දෝතළුගල කන්දේ අප්‍රකට කතාව (The Obscure Story Of Dotalugala Mountain)

දුමෙන් වැහුණු දුම්බර මිටියාවතේ ඔබ මොබ සැරිසරන්නට වගේම අසිරි සරිය විඳ ගන්නට දින කිහිපයකින් නම් කළ නොහැකිය. මන්ද හෙක්ටයාර ගණනාවකින් පිරුණු මෙම වන ලැහැබ තුළ කඳු හෙල්, දිය ඇළි ගංගා, උමං වගේම පතන, තැනිතලා ගණනාවක් පිරී ඇති හෙයිනි. සමස්ත රක්ෂිතයෙන්ම උපදින දියවර විවිධ දිශාවලට ගලමින් අවසානයේ හෙලයේ ප්‍රධාන පෝෂකය වන මහවැලියට එකතු වන්නේ දුම්බරින් ලැබෙන මහ ජල කඳක් ලෙසිනි.මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධානතම පිවිසුම් මාර්ගය වන්නේ හුන්නස්ගරිය හරහා වැටී ඇති ලූල්වත්ත මාර්ගය වන අතර එහි ඇති ඉසව් සොයා අපි මෙලෙස චාරිකාවේ යෙදුණෙමු.මහනුවර දිස්ත්‍රික්කයට අදාළ නිල පිවිසුම් මාර්ගය වනුයේ හුන්නස්ගිරිය හරහා ඇති පිවිසුමයි. 

එහ හුන්නස්රිගියේ සිට නවනගල ග්‍රාමය හා ලූල්වත්ත ග්‍රාමය හරහා ගමන් කරමින් අට්ටාලමාට්ටුව නොහොත් කො​බෙට් කපොල්ල වෙත ළඟා වී මීමුරේ දක්වා ගමන් කරයි.මෙම මාර්ගය ආරම්භයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිහිට වූ නිල කාර්යාලයක් පවතින අතර එමගින් දිගන පිහිටි දිස්ත්‍රික්ක කාර්යාල හා සම්බන්ධ වෙමින් රක්ෂිතයේ පරිපාලන සිදු කරනු ලබයි. හුන්නස්ගිරිය පිවිසුමේ සිට ගමන් ගන්නා විට හමු වන පළමු ග්‍රාමය වන්නේ නාවනගලයි. නවංගල හා නාවනගල ලෙස හැඳින්වෙන මෙම ග්‍රාමය මීමුරේ දක්වා ගමන් කරන විට හමුවන ප්‍රථම ගම්මානය වන අතර එය තේ වතු අතරින් ඇති වුණු ඉතා සුන්දර මාර්ගයකි. මීටර් 1488ක් පමණ උස නාවනගල/ නවංගල යනු දුම්බර රක්ෂිතයේ හමු වන ප්‍රථම කන්ද වන එය පිහිටියේ නාවනගල ගම්මානය පිටුපසය. මෙම කන්ද හා බැඳුණු ජනප්‍රවාද කිහිපයක් ඇති මුත් මෙහි ඇති ප්‍රධානතම කරුණ නම් හොර රහසේ ගෙන ගිය දන්ත ධාතුව මෙම කඳු මුදුණේ එක්තරා කාලයක් සඟවාගෙන සිටි වගයි. මෙම කන්ද නවංගල ලෙස ද හඳුන්වන අතර එය කන්ද කැඩී ඇති ලෙස දැක්වෙන අර්ථය ගෙන එනු ලබයි. නාවනගල කන්ද ඉදිරියෙන් හුන්නස්ගිරිය හා මැදමහනුවර නගර අතර පිහිටි රජ්ගල කන්ද පිහිටා ඇති අතර නුවර සිට මහියංගණය මාර්ගයේ පල්ලම් බහින විට මොල්ලි යුගලයක් ලෙස මෙම කඳු යුගලය දැක ගත හැකිය. නවංගල කන්ද තරණය කළ හැකි පහසුම මාර්ගය වනුයේ නාවනගල ගම්මානය පිටුපස වනරොද හරහා ගමන් කිරීමෙනි. කන්ද මුදුණේ Erskine නම් සුදු ජාතික මිනින්දෝරු මහතා විසින් මැනීම් කටයුතු සිදු කළ බවට සලකුණු කර ඇති අතර ඒ බව කඳු මුදුනේ පිහිටි ගලක් මත සලකුණු කර ඇති බව අපට දක්නට ලැබුණි.

නාවනගල හා ඒ අවට අතීතයේ පටන් ගම් වැසියන් හා හියාරේ වතු යාය ආශ්‍රිත ගම්මානවල බහුල වශයෙන් තේ වගාව පැවතුණු අතර ඊට නොදෙවෙනි ලෙස එනසාල් වගාව ද පැවතුණි. තේ වගාව කොතරම් තිබුණ ද කිවහොත් එම ප්‍රදේශවල හෙල්වල ඉතා බහුල ලෙස තේ වගාව සිදු කෙරුණි. මේ වන විට තේ වගාව තරමක්දුරට විශාල ලෙස නොතිබුණ ද අතීතයේ ඉතා විශාල ගබඩා සහ තේ දලු එකතු කිරීමේ මධ්‍යස්ථාන සමග විශාල ප්‍රමාණයෙන් වගාව පැවතුණි. එහි සමහර නටබුන් අපට පවා දක්නට ලැබුණු අතර තවමත් අතීත ගොඩනැගිලිවල නටඹුන් යම් යම් ස්ථානවල අපට දැක ගත හැකි විය.හුනස්ගිරියේ සිට කි.මී. කිහිපයක් පැමිණි විට හමුවන නාවනගල ගම්මානය පසු කර ඉදිරියට ඇදෙන්නට වූ අතර පටු මාර්ගය දිගේ ගමන් කිරීම තරමක් දුෂ්කර විය. මන්ද එක් පසෙකින් දැවැන්ත ප්‍රපාතයක් ද අනෙක් පසින් වළවල් පිරුණු අබලන් තාර මාර්ගයක් ද වූයේ පටු ආනතියකය. හිරු නැගෙන විට පරිසරය වසා​ගෙන සිටින මීදුම් රොද එහා මෙහා ගමන් කරන්නට වූයෙන් අපට අවට පිහිටි කඳු දැක ගත හැකි විය. ඉන්පසු අප තවත් කි.මී. 2 ක් පමණ දිරියට ගමන් කරන විට අපි වන පියස වෙත ළඟා වුණෙමු. ගම්මානය නිමා කළ පසු වන රක්ෂිතය ආරම්භ වූ අතර මිනිස් වාසයෙන් මිදී මාර්ගය දෙපසින්ම වනපෙත පිහිටි ඉසව්වට අපි ළඟා වුණෙමු.

වන රක්ෂිතය තරමක නිසොල්මන් බවක් පෙන්නුව ද අතරින් පතර රැහැයියන්ගේ නාදයත් සියොතුන්ගේ නාදයත් අපට ඇසෙන්නට විය. කෙසේ හෝ හෝරා කිහිපයක් ගත වන විට අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩීන්ස්ටන් කාර්යාලය වෙත ළඟා වුණෙමු. ඩීන්ස්ටන් කාර්යාලය පිහිටවා ඇත්තේ ඩීන්ස්ටන් කුඩා ලෝකාන්තය පිහිටි කඳු වැටිය අසලය. මාර්ගයේ දකුණු පසින් පිහිටි මෙම කාර්යාලය මගින් රක්ෂිතයට ඇතුළු වීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, පාරිසරික දැනුම්වත් කිරීම් සහ වන සංරක්ෂණ නිල කාර්යාල කටයුතු සිදු කරනු ලබයි. මෙම පිවිසුම නකල්ස් රක්ෂිතයේ ප්‍රධානතම පිවිසුමක් වන අතර සාමාන්‍යයෙන් මේ හරහා රක්ෂිතයට ඇතුළුවීමට පෙර වලංගු ප්‍රවේශ පත්‍රයක් රැගෙන යා යුතු වේ. සංචාරක ආරක්ෂක හේතු මෙන්ම මෙම කොටසේ නිල වශයෙන් සංචාරක මාර්ග යුගළයක් පවතින අතර ඒවා දෙස් විදෙස් සංචාරකයින්ට ඇතුළු විය හැකිය.

මෙහි පවතින ප්‍රධානතම සංචරණ මාර්ග යුගලය වනුයේ ඩීන්ස්ටන් පුංචි ලෝකාන්තය මාර්ගය සහ දෝතළුගල ස්වභාවික සංචරණ මාර්ගයයි. මෙම මාර්ග යුගලයම එක් දිනක් තුළ ගමන් කර සිරි දැකිය හැකි අතර ඒ සඳහා එක් වලංගු ප්‍රවේශ පත්‍රයක් පමණක් සෑහේ. අප ප්‍රථමයෙන් ළඟා වූයේ ඩීන්ස්ටන් කුඩා ලෝකාන්තය නැරඹීමටය. එය කි.මී. 2 ක පමණ සම්මත සංචරණ මාර්ගයකින් හෙබි වෘත්තාකාර මාර්ගයකි. ඩීන්ස්ටන් කුඩා ලෝකාන්තය යනු නකල්ස් රක්ෂිතයේ පිහිටි ප්‍රධානතම නැරඹුම් ස්ථානයකි. මෙය මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි වැඩිම සංචාරක ආකර්ෂණයක් සහිත දුම්බර වනපෙතේ ස්ථානයක් වන අතර අනෙක් පසින් මාතලේ දිස්ත්‍රික්කය තුළ ද මෙවැනිම කුඩා ලෝකාන්තයක් පිහිටුවා ඇත. එය පිටවල පතන කුඩා ලෝකාන්තය වන අතර එය පිටවල පතන මතින් වැටී තිබෙන එම මාර්ගයේ ඇති ප්‍රසිද්ධම සංචාරක ඉසව්ව වේ. ඩීන්ස්ටන් කුඩා ලෝකාන්තය පිහිටා ඇත්තේ විශාල පයිනස් කැලයක් තුළය.

එය පිහිටුවා ඇත්තේ කඳු මුඳුනේ කෙළවරකයි. ඩීන්ස්ටන් කාර්යාලයේ සිට කි.මී. දෙකක් පමණ වළලාකාර මඟ ඔස්සේ ගමන් කළ පසු ප්‍රධාන නැරඹුම් ස්ථානය පවතින අතර එය පිහිටි ස්ථානය මතින් කඳු වැටිය නිමාවට පත් වේ. ඉන්පසු ඇත්තේ අති විශාල ප්‍රපාතයක් වන අතර ඉන් පහළ පිහිටියේ දෙහිගොල්ල, කළුගල, ගැරඬිගල හා තලගුණේ ආදී දුම්බර සම්ප්‍රදායික ගම්මාන වේ.

ඩීන්ස්ටන් වෙත අපි ළඟා වූ පසු අපි දුටුවේ අංශක තුන්සියයකට ආසන්න වූ හිස් අවකාශ පරිශ්‍රයකි. ඒ මත දී අප කෝබෝනීලගල, දුම්බානා ගල, අලුගල් කන්ද, නකල්ස් කඳුවැටිය, ගැරැඬිගල, කෙහෙල්පොත්දෝරුවේගල, යහන්ගල, තෙලඹුගල ආදී කඳු සේම අනෙක් පසින් රජගල නාවනගල, හැටකටුවේගල, බැලුන්ගල, කොස්ගොල්ල කඳුවැටිය, අලියා කොටගල, රන්දෙණිගල කඳු වැටිය සහ දහඅට වංගුව ආදී කඳු වැටී මෙහි දක්නට ලැබේ. එසේම පීත්ත පටියක් විලසට අපට මහියංගණය හරහා දෙහිඅත්තකණ්ඩිය දෙසට ගමන් කරන මහවැලි ගංගාව දක්නට ලැබුණි. එය පීත්ත පිටියක් ලෙස හරි අපූරුවට නැගෙනහිර දෙසින් අපට දැක ගත හැකි වූයේ සොරාබොර වැව ද සමගිනි.

පහළින් අපට ඇල්ල ගල ඇල්ල සහ බල්ලහිර කන්ද දැක ගත හැකි වූ අතර ලියැදි කපා සරු සාර වූ ගොයම ද දක්නට ලැබුණි. මීදුම් කෝඩයක් නකල්ස් කඳු ශිඛර කරා ඇදෙන්නට වූයෙන් අපගේ ගමන නිමා කළ වෘත්තාකාර මාර්ගයේ අනෙක් පසින් අපි වන සංරක්ෂණ කාර්යාලය දෙසට ගමන් කළෙමු. මෙම සංචාරක මාර්ගය ඉතාමත්ව අලංකාර ලෙස පරිසරයේ අලංකාරයට හානි නොවන ලෙසින් තනා ඇති අතර මඩ වගුරු දිය කඩිති සේම ස්වභාවික මං හෝ හා දැන්වීම් පුවරු මගින් ​සොබා දහම විඳින්නට ඇවැසි දැනුම ලබා දෙන තෝතැන්නකි. හෝරාවකින් පමණ වන කාර්යාලය වෙත ළඟා වූ අපි මීළඟට සූදානම් වූයේ දෝතළුගල කන්ද වටා පිහිටි සංචරණ මාර්ගයේ ගමන් කිරීමටය. ඒ සඳහා අපි විවර කිහිපයක් මුල්වත්ත දෙසට ගමන් කරන විට මාර්ගයේ වම් පසින් පිහිටි සංචාරක ජීප් රථවලට යා හැකි ගේට්ටුවකින් වසා ඇති මාර්ගයකට ඇතුළු වුණෙමු.දෝතළුගල වනාහි නකල්ස් වනයෙහි ඇති සුවිශේෂී සංචරණ මාර්ගයකි.

මෙය පාරිසරික නැරඹුම් ඉසව්වක් වන අතර මෙම මාර්ගය තනා ඇත්තේ කඳු වැටියේ පිහිටි සුවිශේෂී ශාක හා​ ජෛව විවිධත්වය අධ්‍යයනය කරන්නට හා පරිසරය රස විඳින්නන් වෙනුවෙන්මය. ප්‍රධාන මාර්ගයේ පිවිසුමේ සිට කි.මී. 4ක් පමණ අවසර සහිතව සංචාරක ජීප් රියක හෝ ඇවිද යා හැකිය. මෙම සමස්ත මාර්ගයම ස්වභාවික වන පියස තුළට නිම වූවක් හෙයින් මඟ දිගට කූඩලි ප්‍රහාර, දිය කඩිති ලිස්සන සුළු ස්ථාන දැක ගත හැකිය. වංගු ගැසී වන රොදට ගමන් කරන මෙම මාර්ගය එක්තරා ස්ථානයකින් අවසන් වේ. එනම් දෝතළුගල කඳවුරු භූමිය හා බංගලාව පිහිටි ස්ථානයකින් අවසන්වේ. එනම් දෝතළුගල කඳවුරු භූමිය හා බංගලාව පිහිටි ස්ථානයයි නකල්ස් හි අවසර සහිතව කඳවුරු බැඳ සිටිය හැකි එකම ස්ථානය වනුයේ මෙම ​දෝතලුගල වෙන් කරන ලද කඳවුරු භුමිය වන අතර ඒ සඳහා බත්තරමුල්ලේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නිල අවසර ලබා ගත යුතුය.

මේ වන විට මෙම කඳවුරු භූමිය එතරම්ම ක්‍රියාකරී මට්ටමේ නොපවතින අතර කුඩාරම් අටවා කණ්ඩායම් දෙකකට සිටිය හැකි ලෙස කොන්ක්‍රීට් කරන ලද නිශ්චිත බිම් කඩක් ඉතා සුන්දර නැරඹුම් ඉසව්වක තනවා ඇත. ඊට අමතරව මීට නුදුරින් ගොඩනැගිල්ලක් පවතින අතර එය ද සංචාරකයින් හට වෙන් කරවා ගෙන රැය පහන් කළ හැකිය. එම ගොඩනැගිල්ල පවා මුළුමනින්ම කුඩා වැල් වර්ගයකින් වැසී පවතින අතර අපි යන විටත් එය බොහෝ කලකින් විවෘත නොකරන ලද්දක් බව දුටුවෙමු. මෙම ස්ථානයේම කුඩා දිය ඇල්ලක් පවතින අත් පානීය හා ස්නානය සඳහා ජල අවශ්‍යතාවය ඔබට එමගින් සපුරා ගත හැකිය.මෙම කඳවුරු භූමියට වනතුරු සංචාරක ජීප් රථයකට යා හැකි මට්ටමේ කඳු මාර්ගය මෙතැනින් නිමා වේ. නමුත් මෙතැන් සිට දෝතලුගල පාරිසරික සංවරණ මාර්ගය පටන් ගත්තේ අඩි මාර්ගයක් ලෙසිනි.

එය ද ඩීන්ස්ටන් මෙන් වලයාකාර මාර්ගයක් වන අතර දෙපසින් කෙ​සේ ගමන් කළත් මාර්ගය අවසානය පටන් ගත් ස්ථානයකට ළඟා වන හෙයින් අපහසුවක් නොමැත. වැසි දින වල දී මෙහි ගමන් කිරීම බොහෝ වෙහෙස කර හා දුෂ්කර වන්නේ තෙත බරිත වන පියස කූඩැල්ලන් තම ග්‍රහණයට නතු කර ගෙන ඇති හෙයිනි.කෙසේ හෝ අප දකුණු පසින් ගමන් ගන්නා මාර්ගයට පිවිස ගමන ඉදිරියට සම්බන්ධ වූයේ දෝතලුගල කඳු වැටියේ අසිරිය දැකීමටයි. අතීතියේ පවා මෙම ඉසව්ව එනසාල් වලින් තොරව තිබුණ ද මීට එහායින් ලූල්වත්ත ප්‍රදේශයට වන්නට බොහෝ ලෙස එනසාල් වගාව පැවතුණි. කෙසේ හෝ අපි ක්‍රම ක්‍රමයෙන් මාර්ගය දිගේ ඉදිරියට ගමන් කරන්නට වූයේ අවට පරිසරය විඳිමිනි.දෝතළුගල කන්ද මීටර් 1500 කට වඩා උස වන අතර සම්මත සංචරණ මාර්ගය කඳු මුදුනට මඳක් පහළින් වන පියස හරහා දිවයයි.. ස්වභාවික මංපෙත බොහෝවිට ගස් අතු පඳුරු ආදියෙන් වැහෙන නමුත් මඟ සොයා ගැනීම අපහසු නොවෙයි.

අප කි.මී. 2ක් පමණ ගියපසු කන්දේ උස් ස්ථානයකට ළඟා වූ බව දැනගත් පසුව නැවත ඉදිරියට ගොස් බසින්නට විය. මෙම වන පෙත තුළ බොහෝ ශාක වර්ග මල් වර්ග කෘමීන් සහ සියොතුන් ද දැක ගත හැකිය. පාරිසරික චමත්කාරය නැරඹීම සහ අධ්‍යයනය කිරීම වෙනුවෙන්ම නිර්මාණය වූ මෙම මං පෙත නකල්ස් හි හදවත බඳුය.මෙම ප්‍රදේශය තුළ අතීතියේ පවා එතරම් එනසාල් වගාව නොතිබුණ ද මිට මඳක් නුදුරින් පිහිටි ලූල්වත්ත සහ දෙහිගොල්ල ග්‍රාමයන්හි එනසාල් වගාව බහුලව පැවත ඇත.

අදටත් ඇතැම් වැසියන් තම අත්දැකීම් බෙදා ගන්නේ බොහෝ දුක්බරව. මන්ද එනසාල් වගාව ඔවුන්ට සරු ආදායම් මාර්ගයක් වූ හෙයිනි. අතහැර දැමූ එනසාල් වාඩියක නටබුන් අප ලූල්වත්ත ප්‍රදේශයේ වනය තුළ දැක ගත් අතර ගණ කැලය මැදින් යායුතුව තිබූ එම ස්ථානය තරමක් දුෂ්කර විය. ගෝනා සහ මීමින්නා වගේම වල් පඳුරත් එම ඉසව්වල ගැවසුණු වගට සාක්ෂි අප දුටු අතර එම නිසාම අප විගසින් අපගේ කාර්යය නිම කර නැවත පැමිණියෙමු.සංචාරයකට සුදුසු නකල්ස් වන පෙත යනු ලෝක උරුමයයි. දෙස් විදෙස් සංචාරකයින්ට වගේම පරිසරවේදීන්ට කදිම ඉසව්වක් වන මෙම රක්ෂිතය රැක ගැනීම අපගේ යුතුකමකි. මෙම පරිසරය තුළ පවතින ප්‍රබල ජෛව විවිධත්වය සහ ශාක ඝනත්වය හේතුවෙන් මෙම රක්ෂිතය වර්තමානය වන විට දැඩි ආරක්ෂිත රක්ෂිතයක් ලෙස නම් කර ඇත. එනසාල් වගාව හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ අනාරක්ෂිත බවට විසඳුම් ලබා දී නකල්ස් ප්‍රේරණ කලාපය තුළ ගම්වැසියන් පදිංචි කර ඇත.

කෙසේ හෝ එක් දිනක් සාර්ථක ගමනකින් පසු අපට නකල්ස් රක්ෂිතයේ සම්මත සංවරණ මාර්ග යුගලයක් වන ඩීන්ස්ටන් පුංචි ලෝකාන්තයත් දෝතලුගල ස්වාභාවික සංචරණ මාර්ගයක් ආවරණය කළෙමු. නවංගල කඳු මුදුන සේම රජගල කන්දන් තවත් පසෙකින් පිහිටි මහා ප්‍රපාතයක් දුම්බර මිටියාවතට එක් කරන අපූර්වත්වය අතිශය සුන්දරය. දුහුල් වලාකුළු මීදුම් රොද සමගින් එහෙ මෙහෙ ගමන් කරමින් දුම්බානාගල සහ අලියා වැටුණු ඇළ ආදී කඳු ශිඛර ආවරණය කරමින් දවසේ විරාමය අපට පනවන ලදී. එහෙයින් නැවත වරක් දුම්බර මිටියාවතට පිවිස පංච මහා කඳු වැටිය වන නකල්ස් හි අරුත කැන්දන නකල්ස් කඳු වැටිය සොයා පිය නගන්නට අපි සිතුවෙමු.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දෝතළුගල කන්දේ අප්‍රකට කතාව (The Obscure Story Of Dotalugala Mountain) දෝතළුගල කන්දේ අප්‍රකට කතාව (The Obscure Story Of Dotalugala Mountain) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, August 08, 2020 Rating:

0 comments:

Post a Comment