ජය ශ්‍රී මහා බෝධියේ අත්තක් කැපු උම්මත්තකයාගේ කතාව

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින්නේ පොළව මට්ටමෙන් ඉහළ විශේෂ පීඨයකය. එම විශේෂ පීඨය‍ට කිසිවෙක් පා තබන්නේ නැත. එය එතරම්ම පූජණීයය. වැඩ හිදිනා පීඨය ලෙස එම ස්ථානය හදුන්වයි. මේ වැඩ හිදිනා පීඨයද සමග මහ බෝධීය සදහා මලු හතක් පිහිටා තිබේ. එනම් වැලි මලුව, විහාර මලුව, දෙවැනි මලුව, රන්වැට මලුව, උඩමලුව පැරණි රන් වැට, මහ බෝ මලුව හා වැඩ හිදින පීඨයයි.සාමාන්‍ය ජනතාවට යාමට අවසර ඇත්තේ දෙවැනි මලුව වෙතය. එහි සිට වන්දනා මාන කටයුතුද කපු මහත්වරුන්‍ගේ දේවාශිර්වාද, විවිධ පූජා කටයුතු සිදුකල හැකිය. පසුගිය සියවසේ මුල් කාලයේදී වන්දනා කරුවන්ට මහ බෝධිය ආසන්නයටම යාමට අවසර තිබිණි. ඒ කාලයේ වන්දනාවේ එන අය මහබෝධිය දක්වාම ගොස් වන්දනා මාන කලහ. එය දෙවැනි මලුව ( අද වන්දනා කරන තැන ) දක්වා සීමා ඌයේ 1929 ජූලි 30 වැනිදා වූ සිදුවීමක් පදනම් කරගෙනය.

එදා උදේ ජේමිස් අප්පු නැමැති අයෙක් මහා බෝධිය වෙත පැමිණ ඇත. මලුවේ සිට ඇත්තේ ඔහු පමණි. අද මෙන් වන්දනා කරුවන් පිරිසකගෙන් පිරී නොපවතින අවධියකි. ඒ කාලයේදී ඉදහිට එන අයෙකු දෙන්නෙකු මහා බෝධිය අභියසට ගොස් වන්දනා කර යන්නේය. ජේමිස් එදා ආවේ මහ බෝ වදින්නට නොවේ. වට පිට බලා මහ බෝධිය පගට ගිය ඔහු පොරවක් රැගෙන බෝධියේ අත්තකට වේගයෙන් කොටන්නට විය. බෝධි මලුවේ කිසිවෙක් නැත. ඒ නිසා ජේමිස් පාඩුවේ මහ බෝධියේ අත්තට කොටමින් සිටී.මහ බෝධිය පැත්තෙන් ගහට කොටන හඩක් ආවාසයේ වැඩ සිටි හාමුදුරුවන්ට හා කැප කරුවාට ඇසී ඇත. මේ දෙන්නා කෑ ගසමින් මහ බෝධිය දෙසට දිව ආහ. නමුත් ඒ වනවිටත් ජේමිස් මහ බෝධියේ විශාල අත්තක් සම්පූර්ණයෙන් කපා දමා තිබුණි.

මෙය ජේමිස් කලේ ඇයිද යන්නට විවිධ කථා ප්‍රවෘත්ති එවක පලවිණි. සමහරු කීවේ ජේමිස් මෙය උන්මත්තකව කල වැඩක් යනුවෙනි. තවත් අය කීවේ ජේමිස් බීමතින් කරන්නට ඇති බවය. සමහරැ පැවසුවේ අන්‍යාගමිකයන්ගේ පෙළඹවීම මත ඔහු එය කර ඇති බවය. කෙසේ වෙතත් ජේමිස් කල පාඩුව ආපසු හැරවීමට කාටවත්ම නොහැකි විය. එය ඒ නිසා විශාල පාඩුවක් බවටම පත්විය. ජේමිස් විසින් කැපූ අත්ත ආදාහනය කෙ‍රිනි. ඒ සදහා විශාල පිරිසක් සහභාගි විය. අදත් ජය ශ්‍රී මහා බෝධියේ චායාරූපයේ කපන ලද අත්තක කොටසක් ලෙස දැක්වෙන්නේ එදා ජේමිස් බෝධියට කල විනාශයයි. ඒ අනුව මහ බෝධියේ ආරක්ෂාව සදහා එකලම අටමස්ථානාධිපති නාහිමියෝ මුල් වී යකඩින් වැටක් සවි කරවා තිබේ.. එම යකඩ වැට සවිකලාට පසු වන්දනා කරුවන්ට පවා මහ බෝධිය අසලට යාම සීමා කෙරිනි. අදටත් පවතින්නේ ජේමිස් කල අපරාධයෙන් මසු මහ බෝධියේ ආරක්ෂාව උදෙසා ගත් තීරණයේ ප්‍රතිඵලයයි.

දැන් යකඩ වැට වෙනුවට විශේෂ රන්වැට පිහිටා ඇත. දැනට අවුරුදු 15- 20 කට පෙර මහා බෝධියේ අලුත් රිකිල්ලක් හටගැණිනි. එය දුර්ලභ ලෙස සිදු වූවකි. මේ වනවිට එම රිකිල්ල ඉතාම හොදින් වැඩී පැවතීම සමස්ථ බෞද්ධ ප්‍රජාවගේම වාසනාවක් ලෙස දැක්විය හැකිය.ජය ශ්‍රී මහා බෝධිය අපේ රටේ ජනතාව කවර විපතක් වේවා, කවර සැපතක් වේවා, කලින් සිහිපත් කරන උතුම් ස්ථානයකි. ජය ශ්‍රී මහා බෝධිය අසලට ප්‍රතිපත්තියෙන් පේ වී පැමිණ පුද පූජා පවත්වා තමන්ගේ යහපත් කාරණා කී විට එය ඉෂ්ඨ වන බව බොහෝ සැදැහැවත්තු සලකති. මේ පිලිබද නොයෙක් කථා අතරින් දඹදිව ජය ශ්‍රී මහා බෝධි ඉතිහාසයේ එක් කථාවක් උපුටා දක්වමි. සුජාතා සිටු දියණිය දරු සම්පතක් පතා ඇසතු බෝධියට බාරයක් වූවාය. සිද්ධාර්ථ බෝධි සත්වයෝ බෝමැඩ සම්බුද්ධත්වය අධිෂ්ඨාන කල දා සුජාතාව කිරිපිඩු පූජා කලේ දරු සම්පත ලද සතුට මෙන්ම බාරය ඔප්පු සිද්ධ කිරීම වෙනුවෙනි. ඒ අනුව අතීතයේ පටන් ඇසතු බෝධිය නොයෙක් බාර හාර වෙනුවෙන් මහ ජනයා භාවිතා කර ඇති බව පෙනේ.

එය වඩාත් අර්ථ සම්පන්න වූයේ මහ බෝසතාණන් සම්බුද්ධත්වයට පත් වීමෙන් පසු ඇසතු බෝධිය සියලු බෞද්ධ ජනතාවගේ පූජා භක්තියට වැඩ වැඩියෙන් පාත්‍ර වූ බැවිනි.ලක්දිව පිහිටි ජය ශ්‍රී මහා බෝධියද සියලු බෞද්ධ ජනතාවගේ ප්‍රාර්ථණීය බෝධියක් බවට පත්ව ඇත. කවර සුභ කටයුත්තකටත් පෙර අපේ රටේ ජනයා මහ බෝ වැද ආශිර්වාද ලබා ගනිති. යම් යම් අපල අපද්‍රවයන්, රෝග පීඩා ආදිය ප්‍රශ්න, ගැටලු, දුෂ්කර කාල සමයන් හිදී මහ බෝධිය වෙත පැමිණ පුද පූජා පවත්වා තම තමන්ගේ දුක සැලකොට නිවීම සැනසීම ඉල්ලා සිටිති. පැරණි කාව්‍යයන්හිද මහ බෝ අනුහස මහ ජනයා පැතූ ආකාරයටම පහත පරිදි දැක්විය හැකිය.

මහ බෝධිය බුදුරජාණන් වහන්සේ හා සම‍ාන ජීවමාන වස්තුවකි. රටේ යම් විපතක් දුෂ්කර කාල සීමාවක් පවා මහ බෝධියේ විවිධ පක්ෂණ වලින් විද්‍යාමාන වන බව ජනශ්‍රැත පර්යේෂක මාමිණිය‍ාවේ ඉලංගසිංහ මහතා පවසයි.රටේ දුගති දායක කාල පරිච්ඡේද වලදී මහ බෝධියේ පත්‍ර අදුරු පැහැ ගන්නා බව කියැවේ. එසේම රටේ යහපත් කාල සීමාවන් හිදී මහ බෝපත්‍ර රන් වන් පාටින් දිදුලන බවද කියැවේ. එය අපූර්ව හාස්කමක් හැටියට සැලකිය හැකිය. සමහරක් මහ බෝ පින්කම් අවස්ථාවල බෝපත්‍ර රන් වන් පාටින් දිදුලීම බොහෝ දෙනා දුටු ආශ්චර්යමත් සිදුවීමක් ලෙස දැක්විය හැකිය. එසේම රටේ විපත්තිකර අවස්ථාවල බෝධිය එය පෙර දැක් වූ ආකාරය මාමිණියාවේ ඉලංග සිංහ මහතා අපිට විස්තර කලේය.

ගාමිණී දිසානායක මහතා එල්.ටී.ටී.ඊ බෝම්පයකට හසුවීමට දින කිහිපයකට පෙර මහ බෝධි වන්දනාවට පැමිණි අවස්ථාවේ බෝධියේ අතු ශාකාවක් කැඩී ගියේය. ඉන් පෙන්නුම් කලේ දිසානායක මහතාට යම් විපතක් සිදුවීමේ ඉඩකඩ පවතින බවය. එසේම චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණිය ජනාධිපතිනිය සමයේ මහබෝ වදින්නට පැමිණියාය. එදිනද මහ බෝ අතු ශාකාවක් කැඩී ගියේය. ඉන් දින කිහිපයක් ඇවෑමෙන් ජනාධිපතිනිය සමභාගී වූ රැස්වීමේ බෝම්බ පුපුරා මිනිස් ජීවිත රාශියක් අහිමි වූ අතර එතුමියගේද ඇසක් ආභාධයට ලක්විය.

මේව බොරු නෙවෙයි. මහ බෝධිය රටේ විපත් අවස්ථා පෙන්නුම් කරනවා. රටේ දේශපාලන අවුල් වියවුල් පවතින අවස්ථාවල බේ පත්‍ර අදුරු පාට වෙනවා. පසුගිය කාලයේත් එහෙම උනා. මහ බෝධියේ සිදුවන සුලු සුනු වෙනස්කම් ගැඹුරින් නිරීක්ෂණය කලොත් රටේ උදා වී ඇති තත්වය මෙන්ම ඉදිරියට උදාවන්නේ හොද කාලයක්ද නරක කාලයක්ද කියල තීරණය කරන්න පුලුවන්. ශ්‍රී මහා බෝධිය කියන්නේ මේ රටේ ආරක්ෂක වස්තුවක්. ඉලංගසිංහ මහතා කීවේය.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ජය ශ්‍රී මහා බෝධියේ අත්තක් කැපු උම්මත්තකයාගේ කතාව ජය ශ්‍රී මහා බෝධියේ අත්තක් කැපු උම්මත්තකයාගේ කතාව Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, July 20, 2020 Rating:

0 comments:

Post a Comment