බෞද්ධයෙකුගේ යෝජනාවකට ඉදිවූ දේවස්ථානය

යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය රජයේ නියෝජිතයෙකු ලෙස රාජකාරි කළ බදුල්ල සහකාර ආණ්ඩුවේ තෝමස් විලියම් රොජර්ස් මහතාගේ වියෝව සිහිපත් කිරීම සඳහා මෙම දේවස්ථානය ඉදිකර ඇත්තේ බොදු කිතුනු ප්‍රභූවරුන්ගේ සහයෝගයෙනි. ඒ කතාව ඉතිහාසය ගතව ඇත්තේ මෙලෙසිනි. රොජර්ස් මහතා 1824 ජනවාරි මස 7 වැනිදා දෙවැනි ලුතිතන් වරයෙක් ලෙස ලංකා රෙජිමේන්තුවට බැඳුණේය.කඩවසම් දේහයකින් යුත් කාර්ය සූර වූ හෙතෙම 1​826 දී විධායක අධිකාරි වශයෙන්ද 1827 ජුනි මාසයේදී කපිතාන් ලෙසද උසස් කර තිබේ. 1828 සිට 1833 දක්වා බදුල්ලේ අලුපොත අණදෙන නිලධාරියා ලෙස සේවය කළ රොජර්ස් මහතා 1834 දී බදුල්ල ආණ්ඩුවේ සහකාර ඒජන්ත ලෙස පත්කරනු ලැබීය. සහකාර ආණ්ඩුවේ ඒජන්ත, අණදෙන නිලධාරි සහ දිසා විනිසුරු ලෙස සේවය කිරීම වෙනුවෙන් වසරකට පවුම් 300 ක් වූ සමස්ත වේතනයක් ඔහුට ලැබිණ. කොතරම් රාජකාරි බහුල වුවත් ඒ සියල්ල නොපිරිහෙලා ඉටු කළ රොජර්ස් මහතා අති දක්ෂ අශ්වාරෝහකයෙකුද විය. තම බල ප්‍රදේශය තුළ අසුපිටින් නිතර සංචාරය කිරීම ඔහුගේ පුරුද්දක් විය.


අසු පිටින් සංචාරය කරමින් සිටියදී රොජර්ස් මහතාට බිහිසුණු සිදුවීම් දෙකකට මුහුණ දීමට සිදුවිය. ඒ (පහළ බදුල්ලේදී) උමා ඔයේ සැඩදිය පහරට අසුවීම නිසාය. මේ අවස්ථා දෙකේදීම දිවි ගලවා ගත්තේ දැඩි අසීරුවකිනි. අශ්වයා ජල රකුසාට බිලිවිය. දෙවියන්ට ස්තුති වේවායි සිනාසුණ ඔහු සැඩ දියපහර හා පොර බඳිමින් පීනා ගොස් දියෙන් එගොඩ වූයේ කිසිවක් නොවූ විලසටය.

රොජර්ස් නාමය මුළු පළාත පුරා රැව් පිළිරැව් දුන්නේය. දක්ෂ නිලධාරියෙකු පමණක් නොව මිනිසුන්ට හිතවත් වීම ඊට හේතුවයි. ජනයා ඔහුට ගෞරව කළහ. මෙම අවදියේ ඌව පළාතට මධ්‍යම පළාතෙන්ද කොටසක් අයිති විය. ඌව පළාතේ ආණ්ඩුවේ ඒජන්ත වූ රොජර්ස් මුළු පළාතම දියුණු කිරීමට වෙහෙසුණේය. මහා මාර්ග සහ ගොඩනැගිලි කේෂ්ත්‍රය දියුණු කිරීමට වෙහෙසුණේය. එම කේෂත්‍රයන්හි විප්ලවයක් කළේය. ඒ සඳහා ඔහු සතු විශේෂ හැකියාව පිටුබලයක් විය.

වර්තමාන වැල්ලවාය – හම්බන්තොට මාර්ගය, රත්නපුර – නුවරඑළිය සහ මඩකළපුවට දිවෙන පැරණි මාර්ග මෙන්ම දුන්හිඳ මාර්ගයද ඔහුගේ සැලසුම් මත ක්‍රියාත්මක විය. බදුල්ල තානායම ඇතුළු ර‍ජයේ ගොඩනැගිලි රැසක් මේ කාලයේ ඉදිවිය. මේජර් රොජර්ස් කහගොල්ල සහ හපුතලේ මාර්ගයේ කෝපි වගාව ආරම්භ කළේය.එදා ඝන වනාන්තර බහුලව තිබූ ඌව පළාත අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේද නිජ බිමක් විය.රාජකාරි කටයුතුවලට වනය මැදින් විහිදුණ කැලෑ පාරෙන් යද්දී වන අලි දඩයම් කිරීම ඔහුගේ විනෝදාංශය විය.කඩදාසි කැබැල්ලක් සුළගේ පා කර යවා හුළං හමන දිසාව නිගමනය කර අලි ඇතුන්ට ඉව නොවැටෙන සේ ළඟටම ගොස් වෙඩි තබා මරා දැමීමට ඔහු රුසියෙකු විය. මෙලෙසින් ඔහු විසින් ඝාතනය කළ අලි ඇතුන් සංඛ්‍යාව 1400 කි. බදුල්ල නගරයට නුදුරු පුවක්ගොඩමුල්ල එදා ඝන වනාන්තරයකි. එම වනය තුළදී පමණක් අලි ඇතුන් 200ක් මැරූ බව ඔහුගේ දිනපොතෙහි සටහන් විය.1845 ජුනි මස 7 වනදා මේජර් රොජර්ස් රාජකාරි කටයුත්තක් සඳහා ගොස් එද්දී මොර සූරන වැස්සක් පතිත විය. වැස්ස තුරල් වනතුරු හපුතලේ (පැරණි) තානායමට ගියේය. ටික වේලාවක් එහි ගත කළේය. වැස්ස අඩුවිය. වැස්ස නතර වී ඇද්දැයි බැලීමට තානායමෙන් එළියට පැමිණෙත්ම මහා අකුණක් පුපුරා ගියේය. ඊට ගොදුරු වූ ඔහු සදහටම දෙනෙත පියාගත්තේය. ඒ වන විට වයස අවුරුදු (41) කි.

ඔහු අලි ඇතුන් ඝාතනය කිරීමේ පව මෙලොව වශයෙන් පලදුන් බව බොහෝ දෙනාගේ විශ්වාසය විය. මේජර් රොජර්ස් මහතාගේ අකල් මරණය පිළිබඳව ශෝකය පළකිරීමේ රැස්වීමක් බදුල්ල පැරැණි අධිකරණ ගෙඩනැගිල්ලේදී පැවැත්විණ. ආගම් හෝ ජාති බේදයකින් තොරව විශාල පිරිසක් මෙම රැස්වීමට සහභාගි වූහ. මේජර් රොජර්ස්ගෙන් පළාතට සිදු වූ සේවයට ගරු කිරීමක් වශයෙන් ස්මාරකයක් ඉදිකිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. කඩුගන්නාවේ පිහිටි ඩෝසන් කුලුනට සමාන කුලුනක් හපුතලේ කඳු බෑවුමේ ඉදිකරමු යැයි සමහරු යෝජනා කළහ. එහෙත් මේ පිළිබඳ පැවැති දෙවැනි රැස්වීමේදී ඌව පළාතේ උඩරට බෞද්ධයෙක් වූ රඹුක්පොත දිසාව යෝජනා කළේ පූජනීය ස්ථානයක් ඉදිකළ යුතු බවය. මෙවැනි උදාර පුද්ගලයෙකු සිහිකිරීම සඳහා සහ ඔහු අලි ඇතුන් ඝාතනය කළ පවෙන් මුදවා ගැනීම සඳහා කළයුත්තේ පූජනීය ස්ථනයක් ඉදිකිරීමයි. රොජර්ස් මහතා ක්‍රිස්තියානු භක්තියෙකු බැවින් අපි දේවස්ථානයක් ඉදිකරමු යැයි රඹුක්පොත දිසාව තව දුරටත් කරුණු ඉදිරිපත් කරද්දී සියලු දෙනා සන්සුන්ව අසා සිටියහ. ඒ යෝජනාව එක හඩින් ස්ථිර විය.


ආගම් හෝ ජාති බේදකින් තොරව විශාල පිරිසක් මෙම දේවස්ථානය ඉදිකිරීමට ආධාර කළහ. ඒ අනුව බදුල්ල කච්චේරිය හා විල්ස් පිටිය අතර ඌව මහා විද්‍යාලය ඉදිරියේ අදටත් විරාජමානව සිටින මේ දේවස්ථානය ඉදිකෙරිණ. 1957 අප්‍රේල් මස 25 වැනි දින ශාන්ත මාර්ක් දේවස්ථානය නමින් එය රදගුරු ජේම්ස් චැප්මන් උතුමාණන් වෙත පූජාකරන ලදී.රොජර්ස් මහතාගේ මෘත දේහය නුවරඑළියේ ශුද්ධ වූ ත්‍රිත්ව දේවස්ථාන භූමියේදී මිහිදන් කෙරිණ. පසුකලෙක එම සොහොනටද අකුණු සැර වැදී තිබේ. එය කෙසේ වෙතත් මේ ඓතිහාසික දේවස්ථානයේ පසුබිම් ඉතිහාස කතාව පෙන්වා දෙන්නේ වසර සිය ගණනකට පෙර ශ්‍රී ලංකා ජන සමාජයේ ආගම් අතර තිබූ සහජීවනයයි. එය කොතරම් අගනේද?

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බෞද්ධයෙකුගේ යෝජනාවකට ඉදිවූ දේවස්ථානය බෞද්ධයෙකුගේ යෝජනාවකට ඉදිවූ දේවස්ථානය Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, August 01, 2020 Rating: 5

0 comments:

Post a Comment