ඇස්ටෙක් ජනයාගේ නිශ්චිත මූලාරම්භයක් පිළිබඳව සටහනක් නොමැති නමුත් ඔවුන් ආරම්භ වී ඇත්තේ ඇස්ට්ලාන් වෙතින් පැමිණි උතුරු ගෝත්‍රයක දඩයම්කරුවන්ගෙන් යැයි විශ්වාස කෙරේ. ඇස්ටෙක්වරු "ටෙනොච්කා" (ඔවුන්ගේ අගනුවර වන ටෙනොච්ටිට්ලන් යන නම ආශ්‍රයෙන් සෑදී ඇත) හෝ "මෙක්සිකා" ලෙසද හදුන්වනු ලබයි. 13 වන ශතවර්ෂයේ මුල් භාගයේදී ඇස්ටෙක්වරු මෙසොඇමෙරිකාවට පැමිණෙන ලදී. ඔවුන් පැමිණියේ මීට පෙර එහි ආධිපත්‍යය දැරූ මෙසෝඇමරිකන් ශිෂ්ටාචාරයක් වන ටොල්ටෙක්වරුන්ගේ බිඳවැටීමෙන් පසුවය.
ටෙක්ස්කෝකෝ විලෙහි නිරිතදිග මායිම අසල භූමිය ඔවුන් පදිංචියට තෝරා ගන්නා ලදී. ඔවුන් එහි තිබූ මඩ වගුරු මත වගා කළ හැකි කෘතිම දූපත් ඉදිකල අතර ඒවායේ බඩ ඉරිඟු, බෝංචි, ස්කොෂ්, අර්තාපල්, තක්කාලි සහ අලිගැට පේර ආදිය වගා කළ බව කියැවේ. මීට අමතරව දඩයම සහ මත්ස්‍යයන් ඇල්ලීමද ඔවුන් සිදු කළ බව කියැවේ. ඔවුන් සතුව තිබූ මේ සාර්ථක නවීන කෘෂිකාර්මික ක්‍රම (වාරිමාර්ග ක්‍රමද ඇතුළුව) සහ ප්‍රබල හමුදාවත් මඟින් ඇස්ටෙක්වරුන්ට සාර්ථක රාජ්‍යයක් සහ ඉන් පසුව විශාල අධිරාජ්‍යයක් ගොඩනැගීමට හැකියාව ලැබුණි.
1428 දී ඇස්ටෙක්වරුන් ඔවුන්ගේ නායක ඉට්ස්කෝට්ල් යටතේ එකල එම කලාපයේ ඔවුන්ට සිටි බලවත්ම ප්‍රතිවාදීන් වූ ටෙපනෙක් පරාජය කිරීමට සහ ඔවුන්ගේ අගනුවර වන ඇස්කපොට්සාල්කෝව යටත් කර ගැනීමට තවත් ගෝත්‍ර දෙකක් වූ ටෙක්ස්කෝකාන් සහ ටකුබන් සමඟ ත්‍රිත්ව මිත්‍ර සන්ධානයක් ඇතිකර ගෙන කටයුතු කළ බව කියවේ. ඉන් පසු 1440 දී බලයට පත්වූ ඉට්ස්කෝට්ල්ගේ අනුප්‍රාප්තිකයා වූ මොන්ටෙසුමා ශ්‍රේෂ්ඨ රණශූරයෙක් වූ අතර ඇස්ටෙක් අධිරාජ්‍යයේ පියා ලෙසද ඔහු හදුන්වනු ලබයි. 16 වන ශතවර්ෂයේ මුල් භාගය වන විට ඇස්ටෙක්වරුන් කුඩා ප්‍රාන්ත 500 ක් පමණ සහ මිලියන 5 ත් 6 ත් අතර ජනතාවක් පාලනය කිරීමට සමත් වූ විශාල අධිරාජ්‍යයක් බවට පත් විය. එතරම් ප්‍රාන්ත ප්‍රමාණයක පාලනය ඔවුන් සතු කර ගත්තේ එක්කෝ යුද්ධ වලින් හෝ එසේත් නැතිනම් ඔවුන් සතු වූ ආර්ථික ශක්තියෙනි. ඔවුන්ගේ අගනගරය වූ ටෙනොච්ටිට්ලන්හි එහි බලයේ උච්චතම අවස්ථාවේදී වැසියන් 140,000 කට වඩා සිටි අතර මෙසෝඇමෙරිකා හි මෙතෙක් පැවති වඩාත්ම ජනාකීර්ණම නගරය බවට ඒ අනුව එය පත් විය.
ප්‍රධාන වෙළඳපල දිනවල 50,000 ක් පමණ දෙනා පැමිණි ටෙනොච්ටිට්ලන්හි පිහිටි ටෙටෙටොල්කෝ වැනි කඩිසර වෙළඳපොලවල් ඇස්ටෙක් ආර්ථිකය තවත් ශක්තිමත් කරන ලදී. ඇස්ටෙක් ශිෂ්ඨාචාරය ද සමාජීය, බුද්ධිමය හා කලාත්මකව ඉතා දියුණු විය. එය දැඩි කුල ක්‍රමයක් සහිත ඉහළ ව්‍යුහගත සමාජයක් විය. එහි ඉහළින්ම වංශාධිපතියන් සිටි අතර, පහළින්ම ගිවිසුම්ගත සේවකයින් සහ වහල් සේවකයින් විය.
ඇස්ටෙක් ඇදහිලි මායා ආගම වැනි අනෙකුත් මෙසෝඇමරිකන් ආගම් සමඟ බොහෝ දුරට සමාන විය. මිනිස් බිලි පූජා චාරිත්‍රය ඒ අතුරින් විශේෂ විය. ඇස්ටෙක් අධිරාජ්‍යයේ මහා නගරවල වසර ගණනාවක් පුරා ඇස්ටෙක් ඇදහිල්ලේ වැදගත් භූමිකාවන් රාශියක් ඉටු කළ දෙවියන් පිණිස ඉදි කරන ලද විශ්මය ජනක දේවාල, මාළිගා, ප්ලාසා සහ පිළිම සුලබ විය. ඇස්ටෙක් වරුන් ඔවුන් දෙවිවරුන් කෙරෙහි ඇති නොවරදින භක්තිය එමගින් මූර්තිමත් කළේය. ඇස්ටෙක් අගනුවර වූ ටෙනොචිට්ලන් හි පිහිටි මහා පන්සල වැසි දෙවියා වූ හියුට්සිලොපොච්ට්ලි පිණිස ඉදි කරන ලද්දකි. මේ ආකාරයට තවත් බොහෝ දේවල් ඔවුන් දෙවියන් පිණිස ඉදි කර ඇත.
මීට අමතරව ඇස්ටෙක්වරුන්ගේ දින දර්ශනය පදනම් වූයේ මෙසෝඇමෙරිකා හි බහුලව දක්නට ලැබෙන දින 365 ක සූර්ය චක්‍රයක් සහ දින 260 ක චාරිත්‍රානුකූල චක්‍රයක් මත ය. ඇස්ටෙක් සමාජයේ ආගම හා චාරිත්‍ර වාරිත්‍ර සඳහා දින දර්ශනය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ලදී.
මෙක්සිකානු භූමියට පැමිණි පළමු යුරෝපීයයා වූයේ 1517 මුල් භාගයේදී කියුබාවේ සිට යුකැටන් වෙත නැව් තුනක් සහ මිනිසුන් 100 ක් සමග පැමිණි ෆ්‍රැන්සිස්කෝ හර්නාන්ඩස් ඩි කෝර්ඩෝබා ය. ඔහු කියුබාවට නැවත ගොස් එහි සිටි ස්පාඤ්ඤ ආණ්ඩුකාර ඩියාගෝ වේලාස්කුවෙස්ට තොරතුරු වාර්තා කළ අතර ඉන් පසු ඔහු හර්නන් කෝර්ටෙස්ගේ නායකත්වය යටතේ විශාල හමුදාවක් මෙක්සිකෝවට ආපසු යවන ලදී.
1519 මාර්තු මාසයේදී කෝර්ටස් ටබස්කෝ නගරයට ගොඩ බැස්සේය. එහිදී ඔහු මහා ඇස්ටෙක් ශිෂ්ටාචාරය පිළිබද එහි සිටි ස්වදේශිකයන්ගෙන් අසා ඉගන ගන්නා ලදී. පසුව ඇස්ටෙක් අධිරාජ්‍යය තුළ ඒ වන විට තිබූ අස්ථාවරභාවයට ස්තූතිවන්ත වන්න කෝර්ටෙස්ට එහි ජනයා සමඟ මිත්‍රකම් ඇති කර ගැනීමට හැකි විය.
1519 නොවැම්බරයේදී කෝර්ටෙස් සහ ඔහුගේ පිරිස ටෙනොචිට්ලන් වෙත පැමිණි අතර එහිදී ඇස්ටෙක් නායකයා සහ ඔහුගේ ජනතාව ඇස්ටෙක් චාරිත්‍රයට අනුව ගෞරවනීය ලෙස මේ අමුත්තන් පිළිගන්නා ලදී. කෙසේ වෙතත් වහා ක්‍රියාත්මක වූ කෝර්ටෙස් සහ පිරිස ඇස්ටෙක් වරුන්ගේ නායකයා හා තවත් පිරිසක් ප්‍රාණ ඇපයට ගන්නා ලදී. සංඛ්‍යාවෙන් ඇස්ටෙක්වරුන් වඩා ඉහළ සංඛ්‍යාවක් තිබුණද ඔවුන්ගේ ආයුධ පහත් මට්ටමක පැවතිනි. ඉන් අනතුරුව ඔවුන් ඇස්ටෙක් වරුන් දහස් ගණනක් ඝාතනය කළ අතර ඔවුන්ගේ නායකයා අත්අඩංගුවේ දී මිය යන ලදී.
වසූරිය, සරම්ප වැනි යුරෝපීය රෝග ද දේශීය ජනතාවට එරෙහිව ප්‍රබල ආයුධයක් ලෙස ස්පාඤ්ඤ ජාතිකයින් යොදා ගත් අතර ඇස්ටෙක්වරුන්ට ඒවාට ප්‍රතිශක්තිය අඩු විය. කෝර්ටෙස් සමඟ ගමන් කළ ෆ්‍රැන්සිස්කානු නිකායේ මිෂනාරි පූජකයෙකු වසූරිය ඇස්ටෙක්වරුන්ට කර ඇති කරන බලපෑම පිළිබදව පැවසුවේ “ඔවුන්ගේ මිනී ගොඩ ගැසී තිබුනි. බොහෝ තැන්වල නිවසක සිටි සියල්ලන්ම මිය ගිය අතර, මියගිය විශාල පිරිස භූමදාන කිරීමට නොහැකි විය. ඔවුන්ගේ ගෙවල් ඔවුන්ගේ සොහොන් බවට පත් වී තිබේ. 1520 වන විට වසූරිය ටෙනොචිට්ලන් හි ජනගහනය වසරක් තුළ 40% කින් අඩු කර තිබුණි" ලෙසය.
කෙසේ හෝ ඔවුන්ගේ නව අධිරාජයයෙක් පත් වූ අතර ඔහු ස්පාඤඤවරුන් නගරයෙන් එලවා දැමීමට සමත් විය. එහෙත් ඇස්ටෙක්වරුන්ගේ ස්වදේශික ප්‍රතිවාදීන්ගේ සහාය ඇතිව, කෝර්ටස් ටෙනොචිට්ලන්ට එරෙහිව යළි ප්‍රහාරයක් දියත් කළ අතර අවසානයේ 1521 අගෝස්තු 13 වන දින නගරය අල්ලා ගැනීමට ඔවුන් සමත් විය.
එයත් සමගම ඇස්ටෙක් ශිෂ්ටාචාරයේ අවසානය සනිටුවහන් වූ අතර නගරය යටත් කර ගැනීමේ සටනින් පමණක් 240,000ක් පමණ දෙනා මිය ගිය බව කියැවේ. ඔහුගේ ජයග්‍රහණයෙන් පසු කෝර්ටස් ටෙනොචිට්ලා නගරය විනාශ කර දැමූ අතර එහි නටබුන් මත මෙක්සිකෝ නගරය ඉදිකරන ලදී. ඉන් පසු එය ඉක්මනින්ම නව ලෝකයේ ප්‍රමුඛතම යුරෝපීය මධ්‍යස්ථානය බවට පත්විය.
0 comments:
Post a Comment