ම අහිංසක පෙනුමකින් යුතු යැයි නදීෂ්ට සිතුණි. නදීෂ් කාරයෙන් බැසගොස් ඇය අසල සිටගත්තේය.

‘ගුඞ් මෝනිං…. ඔයා අංජලීද?’

’ඔව්….’

‘මම තමයි නදීෂ්’

‘මම දන්නවා’

‘ඒ කොහොමද? ඔයා හැමදේම දන්නවානේ……’

එහෙත් ඇය වැඩි කතා බහක් නැත.

‘අපි යමු’

නදීෂ් තම කාරය රැුගෙන ආවේ රියැදුරාද සමගය. නදීෂ් වාහනයේ ඉදිරි අසුනට නැගීමට සූදානම් වනවිට ඇය එක්වණම ඔහුගේ අතින් අල්ලා ගත්තාය.

‘අයියත් එන්න පස්සට’

ඒ ඉල්ලීම අහිංසකය.

ඇයගේ අත තම අතේ ස්පර්ශ වෙත්ම තම ශරිරය කිළිපොලා යන බව ඔහුට දැනෙන්නට විය. ඇයගේ අත එතරම්ම සීතලද නැතහොත් නුහුරු හැඟීමකින් සිත චංචලවීද. ඔහුට එය සිතාගත නොහැකි විය. අවසානයේ දෙදෙනාම පිටුපස අසුනේ වාඩි විය.

‘නංගි ඇත්තම කියන්න ඔයා කොහොමද මාව දන්නේ…..’

‘මම පස්සේ ඒක කියන්නම්’

‘අයියේ ඔයා පුනරුත්පත්තිය, අමරණීයවීම, මළගිය ආත්ම විශ්වාස කරනවාද?’

ඇය එක්වරම ඇසූ පැනයෙන් ඔහු පුදුමයට පත් වුවත් ඔහු ඒ බව නොඅඟවා ඇයගේ පැනයට පිළිතුරු දුන්නේය.

‘පුනරුත්පත්තිය විශ්වාස කරනවා. අනිත් ඒවා ගැන එච්චර හැඟීමක් නෑ. ඇයි නංගි එහෙම ඇහුවේ?’

ඇය සිනාසුනා මිස ඊට උත්තරයක් දුන්නේ නැත. අතරමඟදී උදේ ආහාර ගැනීමට ඇය වාහනයෙන් බිමට බැස්සේ නැත.

‘අයියා කන්න. මම මාලිගාවට යනකන් මුකුත්ම කන්නේ නැහැ……’

කෙසේ හෝ ඔවුහු දළඳා මාලිගය අසලට පැමිණියහ. නදීෂ් මාලිගය ඉදිරිපිට මල් විකුණන්නියගෙන් නෙළුම් මල් හතක් ඇයට අරගෙන දුන්නේ ඇයගේ ඉල්ලීම මතය.

මාලිගාවට ඇතුළු වන තැන ඇති මුර කුටිය අසලදීත් ඇය ඔහුගේ අත අතහරින්නට සූදානමක් නැත. මෙය නදීෂ්ගේ සිතට මහත් ගැටලූවක් විය.

‘ගැහැනු ළමයින්ගේ පෝළිමේ ඔයා යන්න. මම මේ පැත්තෙන් එන්නම්’

ඇය අකැමැත්තෙන් ඔහුගේ අත මුදා හැරියාය. ඔවුන් පරීක්ෂා කිරීමෙන් පසු යළි එලෙසම ඇය නදීෂ්ගේ අත අල්ලාගත්තේ තම පෙම්වතා සමග සිටින අලූත් පෙම්වතියක ලෙසිනි. දෙදෙනා මාලිගාවට ඇතුළුවන දොරටුව අසලට පැමිණෙන විට අංජලීගේ ස්වරූපය වෙනස් වන බව නදීෂ්ට ටිකෙන් ටික තේරෙන්නට විය.

‘ඇයි නංගී….’ ඔහු විමසුවේය.

‘මගේ ඔළුව රිදෙනවා…. මට හැමදාම එහෙමයි.

මාලිගාව ඇතුළට යන්න අමාරුයි’

එතැන වූ දිය අගල අසල ඇති දොරටුවෙන් ඇතුළු වන්නට අංජලී නදීෂ්ගේ ඇඟට බරවූයේ මුළු සිරුරම අප‍්‍රාණික වූ අයුරිනි. නදීෂ් ඇයව අල්ලාගෙන සෙමෙන් සීරුවේ දළදාව වැඩසිටි ඉහළ මහලට ගමන් කළේය. ඇය ගමන් කළේ හිස කෙළින් කරගත නොහැකි රෝගියකු විලසටය. නදීෂ්ගේ හිත කීරිගැසී ගියේ තමා පත්ව සිටි තත්ත්වය පිළිබඳ කිසිදු ආකාරයකින් හෝ තේරුම් ගන්නටවත් හැකියාවක් නොමැතිවය. ඔහු කිසිත් නොසිතා ඇයව මල් අසුන අසලට රැුගෙන ගියේය. එකින් එක නෙළුම් මල් ගෙන ඇය මල් අසුනේ අමුතු රටාවකට තැබුවාය. එම මල්, මල් අසුනේ තබත්ම ටිකෙන් ටික ඇයගේ ශරීර සෞඛ්‍යයද යහපත් අතට හැරෙන්නට විය. අවසන් මල තබත්ම ඇය හොඳින් හිස කෙළින් කරගත්තාය. ඉන්පසු ඇය නදීෂ් අසලින් මොහොතකට ඉවත්වී පසෙකින් වාඩි වී බුදුන් වැන්දාය.

‘අපි යමු අයියේ…. මට තව එක උදව්වක් ඕනේ…. අපි නාථ දේවාලයට යමු..’

‘අයියේ මට දේවාලය ඇතුළට යන්න අමාරුයි. කොහොම හරි අර කොහොඹ ගහ යටට මාව ගෙනියන්න’

ඇය ඔහුගෙන් ඉල්ලා සිටියාය.

ඇය දේවාලයේ පිවිසුම අසලදී ශරීරය දරදඬු කරගත්තාය. ඒ සමගම මහත් අපහසුතාවට පත් නදීෂ් දැන් තමා කරන්නේ කුමක්දැයි මොහොතක් කල්පනා කරන්නට විය. ඔහු ඇයගේ බඳ වටා අතක් යවා ඉතා අපහසුවෙන් ඇය පෙන්වූ කොහොඹ ගස අසලට රැුගෙන ගියේය.

‘අයියේ මට අතනින් පහන් තැටි හතක් අරන් දෙන්න’ ඇය පැවසුවේ සිහින් හඬිනි.

ඇය දළඳා මාලිගයේදී මල් තැබූ හැඩයටම නාථ දේවාලයේ බිම පහන් තැබුවාය. ඉන්පසු පහන්වලට පොල්තෙල් දැමුවාය. පළමු පහන පිරෙන්නටම පොල්තෙල් දැමූ ඇය ටිකෙන් ටික අඩුවන ආකාරයට පොල්තෙල් දැමූ අතර, අවසන් පහනට දැමුවේ තෙල් ස්වල්පයක් පමණි. ඉන්පසු ඇය පහන් සියල්ලටම තිර දමා දැල්වූවාය. ‘අයියේ පහන් ටික පත්තුවෙලා ඉවර වෙනකන් මට ඉන්න ඕනේ’

ඇය කොහොඹ ගස අසල වාඩිවී පහන් දෙස බලාගෙන සිටියේය. ඇය සිදුකරනුයේ භාවනාවක්ද? මේ සිදුවනුයේ කුමක්ද? නදීෂ්ට මෙය මහා ගැටලූවකි. එහෙත් ඔහු සිදුවන දෙය ඔහේ සිදුවන්නට ඉඩ හැර බලා සිටියේය. තෙල් අඩු පහනේ සිට එකින් එක පහන් දැල්වී තෙල් අවසන් වීමෙන් පසු නිවී ගියේය. අවසානයට තෙල් හොඳින් පිරවූ පහනද නිවී ගියේය. පැයක් පමණ කාලයක් ඇය මේ දෙස බලා සිටියාය.

එකින් එක පහන් නිවී යද්දී ඇය තුළ නව ජීවයක් පිබිදෙන බව තරමක් ඈතින් වාඩිවී ඇය දෙස බලාසිටි නදීෂ්ට සිතෙන්නට විය. ඇයගේ මුහුණ ටිකින් ටික ආලෝකවත් වෙමින් මුවට සිහින් සිනාවක්

නැගෙන්නටද විය. සියලූ පහන් නිවී ගිය පසු ඇය ඉමහත් ප‍්‍රබෝධයෙන් යුතුව නැගී සිටියාය. පෙර පැවති අසනීප කිසිවක් දැන් ඇය තුළ නැත.

‘අයියේ අපි යමු. ඔයාට ගොඩක් පිං මට උදව් කළාට’

නුවර යද්දී මෙන් ඇය ඔහුගේ අතේ එල්ලූනේ නැත. ඉතා සමීප යහළුවන් මෙන් ඔවුන් කතා බහ කරමින් යළි එන්නට සැරසුණේය. මඟතොටදී ඇය වතුර උගුරක් හෝ බිවේ නැත. ඇය ඒවා ප‍්‍රතික්ෂේප කළේ විවිධ හේතු දක්වමිනි.

‘නංගී පහන් තියලා කළේ මොකක්ද?’

’ඔයාට මම තව දවස් දෙකකින් ඒක කියන්නම්. හැබැයි ඒක රහසක්’

ඔවුන් කොළඹට පැමිණෙන විට රාත‍්‍රිය එළඹී තිබිණි. ‘නංගී මම ඔයාව ගෙදරට ඇරලවන්නම්. කමක් නැද්ද?’

’අයියට තවත් කරදරයි නේද?’

‘නැහැ නංගී අපි යමු’

පිළියන්දල පසුකරගෙන වාහනය ඉදිරියට ගමන් කළේය. ‘ඔතනින් දකුණට හරවන්න. ඔය කළු ගේට්ටුව ළඟ නතර කරන්න’

ඇය වාහනයෙන් බිමට බැස්සාය. ‘අයියේ ඔයාට බොහොම පිං. මම ඔයාට ?ට කතා කරන්නම්’

ඇය නිවස තුළට නික්ම ගියාය. පසුවදා රාත‍්‍රිය උදාවිය. වෙනදා මෙන්ම නදීෂ්ගේ දුරකතනය නාද විය. ඔහු ඔරලෝසුව දෙස බැලූවේය. වේලාව රාත‍්‍රී 9.10යි. ඔහු දුරකතනය ක‍්‍රියාත්මක කළේය.

‘අයියේ…. මම අංජලී…. අයියට පුළුවන්නම් හෙට හවස අපේ ගෙවල් පැත්තට ටිකක් එනවද? එදා ගමන කාටවත් කියන්න එපා’

ඇය දුරකතනය විසන්ධි කළාය. පසුදා සවස හිතේ චකිතයකින් යුතුව නදීෂ් ඇයගේ නිවස දෙසට ගමන් කළේය. වාහනය අතුරු පාරට

හරවන විටම එහි ඉදිකර තිබූ තොරණේ සවිකර තිබූ රුව තමාට මීට පෙර දැක පුරුදු බව නදීෂ්ට දැනුනත් ඔහුට එතරම් එය හිතට වැදුණේ නැත. ඔහු වාහනය ගේට්ටුව අසල නතර කළේය. නිවසේ අවමඟුලකි. ඔහුගේ පාද වෙව්ලන්නට විය. වාහනයෙන් බිමට බට ඔහු කෙමෙන් කෙමෙන් නිවස තුළට ඇතුළු විය. මද සිනහවක් සහිතව අංජලීගේ නිසල දේහය සාලයේ මැද තබා ඇත. ඇයගේ හිසට ඉහළින් පොල්තෙල් පහනක් දැල්වෙයි. තමාගේ ඇඟ සීතල වී යනු ඔහුට දැනෙත්ම ඔහු වහා අසල තිබූ පුටුවට බරවිය. මේ තමා සමග නුවර ගිය තරුණියද? ඔහු දොලොවක් අතර තනිවිය.

‘අක්කේ මොකක්ද වුණේ?’ ඔහු අසල සිටි

කාන්තාවකගෙන් විමසුවේය.

‘වැඩට ගිහිල්ලා එනකොට ඇක්සිඩන්ට් වෙලා සිහිය නැතුව මාසයක් විතර හිටියා’

‘කවද්ද නැති වුණේ’

‘බ‍්‍රහස්පතින්දා ?, බ‍්‍රහස්පතින්දා ? සිහිය ඇවිත් අම්මත් එක්ක හොඳට කතා කරලා තියෙනවා. මට දැන් යන්න පුළුවන්. මම යන්නම් අම්මේ’ කියලා තියෙනවා.

නදීෂ්ගේ ඇඟ දිගේ ඩහදිය ගංගාවක් ගලායන බව ඔහුට දැනෙන්නට විය.

වෛදික ජ්‍යොතිෂ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නදීෂ් සමග මාලිගාවට ගියේ අන්ජලිගේ අවතාරයද (Anjali) නදීෂ් සමග මාලිගාවට ගියේ අන්ජලිගේ අවතාරයද (Anjali) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, March 22, 2022 Rating: 5

0 comments:

Post a Comment