ඉරිවේරිය [Iriweriya] (Plectranthus Hadiensis)

ඉරිවේරිය [Iriweriya] (Plectranthus Hadiensis) - Your Choice Way
ඉරිවේරිය මීටරයක් දක්වා උසට වැඩෙන මාංසල කඳක් සහිත බහුවාර්ෂික පැළෑටියකි. පඳුරක් ලෙස වැඩෙන මෙහි කඳ ගැට සහිතය.

පත්‍රවල දෙපසම සියුම් බූවක් පිහිටයි. කඳේ පහල කොටස්වලින් මුල් ඇදේ. පත්‍රයක් දිගින් සෙ.මි. සෙ.මි. 10 පමණ දිගින් සහ පළලින් යුත් සරල පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. පත්‍ර හැඩය තරමක් හෘදයාකාර ය. 

පත්‍ර දාරය සභංගය හෙවත් කඩතොලු සහිතය. පත්‍ර කප්පරවල්ලිය තරම් මාංසල නොවේ.

ඉරිවේරිය කොළ පොඩිකල විට ඒවායින් සුවඳක් නික්මෙයි. සිහින් ඒකාක්ෂ වල පිපෙන ළා නිල්පාට මල්

කුඩාය. ඉරිවේරිය Lamiaceae උද්භිද කුලයට අයත් දේශීය ශාක විශේෂයකි.

උණ, අතීසාරය, පාචනය, වමනය, උදරාබාධ, අධික පිපාසය, අක්මාවේ ආබාධ, දිවි මකුලු විෂ, සැරව ගෙඩි, හෘදයාබාධ ආදී රෝග තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමේදී ඉරිවේරිය සම්පූර්ණ ශාකයම යොදා ගනී.

තුන් හතර වතාවක් මල බුරුලෙන් ගිය විට හෝ පාචනය වූ විට ඉරිවේරිය හා ඉඟුරු තම්බා බීම ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයකි. 

දේශීය වෛද්‍ය ක්‍රමයේදී අජීර්ණය නිසා හටගන්නා පාචන හා අතීසාර රෝග වලට ඉරිවේරිය ශාකය සහමුලින්ම ගෙන මිරිකා ගත් යුෂ බඳුනට ගිනියම් කරන ලද යකඩ කැබැල්ලක් ඔබා, යුෂ පැසී නිවුණ පසු මී පැණි මිශ්‍ර කොට යෝග්‍ය මාත්‍රාවකින් දෙනු ලැබේ. 

උදරාබාධ හා අතීසා ර රෝගාබාධ වලදී දෙනු ලබන “මාතූර්භද්‍රක“ හා“පංචභද්‍රක“ යන කෂායවල් සඳහා ඉරිවේරිය ගනු ලැබේ. ඉරිවේරිය කොළ කොටා කඩපිම්මේ තම්බා මිරිකා ගත් පසුව මී පැණි දමා නවරත්න කල්කය සමඟ බීම වමනයට හා බඩ බුරුලෙන් යාමට සුදුසුයි.

වමනයට තවත් ගුණ දෙන ඔසුවක් වනුයේ ඉරිවේරිය මුල් කෂාය කර බීමයි. මෙම සම්පූර්ණ ශාකයම ඔසු පිණිස ගනී.

අමාශගත රෝගවලට ඉරිවේරිය
අජීර්ණ ,අතීසාර සඳහා මහඟු ඔසුවකි. වමනය, පිපාසය හා උණට ගුණයි. කාලීන අක්මා රෝග සුව කරයි. ඉරිවේරිය සම්පූර්ණ පැළෑටියම ඖෂධ පිණිස ගනී.

ඉරිවේරිය අත් බෙහෙතක් ලෙස නා නා ලෙඩ රෝගවලට උපකාර වන බව ගැමි ප්‍රජාව තුළ ප්‍රචලිතය. සෑම ගැමි ගෙදරක ම ඉරිවේරිය ඉඟුරු, කහ සේම ජනපි‍්‍රය ඔසුවක් ලෙස වවා ඇත.

ඉරිවේරිය කොළ කොටා කඩපිම්මේ තම්බා මිරිකා ගත් පසුව මී පැණි දමා නවරත්න කල්කය සමඟ බීම වමනයට හා බඩ යාමට සුදුසුයි. වමනයට තවත් ගුණ දෙන ඔසුවක් වනුයේ ඉරිවේරිය මුල් කෂාය කර බීමයි.

ඉරිවේරිය දඬු සිහින්ව ඉරාගෙන වේලා මැටි බඳුනක දමා තවත් මැටි බඳුනකින් වසා, වටේ මැටි බඳ පුළුස්සා ගත් අළු ආලේප කිරීම සුදු කබරවලට කරන ප්‍රතිකර්මයක් ලෙස පැරැන්නන් විශ්වාස කළ අත්දුටු බෙහෙතකි. ඉරිවේරිය කොටා මිරිකා ගත් යුෂ බෝතලයකට සීනි ග්‍රෑම් 850 ක් වන්නට දමා, පදමට උණු කර ගත් පැණිය වරකට තේ හැන්ද තේ හැඳි 2 බැගින් බීමට දීම ග්‍රහණිය හා අතීසාරයට ගුණ දෙන බව කියැවේ. මෙය අජීර්ණය, බඩේ කැක්කුම හා අරුචියටත් ගුණ දෙයි.

අමු ඉරිඟු, ඉරිවේරිය එක සමානව ගෙන කොටා, ඉස්ම පත භාගයක් ගෙන එයට යකඩ ඇණයක් රත්කර දමන්න. එය නිවුණු පසු මී පැණි හැන්දක කලවම් කර පානය කරන්නට දීමෙන් අරුචිය, බඩේ වේදනාව හා අජීර්ණය සනීප වේ. කලාඳුරු අල, පත්පාඩගම්, සැවැන්දරා, රත්හඳුන්, ඉරිවේරිය, වියළි ඉඟුරු මේවා සමව ගෙන තම්බා ගත් ජලය සිසිල් වූ පසු වරින්වර උණ රෝගියෙකුට පානයට දීම සුදුසුය.

මීටර් 1 – 2 පමණ උසට වැවේ. කඳෙහි පහළ කොටසින් මුල් හට ගනී. පත්‍ර පළල්ය. කප්පරවල්ලිය තරම් මාංසල නොවේ. යට පැත්තේ තෙල් ගෝලිකා තිත් ඇත. කඳ හා පත්‍ර යටි පැත්ත රතු, දම් පැහැයක් ගනී. ලා නිල් පැහැ මල් සහිත මල් පොකුරු කඳේ අග්‍රයෙහි හට ගනී.

ළපටි අතු කැබලි මගින් ඉතා පහසුවෙන් බෝ කර ගත හැකි ශාක විශේෂයක් වන මෙය, සිසිල හා තෙතමනය පි‍්‍රය කරයි. බොහෝ විට අමුවෙන් ගන්නා හෙයින් අස්වනු නෙළූ විගස භාවිතයට ගැනීම හොඳයි. සමහර ඖෂධ සඳහා වියලූ කොළ බෙහෙතට ගනී.

දේශීය අතීසාර චිකිත්සාවේ දී යෙදෙන ගුලි, කල්ක සඳහා වන අනුපානවල ප්‍රධාන උපාදායක් වන ඉරිවේරිය මහඟු ඖෂධීය ගුණ ප්‍රකට කරයි. එසේම වමන, අජීර්ණ, මන්දාග්නි වැනි අතීසාර අවස්ථා ජනිත ආබාධයන්හි විශේෂ ගුණයක් අපේක්‍ෂාවෙන් ඉරිවේරිය සහිත යෝග යොදනු ලබයි. මෙය දේශීය වෛද්‍ය ක්‍රමයේදී පාරම්පරිකව භාවිත වන ඖෂධයකි. සන්නි යෝග, චිකිත්සාවේදීත් ඉරිවේරිය අඩංගු දළු අනුපාන හා කෂාය වර්ග යොදනු පෙනේ. පොතපතේ සඳහන් වන පරිදි ඉරිවේරිය යොදා ගනුයේ ශශ්‍රී බෙර නම් ඉන්දියානු ඖෂධයක් වෙනුවෙන් බවයි.

ස්වර්ණා ආරියවංශ

මූලාශ්‍ර ඖෂධීය ශාක සංග්‍රහය

ඉරිවේරිය [Iriweriya] (Plectranthus Hadiensis) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඉරිවේරිය [Iriweriya] (Plectranthus Hadiensis) ඉරිවේරිය [Iriweriya] (Plectranthus Hadiensis) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2021 Rating: 5

0 comments:

Post a Comment