සියවස් දෙකකට ආසන්න කාලයක් ඉන්දියාව පාලනය කිරීමට බ්‍රිතාන්‍යයට උපකාර කළ ඉන්දියානු ස්වදේශික ජනපද වල නායකයින් පිළිබඳ හැඳින්වීමක් - පළමු කොටස ( India - Part One)

සියවස් දෙකකට ආසන්න කාලයක් ඉන්දියාව පාලනය කිරීමට බ්‍රිතාන්‍යයට උපකාර කළ ඉන්දියානු ස්වදේශික ජනපද වල නායකයින් පිළිබඳ හැඳින්වීමක් - පළමු කොටස ( India - Part One) - Your Choice Way
පුරා වසර 300 කට ආසන්න කාලයක් බ්‍රිතාන්‍යයන් විසින් මුළු ඉන්දියානු උප මහාද්වීපය පුරා ඉතා ශක්තිමත්ව දේශපාලන, ආර්ථික සහ පාලන බලයේ ආධිපත්‍යය දරමින් සිටි අතර එකල ඔවුන් ඉන්දියාව හදුන්වනු ලැබුවේ සිය අධිරාජ්‍යයේ ‘ඔටුන්නෙහි ඇති මැණික’ ලෙසය. නමුත් එහි පාලනය ඔවුන්ට කිසි විටෙකත් තනිව සිදු කළ හැකි එකක් නොවීය. එයට හේතුව වුයේ ඔවුන් පාලනය කළ ඉන්දියානුවන් මිලියන 300 ට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පරිපාලනයේ එහි උච්චතම අවස්ථාව වන විටත් සිටියේ බ්‍රිතාන්‍ය නිලධාරීන් සහ සොල්දාදුවන් 20,000 කටත් වඩා අඩු සංඛ්‍යාවක් වීම නිසාය.

මෙයට පිළිතුරු ලෙස බ්‍රිතාන්‍යයන් සිදු කළේ පාලනය සඳහා ස්වදේශික හවුල්කරුවන්ගේ සහයෝගය ලබා ගැනීමයි. මහරාජා, රජස්, නවාබ් සහ නිසාම් ලෙස හැඳින්වෙන ස්වදේශික පාලකයින් දුසිම් ගණනක් ඉන්දියාව තුල සිටි අතර බ්‍රිතාන්‍යයන් මුලින්ම ඉන්දියාව තුළ ස්ථාපිත වීමට පටන් ගත් දා පටන්ම මෙම ඉන්දියානු ස්වදේශික කුමාරවරුන් තමන්ට ලබා ගත හැකි ධනය, මාළිගා, කීර්තිය සහ ආරක්‍ෂාව සඳහා තම නිදහස, පක්ෂපාතීත්වය සහ යුධ භටයින් සිය කැමැත්තෙන්ම බ්‍රිතාන්‍යයන් සමඟ වෙළඳාම් කළහ. එම සහයෝගීතාව මගින් 1947 වන තෙක් බ්‍රිතාන්‍යයන්ට ඉන්දියාවේ රැඳී සිටීමට ඉඩ සැලසුණා පමණක් නොව එතෙක් කල් එම කුමාරවරුන්ටද සිය සිංහාසනය ආරක්ෂා කර ගැනීමට ඉඩ සැලසුණි.

1500 දශකයේ මධ්‍යම ආසියාවේ බොහෝ ප්‍රදේශ පාලනය කළ පර්සියානු ජයග්‍රාහකයින් වූ මෝගල්වරුන්ගේ කාලයේ සිටම ඉන්දියාව පාලනය කළේ මේ කුමාරවරුන් විසිනි. මහා අක්බර් අධිරාජ්‍යයා විසින් මෙහෙයවනු ලැබූ මෝගල් අධිරාජ්‍යය 1560 ගණන් වල සහ 70 ගණන් වල ඉන්දියානු උප මහාද්වීපයේ වැඩි කොටසක් ඉක්මනින් යටත් කර ගත් අතර ඔවුන්ගේ පැරණි අගනගරය වූ අග්‍රා වල සහ පසුව ඔවුන්ගේ අලුත් අගනගරය වූ දිල්ලියේ දේශපාලන බලය හා පරිපාලනය කේන්ද්‍රගත කළේය. ඒ අනුව බිකනර් සහ ජායිපූර් වැනි පෙර පැවති රාජකීය රාජ්‍යයන් තම ප්‍රාදේශීය පාලනය ආරක්ෂා කර ගැනීම සඳහා මෝගල් අධිපතිභාවය පිළිගන්නා ලදී. 

අක්බාර් රජුද එවැනි රාජ්‍යයන්ට ඔවුන්ගේ යුද ශක්තිය දියුණු කර ගැනීමට උපකාර කළ අතර ඊට අමතරව විවාහයන් සහ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා මගින්ද සම්බන්ධතා ඇති කර ගන්නා ලදී. දිල්ලියේ අධිරාජ්‍යයා වෙනුවෙන් ප්‍රාදේශීය කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ප්‍රාදේශීය ආණ්ඩුකාරවරුන් සහ කුමාරවරුන් උපයෝගී කර ගනිමින් මෝගල්වරු විසින් ඉන්දියාව පාලනය කළහ.

නමුත් 1700 ගණන් වන විට මෙම පද්ධතිය බිඳවැටීමට පටන් ගෙන තිබුණි. අවාඩ් සහ බෙංගාලය වැනි විශාල ප්‍රාන්ත ශක්තිමත් වී වඩාත් ස්වාධීන වූ අතර ඔවුන්ගේ ආණ්ඩුකාරවරුන් දිල්ලියේ උසාවියෙන් ඈත් වී ස්වාධීන වීමට පටන් ගන්නා ලදී. 1713 දී හයිද්‍රාබාද් පාලකයා මෝගල් පාලනයෙන් ඉවත් වී තමාගේ භූමි ප්‍රදේශයේ නායකත්වය දැරීම ආරම්භ කළ අතර ඔහු තමාව පළමුවන අස්ෆා ජා ලෙස හදුන්වා දෙන ලදී. ඊට අමතරව සෙසු ප්‍රාදේශීය පාලකයින්ද ක්‍රමයෙන් එයින් ඉවත් විය. බෝපාල් සහ මයිසූර් වැනි ප්‍රාන්ත නිර්මාණය වූයේ ටිප්පු සුල්තාන් (මයිසූර්හි සුල්තාන් 1782-1799) වැනි පාලකයන් විසින් මෝගල්වරුන්ට සටන් කිරීමට අපහසු බලවත් හමුදා යන්ත්‍ර නිපදවීමත් සමඟ සහ තමන්ගේම කාසි නිෂ්පාදනය කිරීමත් සමඟය. ඊට අමතරව මෙම ආකාරයේ රණශූර රාජ්‍යයන් නිර්මාණය කරන ලද්දේ බාරෝඩාවේ ගයික්වඩ්වරුන්, ඉන්දෝර්හි හෝල්කාර්වරුන් සහ ග්වාලියර්හි සින්දියස් වැනි මහා රාජවංශයන් විසිනි.

1700 ගණන් වල මැද භාගය වන විට ඉන්දියාව රජුන් සහ අධිපතීන් විසින් පාලනය කරන කුඩා නමුත් බලවත් හා ආරක්‍ෂිත ප්‍රාන්ත කිහිපයකට බෙදී ගොස් තිබුණි. මෝගල් අධිරාජ්‍යයා දිල්ලියේ සිටි නමුත් සැබෑ බලය තිබුණේ මේ ප්‍රාදේශීය පාලකයන් සමඟ ය.

කෙසේ වෙතත් මේ ප්‍රාදේශීය පාලකයන් මෝගල් අධිරාජ්‍යය අතහැර දැමුවා සේම ඔවුන්ගේ උප මහාද්වීපයේ නැගී එන නව බලය වූ බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගම සමඟ වැඩි බැඳීමක් ඇති කර ගත්හ. අක්බර්ගේ පුත්‍රයා වූ ජහාන්ගිර් අධිරාජ්‍යයා බටහිර ඉන්දියාවේ සූරත්හිදී ඔවුන්ට වෙළඳ හා නිෂ්පාදන අයිතිය ලබා දුන් 1612 සිට මෙම සමාගම ඉන්දියාවේ වෙළඳාම් කරමින් සිටියේය. 1600 ගණන් වලදී ලන්දේසීන් හා ප්‍රංශ ජාතිකයින් සමඟ පැවති යුද්ධ හේතුවෙන් මෙම සමාගම ඉන්දියාවේ මදුරාසිය, බොම්බාය සහ කල්කටා දක්වා වර්ධනය වූ අතර 1717 දී බෙංගාලයේ දී රේගු බදු රහිත වෙළඳ අයිතියද ලබා ගන්නා ලදී.

කෙසේ වෙතත් 1757 දී මෙම සමාගම ඉන්දියාවේ ප්‍රධාන බලවතා බවට පත් වූයේ මේජර් ජෙනරාල් රොබර්ට් ක්ලයිව් නායකත්වයෙන් යුතු ප්ලාස්සි සටනේදී බෙංගාලයේ නවාබ් පරාජය කළ විට ඔහු යටත් වී සිය සියලුම භූමි කොටස් මෙම සමාගමට භාර දීමත් සමඟ ය. එමෙන්ම 1773 දී කල්කටාවේදී තමන්ගේම අගනගරයක් පිහිටුවන තුරුත්, බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ප්‍රථම ආණ්ඩුකාර ජනරාල්වරයා වන වොරන් හේස්ටින්ස් පත් වන තුරුත්, ඔවුන් බොම්බායේ සහ මදුරාසිය වටා සිය භූමි ප්‍රදේශ අඛණ්ඩව වර්ධනය කරගෙන ගියේය.

ඉන්පසු මෙම වෙළඳ සමාගම ඉන්දියාවේ බලවත්ම යුධමය හා ආර්ථික බලවතා බවට පත් වූ අතර මෝගල්වරුන්ට ඒ අනුව ඔවුන්ගේ ස්ථානය අහිමි විය. මේ හේතුව නිසා බොහෝ ස්වදේශික පාලකයින් තම නව අධිපතීන් ලෙස ඔවුන් පිළිගත් අතර මෙය ඔවුන්ගේ අඛණ්ඩ පැවැත්ම තවදුරටත් තහවුරු වීමට හේතු විය. 1766 දී හයිද්‍රාබාද්හි නිසම් අලි ඛාන් වෙළඳ සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කළ අතර එමගින් අවශ්‍ය වූ විට සමාගමේ සන්නද්ධ සහයෝගය ඔහුට ලබා දෙන බවට පොරොන්දු වූ අතර එයට ගෙවීමක් ලෙස මුදල් ලබා දීමට ඔහුට සිදු විය.

සමාගම සමඟ ඇති කර ගත් මෙම ගිවිසුම් නිසැකවම ස්වදේශික පාලකයින්ට ඉතා වාසිදායක වූ අතර ප්‍රාදේශීය යුධ ගැටලු පහසුවෙන් විසදා ගැනීමට, අනුප්‍රාප්තික ආරවුල් විසදා ගැනීමට හා රාජ්‍යයේ අනන්‍යතාවයන් ගොඩනඟා ගැනීමට මේ නිසා පහසුවෙන් ඔවුන්ට හැකි විය. එම නිසා සමාගම සමඟ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා බොහෝ රජවරු සහ නවාබ්වරු එකතු වූහ.  එය සමාගමටද ඉතා වාසිදායක වූ අතර, ඈදා ගැනීමකින් හා පරිපාලනය කිරීමේ වියදමකින් තොරව ඉන්දියාවේ ස්වදේශිකයන් සමඟ එකම වෙළඳ අයිතිවාසිකම් ඔවුන්ට ලබා ගැනීමට හැකි විය. නමුත් කාලය ගතවෙත්ම සමාගම වඩ වඩාත් බලවත් වූ අතර ඉන් පසු මෙම ගිවිසුම් හුදෙක් වෙළඳාමට වඩා බොහෝ සෙයින් වැඩි විය.

1800 ගණන් වල මුල් භාගයේදී, ආණ්ඩුකාර ජෙනරාල්වරු ඉන්දියාව තුල බ්‍රිතාන්‍යයයේ සහ මෙම සමාගමේ ‘පරමාධිපත්‍යය’ බලය තහවුරු කිරීමට පටන් ගත් අතර එමගින් ඔවුන් ඉන්දියාව තුළ සිය පාලන බලය ප්‍රකාශයට පත් කළහ. එමෙන්ම මෙම සමාගම සීක්, මරාතා සහ මෝගල් අධිරාජ්‍යයන් සෙමෙන් පරාජය කළ හෙයින්, ඔවුන්ගේ අසල්වැසියන් සමාගමේ ආධාර සහ ආරක්‍ෂාව සහිතව නව කුඩා ප්‍රාන්ත රාශියක් නිර්මාණය කර ගන්නා ලදී. ආණ්ඩුකාර ජෙනරාල් රිචඩ් වෙලස්ලි (වෙලින්ටන් ආදිපාදවරයාගේ සහෝදරයා) ‘අනුබද්ධ සන්ධාන’ නම් වැඩසටහන ආරම්භ කළේ මේ අවස්ථාවේදී ය. 

මෙය කුඩා ස්වදේශික රාජ්‍යයන් සහ සමාගම අතර ඇති වූ ගිවිසුම් වන අතර එම ගිවිසුමට අනුව ඕනෑම බාහිර තර්ජනයකට හෝ අභ්‍යන්තර බලපෑමකට සමාගම සහාය වන බවට සහතික විය. එහෙත් ස්වදේශික පාලකයන් විසින් මෙම සමාගම ඉන්දියාවේ උත්තරීතර බලය ලෙස පිළිගත යුතු බවට කොන්දේසික්ද මෙම ගිවිසුමේ සදහන් වූ අතර එමෙන්ම ස්වදේශික පාලකයන්ට මෙම වෙළඳ සමාගම හැර වෙනත් කිසිවෙකු සමඟත් වෙළඳාම් කිරීමටත් නොහැකි විය. එමෙන්ම ඔවුන්ගේ උසාවිය තුළත් සමාගම නියෝජයනය කරන එක් සාමාජිකයකු සිටිය යුතු බව එහි වූ අනෙක් කොන්දේසියයි.

ඒ අනුව 1798 දී හයිද්‍රාබාද්හි නිසාම් මෙම ගිවිසුමට මුලින්ම ඇතුළු වූ අතර 1817 දී රාජ්පුත්හි රජවරුන් සහ 1819 දී බාරෝඩාවේ ගයික්වඩ් වැනි අයද මෙම ගිවිසුමට ඇතුළත් වූහ. එමෙන්ම 1845-46 ඇංග්ලෝ-සික් යුද්ධයෙන් පසු පන්ජාබ් රාජධානිය බිඳවැටීමෙන් පසු නව පටියාල, ජින්ඩ් සහ කපුර්තලා වැනි ප්‍රාන්තද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමඟ මෙම ගිවිසුමට එක් විය.

එහෙත් අනෙක් ප්‍රාන්ත එතරම් වාසනාවන්ත නොවීය. එම ප්‍රදේශ වල පාලකයන්ගෙන් සමහරක් බ්‍රිතාන්‍යයන් සමඟ ගිවිසුම් ගත විමට එකඟ නොවූ අතර තවත් සමහරක් ප්‍රාන්ත වල ඉතා විශාල ලෙස වත්කම් තිබුණු නිසා එම ප්‍රදේශ කෙලින්ම ඈදා ගැනීමට බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය විය. ඒ අනුව දිල්ලියේ මෝගල් අගනුවර 1803 දී ද ඇසෑම් 1828 දී ද සින්ද් 1843 දී ද ඈඳා ගන්නා ලදී.

1840 ගණන් වලදී ඩල්හවුසි හි එවැන්ජලිස්ත මාක්වෙස් ආණ්ඩුකාරවරයා යටතේදී මෙම ඈඳා ගැනීම් එහි උච්චතම අවස්ථාව කරා ළඟා විය. ඔහු පැනවූ ‘උරුමක්කරුවෙකු නැති වීමේ මූලධර්මය’ යටතේ (දරුවන් නැති පාලකයෙකුට තම ඊළග අනුප්‍රාප්තිකයා තෝරා ගැනීම තහනම් කළ අතර ඒ වෙනුවට එම භූමිය වෙළඳ සමාගමට පැවරීමට සිදු විය) 1848 දී සතෝරා ප්‍රාන්තයද, 1854 දී ජාන්සි සහ 1856 අවාද් යන නගරද ඈඳා ගන්නා ලදී. මෙම ඈඳා ගැනීමේ ප්‍රතිපත්තිය ස්වදේශික පාලකයාගේ පක්ෂපාතිත්වය මත තීරණය කෙරුණු අතර ‘අනුබද්ධ සන්ධාන’ යටතේ සිටින්නන්ටද බ්‍රිතාන්‍යයන්ගේ අණට යටත් වී සිටීමට සිදු වූ නිසා ඔවුන්ටද එම ඉරණමට මුහුණ දීමට සිදු විය.

ඒ අනුව දහනව වන සියවසේ මැද භාගය වන විට ඉන්දියානු උප මහාද්වීපයෙන් පහෙන් තුනක්ම බ්‍රිතාන්‍ය ඉන්දියා වෙළඳ සමාගමට අයත් වූ අතර ඉතිරි පහෙන් දෙකම ඔවුන්ගේ අනුමැතිය ඇතිව පාලනය කළ සිය ගණනක් වූ ස්වදේශික පාලකයන් සතුව පැවතුනි.

දෙවන කොටසින් හමුවෙමු...විශ්මිත ඉතිහාසය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සියවස් දෙකකට ආසන්න කාලයක් ඉන්දියාව පාලනය කිරීමට බ්‍රිතාන්‍යයට උපකාර කළ ඉන්දියානු ස්වදේශික ජනපද වල නායකයින් පිළිබඳ හැඳින්වීමක් - පළමු කොටස ( India - Part One) සියවස් දෙකකට ආසන්න කාලයක් ඉන්දියාව පාලනය කිරීමට බ්‍රිතාන්‍යයට උපකාර කළ ඉන්දියානු ස්වදේශික ජනපද වල නායකයින් පිළිබඳ හැඳින්වීමක් - පළමු කොටස ( India - Part One) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 27, 2021 Rating: 5

0 comments:

Post a Comment