විහාරස්ථාන වලට නාගයන් අරක්ගන්න හේතුව

කලකට පෙර බියගම සියඹලාපේ මංසන්ධිය අද්දර වූ වගුරු බිම වෙත බොහෝ දෙනකුගේ අවධානය යොමුවිය. මුල් දිනවල උදේටත් සවසටත් කිහිප දෙනා මෙම වගුරු බිම වෙත බැලුම් හෙළන්නට වූ අතර එය සිය ගණනක් දක්වා වැඩිවුණේය. ඒ පිළිබඳ විමසා බලද්දී මට දැනගන්නට ලැබුණේ වගුරුබිමේ වනරොද අතරින් රිදී පැහැති නාගයකු පැමිණෙනු දර්ශනය වන බවයි. හිමිදිරියේ සහ සන්ධ්‍යා කාලයේ මෙම නාගයා දැකගන්නට ලැබී ඇත.ඊට කලකට කලින් ඒ ආසන්නයේ පිහිටි සියඹලාපේ විහාරස්ථාන බෝධියේ ආරක්ෂාවට පැමිණි එම නාගයා මෙලෙස දිනපතා හිමිදිරියේ සහ සන්ධ්‍යා කාලයන්හි මහජනතාවට දර්ශනය වන බවයි. මෙවැනි නාගයකු විශේෂ යැයි බොහෝ දෙනා කියන්නට වූහ. ඒ බුදුන් වහන්සේ කැලණියට වැඩම කළ අවස්ථාවේ එහි රජකම් කළ මණිඅක්ඛිත නාරජුගේ පරපුරට අයත් නාගයකු බවට කතාවක් පැතිර යාමයි.
මණිඅක්ඛිත කියන්නේ මැණික් වාගේ ඇස් කියන එකට. මැණික් වාගේ නිල්පාට ඇස් තියෙන්නේ සුදු පාට අයට විතරයි. ඒ හින්දා මණිඅක්ඛිත නාරජුන් සුදු පාට වෙන්න ඕනේ. මේ නාගරාජයාණන් සුදු පාට වගේම ඇස් දෙකත් නිල් පාට කියලයි කියන්නේ. ඒ වගේම ඉස්සර නාරජවරු ලක්ෂ ගණන් නාගයන් පිරිවරා ගෙන හිටපු බව සද්ධර්මාලංකාරය වගේ පරණ පොත්වල සඳහන් වේ. මේ සම්බන්ධයෙන් ඊට නුදුරු පිරිවෙනක ආචාර්ය පදවියක් දරන හිමිනමක් මෙසේ පැවැසීය.‘‘කැලණි ගඟ යටින් නාග ලෝකයට යන උමං දොරටුවක් තියෙනවය කියල ජන විශ්වාසයක් තියෙනවා. අන්න ඒ හින්දම තමයි කෝට්ටේ යුගයේ දී සැළලිහිණි සංදේශය රචනා කරපු තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ‘මනහර නා මෙනෙවියනිද ළවැලි පිට’ කියන කවිය ලිව්වේ. ඒකෙන් කියැවෙන්නේ ඒ කාලේ කැලණි ගඟ අයිනේ හිටපු රූමත් නාග මානවිකාවෝ මැණික් වීණා වයමින් බුදු ගුණ ගී ගායනා කළා කියලයි’’ උන්වහන්සේ වැඩිදුරටත් කීය.

කෙසේ හෝ සියඹලාපේ හන්දියට තරමක් නොදුරින් පිහිටි කැලණි නදියෙන් මතුව සියඹලාපේ විහාරස්ථානයේ බෝධිය ආරක්ෂා කරනු පිණිස පැමිණ සිටින එම සුදු පැහැති නාගයා අප ශාසන ඉතිහාසයට සම්බන්ධ බව හැඟවෙන බැවින් මෙම පුවත සැලවූ නව ශ්‍රී ජයවර්ධනපුර – මහනුවර මාර්ගය ඔස්සේ වාහනවලින් ගමන් කරන්නවුන්ද සියඹලාපේ හන්දියේ මඳක් නතර වී එම නාගයා දැක බලාගෙන ඇත.එනිසාම එම කාලය තුළ ඒ අවට පලතුරු, රසකැවිලි, සිසිල් බීම ආදිය අලෙවි කෙරෙන තාවකාලික වෙළෙඳ ආවරණ කීපයක් ඉදිවූ අතර ලොතරැයි, සාරවිට සහ අයිස්ක්‍රීම් ආදිය අලෙවි කරන සංචාරක වෙළෙන්දන්ද එම ප්‍රදේශයේ දී කොතෙකුත් දැකිය හැකි විය. එ් අනුව තවත් මඳ කලකදී ‘‘නාග රාජයා දර්ශනය වනුයේ පෙ.ව. 6-9 අතර සහ ප.ව. 4 ප.ව. 6 දක්වා පමණි. යනුවෙන් සඳහන් දැන්වීම් පුවරු සහ ‘‘නාග රාජයාට හිරිහැර කිරීමෙන් වළකින්න’‘ ආදී වශයෙන් මුද්‍රණය කෙරුණු නාම පුවරු එම වගුරු බිම අද්දර ප්‍රදර්ශනය කරන ලදී.

නමුදු මාස කිහිපයක් තුළ සමාජය පුරා පැතිර ගොස් තිබූ මෙම නාග උන්මාදය කෙමෙන් අඩු වී ගිය අතර එදා පැවැති තත්ත්වයට සාපේක්ෂව ඒ අද්දර පිහිටි සියඹලාපේ විහාරස්ථානය අද චිත්තාකර්ෂණීය පුද බිමක් බවට පත්ව තිබේ එමෙන්ම එදා නාගයා දුටු බව පැවසෙන වගුරු බිමෙන් සැලකිය යුතු කොටසක් අද වන විට ගොඩ කර රථගාලක් තනා ඇත.‘‘විස ඝෝර සර්පයා – දැක නෑරු මෝඩයා’‘ යනුවෙන් පාරම්පරික ජනවහරක් තිබේ. අවිහිංසා සංකල්පය පසෙක ලා අතීත ගැමියා දඬු මුගුරු ආදියෙන් පහර දී විෂ සහිත සර්පයන් මරා දැමූ බව නොරහසකි. එහෙත් අනෙකුත් සර්පයන්ට එසේ ආවාට – ගියාට පහර දිය හැකි මුත් නාගයන්ට පහර දීමේ දී ඒ සඳහා ආචාර පචාර සම්ප්‍රදායක් තිබී ඇති බව පෙනේ.‘‘නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා වගේ’’ යන පිරුළු ඊට කදිම නිදසුනකි. ඊට හේතුව නාගයාට විශේෂ විමර්ශන ශක්තියක් ඇතැයි යන ජන විශ්වාසයයි.

පාලි භාෂාවෙන් නාග යනු උත්තම පර්යාය වදනකි. සාමණේර භික්ෂුවක උපසම්පදා ශීලයට පත්වීමට පෙර සාමණේර දසසිල් හැර දමා උපසම්පදා ශීලයට පත් වන තුරු ගත වන අන්තර් අවස්ථාව හඳුන්වන්නේ ‘‘නාග’’ යන නමිනි. සූත්‍ර පිටකයට අනුව මෙම නාග යන වදනින් නාගයා සේම ඇතාද හඳුන්වනු ලැබේ. පාසල් දරුවන් පවා දන්නා ධම්ම පදයෙහි එන ‘‘අහං නාගෝච සංගාමේ ගාථාවෙන් ‘‘නාග’’ යනුවෙන් හැඳින්වෙනුයේ ඇතකු මිස නයකු නොවේ. බෞද්ධ සාහිත්‍යයේ උතුම් සතුන් ලෙස නාගයන් සහ ඇතුන් හැඳින්වෙන හින්දු සමයෙහි ඔවුන් අතරට වඳුරාවද එක් කොට තිබේ.

අප මේ බොහෝ දෙනකු නාගයකු දුටු තැන මරා දැමීමට වෙර දරනුයේ ඒ සත්ත්යාවගෙන් ජීවිත හානියක් සිදුවෙතැයි යන බියෙනි. එහෙත් බෝධි වෘක්ෂ ඇතුළු පැරණි බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව සේම පැරණි රජදරුවන් විසින් සඟවා තබන ලදැයි සැලකෙන නිදන් සහිත පර්වත වශයෙන් හඳුනාගෙන ඇති ස්ථාන ආශ්‍රිතව වෙසෙන නාගයන්ට අප ජන සමාජයෙන් කිසිදු හිරිහැරයක් නැත. විශේෂයෙන් බෝධි සහ සිද්ධස්ථාන ආශ්‍රිත නාගයන් සම්බන්ධයෙන් බෞද්ධ ජන සමාජය තුළ භක්ති පූර්වක හැඟීමක් තිබේ.නිදන් බිම් ආශ්‍රිත නාගයන් හට විපත් පැමිණවීමට අප ජන සමාජය පසුබට වනුයේ නාගයා යනු පාතාල බහිවරයාගේ සංකේතය බවට ඇති ජන විශ්වාසය නිසාය. නාග බහිරව ලෙස සැලකෙන මෙම බහිරවයා සම්බන්ධ පැරණි ශිලා ලේඛනයක් සහිත දේවාලයක් අවුකන රජමහාවිහාරයේද පිහිටා තිබේ.

පැරණි භාරතීය විශ්වාසයනට අනුව නාගයන් යනු දෙවියන්ට වඩා බලයෙන් අඩු එහෙත් මිනිසුන්ට වඩා බලයෙන් වැඩි අධි මානුෂික ශක්තිධර කොටසකි. සාමාන්‍ය නාගවේශයෙන් පෙනී සිටින ඔවුන්ට අවශ්‍ය විටෙක මිනිස් වේශයෙන්ද පෙනී සිටීමට පුළුවන. දැනට ප්‍රචාරය වන ප්‍රේම දඩයම ටෙලි නාට්‍යය ඇතුළු විස්මිත නාග – මිනිස් සබැඳියාව දක්වන කලා කෘතීන් විශාල ගණනක් මේ වන විට බිහිව තිබේ.‘‘එකල් හි නාග මානවිකාවෝ අවුත් මහ බෝ සතුන්ට මල් අස්නක් පැනවූහ. මහ බෝසතාණෝ සර්ප වේශය අන්තර්ධාන කොට’’ ආදී කොටස පන්සිය පනස් ජාතකයට එක්වීමෙන් පෙනී යන්නේ සමකාලීන හින්දු සමාජයේ් පැවැති අද්භූතවාදී සංකල්පය බෞද්ධ සාහිත්‍යයටත් රිංගා ගෙන ඇති බවයි.

වෙස්මාරු කර ගැනීමේ අද්භූතජනක හැකියාව පසෙක තිබියදී ‘‘නාග’’ යනුවෙන් මනුෂ්‍ය ගෝත්‍රයක් අතීතයේ විසූ බවට සේම මානව විද්‍යාත්මක ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබී තිබේ. ඉතිහාසයේ අනාදිමත් කාලයක ඉන්දියාවෙන් අප රටට සංක්‍රමණය වූ මෙම ජන කොටස දක්ෂ ජලජ යාත්‍රිකයන් වූ අතර ඔවුන් ඒ වන විට මෙරට පුරා පැතිර සිටි යක්ෂ ගෝත්‍රිකයන් රට තුළට පලවා හැර අතීත වඩුන්නාගල (පසුව කදුරුගොඩ, කත්තරෝඩෙයි) කල්‍යාණි (වත්මන් කැලණිය) මණි නාග දිවයින (වත්මන් නාගදීපය) මුක්තකාර ජනපදය (වත්මන් පොම්පරිප්පුව) සේරු ප්‍රදේශය (වත්මන් සේරුවාවිල) ආදී ප්‍රදේශවල කඳවුරු බැඳගෙන තිබේ.

පන්සිය පනස් ජාතකයේ එන වලාහස්ස ජාතකයට අනුව අතීත ශ්‍රී ලංකාව හෙවත් තම්බපණ්ණිය මිනී කන අතිශය රූමත් කාමුක යක්ෂණියන්ගේ දේශයකි. නාගදීපයේ සිට කැලණිය දක්වා ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට පැමිණෙන නැව්වල වෙළෙඳ කණ්ඩායම් තම උපායයන්ට හසු කර ගන්නා මෙම යක්ෂණියෝ පළමුව එම වෙළෙඳුන් සමග ලිංගිකාස්වාදය ලබා ගෙන එවැනි තවත් නැවක් පැමිණි පසු මුල් නැවෙන් පැමිණි වෙළෙඳුන් මරාගෙන කති.එහෙත් ආචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ට යාපනයේ වඩමාරච්චි ප්‍රදේශයෙන් හමුවූ වල්ලිපුරම් රන් සන්නසට අනුව නාගදීපය ඇතුළු යාපන රාජ්‍යය නාග ගෝත්‍රිකයන් සතුව පැවැති බව සනාථ වී තිබේ. එය ක්‍රි.ව. 66-111 වසභ රාජසමයේ ලියැවුණකි.

මහනුවර යුගයේදී ප්‍රබන්ධනය වූ බවට අනුමාන කෙරෙන ‘‘ආකාශට්ඨාච භුම්මට්ඨා’’ නමින් පටන් ගෙන දෙවියන්ට පින්දීමේ ගාථාවේ ‘‘දේවා නාගා මහිද්ධිකා’’ යනුවෙන් සඳහනක් තිබේ. මින් පැවසෙනුයේ අහසෙහිත් පොළොවෙහිත් වෙසෙන මහා සෘද්ධිමත් දෙවිවරුන් සහ නාගයන් යැයි සමහරක් අර්ථ දක්වති. එහෙත් තවත් පිරිසක් ඒ සම්බන්ධයෙන් දරනු ලබන මතය වනුයේ දේවානාගා, මහිද්ධිකා යන්නෙහි මහිද්ධිකා හෙවත් මහා සෘද්ධිමතුන් යනු අතීතයේ අප රටේ සිටි යක්ෂ ගෝත්‍රිකයන් බවය. මේ අතර ඒ පිළිබඳව දක්වන තුන්වන මතය නම් දේවා නාගා මහිද්ධිකා යන්න සිංහලයට නංවා ගත හැක්කේ ‘සෘද්ධිමත් දිව්‍ය නාගයන්’ ලෙසින් බවය.

ඔවුන් සතුව ඇතැයි පැවසෙන අද්භූත බලය කෙසේ වෙතත් මෙම නාග ගෝත්‍රිකයන් අතීතයේ අප රටේ විසූ ප්‍රතාපවත් මිනිස් කොට්ඨාසයක් බවට සැක නැත. එමෙන්ම ඔවුන් නාගයන් හා සම්බන්ධව ඇති සබැඳියාව සිංහල ජාතිය සිංහයන් සමග පවත්නා සබැඳියාවට සමාන වූවක් බව මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන සේවා සම්මානිත ඉතිහාස සහ පුරාවිද්‍යා මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතා කියයි. වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරන මහාචාර්ය කුලතුංග මෙසේ කීය.‘‘දැන් අපි සිංහලයෝ හැටියට සිංහයකුගෙන් පැවැත එන බවක් කිව්වට ඒක ඇත්තක් නෙවෙයිනේ. ලෝකේ ජන කොටස්වල තියෙන විශ්වාසවලට ගෝත්‍ර විහ්න වාදයට කියන්නේ (Toterism) කියලා. දැන් ඉන්දියාවේ මෞර්ය වංශය ගත්තොත් මොනරු එක්කත් ලම්බකර්ණ වංශය එළුවෝ එක්කත් ඔහොම සම්බන්ධ බවට පුරාණෝක්ති තියෙනවා. ඔය නාගයන්ගේ කතාවත් ඒ වගේ තමයි.

එහෙම නැතුව ඒ අයයි ඇත්ත නාගයොයි අතරේ කිසිම සම්බන්ධයක් නැහැ. කෙසේ හෝ අතීතයේ අප රටේ ජීවත්වූ මෙම නාග ගෝත්‍රිකයන් ජලාශ්‍රිතව ජීවත් වූ බුදු දහමේ මිතුරන් බව මානව විද්‍යාත්මකව පසු කලෙක බෞද්ධ විහාරාරාමයන්හි පිවිසුම් දොරටු ආශ්‍රිතව පෙන මඬුළු නාගරූප දැක්වීමෙන් මනාව තහවුරු වෙයි. ඉන් සංකේතාත්මකව පැවසෙනුයේ එම විහාරස්ථාන සඳහා නාගයන්ගේ ආරක්ෂාව හිමිවූ සහ හිමිවන බවය. එමෙන්ම ශ්‍රී ලංකාවේ විශාලම වාරි ව්‍යාපෘතිය වන මහවැලි යෝජනා ක්‍රමයේ මහවැලි අධිකාරියේ නිල ලාංඡනයද පෙනගොබ සතකින් යුතු නාගයකු වීම ඔවුන් හා ජලය අතර පැවැති සබැඳියාව විදහා පාන්නකි.පැරණි බෞද්ධ සිද්ධස්ථාන, බෝධි වෘක්ෂ ආදිය ආශ්‍රිතව වැඩිපුර නාගයන් ගැවසෙන කතාවේ ඇත්තක් තියෙනවා. මොකද ඒ වගේ තැන්වල දිගු කාලයක් තිස්සේ සිදුවෙන පූජා චාරිත්‍ර නිසා දිලීර බැක්ටීරියා වගේ දේවල් පදනම් කර ගත්තු ජෛවමය තත්ත්වයක් නිර්මාණය වන්න පුළුවන්.ඒ නිසාම ඒ අවට කෘමි සතුන් බහුල වීමත් උන් ආහාරයට ගන්නා කටුස්සන් මැඬියන් වගේ විලෝපික ගහනයන් බහුල වෙන්නත් පුළුවන්. මේ වගේ සාධක මුල් කරගෙන නාගයන් වගේ සර්ප විශේෂවලට එවැනි ස්ථාන හොඳ වාසස්ථානයක්.


ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා මහතා කීය.ඉවක් බවක් නැතිව සර්ප ගහණය විනාශ කර දැමීම පරිසර අසමතුලිතතාවට හේතුවකි. එමෙන්ම සිද්ධස්ථානවලදී නාගයන්ට විශේෂ ආරක්ෂාවක් සැලසෙන නිසා එම පරිසරයන් තුළ නාගයන් නිරුපද්‍රිතව දකින්න ලැබෙන බවද පශු වෛද්‍යවරයා කීය.‘‘ඒ වගේම අපි ජීවත් වෙන පරිසරයේ ඉන්නේ Naja Naja Naja යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන ඉන්දියානු නාගයයි. පූර්ණ මාංශ භක්ෂකයෙක් වන මේ සතා අවිහිංසක වෙන්න බැහැ වගේ නාගයන් ගැවසෙන සිද්ධස්ථානවලට යන බොහෝ දෙනෙක් ඒ පරිසරයට පිවිසෙන්නේත් එහිදී කටයුතු කරන්නේත් නාගයෙක් ඇතැයි යන පූර්ව වැටහීමකින් යුතුව. ඒ හින්දා ඒ නාගයන්ගෙන් අනතුරක් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ බොහෝම සීමිතයි.’’ ඔහු කීය.කෙසේ හෝ මෙවන් කරුණු අනාවරණය තුළින් මෙරට බෞද්ධ සංස්කෘතියට සහ බෞද්ධ දේපොළ හිමිකම් පිළිබඳ උරුමයන්ගේ පැවැත්මට කිසියම් තර්ජනයක් සිදුවිය හැකි බවටද ඇතැම්හු මත පළ කරති. එහෙත් ඒ සියල්ලටම පෙර අප සිතා බැලිය යුත්තේ මෙවන් අන්ධ මිථ්‍යා විශ්වාස සමාජය පුරා පැතිරෙන තරමට ඉන් සැබෑ බුදු සමයට සිදුවන බරපතළ හානිය පිළිබඳවය.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
විහාරස්ථාන වලට නාගයන් අරක්ගන්න හේතුව විහාරස්ථාන වලට නාගයන් අරක්ගන්න හේතුව Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, July 22, 2020 Rating: 5

0 comments:

Post a Comment