Your Choice Way

වන්නිය හා පුරාණ යාපනය රාජධානිය... (Wanniya Saha Yapanaya)

වන්නිය හා පුරාණ යාපනය රාජධානිය... (Wanniya Saha Yapanaya) - Your Choice Way
(ක්‍රි.ව. 1215 – 1619) ආර්ය චක්‍රවර්ති රාජ්‍ය ලෙසද හදුන්වයි. වර්ථමාන ශ්‍රී ලංකාවේ උතුරේ තිබුණු එය ඉන්දියාවේ කාලිංග දේශයෙන් පැමිනි මාඝගේ ආක්‍රමණයෙන් පසුව පැවත එන්නේය. ඉන්පසුව 1250 දී ප්‍රවේණි ගත රාජ්‍යයක් විය. පසු කළේක පාණ්ඩ්‍යය අධිරාජ්‍යය කැබලි වු පසු ස්වාධීන රාජ්‍යයක් බවට පත්විය. අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍ය යටත්ව සිටියදී මෙම රාජ්‍ය 14 වන සියවසේ මුල සිට මැද භාගය දක්වා ශ්‍රී ලංකාවේ නැගි එන බලවතෙක් වී සිටියේය. කෙසේ නමුදු 1450 දී තරගකාරී කොට්ටේ රාජධානියට යටත් විය.

1467 දී එය නැවතත් නිදහස් විය. ඉන්පසු බලයට පත් වු පාලකයන් මුතු, ඇතුන්, වෙළදාම මෙන්ම ඉඩම් වල ආදායම් උපරිම තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරමින් ආර්ථික තත්ත්වය තහවුරු කරගැනීමට කටයුතු කළහ. එකල ශ්‍රී ලංකාව තුල තිබුණු අනිත් රාජ්‍යයන් සමග සසදන විට ඉතා අඩුවෙන් වැඩවසම් ක්‍රමය ක්‍රියාත්මක වුයේ මෙම රාජ්‍යය තුළයි. මෙම කාලය තුල ප්‍රාදේශිය වශයෙන් දෙමළ සාහිත්‍යයක් බිහිවුනු අතර භාෂා සංවර්ධන ආයතනයක් ද ඇතුලුව හින්දු කොවිල් ද ගොඩ නැගුණි.

1505 දී පෘතුගිසීන් ශ්‍රී ලංකාවට පැමැණියහ. අභ්‍යන්තර සිංහල රාජ්‍යයන් දකුණු ඉන්දියාව හා සම්බන්ධ වුයේ පොක් සමුද්‍ර සන්දිය හරහාය. පොක් සමුද්‍ර සන්දිය යුද්ධ උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් ස්ථානයකි. ඒ තුල ලංකාව පිහිටා තිබීමෙන් දේශපාලනික අර්බුදයක් නිර්මාණය විය. බොහෝ රජවරු එකිනෙකා හා ගැටුණු අතර අවසානයේ පෘතුගිසීන් සමග සමාදානයෙන් කටයුතු කළහ. 1617 දී යාපනය රාජ්‍යයට උරුම කරුවෙකු නොවු 2 වන සංගිලි පෘතුගිසීන් හා ගැටුනේය. සංගිලි පරාජය විය. එයින් පසු එතෙක් එහි පැවති ස්වාධීනත්වය 1619 දී නිමාවට පත්විය.

මුල්කාල පරිච්ජේදය....
රාජ්‍යයේ ආරම්භය පිලිබදව ආරංචි නැත. ඒ පිලිබද ඉතිහාසඥයින් අතර තාමත් වාද විවාද පවතී. පැරණි සිංහල රජ සමයේ උත්තර දේශයේ (ශ්‍රී ලංකාවේ උතුරු පෙදෙස්) ස්වාධීන රාජ්‍යයක් පැවතුණ බව සමහර ඉතිහාසඥයන් විශ්වාස කරති.

ප්‍රධාන ප්‍රවාහයේ ඉතිහාසඥයින් අතරින් කේ.එම්. ඩි. සිල්වා සහ කාර්තියෙසු ඉන්ද්‍රපාල වැන්නවුන් ප්‍රධාන වශයෙන් පිලිගන්න කරුන නම් ආර්යචක්‍රවර්ති රාජ්‍ය ආරම්භ වුයේ මාඝ නැමති ආක්‍රමනිකයාගෙන් පසුව බවයි.

මාඝ වර්තමාන ඉන්දියාවේ කාලිංග නම් ප්‍රදේශයෙන් පැමිණි අයෙකි. ඔහු එකල රජු වශයෙන් සිටි පරාක්‍රම පණ්ඩු රජු පහකොට ඔහුගේ සහචර සොල්දාදුවන් සහ කොල්ල කරුවන් සමග විනාශ කිරීම් මාලාවක් ආරම්භ කළහ. මොවුහු වර්ථමාන ඉන්දියාවේ කේරළ සහ දමිළ ප්‍රදේශ වු කාලිංගයෙන් පැමිනි අයයි.

රජරට විනාශ කිරීමෙන් පසුව ඔහු තම අගනුවර යාපනයට ගෙන ගියේය. අනතුරුව ඉන්දියාවේ වර්ථමාන තමිල් නාඩුවේ ‘තන්ජේර්’ චෝල අධිරාජ්‍යයට කප්පම් ගෙවු යටත් රාජ්‍යයක් ලෙස තම රාජ්‍යය පත්වා ගෙන ගියේය. මෙම කාලයේදී (1247) මැලේ ජාතික අධිපතියෙකු මෙන්ම මුහුදු කොල්ලකරුවෙකු වු චන්ද්‍රබාහු නැමැත්තෙක් තාමු ලිංගයෙන් පැමිණ දේශපාලන වශයෙන් කැබලි වී තිබු දිවයින ආක්‍රමණය කළේය.

දඹදෙණියේ 2වන පරාක්‍රමබාහු රජුට (1236 – 1270) මෙම ආක්‍රමණය ව්‍යවර්ථ කෙරීමට හැකි වුවද චන්ද්‍රභානු යාපනයට ගොස් (1255 දී පමණ) මාඝ ගෙන් කිරුළ ආරක්ෂා කර ගත්තේය. මෙම සිද්දිය දකුණු ඉන්දියාවේ පණ්ඩ්‍ය අධිරාජ්‍යයට මැදිහත් වීමට කරුණක් වු අතර චන්ද්‍රභානු 1258 දී පාණ්ඩ්‍යය අධිරාජ්‍යයට යටත් විය.

දෙවැනි වරට දකුණු ප්‍රදේශය ආක්‍රමනය කිරීමට චන්ද්‍රභානු නැව් නැගුණු නමුදු එම අවසුථාවේදී පාණ්ඩ්‍යයන් නැවත වරක් සිංහල රජුගේ ආරක්ෂාව පිණිස පැමිණියහ. ඔව්හු 1262 දී චන්ද්‍රභානු මරා එම ආක්‍රමණ නිසා පාණ්ඩ්‍ය දුර්වල වු විට ආර්ය චක්රවර්තිගෙන් පසු බිහි වු රජවරු යාපනය ස්වාධීන රාජ්‍යයක් කරගත් අතර ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය බලවෙතකු බවටද පත් විය.

රජ පෙළපත විරුදාවලී කීපයකට හිමිකම් කීවේය. ඒවා නම්
සේතුකාවලන් - (තේරුම - රාමේශ්වරම් කෝවිලේ ආරක්ෂක භාරකාර )
සින්ගයි අරියන් - (සින්ගයි නගර් නමැති නගරයෙන් නල්ලුර් අගනුවරට වෙනත් යමකි.)
ගංගෙයි නාදන් - (ගංගා පෙළපත හෝ ගංගා නම් නදී ආශ්‍රිත ප්‍රදේශයේ සමුබවය වු බවට)
යනාදී ඒවා වේ. දේශපාලනමය වශයෙන් මෙය 13,14 ශත වර්ෂ වලදී කප්පම් ගෙවු ප්‍රදේශයේ රාජ්‍යයන් කීපයක් සහිත ව්‍යාප්ත බලයෙන් යුත් එකක් විය. කෙසේ වෙතත් එය දකුණු ඉන්දීයාවේ විජය නගර් අධිරාජ්‍යය සහ කොට්ටේ රාජ්‍යය සමග එක පිට ගැටුම් ඇති කර ගත්තේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් විජය නගර් අධිරාජ්‍යයට මෙන්ම 1450 – 1467 දක්වා කාලය තුල කෝට්ටේ රාජ්‍යයටද යටත් දාසයෙකු ලෙස කටයුතු කිරීමට එම රාජ්‍යයට සිදු විය.

කෝට්ටේ රාජ්‍යය සහ විජය නගර් අධිරාජ්‍යයේ බලය පිරිහීමෙන් පසු මෙම රාජ්‍යය නැවතත් ප්‍රතිෂ්ඨාපනය විය. එය දකුණු ඉන්දියාවේ තර්ජෝන් රාජ්‍ය සමගද මහනුවර රාජ්‍යය සහ කොට්ටේ රාජ්‍යයෙන් බෙදුණු කොටස් සමගද සමීප සබදතා ගොඩ නගා ගත්තේය. මෙම කාලය තුල හින්දු කෝවිල් තැනුනු අතර දෙමළ සහ සංස්කෘත සාහිත්‍යයෙන්ද පිබිදීමක් ඇතිවිය.

ආගම්....
ලංකාවේ ශිව දෙවියන් ඇදහීම පිළිබඳ ඉතිහාසය ඉන්දියාවෙන් පැමිණි පදිංචිකරුවන්ගේ මුල් යුගය දක්වා අඛණ්ඩව පවතී. බුද්ධාගමේ ඇදහිලි පුද පූජා සිරිත් තුළ හින්දු ඇදහිලි ද පෘථුල ලෙස අඩංගු වී ඇත. දිවයිනේ චෝල පාලනය පැවති 9 සහ 10 සියවස්වල හින්දු ආගමට දිවයිනේ නිල ආගමේ තත්වයක් ලැබී තිබුණි. චෝලවරුන්ගේ පාලනයෙන් පසු පැමිණි කාලිංග මාඝ හින්දු ආගමේ පුණර්ජීවනය සම්බන්ධයෙන් කටයුතු කළ තැනැත්තෙක් ලෙසට සමකාලීන දේශීය ලියවිලිවල සඳහන් වේ.

යාපනය රාජධානිය පැවති කාලයේ රාජ්‍ය ආගම ලෙස ශිව ආගමට විශේෂ වරප්‍රසාද හිමි විය. ඉන්දියානු හින්දු ආගමේ වැදගත් පූජනීය ස්ථානයක් වූ රාමේශ්වරම් කෝවිලට තම රජ පරපුරේ මුතුන් මිත්තන් දැක් වූ අනුග්‍රහය නිසා ආආර්ය චක්රවර්තී රජවරුන්ද ශිව ලබ්ධිකයින් වශයෙන් තමන්ගෙන් එම කෝවිලට ඉටු විය යුතු යුතුකම් ගැන මනා අවධානයකින් සිටියහ.

සටහන් වී ඇති පරිදි රජවරුන්ට ලැබී ඇති නම්බු නාම වලින් එකක් වන්නේ 'සේතුකාවලන්' යනුයි. එහි තේරුම 'සේතු' හි ආරක්ෂකයා යන්නයි. 'සේතු' යනු රාමේශ්වරම් හැඳින්වෙන තවත් නමකි. රජ පරපුරේ ලකුණක් ලෙස ඔවුන්ගේ කාසි වල සහ ලේඛණ වලද 'සේතු' යන්න පාවිච්චි කර තිබේ.

කෝට්ටේ රාජධානිය වෙනුවෙන් යාපනය පාලනය කළ (සෙම්බපෙරුමාල් නමින්ද හැඳින්වෙන) සපුමල් කුමරු, නල්ලූර් කන්දසාමි කෝවිල ප්‍රතිසංස්කරණය කිරීම හෝ එය ගොඩනැංවීම කළ පුද්ගලයා වශයෙන් ගෞරවයට පාත්‍ර වේ. සත්තනාතර් කෝවිල, වෛකුන්ත පිල්ලේයාර් කෝවිල, සහ වීරකාලි අම්මාන් කෝවිල ආදී කෝවිල් ඉදිකිරීම් සම්බන්ධයෙන් සින්ගෙයි පරරාජසේකරම් ද සම්මානයට බඳුන් වේ. ඔහු යමුනෙරි නමින් පොකුණක් තනවා ඉන්දියාවේ ජනතාව පූජනීය ලෙස සලකන යමුනා නදියෙහි ජලයෙන් එය පිරවූයේය.

ප්‍රධාන කෝවිල් සාමාන්‍යයෙන් නඩත්තු කරන ලද්දේ රජු විසිනි. එහි සේවය කරන්නන්ට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වැටුප් ගෙවණු ලැබීය. මෙම සිරිත ඉන්දියාවේ හෝ ලංකාවේ සෙසු පළාත්වල ක්‍රියාත්මක නොවූවකි. මේ කියන පූජනීය ස්ථාන ස්වාධීන පැවැත්මක් ඇති ඉඩ කඩම් හා සම්බන්ධ ආදයම් මාර්ග තිබුණු ආයතන විය.

බොහෝ දෙනාගේ ප්‍රධාන දෙවි වූයේ ශිවයි. ලිංගම් නොහොත් ශිව ලිංගය ශිවගේ විශ්ව සළකුණයි. පූජනීය ස්ථානවලදී එයට වැඳුම් පිදුම් කෙරෙන්නේය. දේව මණ්ඩලයේ සිටින අනෙක් හින්දු දෙවි දේවතාවියන් වන මුරුගන්, පිල්ලේයාර් සහ කාලිට ද වැඳුම් පිදුම් කරනු ලැබේ. දකුණේ සිංහලයින් විසින්ද කන්නගි දේවියට මහත් ලෙස ගරු සරු දක්වති. ඒ සමගම ගම් මට්ටමින් දෙවිවරු ඇදහීමද ජනප්‍රිය ලක්ෂණයකි. යක්ෂ භූතාදීන් සහ යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳ විශ්වාසය ද දකුණු ආසියාවේ සෙසු පෙදෙස්වල මෙන් පැවතුණේය.

රාජධානිය තුළ බොහෝ ප්‍රමාණයක් හින්දු කෝවිල් තිබුණි. කලාපය පුරා විසිරී තිබුණු සියගණනක් තවත් කෝවිල් සමග ඓතිහාසික වැදගත් කමෙන් යුක්ත ත්‍රිකුණාමලය කොනේශ්වරම්, මන්නාරමේ කේතිශ්වරම් කෝවිල, කීරමලේ නගුලේශ්වරම් කෝවිල වැනි කෝවිල්ද තිබුණි. පුද පූජා කටයුතු සහ උත්සව ආදි‍යේ සුළු වෙනස්කම් හැරුණු විට වර්තමාන දකුණු ඉන්දියාවේ කෙරෙන ඒවා හා සමානය.

ශිව පූජකවරුන්ගේ දෙමළ ආගමික ගීතිකා වන්දනාමාන කිරීමේදී යොදා ගනු ලැබේ. අප්‍රේල් මාසයේ මැද යෙදෙන හින්දු අළුත් අවුරුද්ද උත්සවශ්‍රීයෙන් සමරණු ලබන අතර නවරාත්‍රී, දීපවාලී, ශිවරත්රි සහ තෛපොංගල් ආදී උත්සව ද, විවාහ මරණ සහ වැඩිවියට පත්වීම පිළිබඳ උත්සව ද එදිනෙදා ජීවිතයේ අංගයන් විය.

සාහිත්‍යය...
රජ පෙළපත්වල රජවරු සාහිත්‍ය කටයුතුවලට සහ අධ්‍යාපනයට අනුග්‍රහය දැක්වූහ. කෝවිල්වල තිබුණු පාඨශාලා වලින් සහ සාම්ප්‍රදායික (තින්නෛ පල්ලිකූඩම් යනුවෙන් දෙමළෙන් හැඳින්වෙන) ගුරුකුලම් ආයතනවලින් දෙමළ හා සංස්කෘත භාෂා සහ ආගම් පිළිබඳ මූලික දැනුම සමාජයේ ඉහළ පන්ති සඳහා බෙදා දෙන ලදී. ජයවීර සිංගයිඅරියන්ගේ පාලන කාලය තුල වෛද්‍ය විද්‍යාව ගැන කෘතියක් ද (සේගරාජසේකරම්) ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය ගැන ද (සේගරාජසේකර මාලෙයි) සහ ගණිතය ගැන ද (ගණකාධිකාරම්) වැනි කෘතීන් කරිවයියා විසින් කරනු ලැබීය.

ගුණවීර සිංගයි අරියන්ගේ පාලන සමයේදී වෛද්‍ය විද්‍යාව ගැන 'පරරාජසේකරම්' නැමැති කෘතියක් නිම කරන ලදී. සින්ගයි පරරාජසේකරම්ගේ කාලයේදී දෙමළ භාෂාව ව්‍යාප්ත කිරීම සඳහා පුරාණ දෙමළ සංගම් ආකෘතිය අනුව අද්යාපන ආයතනයක් නල්ලූර්හිදී ආරම්භ කරන ලදී. මෙම ආයතනයෙන් පුරාණ දෙමළ කෘතිවල අත්පිටපත් එකතු කර සංරක්ෂණය කිරීම වැනි ඉතා වැදගත් කාර්යයක් ඉටු විය. එම කෘතීන් සරස්වතී මහල් නම් වූ පුස්තකාලයක තැන්පත් කරන ලදී.

සිංගයි පරරාජසේකරම්ගේ ඥාති සහෝදරයා වූ අරසකේසරී සංස්කෘත සම්භාව්‍ය ග්‍රන්ථයක් වූ රඝුවංශය දෙමළට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ගෞරවයට පාත්‍ර වේ. යුරෝපීය යටත් විජිත වාදීන් පැමිණීමට පෙර සකස් කරන ලද අනෙකුත් ඓතිහාසික වැදගත්කමක් ඇති ශාස්ත්‍රීය කෘතීන් අතරින් වෛයපුරි අයියර් විසින් ලියන ලද “වයියපවල්” නම් කෘතිය ඉතා ප්‍රසිද්ධ එකකි....

යාපන කොටුවෙන් හමුවූ ඉපැරැණි මැටි බඳුන් කියන රහස්........
පෘතුගීසින් ලංකාව ආක්‍රමණය කරන විට ලක්දිව කෝට්ටේ, මහනුවර හා යාපනය වශයෙන් ප්‍රධාන රාජධානි තුනකට දේශපාලනිකව බෙදී පැවතිණ. යාපනය රාජධානිය තුළ යටත් විජිත පාලන සමයේදී විශේෂ වූ සමාජ සංස්කෘතික වෙනස්කම් සැලකිය යුතු ප්‍රමාණයක් යාපන වැසියන් වෙත අවශෝෂණය විය. පෘතුගීසි වාර්තා, පැරණි මූලාශ්‍ර, සිංහල දෙමළ සෙල්ලිපි හා කාසි මගින් යාපනය රාජධානිය පිළිබඳව වැදගත් තොරතුරු රාශියක් ගෙනහැර දක්වයි. යාපන අර්ධද්වීපය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ආසන්නයේ පිහිටා තිබිම හේතුකොට යාපන ප්‍රදේශය වෙත සංස්කෘතික බලපෑම් ඉතා වේගයෙන් සම්බන්ධවිමේ ප්‍රවණතාවක් පවතී. මෙම ලිපියේ අරමුණ වන්නේ යාපන කොටුව තුළ මෑත දී සිදුකළ පුරාවිද්‍යාත්මක කැණීම් මඟින් ලැබී ඇති ප්‍රතිඵල විස්තර කිරීම සහ එහි කතෝලික දේවස්ථානය සංචාරක ආකර්ශනයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ ඇති වැදගත්කම විස්තර කිරීමයි. 

පෘතුගීසි ආක්‍රමණය සමඟ එම පාලන කාලය තුළදී යාපන අර්ධද්වීපයේ පැවති හින්දු, බෞද්ධ ආගමික ස්ථාන, පරිපාලන මධ්‍යස්ථාන, ජනාවාස ඇතුළු තවත් බෝහෝ උරුම අංග රාශියක් විනාශයට පත්විය. මෙහි ප්‍රතිඵලය වූයේ පෘතුගීසින් ඇතුළු යටත් විජිතවාදි යුරෝපීය ජාතික ලන්දේසි සහ ඉංග්‍රීසි පාලකයන් විසින් තම පරිපාලනය පහසුවෙන් ගෙනයාම සඳහා අවශ්‍ය ආගමික ස්ථාන පරිපාලන මධ්‍යස්ථාන, ජනාවාස ඇතුළු ඒ ඒ රටවල ගෘහ නිර්මාණ ශිල්පීය සම්ප්‍රදායයන් පිළිඹිඹු කරන ස්ථාන කරනු ලැබීමය. එම නව ගොඩනැගිලි බොහෝ වශයෙන් පැරණි වාස්තුවිද්‍යා ගොඩනැගිලි විනාශ කිරීමෙන් පසුව එම භූමිය මත ඉදිකරන ලදී. මෙවැනි සමාජ වෙනස්වීමේ පසුබිම සමඟ යාපන අර්ධද්වීපය තුළ කතෝලික සහ ප්‍රොතෙස්තන්න ආගමික පරිසරයක් සහ යාපන වැසියන්ගේ ජීවන ශෛලිය තුළ අධ්‍යාපන, භාෂාව, කලාව, උත්සව ආදියේ වෙනස්කම් සහිත දැවැන්ත පරිවර්තනයක් ඇතිවිය. 

ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ යුරෝපීය ජාතිකයන් විසින් බලකොටු ඉදිකිරිම සිදුකරන ලදී. එය විස්මයජනක සුවිශේෂී වාස්තුවිද්‍යාත්මක නිර්මාණ ලෙස දැක්විය හැකිය. 

ක්‍රි.ව. 1600-1700 පමණ වන විට ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම විසින් ලංකා වෙරළ තීරය වටා මෙම බලකොටු සැළසුම් කරන ලදී. මෙම බලකොටු නිර්මාණය මගින් ලන්දේසි යටත් විජිත පාලනය අපේක්ෂා කළේ මධ්‍ය කඳුකරයේ සිංහල රාජ්‍යයෙන් සහ බ්‍රිතාන්‍ය තර්ජනයෙන් ආරක්ෂා වීම සඳහා ඔවුන්ට විරුද්ධව නැගී එන බලපෑම්වලින් ආරක්ෂා වීමටය. තවද, ආනයන - අපනයන වෙළෙඳ කටයුතු ආරක්ෂාකාරීව සිදුකිරීමට මෙම බලකොටුව ඔවුන් යොදාගෙන ඇත. 

මෙම සමාජ හා සංස්කෘතික පරිවර්තනය තුළ යාපන කොටුව නිර්මාණය වීම වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. මෙය යාපන නගරයේ සිය දකුණුදිග වෙරළ යාබද වූ කලපුව ආසන්නයේ පිහිටා ඇත. ක්‍රිස්තු වර්ෂයෙන් 1618 දි පෘතුගීසින් විසින් ප්‍රථම වරට චතුරස්‍රාකාර හැඩයකින් යුතුව මෙය ඉදිකරන ලදි. පසුව 1658 දී ලන්දේසීන්ගේ ආක්‍රමණය සමඟ යාපන කොටුව පංචාස්‍ර හැඩයක් සහිත නව මාදිලියකින් විශාල කොට ඉදිකරන ලදී. බ්‍රිතාන්‍ය පාලන සමයේ දී ලන්දේසි කොටුව සඳහා වු වාස්තුවිද්‍යා ආකෘතිය සඳහා සමහර වෙනස්කම් සිදුකරන ලදී. 

අක්කර 62කින් සමන්විත මෙම කොටුවේ පිට පවුර අඩි 30ක් පමණ උසකින් යුක්ත වේ. ඊට අදාළ බිත්තිවල පතුළ අඩි 40ක පමණ ගනකමකින් යුක්තය. කොටුව වටා ගමන් කරන ගැඹුරු දිය අගල, අාරක්ෂක අට්ටාල, නිරික්සුම් කුලුන, වෙඩි තැබීම ස්ථාන ආදිය මෙහි කැපිපෙනෙන වාස්තු විද්‍යා ලක්ෂණ ලෙස දැක්විය හැකිය. ඉහත අංග ද ඇතුළුව සතුරන් ඉතා පහසුවෙන් නිරීක්ෂණය කිරිම සඳහා පිට බිත්ති සකස් කිරීමේ දී ඉහළ සිට පහළට ඇළ වූ ස්වභාවයකින් ඉදිකර ඇත. එබැවින් යටත්විජිත ඉතිහාසය තුළ යාපනය කොටුව සඳහා වැදගත් ස්ථානයක් හිමි වේ. එය වූ කලී යටත් විජිතවාදී ක්‍රියාදාමය හේතුකොටගෙන ආසියාව තුළ ඉදිකරන ලද විශාලතම බලකොටු අතරින් එකක් ලෙස සැලකිය හැකිය. 

පරිපාලන මධ්‍යස්ථානය, යුදමය භටාගාර, ප්‍රොතොස්තන්ත දේවස්ථාන, රජයේ ගොඩනැගිලි, බන්ධනාගර සංකීර්ණ සහ අනෙකුත් ගොඩනැගිලි ආදිය මෙහි දක්නට ඇත.. විශේෂයෙන් පෘතුගීසි වාර්තා අනුව යාපන කොටුවේ සිට සැතපුම් දෙකක් පමණ දුරස්ථ ප්‍රදේශයක සිට මුරභට සේවා ස්ථාන පිහිටුවා තිබූ බව වාර්තා වේ. මෙයින් තහවුරු වන්නේ යාපන කොටුව පරිපාලන සහ යුදමය යන ද්විත්ව ක්‍රියාකාරී මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වූ බවයි. පසුගිය තිස් අවුරුදු යුදමය වාතාවරණය හේතුකොටගෙන යාපන කොටුවේ පිටත පෙනුම මෙන්ම කොටුව අභ්‍යන්තරයේ වූ ගොඩනැගිලි විනාශයට පත්විය. යුදමය තත්ත්වය අවසන් වීමෙන් පසු යාපන කොටුවේ පිටත පෙනුම සංරක්ෂණය කිරීම නෙදර්ලන්තය රජයේ ආධාර යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පසුගිය කාලයේදී වැඩකටයුතු සම්පූර්ණ කෙරී තිබේ. කෙසේ වෙතත් කොටුව අභ්‍යන්තරයේ වූ ගොඩනැගිලි යුද්ධයෙන් විනාශ වූ පසු සංරක්ෂණ කටයුතු ආරම්භ නොවි පැවතුණි.

ස්මාරක හා ගොඩනැගිලි අධ්‍යයනය යාපනය කොටුව ඇතුළු තදාශ්‍රිත ප්‍රදේශය තුළ සිදුවී තිබුණද සංස්කෘතික ඉතිහාසය පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යයන කටයුතු ඉතා අවම මට්ටමක පැවතුණි. එහෙත් කන්තරෝදෙයි, මාන්තායි, පොම්පරිප්පු යන ස්ථානවල පුරාවිද්‍යා කටයුතු සිදුවී තිබුණත් සවිස්තරාත්මක වාර්තා ප්‍රකාශයට පත්​ නොවීම බලවත් අඩුවක් ලෙස පවතී. රඝුපති විසින් සිදු කෙරුණු භූදර්ශනය සමීක්ෂණය අනුව ස්ථානීය ව්‍යාප්තිය ආනයනය කළ මැටි බඳුන් ඇතුළු කාලානුක්‍රමික අනුපිළිවෙල පිළිබඳ සැලකියයුතු අවබෝධයක් ලබාදීමට සමත් වී අැත. 

සංස්කෘතික අනුපිළිවෙළ විමර්ශනය කිරීම සහ පශ්චාත් අාපදා තත්ත්වය තේරුම් ගැනීඹ සඳහා වූ පුරාවිද්‍යාත්මක කැණීම් කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල, බ්‍රිතාන්‍යයේ ඩරම් විශ්ව විද්‍යාලය සහ යාපනය විශ්ව විද්‍යාලය සම්බන්ධීකරණය මගින් ​ෙකාටුව අභ්‍යන්තරයේ යුදමය තත්ත්වය නිසා විනාශයට  පත්ව ඇති කතෝලික දේවස්ථානය, ජන වාසස්ථානය සහ බන්ධනාගාර ගොඩනැගිල්ල අසල සිදුකරන ලදී. 

විශේෂයෙන් යාපන කොටුව තුළ වූ බොහෝ ගොඩනැගිලි ආදිය යුදමය තත්ත්වය නිසා විනාශයට පත්ව ඇත. පශ්චාත් ආපදා පුරාවිද්‍යා ක්‍රියාවලිය තුළ එම විනාශ තත්ත්වය වාර්තාගත කිරීම මගින් සුන්බුන් ඉවත් කිරීම සිදුකරනු ලැබීය. 

මෙම කැණීම ලන්දේසි දේවස්ථානයේ ඊසාන දිග කොටසෙහි සිදුකරන ලදී. මෙම සුන්බුන් ඉවත් කිරීමේ දී පැරණි භාවිත කළ ද්‍රව්‍ය නැවත ගොඩනැගිලි සංරක්ෂණය සඳහා භාවිත කිරීමට හැකියාව පවතී. විශේෂයෙන් කොරල් පර, ලන්දේසීන් විසින් ආනයන කරන ලද ගඩොල් ආදිය දැක්විය හැකිය. සුන්බුන් ඉවත් කිරීමෙන් පසුව අදාල දේවස්ථාන ගොඩනැගිල්ලේ ආකෘතිය විමර්ශනයට ලක් කළ හැකිය. සුන්බුන් ඉවත් කිරීමෙන් පසු මෙහි ඇතැම් අත්තිවාරම් කොටස් වෙත ද යුදමය තත්ත්වය හේතුවෙන් බලපෑම් සිදුවී ඇති ආකාරය හඳුනාගැනීමට හැකිවිය. කෙසේවෙතත් සංස්කෘතික අනුපිළිවෙළ සොයාබැලීම සඳහා කතෝලික දේවස්ථාන ​ෙවත කැණීම දීර්ඝ කළ නමුදු පූර්ව යුරෝපීය යුගයට අයත් සංස්කෘතික සාධක හමු නොවීය. 

කෙසේ වෙතත් බන්ධනාගාර භූමිය අසල සිදුකළ පුරාවිද්‍යාත්මක කැණීම යාපන කොටුවේ සංස්කාතික ඉතිහාසය පිළිබඳ නව මානයක් එකතු කිරීමට සමත් වී ඇත. මීට වසර කිහිපයකට ඉහත දී මෙම ස්ථානය අසළ සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා වූ ඉදිකිරීමක් සඳහා පස් ඉවත් කිරීමේදී ඉන්දීය සාගරයේ වෙළඳාම් කටයුතු සිදුවූ අාකාරය තහවුරු කළ හැකි මැටි බඳුන් හමුව ඇත. කෙසේ වෙතත් ආරම්භ කරන ලද නව කැණීම මගින් ද අානයනය කරන ලද මැටි බඳුන් සොයාගැනීමට හැකි විය. විශේෂයෙන් සෙන්ටිමීටර් 60ක් පමණ ගැඹුරකින් වූ පස් ස්තරවලින් යුරෝපීය සබඳතා තහවුරු කරන මැටි වළං හමුවිය. එය යාපන කොටුවට අදාළ වාස්තුවිද්‍යා ඉදිකිරීම් සමඟ සමපාතබවක් පෙන්නුම් කරයි. මීට පහත වූ පස් ස්තර මගින් පූර්ව යුරෝපීය කාලයට අයිති පැරණි සාධක සොයාගැනීමට සමත් විය. 

පැරණි ජනපදිකයන් විසින් කුමන ආකාරයේ ක්‍රියාකාරකම් යාපන කොටුව තුළ සිදුකළාද යන සිද්ධිය පිළිබඳ චිත්‍රයක් සොයාගත් මැටි භාජන කැබලි අනුව ගෙනහැර දක්වයි. සංජානනාත්මක මැටි බඳුන් කැබලි රාශියක් රාශිභූතව පැවති ආකාරය සොයා ගැනිණි. ඒ අතර ක්‍රි.පූ. 1000 - ක්‍රි.ව. 1 කාලයට අයත් කාල - රක්ත මැටි බඳුන්, ක්‍රි.පූ. 500 ක්‍රි.ව. 200 කාලයට අයත් අළු පැහැති මැටි බඳුන් කැබලි, ක්‍රි.පූ. 200 - ක්‍රි.ව. 200 කාලයට අයත් රුලේටඩ් වළං කැබලිති, ක්‍රි.පූ. 100 - ක්‍රි.ව. 800 කාලයට අයත් ඔප දමන ලද රක්ත වර්ණ මැටි බඳුන් කැබලි, ක්‍රි.පූ. 200 - ක්‍රි.ව. 800 කාලයට අයත් සැස්සේනියන් ඉස්ලාමික මැටි බඳුන්, තවද නැගෙනහිර ආසියාව තුළ ක්‍රි.ව. 800-900 කාලය තුළ භාවිත වූ යූඒ වර්ගයට අයත් කොළ වර්ණ මැටි බඳුන් සහ ක්‍රි.ව. 1300-1600 කාලයට අයත් චීන පෝසිලේන් වර්ගය මේ අතරින් කැපී පෙනේ. මැටි බඳුන් අයත් කාලසීමාව මෙසේ වුවද ස්තර විද්‍යාත්මක කාලනීර්න ක්‍රම මගින් අදාළ සංස්කෘතික අවකාශයක තහවුරු කරගැනීම සඳහා කාබන් 14 පරීක්ෂණයට අදාළ නියැදි ලබාගෙන ඇත. මෙම මැටි භාජන යාපන කොටුව තුළින් සොයාගැනීම නිසා යටත්විජිත යුගයට පෙර සිට යාපනය කොටුව ආශ්‍රිත ප්‍රදේශයේ පැවති අන්තර්ජාතික වෙළඳ ක්‍රියාකාරීත්වයත් බටහිර සහ නැගෙනහිර ආසියා කලාපයට අයත්ව පැවති ඉන්දියන් සාගරයේ වෙළඳාම තුළ එය ඉසිලූ වැදගත්කම තහවුරු කරයි. 

මෙම කැණීම් කටයුතුවලදි උපයෝගී කරගත් තවත් විශේෂ විද්‍යාත්මක ක්‍රමයක් වන්නේ භූ විහිදුම් රේඩාර් ක්‍රමය අනුව මතුපිට පොළොවෙහි සමීක්ෂණ කටයුතු සිදුකිරීමයි. එමගින් මතුපිට පොළොවෙහි යට ඉපැරිණි වාස්තුවිද්‍යා ගොඩනැගිලි කීපයක සාක්ෂි වාර්තා වී ඇත. ඒවා විශේෂ වූ ලන්දෙසි යුගයට වඩා වෙනස් වූ වාස්තුවිද්‍යාත්මක සැලසුම් පෙන්නුම් කරයි. කෙසේවෙතත් එය තහවුරු කරගැනීමට ඉදිරියේදී පුරාවිද්‍යාත්මක කැණීම් සහ කාලනීර්ණ ක්‍රම යොදාගත යුතුව ඇත. මෙම සමීක්ෂණ කටයුතු නිසා භූමිය සංවර්ධන තත්ත්ව වලට යොමු නොකොට ආරක්ෂා කිරීම සඳහා පසුබිම ගොඩනගා ඇත. 

ලෝකයේ බොහෝ රටවල ඓතිහාසික වටිනාකමක් තිබෙන ස්ථානවලට යුද්ධය ස්වාභාවික ආපදා ආදී හේතු මත විවිධ බලපැම් සිදුවී ඇත. එයින් තෝරාගත් ස්ථාන කිහිපයක් යුද්ධය හෝ ස්වාභාවික ආපදා මගින් ඇති කළ හානිය පෙන්නුම් කිරීම සඳහා සංරක්ෂණය කර ඇත. මේ අතරින් දෙවන ලෝක යුද සමයේ පරමාණු බෝම්බයෙන් විනාශයට පත් වූ කූටාකාර ගොඩනැගිල්ල විශේෂ ස්ථානයක් ගනී. 1945 දෙවන ලෝක යුද සමයේදී ඇමරිකානු මැදිහත්වීම නිසා ජපානයේ හිරෝෂිමා නගරයට අයත් ගොඩනැගිලි රාශියක් විනාශයට පත්විය. 

යුද්ධය මගින් සිදුකළ බලපෑම මානව සංහිතය වෙත සිදුකළ බලපෑම Atomic Bomb Dome ලෙස හඳුන්වන ගොඩනැගිල්ලේ යුදමය බලපෑමට හසු වූ අංග සංරක්ෂණය කිරිමේදී පෙන්නුම් කිරීමට කටයුතු කෙරිණි. දෙවන ලෝක යුද සමයේදී ජපන් පුරවැසියන් 70,000ක් පමණ මියගිය බව සඳහන් වේ. ඔවුන් අනුස්මරණය කිරීම සඳහා සහ යුද්ධයේ ආදීනව සිහිපත් කිරීමට මෙම ගොඩනැගිල්ල සංරක්ෂණය කොට ඉදිරිපත් කර ඇත. එය ලෝක සාමය පෙන්නුම් කරන බලසම්පන්න සංකේතයක් ලෙස දැක්විය හැකිය. යාපන කොටුවේ මෙම කතෝලික දේවස්ථානය සඳහා යුද්ධයෙන් ඇතිවූ බලපෑම් පෙන්නුම් කිරීම සඳහා එය සංරක්ෂණය කිරීම පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවධානය යොමු වී ඇත. 

මෙම පුරාකෘති හමුවීමත් සමඟ ශ්‍රී ලංකාව බටහිර සහ නැගෙනහිර ආසියාතික, නැගෙනහිර අප්‍රිකානු, මධ්‍යධරණී, සහ දකුණු චින මුහුද ආශ්‍රිත රාජ්‍යයන් සමඟ පැවති සේද මාවත හරහා ගොඩනැගී තිබූ අන්තර්ජාතික වෙළඳාමෙහි කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකළ බව තහවුරු කරයි. එහිදී මෙම ප්‍රතිඵල මාන්තායි, තිස්සමහාරාම, අනුරාධපුර ආදි ස්ථාන සමඟ සැසදීම් කොට යාපන කොටුව තුළ ප්‍රාදේශීය දියුණුව පරීක්ෂා කිරීමට අවකාශය සපයා ඇත. විශේෂයෙන් මෙම මැටි බඳුන් එකතුව අනුව ලෝක ව්‍යාප්ත ඉතිහාස සාධක අන්තර්ජාතික වෙළෙඳාම තුළ යුරෝපීයයන් පැමිණීමට ​පෙර ශ්‍රී ලංකාව සිදුකළ දායකත්වය තහවුරු කරයි

වන්නි උන්නැහේලාගේ නිජබිම වූ වන්නිය...
කෝට්ටේ සිව්වැනි පරාක්‍රමබාහු රජ දේශපාලනික වශයෙන් ස්ථාවර වී යාපනය යටත් කර ගැනීම කෙරෙහි සැලකිලිමත් විය. ඒ සඳහා අවට සිටි ප්‍රාදේශීය මහ වන්නීන් තමන්ට පක්ෂ කරවා ගැනීම අත්‍යවශ්‍ය විය. ඒ වන විට වන්නියේ බලය පතුරුවමින් වාසය කළ මහ වන්නිවරුන් දහ අට දෙනෙකු රජතුමා හට පක්ෂපාතී වූ බව කෝට්ටේ සාහිත්‍යය කෘතීන්හි සඳහන් වේ. එබැවින් ක්‍රි.ව. 1450 දී සපුමල් කුමරු යාපනය යටත් කොට ගත්තේය. 

ලෝකයේ විවිධ භූමි ප්‍රදේශයන්ට උරුම වූ අනන්‍යතාවන් ද එකිනෙකට වෙනස්ය. ශ්‍රී ලංකාවේ ද අතීතයේ සිට පැවැති සුවිශේෂී අනන්‍ය ලක්ෂණයක් වූයේ තම ස්වාධීනත්වය වෙනුවෙන් හඬ නඟන, සටන් වදින, විප්ලවවාදී වූ මානව සමූහයන්ගෙන් සුසැදි කුඩා ඒකක තැනින් තැන බිහි වීමයි.   

විවිධ භූගෝලීය තත්ත්වයන් යටතේ, තම අරමුණු සපුරා ගැනීම වෙනුවෙන් මෙවැනි කුඩා ජන සමූහයන් අතීත ලක්දිව පුරා විවිධ සමයයන්හිදී ව්‍යාප්තව තිබිණ. ඔවුන්ගේ අභිලාෂයන් විවිධ විය. කෘෘර ආක්‍රමණිකයන්ගෙන් මිදී තම ජනතාවටද මුදා ගැනීම, පාලන බලය හිමි කර ගැනිම, තම සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ගැනීම, තම ආගමෙහි ජාතියෙහි අනන්‍යතාවන්ට එල්ල වන බාධා මැඩලීම එම අරමුණු අතර විය.   

ලක්දිව පැරණි වන්නි ප්‍රදේශය ද තම දේශීය අනන්‍යතා ලක්ෂණ සුරැකීම වෙනුවෙන් පෙනී සිටි විශේෂ ජනප්‍රධානීන් පිරිසක් සහිත ජනතාවක් විසූ භූමි ප්‍රදේශයක් විය. වන්නි ප්‍රදේශය පිළිබඳව කරුණු අනාවරණය වී ඇත්තේ ක්‍රි.ව. පස්වැනි සියවසෙහිදිය. එහෙත් වන්නි යන වදන ලිඛිත ඉතිහාසයෙන් හමුවන්නේ පොළොන්නරු යුගයේදීය. එනම් මාඝගේ ආක්‍රමණ පිළිබඳ වංශ කථාවන්හි දැක්වෙන තොරතුරු ආක්‍රමණ පිළිබඳ වංශ කථාවන්හි දැක්වෙන තොරතුරු අතරය. පූජාවලියෙහි දැක්වෙන ආකාරය මාඝගේ ආක්‍රමණයෙන් වන්නියේ එතෙක් විසූ ගැමි ජනතාව උතුරු නැගෙනහිර පළාත්වලින් එළවා දැමූ බවත් විජයබාහු කුමරු සතුරන් මර්දනය කොට මහජනතාව ආරක්ෂා කළ බවත් පැහැදිලිය.   

විජයබාහු කුමාරයා ප්‍රාදේශීය වන්නි රාජ නායකයකු ලෙස කටයුතු කළ බව ඉතිහාසයෙහි සඳහන් වේ. එකල වත්හිමි විජයබාහු නමින් ප්‍රකට වූ එතුමන් දිගු කලක් වන්නි නායකයකු ලෙස කටයුතු කළ බැවින් වන්නි නිරිඳු නමින් හඳුන්වා ඇත.   

පූජාවලියෙහි හා චූලවංශයෙහි මහ වන්නීන් ලෙස හඳුන්වා ඇත්තේ වන්නි ප්‍රදේශයේ විසූ බලවත් ජන ප්‍රධානීන්ය. මාඝගේ ආක්‍රමණයෙන් පසුව ඇති වූ අරාජික සමයකදී එම මහ වන්නීන් විසින් දුර්ගස්ථානයන්හි ගම්, නගර සාදාගෙන ​ලෝකයත් ශාසනයත් පාලනය කළ බව වංශ කථාවන්හි දැක්වේ.   

එසේ වාසය කළ බලවත් මහ වන්නීන් සිව් දෙනෙකු වන්නේ විජයබාහු කුමරු, සුභ සෙන්පති, සංඛ සෙන්පති සහ බුවනෙකබාහු ආදිපාද ආදීහුය. සුබ පර්වතය හෙවත් යාපහුව මුදුනෙහි බලකොටුවක් තනාගත් සුබ සෙන්පති වන්නියෙහි එහි පැමිණි පාලකයකු විය. වන්නියෙහි සිටි බුවනෙකබාහු ආදිපාදයන් ​ගෝවින්ද මලය සිට රුහුණට ආරක්ෂාව සැලසුවේය. සංඛ හෙවත් භීම සෙන්පති මිණිපේ ප්‍රදේශයට ගොස් එහි ආරක්ෂාව සැලසුවේය. ඔවුන් සිවු දෙනා අතරින් විශේෂත්වයට පත් වූයේ වන්නි රාජ්‍යයත්වයට හිමිකම් කී වත්හිමි විජයබාහු කුමරුය.   

වැව හා බැඳුණු සෞභාග්‍යමත් ගැමි සංස්කෘතියක් ද ජලාශ්‍රිත ස්වයංපෝෂිත ශිෂ්ටාචාරයක් ද අතීත වන්නියෙහි දක්නට ලැබුණි. සතුරු ආක්‍රමණ මැද එම සෞභාග්‍යය මැකී ගිය අතර රජරට හා රුහුණු ජනතාව ද තම ගම් බිම් හැරයන්නට වූහ. විජයබාහු කුමරු විසින් ඇතැම් වන්නිවරුන් තමන්ට අවනත කර ගනිමින් සේනා වර්ධනය කොට සටන් මෙහෙයවමින් ආක්‍රමණකාරීන් මර්දනය කොට රට නිදහස් කර ගන්නා ලදී.   

මහ වන්නියකු වූ සුභ සෙන්පති විසින් අස්ගිරි වන සෙනසුන ගොඩ​නගා මහ සඟරුවනට පූජා කරන ලදී. එය පූජා කරන ලද්දේ දිඹුලාගල සෙනසුන හැර දමා පැමිණි භික්ෂූන් වහන්සේ වෙතය. අස්ගිරි තල්පෙතහිද මේ බව සඳහන්ව ඇත. විජයබාහු රජරට එක්සේසත් කරන විට ඔහුට සහයෝගය දුන් මහ වන්නිවරුන් පසුව රජුගේ ආධිපත්‍යය පිළිගෙන කටයුතු කරන්නට ඇතැයි සැලකේ. විජයබාහු රජු හා මහ වන්නි ප්‍රභූවරුන් එක්ව පළා ගිය ජනතාවට රැකවරණය සලසන්නට විය. මහ වන්නිවරුන්ගේ ද නායකත්වය දරණ ලද බැවින් විජයබාහු රජු වන්නි යන නාමයෙන් ද ප්‍රකට විය.   

1933 වර්ෂයේදී නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කන්නලායි අසල පාල මොට්ටෛ නම් ස්ථානයක්, විජයබාහු රජ සමයට අයත් යැයි සැලකෙන සෙල් ලිපියක් හමු වී ඇත. දෙමළ බසින් ලිය වී ඇති එහි එන නාමයන් හින්දුය. එම සෙල්ලිපියට අදාළ වූ සිද්ධ ස්ථානය විජයරාජ ඊශ්වරම් නමින් ද විජයරාජ චතුර්වේදී මංගලම් යනුවෙන් ද හඳුන්වා ඇත. එය බ්‍රාහ්මනයන් විසූ ග්‍රාමයක් විය යුතුය. ඒ අනුව විජයබාහු රජුගේ රැකවරණ යටතේ වන්නි ප්‍රදේශයෙහි බ්‍රාහ්මණ ජනපදයන් ද පැවැති බවට සාක්ෂි හමු වේ. කන්තලායිහි ශිව දේවාලය විජය රාජ ඊශ්වරම් නමින් හඳුන්වන්නට ඇත්තේ එය විජයබාහු රජ විසින් පිහිටුවන ලද බැවිනි.   

වන්නි ප්‍රදේශයෙහි චෝල ආධිපත්‍යය පැවති සමයෙහි බුදු දහම හා හින්දු දහම එක සේ සමාන තත්ත්වයකට පත් කිරීම සඳහා කළ යුතු සෑම කාර්යයක්ම ඉටු කළ නරපතියකු වූයේ විජයබාහු රජතුමාය. එහෙත් චෝල ආධිපත්‍යයයෙන් පීඩනයට පත් රට වැසියන් මුදාගැනීම පිණිසද කැප වී කටයුතු කළේය.   

ඉහත සඳහන් වූ පාලමොට්ටෛයෙන් හමු වූ දෙමළ පුවරු ලිපිය ලියා ඇත්තේ නාගෛච්චානි නම් බ්‍රාහ්මණ කුල ස්ත්‍රියක විසින් ශිව දෙවියන්ට කරන ලද පූජාවක් ලේඛන ගත කිරීම පිණිසය. ඇය සිය සැමියා සිහි වීම සඳහා කන්තලායිහි පිහිටි තෙන් කෛලාසම් (දකුණු කෛලාස) නම් වූ කෝවිලට රන් ඔටුන්නක්, රන් මාලයක්, පනහක්, රන්කාසි හා නාට්‍යාංගනාවන් සත් දෙනෙකු පූජා කොට ඇත.   

විජයබාහු රජතුමාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත් වූයේ ඔහුගේ පුත් වූ දෙවන පරාක්‍රමබාහු රජතුමාය. ක්‍රි.ව. 1236 දී දෙවන පරාක්‍රමබාහු රජ විසින් මාඝ හා සටනට මුල පුරන ලදී. එතෙක් තම පිය රජුට අවනත නොවී සිටි සිංහල වන්නි රජ පිරිසක් දෙවන පැරකුම් රජුට පක්ෂපාතී විය. එයට උපකාරී වූයේ ඌවේ බුවනෙක බාහු ආදිපාදයන්ගේ සම්භාවනීය වූ සම්‍යක් ප්‍රයෝග සහිත මන්ත්‍රී බලයයි. එම සම්‍යක් උපායමාර්ග වූයේ වැරදිකරුවන්ව සිටි වන්නි නායකවරුන්ගේ දඬුවම් ලිහිල් කිරීමයි. එනම් මරණීය දණ්ඩනය නියම වූවන් සිරගෙයට නියම කිරීම, සිරගෙයට නියම වූවන් නිග්‍රහ කොට නිදහස් කිරීම, පිටුවහල් කළ යුතු වරදකරුවන්ට දඩ නියම කිරීම, දඩ නියම කළ යුතු වරදකරුවන්ට තදින් අවවාද ​කොට නිදහස් කිරීම ආදියයි. එසේ දඬුවම් ලිහිල් කරන ලද්දේ පිය රජුට අවනත නොවීම නිසා දඬුවම් ලද වන්නි නායකවරුන්ගේය.   

දෙවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසුව ඔහුගේ පුත් සිවුවැනි බෝසත් විජයබාහු රජකමට පත් විය. එතුමන් විසින් එතෙක් වන වැදූ තිබූ සිද්ධස්ථාන පිළිසකර කරන ලදී. ඒ වන විට මෙතෙක් නොපැමිණි මහ වන්නීහු ද බෝසත් විජයබාහු කුමරුන් වෙත පැමිණියහ. අනුරාධපුරයෙහි ආගමික හා සංස්කෘතික මධ්‍යස්ථානයන්හි ආරක්ෂාව එම මහ වන්නින් වෙත පවරන ලද බව වංශ කතාවන්හි සඳහන් වේ.   

එම කරුණින් අනාවරණය වන්නේ මහ වන්නි නායකවරුන් කිහිප දෙනෙකු එතෙක් ස්වාධීනව කටයුතු කළ බවත් පසුව බෝසත් විජයබාහු රජු හට පක්ෂපාතී වූ බවත්ය. ආක්‍රමණකාරීන් විසින් පැහර ගන්නා ලද මහ වන්නීන්ගේ අඹු දරුවන් යළි වන්නිවරුන්ටම පවරා දීමට බෝසත් විජයබාහු රජු කටයුතු කොට ඇත. මෙතෙක් සඳහන් කළ මහ වන්නීන්, ප්‍රාදේශීය නායකයන් ලෙස තම බලය පතුරුවා ගෙන සිටියේ ක්‍රි.ව. 1215 ත් 1265 ත් අතර වූ අඩසියවසක කාල වකවානුව තුළය. එම අඩසියවස ලංකා ඉතිහාසයෙහි සංක්‍ර්‍රාන්ති යුගයක් විය.   

ආරම්භයේ සිට ක්‍රිස්තු වර්ෂ පහළොස් වන සියවස දක්වා ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය වර්ධනය වූයේ රජරට, රුහුණු රට ඇතුළත්ව වියළි කලාපය තුළය. තවද වයඹ පළාත, උතුරු මැද පළාත, උතුරු නැගෙනහිර පළාත හා ඌව පළාත ද වලවේ ගඟ දක්වා වූ දකුණු පළාතේ නැගෙනහිර කොටස ද එයට ඇතුළත් විය. 

පොළොන්නරු යුගයෙහි දී ​චෝඩගංගදේව නම් කාලිංග කුමරකු ලක්දිවට පැමිණ ඇත. ඔහු විසින් පිහිටුවන ලද සෙල්ලිපියක් ත්‍රිකුණාමලයෙන් හමු විය. එය ලක් වැසියන්ට වඩා වැදගත් වන්නේ අන්තර්ගත කරුණු අතර ලංකාව හඳුන්වා ඇති ආකාරයෙනි. චෝඩගංගදේවගේ ශිලා ලිපියෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව කිසිවකුටත් යටත් කළ නොහැකි අනභිභවනීය රාජ්‍යයක් වූ බවයි. චෝඩගංගදේව විසින් ලියවන ලද එම හෘදයාංගම හා ගෞරවාන්විත අදහස්වලින් හැඟෙන්නේ ඔහු දේශයේ සතුරකු නොවූ බවයි.   

එහෙත් නිරන්තරව සිදු වූ අරගල හේතුවෙන් පාලන ක්‍රමය කෙමෙන් බිඳවැටෙන්න විය. ප්‍රාදේශීය පාලනය ද අක්‍රිය විය. ආගම හා රාජ්‍යය අතර වූ ජලාපවහනය ද අකාර්යක්ෂම විය.   

තිබූ ඇළවේළි, වැව් අමුණු පිළිසකර නොවීය. කාලය ගෙවී යත්ම පාළු වී ගිය වැව් හා අමුණු ආශ්‍රිත වූ කුඹුරු යායන් පාළු වී වල් බිහි විය. පුරන් වූ පෙදෙසේ මහ වන ගහනයෙන් වැසී ගියේය. ඉන් අසරණ වූ ජනතාව තම පාරම්පරික ගම් බිම් හැරදමා නිරිත දිග හා මලය ප්‍රදේශ වෙත සංක්‍රමණය වූහ. ක්‍රමයෙන් වියළි කලාපය ජනාවාසයට නුසුදුසු පෙදෙසක් බවට පත් විය. ගමරට හැර නොගිය ජනතාව ජලය රැඳී තිබූ කුඩා ගම් වැව් ආශ්‍රිතව වගා කටයුතු කරමින් ජීවත් විය. වන මැද එකිනෙකට ඈත්ව පිහිටි දනව්වල ජනතාවට ආරක්ෂාව සපයමින් ප්‍රදේශය ආරක්ෂා කිරීමෙහි නියුක්ත වූයේ ස්වාධීන ජන නායකයන් වූ වන්නි හෙවත් වන මැද පිහිටි ජනතා ආරක්ෂකයන් වූ වන්නිවරුන්ය. ඇතැම් විට ඔවුන්ගෙන් ප්‍රබලව නැගි ආ පිරිස මහ වන්නීන් හෙවත් වන්නි රජවරුන් විය. ඔවුන් පිළිබඳව බොහෝ පුවත් ලංකා ඉතිහාසයේ සඳහන් වේ.   

කෝට්ටේ යුගයෙහි ලියැවුණු එළු අත්තනගලු වංශයෙහි සිරිසඟබෝ රජතුමාගේ රාජ්‍යය පැහැර ගැනීමට තැත් කළ ගෝඨාභය, තැන තැන වන්නි කැලෑ ගම් සොරව උන් සොරුන් රැස් කර ගෙනවුත් අනුරාධපුර නගරයට ඇතුළු විය යනුවෙන් සඳහන් වේ. එමෙන්ම මොග්ගල්ලාන රජුගේ අණ නොතකා මලය රටෙහි නිදහසේ සැරි සැරූ වන්නි නායකවරුන් පිළිබඳවද එහි සඳහන්ව ඇත. මුගලන් රජු හි වන්නි නායකවරුන් පිළිබඳ තොරතුරු ක්‍රි.ව. පස්වැනි සියවස දක්වා අතීතයට පතුරුවාගෙන සිටි කැරලිකාර සොරුන් හැඳින්වීම සඳහා ද එකල වන්නි හා වන්නිවරුන් නාමය යෙදී ඇති ආකාරය දක්නට ඇත.   

අතීතයේ වන්නි ප්‍රදේශ තුන්සිය හැටක් පැවැති බැව් දළදා පූජාවලියෙහි සඳහන්ය. පළමුවැනි පරාක්‍රමබාහු රජ වන්නි පත්තු තුන්සිය ගණනක් ජයගත් බව නිකාය සංග්‍රහයෙහි දැක්වෙයි. වනයෙහි වූ යන අරුත් දෙන වන්‍ය යන පදයෙන් වන්නි යන්න ව්‍යවහාරයට පැමිණ ඇත. පැරණි ලේඛනයන්හි සිංහල මහ වන්නි යනුවෙන් බොහෝ තැන් හි යෙදී ඇත. එයින් ගම්‍ය වන්නේ දෙමළ මහ වන්නීන් ද විසූ බවයි.   

ආක්‍රමණකාරීන්ගේ පීඩාවන්ට ලක් වූ හින්දු ආගමිකයන් වන මැද ගම් දනව්වල සැඟවී වෙසෙන්නට වූ අතර ඔවුන්ට ආරක්ෂාව සැලසූ ප්‍රාදේශීය දෙමළ නායකයෝ දෙමළ මහ වන්නීන් නම්වූහ. මෙම දෙමළ වන්නීන්ගෙන් ඇතැමෙකු දකුණු ඉන්දීය පාණ්ඩව පාලකයන්ගෙන් උදව් ලබමින් සිටි දෙවන චන්ද්‍රභානු හට පක්ෂපාතී විය. අනෙකුත් දෙමළ මහ වන්නීන් සිංහල මහ වන්නීන් සමග එක්ව නිරිත දිගට සංක්‍රමණය විය.   

මහාචාර්ය පරණවිතාන මහතා සඳහන් කොට ඇත්තේ වන්නිවරුන් දකුණු ඉන්දියාවේ විවිධ කටයුතුවල යෙදී සිටි බවය. දෙවන කුලෝත්තුංගයන්ගේ ශිලා ලිපියක වන්නිය නායර් නමින් විරුධාවලියක් ලද මෙලෙයිමාන් නම් නායකයකු පිළිබඳව සඳහන් වේ. තවද භාරතීය විජයනගර් රජ වූ කෘෂ්ණරාජයන්ගේ සෙල්ලිපිවල වන්නිවරයන් දහ අට දෙනෙකු පිළිබඳව සඳහන්ව ඇත.   

පොළොන්නරු යුගයෙහි දී ලක්දිව වැඩ විසූ මහතෙරවරුන්ගෙන් කෙනෙකු වූ භදත්ත ආනන්ද ස්ථවිරයෝ පාණ්ඩ්‍ය දේශයට වැඩම කළහ. එයට හේතු වූයේ ආක්‍රමණිකයන්ගේ ක්‍රියා කලාපයයි. උන්වහන්සේ පාණ්ඩ්‍ය දේශයෙහි වඤ්ඤ සාමන්තයකු විසින් කරවා දෙන ලද විහාරයක වැඩසිටි බව උපාසක ජනාලංකාරයෙහි සඳහන් වේ.   

එම ග්‍රන්ථය අදාළ විහාරස්ථානයෙහි සිට කරවූ බවද දැක්වේ. වඤ්ඤ සාමන්ත යන වදනෙහි වූ අර්ථය දෙන පාලි ස්වරූපය වන්‍ය සාමන්ත යන්නයි. මේ අනුව පාණ්ඩ්‍ය දේශයෙහි ද වන්නිවරුන් වාසය කළ බවට සාධක මතුවේ. 

මහවන්නීන් මෙන්ම කුඩා වන්නීන් ද වන්නි ප්‍රදේශයෙහි වාසය කොට ඇත. අත්තනගලු වංශයෙහි සිරිවන්නි යනුවෙන් හඳුන්වා ඇත්තේ කුඩා වන්නිවරුන්ය. දෙමළ බසෙහි ද කුඩා යන අරුත් දෙන සිරු යන වචනයක් ඇති බැවින් සිරි යන්න සිරු යන්නෙහි සිංහල ස්වරූපය විය යුතුය. ඒ අනුව අතීතය වන්නියේ මහ වන්නිවරුන් දහ අට දෙනෙකු ද සිරි වන්නිවරුන් තුන්සිය හැට හතර දෙනෙකු ද වූ බව පරණවිතාන මහතා විශ්වාස කරයි. 

වන්නිවරුන් ප්‍රථම වරට දේශපාලන ක්ෂේත්‍රයට පිවිසියේ දඹදෙනි යුගයේදීය. ඔවුන් අතර වන්නි, සිරි වන්නි, මහ වන්නි හා වන්නි රාජවරුන් ද වූහ. මෙම වන්නිනායක පිරිස කෝට්ටේ යුගය දක්වා ලක්දිව දේශපාලන කටුයතුවල නිරත වී ඇත. ඇතැම් අවස්ථාවලදී සිංහල වන්නිවරු පවතින පාලන තත්ත්වයට විරුද්ධව කැරලි ගැසූහ. එවැනි සිංහල වන්නි රජවරුන් දෙදෙනකු වූයේ කදලිවාට මාපාණ හෙවත් කෙහෙල්වල මාපාණ සහ නිප හිමියාය. ඔවුන් යාපහුවේ රජ කළ පළමු වන බුවනෙකබා රජුට විරුද්ධව කැරලි ගසා රජු පරාජය කළ බවද පැවසේ.   

මැදවල සෙල්ලිපියේ සඳහන් වන ආකරයට සිව්වැනි පරාක්‍රමබාහු රජතුමා මිය ගියේ බෝදා මාපාණන් නම් වූ වන්නිරජයකු විසින් අරඹනු ලැබූ කැරැල්ලකදීය.   

වංශ කතා අනුව සිව්වැනි පරාක්‍රමබාහු රජුගේ මරණයෙන් පසුව රජකමට පත්වූයේ වන්නි බුවනෙකබාහු නමැත්තෙකි. නිසැකවම ඔහු වන්නි නායකයකුව සිට රජකමට පත් වූවකු විය යුතුය. වන්නි බුවනෙකබාහු නමින් රජ වූයේ බෝදා මාපාණන් යයිද මතයක් පවතී. කැරලි ගසා සිහසුනට පත්වීමට තරම් බලවත් වූ ප්‍රබල මහ වන්නිවරුන් ද වන්නියේ විසූ බව ඉන් අනාවරණය වේ.   

ගම්පල යුගයේදී වනගත ප්‍රදේශවල වන්නිවරුන් වාසය කළ වට සාධක ඇත. ඔවුන්ගෙන් ඇතැමෙක් උතුරේ ආර්ය චක්‍රවර්තී හට ද සමහරකු දකුණේ පාලකයා වෙත ද පක්ෂපාතී වෙමින් කටයුතු කළහ.   

කෝට්ටේ සිව්වැනි පරාක්‍රමබාහු රජ දේශපාලනික වශයෙන් ස්ථාවර වී යාපනය යටත් කර ගැනීම කෙරෙහි සැලකිලිමත් විය. ඒ සඳහා අවට සිටි ප්‍රාදේශීය මහ වන්නීන් තමන්ට පක්ෂ කරවා ගැනීම අත්‍යවශ්‍ය විය. ඒ වන විට වන්නියේ බලය පතුරුවමින් වාසය කළ මහ වන්නිවරුන් දහ අට දෙනෙකු රජතුමා හට පක්ෂපාතී වූ බව කෝට්ටේ සාහිත්‍යය කෘතීන්හි සඳහන් වේ. එබැවින් ක්‍රි.ව. 1450 දී සපුමල් කුමරු යාපනය යටත් කොට ගත්තේය. එසමයෙහි යාපනයෙහි පාලකයාව සිටියේ කණක සූර්යසිංහ හෙවත් ආර්ය චක්‍රවර්තීය. ඔහු තම අඹුදරුවන් රැගෙන ඉන්දියාවට පළා ගිය බව සඳහන්ය. එම පළා යාමට හේතු වූයේ වන්නියාර්වරුන් විසින් යාපනයෙහි වැසියන් චක්‍රවර්තීන් හට විරුද්ධව නැගීසිටීමට පොළඹවන ලද බැවිනි. එම නැගීසිටීම පිළිබඳව යාල්පාන වෛපවමාලෙයි නම් වූ දෙමළ වංශ කථාවෙහි සඳහන්ව ඇත.   

පසු කාලෙයහි නම් ක්‍රි.ව. 1505 දී පෘතුගීසීන් ලංකාවට ගොඩබසින විට උතුරු මැද, නැගෙනහිර සහ ගිනිකොණ දිග ප්‍රදේශවල ප්‍රාදේශීය නායකයන් යටතේ වන්නි රාජ්‍ය කිහිපයක් පැවතුණේය. වන්නිය, තමන්කඩුව, නුවර කලාවිය, පානම හා යාල යනාදිය එබඳු වන්නි රාජ්‍ය පිහිටි ප්‍රදේශ විය. එකල වන්නි පාලන ප්‍රදේශවල පාලකයෝද වන්නියාර්වරුන් නමින්ම හඳුන්වනු ලැබූහ.   

දහහත් වැනි සියවසෙහි මැද භාගයෙහි උඩරට වාසය කළ රොබට් නොක්ස් ලක්බිමෙන් පළාගියේ වන්නි ප්‍රදේශ හරහාය. එම ගමනේදී තැන් තැන්වල පැරණි ගොඩනැගිලි හා ශිලා ස්ථම්භ විසිරී තිබෙනු දුටු බවද ඔහු සඳහන් කරයි. රොබට් නොක්ස්, මෙම පළා යාමේදී වන්නි ප්‍ර්‍රාදේශීය නායකයකුගේ නිවසෙහි රාත්‍රියක් ගත කොට ඇත. වන්නි නායකයා අණ පරිදි නර්තනයෙහි හා විජ්ජා පෙන්වීමෙහි නියුතු මිනිසුන් විසින් නොක්ස් වෙනුවෙන් සිය දක්ෂතා දක්වන ලදී. නොක්ස් සඳහන් කරන ආකාරයට ඒ වන විට වන්නි නායකයන් හඳුන්වා ඇත්තේ වන්නිඋන්නැහේලා යනුවෙනි. එම වන්නි උන්නැහේලාගෙන් සමහරෙකු යාපනයේ සිටි ලන්දේසීන් හට කප්පම් ගෙවූ අතරම උඩරට රාජ සභාවට වඩාත් සමීපව බැඳී සිටියහ.   

දහ හත්වන සියවස වන විට වන්නිය ස්වයං පාලිත ගම් සහිත ප්‍ර්‍රදේශයක් විය. එය සුළු නිලධාරින්ගේ හෝ උඩරට රජුගේ ප්‍රබල අවධානයට ලක් නොවූ පෙදෙසක් විය. එක් කාලයක උතුරු හා වන්නි ප්‍රදේශයේ නාමික ප්‍රධානියා වූයේ මහ අධිකාරමය. අතීතයේ වන්නි පෙදෙස දුර බැහැරින් වූ දුෂ්කර පෙදෙසක පිහිටි බැවින් මධ්‍යම ආණ්ඩුව ඒ පිළිබඳව යොමු කළේ මද වූ අවධානයකි.   

වන්නියෙහි රාජකීය ගම් නොතිබුණු නමුත් රාජකීය කෙත් කිහිපයක්ම පැවතියේය. එහි නියම පාලකයන් වූයේ වන්නි උන්නැහේලාය. ඔවුන් දහහත් වැනි සියවසේදී හඳුන්වා ඇත්තේ ද වන්නි නිරිඳෝ හා වන්නි බණ්ඩාරවරුන් යන නාමයන්ගෙනි.   

උතුරින් යාපනය රාජධානිය ද දකුණින් උඩරට රාජධානිය ද අතර සිටි වන්නිවරු බොහෝ බලවත් පිරිසක්ව ඔවුන්ගේ අධිපත්‍යයට යටත් විය. වන්නිවරුන්ගේ නාමික ප්‍රධානියා වූයේ රජතුමාගේ නියෝජිතයා වූ නුවර කලාවියේ දිසාවය. වන්නිවරු තම පත්තු ඇතුළත දිසාව කෙනෙකුට සමාන බලතල දැරූ අතර සුළු දඬුවම් පැමිණ වීමේ බලය ද ලබාගෙන සිටියහ.   

දහහත් වැනි සියවෙසහි විසූ වන්නිවරු ප්‍රවේණි රදළ පෙළපත්වලට අයත් වූ අතර ඉඩකඩම් අයිතිකරුවෝ වූහ. වන්නිවරු අතර සූරියවංශ නුවර වැව පවුල නමින් පරම්පරාවක් ද වූවේය. ඔවුන් සඳහන් කර ඇත්​තේ ක්‍රි.පූ. 289 දී ලක්දිවට ශ්‍රී මහා ​බෝධිය වැඩමවාගෙන පැමිණි පිරිසෙන් තම පරපුර ඇරඹුනු බවයි. තවත් වන්නිවරු පිරිසක් පන්නා නම් කුල ක්‍රමයට අයත් දුරය නම් වූහ. ඔවුන් සඳහන් කර ඇත්තේ තම පරපුර බෝධියට ආවතේව කරනු පිණිස ලක්බිමට පැමිණි බවයි. අතීතයේදී එම පිරිස ගල් දුන්නක ආධාරයෙන් වඳුරන්ගෙන් ශ්‍රී මහා බෝධිය ආරක්ෂා කළ බැවින් විල්ලි දුරයි යනුවෙන් හැඳින්වූහ. 

වන්නි රදළ පරම්පරාව ප්‍රවේණික සාමන්තයින් ලෙස කටයුතු කළ අතරම කුල අරගල විනිශ්චය කිරීමෙහි ද යෙදී ඇත. නඩු කියන්නන් හා වැරදිකරුවන්ගෙන් ලැබුණු ගාස්තු හා දඩවලින් කොටසක් ද වන්නිවරුන්ට හිමි විය.   

වන්නිවරුන් විසින් වන්නි මොහොට්ටාල ද දිසාව විසින් දිසාව මොහොට්ටාල ද පත් කරනු ලැබ තිබූ බැවින් වන්නියෙහි ද්විත්ව පාලනයක් ක්‍රියාත්මක විය. රාජාධිරාජසිංහ රජ සමයෙහි, බදු (දැකුම්) නොගෙවීම හේතුවෙන් ප්‍රධාන වන්නි බණ්ඩාර වසර දොළහක් මුළුල්ලේ නුවර සිරකර තැබූ බව ඩොයිලිගේ වාර්තාවේ සඳහන් වේ.   

වන්නි ප්‍රදේශයේ රාජකාරි කළ නොයෙක් රාජ්‍ය නිලධාරීන් හා වන්නිවරුන් අතර කිසිදු සමාජ සම්බන්ධයක් නොවීය. එහෙත් නිලධාරින්ගෙන් තෑගි බෝග වන්නිවරුන්ගේ ආධිපත්‍යයේ නීත්‍යානුකූලභාවය හෝ රාජකීය අනුමැතිය පිළිබඳ කිසිවෙක් ප්‍රශ්න නොකළහ. එහෙත් මහනුවර යුගයේ විසූ වන්නිවරුන්ගේ පාලනය ජනතාව විසින් අනුමත නොකරන ලදී. ඇතැමෙක් වන්නිවරුන්ගෙන් මිදී ගොස් උතුරෙහි පදිංචි වූහ.   

එහෙත් මහනුවර යුගයෙහි රජ කළ ඇතැම් රජවරුන් විසින් දරුණු වන්නිවරුන් යටත් කළ බවද ඉතිහාස ගතව ඇත. 

ක්‍රි.ව. පස්වැනි සියවසෙහි සිට වන්නි ප්‍රදේශය පිළිබඳ විවිධ තොරතුරු ලිඛිත මූලාශ්‍රවලින් හෙළිවන අතර එහි විසූ වන්නිවරුන් විවිධ යුගයන්හි නොයෙක් ආකාරයෙන් කටයුතු කර ඇති බවද ඉන් අනාවරණය වෙයි. අතිත වන්නි ප්‍රදේශය ලක්දිව දේශපාලන ක්ෂේත්‍රයෙහි බොහෝ කැපී පෙනෙන සිදුවීම්වලට මුහුණ දුන් පෙදෙසක් බවටද වංශ කථාවන්හි එන තොරතුරුවලින් පැහැදිලි වේ. අති රමණීය සොබා සෞන්දර්යයෙන් යුතු භූමියක්ව පැවැති වන්නිය දේශීය අනන්‍යතාව සහිත ශිලා ලේඛන සමූහයකින් ද සමන්විතව පැවති දේශීය උරුමයකි....

...............අන්තර්ජාලය ඇසුරෙනි.............දැනුම සොයන්න මේ පාරෙන් එන්න
වන්නිය හා පුරාණ යාපනය රාජධානිය... (Wanniya Saha Yapanaya) - Your Choice Way
යාපනය රාජකීය ධජය

වන්නිය හා පුරාණ යාපනය රාජධානිය... (Wanniya Saha Yapanaya) - Your Choice Way
ශිව දෙවියන්

වන්නිය හා පුරාණ යාපනය රාජධානිය... (Wanniya Saha Yapanaya) - Your Choice Way
ත්‍රිකුණාමලය කොනේශ්වරම් කෝවිල

වන්නිය හා පුරාණ යාපනය රාජධානිය... (Wanniya Saha Yapanaya) - Your Choice Way
කේතිශ්වරම් කෝවිල

වන්නිය හා පුරාණ යාපනය රාජධානිය... (Wanniya Saha Yapanaya) - Your Choice Way
යාපනය කීරමලේ නගුලේශ්වරම් කෝවිල
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වන්නිය හා පුරාණ යාපනය රාජධානිය... (Wanniya Saha Yapanaya) වන්නිය හා පුරාණ යාපනය රාජධානිය... (Wanniya Saha Yapanaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, October 01, 2021 Rating: 5

0 comments:

Post a Comment