මොනවද මේ අයිස්? (What is this ice?)

මොනවද මේ අයිස්? (What is this ice?) - Your Choice Way
මොනවදමේ අයිස්? අයිසික්‍රීම් නොවෙයි. අයිස් (මෙත්) මත්ද්‍රව්‍ය. මෑත කාලෙක සිට මෙම මත්ද්‍රව්‍ය සමග බොහෝ පුද්ගලයන් අත් අඩංගුවට පත්වෙනවා ඔබ කොතෙකුත් අසා ඇති. අරක්කු, සිගරැට්, හෙරොයින්, ගංජා, එල් එස් ඩී, හෂීස් වැනි මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාව තුල සංසරණය වීම ගැන ඔබ අසා ඇතිමුත් මෙම අයිස් නම් මත්ද්‍රව්‍ය මෑත කාලයක් වනතුරුම තරමක් ආගන්තුක දෙයක්විය. අයිස් යනු උත්තේජක කාන්ඩයට අයත්වන මත්ද්‍රව්‍යක් වන අතර එය ක්‍රිස්ටල් මෙතැම්පිටමින් (crystal methamphetamine) ලෙස හැඳින්වේ. බොහෝවිට සුදුපැහැයට හුරු ක්‍රිස්ටල් කුඩු වැනි ස්වභාවයක් ගන්නා මෙය මුළුමනින්ම කෘතිමව නිපදවන රසායන ද්‍රව්‍යකි. 

මෙම මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්හට ඉතා අවාසනාවන්ත ඉරණමක් ලඟාකරදෙයි. ඇබ්බැහිවීමෙන් දැඩිලෙස කායික සහ මානසික ගැටළු රැසක් ඇතිවේ. මොළය ආශ්‍රිත ස්නායුපද්දතියට සිදුවන හානි නිසා හැසිරීම් වල වෙනස්කම් මෙන්ම කායිකව සම, දත් ආදියහි සිදුවන වෙනස්කම් හේතුවෙන් මොවුන් හඳුනා ගැනීමට හැකිවේ. අයිස් භාවිත කරන්නන්ගේ මුඛය වියලී යාම සහ අයහපත් මුඛ සෞඛ්‍ය හේතුවෙන් ඉතා ඉක්මනින් දත් දිරායාම සිදුවේ. මේ හේතුවෙන් ඔවුන්ගේ මුඛයේ බොහෝවිට දත් අවපැහැ ගැන්වී විනාශවී ඇතිබව දැකිය හැක.

ඇතැම්විට විදුරුමස මට්ටම දක්වාම මෙම දත් නරක්වී දිරාගොස් ඇතිබව දැකිය හැක. එමෙන්ම දත්වල අධික සංවේදී බවක් ඇතිවීම හේතුවෙන් ආහාර ගැනීමේදී ඉතා අපහසුවක්/ වේදනාවක් ඇතිවීමද මෙහිදී දැකිය හැක.

ඉතත සඳහන් කල පරිදි මෙත් භාවිතය නිසා මුඛය වියලීමත් ඒ හේතුවෙන් දත වටා කේටය (කෙල ) අඩුවීමත්, දත්මිටි කෑමත් නිසා විනාශවන දත් නැවත සකස්කිරීමට බැරිතරමටම විනාශවන නිසා ඒවා ඉවත් කිරීම මිස වෙන විකල්පයක් නොමැත.  මෙත් භාවිත කරන්නන්ගේ මුඛයේ නොයෙක් විශ්බීජ නිසා ඇතිවන ආසාදන බහුලව දැකිය හැක. ඒවා ඉතා වේදනාකාරි මෙන්ම මුඛයේ ඉදිමීම් ලෙසද ඔවුන් අත්දකී. කාලයත් සමග සියළුම දත් අහිමිවීමේ තත්වයක් ඇතිවීමේ අවදානමට භාවිතකරන්නන් පත්වේ. මෙය  "Meth Mouth" (මෙත් භාවිත කරන්නෙකුගේ මුඛය) ලෙස විශේෂයෙන් හැඳින්වේ. 

තවද මොවුන් තමන්ගේ ඇසුරු කරන්නන් වෙනස්කිරීම, සහ වෙනත් හැසිරීමේ වෙනස්කම්ද නිරීක්ෂණය කලහැක. මෙම මත්ද්‍රව්‍යයෙන් පිටවන වාශ්ප එය ගැටෙන සෑම තැනකටම වාගේ හානි පමුනවයි. මෙමගින් ගැස්ට්‍රයිටිස් තත්වය ඇතිවීම ඉතා ඉක්මනින් සිදුවන අතර ඒ නිසා  අධිකලෙස ජලය පානය සහ ඒ සඳහා ඖෂධ ලබාගැනීම දැකිය හැක. ඇතැම්විට එම වේදනාවට තාවකාලික   සහ ඉතාමත් අනුවන පිළියමක් ලෙස නැවත මෙම මත්ද්‍රව්‍ය භාවිතයද දැකිය හැක. මෙමගින් අධික ලෙස රුධිරපීඩනය ඉහල යෑම නිසා ශරීරයේ අභ්‍යන්තර අවයව වලට විශාල ලෙස හානිවේ. මානසිකව සිදුවන වෙනස්කම් අතර සියදිවි නසාගැනීමේ අදහස් ඇතිවීම සහ සියදිවිනසාගැනීමේ වැඩි ඉඩක් ඇත. 

මෙතැම්පිටමින් රුධිරනාල ඔස්සේ මොලයේ 'Nucleus accumbense' නම් ප්‍රදේශයට ගමන්කරයි. මොලයතුල ඩොපමින් (dopamine) රසායනය හා සම්බඳව ක්‍රියාකරන මෙය කාවකාලිකව එහි මට්ටම ඉහල නංවයි. ආහාර සහ ලිංගික ක්‍රියාකාරකම් මොළයේ ඩොපමින් මට්ටම ස්වභාවිකව ඉහල නංවන ක්‍රමවේද අතර ඉහලින්ම සිටී. එමෙන්ම ශරීරයට දැරිය හැකි සහ ස්වභාවිකව සිදුවන ඩොපමින් ඉහලයෑමේ මට්ටමක් ඇත. නමුත් මෙතැම්පිටමින් මගින් එම මට්ටම ඉක්මවා යමින් ඩොපමින් ප්‍රමානය ඉහල දමයි. මෙය මෙත් "High" ලෙස හැඳින්වේ. "High" තත්වය වැඩිවූ තරමට එය නොමැතිවූ විට ඇතිවන කටුක වේදනාකාරී බවද වැඩිවේ. මුල් අවධියේදී මෙත් භාවිතය නිසා මොලයේ ඩොපමින් ශ්‍රාවය වැඩි වුවද කාලයත් සමග එය ඉතා පහත මට්ටමකට වැටේ. මේ වනවිට මොළයට සිදුවී ඇති හානිය නැවත යතාතත්වයට පත්කිරීමට නොහැකි තත්වයක් තිබිය හැක. ඉහත සඳහන් පරිදි ඉතා කෙටිකලකින් ඉතා කටුක වේදනාකාරී කායික මානසික ගැටළුවලට භාවිතාකරන්නන්ව ඇදදමයි.

තවද මෙමගින් භාවිතකරන්නාගේ ශරීර පටක, මාංෂපේශි, අස්ථියට දැඩි ලෙස හානි පැමිනේ. මෙහිදී රුධිරනාල වලටද හානිවන අතර ශරීර පටක නැවත ප්‍රකෘතිතත්වයට පත්වීමේ හැකියාවද අඩාල කරයි. එවිට මේනිසා වන හානිය නැවත යතාතත්වයට පත්කිරීම බොහෝවිට දුශ්කර හෝ නොහැකිවනු ඇත.  මෙත් භාවිතය නිසා භ්‍රාන්තීන් (මායාකාරී සංවේදන )  ඇතිවිය හැකි අතර විශේෂයෙන්  ශරීරයේ මකුළුවන් වැනි සතුන් ගමන් කිරීමක් වැනි සංවේදන ඇතිවිය හැක. මේ හේතුව නිසා සමට තුවාල සිදුකර ගැනීම, කැසීම නිසා සමේ තුවාල, දද වැනි ඉතා අප්‍රසන්න ලෙස ආසාදිත තුවාල ඇතිවීමද සුලභය. මෙම මත්ද්‍රව්‍ය නවැත්වූ පසුවද මෙම කැලැල් සිරුරේ තිබෙනු දැකිය හැක. 

මෙත් නිසා සිදුවන පරිවෘතීය වෙනස්කම් හේතුවෙන් ශරීරයේ බර අඩුවුවද ඊට වඩා දැඩි හානියක් ඉතාවේගයෙන් සමස්ථ සිරුරටම සිදුවේ.වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කරන අය ඒ අතරතුර මෙත් භාවිතයට යොමුවූ බවක් නිරීක්ශණයවේ. බොහෝවිට ඒ අතර අධික ලෙස දුම්පානය, ගංජා භාවිත කරන්නන් සිටී. ශ්‍රී ලංකාව තුල මෙම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් සඳහා වෙනම් ප්‍රතිකාර ක්‍රමවේද දැනට පවතින පුනරුත්ථාපන මද්‍යස්තානවල දැකීම ඉතා අසීරුය. කෙසේ වෙතත් සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙකු වෙත යොමුවී ඖෂධ ප්‍රතිකාර ලබාගැනීමට සමගාමීව සුදුසුකම්ලත් මත්ද්‍රව්‍ය ප්‍රතිකාර වෘතිකයෙකු (Addiction treatment professional) වෙත යොමුවී සාක්ෂි පාදක සමෝධානිත (evidence based integrated treatment) ප්‍රතිකාරයකට රෝගියා යොමුකිරීම මෙහිදී වැදගත්වේ. මෙත් දැඩි ඇබ්බැහිකාරී මත්ද්‍රව්‍යක් වන අතර කීපවරක් භාවිතකලවිට ඉතා ඉක්මනින් ඇබ්බැහිවීමේ ප්‍රවනතාවයක් පෙන්වයි. ඉහත සඳහන්කල පරිදි මොළය ආශ්‍රිතව සිදුවන හානි නිසා මුලාවන් (delusions),  භ්‍රාන්තීන් (hallucination) සහ පීඩනෝන්මාදය (paranoia) වැනි සයිකොසීය ලක්ෂණ පෙන්වන බැවින් මනෝවෛද්‍යවරයෙකුගේ සහය මෙම ප්‍රතිකාර ක්‍රියාවලියට ලබාගැනීම වැදගත්වේ.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මොනවද මේ අයිස්? (What is this ice?) මොනවද මේ අයිස්? (What is this ice?) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 27, 2020 Rating: 5

0 comments:

Post a Comment