හිමාලයේ යෝගියකුගෙන් බලංගොඩ නාහිමියන් උගත්දේ

ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ද එකල වැඩි හරියක් ඉන්දියාවට වැඩියේ දුම්රිය-නැව් ඒකාබද්ධ සේවයේ උපකාරයෙනි. බළන්ගොඩ මිරිස්වත්ත ශ්‍රී ධම්මානන්ද පිරිවෙන පිහිටුවීමෙන් පසු ආනන්ද මෛ​ෙත්‍රය නාහිමියෝ විද්‍යෝදය විශ්වවිද්‍යාලයට සම්බන්‍ධ වන තෙක් එම පිරිවෙනේ කටයුතු කළහ. ධම්මානන්ද පිරිවෙනේ උපප්‍රධානාචාර්යවරයා වූයේ අපවත්වී වදාළ ගැටඅරළුවේ ධම්මරතන හිමියෝය. ගැටඅරළුවේ ධම්මරතන හිමියන් යනු පසුකලක අමරපුර මහා නිකායේ රාස්සගල විහාර පාර්ශ්වයේ මහනායක හිමියන් වූ ගලගම බෙලිහුල්ඔය සිරි සුවිසුද්ධාරාමයේ වැඩසිටි විහාරාධිපති නාහිමියෝය. උන්වහන්සේට නිකායේ මහනායක පදවිය ලැබුණේ ආනන්ද මෛත්‍රෙය නාහිමිගේ අපවත්වීමෙන් පසුවය. වැලිගෙපොළ මෛත්‍රීමූර්ති නම් හිමිනමක් ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ට පිරිවෙන පවත්වාගෙන යන්නට විශාල සහයක් දී තිබුණි. ධම්මානන්ද පිරිවෙනේ ඉගැන්වීම් කටයුතුවලදී විශාල සහායක් දුන් 1955 වසරේදී වැලිගෙපොළ මෛත්‍රීමූර්ති හිමියන් අපවත් වූ අතර ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ට එය විශාල පාඩුවක් විය.
බුරුමයේ හය වෙනි ධර්ම සංගායනාව පැවැත්වුණේ ද 1955දී මය. හය වෙනි හෙවත් ඡට්ඨ මහා සංගායනාවට වඩින ලෙස බුරුමයෙන් ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ට ආරාධනා ලැබුණි. ත්‍රිපිටකය ශෝධනය කිරීම මේ ධර්ම සංගායනාවේ අරමුණ විය. ත්‍රිපිටකය කොටස් තුන්සියයකට බෙදා පනස්නම බැගින් වූ එක් මණ්ඩලකට එහි එක් කොටසක් ලබාදී ඒ කොටස් ශුද්ධකර ත්‍රිපිටක ශෝධක මණ්ඩලයට දීම ප්‍රධාන කාර්යය විය.

ධම්මානන්ද පිරිවෙනේ කටයුතු ගැටඅරළුවේ ධම්මරතන නාහිමියන්ට බාරදී ආනන්ද මෛත්‍රෙය නාහිමි බුරුමයට වැඩියහ. ඒ ගිය ගමන ද අපූරුය. ඉන්දියාවේ කල්කටා දක්වා ලංකාවේ සිට ගියේ දුම්රියෙනි. පරවාහැර වජිරඥාන, මිරිස්සේ ගුණසිරි, වැලිවිටියේ සෝරත යන නාහිමිවරුද මේ ගමන්ට එක්ව සිටියහ. ඔවුහු දුම්රිය නැව් ඒකාබද්ධ සේවයෙන් කල්කටාවට ගොස් කල්කටාවේ සිට ගුවන් මගින් බුරුමයේ රැන්ගුන් බලා වැඩියහ. අවසානයේ දී බුරුමයේ පැවති හය වන (ඡට්ඨ) මහා සංගායනාවේ ත්‍රිපිටක ශෝධක මණ්ඩලයේ සාමාජිකත්වයට ද පත්වූ ආනන්ද මෛත්‍රෙය නාහිමි මාස දහයක පමණ කාලයක් බුරුමයේ වැඩ සිටියහ. භාවනාව ප්‍රගුණ කිරීම ආනන්ද මෛත්‍රෙය නාහිමියන් විසින් කරන ලද්දේ ආනන්ද කොලීජියේ ඉන්න කාලයේ සිටමය. භාවනාවේ නිරත යෝගීන් සම්බන්‍ධයෙන් උන්වහන්සේ හැදෑරූහ.ගිය සතියේ අප ආනන්ද මෛත්‍රෙය නාහිමියන් ගැන කතා කළ ලිපියේදී ගල්ලෑල්ල විහාරස්ථානයක පිංකමකට සහභාගිවීම නිසා උන්වහන්සේ දිගින් දිගට ප්‍රගුණ කරගෙන ආ භාවනාව අතරමගදී කැඩී ගිය බව සඳහන් කළෙමි. ඒ හේතුවෙන් ටික කලක් භාවනා කිරීම නතර කර දැමීමට උන්වහන්සේ පියවර ගත්හ. හේතුව වූයේ සිත එක්තැන් කරගැනීමට නොහැකි වීමයි. ඒ නිසා ඉක්මනින් කිපෙන ගතිය වගේම රෞද්‍ර ගති යළි ඇති වුණ බවද උන්වහන්සේ පවසා තිබුණි.

මේ තත්ත්වය ඉක්මනින් නැතිකර ගැනීමට උන්වහන්සේ තුළ ලොකු උවමනාවක් තිබුණි. නමුත් සමාධිය නොවැඩීම නිසා හිත එකළස් කරගැනීමට නොහැකිව සති කිහිපයක් බළන්ගොඩ ධම්මානන්ද පිරිවෙනේ කටයුතු කරගෙන ගියහ.මේ අතර ධ්‍යානලාභී යෝගීන් ඉන්දියාවේ සිටින බව උන්වහන්සේ දැනසිටියහ. ඉන්දියාවේ මදුරාසි දිස්ත්‍රික්කයේ තිරුවනමලේ ගමේ රමණ මහර්ෂි නම් ධ්‍යානලාභී යෝගීවරයෙක් සිටින බව ආනන්ද මෛත්‍රෙය හිමියන්ට දැනගන්නට ලැබුණි. මෙම යෝගී සෘෂිවරයා ඉදිරියේ භාවනා කරන ඕනෑම කෙනෙකුගේ සිත ඉක්මනින් සමාධි ගතවන බව දැනගත් ආනන්ද මෛත්‍රෙය නාහිමි ඒ යෝගියා හමුවීමට සිතාගත්හ.වර්තමානයේ වෙනත් ආගම් ඇතැම් සංඝයා වහන්සේලාගේ දැඩි විවේචනයට ලක් වන බවක් පෙනේ. නමුත් ආනන්ද මෛත්‍රෙය නාහිමියන් ඒ හැම අගමකටම ගරු කළා පමණක් නොව ඒවායෙන් ගත යුතු දේ ගත්තාහ. ඒවාට දිය යුතු දේ දුන්නාහ. සංහිඳියාව යැයි වචනයෙන් පෙරළි නොකළද සැබෑ සංහිඳියාවෙන් කටයුතු කළ යතිවරයාණන් වහන්සේ නමක් වන්නේද ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ය. එනිසා සංහිඳියාව ගැනත්, වෙනත් ආගම් බුදුදහමට බලපෑම් කරනවාය කියන මේ සියලු පාර්ශ්වයන් ආනන්ද මෛත්‍රෙය නාහිමි චරිතය ඉතා අවබෝධයෙන් හැදෑරුව හොත් බුදුදහමේ සත්‍ය අවබෝධ කරගනු ඇත.

ගැටඅරලුවේ ධම්මරතන හිමියන්ට පිරිවෙනේ වැඩකටයුතු පවරා ඉන්දියාවට වඩින්න තීරණය කළහ. ඒ සඳහා මුදල් නොතිබුණ අතර මහා බෝධි සමාගමේ වලිසිංහ දේවප්‍රිය මහතා වියදම් දෙන බව දන්වා බරණැසට වඩින ලෙස ඇරයුම් කළහ.ආනන්ද මෛත්‍රෙය නාහිමියෝ කොළඹින් දුම්රියේ ටිකට් වෙන්කරගෙන ඉන්දියාවේ තමිල්නාඩුවේ එග්මෝර් දක්වා දුම්රියෙන් ගියහ. බුදුන් උපන් ලුම්බිනිය වඳින්න යන ශ්‍රී ලාංකිකයෝ මේ කාලයේදී කොළඹ සිට එග්මෝර් දක්වාම දුම්රියෙන් ගියහ. එග්මෝර්වල දුම්රිය පොළ ආසන්නයේම මහාබෝධි සමාගමේ විහාරස්ථානයක්, විශ්‍රාම ශාලාවක් ඇත.මේ යෝගීවරයා සොයා ආනන්ද මෛත්‍රෙය නාහිමියන් ගිය ගමනේදී එග්මෝර් මහාබෝධි මධ්‍යස්ථානයේ දින දෙකක් ගත කර තිබේ. ඉන්පසු දුම්රිය, බස් සහ පාගමන් ඔස්සේ දුෂ්කර ගමනක් ගෙවා මදුරාසියේ තිරුවනමලේ යෝගාශ්‍රමයට ගොස් රමණ මහර්ෂී යෝගීවරයා හමුවේ භාවනාව වඩා ඉක්මනින් හිත එකඟකරවාගත් බව ආනන්ද මෛත්‍රෙය හිමියන් පවසා තිබුණි.

ඉන්පසුව ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් කලක් බරණැස ඉසිපතනාරාමයේ වැඩ වාසය කළහ. දඹදිව වන්දනාවේ ගිය අතීත බෞද්ධයින් පළමුව කොළඹ සිට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ නවුගර් දක්වා ද දුම්රියෙන් ගියහ. එහි පිහිටා තිබූ මහාබෝධි විහාරයේ විවේක ගෙන කිලෝමීටර් තිහක් පමණ දුරින් වූ ලුම්බිනිය වැඳපුදාගෙන යළි නවුගර් දක්වා පැමිණියහ. නවුගර් සිට බරණැසට එන්නට වාරාණාසි දක්වා දුම්රියෙන් පැමිණ එතැන් සිට මිගදාය දක්වා බස් රථයෙන් පැමිණියහ. නවුගර් සිට වාරාණාසි දක්වා බස්වලින් ද පැමිණිය හැකිව තිබුණි. අතීත ගමන අතිශය දුෂ්කර විය.

මේ නවුගර් මහාබෝධි විහාරයේ 1950දී එක් කුටියක් තනා තිබුණේ දෙනියාය, කොළවෙනිගම ප්‍රදේශයේ සිරිසිලි වතුයායේ අයිතිකරු වූ ඒ.එල්.ඩබ්. රත්නායක නම් බෞද්ධ දානපතියෙකු සිහිකිරීම පිණිස ඔහුගේ බිරිඳ සහ දරුවන් විසිනි. 1951දී ගාල්ල බෙන්තොට ‘ස්වස්ථිගිරි’හි ඉඩම්හිමි වැවිලිකරුවෙකු වූ එන්.සී.ඩී.ඩී. ගුණසේකර නම් දානපතියෙකු විසිනි. නමුත් ලුම්බිණියට ඇතුළුවීමට ඉන්දියාවේ බෙලහියා ප්‍රදේශයෙන් නව ප්‍රවේශයක් ස්ථාපිත කිරීමත් සමග නවුගර් හි පිහිටි මහාබෝධි විහාරයද අභාවයට ගොස් තිබුණ බව මෑතකදී එහි වැඩ සිට දැනට නැගෙනහිර පළාතේ ඊච්චලම්පත්තු, කල්ලඩිහි පාෂාණ පබ්බත විහාරයේ විහාරාධිපති රත්නපුරේ දේවානන්ද කිත්ති හිමියෝ කීහ.

බරණැස මිගදායේ ඉසිපතනාරාමයේ වැඩ සිටි ආනන්ද මෛත්‍රෙය නාහිමි එහිදී භාවනා කරන අතර ඇඟපතේ සහ පපුවේ අමාරුවක් වැළඳී තිබේ. බරණැස, මිගදායේ, ඉසිපතනාරාමයට බුදුන් වඳින්න එන ධනවත් හින්දු භක්තිකයෙකුගේ උපදෙස් මත වෛද්‍ය ප්‍රතිකාර නොගෙන හිමාචාල් ප්‍රදේශයේ කංඛල කියන ගමේ සිටි ස්වාමි නාරායනානන්ද යෝගීවරයා හමුවීමට ගියහ. ඒ ගමන ද අතිශය දුෂ්කර එකක් විය. දුම්රිය, බස්රිය සහ පාගමන්වලින් දින ගණනාවක් ගමනට ගතවිය.

කංඛලට ගිය අවස්ථාවේ ආගිය තොරතුරු කියන්නත් පෙර නාරායනානන්ද ස්වාමිවරයා තමන් වහන්සේ පැමිණි කාරණය පවසා එතුමාගේ දෑත් ඔසවා ආශිර්වාද කර කැක්කුම නැවැත්වූ බව ආනන්ද මෛත්‍රෙය හිමියන් ජීවතුන් අතර සිටියදී කිහිප දෙනෙකුටම කියා තිබුණි. එය යෝග භාවනා ක්‍රමයක් මත සිත දියුණුකරගෙන කළ ක්‍රමයක් බවයි උන්වහන්සේ පවසා තිබුණේ.

මේ ආකාරයට ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ද ආනන්දයේ උගන්වන කාලයේ ක්‍රීඩාවල නිරතව විවිධ ආබාධවලට ලක්ව නේවාසිකාගාර සහ අසනීප වාට්ටුවල සිටි ශිෂ්‍යයින්ගේ වේදනාව නැති කිරීමට සමත් වූ බව ගිය සතියේ කීවෙමි.යෝග භාවනාව කරනවිට මිනිසුන්ට නොපෙනන ලෙස කළ යුතු බව නාරායනානන්ද ස්වාමී ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ට උපදෙස් දී තිබුණි. එසේම ප්‍රාණයාම අභ්‍යාස තුළින් සමාධි යෝග භාවනා, පළපුරුදු ගුරුවරයෙක් හමුවේ කළ යුතු බවද උන්වහන්සේ අනුදැන වදාරා තිබුණි. ඒ වගේම නාරායනානන්ද ස්වාමිවරයා පරචිත්ත විජානනය හෙවත් අනුන්ගේ සිත් දැනගන්නා නුවණ ඉතාම උසස් ලෙස දියුණුකර ගෙන සිටි බව අත්දැකීමෙන් වදාළහ.නාරායනානන්ද ස්වාමීවරයා හමුවේ සමාධි භාවනාව වඩන විට තමන්ට අනුභව කිරීමට කැමති දෙයක් සිතට ආවිට නාරායනානන්ද ස්වාමී ඒවා පිළියෙල කර දීම තුළින් ඔහුගේ පරචිත්ත විජානනය හෙවත් අනුන්ගේ සිත් දන්නා නුවණ තමන්ට අවබෝධ වූ බවද ආනන්ද මෛත්‍රෙය හිමියන් කියා තිබුණි.

ප්‍රාණයාම- ප්‍රාණාපාන නම් වූ හින්දු භාවනාක්‍රමය ආනන්ද මෛත්‍රෙය නාහිමියන් නාරායනානන්ද ස්වාමිවරයාගෙන් ඉගෙන ගත්හ. අසනීප සනීප කරගැනීම යෝග ව්‍යායාම උනවහන්සේ මගින් කරගත්හ. සෘද්ධිවිධ ඥානය ලැබීමට කුණ්ඩලිනී යෝග ශක්තිය වර්ධනය කර ගැනීමට ගුරුවරයෙකුගේ සහාය නොමැතිව හැකි ලෙස වර්ධනය කරගෙන තිබුණි. හිමාචාල්වල සෘෂිකේශී හි සිටින ශිවානන්ද ස්වාමිවරයාගේ යෝගාශ්‍රමයේ සිට භාවනාව ප්‍රගුණ කර යෝගීන්ට ද බුද්ධාගමේ සමථ විදර්ශනා භාවනා ක්‍රම පැහැදිලි කරදීමට බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියෝ කටයුතු කළහ.බුද්ධාගමේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණ පමණක් ඇතිබව පමණක් තමන් දැනසිටි බව ශිවානන්ද ස්වාමිවරයා ඒ සමථ විදර්ශනා භාවනා ගැන අවබෝධකරදීමෙන් පසු ආනන්ද මෛත්‍රෙය හිමියන්ට පවසා තිබුණි. කසිණාදී සමථ භාවනාවන් ගැන බුද්ධාගමේ ඇතිබව කලින් දැන නොසිටි බවද ශිවානන්ද ස්වාමී පවසා තිබුණ අතර ‘මේ අගේ ඇති දේ ලෝකයාට විස්තර කර නොදෙන්නේ ඇයිදැයි’ තමන් වහන්සේගෙන් විමසූ බවද ආනන්ද මෛත්‍රෙය නාහිමියන් පවසා තිබුණි.

බුද්ධධර්මය පිළිබඳව ජනතාවට අවබෝධකර දීමේදී අනුගමනය කළ යුතු ක්‍රමයන් ගැන ආනන්ද මෛත්‍රෙය නාහිමිගේ පැහැදිලි කිරීම්වල ඉතා හොඳින් තේරුම් කර තිබේ. වර්තමානයේ දහම් දේශනා පවත්වන භික්‍ෂූන් වහන්සේලාට ඒවා හැදෑරීම ඉතාම වටින්නේය. එහෙත් නොවන්නේ ද එයමය. ආනන්ද මෛත්‍රෙය හිමියන් විසින් දේශනාකරන ලද ධර්ම දේශනයන් සම්බන්‍ධයෙන් පසුගිය සති දෙකේ මෙම කසිණ භාවනා ගැන සඳහන් කළෙමි. කසිණ භාවනාවෙන් සිත එකඟකරවාගෙන සෘද්ධි ධ්‍යානයන් ලැබිය හැකි බව බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචන උපුටමින් ආනන්ද මෛත්‍රෙය හිමියෝ පැහැදිලි කළහ.
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හිමාලයේ යෝගියකුගෙන් බලංගොඩ නාහිමියන් උගත්දේ හිමාලයේ යෝගියකුගෙන් බලංගොඩ නාහිමියන් උගත්දේ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, July 27, 2020 Rating: 5

0 comments:

Post a Comment