දහස් ගනනින් මියගිය ලෝකයෙ වසංගත 😓🌎🌎🌎🌎🌎🌎🌎🌎❤👊 (Plagues In A World Where Thousands Have Died)

දහස් ගනනින් මියගිය ලෝකයෙ වසංගත 😓🌎🌎🌎🌎🌎🌎🌎🌎❤👊 (Plagues In A World Where Thousands Have Died)
ලෝකයේ වසංගතවල අඩුවක් නැත. ඉතිහාසයේ විවිධ කාලවකවානුවල දී බිහිවූ ඉතා දියුණු ශිෂ්ටාචාර පවා හදිසියේම අතුරුදන් වූයේ වසංගත නිසා ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් මියයාම හේතුවෙන් විය හැකි යැයි විශ්වාසයක් පවතී. මේ වසංගත පිළිබඳ පැරණිතම සාක්ෂිය ලැබෙන්නේ අදින් වසර 12,000ක් පමණ ඈත අතීතයෙනි.   

එකල වසූරියෙන් මිනිසුන් මියගිය බව තහවුරු කරගෙන තිබේ. ඊජිප්තුවේ පුරාණ මමිවලින් ද වසූරිය පිළිබඳ සාක්ෂි ලැබෙන අතර පස්වන රැම්සේස් රජු මියගියේ ද වසූරිය වැළඳීම හේතුවෙන් බව ඔහුගේ මමිය පරීක්ෂා කළ වෛද්‍යවරු කියති.   

18 වැනි සියවසේ දී වසූරිය ජෛව රසායන අවියක් ලෙස ඇමෙරිකාවේ දී භාවිත කළ බවට සාක්ෂි තිබේ. අදට ද ඇතැම් වසංගත රෝග ලෝකය පුරා පැතිරෙනවිට විවිධ රටවලට චෝදනා එල්ලවන්නේ එවැනි අතීතයක් තිබෙන බැවිනි.   

වසංගත යනුවෙන් සිංහල ව්‍යවහාරයට පැමිණ ඇත්තේ ඉංග්‍රීසි භාෂාවේ එපිඩෙමික් Epidemic` යන වචනයයි. මෙය ග්‍රීක භාෂාවේ එපී හෙවත් ‘ඉහළින්‘ සහ ඩෙමෝස් හෙවත් ‘මිනිසුන්‘ යන වචන දෙකෙහි එකතුවකින් බිහි වූ වදනකි.   

වසංගතයක් යනු යම් ජනගහනයක විශාල පිරිසකට සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ බෝවන රෝගයක් ඉතා වේගයෙන් ව්‍යාප්ත වීමයි.   

පරිසරයේ වෙනසක් හෝ රෝග කාරකයක් අලුතෙන් මිනිසුන් අතර පැමිණීම හේතුවෙන් හෝ පැවති රෝග කාරකයක් යළි කාලයකට පසු හිස එසවීමෙන් වරින් වර වසංගත තත්ත්වයන් ඇතිවේ. එහිදී සිදුවන්නේ පරිසරයේ ඇතිවන වෙනස්කම් හේතුවෙන් පවතින රෝග කාරකයකට මිනිසාගේ ඇති ප්‍රතිශක්තිය දුර්වල වීම, නැතිනම් රෝග කාරකය වෙනස් ස්වභාවයක් ගැනීම හෝ නව රෝග කාරකයකට ප්‍රතිශක්තියක් නොමැතිවීම යන කරුණු ත්‍රිත්වයක්.   

වසංගතයක් එක් ප්‍රදේශයකට සීමා විය හැකි අතර නැතිනම් වෙනත් රටවලට හෝ මහද්වීප පුරා ව්‍යාප්තවීමට ද පුළුවන. නිතර වැළඳෙන්නා වූ සාමාන්‍ය උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග වසංගත තත්ත්වයක් ලෙස වර්ගීකරණය නොකරන අතර ඉතා කලාතුරකින් ඇතිවන්නා වූ රෝග හෝ මිනිසාට විශාල වශයෙන් බලපෑම් කරන්නා වූ රෝග වසංගත රෝග ලෙස හඳුන්වයි.   

ලෝකයේ වරින්වර ඇතිවූ වසංගත අතරින් දරුණුතම වසංගතය ලෙස හඳුන්වන්නේ 14 වැනි සියවසේ මැද භාගයේ තිබූ 1347 සිට 1351 දක්වා පැතිර ගිය “කළු මරණය” යනුවෙන් හඳුන්වන වසංගත තත්ත්වයයි. එවකට ලෝකයේ ජනගහනය ලක්ෂ 4500ක් ලෙස ඇස්තමේන්තු කර තිබූ අතර මේ වසංගතය හේතුවෙන් අවම වශයෙන් ලක්ෂ 750ත් ලක්ෂ 2000ත් අතර ප්‍රමාණයක් මියගිය බව පැවසේ. වසංගතය යුරෝපයේ සිට, ඊජිප්තුව සහ බටහිර ආසියාව පුරා පැතිර ගියේය. මේ හේතුවෙන් යුරෝපය ඇතුළු ලෝකයේ භූ දර්ශනය සම්පූර්ණයෙන්ම ප්‍රතිනිර්මාණය වූ බව පැවසේ. වසර හතරක් වැනි කෙටි කාලයක දී යුරෝපයෙන් අඩක් පමණ මියගොස් ඇත.   

මෙම වංසගතය පැමිණියේ සේද මාවත ඔස්සේ ගමන් කර පසුව සිසිලියානු වරායක නවතා තිබූ නැවක සිටි නැවියන්ගෙන් බව සටහන්වී ඇත. මෙම රෝගය වැළඳුණු විට හමේ හටගන්නා කළු පැහැති ලප හේතුවෙන් මෙම වසංගතය කළු මරණය ලෙස හඳුන්වා තිබේ.   

සමස්ත ලෝකයම භියෙන් සලිත කළ තවත් වසංගතයක් වන්නේ “ස්පාඤ්ඤ උණ” ලෙස හැඳින්වූ නිව්මෝනියා තත්ත්වයයි. ක්‍රි.ව. 1918 මාර්තු මාසයේ දී එක්සත් ජනපදයේ මෙහි පළමු රෝගියා වාර්තා වූ අතර පළමු ලෝක යුද්ධයේ යුද පෙරමුණේ සිටි සෙබළුන් අතර වේගයෙන් රෝගය පැතිර යන්නට විය. නමුත් ක්‍රි.ව. 1919 අවසන්වන විට රෝගය පැතිරීම අඩුවී ක්‍රි.ව. 1920 දී පැතිරයාම අවසන් විය. මේ හේතුවෙන් ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් පීඩාවට පත්ව ඇති අතර මිලියන 50ක් පමණ ජනතාව මියගොස් ඇතැයි විශ්වාස කරයි. ඉන් අඩක්ම මියගොස් ඇත්තේ වසංගතය පැතිරීම ආරම්භ වූ පළමු මාස හයක කාලයේ දී ය.   

ලෝකයේ ජනතාවට වැඩිම බලපෑමක් සිදුවූ වසංගත අතර තුන්වැනි තැන සිටින්නේ ක්‍රි.ව. 1959 දී මුල්වරට කොංගෝවෙන් ආරම්භ වූයේ යැයි විශ්වාස කරන ඒඩ්ස් රෝගයයි. මිනිස් වර්ගයා එච්.අයි.වී. වෛරසය සමග තවමත් පොරබදිමින් සිටියි. ක්‍රි.ව. 1981 දී මුල්වරට රෝගයක් ලෙස හඳුනාගත් ඒඩ්ස් රෝග කාරකය ආසාදනය වූ පිරිස අවම වශයෙන් කෝටි හය ඉක්මවන අතර කෝටි 2.5ක පිරිසක් මේ වනවිට මියගොස් ඇත.   

ලෝකයේ පැතිරගිය වසංගත අතරින් ඉතා භයංකාර වූ තවත් වසංගතයක් වන්නේ ක්‍රි.ව. 541 දී ඊජිප්තුවෙන් ආරම්භ වූ බව විශ්වාස කරන ජස්ටීනියානු වසංගතයයි. ඊජිප්තුවේ ධාන්‍ය බෝට්ටුවල සිටි මීයන්ගෙන් මෙය නැගෙනහිර රෝම අධිරාජ්‍ය පුරා පැතිර ගිය බව පැවසේ. වසංගතය රෝම අධිරාජයාට පවා වැළඳී ඇත.   

වත්මන් විද්‍යාඥයන් පවසන්නේ කොන්ස්තන්තිනෝපලයේ දිනකට මිනිසුන් 5,000ක් පමණ පිරිසක් මියගිය බවයි. වෛරසයේ බලපෑම අවසන් වනවිට නගරයේ ජනගහනයෙන් සියයට 40ක් පමණ මියගොස් සිටියහ. ඉතිහාසයේ සඳහන් වන්නේ තැන තැන මියගිය පුද්ගලයන්ගේ සිරුරු ගොඩගැසී තිබුණු බවයි. මේ වෛරසයට නැගෙනහිර මධ්‍යධරණී මුහුදු තීරයේ පිහිටි ජනපද අතරින් හතරෙන් එකක් පමණ ගොදූරුවී තිබිණි.   

ක්‍රි.ව. 165 දී ආරම්භවී 180 දක්වා රෝමය පුරා පැතිර ගිය වෛරස් රෝගයක් එය පාලනය කිරීමට මුල්වී ක්‍රියා කළ රෝම අධිරාජ්‍යයා වූ මාකස් ඔරේලියස් ඇන්ටෝනියස්ට ගෞරව පිණිස ඇන්ටොනියස් වෛරසය ලෙස නම් කර ඇතත් නූතන විද්‍යාඥයන්ගේ විශ්වාසය වන්නේ මේ වසූරිය රෝගය බවයි. මෙසපොතේමියානු නගරයක් වන එවකට සෙලියුසියාව හෙවත් වර්තමාන ඉරාකයෙන් මෙය ආරම්භවී රෝමය පුරාම පැතිර ගියේ රෝම හමුදාවේ සොල්දාදුවන් මගිනි. මෙම වසංගතය හේතුවෙන් රෝම අධිරාජ්‍යයේ කෝටියකට වැඩි පිරිසක් වසර 15ක් ඇතුළත මියගිය බව සඳහන් වේ.   

මේ සියලු වසංගත අතර සෑම වර්ෂයකම පැතිර යන වසංගත තත්ත්වයක් බවට පත්වන්නේ කොලරාවයි. පළමුවරට කල්කටාවේ සිට ගංගා නිම්න හරහා ක්‍රි.ව. 1817 දී පැතිර ගිය දිනයේ සිට සෑම වර්ෂයකම පුද්ගලයන් ලක්ෂ 30ත් 50 ත් අතර සංඛ්‍යාවක් ගොදුරුවන අතර එයින් සාමාන්‍යයෙන් 120,000ක් පමණ මියයයි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ කොලරාවට නිසි ප්‍රතිකාර නොලැබුණහොත් රෝග කාරකය ශරීරගත වී පැය කිහිපයකින් පුද්ගලයා මිය යන බවයි.
දහස් ගනනින් මියගිය ලෝකයෙ වසංගත 😓🌎🌎🌎🌎🌎🌎🌎🌎❤👊 (Plagues In A World Where Thousands Have Died)
උපුටාගැනිම ලංකාදීප පුවත්පතෙනි🌎❤✍️

දිලා❤️
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දහස් ගනනින් මියගිය ලෝකයෙ වසංගත 😓🌎🌎🌎🌎🌎🌎🌎🌎❤👊 (Plagues In A World Where Thousands Have Died) දහස් ගනනින් මියගිය ලෝකයෙ වසංගත 😓🌎🌎🌎🌎🌎🌎🌎🌎❤👊 (Plagues In A World Where Thousands Have Died) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, November 16, 2020 Rating: 5

0 comments:

Post a Comment