මීපේ දුරකථන කෞතුකාගාරය (Meepe Telephone Museum)

දැකගන්නට තිබේදැයි සැක සහිතය. මෙම කෞතුකාගාරය ශීර්ෂ හතක් යටතේ තම ප්‍රදර්ශන භාණ්ඩ පෙළගස්වා ඇත්තේ ඒ එකින් එක යටින් ත්‍රෛ භාෂිකව හැඳින්වීමක් ද සමඟය. මෝස් සංඥා, ක්‍රියාකරු සහායක සහ ස්වයංක්‍රීය හුවමාරු ඒකක, විවිධ රැහැන් වර්ග සහ අලුත්වැඩියා උපකරණ, දුරකථන විකාශනය, චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ භාවිතා වූ උපකරණ, ජංගම දුරකතන විකාශනය සහ නවීන තාක්ෂණික උපකරණ භාවිතය තුළින් ස්මාට් ෆෝන් සංකල්පය ලෙස මෙහි ප්‍රදර්ශිත භාණ්ඩ පෙළගස්වා ඇත්තේ අනුපිළිවෙළටය.ශ්‍රී ලංකාවේ ජාතික විදුලි සංදේශ ඉතිහාසය චිරාත් කාලයක් පැවතියේ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශය නිසා එහි ඉතිහාසය ගැන ද සඳහන් නොකළහොත් මෙම කෞතුකාගාරයේ ඉතිහාසය හදාරන්නන්ට එය මහත් අඩුපාඩුවක් වෙන නිසා එම ඉතිහාසය ද මෙසේ සඳහන් කළ යුතුමය.

විද්‍යුත් සන්නිවේදන ක්‍රම භාවිතයට පෙර දුරාතීතයේ සිටම විවිධාකාර වූ ග්‍රාමීය උපක්‍රම භාවිතයෙන් සන්නිවේදන කටයුතු සිදුවූ බව ඉතිහාසය සාක්ෂි දරයි.පසුකාලීනව තැපැල් හා විදුලි සංදේශ සන්නිවේදන ආදී මොන ආකාරයේ ලේබල් අලවා ගත්තත් මුල් කාලීන ලේඛනවල මේ කටයුත්ත විස්තර කෙරෙන්නේ පණිවුඩ හුවමාරුව ලෙසය. අද අපේ සමහරුන්ගේ ජාතීක ගීය බවට පත්ව ඇති ‘හූ’වෙන් අපේ මුතුන් මිත්තෝ ඇරඹූ මේ සේවය පසුකාලීනව අක්ෂර සොයා ගැනීමත් සමඟම නව මානයකට පිවිසෙන්නට විය. අහසට ගිනි ගොඩවල්වලින් දුම් ගැසීමෙන් සහ විවිධ සංඥා සහ සංකේත, ශබ්ද භාවිතය අක්ෂර සොයා ගැනීමත් සමගම ඉතිහාසයට එක්විය. අක්ෂර සොයා ගැනීමත් සමගම කරළියට ආවේ ‘හසුනයි’. පක්ෂීන්, ඊතල ආදියෙහි ගැටගසා යැවූ හසුන ඇති හැක්කන් අසුපිටින් යන දූතයන් පිට යැව්වේ අසුරු සැණිනි. මේ කොයි හැටි වෙතත් පයින්ඩකරුවන් සහ දූතයන් හරහා හසුන් යැවීමේ ක්‍රමවේදය ජනප්‍රියම වූවායි සිතිය හැකිය. හසුන් එහා මෙහා ගෙන යන දූතයන්ගේ ඉතිහාසය සිංහල රජකාලය තෙක් දිවයන්නකි. ලන්දේසි යුගයේදී ද ‘රාජකීය හසුන්කරු’ රජයේ දීමනා ලාභියකු වූ අතර රජයේ ඉඩම්වල ඵලදාව ‘බදු රහිතව’ බුක්ති විඳීමට වරප්‍රසාදයක් ඔවුන් සතු විය. ඉංග්‍රීසින්ගේ ආගමනයෙන් පසුව ද මේ සේවාවේ යම් කිවයුතු වෙනසක් සිදුවූයේ නැත. 

මේ තැපැල් සේවාව රජයෙන් පඩි ගෙවන ‘තැපැල් පියුන් මහතා’ගේ සේවයක් බවට පත්කරන ලද්දේ 1802 දී බව රාජ්‍ය ලේඛනාගාරයේ නුවරඑළියේ හේමපාල මහතා විසින් ඊට අවුරුදු 180කට පසු සටහනක් තබා ඇත.දිනපතා ‘මේල්’ සේවයක් වූ මෙය ලංකාවේ ප්‍රථම පෝස්ට් මාස්ටර් ජනරාල් වූ ඇන්තනී බර්තලොච්චි යටතේ අරඹන ලද්දකි. ඔහු ලන්දේසි ජාතිකයකු විය. ගාස්තු අයකිරීමට පාදකකොට ගෙන ඇත්තේ දුර ප්‍රමාණයන්ය. පෝස්ට් ඔපීසි දෙකක් අතර දුරට පයිසා දෙකක් අය කළ බැව් ලන්දේසි මුද්‍රණාලයක ලී අකුරු සැට් අමුණා මුද්‍රණය කළ පත්‍රිකාවක් ‘කොළම්බු ජර්නල්’ පත්‍රයේ පළකොට ඇත. ඉංග්‍රීසින්ගේ මේ ‘පයින් මේල්’ ක්‍රමයට මුල් ‘සිලෝන්’ එකේම මේල්කරුවන් සිට ඇත්තේ 200ක් පමණකි. ඔවුන්ගේ ආරක්ෂාවට පන්දමක් සහ ගල්තුවක්කුවක් ද දුන් බැව් කියවේ.‘මේල් සේවිස්’ එක උදය සිට ඇඳිරි වැටෙනතුරු එක් මේල්කරුවකු ගෙන ගොස් ඇති අතර අඳුර වැටුණු පසු දෙදෙනා මගින් එක මඟ යායුතු විය. කොටි, වලසුන්, විෂඝෝර සර්පයින්ගෙන් පිරුනු අඩවි පසුකරමින් දුෂ්කර ගමනක යෙදුනු මොවුන් අපේ තැපැල් සේවයේ ආදීතමයින් ය.මෙසේ යන මේල්කරුවන් ඇතැම් විට අතුරුදන් වන අවස්ථාවේදී දරු පවුල්කාරයින්ට වන්දි ලැබෙන අතර වරක් මිනීමරු කොටියකු මරා බඩ විවර කර බලත්දී මේල්කරුවකුගේ මැඩල් එක හමුවී ඇත.

මේල් සේවිස් වඩාත් ජනප්‍රිය වී ඇත්තේ නුවර දක්වා වූ අශ්ව කෝච්චි සේවයයි. මේ සේවයේ තැපැල් මලු හැර පහළොස් දෙනකුට ‘පික්නික්’ එකක් යාමට ද හැකියි. අපේ තැපෑල ඉන්පසු 1865 තැපැල් කෝච්චි සේවය ද 1900 දී මුහුදු තැපැල් සේවය ද 1938 වනවිට එයාර් මේල් සේවයට ද පරිවර්තනය වූ අතර 1837 දී ලොව පුරා විදුලි සංඥා සේවයේ දැවැන්ත පරිවර්තනයක් සිදුවෙමින් පැවතුනි. ටෙලිග්‍රෑම් නොහොත් විදුලි පණිවුඩ සේවාව ආරම්භ වූයේ 1837 දීය. විදුලි බලය ආධාරයෙන් එක් සංඥාවක් තවත් ස්ථානයක් වෙත සම්ප්‍රේෂණය කිරීම මෙහි කාරියයි. මේ ක්‍රමය ලංකාවට අධිරාජවාදීන් විසින් සකළ සිරින් පිරි ‘සිලෝන්’ එකට වඩම්මාගෙන එනු ලබන්නේ ඊට වසර විසි එකකට පසු 1858 දීය. 1832 දී ආසියාවේ ප්‍රථම මේල් රථයක් හඳුන්වා දුන් රට ලෙස ඉතිහාසගත වූ අප ටෙලිග්‍රෑම් සේවයෙන් ද ලොව ආධිනකයින් පරයා මුලින්ම නැගී සිටි ජාතිය විය.බ්‍රිතාන්‍ය පාලකයින් 1857 වර්ෂයේදී සිලෝන් ටෙලිග්‍රාෆ් දෙපාර්තමේන්තුව පිහිටුවන ලද අතර මුල් කාලයේ මෙය පාලනය වී ඇත්තේ ඉන්දියාවේ තැපැල් හා ටෙලිග්‍රාෆ් දෙපාර්තමේන්තුව යටතේය. 

ටෙලිග්‍රාෆ් දෙපාර්තමේන්තුවේ මුල්ම කටයුත්ත වී ඇත්තේ පළමු විද්‍යුත් ටෙලිග්‍රාෆ් සන්නිවේදන මාර්ගය කොළඹ හා ගාල්ල අතර ඇරඹීමයි. එය සැතපුම් 74 කි. අමතක නොකළ යුත්තක් නම් මුලින්ම ආරම්භ වී ඇති කොළඹ – ගාලු විදුලි පණිවුඩ සේවාව සඳහා රැහැන් ඇදීමට යොදා ගත්තේ නොහොත් අද භාෂාවෙන් ‘යූස්’ කොට ගෙන ඇත්තේ පොල් ගස්ය. එකල වෙරළ ආශ්‍රිතව කෙතරම් උසට වැඩුණු පොල් ගස් ජාලයක් තිබී ඇත්දැයි මෙයින් වටහාගත හැකිය.තිස්හැට වසරක්ම ටෙලිග්‍රෑම් සොයාගෙන ගත වුවත් සන්නිවේදනයේ කටයුතු තරම් තවත් පෙරළියක් සිදුවූයේ නැත. නමුත් මේ වනවිට විසිනව හැවිරිදි ස්කොට්ලන්ත ජාතික තරුණයකු සන්නිවේදනයේ මහා විප්ලවයකට මුල පුරන්නට විය.මේ විසිනව හැවිරිදි ග්‍රෙහැම් බෙල් නම් ස්කොට් ජාතික මහාචාර්යවරයා ‘ටැලිෆෝන්’ එක සොයාගත් දිනය ඉතිහාසයේ සඳහන් වන්නේ 1876 මාර්තු මස 10 වැනි දිනය. යාර දොළහක කම්බි පටක කොන අසාගෙන සිටි වොට්සන් මිතුරාට ග්‍රෙහැම් බෙල් මෙසේ කියන්නට විය. 

“Mr. Wotson Come here, I Want You.” මේ වදන් පෙළ මේ ධරනිතලයේ විදුලි සංදේශ ක්‍රමය මහා පෙරළියක් වෙත ඇදගෙන යන ගමනක ආරම්භය විය. ග්‍රෙහැම් බෙල් මුලින්ම කතා කරල තිබෙන්නේ වචන හතයි. රීලෝඩ් ඉවර වෙලාවත් දැයි ජංගම දුරකතනයෙන් චැට් කරන ගමන් වත්මන් කොලුගැටයකුට ‘කුකුසක්ද’ ඇතිවිය හැක. ජංගම දුරකතන, රීලෝඩ් තබා ඒවා සොයාගත් පුද්ගලයින් මේ වනවිට ඉපදී තිබුණේවත් නැත. ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල්ට මේ වනවිට ලංකාව සමඟ ඥාති සම්බන්ධතාවයක් ද විය. ස්කොට්ලන්තයේ රොබට්සන් පරම්පරාව මේ වනවිටත් ලංකාවට පැමිණ සිටි අතර පසුකලෙක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වූ ඇලෙක් රොබට්සන් එම පරම්පරාවේ ඇත්තෙකි.

1876 දී දුරකතනය සොයාගෙන සිව් වසරක් යාමට මත්තෙන් ලංකාවේ ටෙලිග්‍රාෆ් සේවයේ මහා පෙරළියක් සිදුවෙමින් පැවතුණි.ඒ අන් කිසිවක් නොව එතෙක් ඉන්දියානු ටෙලිග්‍රාෆ් දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙමින් පැවැති සිලෝන් ටෙලිග්‍රාෆ් දෙපාර්තමේන්තුව 1880 වසරේදී පෝස්ට්මාස්ටර් ජෙනරාල් සහ ටෙලිග්‍රාෆ් අධ්‍යක්ෂවරයකු යටතේ තැපැල් හා ටෙලිග්‍රාෆ් දෙපාර්තමේන්තුව නමින් ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද අතර එහි පළමු පෝස්ට්මාස්ටර් ජනරාල්වරයා වූයේ බ්‍රිතාන්‍ය ජාතික ටී.ඊ.බී. ස්කිනර් මහතාය. අද පවා දැකිය හැකි කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ එම කාර්යාලය පිහිටුවා තිබුණි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පූර්වගාමියා වූයේ ද මෙම දෙපාර්තමේන්තුවයි.ඔරියන්ටල් ටෙලිෆෝන් කම්පනි සමාගම ලෝක පූජිත නව නිමැවුම්කරුවන් දෙපළක් වූ තෝමස් අල්වා එඩිසන් හා ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් සමඟ එළැඹුණු ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම දුරකථන මාර්ග ස්ථාපනය කිරීම 1880 ගණන් මුල් භාගයේදීම ඇරඹුණු අතර 1896 වනවිට සැතපුම් 150ක පමණ දිගින් යුතු දුරකතන මාර්ග පද්ධතියක් හරහා පාරිභෝගිකයන් 56 දෙනකු එහි සේවා ලබාගෙන තිබිණි. 

දුරකතන සන්නිවේදනය වෙනුවෙන් උද්ගත වෙමින් පැවැති මෙම නව උද්දීපනය හමුවේ වඩා වැඩි පිරිසක් වෙත සන්නිවේදන අවස්ථා තිළිණ කිරීම සඳහා එතෙක් පැවැති සන්නිවේදන ජාලය සම්පූර්ණයෙන්ම පවරා ගත යුතු බව ලංකා ආණ්ඩුවට හැඟී ගියේය. ඒ අනුව 1896 වසරේදී රුපියල් 42,666ක මුදලකට ලංකා ආණ්ඩුව විසින් ඔරියන්ටල් ටෙලිෆෝන් සමාගමේ දුරකතන ජාලය මිලදී ගනු ලැබූ අතර ඉන් අනතුරුව එය තැපැල් හා ටෙලිග්‍රාෆ් දෙපාර්තමේන්තුවෙහි දුරකතන ජාලය ලෙස භාවිත කිරීම ඇරඹිණ. දහනව වැනි සියවසේ අග භාගය වෙත්ම සිදුවූ මෙවැනි ව්‍යාපෘතීන් හමුවේ තවදුරටත් කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිල්ලෙහි ඉඩකඩ ප්‍රමාණවත් නොවන බව හැඟී ගියෙන් නව ගොඩනැගිල්ලක අවශ්‍යතාව නැගී එන්නේ මේ අතරය.මෙම ඉතිහාසගත සිද්ධි මාලාවම වෙනත් අයුරකින් ලේඛනගත වී ඇති ආකාරය ද අපට සොයා ගත හැකි විය. මේ ඒ සටහනයි. 

1981 අගෝස්තු 15 වැනි දින විදුලි සංදේශ අධ්‍යක්ෂ ලෙස වැඩ භාරගත් ඒ ෂන්බුගරාජා යුනෙගේ ප්‍රධාන කාර්යයක් වූයේ ශ්‍රී ජයවර්ධනපුර නව පාර්ලිමේන්තුවට ටැලිෆෝන් පහසුකම් සැලසීමයි. මේ ඓතිහාසික සිද්ධිය අවස්ථාවේ එක් ජාතික පුවත්පතක පළවූ දැන්වීම් අතිරේකයක 1966 දී එවකට රාජ්‍ය අමාත්‍ය ජේ.ආර්. විජයවර්ධන මහතා විසින් කොළඹ ගල්කිස්ස අතර බාහිර ඇමතීම් ග්‍රාහකයින් විසින්ම ගන්නා ලද ‘ඩිරෙක් ඩයලින්’ ක්‍රමය විවෘත කිරීමේදී කරන ලද කතාවක කොටසක් උපුටා දක්වා ඇත. එහි සඳහන් පරිදි ලංකාවේ පළමු දුරකතන සමාගම Oriental Telephone Company වේ.එය හුදු මහජනතාවගේ සේවාව පිණිස ඇරඹූවක් නොව තම ආයතනික ප්‍රායෝජනය සඳහා යොදාගත් ටැලිෆෝන් සේවාවක් විය. මීට වසර එකසිය දාහතකට පෙර එනම් 1896 ජනවාරි 1 වැනි දින ඔරියන්ටල් කොම්පැණිය අවුරුද්දේ පළමු දිනම කළ සත්කාර්ය වූයේ ටැලිෆෝන් මැෂින් 57ක් තිබූ තම ටෙලිෆෝන් සේවාව එවකට යටත් විජිත ආණ්ඩුවට භාරදුන් බව එම දැන්වීම් අතිරේකයේ සඳහන්ය. 

එම අතිරේකයේ සඳහන් පරිදි අද ලංකාදීප කාර්යාලයට ‘හූ’ හඬක දුරින් ඇති බෞද්ධ කාන්තා විද්‍යාලය​ දෙවැනි ලෝක යුද සමයේදී ඈත පෙරදිග සන්නිවේදන (අණදෙන) මධ්‍යස්ථානයයි. එම භූමිය භාවිත කොට ඇත්තේ පරමාණු බෝම්බ හෙළීමට පෙර ‘යටත් වෙනු’ යන පණිවුඩය දිනපතා විකාශනය කිරීම සඳහායි. මේ වකවානුවේදී අන්තර්ජාතික දුරකතන සමාගමක් ලංකාවේ තිබූ බව ඇසුවොත් ඔබ මවිතයට පත්වනු ඇත. කේබල් ඇන්ඩ් වයර්ලස් කොම්පැණි නම් වූ එම සමාගම බ්‍රිතාන්‍ය කොම්පැනියක් විය. පසුකලෙක එය ලංකාණ්ඩුව මිලදී ගෙන තිබුණේ රුපියල් ලක්ෂ 26කට බව ලේඛනවල දැක්වේ.

ඉන්පසු 1911 දී මධ්‍යම විදුලි පණිවුඩ කාර්යාලය විවෘත කොට ඇති අතර 1939 වනවිට මෙම සීටීඕ එකේ ටැලිෆෝන් 3500ක් දක්වා වර්ධනය වී ඇති අතර හැව්ලොක් ටවුන් හා මරදාන ඒකාබද්ධව ටැලිෆෝන් 797ක් භාවිත වූ බව ලේඛනවල සඳහන් වේ. විදේශීය ටැලි​ෙෆා්න් සේවය 1935 දී අරඹා ඇතත් එය කෙළින්ම ඇමතීමේ ක්‍රමයක් නොවේ. ඊට වසර 45කට පසු 1980 ජූලි මාසයේදී 56’ බණ්ඩාරනායක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමක් ලෙස 1958 ජනවාරි පළවැනිදාම ‘ආයිබෝං’ කියා සිංහලයෙන් වැඩ ඇරඹූ ටැලිග්‍රෑම් සේවිස් එක එම වසරේම මාර්තුවේදී දෙමළෙන් තොලෙයිත් තොඩර්පු ‘වනක්කම්’ කියා අරඹා ඇත (Thanthy Sevay). අද මොබයිල් එස්.එම්.එස් නිව්ස් ඔවලෝඩ් වී ඔක්කාරෙට ගොස් ඇති මේ අබුද්දස්ස කාලෙ මෙසේ වුවද 1958 වනතුරුත් පත්තර කන්තෝරුවල ඇත්තන්ට නම් ටෙලිග්‍රෑම් සේවය ඉංග්‍රීසි පත්‍ර කලාවේදීන්ට ගතු කියූ පරදේශක්කාර සේවයක් විය. නමුත් 1958.07.15 දින ලංකාවේ සිංහල පත්‍ර කලා ඉතිහාසයේ ඓතිහාසික දිනයක් ලෙස සිංහලෙන් ප්‍රවෘත්ති පණිවුඩ සේවාව අරඹා ඇත. 

ලොරන්ස් පෙරේරා නම් වූ ලේඛකයා මේ වනවිට සිංහල ටෙලි ප්‍රින්ටරයක් ද නිපදවීමට උත්සාහ ගෙන තිබූ බව රාජ්‍ය භාෂා කොමිසමට වාර්තා වී තිබී ඇත.1961 දී කොළඹ භාවිත මුළු ටැලිෆෝන් ගණන 11,821ක් බවත් මුළු ලංකාවේ භාවිත වී ඇත්තේ ටැලිෆෝන් සැට් 22,636ක් බව සමීක්ෂණ වාර්තාවක සඳහන් වේ. ජාත්‍යන්තර ටෙලෙක්ස් පණිවුඩ සේවාව අරඹා ඇත්තේ 1963 වන අතර විදේශ විදුලි සංදේශ සේවාවේ නව ඉලක්කයන් කරා හඹායාමක් ලෙස එය සැලකිය හැකිය.1975 වන විටත් ජාත්‍යන්තර දුරකතන ඇමතුමක් ලබා ගැනීම දින කිහිපයක් පුරාවට සිදුකළ යුතු අසීරු කටයුත්තක් විය. එවැනි අසීරු තත්ත්ව මධ්‍යයේ වුවද ලබා ගන්නා ඇමැතුම්වල හඬ තත්ත්වය ඉතාම පහළ මට්ටමක පැවතුණු අතරම ඇතැම් අවස්ථාවල එකවරම ඇමතුම්වලට බාධාවීම් ඉවසා සිටින්නට ද ශ්‍රී ලාංකිකයන් හට සිදුවිය. මෙම තත්ත්වයෙහි තීරණාත්මක වෙනස් ඇති කිරීමට තුඩු දුන් වැදගත්ම තීරණවලින් එකක් වශයෙන් 1976 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකා සන්නිවේදන මධ්‍යස්ථානය පාදුක්ක ප්‍රදේශයෙහි පිහිටුවීම ඓතිහාසික සිදුවීමක් ලෙස ඉතිහාසයට එක්වී හමාරය.

ශ්‍රී ලංකාවේ ජාතික විදුලි සංදේශන කෞතුකාගාරය පිහිටා තිබෙන පාදුක්ක චන්ද්‍රිකා සන්නිවේදන පෘථිවි මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට හිමිවීම පසුපස ද ඇත්තේ අපූරු කතාවකි. මෙම චන්ද්‍රිකා මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට බලපෑ වැදගත්ම හේතුව වූයේ පස්වැනි නොබැඳි ජාතීන්ගේ සමුළුව 1976 දී පැවැත්වීම සඳහා සත්කාරක රට ලෙස අප රට තෝරා ගැනීමයි. රටවල් අසූ හයක් නියෝජනය කරමින් මීට සහභාගි වූ රාජ්‍ය නායකයන්ට අදාළ ආරක්ෂක හා අනෙකුත් තොරතුරු සන්නිවේදනය කර ගැනීමේ අවශ්‍යතාවට පිළියම් සෙවීමෙහි අවසන් ඵලය වූයේ භූ ස්ථායීතා කක්ෂයේ අංශක 60ක පිහිටීමක ස්ථානගත කර තිබූ චන්ද්‍රිකාවකට සම්බන්ධ කරන ලද පාදුක්ක චන්ද්‍රිකා සන්නිවේදන පෘථිවි මධ්‍යස්ථානයට උරුමකම් කීමේ භාග්‍යය ශ්‍රී ලංකාවට ලැබීමයි. මෙහි සිට බ්‍රිතාන්‍ය, මැලේසියාව, සිංගප්පූරුව, හොංකොං, ජපානය, චීනය සහ ඕස්ට්‍රේලියාව යන ආසියානු කලාපීය රටවල් සමඟ ඍජු රේඩියෝ සන්නිවේදන සබඳතා පැවැත්වීමට හැකිවීම මෙරට සන්නිවේදන ගමන් මගෙහි නෙමැකෙන පියසටහනක් තබමින් ලංකාව ලෝකය වෙත දොරගුලු විවර කළ මොහොත එයයි.ලංකාවේ ප්‍රථම පෝස්ට් මාස්ටර් ජනරාල්වරයා වූ ලන්දේසි ජාතික ඇන්තනී බර්තොලම්ස් ද දැන් කටුගෙයි සිහිවටන අතරය. 1980 අගෝස්තු 15 වැනි දින ද එවැනිම ඓතිහාසික දිනයක් විය. 

මෙතෙක් කල් තැපැල් හා විදුලි සංදේශ එකට පූට්ටුව පැවැති අමාත්‍යාංශ දෙක වෙන් කෙරෙන්නේ මේ ඓතිහාසික දිනයේදීය. මේ දෙකේම ලොක්කා එහෙත් හැඳින්වූයේ පෝස්ට් මාස්ටර් ජනරාල් සහ විදුලි සංදේශ අධ්‍යක්ෂ ලෙසය. ටෙලිග්‍රෑම් සේවයේ මෙන්ම මේ තනතුර දැරූ අවසන් පුද්ගලයා වන ඒ.පී. හපුදෙනිය මහතාගේ නාමය ද දැන් ‘ලන්දේසි නිසොල්ලාසයේ’ මළවුන් අතරය. එල්.එච්.ආර්. විජේතුංග මහතා මෙරට ප්‍රථම විදුලි සංදේශ අධ්‍යක්ෂවරයා විය.1980 ගණන්වලදී මෙරට විදුලි සංදේශන කර්මාන්තයට අලුතින් එකතු වූ අමුත්තකු ලෙස ෆැක්ස් සේවාව ද සඳහන් කළ හැක. ශ්‍රී ලංකාවේ මුල්ම ඩිජිටල් ස්වයංක්‍රීය​ ටෙලෙක්ස් තාක්ෂණය හඳුන්වා දෙනු ලැබුවේ ද මේ කාලයේම වීමද වැදගත් කරුණකි. විශේෂයෙන්ම ව්‍යාපාරික පරිභෝගිකයන් හට එමගින් අත්වූයේ මහත් අස්වැසිල්ලක් විය. වෙනත් ස්ථාන හා රටවල් සමඟ ලිපි ලේඛන හුවමාරු කර ගැනීමේදී දින සති ගණන් සිදුවූ ප්‍රමාදය සම්පූර්ණයෙන්ම තුරන් කළ ෆැක්ස් සේවය ඇතැම් පාරිභෝගිකයන් වැළඳ ගත් ආශිර්වාදයක් විය. තවත් අතිශය වැදගත් හඳුන්වා දීමක් 1988 වසරේදී සිදුවිය. 

එනම් ජංගම දුරකතන තාක්ෂණයයි. ශ්‍රී ලංකාව තුළ සෙලියුලර් ජංගම දුරකතන සේවා ක්‍රියාත්මක කිරීම සඳහා 1988 වසරේදී විදුලි සංදේශන දෙපාර්තමේන්තුව විසින් Celltel Lanka Ltd හට බලපත්‍ර නිකුත් කරන ලදී. සාපේක්ෂව ගත්කල ජංගම දුරකථන යනු ස්ථාවර දුරකථනවලට වඩා නව්‍ය යැයි කිව හැකි තාක්ෂණයක් වුවද ශ්‍රී ලංකාවේ ඇතැම් දුරබැහැර ප්‍රදේශවල දුරකතන රැහැන් යෙදීමේ අපහසුතා නිසා එම පෙදෙස්වල ජනතාවට මුලින්ම විඳගන්නට ලැබුණේ ස්ථාවර දුරකතන නොව ජංගම දුරකතන අත්දැකීම වන අතර පසුකාලීනව බිහිවූ දුරකතන සමාගම්වල දුරකතනය හඳුන්වන ලද්දේ ද ‘සෙල්ටෙල්’ එක ලෙසය.අනූව දශකය වනවිට තැපෑල වෙනම ගමනකත් විදුලි සංදේශය ශ්‍රී ලංකා ටෙලිකොම් ලෙස තනි මඟකත් ගමන් කරන්නට විය.

1996 දී මෙරට සන්නිවේදන ක්ෂේත්‍රය උඩුයටිකුරු කරන ලද්​ෙද් ඉන්ටර්නෙට් හා ඊමේල් ආගමනයත් සමඟය.1996 මෙරට සන්නිවේදන ඉතිහාසයේ තීරණාත්මක කඩඉඩමක් ලෙස ඉතිහාසගත වනු නියතය. චන්ද්‍රිකා ජනපති යුගයේ හරියට කළ එකම වැඩක් තිබී නම් ඒ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීම විය යුතුය.පැවැතියා වූ නියාමන හා පරිපාලනමය සීමා සහ අයවැය වෙන් කිරීමේදී උද්ගත වූ විවිධ දුෂ්කරතා ආදිය හේතුවෙන් ආයතනයේ පමණක් නොව සමස්ථයක් ලෙස ශ්‍රී ලංකාවේ විදුලි සංදේශන කර්මාන්තයේ ද දියුණුවට එල්ල වෙමින් පැවැති බාධා ඉවත් කිරීමට නම් එය පෞද්ගලීකරණය කළ යුතු බවට එවකට විදුලි සංදේශන අධ්‍යක්ෂ කේ.කේ. ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් යුත් කමිටුවක් විසින් නිර්දේශ කරන ලදී. මින් අනතුරුව, 1997 වර්ෂයේදී ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී. ආයතනයේ උපායමාර්ගික ව්‍යාපාරික සහකරුවා වශයෙන් නිපොන් ටෙලිග්‍රාෆ් ඇන්ඩ් ටෙලිෆෝන් කෝපරේෂන් නම් ජපාන සමාගම තෝරා ගනු ලැබිණ. මේ අතරම එතෙක් සෑම අවශ්‍යතාවක්ම වෙනුවෙන් විශේෂිත කේත අංක සිහි තබා ගැනීමට සිදුවූ ජංගම දුරකතන පාරිභෝගිකයින් වෙනුවෙන් මෙනු පාදක කරගත් හා කෙටි පණිවුඩ සේවා පාදක කරගත් තොරතුරු සේවාවන් ලබා දීමේ හැකියාව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් මොබිටෙල් ප්‍රයිවට් ලිමිටඩ් 2002 වසරේදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අනුබද්ධිත සමාගමක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණ. 

දැන් අපි පිවිස සිටින්නේ ෆේස්බුක් නොහොත් ‘මුහුණු පොතේ’ යුගයටය. ජාතික විදුලි සංදේශ කෞතුකාගාරයේ කුටියෙන් කුටිය පසුකර යත්දී ඔබට ජංගම දුරකතනය ‘ස්මාට්’ වූ ආකාරය දක්වා අනුරූ සහිතව දැකගත හැකිය. ඊටත් වඩා අප කලින් කී මෙරට සන්නිවේදනයේ පෙරළියට දායක වූ සියලු යන්ත්‍රෝපකරණ මෙන්ම යටිතල පහසුකම් සැලසූ කේබල්, ගලි ආදිය පවා වසර සියගණනක් පැරණි වුවද සුරක්ෂිතව තබා ඇත්තේ ඔබට දැකගැනීමටය.සැටලයිට් තාක්ෂණය හඳුන්වා දුන් ආකාරය ගැන ආතර් සී. ක්ලාක් විද්වතා තම අත්අකුරින් ලියන ලද ලියවිල්ලක් මුල් පිටපතේ මේ කෞතුකාගාරයේ සුරක්ෂිතව තබා ඇත. මෙහි ඇති ‘ස්මාට් නිවෙස’ ඔබට අමුතුම අත්දැකීමක් විය හැකිය. එහි ජනෙල් තිර අරින්නේ ද විදුලි බුබුලු දල්වන්නේ, ජනෙල් තිරවල් වහන්නේ විතරක් නොව, ජල නළ ක්‍රියාත්මක කරන්නේ ද ස්මාට් දුරකතනයෙන් වීම විශේෂත්වයකි.මෙරට සන්නිවේදන ඉතිහාසය සියවස් ගණනාවක් මෙම ලිපියෙන් විග්‍රහ කොට ඇති බැවින් දැන් ඔබට ඇත්තේ එම ඉතිහාසයේ සැමරුම් තම දෙනෙතින් දැකගැනීමයි. වැඩිහිටියන්ට මෙන්ම පාසල් දරුවන්ට ද මෙම කෞතුකාගාරය නැරඹීම තුළින් මෙරට සන්නිවේදන ඉතිහාසය තුළ ගරාගත හැකි උපයෝගීතාවයෙන් යුතු බුද්ධිමය ඉල්ලම් බොහෝ බව අමුතුවෙන් සඳහන් කළ යුත්තක් නොවනු ඇත.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මීපේ දුරකථන කෞතුකාගාරය (Meepe Telephone Museum) මීපේ දුරකථන කෞතුකාගාරය (Meepe Telephone Museum) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 30, 2020 Rating: 5

0 comments:

Post a Comment