දවසේ වැදගත්කම - මාර්තු 03 ලෝක වනජීවී දිනය (Significance Of The Day - March 03 World Wildlife Day)

දවසේ වැදගත්කම - මාර්තු 03 ලෝක වනජීවී දිනය (Significance Of The Day - March 03 World Wildlife Day) - Your Choice Way

මේ උදාව ඇත්තේ නව වසරක ආරම්භයයි. ඊට සමගාමීව ලෝක වාසී ප්‍රජාවගේ අවධානය යළිත් වරක් දිනා ගත් දිනයක්, පාරිසරික සංරක්ෂණය කෙරෙහි මිනිස් සිත් ඇද බැඳ ගැනීමට සමත් වූ දිනයක් මාර්තු මස 03 වැනි දිනට යෙදී ඇත. සොබාදහමෙහි අනගි නිමැවුමක් ලෙස මිහිමත ජනිත වූ මානවයා විසින් තමන් ජනිත කළ සොබාදහමේ සුවපත් බව කෙලෙසනු වස් විවිධ වූ ක්‍රියාකාරකම්වල නිරත වීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවට ඉඟි දෙන දිනයක් ලෙසින් ද වසරේ ආරම්භයට සමගාමීව යෙදී ඇති මෙම දිනය නම් කළ හැකිය.

මිනිසාගේ ඇවැතුම් පැවැතුම් හේතුවෙන් වර්තමානය වන විට සොබාදහමේ ගුණාත්මක බව අඩුව යෑමට බෙහෙවින්ම බලපෑම් ඇති කරමින් පැවතීම අවධානය යොමු කළ යුතු තත්ත්වයකි. මෙම තත්ත්වය අවම කර ගැනීමට නම් මිනිසුන්ගේ සිත් සතන් තුළ ද ආකල්පමය වෙනසක් සිදු විය යුතුව ඇත.

සොබාදහමේ අපමණවත් වූ අසිරිමත් දායාදයන් රැසක්ම තුරුලු කර ගත් ලක්ධරණීය තලයෙන්, වනජීවී සංරක්ෂණ සංකල්පය ලොව පුරා ව්‍යාප්ත වීම සැබැවින්ම සතුටට කරුණකි. සොබාදහමේ සුරක්ෂිතතාවය රැකීමට අවැසි දේ නොපමාව ඉටු කළ යුතු බවට සිහිපත් කරනා දිනයක් මාර්තු මස 03 වැනි දිනට යෙදෙන ලෝක වනජීවී දිනයට යෙදී ඇති පසුබිමක ඒ පිළිබඳව මේ අයුරින්, මේ භූමිය මත සිට අකුරු කරන්නට හැකි වීම සැබැවින්ම සතුටට කරුණකි. මන්ද යත් සොබාදහමේ අගය හා එය රැක ගත යුතු බවට වන පණිවිඩය මේ පුණ්‍ය භූමියෙන් ආරම්භ වී විකාශනය වූ ආකාරය සැබැවින්ම මනරම්ය.

අතීතය විසින් වර්තමානයට දෙනු ලබන ආදර්ශවත් ගුරුහරුකම් අපමණය. අපේ අතීත මුතුන් මිත්තෝ පරිසරය හා සමඟ ගනුදෙනු කළේ ද පරිසර හිතකාමීත්ය පෙරදැරිවය. අතීත වැසියා විසින් සොබාදහමට අනුව තම පැවැත්ම තහවුරු කර ගනිමින් දිවි ගෙවූවද, වර්තමාන වැසියා සොබාදහම ස්වකීය ග්‍රහණයේ තබා ගනිමින් මානව සංහතියේ ශීඝ්‍ර දියුණුවක් සොයා යන නොනිමි ගමනකට අවතීර්ණව සිටියි. එසේ වුවද සොබාදහමේ නිත්‍ය නියෝජිතයින් වන වනජීවීන් විවිධාකාර මුහුණුවරින් සහ තමන්ටම අනන්‍ය ඇවැතුම් පැවැතුම් තුළින් මේ මිහිතලය මානවයාගේ හිතසුව පිණිස සොඳුරු නවාතැනක් බවට පත් කිරීමට ඉටු කරන නිහඬ මෙහෙවර පිළිබඳව සැබැවින්ම ඇගයීමකට භාජනය කළ යුතුව ඇත.

වනජීවීන්ගේ නිසග වටිනාකම සහ මිනිසාගේ පැවැත්ම උදෙසා වනජීවී ප්‍රජාවගේ යහපැවැත්ම හරහා ලැබෙන්නා වූ පාරිසරික, ජීව විද්‍යාත්මක, සමාජයීය, ආර්ථික, සංස්කෘතික, ආධ්‍යාත්මික, විනෝදාත්මක සහ සෞන්දර්යාත්මක දායකත්වය පිළිබඳ ගෝලීය වශයෙන් අවධානය යොමු කරලීමේ අරමුණින් ලෝක වනජීවී දිනයක් ප්‍රකාශයට පත් කර ඇත.

නීති විරෝධි වනජීවී වෙළෙඳාම පාලනය කිරීම පිළිබද සම්මුතියේ (CITES) පාර්ශ්වකරුවකු ලෙසින් 1979 වසරේ සිටම ශ්‍රී ලංකාව ද සාමාජිකත්වය දරයි. අප රට සතු ජෛව විවිධත්වය, වනජීවී සංරක්ෂණ සංකල්ප, අන්තර්ජාතික වශයෙන් සිදු වන වනජීවී අපරාධ වැළැක්වීමට ගෙන ඇති පියවර ආදිය පිළිබඳ පණිවුඩය ලෝක වනජීවී දිනය හරහා ලොවට ගෙන යා හැකිය. සෑම වසරකම එළැඹෙන මාර්තු මස 03 වැනි දිනය, එනම් ලෝක වනජීවී දිනය නම් කරන්නේ කාලීන වශයෙන් වැදගත් වූ තේමාවක් මුල් කර ගනිමිනි.

ලෝක වනජීවී දිනයට සමගාමී සැමරුම් දිනයන් තුළ තේමාවට විෂය වන කරුණු මුල් කර ගනිමින් විවිධ වැඩසටහන් දියත් කිරීම සිදු විය. මේ සියලු තේමාවන් ගොඩනැඟෙන්නේද කාලීන වශයෙන් වැදගත් වන විෂය කරුණු මුල් කරගනිමින්ය.

එකී තේමාවන්හි යටි අරුත වන්නේ සමස්ත වනජීවී ප්‍රජාවම විවිධ මානව ක්‍රියාකාරකම් නිසාවෙන් ලක්ව ඇති අවදානම් තත්ත්වයයි. සංවර්ධනය වන රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ සොබාදහමේ සුවපත් බව නසනු වස් සිදු වන මිනිස් ක්‍රියාකාරකම් අපමණය.

උදා වූ 2022 වසරේ ලෝක වනජීවී දින විෂය තේමාව බවට පත්ව ඇත්තේ "Recovering Key Species For Ecosystem Restoration" යන ඉංග්‍රීසි වහරේ සිංහල අරුථ වන "පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය සඳහා ප්‍රධාන විශේෂ ප්‍රතිසාධනය කිරීම" යන යෙදුමය. එය "ජීවී විශේෂ රැකගෙන පරිසර පද්ධති රැක ගනිමු" ලෙස සරල බසට ගළපා ගත හැකිය. ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය අතින් පොහොසත් රටකි. දකුණු ආසියාවේ ඉහළම ජෛව විවිධත්වයකින් අනූන රටක් වශයෙන් ප්‍රකට අප රට තුළ ව්‍යාප්ත භූමිය විවිධ සංවර්ධන කාර්යයන්හීදී නිසි පරිදි කළමනාකරණය කරමින් සැලසුම් ක්‍රියාත්මක කළ යුතුව ඇත.

ගොඩබිම වේවා, දිය තුළ වේවා සෑම ස්තරයකම වෙසෙන වනජීවී විශේෂ දහස් ගණනින් දෛනිකව මිනිසාගේ ආහාර, ඉඳුම්-හිටුම්, ශරීර සෞඛ්‍යය, රූපලාවණ‍යය, මෝස්තර, විනෝදාස්වාදය ආදි විවිධ කාර්යයන් සඳහා භාවිතයට ගැනීම සිදු වේ.

ලොව පුරා විසිරී සිටින සමස්ත වනජීවී ප්‍රජාවේ යහ පැවැත්ම සම්බන්ධයෙන් ගත් කල ලෝකය පුරා සිදු වන අනිසි මිනිස් ක්‍රියාකාරකම් වනජීවී සම්පත්වල ඉදිරි පැවැත්මට තර්ජනයකි. පාරිසරික සමතුලිතතාවයේ ප්‍රධාන භූමිකාව උසුලන්නේ වනජීවීන්ය.

එබැවින් වනජීවීන්ගෙන් ලෝකයට සිදු වන යහපත ගැන අවබෝධ කර ගෙන ඔවුන්ගේ දිගු කාලීන සංරක්ෂණය සඳහා සැවොම එක් වී කටයුතු කළ යුතු බව ලෝක වනජීවී දිනය හරහා ලොව පුරා ප්‍රචලිත කළ හැකිය.

මේ උදා වී ඇත්තේ වනජීවීන් අනිසි ලෙස භාවිතයට ගනිමින් සිදු වන විවිධ වු මානව ක්‍රියාකාරකම් අවම කරගනිමින් තිරසර සංවර්ධනයක් ඇති කිරීම පිළිබඳව ලෝක වාසී ජනතාවගේ අවධානය යොමු විය යුතු යුගයකි. රටක ගෞරවනීය පුරවැසියන් ලෙස අපත් ඒ සඳහා අවැසි දායකත්වය නොපිරිහෙලා ලබා දෙමු. අප රට සතු ජන්මයෙන් ලද දායාදයක් හා සමැ වූ සොබා සම්පත් සංරක්ෂණයට සැම විට කැප වෙමු. සොබාදහමේ නිත්‍ය නියෝජිතයින් වන වනජීවී සම්පත ආරක්ෂා කරමින් මිහිමත සොඳුරු නිවස්නයක් බවට අපේ රටත් පත් කරමු.

සඳමල් රශ්මි ශ්‍රී බුද්ධික
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - මාර්තු 03 ලෝක වනජීවී දිනය (Significance Of The Day - March 03 World Wildlife Day) දවසේ වැදගත්කම - මාර්තු 03 ලෝක වනජීවී දිනය (Significance Of The Day - March 03 World Wildlife Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 03, 2022 Rating: 5

0 comments:

Post a Comment