දකුණු ආසියාවේ පැරැණිම සේද රෙදිකඩ (The Oldest Silk Fabric In South Asia)

මානව පරිණාමයේදී දෙපයින් සිට ගැනීමට පුරුදු වූ මානවයාගේ ප්‍රමුඛතම අභිප්‍රාය වූයේ තම ආහාරවේල සපුරා ගැනීමය. සංචාරක දඩයම් ජීවිතයක් ගත කළ එම මානවයා ස්ථිර වාසස්ථාන ලෙස ගල් ලෙන් තෝරාගෙන එහි කුටුම්භගත ජීවිතයක් ආරම්භ කිරීමේ දී තම විලි වසා ගැනීමට ශාකීය ද්‍රව්‍ය වලින් හා සත්ව සම්වලින් තනාගත් ඉතා සරල ශරීරාවරණ භාවිත කරන්නට යොමුවිය. 

මෙම නිපයුම් ඉතා ඉක්මනින් ක්ෂය වී යන හෙයින් එම සරල වස්ත්‍ර නිර්මාණයන්හි සාධක හමු නොවුණ ද මානවවංශ පුරාවිද්‍යාවේ සිද්ධාන්තයන් උපයුක්ත කරගනිමින් නූතනයේ දක්නට ලැබෙන ආදිවාසීන්ගේ ප්‍රාථමික ඇඳුම් නිර්මාණ තාක්ෂණය ආශ්‍රයෙන් අතීත මානවයන්ගේ වස්ත්‍ර පිළිබඳව යම් අවබෝධයක් ලබාගත හැකි වේ.අතීත මානවයා ප්‍රාග්-ඓතිහාසික යුගය ගෙවා ඓතිහාසික යුගයට පිවිසීමත් සමග කපු රෙදි හා සේද රෙදි භාවිතයෙන් වඩාත් උසස් වස්ත්‍ර නිර්මාණය කිරීමට යොමුවූ බව පෙනේ. 

ඓතිහාසික යුගයේ මෙරට වස්ත්‍ර නිර්මාණ තාක්ෂණය පිළිබඳව ක්‍රි.පූ. 6 වන සියවසේ සිටම වංශකතාවෙන් සාක්ෂි ලැබේ. ඒ අනුව විජය කුමරු ලක්දිවට ගොඩබසින අවස්ථාවේ කුවේණිය කපු කටිමින් සිටි බව වංශකතාවේ සඳහන්වන අතර ඒ අනුව මෙරට රෙදි නිර්මාණ තාක්ෂණය එම අවධිය වනවිටත් උසස් තත්ත්වයක පැවැති බව ඉන් හඳුනාගත හැකිය.නමුත් මෙම වංශකතා තොරතුරු පිළිබඳව සමකාලීන ද්‍රව්‍යාත්මක සාධක හමු නොවන නමුදු මෙරට රෙදි භාවිතයේ ඉතිහාසය පිළිබඳව අපූර්වතම සාධකයක් කෑගල්ලේ දැලිවල කොටවෙහෙරෙන් ලැබී ඇත. දකුණු ආසියාවෙන් හමුවී ඇති පැරැණිතම සේද රෙදි කඩ මෙම ස්තූප අභ්‍යන්තරයෙන් හමුවී ඇති අතර එහි පුදුම එළවනසුලු කරුණ වන්නේ රෙදි වැනි ඉතා ඉක්මනින් දිරාපත්වන ද්‍රව්‍යයක් වසර 2000කටත් වඩා අධික කාලයක් ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටක නිරුපද්‍රිතව පැවතීමයි. එපමණක් නොව තවත් සුවිශේෂී පුරාවස්තු රාශියක් මෙම ස්තූපය අභ්‍යන්තරයේ තිබී හමුවී තිබේ.

ලෝකය තුළ ලක්දිව නම රැන්දූ මෙම අපූර්වතම සොයා ගැනීම ස්තූපයක් තුළින් සිදුවන අතර සංස්කෘත භාෂාවෙන් ස්තූප ලෙස හඳුන්වන නිර්මාණය පාලියෙන් ථූප ලෙස ද සිංහලයෙන් තුබ, තුඹ ලෙස ද හඳුන්වනු ලැබේ. මොනියර් විලියම්ස්ට අනුව ස්තූප යන්නෙන් මුදුන, ගඩොල්ගොඩ හා පස්ගොඩ යන අර්ථයන් ප්‍රකාශනය වේ. සිංහල දාගැබ යන වචනය සංස්කෘත ධාතු ගර්භ, පාලි ධාතු ශබ්ද ඔස්සේ බිදී ආවක් බව පෙනේ.ස්තූප යන්නට පර්යාය වචනයක් වූ වෙහෙර යන්න පාලි විහාර යන්නෙන් සිංහලයට පැමිණ ඇත. මෙසේ විවිධ පර්යාය නාමයන්ගෙන් හඳුන්වනු ලබන ස්තූපය අශෝක රජුගේ බුදු දහම ව්‍යාප්ත කිරීමේ ප්‍රචාරක වැඩපිළිවෙළෙහි ප්‍රධාන අංගයක් විය. වෙහෙර විහාර විශාල සංඛ්‍යාවක් රාජ්‍යයේ පිහිටුවා ජනතාව බෞද්ධාගමික ප්‍රබෝධයෙන් නංවාලීමට අශෝක රජු උත්සාහ කරන්නට විය. 

මෙතුමාගේ මෙම ධර්ම ප්‍රචාරක කටයුතු නිසා බුදු දහම ප්‍රචලිතවත්ම ධාතු වන්දනාව හා ස්තූපය පිළිබඳ අදහස භාරතය තුළ මෙන්ම භාරත දේශ සීමාවෙන් පිටතට ව්‍යාප්තව ඒ ඒ රටවල පවත්නා ආගමික සංස්කෘතික සන්දර්භයන් ඔස්සේ වාස්තු විද්‍යාත්මක කලා නිර්මාණයක් බවට පත්විය. ලක්දිවට බුදු දහම පැමිණීමත් සමග මිහිඳු හිමියන්ගේ අනුශාසකත්වයෙන් දෙවන පෑ තිස් රජුගේ අනුග්‍රාහකත්වයෙන් ඉදිවුණු ථූපාරාමය තත්කාලීනව චෛත්‍යයක පැවතිය යුතු වාස්තු විද්‍යාත්මක අංගයන්ගෙන් ඉදිවන්නට විය. සාහිත්‍ය මූලාශ්‍රගත තොරතුරු අනුව බුදුන් වහන්සේ වැඩ විසූ සමයේම මහියංගනය හා ගිරිහඩු සෑය යන ස්තූපයන් ඉදි කළ බව සඳහන් වුවත් පුරාවිද්‍යාත්මකව ඒ පිළිබඳ පැහැදිලි නිගමනයකට පැමිණීමට තරම් කරුණු නොමැති නිසා ථූපාරාමය මෙරට ඉදි වූ පැරණිතම ස්තූපය ලෙස සැලකේ. දැලිවල කොටවෙහෙර ද ඊට සමකාලීනවම දේවානම්පියතිස්ස රජු විසින්ම නිර්මාණය කරන ලද දාගැබක් ලෙස විශ්වාස කරනු ලැබේ.කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැලිවල ග්‍රාමයේ පිහිටි දැලිවල කොටවෙහෙර දෙවන පෑතිස් රජ සමයේදී පිහිටි කන්දක් සැස එම කන්ද ආවරණය වන ලෙස ගඩොල් බැඳ ඉන්දියාවේ සාංචි ස්තූපයේ ආකෘතියට ඡත්‍ර නංවා නිර්මාණය කර ඇති බවට මත තිබේ. 

කාලයාගේ ඇවෑමෙන් ස්තූපයේ උපරිභාගය විනාශවීම නිසා එය පසුකාලීනව කොටවෙහෙර ලෙස හඳුන්වා ඇත. නමුත් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරන්නේ මෙම ස්තූපය ක්‍රි.පූ. 1වන සියවසේදී ඉදිකරන ලද්දක් බවයි. එතුමා ඒ සඳහා සාක්ෂි ලෙස ස්තූප පාදමෙන් හමු වූ බ්‍රාහ්මීය අක්ෂර සහිත ගඩොල් හා එම ගඩොල්වල ප්‍රමාණ සැසඳීමෙන් ඒවා දුටුගැමුණු රාජ සමයේ ස්තූප නිර්මාණය සඳහා භාවිත ගඩොල්වලට සමාන බව පෙන්වා දෙයි. නමුත් මහාවංශය සඳහන් කරනුයේ මෙම ස්තූපය දේවානම්පියතිස්ස රාජ සමයේදී කරන ලද බවයි.

ස්තූප කැණීමෙන් හමුවූ පුරාවස්තු මෙම ස්තූපයේ කරන ලද කැණීම් මගින් පුරාවස්තු රාශියක් හමුවී ඇති අතර ධාතු කරඬුවක් ඔතන ලද පබළු ඇල්ලූ සේද රෙදිකඩ ඒ අතරින් සුවිශේෂ වේ. පුරාවිද්‍යාඥයන්ගේ අදහසට අනුව ආසියාවෙන් මෙතෙක් හමුවූ පැරැණිම සේද රෙදිකඩ වන්නේ මෙයයි. මෙය මෙරට පුරාවිද්‍යා ඉතිහාසයේ සුවිශේෂි සොයා ගැනීමක් වන අතර සාමාන්‍යයෙන් රෙදිකඩක් පුරා විද්‍යා සන්දර්භවල රදා නොපැවතීම එයට හේතුව වේ. එම සේද රෙදිකඩ ඔතන ලද කරඬුවටම ඇලී තිබී ඇති අතර රෙදිකඩ ආරක්ෂාවී ඇත්තේද එම නිසාවෙනි. 

ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ සේවය කරන පෞරාණික රෙදිපිළි පිළිබඳව විශේෂඥවරියක වූ මහාචාර්ය ජුඩීන් කැමරන් මහත්මිය විසින් මෙම රෙදිකඩ පිළිබඳව පරීක්ෂණ සිදුකරන ලද අතර මෙම රෙදිකඩ කවර ප්‍රදේශයක නිපදවුවක්ද පිළිබඳව සාධක නොමැතිවුවද සේද මාවත ඔස්සේ මෙරටට ගෙනෙනන ලද්දක් බව අනුමාන කළ හැකිබව පෙනේ. 

මෙම ස්තූපයේ කැණීම් මගින් හමුවූ පුරාවස්තු අතර අපූර්වතම රන් කරඬුවක්ද වේ. අනුරාධපුර රුවන්වැලි සෑයෙන් හා මිහින්තලයේ මිහිඳු සෑයෙන් හමු වූ ධාතු කරඬුවලට වඩා අගයෙන් හා කලාත්මක බවෙන් මෙම කරඬුව විශේෂ තැනක් ගනී. විද්වතුන් පවසන්නේ දැලිවල කොටවෙහෙරෙන් හමු වූ රන් කරඬුව භාරතයේ සාංචි ස්තූපයේ ආකෘතියට බෙහෙවින් සමාන බවයි. මෙහි කැණීම් මගින් ධාතුකරඬු 173ක් හමුවී ඇති අතර එය මෙරට ස්තූපයකින් හමුවූ දෙවන වැඩිම ධාතු කරඬු සංඛ්‍යාව වේ. 

වැඩිම ධාතු කරඬු සංඛ්‍යාවක් හමුවී ඇත්තේ නීලගිරි ස්තූපයෙනි. දැලිවල කැණීම් කටයුතු සිදුකළ ආචාර්ය ඩබ්.එච්. විජේපාල මහතාගේ අදහස වන්නේ චෛත්‍යයේ ඉහළ සතැරැස් හෝ රවුම දැවයෙන් නිමකර ලී යෂ්ටියක් යොදා ඒ මත ඡත්‍රය සවිකරන්නට ඇතැයි යන්නයි. ලාංකිකයන් අතර ප්‍රචලිත නොමැතිවුව ද දැලිවල කොටවෙහෙර යනු ලක්දිව නාමය ලෝකය තුළ ඉහළට ඔසවා තැබූ පුරා විද්‍යාත්මක සාධක ලබාදුන් අපූර්වතම ස්තූපයක් බව මෙහි දී සිහිපත් කිරීම වටී.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දකුණු ආසියාවේ පැරැණිම සේද රෙදිකඩ (The Oldest Silk Fabric In South Asia) දකුණු ආසියාවේ පැරැණිම සේද රෙදිකඩ (The Oldest Silk Fabric In South Asia) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 16, 2020 Rating: 5

0 comments:

Post a Comment