මරණයෙන් අවදිවූ සේපාලි (Sepali Awakened From Death)

මරණයෙන් අවදිවූ සේපාලි (Sepali Awakened From Death) - Your Choice Way
"තනි වෙන්න එපා . ."

" ආ පුලුවන් නම් කියන්න කවුද කියලා ....."
වැව් කණ්ඩිය මත වාඩි වී සමු ගන්නට මාන බලමින් සිටින හිරු දෙස බලමින් සිටි මගේ දෑස් වසමින් ඇය තාලයට ඇසීය. ඇගේ උනුසුම් හුස්ම මගේ කන් පෙති හා කම්මුල් හරහා ගලා ගියේ මගෙ සියොලඟම රෝම ඩැහැගනිමින් .
" ම්ම්ම්ම් මෝහිනී...."

" මෝඩයා......" ඇය මගෙ කන මිරිකමින් මා අසල වාඩි විය.. 

" මල්ලකුත් එල්ලගෙන කොහෙ යන්නද..."

" ටවුමට ගිහින් එන ගමන් ඔයා දැකලා නතර උනේ.... කො ඉතින් අපි බලන්න ආවොත් මිසක් අපිව බලන්න එන්නෙ නෑනේ..."

" අවුරුදු ගානකට පස්සෙ කොලඹ ඉදලා ආවේ ඊයේ රෑ .... මහ රෑම එහෙ එන්න කියලද කියන්නෙ..මං ඔහේලා ගෙ ගෙදර ගිහින් ආවේ කෝ හිටියේ නෑ නෙ"

" කො ඉතින් මට මොනාද ගෙනාවේ..."

" ම්ම් ඇස් වහගෙන ඉන්න....."

මා ඇයටම ගෙනා පා සලඹ ඇගේ සුදු මුදු පාදයෙ පැලදවීය

" අනේ හරිම ලස්සනයි .... මේ සද්දෙකුත් එනවා...."
එයින් නැගෙන සියුම් " සිලිං සිලිං " නාදය පෙන්වීමට ඈ වුවමනාවෙන්ම පා ගසමින් මා වටා ඇවිද්දාය 

සරසවි වරම් ලැබූ මා නැවත ගමට ආවේ සියලු අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසුවය.. සේපාලි මගේ පෙම්වතිය නොවුනත් අප දෙදෙනාට ම නොහැගෙන බැදීමකින් අපි වෙලී සිටුයෙමු

" සමන්ත අයියා.... අනෙ මාව අර ඔරුවෙ රවුමක් අරන් යන්නකො..." 

" මොලෙ කොලොප්පන් ද... ගොම්මන වැටෙන්නත් ලගයි...."

"  අනෙ අනෙ අනෙ....."
ඈ ඇවිටිලි කලාය

" හැබැයි පොඩ්ඩ දුරයි ....."

එය ඇසූ සැනින් මටත් පෙරම ඈ තෙප්පම වෙත දිව ගියේ පොඩි එකියක මෙනි... අත තිබූ මල්ල අසල තිබූ කුඹුක් අත්තක එල්ලා තෙප්පම ට ගොඩවූ ඇය හබලද අතට ගෙන මා දෙස බලා සිනාසුනේ ගොඩ සිටම ඔරු පදින්නට මෙන් සූදානමකිනි.. බැස යන ගිනියම් හිරුට පිටුපා සිටි ඇය චිත්‍රයක් මත ජීවත් වන සුරංගනාවියක් තරම් සුන්දර ය..

" වාසනවට අද කවුරුත් නෑ... නැත්තම් ඉතින් කැලෑ පත්තර තමයි... කො ඔය ගවුම උඩට ගන්න තෙමීගෙන ගෙදර ගිහින් මාවත් පෝරකේට යවන්නද හදන්නෙ..."

තෙප්පම වැවට තල්ලු කරන ගමන් මම කීවෙමි . ඒ ගමන්ම එයට ගොඩ වූ මා හබල ද අතට ගෙන ටිකක් දුරට පැද ගියෙමි....

" ඔය මදී ... ආ..න්න අතනට.... යමු..." 

" හ්ම්ම්ම්"
මා ඈ කී තැනට පැද ගියෙමි... නමුත් ඈ කුමක්දෝ කියන්නට මෙන් මා දෙස බලා සිටියාය..

" මොකෝ මගෙ මූනෙ පෙරෙහැරක් යනවාද..."
මම ඇසුවෙමි 

" සමන්ත අයියා.. මට කාරණාවක් කියන්න තියෙ.."

" කියන්න ඉතිං ..."

" ඔයා කොලඹ ගිහින් ටික කාලෙක ඉදන් වසන්ත අයියා මගෙ පස්සේ කැරකෙනවා... මම කොච්චර කිවුවත් මනාප නෑ කියල එයා අහන්නෙම නෑ... ඒත් මට වසන්ත අයියගේ හිත රිද්දන්නත් බෑ...."

" ඒ මොකො....??"

" නෑ.... එක දවසක් ජෝන් මාමගෙ කසිප්පු වාඩියෙ කොල්ලො දෙන්නෙක් මට හිරිහැර කරන්න ඇවිත් වසන්ත අයියා තමයි මාව බේර ගත්තේ...." 

මා සිතේ පුදුමාකාර තරහක් නැගෙත්ම ඒ ආවේගයටම සමාන කොහෙන්දෝ ආ සැර රැල්ලක් ඔරුවෙ හැපී තදින් පැද්දෙන්නට විය....

" මොකක්... මං බලා ගන්නම්කො ඕකුන් ගැන ..." 
නමුත් ඈ මට සවන් දුන්නේ නැත... ඈ වැව් පතුල බලා සිටී..

" අයියා ..... මෙ මෙතන යට මොකක්දො තියනවා...." 

සේපාලි පහලට නැවී ජලයට අත දමමින් කීවාය...

" කෙල්ලේ.... බලාගෙන ඔරුව පැද්දෙනවා.... වැටෙයී බලාගෙන..." 

මට ඒ වචන ටික අවසාන කිරීමට නොහැකි විය... තෙප්පම පුරාත් මගෙ ඇග පුරාත් ජලය ඉසිරුවමින් ඈ වැවට වැටුනි... 

" සේපාලි ....සේපාලි ..."

විනාඩියක පමණ කාලයක් කිසිදු චලනයක් නොවන ලෙස ඈ අතුරුදහන් විය... නැවත ඈ මතු වූයේ යාර 20ක් පමණ දුරින්‍ ය... දිවි ගලවා ගැනීමට අත පය ගැසුවත් පලක් නොවීය ... මාද ජලයට පැන්නෙමි.. ඈ සිටි දෙසට පිහිනා යද්දී නැවත ඈ අතුරුදහන් විය.. මා නැවතී බලා සිටියෙමි.. වැවේ බොහොම ගැබුරු තැනකින් ඈ නැවත මතු විය... නමුත් ඒ වැඩි වේලාවකට නොවේ... එතරම් දුර පිහිනීමට මා සමතෙක් නොවෙමි.. 

නැවත තෙප්පම දෙසට පිහිනා ගිය මා ජලයේ සිටියදීම තෙප්පම අල්ලා සිටි මා සිදු වූවේ කුමක්ද යැයි තෙරුම් ගත නොහැකිව හා කල යුත්තේ කුමක්ද යැයි තේරුම් ගත නොහැකි ව හඩමින්  ඒ දෙස බලා සිටියෙමි... 

සියල්ල නිසොල්මන් ය.. සූර්ය යා වැව් ජලයේ ඈත කිමිදෙමින් ගොම්මන ගෙන ආවේ මා මිනිමරුවෙක් යන හැගීම දෙගුන තෙගුන කරවමිනි..

වහාම ඔරුවට නැගගත් මා ලහි ලහියේ ගොඩට පැදවුයෙ කිසිදු අරමුණක් නැතිවය..
. තොටුපලේ කිසිවෙක් නොසිටි නිසා වහාම ඔරුව ස්තානගත කර ගොඩට දිවුවෙමි.. සේපාලි ගේ මල්ලත් වැවට විසි කල මා දෙවරක් නොසිතා  තෙත පිටින්ම කැලෑ පාරකින් ගෙදර දිවුවේ මේ වරද මගෙ නොවේ යැයි සිත සනසවා ගනිමිනි... කවුරුන් හෝ මා පසු පස ලුහුබැඳ එතැයි හදවත වේගයෙන් ගැහෙන්නට විය.. තෙත් වූ සිරුරට දහඩියද රුකුල් දුන්නේ ය

මවට හොරෙන් ගෙට රින්ගා තෙත ඇදුම් උනා දමා වෙන ඇදුමක් හැද ඇදට වැටුනේ උපාසකයෙක් මෙනි... නමුත් මගේ හෘද සාක්ශියෙන් ගැලවීමට මට නොහැකි විය.. ඈ ජලයේ කිමිදෙමින් දැගලූ සැටි මට පුන පුනා පෙනෙන්නට විය...

" ආ... උඹ ආවද... කොහෙද ගියෙ මේ රෑ වෙනකන් .. වරෙන් මොනා හරි කාල හිටින්ට.."

මවගේ හඩින් මා උඩ විසිවී ගියෙමි... 

" පන්සලේ හිටියේ ... කන්න බෑ අම්ම කාලා නිදා ගන්න. "

ඉවත බලාගෙනම මා කියා දැම්මෙ මගේ මුහුණේ තිබූ නොසන්සුන් බව ඇයට පෙනේ යැයි සිතාය ... නින්දක් පෙනෙන තෙක්මානයක නැත.. 
" බේරගන්න ..." යැයි කෑ ගසන ඇගේ හඩ මගෙ දෙසවන් තුල දෝංකාර දෙයි.. අහෝ දෙවියනේ මොකක්ද මම මේ කලෙ....

ඇදේ ඒ මේ අත පෙරලෙමින් සිත සනසා ගන්නට උත්සහ කලෙමි.. මගේ වරදක් නැත... මා ඈ බේරා ගැනිමට උපරිම උත්සහ කලෙමි.. සිතමින් මගේ සිත සන්සුන් කර ගතිමි.. කෙසේ හෝ කීයට හො මට මද නින්දක් ලැබෙන්නට ඇත... 

" සමන්ත...  අඩෝ සමන්තයා...."

මා බයෙන් භ්‍රාන්ත වී ඇහැරුනේ වසන්ත මා උරයෙන් සොලවා මා අවදි කල විටය.. මා කොතරම් ගැස්සී ද කියතොත් විසි වූ අත පය උගෙ ඇගේ වදින්නට ඇති බව නොඅනුමානය ... 

" මොකො සමන්තයා මේ බය වෙලා..."

" මුකුත් නෑ බන්... මං හීනයක් දැක දැක හිටියේ.... උබ මොකද මේ පාන්දර යකෙක් දැකලා වගේ "
මම කීවෙමි

" කිය කිය ඉන්න බෑ ඉක්මනට වරෙන් ගමනක් යන්න..." 

ඔහු මා කැටුව යන්නට හදන්නෙ කොහෙද කියා මා හොදින්ම දනිමි .. නමුත් එය තවකෙක්ට ඇගවීම නුවණට හුරු නොවේ.. 

"   කොහෙ යන්නද බන් මේ පාන්දර... මට නම් බෑ උඹ පලයන්..."

" සමන්තයා ....සේපාලි ..."

" සේපාලි .. ඉතින් මක් වෙලාද..."
කිසිවක් නොදන්න එකෙකු මෙන් මා ඇසීමි. 

" හොද එකා වගේ වරෙන්කො යන්න..." 

තවත් රගපෑමෙන් රහස් එලිවිය හැකි බැවින් මා ඔහු සමග ගියෙම්..
ඒ වන විටත් වැව් තොටුපලේ මැජික් සංදර්ශනයක් මෙන් සෙනග වට වී ඇත.. මා වසන්තගේ සයිකලයෙන් බැස ඒ දෙසට දිවුවෙමි ... කලබලයෙන් සෙනග ඈත් කල මා දුටුවේ මා මෙතෙක් දැක ඇති සංවේදී ම දර්ශනය යි... 

" අනේ සේපාලී .... ඔයාට මොකද මේ උනේ...." 

මිනිසුන් රැවටීමට සිතා මම මවාපෑවෙමි තවමත් පණ ඇති යැයි සිතෙන තරමටම පියකරු ඇගේ දේහය තුරුලට ගෙන මම ඇඩුවෙමි... අනෙක් සියල්ල බොරු වුවත් මගෙ කදුලුත් සිතේ උපන් වේදනාවත් සත්‍යයක් ම විය.. 

තවමත් තෙත බරිතව මගේ උරතලයේ උන් ඇගේ හුස්ම මගේ කන් පෙති හා කම්මුල් හරහා තාලයට වදින බව මගේ සිත රැවටීමක් යැයි නොහැගෙන පරිදිම මට දැනුනි ... එයින් හිත ගැස්සී ගිය මා ඈ බිම තබා පසු පසට උනෙමි...මා බලා සිටියේ ඇගේ  ළැම උස් පහත් වි දෑස් හරින තෙක් ය නමුත් එය මුලාවක් පමණකි .. ඇය සදහටම සමුගෙන අවසානයි..

...........................................................................

සේපාලි  ගෙ අකල් අභිරහස් මරණය පිලිබඳ  සියල්ලන් ගේ ශෝකය අතර සතියක් ගතවිය... සතිය පුරාම සේපාලි ගෙ නිවසේ පාලු මැකීමට මා අමතක නොකල නමුත් කිසිම විටෙක ඇගේ නිසල දේහය බැලීමට තරම් මට ශක්තියක් නොවීය.. සියල්ල ආරම්භ වූයේ ඇගේ හත් දවසෙ දානය දින රාත්‍රියේ ය...

" අනෙ අම්මෝ.... බේරගනියෝ.... අනේ අනෙ.."

ගැහැණියක් හා පොඩි කෙල්ලක් මිදුල මත වැටුනේ සියල්ලන් භීරාන්ත කරමිනි.. 

" මොකෝ බන් මේ..... මොන යකා වැහිලද උබලට..." 

" අනෙ අක්කෙ... සේපා...සේපාලි.... "
ඈ ක්ලාන්ත ගතියක් දැක්වීය..

" උඹලා තත්බීරි වෙලා බලන් ඉන්නෙ වතුර ටිකක් ගෙනෙල්ලකෝ... අනේ කෙලී උබවත් කියපන්කො මොකද වුනේ..."

" අනේ නැන්දේ.. සේපාලි අක්කා .... තොටුපළ ලග කුඹුක් ගහ යට ඔරුවක වාඩි වෙලා උන්නා...." 

" දෙයියනේ මගේ කෙලීට මුන් කියන කතා.... "
" බොරු නෙමෙයි නැන්දේ... අම්මයි මමයි දෙන්නම දැක්කා..."

මට කිසිවක් අදහා ගත නොහැකි විය... ඇය අවතාරයක් වන්නේ කෙසේද.... සිතට කොහෙන් ආ දිරියක් ද නොදනිමි මට එය මගේ ඇස් වලින්ම බලන්නට අවශ්‍ය විය... දානෙ ගෙදර නවතා තිබූ ෆුට් සයිකලය ක් ගෙන වේගයෙන් තොටුපළ දෙසට පැද්දෙමි... 

" අනේ දෙවියනේ.... ඒක ඇත්ත..." 

වැව් කණ්ඩියේ සිට තොටුපළ දෙස බැලූ මට දක්නට ලැබුනේ සුදු ගවුමක් හැදගත් ඇය ඔරුවක් මත වාඩිවී සිටින අයුරුයි .... තරමක් දුරින් සිටි නිසා ත් අදුර නිසාත් ඇගේ මුහුණ පෙනුනේ නැත...මා ගල් ගැසී ඒ දෙස බලා සිටියෙමි විනාඩියක් පමණ ගත් වන්නට ඇත. ඔරුවෙන් නැගිට ගත් ඇය ශාන්ත ලෙස ලන්ද තුලට ඇතුල් වීම නිසා නොපෙනී ගියාය. 

සයිකලය එතැන පෙරලා දමා හඩ නොනැගෙන සේ මා ද ඒ දෙසට ගියෙමි.. සීතල රාත්‍රියේ මා දහඩියෙන් නැහැවී ඇත... වතුරෙන් ගොඩ ගත් මාලුවෙක් මෙන් ගැහුනත් මට එය පාලනය කර ගත නොහැකිය..  මට යාමට හැකි වූයේ ටික දුරකි... මගේ උරපත්ත මත කවුරුන් හො අත තැබීය... 

" ආ......"

මහ හඩින් බෙරිහන් දුන් මා බිම වැටුනේ බියටම කකුල් පණ නැතිවය... 

" සමන්ත මොකො බන් මේ...."
එසේ ඇසුවෙව් වසන්තය...

" අහ් අහ් ව ව වසන්ත උබ මොකද මෙතන... සේපාලි සේ සේපා.."
වචන ගලපා ගත නොහැකියව මා දෙඩෙවුවෙමි 

" දානෙ ගෙදර යන ගමන් බිම දාල තිබ්බ සයිකලයක් දැකල මං මේ ආවේ.. විකාර නැතුව වරෙන් යන්න"... 

නැවතත් වටපිට බැලුවේ ඇගේ හෝඩුවාවක් සෙවීමටය... ඒ ඇයමද.... නැතිනම් මට පිස්සුද මට ම තේරෙන්නේ නැත...

.....................................................................

එදින තදින් වැස්ස ඇති දිනයක් බව අඩ නින්දේ මෙන් මතකයක් ඇත... තදින් සීතල දිනයක් වුවත්  උණුසුම් සුලගක් මා තොල්පෙති හා ගෙල අසල දැනුනු අතරම නලල මතත් කම්මුල් මතත් වතුර බිංදු කිහිපයක් වැටුනු නිසා නිදි මතේම එය පිසදා දැමීය . 
. තදින් දෑස් වසා සිටියෙමි... එය නතර විය . නමුත් නැවත වතුර බිංදු මුහුණට වැටීම නිසා දෑස් හැරියේ වතුර එන්නෙ කොහෙන්දැයි බැලීමටයි.. 

"අනේ අම්මෝ......" 

මා යටිගිරියෙන් කෑ ගැසුවෙමි ... එහි වූයේ  සේපාලී ය... තෙත කොණ්ඩය මතින් වැටෙන වතුර බිදු මගෙ මුහුණ දිගේ ගලා යන පරිදි ඈ මගේ මුහුණ ට එබී සිටියාය...
කෑ ගැසු හඩට මව එතනට පැමිණි විට මා හැර වෙන කිසිවෙක් කාමරයේ නොවීය... 

" මොකද මයෙ පුතේ... උඹ හීනෙකින්වත් බය උනාද... " 
කියූ මව බුදුසරණ කියමින් මා හිස අත ගාන්නට විය.. නමුත් ඒ දුටු දෙය කෙසේ අමතක කරන්න දැයි මා නොදනිමි.... කෙතරම් කාලයක් ගියත් මගේම සිත මට නිදහස් වීමට දෙන සලකුනක්වත් නැත...

" සමන්ත... සමන්ත... ඉක්මනට වරෙන්...." 

හොදටම එලි වී ඇත... අම්මාද මා අසල නැත.. 

" මොකො බන් කෑ ගහන්නේ... " මා එලියට එන අතරම ඇසුවෙමි.. එතැන වසන්තත් තව දෙදෙනකු ත් සිටියෝය.

" වරෙන් ගමනක් යන්න... අනම් මනම් අහන්න ලෑස්ති වෙන්න එපා ඉක්මනට කමිසයක් දාගෙන වරෙන්..." 

කාරණාව බරපතල බව තේරුනු නිසා ඔවුන්ගේ අණට කීකරු වී හනිකව ඔවුන්ට එක් වුනෙමි.. විනාඩියක් දියන් ලිදට දුවලා එන්නම්..

මුහුණ කට සේදීමේ අරමුණෙන් ලිං ගැට්ටේ නවා තිබූ බාල්දිය ලිදට දැම්මේ අරුන් මාව කොහෙ එක්ක යන්න ආවේදැයි කල්පනා කරමිනි.. ඒ සිහියෙන්ම ලග දිබූ බත්තලන්ද පුරවා තව බාල්දියක් ඇදීමට ලිදට දැමීමි.. නමුත් බාල්දිය ගොඩ ආවේනැත එය ඉතාමත් බර විය ලිදට එබී බැලුවේ කුමක් පැටලී ඇත්දැයි බැලීමටයි..

" එපා එපා එපා  සේපාලී ....."
මුලා වූ මගෙ සිත පිස්සු වැටී ඇත බාල්දි කොක්කේ කෙස්වැටිය පැටලී ජලයෙන් උඩට මතුවූ ඇගේ හිස විවර කර ගත් දෑසින් මා දෙස බලා සිටියාය..
බාල්දිය ද අත් හැර ලිං ගැට්ට මත හිස් තබා හැඩුවේ තවත් එය දරා ගත නොහැකි හෙයිනි.. 

මුහුණ සේදීම පසෙක දමා අරුන්ට එකතු වූයේ තනි වීම බියක්ම වූ නිසාය. මාවත් දමාගෙන හති හලමින් සයිකලය පෑගුවත් ඔවුන් කිසිවක් නොකියා සිටියේ මා මෙන්ම ඔවුනුත් බියකින් පසුවූ සේය.. කෙසේ හෝ මා රැගෙන යන්නේ ඔරු තොටුපළ දෙසට බව නම් සැකයක් නැත... නමුත් මේ හදිස්සියේ ඒ අයි....?

තොටුපළ ලග කුඹුක් ගහ වටේ මහා සෙනගක් රැස්ව සිටි බව පෙනුනත් ඒ ඇයි දැයි සිතා ගැනීමට නොහැකි විය.. හදවත වේගයෙන් ගැහෙන්නට වූයේ සේපාලි ගේ දේහය තිබු තැනම වූ නිසාය.. 

" ඇයි බන් මේ සෙනග... "

ඔවුන් වචනයක්වත් නොකී නිසා මමම ගොස් බැලුවෙමි.. 

" මොනවා......" කුඹුක් ගසේ අත්තක ගෙල වැලලා සිටියේ නිරුවත් පිරිමි සිරුරකි... මුහුණ හැර මුලු සිරුර ම නිය වලින් සූරා දැමුවාක් මෙන් කැපී ඇත..ඔහු ගෙල වැලලා සිටියේ ගවුම් පොටකින් බව පැහැදිලව දක්නට ලැබුනි

" මෙ ජෝන් කාරයගෙ කසිප්පු පොලේ එකෙක්...." 
අසල සිටි එකෙක් එසේ කියූ සැනින් මා සිත සලිත වූයේ ඔරුවේදී සේපාලි  කියූ වචන පෙල සිහි වීමෙනි.. 

මේ සිදුවීමත් සමග සේපාලි  ගේ අවතාරය සත්‍ය බව කට කතා සියල්ලන් විස්වාස කරන්නට විය.  

සතියක් පමණ කිසිවක් නොවී ගත වුවත්
දිනපතාම රාත්‍රියේ සේපාලි මා අසල සිටින සිහිනය දැකීම නිසා සැහැල්ලු නින්දක් ලැබූ කාලයක් මතක නැත... නින්දට වැටුනු විගසම කවුරුන් හෝ මා මුව අසලම හුස්ම ගන්න හඩත් උනුසුම් සුලගත් තදින්ම දැනුනි.. " තනි වෙන්න එපා.... තනි වෙන්න එපා....." යැයි මගේ කනට කොදුරනු ඇසී ක්ෂණිකව නැගිට බැලුවත් මා අසල කිසිවෙක් නොවීය... එවිට උදෑසන වී ඇත

" පුතේ පුතේ....  නැගිටහන් කොලුවෝ.... "

" ඇයි අම්මෙ මේ බය වෙලා..."

" කුඹුක් ගහ යට තව එකෙක් මරා දාලලු පුතේ... අනෙ මන්ද මේ ගමට මොන වින්නැහියක් වෙන්න යනවද..." 

" මොකක් අම්ම කොහොමද දන්නේ... "

" මං ඉදිආප්ප දාන්න හන්දියේ කඩේට යනකොට සෙනග උන්න මං තකහනියක් දුවගෙන ආවෙ උබට කියන්න... අනෙ මයෙ පුතේ ආයෙ රෑ ජාමෙ එහෙ මෙහෙ තනියම යන්න එපා.. "

" විකාර මට මොනා වෙන්නද..." කියූ මම ඇදෙන් පැන කමිසයක් දමා ගෙන කට සෝදා පාරට බැස්සෙමි . 

මව කියූ දේ සැබෑය සේපාලි  ගෙ මරණය සමග ගමට මහා සාපයක් වැදි ඇති සේය.. කොහේදො සිටි උලමෙක් හඩ තැලුවේ මට සිතුනු දෙය සත්‍ය යැයි අගවන්නට  මෙනි..

" තොටුපළ ට ද යන්නෙ නැගහන් නැගහන් "

පිටුපසින් පැමිණි බේකරියේ මල්ලි සයිකලය නවතා මට හඩගැසීය.. තපරයක්වත් ප්‍රමාද නොවූ මා එයට ගොඩ වූයෙ සිදුවීම බලා ගැනීමට ඇති හදිස්සිය නිසාය.. වෙනදා මෙන්ම අපට පෙර බොහෝ පිරිසක් ද පොලීසිය ද එහි පැමිණ ඇත... 

පසුපසට වී සිටි මට වසන්ත සංඥා කලේ වටයෙන් ඔහු ලගට එන ලෙසයි...

" මේ පාර මොකාද.... අපොයි දෙයියනේ.... "

මා වමනය නවතා ගත්තේ දැඩි ප්‍රයත්නයකිනි...මලමිනියේ හිස තිබුනේ නැත.. ඔරු කද හරහට දමා තිබූ හිස නැති බෙල්ලෙන් වෑස්සෙන රුධිරය නිසා තෙත් වූ මඩ පිලි ගදින් යුක්ත විය... 

" සමන්තය ඕක නෙමෙයි අරහෙ බලපන්... " 
ඔහු අත දිගු කර කුඹුක් ගස පෙන්වීය....

" අනෙ අම්මො....."

 මට කියවිනි...
කුඹුක් අත්තක අමුනා තිබුනේ හිසකි... එහි ඇස් උගුල්ලා තිබූ නිසා හිස් කුහර තුලින් මොලය පෙනේ යැයි සිතෙන තරමටම එය අප්‍රසන්න ය... 
මෙය යකශණියකගේ පලිගැනීමක් බවත් මුලු ගමටම සාපයක් වැදි ඇති බවත් ගමටම ශාන්ති කර්මයක් කල යුතු බවත් එතන සිටි උන් කසු කුසු ගාන්නට විය. 

" මේ ජෝන ගෙ කසිප්පු වාඩියෙ අනිත් ගෝලයා.." 
කියමින් වසන්ත එතනින් ඉවත්ව ගියේ ඒ සිද්දිය මා දන්නෙ නැතැයි සිතා විය හැක.

සේපාලි  අවතාරයක් වී ඇයට කරදර කල අයගෙන් පලි ගන්නවා යැයි දැන් සැකයක් නැත... අනෙ දෙවියනේ ඇගේ මරණය ට ඈ මගෙන් පලි ගන්නවා නිසැකය.... දැන් මා කුමක් කරම්ද.. 

ම සිතට පහල වූ එකම අදහස ගමෙන් පිට විය යුතුය යන්න විතරයි...  

" මල්ලි.. මල්ලි .." 
වැව් කන්ඩිය මත නගිමින් සිටි බේකරියෙ මල්ලි මා නවතා ගතිමි..
" දුමියා... මං හෙට පාන්දර ගමෙන් යන්න කියල බැලුවෙ.. අපෙ ගෙදර ඉදන් ආවොත් පාන්දර බස් එක අල්ල ගන්න බෑ... මං අද රෑ උබලගේ ගෙදර එනවා.."

"මොකො බං හදිස්සියෙ... "

" කොලඹ ජීව්තේ දාහෙන් සම්පතක් බං මේ වෙන ඒව එක්ක බලද්දි.."

" හ්ම් හ්ම් ඕන මගුලක් වරෙන්කො වරෙන්කො..." 

...........................................................................

හතෙ කණිසම ට ආසන්නය.. වෙනදාට වඩා කලින්ම අද අදුර රජ කර ඇත.. දහසක් බොරු ගොතා මව සනසා ගෙදරින් බැස්සේ මගෙ ජීවිතයේ අවසානය මේ ගමේ හිදීම බව දැනුන නිසාය. දැන් ගම්මුන් සවස 6න් පසු එලියට බහින්නටත් බයය... පාර දෙපස රජ කලේ ගෙම්බන් හා රැහැයියන් පමණි...එහෙයින් මුලු ගමම පාලුවට ගොස් ඇත.. 

වැඩ නිමවා කූඩු බලා යන කපුටන් හා කොකුන්ගේ නොනවතින හඩත්.. හිසේ ගෑවී නොගෑවී යන වවුලන්ගේ අත් තටු වදින හඩත්. ගොම්ම්න් අහසේ ඈතින් තැනින් තැන විහිදී යන විදුලි එලියත් මට කියාපෑවේ මරණයේ ධූතිකාව මා අසලම ගැවසෙන බවයි..

දුමින්දගේ ගෙදරට යාමට වැව පසු කල යුතුමය.. සිතට ශක්තිය ගෙන තොටුපළ දෙස නොබලා ගමන් කල යුතු යැයි සිතුනත් ඇස් කොණෙන් දුටු චායව ක් නිසා එය නිශ්ඵල විය. . කවුරුන් හෝ මා ලුහුබදින හඩ ඇසී මා නතර වුනෙමි .. පසුපස බැලීමට වුවමනා වුවත් ඇති වූ බිය නිසාම ගල් ගැසී ඇස් වසා ගතිමි..

වැව් කන්ඩියේ බොරලු පොඩි කරන " කරස් කරස්" හඩ නංවමින් ඒ අඩි ශබ්දය මා වෙතට ඇදෙයි... දහඩියෙන් නැහැවී ඇති මාගේ දෙපා පන නැතිව වැටෙන්නට ආසන්නය... පසු පස හැරී බැලීම හැර වෙන කල හැක්කක් නැත.. මා හිස හැරෙව්වා පමණි 

" එපා.... එපා... අනෙ එපා ....." කීමට ලැබුනේ එපමණකි ..... හිස හරහා යමක් වැදී බිම පතිත විය. 

...........................................................

" අඩෝ නැගිටපන් ......" 

මුහුණ ට වැදුනු වේගවත් ජල පහර නිසා ගැස්සී ඇහැරුනෙමි... ඒ ඇසුනේ පිරිමි කට හඩකි.. හිසට වැදුනු පහර නිසාත් අදුර නිසාත් සියල්ල බොදවී තිබුනි... සිටින තැන නිශ්චය කරගත නොහැකි වුවත් පාලු මඩුවක් බව පැහැදිලිය...

" වසන්ත උඹ....."
මා ඉදිරියට විත් සිටගත් වසන්ත දැක පුදුමයෙන් මා ඇසීමි. 

" ඔව් මම තමයි.... හිතුවද මං උඹට ලේසියෙන් යන්න දෙයි කියලා ... උඹ හිතුවද මං මුකුත් දන් නෑ කියලා ... අරුන් දෙන්න යැව්ව ගමන අද උබවත් යවනවා.. "

" ඒත් ඒත් සේපාලී....."

" හ හා හා හා...."
ඔහු වියරු ලෙස සිනාසීය.. 
"  සේපාලී ඉතිං මොකද.... උබ අවුරුදු ගානක් කොලඹ ඉදලත් විශ්ව විද්‍යාල ගිහිල්ලත් ඔය මනස්ගාත විස්වාස කරනවාද යකො... හ හා හා   ."

" එ එ එතකොට අරුන් මැරුවෙ... අර තොටුපළ ලග හිටපු කෙල්ල.." 

"  මේ ගමේ ඔක්කම වගේ උබත් මෝඩ වුනා... උබ එදා සේපාලි එක්ක ඔරු පදින්න ගිහින් උබ කරපු දේ මං බලන් හිටියේ.. උබ ගියාට පස්සෙ මමයි ඔරුවක ගිහින් ඒකිගෙ මිනිය ගෙනත් ඉවුරේ තිබ්බෙ... ඒකි මට කැමති වෙන්න ඔන්න මෙන්න ඉද්දි උබ ඒ ඔක්කම විනාස කලා... මට වඩා උබව ඒකිට ලොකු උනා එදා නොමලත් මං කොහොමත් ඕකිව මරණවා( මගේ කොපුල් තදින් මිරිකමින් ඔහු ගිගිරුවේය )

ඒත් මං කලබල උනේ නෑ ඒකිගෙ මල්ලෙ අලුත් ගවුමක් තිබ්බ.. මගෙ තරහ කාරයො ඔක්කගෙන්ම පලි ගන්න මේක හොදම අවස්තාව කියල මට තෙරුනා ...
ගමේ උන්ට පේන්න මං මෙ ගවුම ඇගේ දාගෙන සේපාලි හොල්මන් කරන බව ඇගෙවුවා.. තව පොඩ්ඩෙන් උබට ඒක එදා අහු වෙනවා..

ඒකි ට කරදර කරපු උන් දෙන්නව මරල දැම්මෙ ඒකිගෙ අවතාරෙ පලි ගන්න ඇවිත් කියලා ඔප්පු කරන්න.. උබත් ගමේ උනුත් ලේසියෙන් ඒ ලණුව ගිල්ලා..මට පලි ගන්න තව උන් හිටිය ඒත් කරුමෙට උබ ගම දාලා පැනල යන්න ගිහින් ඒක ඉක්මන් කර ගත්තා... " 

කියා ඔහු අතට ගත්තේ පොරවකි... ඔහු මට එල්ල කල දරුණු පා පහර නිසා මා විසි වී ගොස් මඩුවේ තිබූ පරාලයක හිස පිටුපස තදින් වැදුනි.. වැදුනු පහරට ඇස් කදුලින් පිරී දෙකන් අගුලු වැටී සියල්ල හීනයක් මෙන් අපැහැදිලි විය... දර්ශන සියල්ල සෙමින් ගමන් කලේය ඇසුනේ " කී..... ං" යන දෝංකාරය පමණි.

" අනේ වසන්ත එපා එපා..  මට යන්න දීපන්..." 
කෑ ගසමින් මං දෑත් වලින් ඇස් වසා ගතිමි.. 
ඒත් සමගම ආ තද සුලගකින් දොරක් වැසී යන හැඩ ඇසී වසන්ත ඒ දෙස බැලීය ... 

සුලු මොහොතකට දැඩි නිහැඩියාවක් පැතිරිනි... සිහියත් අවසිහියත් අතර සිටි මාගේ දහඩියෙන් තෙත් වූ මුහුණට අපහසුවෙන් හුස්ම ගන්නා තාලයට උණුසුම් සුලං වදින්නට විය... මගෙ කන් පෙති වලට ඉතාමත් ලගින් උගුරේ යමක් හිරවී ඇති කෙනෙක් හුස්ම ගන්නා.. " හර්ර්ර්ර්ර්.... ගර්ර්ර්ර් ....." වැනි හඩක් පැහැදිලිව ඇසිනි..  

ඇස් ගෙඩි 2 එලියට පැනීමට තරම් බයෙන් වසන්ත මා දෙස බලා සිටියේ ඔහුට පාලනය කල නොහැකි තරම් වෙවුලමිනි .... නැවත සියල්ල නිහඩ විය...

නිහැඩියාව බින්දේ මඩුවට එපිටින් ඇසෙන " සිලිං සිලිං " හඩකි.... අසාමන්‍ය අත්භූත බලවේගයක් අප වටා කැරකෙන බව වසන්තටද වැටහුන බව ඔහුගේ මුහුණෙන් මනා ව දිස් විය... පොරොව ද අතැතිව වසන්ත මඩුවෙන් එලියට බැස්සේ ඒ කුමක්දැයි බැලීමට විය හැකිය.. 

" එපා..... එපා..... මට ඉන්න දීපං..... එපා....."
වසන්ත කෑ ගැසීය... 

" ආ..... ...."
ඒ ඇසුනේ යටි ගිරියෙන් මර හඩ දුන් ගැහැණු හඩකි... 

" චරස්..." පොරෝ තලය යමක් හරහා යන හඩ ඇසුනි... 

නැවත සියල්ල නිහඩ ය... කුමක් වුනේද යැයි මා තනිව කල්පනා කලෙමි... 
" ලබ් ඩබ්.... සිලිං.... ලබ්ඩබ් .. සිලිං.... ලබ්ඩබ්...." 
බියෙන් මිරිකමින් ගැහෙන මගේ හදවතේ තාලයටම නැගෙන ඒ පා හඩ මා දැසට ඇදෙයි.....

කල හැක්කක් නොමැත පණ බේරා දිවීම හැර... අපහසුවෙන් නැගිට ගත් මා ඒ මේ අත වැදෙමින් හැපෙමින් දිවුවෙමි .. අපහසුවෙන් කටු පදුරු වලින් බේරෙමින් හැකි වේගයෙන් දිවුවෙමි.. මා මතු වූයේ වැව් බැම්ම ට වැටෙන ගුරු පාරකිනි.. වැව් කණ්ඩිය දියේ හන්දිය දෙසට දිවුවේ මිනිස් වාසයක් බලාපොරොත්තු විය හැකි එකම දිසාව එය නිසයි..

එලි වෙන ජාමය ආසන්න නිසා නගරයට යන ලංගම බසය එතැන නවතා තිබිණ ... 

"ආ කොලුවෝ ..මොකො හති දාගෙන දුවල . තව වෙලා තියනවා නැගල ඉන්ට...."

රියදුරු එඩ්වින් මාම කියත්ම එයට ගොඩවී පසු පස අසුනේ වකුටු වී ගුලි ගැසුනේ පලා යෑම හැර වෙන විකල්පයක් නොමැති නිසාය.. අසුනේ කිසිවෙක් නොමැති නිසා ඩිගටි අසුනේ ඇල වුනෙමි.. 

" ම්ම්ම් හ්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම් හ්ම්ම්ම්...."
තාලයට ඉහල පහල ගන්නා දිගටි උණුසුම් හුස්ම නැවතත් මගෙ කම්මුල් හරහා ගලා ගියෙන් මා ගැස්සී ඇහැරුනෙමි... යාන්තමින් එලිය වැටෙන්න පටන් ගෙන ඇත බසයට තව පිරිමි කිහිප දෙනෙක් ගොඩ වී ඇත.. 

ජනේලයෙන් ඉවත බැලූ මට පෙනුනේ ඈත සිට වේගයෙන් දිව එන කොලු ගැටයෙකි... 

" එඩ්වින් මාමේ... එඩ්වින් මාමේ... "

" මොකෝ බොල මේ..."

" කු කු කුඹුක් ගහ තොටුපළ ලග වස් වසන්තය මරා දාලා...."

" හත් දෙයියනේ ....." 
කියූ එඩ්වින් බසයෙන් පැන දුවත්ම අනෙක් සියල්ලෝම ඔහු අනුගමනය කලෝය..  

 වසන්ත තොටුපළ ලග... කිසිසේත්ම විය නොහැකිය.... මාද ඔවුන් සමග දිවුවෙමි ... බසයෙන් බැස ආ පිරිසට අමතරව තව කිහිපයක් එතැන රැස්වී සිටියහ.. 

ඔහු ගේ සිරුර තිබුනේ කුඹුක් ගසේ අත්තක් මතය.. සාමන්‍ය මනුස්සයෙකුට කල නොහැකි තරම් අස්වාභාවික ලෙස උගේ සිරුර කොන්දෙන් දෙකට කැඩී පිට පැත්තට දුන්නක් ලෙස නැවී අත්ත මත රැදි තිබුනේ හිස දෙපලු වන පරිදි වැදුණු පොරෝ පහරක් සමගිනි.. අහෝ දෙවියනේ එය බැලීමට නොහැකි තරම් ඛේදනීය ය..

නමුත් මෙය සිදු වූයේ කෙසේද... අරන් මැරුවේ වසන්ත නම් වසන්තව මැරුවේ කවුද.... ඒ සලඹ හඩ රැවටීමක් ද නැතිනම් ඒ සේපාලිද... සේපාලිගේ ඊලග ගොදුර මමද.... ප්‍රශ්නාවලියක මා අතරමං වී ඇත... 

............................................................................

" සිලිං .... සිලිං... සිලිං... සිලිං ..."
මා තිගැස්සී ඇහැරුනෙමි .... 

අදුරේම මේසය අත ගා බැලුවේ මගේ නිදි පෙති බෝතලය සොයා ගැනීමටයි.. 1970 මුල භාගයේ වසන්තගේ මරණයෙන් පසු කොලඹ පදිංචියට විත් වසර 10 කටත් වඩා ගත වී ඇත. අවාසනාවත අනතුරකින් මගේ බිරිද මියගොස් මාස 3ක්වත් නැත... නිදි පෙති 2ක් ගිල නැවත නින්දට වැටුනේ සැප නින්දක් සොයමිනි.. 

"ම්ම්ම්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම්ම්ම්..... තනි වෙන්න එපා...." මගෙ දකුණු කන අසල කෙදිරීමක් ඇසේ... මා ඒ දෙස හැරුනෙමි 

"නෑ..... මොනවා.... සේපාලි......"

නිමි....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා .ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මරණයෙන් අවදිවූ සේපාලි (Sepali Awakened From Death) මරණයෙන් අවදිවූ සේපාලි (Sepali Awakened From Death) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 23, 2021 Rating: 5

0 comments:

Post a Comment