රෝග පීඩා රැසකට දිව්‍යමය හෙළ ඔසුවක් - විෂ්ණුක්‍රාන්ති (Wishnukranthi) [Dwarf Morning Glory , Little Glory]

රෝග පීඩා රැසකට දිව්‍යමය හෙළ ඔසුවක් - විෂ්ණුක්‍රාන්ති (Wishnukranthi) [Dwarf Morning Glory , Little Glory] - Your Choice Way
නීල පුෂ්පි , අපරාජිතා , නීලක්රාන්තා , විෂ්ණු ක්‍රාන්දම් , විෂ්ණු කරන්දි , විෂ්ණු ගාන්ධි ආදී නාමයන් කිහිපයක් විෂ්ණුක්‍රාන්ති ශාකය සදහා  භාවිතා කරයි. විෂ්ණු දෙවියන් ප්‍රියකරන යන අරුතින් " හරිප්‍රිය , දේවප්‍රිය "  යනුවෙන්ද හඳුන්වන ලබන මේ ශාකය ඉංග්‍රීසියෙන් Dwarf morning glory , Little glory  වෙයි. නම් කිහිපයකින් හදුන්වන මෙම විෂ්ණුක්‍රාන්ති ශාකය උතුරු පළාතේ පළාත් පුෂ්පයයි.

විෂ්ණුක්රාන්ති පොළව මත වැතරී වැඩෙන හෝ ඇතැම් විට ඉහලට වැලක් ආකාරයෙන් වර්ධනය වන වාර්ෂික හෝ බහු වාර්ෂික පැළෑටියකි. ශාකය පුරාම සේදවන් බූවක් දක්නට ලැබේ. ඒකාන්තරව පිහිටන සරල පත්ර හැඩයෙන් ඉලිප්සාකාර සිට රේඛීය ආයත වේ. පත්රයක දිග 0.8 - 2.6 cm දක්වා වැඩෙයි. පුෂ්ප මංජරිවල මල් 1-5 සංඛාවක් පිහිටයි. නිල් පැහැති කුඩා මල් අලංකාරවත්ය. උදෑසන මල් පිපීම සිදුවෙයි. ඵලය ගෝලාකාර ස්ඵෝටිකාවකි. ඵලයක් තුල අණ්ඩාභ හැඩැති බීජ 4 පිහිටයි. දේශීය ශාකයක් වන විෂ්ණුක්රාන්ති Connvolvulaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයකි.

විෂ්ණුක්රාන්ති ශාකයට තරමක් සමාන මෙම උද්භිද ගණයටම අයත් Evolvulus glomeratus නම් විදේශීය විසිතුරු ශාකයක් ඇති අතර බොහෝ දෙනෙක් එය විෂ්ණුක්රාන්ති යැයි වරදවා ඖෂධ සඳහා භාවිතා කරයි. පඳුරක් ආකාරයට වැඩෙන එම ශාකයේ විෂ්ණුක්රාන්ති ශාකයේ තරම් බූවක් නොපිහිටන අතර මල්ද නියම විෂ්ණුක්‍රාන්ති මලට වඩා 1/5 පමණ විශාලය. විෂ්ණුක්‍රාන්ති ශාකය පොලොවට සමව බොහො විට වැඩෙන අතර විදේශීය විසිතුරු විෂ්ණුක්‍රාන්ති ශාකය ඉහලටයි වැඩෙන්නේ.

භාරතීය මූල් ආයුර්වේද ග්‍රන්ථවල ශංඛපුෂ්පී නමින් හඳුන්වන ඖෂධීය ශාකය වෙනුවට දේශීය විෂ්ණුක්‍රාන්ති පැළෑටිය භාවිතා කරයි. ශංඛපුෂ්පී හෙවත් සක්මල් සහ  විෂ්ණුක්‍රාන්ති යන ශාක ද්විත්වය ගුණ වශයෙන් බලන කල්හි සමානතා ඇති බව විද්වත් මතයයි.

කෝලවාත , ඉලප්පුව , ඇම්ම , සන්නිපාත උණ , අහාර අරුචිය , කැස්ස , ඇදුම , ස්වාස නාළිකා ප්රදාහය , අපස්මාරය , රුධිර දෝෂ , ගලගණ්ඩය , කුෂ්ඨ , ළාඳුරු ඇතුළු චර්ම රෝග , උපදංශය , පැපොල , කොලරාව , අතීසාරය , කම්බුල්ගාය , අධිරුධිර පීඩනය , මඳසරු බව , ඔසප් දෝෂ, මුත්ර ආබාධ, ස්නායු රෝග, නින්ද නොයාම , ළදරුවන්ට වැලඳෙන කැස්ස , උණ සහ විශේෂයෙන් කක්කල් කැස්ස යනාදී රෝග සඳහා ප්‍රරතිකාර කිරීමට විෂ්ණුක්‍රාන්ති සම්පූර්ණ පැළෑටියම භාවිතයට ගනී. විෂ්ණුක්‍රාන්ති මේධ්ය, ශුක්ර වර්ධක, රසායන, බලකාරක, මතකය සහ නුවණ වඩන, විෂ නසන, රුධිරය පිරිසිදු කරන, විරේචක ආදී ගුණයන් සහිතයි.

✅ ඇදුම සහ ස්වාස නාළිකා ප්රදාහයට විෂ්ණුක්රාන්ති දුම්වැටිය භාවිතා කිරීම ගුණය

✅ වාත උන්මාදයේදී විෂ්ණුක්රාන්ති කෂාය යොදා ප්‍රතිකාර කරයි.

✅ එය මතකය සහ නුවණ වැඩීමටද ඉවහල් වන ප්‍රතිකාරයකි.
  • මතක ශක්තිය හා නුවණ වැඩුමට මුලෙහි යුෂ තේ හැඳි 1-2 උදෑසන හිස්බඩ ගැනීම. මුල් තැම්බූ දිය අඬුකෝප්ප 1/2 -1 උදෑසන පානය කිරීම.

✅ කෝලවාත , ඉලප්පුව , ඇම්ම , නොබසිනා උණ , අරුචි , කැස්ස , ඇදුම ආදියට දියතාරාම ගුළියේ අනුපාන මිශ්රව යොදයි. 

✅ දෙවියන්ගේ ලෙඩ ලෙස සැළකෙන පැපොල කම්මුල්ගාය ආදියේදී සහනය ලබාගැනීමට ශාකය තැම්බූ දිය බීමට ලබා දීම.

✅ උණට සම්පූර්ණ ශාකයෙන් සෑදූ ඵාණ්ඨය හෝ ක්වාතය භාවිතා කරයි. 

✅ නාඩි දුර්වලත්වයට හා ජීර්ණජවරයට විෂ්ණුක්රාන්ති , සූදුරු ක්ෂීර පානය බීමට දෙයි.

✅ ළදරුවන්ගේ කැස්ස , උණ සහ විශේෂයෙන් කක්කල් කැස්සට ප්‍රතිකාර කිරීමට කප්පරවල්ලිය , විෂ්ණුක්රාන්ති , පාවට්ටා කෂාය හෝ පැණිය යොදා ගනී. 

✅ විෂ්ණුක්රාන්ති පැළෑටියම ගෙන ඇල් ජලයෙන් අඹරාගත් පල්පය ආලේප කිරීම තුවාල සඳහා ප්රතිකාරයකි. එමෙන්ම ඒ සඳහා මෙම ශාකයේ චූර්ණය ද භාවිතා කළ හැකිය.

✅ ස්නායු දුර්වලත්වයට විෂ්ණු ක්‍රාන්ති  මුල් හා සූදුරු දමා උණුකළ එළකිරි බීම සුදුසුයි.

✅ විෂ්ණුක්රාන්ති යොදා සිඳගත් තෙල් හිස ගැල්වීම හිස කෙස් මනාව වැඩීමට උපකාරී වෙයි.

⭕ දේශීය වෛද්‍ය ක්‍රමයේදී රෝග රැසකට යොදාගන්නා විෂ්ණුක්‍රාන්ති ශාකය වඩාත් ප්‍රසිද්ධ සර්ප විෂ විද්‍යාවටයි. විෂ ශරීරගත වූ විට නස්න කිරීම සඳහා විෂ්ණුක්‍රාන්ති ශාකය යොදාගනී. විෂ මුර්ජාවෙන් අප්‍රාණික වූවන් පවා නැගිටවිය හැකි බලයක් ඇති වටිනා ඖෂධයක් ලෙස හැඳින්වේ. ගලගණ්ඩය , මුත්රා ආබාධ , අධිරුධ්ර පීඩනය , අපස්මාරය වැනි රෝග දුරලන්නකි. ශාකය මුල්කරගෙන ස්නායු රෝග සඳහා ඖෂධයක් නිපදවා ඇති බව ද සඳහන් වෙයි. සමේ ඇතිවන කුෂ්ට වැනි චර්ම රෝග සුවකර දෙන විෂ්ණුක්‍රාන්තිය සම නිරෝගිකර දෙනවා. සමේ ඇතිවන තුවාල සඳහා පැළෑටිය පල්පයක් සේ සකසා ආලේප කරනු ලබනවා. විෂ්ණුක්‍රාන්ති මොළය හා මතක වර්ධනයට ද බෙහෙවින් උපකාරි වන්නක්. එය උන්මාද රෝගින්ට ප්රතිකාර ලෙස ද යොදාගන්නවා. මනස සෙමින් වර්ධනයවීමේ රෝගීන්ට හිතකර ප්රතිකාර සලසනවා. එමගින් මනස නිරෝගිකිරීමට දායකවෙනවා. මඳසරුබවට පිළියම් කරන විෂ්ණුක්‍රාන්ති ශුක්ර වර්ධනය කර දෙන්නක් ලෙසද සැළකෙනවා. එය දරුපල අහිමිවූවන්ට දරුපල ලබා දෙනවා. ආර්තව අක්‍රරමිකතා දුරු කරනවා. 

අතීත ගැමියන් විෂ්ණුක්‍රාන්ති මුල් , කොල වියළා කුඩු කර දුම් ඇල්ලීම සඳහා යොදාගෙන ඇත්තේ එයින් මනා සුවදක් පැතිරී යන අතර විෂ්ණු දෙවියන්ගේ ඇල්ම බැල්ම ලැබී සෙනසුරු අපල දුරු වී නිවසට සෞභාග්‍යය උදාවන බව විශ්වාසයෙනි. තවද නිවෙස් ඉදිරිපිට විෂ්ණු ක්‍රාන්ති වවාගැනීම දේව බැල්ම හා සෞභාග්‍යය ලබන්නට සුදුසු ශාකයක් සේ අතීත මිනිසුන්ගේ තිබුනු ප්‍රබල මතයකි. පැරැන්නන් පානයක් ලෙස ද මෙම ශාකය භාවිත කොට ඇත. විෂ්ණුක්‍රාන්ති එක් කර සාදන කැද ඖෂධීය ගුණයන්ගෙන් යුතු අතර ලෙඩ රෝග රැසකට බොහොම ගුණදායක වන්නේය.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රෝග පීඩා රැසකට දිව්‍යමය හෙළ ඔසුවක් - විෂ්ණුක්‍රාන්ති (Wishnukranthi) [Dwarf Morning Glory , Little Glory] රෝග පීඩා රැසකට දිව්‍යමය හෙළ ඔසුවක් - විෂ්ණුක්‍රාන්ති (Wishnukranthi) [Dwarf Morning Glory , Little Glory] Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 21, 2021 Rating: 5

0 comments:

Post a Comment