වස​ර දෙසීයක් පැරණි ලංකාවේ එකම අන්තඃපුර මාළිගාව (The Only Anthapura Palace In Sri Lanka Which Is Two Hundred Years Old)


රජෙකු විඳින සැප ‘‘රජ සැප’’ වේ. එම රජ සැප තුළ සීමා මායිම් නොමැති තරම්ය. මන්ද පුරාණයේ රටේ පූර්ණ බලය හිමි වූ එකම තැනැත්තා වූයේ රජුම පමණක් වූ නිසාවෙනි. ධනයෙන් ද බලයෙන් ද රණ ශූරත්වයෙන් ද තේජසින් ද බැබලුණා වූ රජුට ප්‍රධාන අගබිසව හැරුණවිට තවත් ස්ත්‍රීන් රාශියක් ඇසුරු කිරීමේ වරප්‍රසාදය ද හිමිව තිබුණි. රජු උයන් කෙළියේ යෙදෙනවිට ඔහු සමග ගමන් කිරීමට, සිරියහන් ගබඩාවේ සිටින විට උවටැන් කිරීමට, ජලස්නානය කරනවිට ඖෂධ ආදිය ඇඟ ආලේප කිරීමට ආදී වූ අනේකවිධ කාර්යයන් සඳහා රජ මාළිගාවේ රූප සෝබාවෙන් අගතැන්පත් ස්ත්‍රීන් සමූහයක් වාසය කරන ලදී. මෙම ස්ත්‍රී සමූහය රජුගේ අන්තඃපුරය ලෙස හඳුන්වනු ලැබීය. රජෙකුට සිටිය යුතු අන්තඃපුර ස්ත්‍රීන්ගේ ප්‍රමාණය සීමා රහිත වූ අතර රජු සිත්ගත් ඕනෑම ස්ත්‍රියක් වෙතොත් රාජ අණින් ඇය රජුගේ අන්තඃපුරයට එක්කරගන්නා ලදී. ඇය විවාහක ද අවිවාහක ද යන්න ඊට අදාළ නොවීය. අද රසවිතෙන් සොයායන්නේ මෙවන් අන්තඃපුර ස්ත්‍රීන් හා බැඳි ස්ථානයකි. එනම් එය අන්තඃපුර ස්ත්‍රීන් වෙනුවෙන්ම ඉදිකරන ලද මාළිගාවකි. එහි සුවිශේෂිත්වය වැඩිකරන ලක්ෂණ රාශියකි. ඒවා නම් එම අන්තඃපුර මාළිගාව ඉදිකර ඇත්තේ රජෙකු නොවීම, එය දැනට මෙරට දක්නට ලැබෙන එකම අන්තඃපුර මාළිගාව වීම, එය වසර 200කටත් වඩා පැරැණි වීම, ඒ තුළින් මහනුවර දළදා මාළිගාවේ පත්තිරිප්පුවේ ලක්ෂණ ද පෙන්නුම් කිරීම හා රහස් උමං මාර්ග පද්ධතියකින් ද සමන්විත වීමය.

මෙවන් සුවිශේෂී ලක්ෂණ රාශියකින් සමන්විත මෙම අපූර්වතම ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ කොළඹ-රත්නපුර මාර්ගයේ (රත්නපුර දෙසට එනවිට) දකුණු පසින් රත්නපුර නගරයේමය. කොළඹ සිට පැමිණෙන ඔබට රත්නපුර නගරයේ දකුණු පසින් ෆර්ගසන් බාලිකා විද්‍යාලය හමුවේ. එම විද්‍යාලයට යන මාවතේ කිලෝ මීටර භාගයක් පමණ ගියවිට එම විද්‍යාලයට පිටුපසින් මෙම අපූර්වතම ගොඩනැගිල්ල දැකගත හැකි වේ. මෙම දෙමහල් ගොඩනැගිල්ලෙන් ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ලක්ෂණ පෙන්නුම් කළ ද උඩරට සිංහල දේශීය ගෘහ නිර්මාණ ලක්ෂණ ද ඇතුළත් කර ඇති බව හඳුනාගත හැකිය. දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලය ගොඩනගා ඇත්තේ දැව යොදා සකස් කරගත් සොල්දොරයක් මතය. එම ඉහළ මාලයේ කාමර ත්‍රිත්වයක් වන අතර හාත්පස සුන්දරත්වය පෙනෙන වැරන්ඩාවකින් ද සමන්විත වේ. පහළ මාලයේ රැස්වීම් සඳහා භාවිත කළා යැයි සැලකෙන ශාලාවක් හා කාමරයක් වේ.

අන්තඃපුර මාළිගාවේ ඉතිහාසය පිළිබඳව සොයා බලනවිට එය ඇහැලේපොළ මහ අදිකාරම් හා බැඳී පවතින බව පෙනේ. ඔහු ලක්දිව අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ නියමයෙන් රත්නපුරයට පැමිණ ඇත්තේ සබරගමු වැසියන් උඩරට රජුට ගෙවිය යුතු බදු පැහැර හැරීම පිළිබඳව සොයා බලා එම බදු එකතු කිරීමටය. නමුත් ඔහු සබරගමුවේ රජෙකු ලෙස වැජඹෙමින් කන්ද උඩරට වඩිග රජුට විරුද්ධව කුමන්ත්‍රණය කළ බවට මතවාද වේ. මේ නිසා ඔහුට තම දරු පවුල පවා ඉතා ම්ලේච්ඡ ලෙස අහිමි විය. මෙසේ රත්නපුරයේ රාජකාරියට පැමිණි ඇහැලේපොල මහඅධිකාරම් කලක් රත්නපුරයේ බටුගෙදර පිහිටි වලව්වක දිවි ගෙවුවද පසුව රත්නපුර මධ්‍යයේම නව වලව්වක් ඉදිකර ඇත. වර්තමානයේ එහි රත්නපුර ජාතික කෞතුකාගාරය පවත්වාගෙන යයි. මෙසේ තමන්ට නිල නිවසක් ඉදිකරගත් හෙතෙම කන්ද උඩරට සිටි තමන්ගේ භාර්යාව හා දරුවන් ද අමතක කරමින් අන්‍ය ස්ත්‍රීන්ගේ පහස විඳින්නට වූ බව හා ඒ සඳහා ඔහු තම වලව්වට ඉහළින් වූ භූමියේ අන්තඃපුර මාළිගාවක් ඉදිකර ඇති බව මෙම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වන ජනප්‍රවාදිත මතයයි.

මෙම අන්තඃපුර මාළිගාවේ විශේෂත්වය සොයාබලන විට එය දැනට ඉතිරිව පවතින රජ දවස ඉදිවූ එකම අන්තඃපුර මාළිගාව බව පැවසීම යුක්ති සහගතය. එසේම එහි තිබූ එක් කාමරයක සිට ඇහැලේපොළ අධිකාරම්ගේ වලව්වටත්, රත්නපුර ඕලන්ද බළකොටුවටත් හා කළු ගඟටත් විහිදී ගිය උමං පද්ධතියක් තිබූ බවට ජනප්‍රවාදයේ එයි. පසුකාලීන ප්‍රතිසංස්කරණ හමුවේ එම උමං පද්ධතිය වැසී ගොස් ඇති අතර ඒවා දෑසින් දුටුවන් ද තවමත් රත්නපුරයේ වෙසෙන බව නොරහසකි. විජේසිංහ බෙලිගල්ල විසින් පරිවර්තනය කරන ලද ජෝර්ජ් ටර්නර් දුටු රත්නපුර දිසාව කෘතියේ මෙම උමං පිළිබඳ ඇසින් දුටු විස්තරයක් ද අන්තර්ගත වේ. එයට අනුව ඇහැලේපොළගේ නිල නිවසේ සිට මීටර 250ක් පමණ ඈතින් පිහිටි රත්නපුර ඕලන්ද බළකොටුවට උමං මාර්ගයක් තිබී ඇත.

ජෝර්ජ් ටර්නර් සඳහන් කරන පරිදි එම උමග නිල නිවසේ ඇතුළු කාමරයකින් ආරම්භ වී තිබේ. ඇහැලේපොල මහ අධිකාරම්ගෙන් පසුව මෙම නිල නිවසේ වාසය කරන ලද බ්‍රිතාන්‍ය උප දිසාපතිවරුන් ද මෙම උමග භාවිතයෙන් වලව්වේ සිට කොටුවේ තිබූ කච්චේරියට ගොස් ඇත.

රත්නපුරය වනාහි නිරන්තරයෙන් ගංවතුරට අසුවන ප්‍රදේශයක් නිසා ගංවතුරට පහසුවෙන් හසුනොවන වලව්වේ සිට පරිපාලන මධ්‍යස්ථානය වූ කොටුවට යාමට මෙම භූගත උමං පද්ධතිය බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නට ඇත. මෙම වලව්වේ සිට ඇහැලේපොළ මහ අධිකාරම්ගේ අන්තඃපුරය සිටි කන්ද උඩ ගොඩනැගිල්ලට, කොටුවට හා මෙම අන්තඃපුර ගොඩනැගිල්ලේ සිට එම ස්ත්‍රීන්ට දිය නෑමට කළු ගඟට රහසේම යාමට උමං තිබූ බව එම කෘතියේ දැක් වේ. එකල සබරගමුවේ සිටි අති දක්ෂ උමං කපන්නා වූයේ මඩුවන්වෙල නින්දගම් වලව්වේ සිටි මහා මොහොට්ටාල තැනය. කටුවන මහා සංග්‍රාමයේ දී සබරගමු පළාතෙන් ඒක රාශි වූ සේනාව කටුවන ඕලන්ද බළකොටුව දක්වා රහසේ ගොස් ඇත්තේ ද උමං මාර්ගයකිනි. රත්නපුර ඇහැලේපොළ වලව්ව හා සම්බන්ධිත උමං පද්ධතිය ද මෙම මහා මොහොට්ටාලගේ නිර්මාණයක් බවට සඳහන් වේ.

1823 දී මෙම වලව්වට පැමිණි උප දිසාපති ජෝර්ජ් ටර්නර් එක්නැළිගොඩ දිසාවේ සමඟ ඇහැලේපොළ වලව්වේ වන උමං පද්ධතියට පිවිස ඇත. ඊට පෙර 1820 දී රත්නපුරයට පැමිණි රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා ඇහැලේපොළගෙන් අසා තිබූ විස්තරවලට අනුව ඔහුගේ වස්තුව සඟවා තිබූ උමං පද්ධතිය සොයාගෙන එහි සඟවා තිබූ වස්තුව කුඩාකද් දොළහකින් කොළඹට රැගෙන ගිය බවට මත ඇත. ඇහැලේපොළ මහ අධිකාරම් තම වලව්වේ සිට උමං පද්ධතියක් නිර්මාණය කර තිබුණේ තම අන්තඃපුරයට යාමට හා පරිපාලන කටයුතු සඳහා කොටුවට යාමට පමණක් නොවන බවට ද මත වේ. 1763 දී සබරගමුවෙන් ඕලන්ද සේනාව පලවා හැරීමෙන් පසුව ඔවුන් විසින් රත්නපුර කොටුවේ සඟවා තැබුවේ යැයි සැලකූ මහා වස්තු සම්භාරයක් පොළොව යට ඇතැයි යන මඩුවන්වෙල මහා මොහොට්ටාගේ කීම නිසා ඒවා ගැනීමේ ආශාව ද මහ අධිකාරම්ට පැවැති බවට මත වේ.

මෙම උමං පද්ධතියට 1823 දී උපදිසාපති ජෝර්ජ් ටර්නර්, එක්නැළිගොඩ දිසාව හා තවත් ගැමියන් කිහිප දෙනෙකු පිවිස ඇත. කුරුවිට කෝරලයේ ගම්වැසියන් වූ උක්කුහාමි විදානේ රාළ, මුදලිහාමි ලේකම්, වන්නකු මොහන්දිරම්, බදගම් දුරාගේ රන්කිරා, බඩහැලි කිරිනයිදේ යන පිරිස් දල්වාගත් පන්දම් හා අයුධ සහිතව මෙසේ උමගට පිසිව ඇත. දෝනාව තුළ දැඩි අඳුරක් පැවැති අතර එය මිනිසුන්ට කෙළින් සිටගෙන ගමන් කළ හැකි උසක් සහිතව තනා තිබී ඇත. ජලය උමග තුළට කාන්දුවීම වැළැක්වීම සඳහා උමං බිත්තියේ ඝනකම බදාමයක් යොදා තිබී ඇත. වාතාශ්‍රය ලබාගැනීමට තනවා තිබූ වා කවුළු පස්වලින් වැසී තිබී ඇත. එසේම උමග තුළ වන අඳුර නැසීමට තෙල් පහන් හා පන්දම් දල්වා තිබූ කණු ද සමාන්තර දුරකින් පිහිටුවා තිබී ඇත.

කන්ද උඩරට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට විරුද්ධව යමින් කටයුතු කළ ඇහැලේපොළ අදිකාරම් තමන් තැනූ අන්තඃපුර මාළිගාවට කන්ද උඩරට දළදා මාළිගාවේ පත්තිරිප්පුවේ හැඩය ද එක්කර තිබුණේ රජුට රිදවීමට දෝ යැයි සිතේ. උඩරට රජුන් ජනතාව ඇමතීම පත්තිරිප්පුවේ සිට සිදුකර ඇති අතර ඇතැම්විට ඇහැලේපොළ මහ අදිකාරම් ද එවැනි කාර්යයක් සඳහා මෙම පත්තිරිප්පු හැඩැති කොටස භාවිතා කරන්නට ඇත. එම හැඩය ගොඩනැගිල්ලේ දෙපසින්ම විද්‍යාමාන වේ. වසර 200කටත් වඩා පැරැණි ඉතිහාසයකට උරුමකම් කියන මෙම ගොඩනැගිල්ල ඇහැලේපොළ අදිකාරම් මෙරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව එකල යටත්විජිත ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ නිල නිවාසය බවට පත්ව ඇත. ඒ අනුව සියවසකට අධික කාලයක් ඒජන්තවරුන්ගේ නිල නිවාසය වූ මෙම මාළිගාව වර්තමානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය ස්ථාපිත කර තිබේ.

වරෙක දේශද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැසුණා වූ ද තවත් වරෙක දේශප්‍රේමියෙකු ලෙස නම් දැරුවා වූ ද ඇහැලේපොළ මහ අදිකාරම් විසින් ඉදිකරන ලද මෙවන් අපූර්වතම ගොඩනැගිල්ලක් රත්නපුරයේ තිබෙන බව රත්නපුරයේ වැසියන් ද අසා නොතිබෙන්නට ඇත. රත්නපුර ෆර්ගසන් බාලිකා විද්‍යාලය ඇතුළතින් ගමන් කරන මාර්ගයේ කෙළවර පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල ජරාවාසව පැවැති සමයේ එම පාසල් සිසුවියන් හඳුන්වා ඇත්තේ හොල්මන් බංගලාව ලෙසිනි. එසේ හැඳින්වීමට හේතුව මෙහි තේජස් ස්වභාවය හා ඔවුන්ට මෙම ස්ථානයට ඇතුළුවීමට නොහැකිවීම නිසා සිත් තුළ ඇතිව තිබූ කුතුහලයයි. මෙම හෙළිදරව්වෙන් පසුව හෙට දින රත්නපුර ජාතික කෞතුකාගාරය නැරඹීමට පැමිණෙන ඔබ ඊට ඔබ්බෙන් පිහිටි ලංකාවේ වෙනත් කිසිදු ස්ථානයක දක්නට නොමැති අන්තඃපුර මාළිගාවක් බැලීමට ද අවස්ථාව උදාකරගන්නවා නිසැකය.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වස​ර දෙසීයක් පැරණි ලංකාවේ එකම අන්තඃපුර මාළිගාව (The Only Anthapura Palace In Sri Lanka Which Is Two Hundred Years Old) වස​ර දෙසීයක් පැරණි ලංකාවේ එකම අන්තඃපුර මාළිගාව (The Only Anthapura Palace In Sri Lanka Which Is Two Hundred Years Old) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, August 04, 2020 Rating:

0 comments:

Post a Comment