අදටත් හාස්කම් පිරි ඊතණවත්ත දේවාලය (Ethanawatta Devalaya Is Still Full Of Miracles)

අපේ රටේ නිදහස් අරගලය ලෙස හැදින්වෙන (1817-1818) ඌව වෙල්ලස්ස කැරැල්ලට දැන් වසර 200 ක් ගතවී තිබේ.ඒ ඉතිහාස කතාවේ ලිඛිත සාක්ෂි හා ජනප්‍රවාද ඔස්සේ ඉරිදා ලංකාදිප වසර 200 ක් ආපස්සට යන ගමනේ පසුගිය සතියේ අපි මීගහපිටිය වලව්වේ රටේරාල භාවිතා කළ අවි ආයුධ හා උපකරණ මෙන්ම පැලඳි ආභරණද දැක බලා ගත්තෙමු ඉන්පසු අපි කොටසර පියංගල වෙහෙරේ අසිරිය දකිමින්ම පාරට බැස්සෙමු. ඉපැරැණි අම්බලම් මග දිගට ඇත. මෙය දුටුගැමුණු රජතුමා ගමන්කළ ඉපැරැණි රජ මාවතය. විල්සන් මහතා ද අවසන් වරට ගමන්කර තිබුණේ මෙම මාවතේය. බිබිල ට පවුරක් සේ අක්කර දහස් ගණනක් පුරා විසුරුණු දොරපොද කන්දෙන් උපදින දිය දහර ගලාවිත් ගලඔය නමින් බැස යන්නේ අප දැන් ගමන් කරන මාර්ගයේ සපත්තු පාලම යටිනි.සිසිල් දියේ බැස දිය නාන ගම්වැසියන් පිරිසක් දුටුවෙමු.පීනා නාන්නට සිතුනද අපේ ගමනට කාලය බොහෝ වටිනා බැවින් එම අදහස අතහැර දියට බැස මුවධෝවනයෙන් සෑහීමකට පත්වීමි.ඉංග්‍රීසි දිසාපති විල්සන් මරාදැමූ තැන ඇති සිහිවටනයබි්‍රතාන්‍ය රජයේ ඌව පළාත් උපතානාපති සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් මහතා මීගහපිටිය රටේරාළ සමග අවසන් සාකච්ඡාව පැවැත්වුයේ මේ සමීපයේ විය හැකි බව මා සමග මේ ගමනට එක්ව සිටින රටේ රාළගේ මීමුනුබුරු සරණංකර හිමියෝ පැවසූහ.

කිලෝමීටර කාලක් පමණ ඉදිරියට යන විට හමුවූයේ විශාල රබර් වත්තකි. මේවා ගැමියන්ට අයත් වගාබිම් බවත් විල්සන් මහතාගේ මරණයෙන් පසු ඒවා කොල්ලකෑ සුදුපාලකයෙක් රබර් වගාකර ඇති බවත් දැනගන්නට ලැබුණි (අද වතු සමාගමකට අයත්ය)එම රබර් වත්තට ජලය ලබාගන්නේ ගැමියෙකු සතු වත්තක තිබෙන උල්පතකිනි. ඒ සඳහා සුදුපාලකයන් අවුරුද්දකට රුපියල් 50 ක ගෙවීමක් සිදුකර ඇත. එය කිසිම වෙනසක් නොකර ඒ මුදලම අදත් ගෙවන බව දැනගන්නට ලැබුණි.රබර් වත්ත ඉදිරියේ පැරැණි නිවසක් සහිත ඉඩමකි.විල්සන් මහතා හීසැර වැදීමෙන් පසු මෙම ස්ථානයට ගෙනැවිත් බෙල්ල කපා හෙල්ලක හිස අමුනා ගෙන ප්‍රිති ඝෝෂා කළ බවට පරම්පරාගත කතාවක් ඇතැයි එම වත්තේ අද හිමිකරුවා කීවේය.

එතැන් පටන් මෙම වත්තට ගලහවත්ත නම ලැබුණු බවද සදහන් කළේය.ගහලවත්ත ගලහවත්ත වෙන්නට ඇතැයි සරණංකර හිමියෝද ඉගි පළ කළහ.එහෙත් විල්සන් මහතාට හීසැර එල්ලවුයේ මෙම ස්ථානයේ දී නොවේ.රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාර විසින් ලන්ඩනයේ යටත් විජිත විදේශ කාර්යාලයේ මහාමාන්‍ය බැතර්ස්ට් වංශාධිපතිතුමා වෙත 1817 නොවැම්බර් මස 7 වැනිදා යැවු සන්දේශයට අනුව. ඒ බව පැහැදිලිවෙයි තමන් විසින් ඉදිරිපත් කරන ලද හිතවත් යෝජනාවන්ට කන් නොදීමට විමුක්ති කාමින් අධිෂ්ඨාන කරගෙන සිටින බව දැනගත් විල්සන් මහතා භට පිරිස වෙත පෙරළා පැමිණ අන්මගකින් බදුල්ල කරා ආපසු ඒමට පටන් ගත්තේය” ඔව්හු පස්වරු 3 ට පමණ ඊතණ වත්තේ දේවාලයට පැමිණිබවද එහි සදහන්විය අපි කි.මි දෙකහමාරක් පමණ මග දුර ගෙවා බිබිල බදුල්ල ප්‍රධාන මාර්ගයට අවතිර්ණ වූවෙමු. එම් ස්ථානයේ උණගොල්ල විහාරස්ථානය පිහිටියේය. විහාරස්ථානය සමීපයේ විල්සන් මහතා ගේ සොහොන් ස්මාරකය පිහිටියේය.

ඊට මහුණ ලා පන්සල ඉදිරියේම පිවිසුම් තොරණ ලඟ මහ කළුගලක් මුදුනේ මීගහපිටිය වලව්වේ හිටිහාමි මුදියන්සේලාගේ රටේ රාල යනුවෙන් සටහන් කළ ප්‍රතිමාව දක්නට ලැබුණි.

මහ වැස්සක පෙරනිමිති පළ කරමින් වැසි බිදු වැටෙන්නට විය. අපි උණගොල්ල පන්සලට ගියෙමු. විහාරාධිපති ඌව පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හෙවෙල්වෙල ශ්‍රී සුනන්ද හිමියෝ ඊතනවත්තේ දේවාලය පිළිබඳව බොහෝ විස්තර පැවසුහ.

“මහත්තයා, විල්සන් මහත්තය අපේ අය සමග කළ සාකච්ඡා අසාර්ථක වීමෙන් පස්සේ භට පිරිසත් එක්ක අර ඈතින් වදුලක් වගේ පේන තැන පිහිටි ඊතණ වත්තේ දේවාලයට ගිහින් තියෙනවා.“ඔය දේවාලෙ මහා බලගතු දේවාලයක්. දැන්නම් කඩාවැටිලා. පත්තිනි දේවියගේ ආභරණ පවා තියන්න තැනක් නැතිව අවුරුදු දහස් ගණනක් පැරැණි ඒ ආභරණ අද තියෙන්නේ මා භාරයේ.”“මමවත් තාම ඒවා බලල නැහැ. හැබැයි ඉතින් සරණංකර හාමුදුරුවෝ ආව නිසා අපි පොට්ටනිය ලිහල බලමු” යැයි පැවසු සුනන්ද හිමියෝ පොට්ටනියක් ගෙන ආවේය. අතින් ඇල්ලුවාම දියවෙන තරමට පැරැණි රෙදි කඩකින් ඔතා තිබු පොට්ටනිය විවෘත කළ විට කුඩා හක්ගෙඩියක් දක්නට ලැබුණි. එම හක්ගෙඩිය දේවාලයේ සිට පිඹින විට කිලෝමිටර් තුනක් පමණ ඈතින් පිහිටි මෙම විහාරස්ථානට ඇසෙන බව උන්වහන්සේ පැවසූහ.ඊළගට විවෘත කළේ එහි තිබූ පිත්තල පෙටිටි දෙකකි.එකක් විවෘත කළ විට දක්නට ලැබුණේ ඊතලයක් හා ඉතා පැරුණි සත්ව රූප තහඩුය.

 ඒවා දෙවියන්ට භාරහාර වු ඒවා වියහැකිය.අනෙක් පෙට්ටිය විවෘත කළ වි ට සළං…. සළං.. හඬ නගමින් එතුළ වුයේ පත්තිනි සළඹ 11 කි. ඒවා විවිධ ප්‍රමාණයන්ගෙන් යුතුය. සොලවා බලන විට හඬද එකිනෙකට වෙනස්ය.උණගොල්ල විහාරාධිපති ස්වාමීන් වහන්සේ මෙහි ඇති අනුහස් පිළිබඳව සාක්කියක් ලෙසින් මේ කතාව පැවසූහ.“මහත්තයා හරිනම් සළඹ 13 ක් තියෙන්න ඕනෑ. මේ දේවාලයෙත් එහෙම සළඹ 13 ක් තිබිල තියෙනවා. ඒකෙ හිටපු කපු මහත්තයෙකුගේ දුවගෙ පුත්තු දෙන්නෙක් අනෙක් සළඹ දෙක සොරකම් කරලා. හැබැයි ඒ දෙන්නටම දඩුවම් ලැබුණා.

ලොකු පුතාගේ වයස අවුරුදු 23 යි. එයා උම්මත්තෙක් වගේ ඒ මේ අත යද්දි කාර් එකක හැපිල මැරුණා. අනෙක් එක හොරකම් කළ එයාගේ මල්ලිගේ වයස අවුරුදු 16 යි. මේ ළමයා අපේ පන්සලට ඇවිත් හිටියා. මහණ වෙන්න ඕන කියල. බොහොම හිතවත්ව හිටියා. දවසක් බලනකොට පන්සලට ඉහළින් තියෙන වත්තේ ගසක එල්ලිලා මැරිලා හිටියා. ඊට පස්සේ තමයි මට දැනගන්න ලැබුණේ මේ හොරකම ගැන. ඒවගේම තව විස්මිත දෙයක් වෙනවාලු. දැන් මෙතැන තියෙන්නේ ඉතිරිවුණ සළඹ 11 විතරයිනේ. හැබැයි දේවාභරණ තියෙන්නේ ඔය දේවාලය ළග තියෙන පහනාවල දිය ඇල්ල ළග ගල්ගුහාවක. උත්සව කාලෙට හක් පිඹින හඬ ඇහෙන කොට ඒ ගුහාවේ දොර ඉබේම ඇරිලා දේවාභරණ දේවාලයට එනවලු.“අවසන් පෙරහැර ඉවර උනාට පස්සේ ඉබේටම ගල්ගුහාවට ගිහින් දොර වැහෙනවලු. එහෙම විශ්වාසයක් තිබුණත් දැන් ඉතින් දේවාලය විනාශ වෙච්ච නිසා සියල්ල අහිමිවෙලා යැයිද උන්වහන්සේ පැවසූහ.කැරැල්ල කාලේ අපේ මිනිස්සු මෙතැනට රැස්වෙලා තියෙනවා බාරහාර වෙලත් තියෙනවා. ඒවගේම ඊට නුදුරින් පළිගහන දේවාලයක් කියල දේවාලයක් තිබිල තියෙනවා. ඒකත් හුනියම් දේවාලයද දන්නේ නැහැ. “උන් වහන්සේ පැවසූහ.අපි එම දේවාලය වෙත යාමේ අවශ්‍යතාව පැවසු විට උන් වහන්සේ පැවසුවේ අපෝ.

මහත්තයා අද නම් කොහොමටවත් එහේ යන්න බැහැනේ ඔයේ වතුර වැඩියි එගොඩ උනාට පස්සේ උඩහට වැස්ස වැඩිඋනොත් ඔයේ සැඩ වතුර එනවා. එහෙම උනොත් කොහොමද මෙගොඩ වෙන්නේ? අනත් එක ගල් ලිස්සනවා කූඩැල්ලොත් ඉන්නවා.විහාරාධිපති හාමුදුරුවෝ එසේ කීවත්, අදම එම ගමන යායුතු බව මා තීරණය කළේ එම අත්දැකීම් සියල්ලම අත්විඳීමේ ආශාවද ඇතිවය.මගේ බලවත් ඉල්ලීම නිසා ළඟපාත ජීවත්වන එරංග නැමති තරුණයෙක් මග පෙන්වන්නා ලෙස ලබාදිමට හාමුදුරුවෝ කටයුතු කළහ. අපිට මග පෙන්වමින් අපිත් එක්ක මෙතෙක් දුර ආ සරණංකර හිමියෝ උණගොල්ල විහාරස්ථානයේ නතර වී යාමට මා තිරණය කළේ ගමනේ දුෂ්කර බව නිසාමය.අපි විහාරස්ථායේ සිට මහ පාරට පැමිණියෙමු. හරියටම මිගහපිටියේ රටේ රාලගේ පිළිරුව අභියසින් විල්සන් ස්මාරකය දකිමින්ම බදුල්ල බිබිල මාර්ගය හරහා ගමන් කළෙමු.ඒ අපට මග පෙන්වන එරංග ගේ නිවස දෙසටය. ඒ වත්ත මැදින් යද්දී ඔහු කීවේ එම නිවස අසලින් නයි මතුවන බවය.අදත් නයි පැටියෙක් හිටියා. මම ඌ අල්ලා කැලේට ගිහිල්ල දැම්මා. මහත්තයෝ ඔය දේවාලෙත් සුදු නයෙක් ඉන්නවා හැබැයි ඉතින් හොඳ සිතින් යන කාටවත් කරදරයක් කරලා නැහැ.

ඔහු පවසද්දි මම සිත තවත් සන්සුන් කරගතිමි.එහෙනම් නාගයාගේ පින්තුරයකුත් ගතහැකි යැයි සිතුවෙමි.තරුණයාගේ වත්ත විවිධ බෝග වගා කළ එකකි. පුවක් මිල නැග්ග දවසට ගොඬේ ගොඩ යැයි ඔහුකීවේය. එම වත්ත මැදින් ගමන් කළ අපි වැටුණේ ඔය මාර්ගයකටය.දොරපොද කන්දේ සිට ගලනා ජලය පානාවල දියඇල්ල නිර්මාණය කිරීමෙන්පසු ගලඔයේ අත්තක් ලෙස මෙසේ ගලා යමින් තිබේ. මඩුල්සිම කඳුවැටියට වැස්ස වැඩිවන විට මෙම ඔයේද ජලය වැඩිවෙයි. උණගොල්ල පන්සලේ හාමුදුරුවන් අනතුරු හැගවුයේ මේ ඔය ගැනය.එනිසා ඔයට බැස එගොඩ වීමේදී ඒ අවවාදයටද ගරු කළෙමු. කලිසමේ කුකුල් දණහිස දක්වා නවා ගත්තද ඔය මැදට යනවිට නාභිය දක්වා ජලය ගලායාම නිසාත් දිය ඇද්දුම නිසාත් තරමක් දුෂ්කරතාවක් දැනුණද අපි සාර්ථක ලෙස ඔයෙන් එගොඩ වූයෙමු.ඉක්බිති දක්නට ලැබුණේ ඉතා සරුසාර වෙල් යායකි.සුවිසල් වෙල්යායේ ඉවුර දිගේ ඇවිද යද්දී දෑස පෙනෙන තෙක් මානයේ දිසි සරුසාර කූඹුරු සනාථ කරන්නේ ඉතිහාස කථාවන්දැයි සිතිණ.රජ දවස වෙල්ලස්සේ වෙල් ලක්ෂයක් තිබු බවත් එනිසා වෙල්ලස්ස නම ලැබුණු අතර යටත් විජිත සමයේ මේ කෙත්වතු කොල්ලකා ගිනිබත් කර විනාශ කර ඇති බවත් ඒ ඉතිහාසයයි.පැය භාගයක පමණ කාලයක් කූඹුර මැදින් ගමන් කළෙමු.ඉන්පසු වදුල සහිත ගොඩැල්ලකට ගොඩ වුනෙමු.එම උස් භූමියේ දේවාලය පිහිටියේය.

එහෙත් අද දක්නට ඇත්තේ එහි ශේෂවු ගොඩනැගිලි වල නටබුන්ය.ඒවා, උණගොල්ල පන්සලේ හාමුදුරුවෝ පැවසු පත්තිනි දේවාලයේ නටබුන් බව එරංග කීවේය පත්තිනි දේවාලයේ ඉදිරි උළුවස්සේ කොටසක් යැයි අනුමාන කළහැකි ගල්කණුවක්. දොරටුව අසල බිමටම වැටී ඇත. මෑතකදී දැල්වූ මැටි පොල්තෙල් පහන් කීපයක් ඒ මත තිබිණ.ඊට අඩි 20 ක් පමණ ඈතින් තවත් ගොඩනැගිල්ලක ශේෂයන් ලඳු කැලෑවෙන් වැසී ගොස් තිබිණ මගේ මාධ්‍ය සගයා වන විමුක්ති සංජය හා මඟ පෙන්වන්නා වන එරංග ලඳු කැලෑව ලී කැබැල්ලකින් එහා මෙහා කරද්දී ගොඩනැගිල්ලේ නටබුන් තවත් දැකගත හැකිවිය. එය පළිගැහිමේ දේවාලය හෙවත් හූනියම් දේවාලයයැයි හැඳින්වුන දේවාලය විය යුතුයැයි සිතුවෙමි.

ඒ වටා තැනින් තැන ගල් කණු වැටි කැලය විසින් ගිලගෙන තිබුණි.දේවාලය සමීපයෙන් අදටත් දැකියහැකි රූස්ස බෝධි වෘක්ෂය වියපත්ව ඇත්තේ වසර දෙසියකට වැඩි ඉතිහාසයක් ප්‍රදර්ශනය කරමිනි.මුළු ගොඩැල්ලම අද්භූත ඉසව්වකි.නිහඩතාව බිඳ ඇසෙන්නේ වන සතුන් ගේ හැඩුම් හඩය.අපි තුන්දෙනාම නිහඩය.ෂුස් ……හඬින් තණකොළපඳුරු හරහා යන උරගයෙක් දක්නට ලැබුණි. ඔන්න මහත්තයා නාගයා තරුණයා කීවේය. මා කැමරාව එල්ල කරන්නටත් කලින් නාගයා අතුරුදන්ය.අපි දෙවියන් බුදුන් සිහිකරමින් දේවාල බිමෙන් සමුගන්නට සැරසුනෙමු.කකුල දිගේ ගලන්නෙ රුධිරයයි.අපි තුන්දෙනාම ඒ වන විටත් කූඩැල්ලන්ගේ ආක්‍රමණයට ගොදුරුව තිබුණි කඩුපහර “නම් ඔසුමය ශාකයක කොළකීපයක් කඩා පොඩිකර එම යුෂ කූඩැල්ලන් කෑ ස්ථානයන්හි තැවරුවේ තරුණයාය.ලේ ගැලීම එසැණින් නතරවිය.හෙමින් හෙමින් පහතට බැස දිය කුඹුරට සේන්දු වී නියර දිගේ ගමන් කරද්දි කුඹුර මැද පිහිටි විස්මිත උල්පතක් හමුවිය.දිය බුබුළු බොහෝ ස්ථානයන්හි පිහිටි නිසා බුබුළ, බිබිල වි බිබිල නම හැදුන බව කියති.එහෙත් මෙතරම් වේගයෙන් ජලය උනන උල්පතක් මම නම් මින් පෙර දැක නැත.

එය හඳුන්වන්නේ දේවාල කූඹුරේ උල්පත නමිනි.“මේ උල්පත කවදාවත් හිඳෙන්නේ නැහැ. දේවාලයේ දානය පිළියෙල කරන්න තමයි අතීතයේදී මේ වතුර අරන් තියෙන්නේ. හැබැයි දැන්නම් අවට ගම්වල අය හා මැණික් ගරන්න එන අය මේ වතුර බොන්න අරන් යනවා. ගලා යන වතුර කුඹුරු වැඩටත් ගන්නවා යැයි — තරුණයා කීවේය .දිය දෝතක් ගෙන පානය කළෙමි. කපුටු ඇහැක් සේ පිරිසිදු සිසිල් ජලය විඩාව සන්සිඳවූයේය.සුද්දන්ගේ ලියකිවිලිවල සදහන්ව ඇත්තේ මේ දේවාල පරිසරයයි. එම වාර්තාවලට අනුව කැරලි නායකයෙක් වු රටේරාල සමග සාකච්ඡා කිරිමට දැරු උත්සාහය අසාරථක විමෙන් පසු විල්සන් මහතා සහ සිය භට පිරිස සමග එදින සවස 3.00 පමණ මේ ඊතල වත්ත දේවාලයට පැමිණ තිබේ.මෙහිදී විල්සන් මහතා ඉක්මනින් එන බව කියා ලේෆ්ටිනන් නිව්මන්ට ඉදිරියට යන ලෙස කියා ඇත. භට පිරිස සැතපුම් කාලක් පමණ ගමන් කොට නතරවුහ. පැය කාලකින් පමණ විල්සන් මහතාගේ තෝල්ක තැන ඔවුන්ට එකතුවී විල්සන් මහතා ගගෙන් මුහුණ හා අත්සෝදමින් සිටි බව පවසා ඇත. ලෙෆ්ටිනන් නිව්මන් ආපසු හැරි එතැනට එනවිට විල්සන් මහතාත් ලැස්කරිඤ්ිඤයෙකුත් මරණ ලද බව පවසා ඇත.ලෙෆ්ටිනන් තැන හේවායන් කීපදෙනෙක් සමග දේවාලය ළගට යද්දි එය ආයුධගත් මිනිසුන් විසින් වටකරනලද බව දක්නා ලදී. ඔව්හු වහා හීසැර යවමින් පහර දෙන්නට පටන්ගත්හ. එහෙත් වෙඩිසැර කීපයකින් ඔවුන් වනයට පළවා හරින ලදහ. භට පිරිස දැන් විල්සන් මහතා සෙවීමට ගොස් ඇත. එවිට මරණ ලදැයි කියන ලැස්කරිඤ්ඤයා ඔවුනට එක්විය.(ඊ සැර දෙකකින් තුවාල ලැබ සිටි හේවායා පසුදින මළේය.)

ඔවුන් මේ ලැස්කරිඤඤයා විසින් පෙන්වන ලද ස්ථානයෙහි කළුවර වනතෙක් මළකඳ සෙවු නමුත් නිශ්ඵල විය. එවිට පසුබැස යාම ඥානාන්විත යැයි ලෙෆ්ටිනන් නිව්මන් තිරණය කළේය. සතුරා ලුහුබැන්දේය. ඔවුන්ට ගමන් කිරිමට තිබු ඝන වන පෙදෙස වාසි කොටගත් සතුරා පඳුරුවලට මුවා වි හී සැර යවමින් නොකඩවා හිරි හැර කළේය.මෙයින් සාජන්ට් කෙනෙක්ද හේවායෙක්ද තුවාල ලැබූහ. භට පිරිස මැද ඔයෙන් එතරවු පසු කැරලිකරුවන් පෙනෙන්ට සිටියේ නැත. මෙසේ ඔව්හු බාධාවක් නොමැතිව බදුල්ලට ගමන් කළහ. කැරලි කරුවන් විල්සන් මහතාගේ හිස කපා ඔවුන් දෙවියන් යැයි කියූ වඩුග රාජ ප්‍රතිරූපකයා වෙත යැවු බවට පසුව වාර්තා ලැබුණේය.අප ආපසු එන ගමනේදි ඔයේ ජලය වැඩිවි තිබු නිසා ජලය අඩුවෙන තෙක් පැය දෙකක පමණ කාලයක් ඉවුරේ රැදී සිටීමට සිදුවිය. විල්සන් මහතාට හී සැර වදින්නට ඇත්තේ උණගොල්ල විහාරස්ථානයට නුදුරු අප එගොඩවු ඔය සමීපයේදි වියහැකිය. ඔයෙන් මෙගොඩවී මහ පාරට පැමිණ විල්සන් ස්මාරකය අසලට ගියෙමු. “දුනුවායෙකුගේ හීසැරයෙන් 1817 සැප්තැම්බර් මස 16 වැනිදා මරණයට පත්වු බි්‍රතාන්‍ය රජයේ ඌව පළාත් දිසාපති හා උපතානාපති සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් මහතා සිහිවීම පිණිසයි”යනුවෙන් වු සටහනක් එහි විය පිත්තල අකුරු ඔබ්බවා මෙම සටහන ඉංග්‍රීසි භාෂාවෙන් තිබුණත් මෑතදි පිත්තල හොරුන් විසින් එම අකුරු ගලවා ගෙන ගොස් ඇති බව දැනගන්නට ලැබුණි.

සිහිවටන ඵලකය අද ඇතමුන් විසින් පෝස්ටර් අලවන ස්ථානයක් බවට පත්කරගෙන ඇති අයුරුද දක්නට ලැබිණ. එය පෙනෙන තෙක් මානයේ උණගොල්ල පන්සල ඉදිරියේ මෑතදී ඉදිකළ මීගහපිටිය වලව්වේ රටේ රාලගේ ස්මාරකයේ සටහන්වී ඇත්තේ මෙසේය“හිරු නොබසින අධිරාජ්‍යයට එරෙහිව ඌව වෙල්ලස්සේ සටන් ආරම්භය සනිටුහන් කරමින් 1817 සැප්තැම්බර් මස 16 වැනිදා ඌව දිසාව භාර උප ඒජන්ත සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් මහතාට මාරක හීය මුදාහළ මීගහපිටිය වලව්වේ මුදියන්සේ රටේරාල හෙළ විරුවාණන් ගේ වීරත්වය මතු පරපුරට දැනග ැනීම පිණිස ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ගාමිධෑ විජිත් විජයමුණි සොයිසා මැතිතුමාගේ මග පෙන්වීම යටතේ ඉදිකළ මෙම පිළිරුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ අතිගරු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ සුරතින් වර්ෂ 2005 අගොස්තු මස 14 වැනිදින විවෘත කරන ලද බව මෙසේ සටහන් කර තබන ලදී. කෙසේ නමුත් ඉංග්‍රීසීන්ගේ නඩු විභාග වලදී මීග හපිටිය වලව්වේ රටේ රාලට එල්ලවි ඇති චෝදනාව වුයේ විල්සන් මහතා ඝාතනය කළ පිරිසට නායකත්වය දීම බව ජාතික ලේඛනාරාක්ෂක දෙපාර්තමේන්තුවේ 5/105.125.-127 -6-/972 ඒ ලේඛනය උපුටා දක්වමින් 1818 ජාතික නිදහස් අරගලයේ පුරෝගාමියෝ නම් වු රජයේ සංස්කෘතික අමාත්‍යාංශය විසින් මුද්‍රිත ග්‍රන්ථයේ සඳහන්ව තිබේ. විල්සන් මහතා මරාදැමු සිවුදෙනා අතර ඉකිරිම්පෙළ මිටි ගමිමහේ, ඊතණගොඩ බඩපිස්සා, දොඩම්ගොල්ලේ හෙටිටිපොළයා, සහ බකිණිග හවෙල උපසාක අප්පු (උපාසක මුදියන්සේ) වු බව නඩුවිභාගයේදි මීගහපිටියේ රටේරාල විසින් හදුනාගත් බවද එම ලේඛන වල සඳන්වෙයි. මෙම සිද්ධියට සමබන්ධවූ මීගහපිටිය රටේ රාලගේ සොයුරෙකු වන ගංඇති රාල නමැත්තෙක්ද සිටි බවත් ඔහුට මරු මුත්තා යන නම ද එම නිවසට මරු ගෙදර යන නමද පටබැඳි ඇති බවත් අසන්නට ලැබුණි.අපට මරු ගෙදර සොයාගත හැකිවු නමුත් එහි සිටින 6 වැනි පරපුරේ අය මේ කතාව පිළිගන්නට අකමැති වුහ ඔවුන්ගේ මුළු සේසතම රාජ සන්තක කිරීමෙන් පසු බලෙන් අල්ලා ගත් අක්කර භාගයක් පමණ වන ඉඩමක, පන්සලේ කුඹුරු කර ජීවත්වන බවත් එහි සිටි ගංඇති රාලගේ හයවන පරපුරේ මී මුනුබුරෙක් වන මැදිවියේ පුද්ගලයෙක් කීවේය.එදා ඇතිකළ භිෂණය ය නිසා මේ පවුල අදත් පිඩාවට පත්ව සිටින අතර වාසගම පවා වෙනස්කර ඇති බව දැනගන්නට ලැබුණි.

ඔහු අපෙන් ඉල්ලා සිටියේ ජායාරුප හෝ ළමයින්ගේ විස්තර පළ නොකරන ලෙසටය මරු ගෙදර යන නාමය අවමානයක් වියහැකි වීම හා තවමත් පවතින බියසැක ඊට හේතුවිය හැකිය (මෙසේ නම් ගම් වෙනස් කරමින් අදටත් නිසි සාධාරණයක් නොලබා ජිවත්වන නිදහස් අරගලයට දායකත්වය දුන් පරම්පරාවල පවුල් විශාල ප්‍රමාණයක් ඌව පළාතේ සිටින බව කියති. කෙසේ නමුත් විල්සන්ගේ ඝාතනයේ පසු සුදු හමුදාවලින් බේරීම සදහා ගල් ගුහාවක සැඟවී සිටි මීගහපිටිය වලව්වේ රටේරාලව නෑදැයන් යැයි කියන සිංහලයන් පිරිසක් විසින්ම අල්ලා ඉංග්‍රිසීන්ට බාරදුන් බවත් නඩු විභාගයෙන් පසු ඔහු රටින් පිටුවහල් කළ බවත් ඉංග්‍රීසි ලේඛන වල සදහන් වෙයි 1819-02-24 වනදා ලිවර්පූල් නෞකාවෙන් මුරුසි දිවයනට පිටුවහල් කළ ඔහු කලක් රෝගීව සිට 1831- 11-06 වැනි දින මුරුසියේදී මිය ගිය බවද සඳන්වෙයි.කෙසේ නමුත් රට දැය සමය වෙනුවෙන් කැපවුණ මීගහපිටියේ රටේ රාල දේවත්වයක් ලබා ඇතැයි ජනප්‍රවාදයකි. බිබිල කොටබෝව ඓතිහාසික කුඩා කතරගම දේවාල බිමේ දැකිය හැකි පැරැණිම දේවාලය වන බණ්ඩාර දේවාලයේ මෙම දෙවියන් වැඩ සිටින බවත් එනිසා එම දේවාලයේ යාදිනි වලදී මුලින්ම මිග හපිටිය වලව්වේ කූනම් බැදි අලුත් බණ්ඩාර දෙවියෝ යනුවෙන්ද කියැවෙන බව දැනගන්නට ලැබුණි, අපි ලබන සතියේ ඒ තොරතුරු සොයායමු.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අදටත් හාස්කම් පිරි ඊතණවත්ත දේවාලය (Ethanawatta Devalaya Is Still Full Of Miracles) අදටත් හාස්කම් පිරි ඊතණවත්ත දේවාලය (Ethanawatta Devalaya Is Still Full Of Miracles) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, August 10, 2020 Rating:

0 comments:

Post a Comment