සුද්දා මුළින්ම තේ වත්තකට විදුලිය ගත් හැටි (How Sudda First Got Electricity For A Tea Estate)

අසුපිනි ඇල්ල කඩා හැලෙන ස්ථානයේ ඇති උස් කඳු මුදුන වන රහල ගල අද ජනාවාස වෙද්දි රාස්සාව ප්‍රදේශයේ ද ජනාවාස රැසක් අද වන විට දැක ගැනීමට හැකි වනවා. වැඩි වශයෙන්ම වර්තමානය වන විට එහි අවට දැක ගත හැකි වන්නේ නුවරඑළියේ මෙන් අලංකාර ලෙසින් ඇති විශාල තේ වගා බිම් ය. ගම්පොළ සිට ලිපිය සකස් කරන්නට තවත් දිනක තොරතුරු සොයා ගිය අපි කුරුඳුවත්ත නගරය පසු කරමින් දොළොස්බාගේ නගරයට යන මාර්ගයේ ගමන් කළේ රාස්සාව දෙසට ය. දොළොස්බාගේ නගරයට යන මාර්ගයේ ගමන් කරමින් සිටි අපට හින්දු කෝවිල් විශාල ප්‍රමාණයක් දැක ගැනීමට හැකි වූ අතර තේ වතු මධ්‍යයේ සමහර ස්ථානවල දෙමළ ජනතාව ජීවත් වන ලයින් කාමර ද වැඩි වශයෙන් දක්නට ලැබිණි. විශාල තේ වතු පිහිටි ස්ථාන කිහිපයක තේ කම්හල් ද මෙම ගමනේ දී දැක ගතිමු. ඉන් කිහිපයක්ම ඉංග්‍රීසි පාලන කාලයේ සිට පැවත එන ඒවා ය. 

අදටත් බොහෝ දෙනා රාස්සාවේ සිට ගලා ගෙන එන දිය පහරවල්වලින් ස්වභාවික ජලය දෛනික කටයුතුවලට මෙන්ම පානයට ද ලබා ගනී. රාස්සාව ග්‍රාමයට ළං වන්නට සැතපුම් දෙකක් පමණ තිබිය දී ඉපැරණි විදුලි බලාගාරයක් පිහිටි ස්ථානයක් ද දැක ගත හැකි විය. අප එහි යන විට වැවෙහි ජලය නොතිබුණි. එහි පළාත් සභාව මගින් සවි කර තිබූ නාම පුවරුවක වැව නම් කර තිබුණේ “තෙප්පුකුලම වැව” ලෙසිනි. මධ්‍යම පළාත් සභාව මගින් එම ස්ථානයේ වටිනාකම සම්බන්ධයෙන් සකස් කර නාම පුවරුවක විස්තර සඳහන් කර තිබූ අතර එහි මෙසේ සඳහන් විය. “ඉංග්‍රීසි පාලන සමයේ තේ වගාව සඳහා ජලය ලබා ගත් ස්ථානයකි.” අප සමග මෙම ගමනට සහභාගි වූ අබේරත්න නොහොත් මල් මාමා මෙම ප්‍රදේශය ගැන ද කුඩා කාලයේ සිට ම දන්නා නිසා අපට කීවේ මෙයින් ජලය ලබා ගැනීමටත් පහතින් ඇති තේ කම්හලට අවශ්‍ය විදුලිය ලබා ගැනීමටත් මෙහි කුඩා විදුලි බලාගාරයක් වැව උපයෝගී කර ගෙන පවත්වා ගෙන ගිය බවයි. 

එම ස්ථානය නිරීක්ෂණය කර අපිට විදුලි බලාගාරයක් තිබුණු බවට විශ්වාස කළ හැකි ඉපැරණි යන්ත්‍ර කිහිපයක් ද දැක ගත හැකි වූ අතර ඒවා අද වන විට පවතින්නේ ඉතා අබලන් තත්ත්වයේ ය. තවද මේ වන විට කිසියම් සංවර්ධන කටයුත්තක් නිසා වැවේ ජලය ඉවත් කර ඇති බව එහි සිටි ප්‍රදේශවාසියෙක් අපට කීවේය. රස්සාව කන්ද දොළොස්බාගේ කඳු වැටියේ පිහිටා තිබෙන බව අපි මුලින් ඔබට කීවෙමු. එම කන්දේ සිට බලන විට අවට කඳු සියල්ල වට රවුමටම දැක ගත හැකි වන අතර ඒ අතරින් රහලගල ඉතා ආසන්නයෙන් පෙනෙන අතර දුර ඈත අහසේ ගෑවෙමින් මෙන් සුදු පැහැති වළාවන් අතරින් පෙනෙන මනරම් වූ දැකුම්කලු චිත්‍රයක් මවා පාන අම්බුළුවාව කඳු මුදුන, බතලේගල, අරණායක නාය ගිය සාමසර කන්ද, මාවනැල්ලේ සරදියෙල් ගල, කඩුගන්නාවේ බලන ඇතුළු කඳු පන්ති වළල්ලක් ආකාරයෙන් දැක ගත හැකියි. මෙම දැකුම්කලු මනරම් වූ පරිසරය තුළ අද වන විට බහුලව තේ වගාව සිදු වෙනවා. මෙම ප්‍රදේශවල තොරතුරු සොයමින් සිටින අපිට රස්සාව සහ අසුපිනි ඇල්ල මෙන්ම මා ඔය පිළිබඳ කතා රැසක් දන්නා විශ්‍රාමික ගුරු උපදේශක මහත්මයෙකු අපට හමුවීමට ලැබුණි. 

ඒ මහතා රස්සාව කඳු පාදමේ ජීවිකාව පවත්වාගෙන යන අතර දැනට 72 වන වියේ පසුවෙයි. ඔහු නමින් පී.එච්. ලියනගේ වන අතර එතුමාගේ පියා මෙම ගමේ සිංහල පවුලක් හැටියට මුලින් පදිංචි වූ බව ඔහු අප සමග පැවසීය. සුදු මහතුන්ගේ පාලන සමයේ මෙන්ම අදටත් රස්සාව ප්‍රදේශයේ දමිළ ජනතාව තේ වතුවල සේවයේ යෙදී සිටිනවා. ඒ මහතා අපිට තොරතුරු රැසක් පැවසුව ද ඔහුගේ ඡායාරූපයක් ගැනීම ගැන නම් කැමැති නොවීය. ඊට අැවැටිලි කළ අපට එම උත්සාහය අතහැර එතුමාගේ තොරතුරු පමණක් සටහන් කර ගැනීමට සිදු විය. ලියනගේ මහතා රස්සාව සහ මාඔය මෙන්ම වර්තමානයේ මේ ස්වභාවික පරිසරයට සිදු වී ඇති තොරතුරු ගැන විටක සංවේගයෙන් කතා කළ අතර එතුමා විසින් රස්සාවේ පිහිටි උමං මාර්ගය හා ලන්ඩනයේ සිට රස්සාවට ඇති ගුවන් සැතපුම් 7000 දුර සම්බන්ධයෙන් තොරතුරු රැසක් අප සමග කීවේය. ඔහුගෙන් අපට මා ඔය ආරම්භ වන රස්සාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් සොයා ගැනීමට හැකි විය. අප සමග කතාවට වැටුණු ඒ මහතා මේ සම්බන්ධයෙන් අපට කීවේ මෙවැනි කතාවකි.

රස්සාව කියලා රස්සාව කන්දට කියන්නේ ඉස්සර රාස්ස ගෝත්‍රිකයන් ඉඳලා තියෙන නිසායි. ඒ හිටපු රාක්ෂ ගෝත්‍රිකයන් මේ කොටසේ යකඩ තළලා තියෙනවා. වෙන තැන්වලින් යපස් ගෙනල්ලා යකඩ තැළීම සිදුකරලා තියෙනවා. එම යකඩ තැළීමට කිණිහිරක් ඕනෑ. ඒ කිණිහිර තමයි රස්සාවේ පුටුව වාගේ තිබෙන ගල ඉතින් අදටත් එ්කට කියන්නේ කිණිහිරිගල කියලා. මේ ස්ථානයේ රස්සා ගල සහ කිණිහිරිගල තිබෙනවා. ඉතින් යකඩ තැළීමට ජලය අවශ්‍ය නිසා ඒ අය ජල පහරක් එම ස්ථානයට සාදා ගත්තා. ඒ ජල පහර හඳුන්වන්නේ “දේ තීරි ඇල්ල” කියලා. මහ ඔයේ නැති නම් මා ඔයේ මුල් ආරම්භය “දේ තීරි ඇල්ල” ඒ ඇල්ල රස්සාවෙන් තමයි ආරම්භ වෙන්නේ. ලංකාවේ කෙළින්ම මුහුදට වැටෙන එකම ඔය මහ ඔයයි. රස්සාව කන්දට අල්ලපු කන්ද තමයි කඔරගල කන්ද ඒ පැතිවලින් තමයි අර මම මුලින් කියපු දිය පහර රස්සාව කියන තැන යකඩ තැළීමට උපයෝගී කොට ගෙන තියෙන්නේ. ඔය රස්සාව උඩ නොයෙකුත් නටබුන් පවා තිබෙනවා. මමත් ගිහින් තියෙනවා නමුත් මට ඒවා දැක ගැනීමට හැකි වුණේ නැහැ. 

නමුත් අපේ තාත්තා නම් දැකලා තියෙනවා. දාගැබක් වාගේ කොටසකුත් තියෙනවා කියලා මිනිස්සු කියනවා. දාගැබක්ද නැතිනම් වතුවල සුද්දෝ මැරුනාම භූමි දාන කරපු ස්ථානද කියලා හරියටම ඔප්පු කර ගන්න තාමත් හැකියාවක් ලැබිලා නැහැ. නමුත් මේ ප්‍රදේශවල තේ වගාව තිබෙන නිසා අදටත් දෙමළ ජනතාව වැඩි වශයෙන් රස්සාව කන්ද පහළ කොටසේ ජීවත් වෙනවා. මේ රස්සාවට පහළ කොටසේ සිංහල මිනිහෙකුට හිටියේ මාගේ තාත්තා එච්.එල්. ඩැනී සිල්වා මුදලාලි කියලා තමයි ගොඩාක් දෙනෙක් දන්නේ. රස්සාව කියන මේ ප්‍රදේශයට දෙමළ මිනිස්සු ඉස්සර පැමිණියා කියලා කියන්නේ සුද්දෝ තේ ගස් යට රත්තං සහ උම්බලකඩ තියෙනවා කියලා ඒවා හරලා ගනිල්ලා කියලා කීවාට පස්සේ තමයි. උම්බලකඩ සහ රත්තරන් හොයනකොට තේ ගස් යට උදලු ගෑවෙනවානේ. 

ඒ නිසා මෙහේ ආපු දෙමළ මිනිස්සු උදලු ගෑවා රත්තරන් හොයන්න. එහෙම කියලා කතාවක් කියනවා දෙමළ මිනිසුන්ගේ. මක්කම ගිහින් එන පිරිසක් නෝර්ටන්වල සිදු වූ ගුවන් අනතුර සප්තකන්‍ය කඳු වැටියේ හැපුනා කියන කතාව මතක නේද? මම දන්න හැටියට එදා මීදුම දවසක් ලු. එදා ගුවන් නියමුවාට ගුවන් තොටුපළේ මෙහෙයුම් අංශයෙන් උපදෙස් දුන්නා. නමුත් මේ නියමුවාට පොඩ්ඩක් වැරදුණා. ගුවන් ගමන් පථය තියෙන්නේ රස්සාව කඳු මුදුනෙන් “රස්සාවට ලන්ඩන්වල ඉඳලා ගුවන් සැතපුම් 7000 ක් තියෙනවා.” රස්සාව සහ කඔරගල කන්ද මධ්‍යයේ කණුවක් ගහලා තියෙනවා. ගුවන් සැතපුම් 7000 ක් එම ස්ථානයට ලන්ඩන්වල සිට තියෙනවා කියලා. ඒ කණුව ගහලා තියෙන්නේ මේ වත්තේ වැඩ කරපු සුදු මහත්තයෙක් ගුවන් යානයකින් යනකොට මේ කන්ද තිබෙන ස්ථානයේ දුර දැන ගෙන ලංකාවේ කරපු සංචාරයකදි ඒ බව තමා දන්නා නිසා ඒ ස්ථානයේ ඉංග්‍රීසියෙන් ගුවන් සැතපුම් මෙපමණ ප්‍රමාණයක් තියෙනවා කියලා ගැසුවාලු. 

එදා ගුවන් අනතුරට මුහුණ පෑ ගුවන් යානය යද්දි රස්සාවට වඩා සප්ත කන්‍යා කඳු වැටිය උසයි. මෙම ගුවන් ගමන්වලදී ගුවන් යානාවලට ලබා දෙන තොරතුරු අනුව ඒවා උස් පහත් කරනවා. ගුවන් පාලක අංශයෙන් කියා තිබුණා. රස්සාව කන්ද පැත්තෙන් යන්නේ කියලා ගුවන් නියමුවාට කීවා පාත් කරන්න කියලා. නමුත් ගුවන් යානය ගිහින් තියෙන්නේ සප්ත කන්‍යා කඳු වැටිය පැත්තෙන් ඒ නිසා ඒ කන්දේ හැප්පුණා කියලා කතාවක් තියෙනවා. මට මතකයි මේ සම්බන්ධයෙන් ඒ දවස්වල පුවත් පතක දාලා තිබුණා ටෙබටන් තේ වත්තේ මහත්මයා කියලා තිබුණු කතාවක් “ඔහු එදින රාත්‍රි අහස් යානයක ශබ්දයක් එන විට පුදුමයෙන් බැලුවා කියලා. මොකද අද අහස් යානයක් මේ පැත්තෙන් එන්නේ කියලා. ඒ බලපු ගමන් ගිනි බෝලයක් වැටුණා කියලා එතුමා දැක්කා කියලා තිබුණා” ඒ පැත්තෙන් අහස් යානා වැඩිය ගමන් කරන්නේ නැති නිසා තමයි ඒ විදිහට පුදුමයෙන් බලලා තියෙන්නේ. 

අද වුණත් ගුවන් යානා වැඩි වශයෙන් ප්‍රධාන ගමන් මාර්ගයක් හැටියට රස්සාව කන්ද හරහා ගමන් කිරීම සිදු වෙනවා. අදත් රස්සාව හරහා විශාල වශයෙන් දෛනිකව ගුවන් යානා ගමන් කරනවා. රස්සාවට ගියපුවාම සිරිපාද කන්දත් ළඟින් තියෙනවා වාගේ තමයි පෙන්නේ. රස්සාව කන්දට නැගලා කබරගල කන්ද පැත්තට ඇවිද ගියපුවාම හැටන් තලවාකැලේ දිහාට දිය ඇලි විශාල වශයෙන් දැකගැනීමට හැකියාව තිබෙනවා. පසුගිය කාලේ රඹුක්පිටියේ විශාල ලොකු නාය යෑමක් සිදු වුණා. රස්සාවට ඒහා පැත්තෙන් නාවලපිටිය ගිනිගත්හේන පාරේ රඹුක්පිටිය කියන තැන. නමුත් මෙසේ නාය ගියේ කඔරගල කෙළවරක සිටයි.

ඉස්සර අපි අහලා තියෙනවා රාක්ෂ ගෝත්‍රිකයන් යකඩ තළද්දී මිනිස්සු අතරට ඒ යකඩ තැලීම පැමිණියේය කියලා. ඒ කාලේ ඈත ගම්වල මිනිස්සු ඇවිත් මේ යකඩ තළන හැටි හොරෙන් බලා ඉඳලා තියෙනවා. මිනිස්සු ඒ විදිහට හොරෙන් බලා ඉන්නේ රාක්ෂ ගෝත්‍රිකයන් මිනිස්සු මරා ගෙන කන නිසා. ඒ වාගේම මේ ගොල්ලන්ට මෙම යකඩ තළන හැටි දැන ගන්න ඔනෑ කියලාත් තිබුණා. ඒ නිසා ගම්වලින් ආපු මිනිස්සු ගස් මුදුන්වලට නැගලා යකඩ තලන ළඟම ස්ථානයට ගිහින් යකඩ තළන හැටි බලා ඉඳලා හයියෙන් කෑ ගහලා යකඩ තළන හැටි කීවා කියලා සඳහන් වෙනවා. “ යකඩෙට මඩ බොර වානේට පුස් කර ”ඒ දෙක දාලා තමයි රාක්ෂයින් යකඩවලට පන්නරය තියලා තියෙන්නේ. ඉතින් රාක්ෂයින්ගේ ඒ ක්‍රමය අර ගහ උඩ හිටපු මිනිහා කෑ ගහලා කියනකොට රක්ෂයින් ඉක්මනින් ඇවිත් අර මිනිහා මැරුවා කියලා ඉස්සර මිනිස්සු කියනවා. ඊට පස්සේ එයාගෙන් දෙවැනියාට යනකොට දෙවැනියා ඊළඟ ගහේ ඉඳන් ඊළඟ කෙනාට කෑ ගහලා කියලා තමයි ඔය යකඩ තැළීමේ ක්‍රමය මිනිස්සු අතරට ආවා කියලා සඳහන් වෙන්නේ. 

රස්සාව කන්දේ උඩ ඉස්සර තිබුණා නොයෙකුත් පලතුරු වර්ග, බෙහෙත් පැළෑටි මහ ගොඩාක් තිබුණා. දැන් ඒවා මිනිස්සු ගලවාගෙන ගිහින් දැන් ඉස්සර තරම් නැහැ. රස්සාව කන්දේ ඔය කොටසේ දැනටත් දැක ගත හැකියි යපස් කෑලි. මේ වතුවල මිනිස්සු අවුරුදු ගාණකට පෙර ඔය කන්දේ අවටින් අග්ගලා හොයා ගත්තා කියලා කතාවක් කියනවා. ඒ අග්ගලා අරන් ඇවිත් බලපුවාම ඒවායේ හාල් පවා මිශ්‍ර වෙලා තිබුණා කියලා තමයි කියන්නේ. ඔය වතුවල මිනිස්සු බඩේ අමාරුවක් ඇඟ පත රිදීමක් සිද්ධ වුණාම ගලක උර ගාලා ඒවා බොනවාලු. එතකොට ඒ සියලු අපහසුතා නැති වෙනවා කියලා ඉපැරණි කතාවක් ජනවහරේ තියෙනවා. ඒ අග්ගලා කීවාට ඒවා අග්ගලා නොවෙයි. ඉස්සර තවත් කතාවක් තිබුණා රස්සාව කන්දේ උඩ මුදුනේ අග්ගලා තියෙනවා ඒවා කන්න පුළුවන්. නමුත් ඊට පහත් කොටසේ අග්ගලා ගමට ගෙනල්ලා කන්න බැහැ කියලා. එකට හේතුව මට හිතෙන විදිහට යකඩ උණු කරන්න කෝව හදා ගන්න නොයෙකුත් ජාති එක්කහු කළා. හාල් පවා ඒ සඳහා එක්කහු කර ගත්තා. 

ඒ අහපු කෝවවල කෑලි කියලා බොහෝ දෙනා ඒ අග්ගලා කියන ඒවා විශ්වාස කරනවා. අද වන විට පරිසරයෙන් ගන්න දෙයක් නැහැ. ඉස්සර මම කීවා නේද මෙ රස්සාව කන්දේ මල් ජාති බෙහෙත් ජාති තිබුණා කියලා. කෝ අද එකක්වත් නැහැ. සමහර අය ගියපුවාම මෙන්න ලස්සන මල් පැළයක් මේක අරන් යං ඊට පිටුපසින් එන කෙනා ඊළග පැළය ගලවනවා. මෙහෙම කිහිප දෙනෙක් මල් පැළ ගලවපුවාම. ඒ මල් පඳුර ඉවරයි. මේකේ සංචාරකයන් කියලා නොයෙකුත් අය එනවා. එන්නේ මොකටද අරක්කු බොන්න. අරක්කු බීලා පොලිතින් සහ දිරන්නේ නැති අපද්‍රව්‍ය හැමතැනම දාලා විනාශ කරනවා. ඉස්සර බට පඳුරු වැවිලා තිබුණා. ඒ බට කපන්න ගත්තාට පස්සේ එ්ක තහනම් කරපු නිසා දැන් එක සිදුවෙන්නේ නැහැ. මේ ප්‍රදේශය රක්ෂිතයක් කරලා තිබුණාට කිසිම ආරක්ෂාවක් නැහැ. පරිසර විනාශය නිසා හෝදාපාළුවට ගිහින් තව ටික කාලයකින් රස්සාවේ කිණිහිරගල පල්ලම ඇදවැටෙන්න වුණත් ඉඩ තියෙනවා. පරිසරය ගැන කිසිම විදිහකට පැරණි මිනිස්සු වශයෙන් සෑහීමකට පත් වෙන්න බැහැ. 

අද වන විට මා ඔයෙහි එදාට වඩා ජල මට්ටමේ විශාල අඩුවිමක් දක්නට ලැබෙනවා. ඉස්සර මහ විශාල ගස් තිබුණා හොඳට වතුර තිබුණා. මගේ වත්තේ තියනවා පරණ ළිඳක් ඉස්සර සුද්දන්ගේ කාලේ හදපු එකක් වෙන්න ඕනෑ. ඒ ළිඳ අලි විනාශ කරලා නැහැ. ඒ මිනිස්සු හදපු විදිහටම තාම තියෙනවා. මේ රස්සාවේ නිදන් හොයන්න මේ පැත්තේ ග්‍රාම සේවක මහත්තයෙක් එක්ක සෙට් වුණු අය නීතියෙන් පවා වැරදිකරුවන් බවට පත් වුණා. මේ රස්සාවේ නිදන් තියෙනවාද කියවලා හරියටම මට කියන්න බැහැ. රස්සාව කන්දේ තිබෙනවා දෝනාවක්. මේ දෝනාවේ කවුරුත් ගිහින් නැහැ. රජයෙන් හරි පුරාවිද්‍යා එකෙන් හරි මේ ස්ථානයේ කිසිදු පරීක්ෂාවක් සිදුකරලාත් නැහැ. මේ දෝනාව පිළිබඳ පොත් පත්වල සඳහන් වේලා තිබෙනවා. ලෙව්කේ දිසාව මේ ස්ථානයේ සිට දළදා මාළිගාවට ආයුධ හැදුවා කියලා. ඒ දෝනාව තමයි යටින් ගිහින් තියෙන්නේ කියලාත් කියනවා. ඒකනේ ගිනිගත්හේන පල්ලමේ ගිලා බසින්නේ, දොළන්කන්දේ ගිලා බසිනවා, රස්සාවේ දිය ඇල්ලට ඉස්සරහා පැත්තෙන් ගිලා බහිනවා. කොච්චර පාරවල් හැදුවත් ගිලා බැස්ස මේ කියන ස්ථානවල ඉවරයක් නැහැ. 

ඒ වාගේම රස්සාවේ විශාල ගල් ලෙන් දැක ගැනීමට හැකියි. මේ රස්සාව ආරක්ෂා කිරීමට නම් එය අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කරන්නට නම් මේ උඩ තිබෙන වනගැබ රක්ෂිතයක් බවට පත් කර යුතුයි. අපි පොඩි දවස්වල තිබුණා වාගේ ඒ සඳහා කාගෙවත් බලපෑම් නැති විය යුතුයි. එතකොට ඔය කියන රක්ෂිතය ලස්සනට කැලෑවක් වෙයි. ජල සම්පත ආරක්ෂා වේවි. සතා සිව්පාවා ආරක්ෂා වේවි. දැනටත් රක්ෂිතය තිබෙන කොටස්වල පවා මිනිස්සු බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන ජනාවාස ඉදි කරමින් සිටිනවා. එම ඉඩම් සුද්ධ කිරීම යනආදිය නිසා මෙම කොටසේ සෝදා පාළුව වැඩි වෙලා තිබෙනවා. දැන් මිනිසුන්නට පරිසරය තිබුණත් එකයි නැතත් එකයි මාගෙ බඩ ගෝස්තරය හොයා ගත්තා නම් ඇති කියන හැඟීම තමයි තියෙන්නේ. කවුරුත් මෙ සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් නැහැ. ඉස්සර මිනිස්සු හදපු ගස් කොළන් තමයි දැන් මිනිස්සු කපා විනාශ කරන්නේ. මම කියපු බොහෝ තොරතුරු ගම්පොළ කියන පොතේ පවා සමහර සිද්ධින් වාර්තා කරලා තිබෙනවා.
උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සුද්දා මුළින්ම තේ වත්තකට විදුලිය ගත් හැටි (How Sudda First Got Electricity For A Tea Estate) සුද්දා මුළින්ම තේ වත්තකට විදුලිය ගත් හැටි (How Sudda First Got Electricity For A Tea Estate) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, October 05, 2020 Rating:

0 comments:

Post a Comment