ප්‍රේතියක හමු වුණෙමි (Prethiyaka)

ප්‍රේතියක හමු වුණෙමි (Prethiyaka) - Your Choice Way
බෝධි පූජාව ඉවර වෙනවත් එක්‌කම ඇවිත් හිටපු සෙනඟ ටික දෙනෙක්‌ ගෙවල්වලට ගියා. ඒත් තිහ හතළිහක්‌ විතර හිටියෙ අසපුවේ නොයෙක්‌ පුද පූජා තියන්නයි. මටත් මගෙ යාළුව සුනිල්ටත් බටගිනි තිබුණත් අසපුව ගැන හොඳින් දන්න දේවසිරි කියපු කතාවෙන් අපි පමා වුණා. තව ටිකක්‌ ඉන්ඩ පෙරේතයෙක්‌ බලන්ඩ පුළුවනි.

"කෝ කොහෙද ඉන්නෙ"

" අර ඉන්නෙ. අර කණුව ළඟ බිම ඉඳගෙන"

අසපුවෙ බෝධිය ළග කණුවට හේත්තු වෙලා හිටියෙ නම් ලස්‌සන ගෑනු ළමයෙක්‌. හරිම සීදේවි, අහිංසක පාටයි.

කොහෙද පෙරේතයෙක්‌ ඉන්නෙ?

ඔය අම්මත් එක්‌කම ඉන්න ගෑනු ළමය තමයි. තව ටිකක්‌ ඉන්නකෝ දේවසිරි එහෙම කියන කොට යන්ඩත් බෑ. ඉන්ඩත් බෑ. කමක්‌ නෑ තව ටිකක්‌ ඉන්න කියල මම සුනිල්ට කීව. එක පැත්තක පුංචි චෛත්‍යයක්‌. තව පැත්තක පුංචි බෝධියක්‌. ඒක වටේට රන්වැටක්‌. මිනිස්‌සුන්ට ඉන්ඩ පුංචි ශාලාවක්‌. මැද බුදු මැදුරක්‌. මිදුලෙ හැමතැනම මල් වවල. බෞද්ධ කොඩි මේක පන්සලකුත් නෙවෙයි. මෙතන අධිපති " ගුරුතුමා" ගිහියෙක්‌. ඒත් පන්සිල් රකින හොඳ උපාසක මහත්තයෙක්‌.

තවත් ටික වෙලාවකින් මොනව හරි වෙන්න නැතෑ කියල මමත් සුනිලුත් දේවසිරිත් පැත්තකට වෙලා හිටිය. ඒත් මට නං මේක ගැන එච්චර විශ්වාසයක්‌ නෑ. පෙරේත, භූත, හොල්මන් කතා, මලවිකාර. මේ සති අන්තෙ පත්තරෙත් ලොකු දොස්‌තර කෙනෙක්‌ ලියල තිබුණ පෙරේත දෝස කියන්නෙ මනෝ විකාරවලට කියලා. ඒ කියන්නේ ඉතිං බාගෙට පිස්‌සු කියන එකනේ. එහෙම අයට බේත් කරන්න ඕනෑලු.

නවීන විද්‍යාව අදහන හැමෝම වගේ ඔය භූතයෝ පෙරේතයො විතරක්‌ නෙවෙයි ආයෙමත් මැරිල උපදිනව කියන එකත් විශ්වාස කරන්නෙ නෑනේ. පුනරුප්පත්ති කතා බොරු. හොල්මන් කියල ජාතියක්‌ නෑ. ඔක්‌කොම මේ ආත්මෙ විතරයි. ඔය උගත්තු කියන්නෙ එහෙමයි.

ඒ වුණත් එහෙමම කියන්ඩත් බෑ. හැම ආගමකම පරලොවක්‌ ගැන කියනවා. භූතයො ගැන කියනවා. බුදුහාමුදුරුවොත් ප්‍රේත ලෝකය ගැන දේශනා කරල තියනවනේ. හය හතර දන්නෙ නැති එවුන් කියන දේවල් කියලයි මට හිතුනෙ" හය හතර කියන්නේ දිව්‍ය ලෝක හයටයි හතර අපායටයි නේ. එතකොට මේ ලෝකෙ විතරක්‌ යෑ. ඔහොම හිත හිතා ඉන්න කොට ගුරුතුමා කතා කළා.

හා ඔය දරුවත් එක්‌ක ඔය කට්‌ටිය මෙතෙන්ඩ එන්නකො. එතකොට අර ගෑනු ළමයයි අම්මයි අතින් හත් අට දෙනයි ගුරුතුමා ළගින් වාඩි වුණා. ගුරුතුමා හිටියෙ පුංචි දේවකුටියක්‌ ළඟ එතුමා ඒ දේවකුටියට පහන් මල් තියල වැඳල බිම වැඩිවුණා. ගුරුතුමා වෙන සාස්‌තරකාරයෝ වගේ ආරූඪ වුණේ නෑ. යාතිකා කළෙත් නෑ. ඒත් හෙමිහිට මොනවදෝ කීව.

"එහෙමයි අප්පච්චි එහෙමයි අප්පච්චි කියනව නං ඇහුන. මට තේරුණේ මල්පැල ඇතුලෙ ඉන්න කෙනෙකුට කතා කරනව කියලයි. හැබැයි එතකොටම අර ලස්‌සන ගෑනු ළමය ඔළුව කරකවන්න ගත්තා. හරියට ආවේෂ වුණා වගේ. එතකොට ගුරුතුමා එයාගෙ කෙස්‌ ටිකකින් අල්ල ගත්තා.

මට නං මොනවත් තේරෙන්නෙ නෑ. හැබැයි එතන ඉඳල සිද්දවෙච්ච දේවල්, කතා හරිම පුqදුමයි. මම එහෙමම ලියන්නං ඉතිං උඹ කවුද කියපං - ගුරුතුමා අහනව

නෑ මම - මමද?

ඔව් කියපං කියපං මේ සරීරෙට වැහිල මේ කරදරකරන්නෙ කව්ද?

මම මම තමා කුමුදුනී

එහෙම කියන කොට අර අම්ම කියනව එයා තමා මගේ මැරුණ දුව කියල. මෙයාගෙ අක්‌ක.

- හා කුමුදුනි කියපං උඹට මොනවද ඕන?

මට බඩගිනියි. බඩගිනියි කියල කෑ ගැහැව්වා

හරි මොනවද කන්ඩ ඕන

පලතුරු පලතුරු දෙන්ඩ.....

එහෙම කියල ඇය විලාප තියන්ඩ ගත්ත.

එතකොට පලතුරු ජාති කෑලි කෑලිවලට කපපු ලොකු ප්ලාස්‌ටික්‌ බේසමක්‌ අරං ආපු කෙනෙක්‌ ඒක කුමුදුනී ළඟ තිබ්බා. මට නම් පුදුමයි. ඒක කන විදිය දැක්‌කම කටෙන් විතරක්‌ නෙවේ. නහයෙත්, මූණෙත් ගෑවෙනව හරිම බඩජාරි විදිහට, කවදාවත් කෑම දැකල නැති විදිහට වගේ, කාගෙන කාගෙන යනවා. ඒකටම වතුර ජෝගුවකුත් දැම්මා. ඒ ගමන අලිපේර එහෙම ලෙලි පිටිං කන ගමන් දෝතින් අරං වතුරත් බීවා. මූණෙත් ගාගත්තා. අපි නම් පස්‌දෙනෙකුටවත් එච්චර කන්න බෑ. ඇත්තටම පෙරේතියක්‌ කියල මට හිතුන.

මේ අර කණුවට හේත්තු වෙලා හිටපු ලස්‌සන ගෑනු ළමයද කියලත් මට හිතුනා. හැමෝම සද්ද නැතුව බලා ඉන්නවා. ආයෙමත් ගුරුතුමා.

හා - දැං බඩ පිරුණද?

ඔව් අවුරුදු අටකින් කෑවෙ

අවුරුදු අටක්‌ම කෑම නැද්ද?

නෑ කවුරුවත් දුන්නෙ නෑ

හරි දැං කියපං උඹට මොකද වුණේ

මං මං අර ඇට කෑවනේ

මොන ඇටද?

අර අර කනේරු ඇට

කනේරු ඇට? ඒ මොකටද?

මට එයා එපා වුණා.

එයා කියන්නෙ කව්ද?

එයා එයා කියන්නෙ මගෙ මහත්තය

ඉතිං හා කනේරු ඇට කාල මොකද වුණේ

මම කෑවට පස්‌සෙ සීනිදාල කුරුම්බ වතුර දුන්නනේ එයා

ඉතිං ඉතිං

මම දන්නෙ නැතුව ඒක බීව. මට වමනෙ ගියා. මම ජනේලෙට වමනෙ කෙරුවා. එතකොට එයා හිනාවෙවි බලා හිටියා.

ඊට පස්‌සේ

ඊට පස්‌සෙ මාව බයිසිකලේ තියාගෙන ඉස්‌පිරිතාලෙ ගියා.

ආ..... ඉතිං ඉතිං

ඉතිං ඉස්‌පිරිතාලෙ යන කොට වෙලේ, නංගි බලාගෙන හිටියා. මම නංගීට කීව සනීප නෑ බේත් අරං එන්නට කියලා."

(කුමුදුනී ලෙස කතා කරන්නේ මෙම නංගී බව පසුව අපි දැනගත්තා)

ආයෙත් ගුරුතුමා ප්‍රශ්න කරනවා.

ඇයි උඹට කනේරු ඇට කන්න තරං මහත්තය එපා වුණේ.

එපා වුණේ එයා කාමිනිත් එක්‌ක. කාමිනිත් එක්‌ක.....

ඔව් කාමිනිත් එක්‌ක කියපං

කාමිනිත් එක්‌ක ඉන්නවා මගෙ අතටම අහුවුණා. අපේ ගෙදරදීම ඉතිං....

ඉතිං මට ජීවිතේ එපා වුණා. ඉස්‌පිරිතාලෙ ගෙනිච්චට මම ආපහු ආවෙ නෑ. ආපහු ආවෙ නෑ

හරි ඉතිං උඹ මහත්තයට මොකද කළේ?

මේ ප්‍රශ්න අහනකොට කුමුදුනී වියරුවෙන් මෙන් කතා කළාය.

" ඌ....... ඌ. හිටියෙ යුද්දෙට ගිහින් නේ. දවසක්‌ ඌ තව කට්‌ටිය එක්‌ක කැලෑවක හිටිය. එතකොට ඇස්‌ කළුපාටට බැඳගෙන බිමදිගේ මෙහෙම මෙහෙම (බිම දිගේ බඩගාගෙන එන හැටි පෙන්වා) තවත් එවුන් කට්‌ටියක්‌ ආවා.

ඉතිං

මම උන් එකෙකුට ආවේස වුණා. ආවේස වෙලා සද්ද නැතුවම බෙල්ල " චිරිස්‌" ගාල කැපුව ඌ ගෙදර ගෙනාවෙ කුණුවෙලා පෙට්‌ටියට ඇණ ගහල දවස්‌ ගානකට පස්‌සෙ.

සුනිල්, දේවසිරි මේ වෙලාවෙ මා දිහා පුදුමෙන් වගේ බැලුව. අපට තේරුණ කුමුදුනීගෙ මහත්තය යුද්දෙදී ත්‍රස්‌තයෙක්‌ අතින් මැරුම්කාපු බව ඒත් මේ කතාව මරණයේ ඇතුල් පැත්ත වගේ ගුරුතුමා ආයෙත් අහනව.

ඉතිං උඹ ඒ කාමිනීට මොකද කළේ?

ඒකිට...... (හිනාවෙමින්) ඒ පැත්තෙ කුෂ්ටයක්‌ ගැහුවා

දැං වනවෙලා. කවදාවත් සනීප වෙන්නෙ නෑ.

ගුරුතුමා ආයෙත් අමුතුම ප්‍රශ්නයක්‌ අහනවා. හරි ඉතිං උඹට මෙහෙම කනේරු ඇට කණ්‌ඩත් පවක්‌ තියෙන්ඩ ඇතිනේ. උඹ මොකද්ද කරපු පව?

මමත් ඒ වාගෙ වැඩක්‌ කෙරුව

මොකද්ද?

ගෑනි කුඹුරට ගියාම

ඔව් කියපං කියපං

ගෑනි කුඹුරට ගියාම මම එයාගෙ ගෙදරට යනවා.

ගෑනි කුඹුරෙ උඹ මිනිහත් එක්‌ක ගෙදර?

ඔව්.

මේ වෙලාවෙ හිටි හැටියෙම ගුරුතුමා මල්පැලේ ඉන්න කෙනා එක්‌ක මොකද්දෝ කතා කළා. එහෙමයි අප්පච්චි කීව

" හරි උඹ මේ වස කාල මැරුණෙ කීවෙනි ආත්මෙද?

පහ- පහ පස්‌වෙනි ආත්මෙ තව තුනක්‌ තියනවා

ගුරුතුමා අන්තිමට සෙත් සාන්තියක්‌ කළා. කුමුදුනී එයාගේ අම්මට වැඳල මම යනව කීව. අන්තිමට කුමුදුනි ගියා. අර මුලින්ම හිටපු ලස්‌සන ගෑනු ළමය ආයෙත් ඉන්නවා. ඇයට මොකවත් මතක නෑ. අපි පස්‌සෙ දැනගත්තෙ මේ ළමයගෙ නම ශ්‍රියාණි. මැරිච්ච කුමුදුනි එයාගෙ අක්‌ක. එයා බැඳල හිටියෙ අර තුන්වෙනි සිල්පදය කඩපු මියගිය කෙනෙයි. තුන්වෙනි සිල්පදය කඩපු කුමුදුනී ප්‍රේතියක්‌ වුණා. දිවි හානි කරගත්ත. සැමියා ඝාතනය වුණා. කාමිනීට නරක රෝගයක්‌. කියන්නෙ සමාජ රෝගයක්‌. කාමිනී කියන්නේ ශ්‍රියාණිගෙ හොඳම යාළුවලු. ප්‍රේත දෝෂය ඉවත් වුණා. ඒත් තවත් ආත්ම තුනක්‌ ඇයට දිවි හානි කරගන්න නියම වෙලා. කර්ම විපාක.

මහත්තය අපි දවස තිස්‌සෙම කොච්චර දේවල් එකතු කරගන්න මහන්සි වෙනවද? ඒත් අත්හරින්නේ නෑනේ. ඉතිං හුඟ දෙනෙක්‌ මැරිල උපදින්නෙ අර අල්ලගන්න තැන්වලට ප්‍රේත ආත්මවල අපි කව්රුවත් මේ තත්ත්වය නැති කරගෙන නැහැ නේද? අන්තිමට ගුරුතුමා දුන්න අවවාදය ඒකයි.

බුදු අම්මෝ වැරදි කාමයක විපාක - ඕව බොරු කතා කියල මං නම් ආය කවදාවත් කියන්නෙ නෑ.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ප්‍රේතියක හමු වුණෙමි (Prethiyaka) ප්‍රේතියක හමු වුණෙමි (Prethiyaka) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 23, 2021 Rating: 5

0 comments:

Post a Comment