බුද්ධදාස රජතුමා (King Buddhadasa)

අද දේශනාව තුළින් ඔබට කියා දෙන්නේ අපේ රටේ පහළ වූ ශ්‍රේෂ්ඨ, පින්වන්ත, බෝධිසත්ව ගුණයෙන් පිරි රජකෙනෙක් පිළිබඳවයි. අප දන්නා ආකාරයට රජවරු පහළ වෙන්නේ රටවැසියා සුවපත් කරන්නට, යහපත උදාකරන්නට, සෞභාග්‍ය උදාකරන්නටයි.එදා අපේ රජවරු ඉතාම ශ්‍රේෂ්ඨ ආකාරයට මේ කටයුතු සිදු කළා. බුද්ධදාස රජතුමා එවැනි ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. මේ කරුණ ඔබට ඉදිරිපත් කරන්නේ මහාවංශය ද්වතීය භාගයේ පළමු කොටසේ 37 වන පරිච්ඡේදයට අනුවයි. බුද්ධදාස රජතුමාගේ පියා ජෙට්ඨතිස්ස රජතුමා. 

ජෙට්ඨතිස්ස රජුගේ පියා කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා. බුද්ධදාස රජතුමා රජකම් කරන්නේ ක්‍රි.ව. 338 – 367 කාල පරිච්ඡේදයේ දී ය.මෙතුමා දානය, සීලය, පරිත්‍යාගය, සෘජු බව, මෘදු බව, තපස, ක්‍රෝධ රහිත බව, හිංසාවෙන් තොර බව, ඉවසනසුළු බව, විරුද්ධ නොවන බව යන දසරාජ ධර්මයෙන් රට පාලනය කළා. ඒ වගේම ඡන්දයෙන්, ද්වේශයෙන්, බයෙන්, මෝහයෙන් අගතියට නොගොස් රට පාලනය කළා. එම සතර අගතියට පත් නොවී අධිකරණ විනිශ්චය ලබා දුන්නා. ඒ වගේම දානය, පි‍්‍රය වචනය අර්ථචර්යාව, සමානාත්මතාව යන සතර සංග්‍රහ වස්තුවෙන් රට වැසියන්ට සංග්‍රහ කළා. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ රාජ්‍ය පාලන ක්‍රමය ද මෙයයි.

නුවණැති බුද්ධදාස රජතුමා සත්පුරුෂයන්ට යහපත් ලෙස සංග්‍රහ කළා. අසත්පුරුෂයන්ට නිග්‍රහ කළා. නමුත් අසත්පුරුෂයන්ට කිසිවක් පැවසීම හොඳ නැහැ. පුද්ගලයන් හෙළා දැකීම හොඳ නැහැ. වැරැදි වැඩ ගැන කතා කරන්න හොඳ නැහැ යනුවෙන් අද සමාජයේ මතයක් පවතිනවා. අපේ බුදුරජාණන් වහන්සේ දේවදත්ත හඳුන්වා දුන්නේ පාප මිත්‍රයෙක් ලෙසටයි. දේවදත්ත අපේ කෙනෙක් නොවන බව ප්‍රකාශ කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේට ප්‍රකාශ කළා.බුද්ධදාස රජතුමා වෙදකම් කිරීම පිළිබඳ ප්‍රසිද්ධයි.

නූතනයේ බටහිර විද්‍යාව ශ්‍රේෂ්ඨ යැයි සිතන යුගයක බුද්ධදාස රජතුමා මීට වසර දහස් ගණනකට පෙර මොළයේ ශල්‍යකර්ම පවා සිදුකර තිබෙනවා. දවසක් එතුමා මංගල හස්තියා පිට නැගී අනුරාධපුර තිසා වැවෙන් ස්නානය කිරීමට මහාමාර්ගයේ ගමන් කරමින් සිටියා. පුත්ත බාග විහාරය අසල තිබූ තුඹසක් මත කුසේ හටගත් එක්තරා රෝගයකින් පෙළුණු මහා නාගයෙක් දක්නට ලැබුණා. මේ නාග රාජයා තමන්ගේ ගෙඩි රෝගය පෙන්වීමටයි උඩුකුරුව වැතිරී සිටියේ. නාගයා රෝගී තත්ත්වයක පසුවන බව රජතුමාට අවබෝධ වුණා. රජතුමා මංගල හස්තියා පිටින් බැස නා රජු ළඟට ගොස් මෙසේ පවසනවා. “මහා නාගය තොප මෙහි වැතිරී සිටින කාරණය මට හොඳින් තේරෙනවා. නමුත් නුඹ තෙද ඇති, වහා කිපෙන සුළු කෙනෙක්. තොප ස්පර්ශ කරන්නේ නැතිව මට ප්‍රතිකාරයක් කරන්න බැහැ. ස්පර්ශ කිරීම, අමාරු දෙයක්. 

ඒ නිසා මා කළ යුත්තේ කුමක්ද? කියා නාගරාජයාගෙන් විමසනවා. අප දන්නවා නාගයෝ යමක් පවසන විට තේරුම්ගන්න පුළුවන් සත්ත්ව කොට්ඨාසයක් බව. මෙය ඇසූ නාගරාජයා තමන්ගේ මුළු පෙනය ම තුඹසේ කුහරයට ගිල්වාගෙන සන්සුන් ව වැතිර සිටිනවා. රජතුමා ඉනේ තිබූ පිහිය රැගෙන උදරය පලා විස සහිත ගෙඩිය බැහැරකර ඖෂධ ගල්වා නාගයා සුවපත් කරනවා. රජතුමාට විශාල සතුටක් ඇති වෙනවා. මා තුළ විශාල කරුණාවක් තියෙනවා. ඒ බව තිරිසන් සතුන් පවා දන්නවා. මේ ආකාරයෙන් මම රට පාලනය කරනවානේ කියල තමන්ටම ප්‍රශංසා කර ගන්නවා. ඉන් පසු නාගරාජයා තමන් සුවපත් වුණු බව දැනගෙන තමන් සතු අනර්ඝ නාග මාණික්‍යය රජතුමාට පූජා පිණිස දුන්නා. රජතුමා ඒක පිළිගෙන අභයගිරි විහාරයේ සෛලමය පිළිම වහන්සේගේ නේත්‍රා යුගලයේ තැන්පත් කළා.

තවත් අවස්ථාවක දී එක්තරා භික්ෂූන්වහන්සේ නමකට කුසවැටි නම් ගමේ දී පිඬු පිණිස වියළි බතක් ලැබුණා. එයට දීකිරිත් ලබාගෙන දානය වැළඳුවා. ඒ දී කිරිවල පණුවො සිටියා. නමුත් භික්ෂූව ඒ බව දැනගෙන සිටියේ නැහැ. පසුව පණුවෝ බොහෝ සේ බෝ වෙලා භික්ෂුවගේ උදරය කන්න පටන් ගත්තා. ඉන්පසු රජතුමා කරා පැමිණ මේ විපත පැවසුවා. රජතුමා රෝගය පිළිබඳ විස්තර විමසුවා.එහිදී මේ භික්ෂුව පණුවන් සහිත කිරි වළඳා ඇති බව රජතුමාට අවබෝධ වුණා. ඒ අවස්ථාවේ දී රජතුමාට තවත් ප්‍රතිකාරයක් කරන්න සිදු වී තිබුණා. ඒ අශ්වයෙකුගේ නහර විද ලේ ගන්න සිදුවුණා. එයට කියන්නේ ශිරාවේද ප්‍රතිකාරය කියලා. 

ඉන්පසු රජතුමා ශිරාවේද ප්‍රතිකර්මය කරල අශ්වයාගේ ලේ අරගෙන භික්ෂුවට පානය කිරීමට දුන්නා. ටික වෙලාවකට පසු භික්ෂුවට පැවසුවා ඔබ වහන්සේ පානය කළේ අශ්වයාගේ ලේ කියලා. එවිට ඇති වූ පිළිකුලක් සමඟ භික්ෂුව වමනය කිරීමට පටන් ගත්තා. ඒ සමගම පණුවන් පිටතට පැමිණියා. එකම ප්‍රතිකර්මයකින් ශිරාවේද ප්‍රතිකර්මයත්, භික්ෂුවගේ බඩේ රුදාව දුරුකිරීමත්, පණුවන් එළියට ගන්න සැලැස්වීමත් යන කරුණු තුන ම සිදුකිරීම මා විසින් සිදු කළ හාස්කමක් කියලා රජතුමා කල්පනා කළා.තවත් දිනයක දී මනුස්සයෙක් වැවකින් වතුර පානය කරද්දී දන්නෙම නැතිව දිය බරියකුගේ බිත්තරයක් ගිලුනා. 

ඒ නිසා ඔහුගේ බඩේ දියබරියෙක් උපන්නා. ඒ දියබරියා තමන්ගේ තුඩෙන් ඒ මිනිසාගේ කුසට පහර දෙනවා. එයින් ඔහු විශාල වේදනාවක් විඳිනවා. ඔහු රජතුමාට මේ සිදුවීම පැවසුවා. රජු රෝග නිධානය විමසා අනිවාර්යයෙන් ම මොහුගේ කුස තුළ සර්පයෙක් සිටින බව තේරුම් ගත්තා. සතියක් පමණ ඔහුට ආහාර නොදී ස්නානය කරවා සුවඳ විලවුන් ගල්වා සුවපහසු යහනක නිදි කෙරෙව්වා. ඉන්පසු මේ පුද්ගලයා ඉතාම ගැඹුරු නින්දකට වැටුණා ඔහු කටත් ඇරගෙන නිදන්න පටන් ගත්තා. ඉන්පසු ඔහුගේ මුඛය ආසන්නයේ නූලක බඳින ලද මස් කැබැල්ලක් එල්ලුවා. දැන් සති ගණනකින් සර්පයාටත්කෑමක් නැහැ. මස් ගඳ ඉවකරගෙන ඉවතට පැමිණි සර්පයා එම ආහාර අනුභව කර නැවත බඩ තුළට යනවා. මේ අතරතුර දී රජතුමා සැණෙකින් නූලකින් ඇදලා සර්පයා අල්ලාගෙන දිය බඳුනකට දැම්මා.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බුද්ධදාස රජතුමා (King Buddhadasa) බුද්ධදාස රජතුමා (King Buddhadasa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, September 11, 2020 Rating:

0 comments:

Post a Comment