මිස්‌සක පව්වේ අදටත් සිදුවෙන හාස්කම් (Miracles That Still Happen Today In Missaka Pawwa)

සිව් බුදුවරු වැඩි මිස්‌සක පව්වේ සතුන් දඩයම් කිරීම මේ රට පාලනය කළ ඉංග්‍රීසීන් පවා තහනම් කරමින් මිහින්තලය පූජා භූමිය පුරා දැන්වීම් ප්‍රසිද්ධ කර තිබූ බව ඉතිහාසයේ සඳහන්ය. එහෙත් අපේ කාලේ මස්‌ වැද්දෝ අම්බස්‌තලය පීරමින් සතුන් සොයා මරාගෙන කති. මස්‌ කර ‘ඕල් සේල්’ විකුණති. එවැනි පාපකාරී තිරිසනුන්ට ඒ පව් මිහිපිටදීම පඩිසම් දෙන්නේය. ඒ බව අපිට කීවේ අත්දැකීම් සහිත ප්‍රදේශවාසියෙකි. මේ ඒ කතාව ඇතුළුව මිහින්තලය පූජා භූමියේ අනුහස්‌ පිරුණු දෙවැනි සටහනය…මිහින්තලය පුදබිමේ ආශ්චර්යයේ තතු විත්ති සොයාගෙන අපි අවට පුරාණ ගම් පුරා ඇවිද්දෙමු. එම සංචාරයේදී විවිධ පුද්ගලයන් මිහින්තලේ ආශ්චර්යය ගැන අප සමඟ කතාබහ කළේය. ඔවුන් අතර ඡායාරූප පළකරනවාට කැමැති, අකැමැති පුද්ගලයන් ද සිටියහ. අම්බස්‌තලයේ දඩයමේ ගොස්‌ වෙච්ච ඇබැද්දිය කියූ ධර්මෙ ද ඡායාරූප පළකිරීමට අකැමැති විය. එහෙත් ඔහු දඩයමේ ගොස්‌ වෙච්ච ඇබැද්දිය සහසුද්දයෙන් අපට කීවේය. මේ ඒ කතාවය.

“දවසක්‌ අපි තුන්දෙනෙක්‌ නිවාඩු පාඩුවේ සතෙක්‌ දඩයම් කරගන්න කැලේට රිංගුවා. තුවක්‌කුවක්‌ තියෙන යාළුවකුත් ගමනට එකතු වුණා. අඩියකුත් ගහලා හවස හතර, පහ වෙනකොට කැලේ මැද වතුර වළක්‌ ළඟ රැකගෙන හිටියා. ඉර බැහැගෙන එනකොට කැළෑ රොදවල ලැගලා හිටපු සත්තු එකා, දෙන්නා තණ කන්න එළිපහළියට ආවා. ඒත් අපි කලබල වුණේ නෑ. අපේ ටාගට්‌ එක තිබුණේ මුව නාම්බෙක්‌. ඇඳිරි වැටෙනකොට කොහේද හිටිය මුව රංචුවක්‌ ඇවිත් වතුර බොන්න වළට බැස්‌සා. අපේ යාළුවත් මාන බලලා මුව නාම්බෙකුට පත්තු කළා. වෙඩි හඬත් එක්‌ක මුව රංචුව සී, සී කඩ දිව්වා. වෙඩි වැදුණු මුවත් අන්තරස්‌දාන වුණා. වතුර වළ වටේ කැලෑ රොද පීරලා කොහොමහරි සතාව හොයාගත්තා. වෙඩි වැදිලා තිබුණේ ගාතෙකට.

එතකොටත් ඌ පණ අදිනවා. එහෙම්ම ටික වෙලාවක්‌ ඉන්න දීලා කැලේ මැද තියාගෙනම සතාව සුද්ද කරගෙන මස්‌ ටික අරගෙන ආවා. ගෙදරට ඇවිත් ගෝනිය ලිහලා බලනකොට තනිකරම අඟුරු ගොඩක්‌. ඒක දැක්‌කම අපිව වෙව්ළුවා. එහෙම්ම ගෝනියේ කට ගැටගහලා වත්ත පහළ වළ දැම්මා. ඉතිරි වෙලා තිබුණු අරක්‌කු ටිකත් බීලා යාළුවො දෙන්නෙක්‌ මෝටර් බයික්‌ එකත් ස්‌ටාර්ට්‌ කරගෙන ගෙවල්වලට යන්න ගියා. බයිසිකලය අපේ වත්තෙන් පාරට දානකොටම ත්‍රීවීල් එකක්‌ ගෙනත් ගැහුවා. දෙන්නව දෙපැත්තට විසි වුණා. බයිසිකලේ පැදපු කෙනාගේ කකුල කැඩුණා. පස්‌සේ ගිය කෙනාගේ අතපය තුවාල වෙලා තුනටිය ඇනිලා තිබුණා. කකුල කැඩිච්ච කෙනා මාස ගාණක්‌ වෙදකම් කරලා සනීප වුණේ. එදැයිං පස්‌සේ මම නම් මේ කැලේ සතෙකුගේ මස්‌ කෑල්ලක්‌ කන්නෙවත් නෑ…”

“මේ කැලේ දඩයම් කරන කිසිම කෙනෙකුට සුගතියක්‌ නෑ. සමහර අය සත්තු වගේ මැරිලා ගියා. තව සමහර අය අත පය කඩාගෙන එක්‌තැන් වෙලා ඉන්නවා. ඒවා දැන, දැනත් මුදල් තණ්‌හාවට, බඩජාරිකමට දඩයමේ යන අය ඉන්නවා. ඒ අයටත් රඟේ දැනෙන්නේ විපත්තියක්‌ වෙච්ච දවසට. කල හොඳනං හොඳයි. කල නරක්‌ වෙච්ච ගමන් බඩු පත්තු වෙනවා…” ධර්මෙත් හොඳ වෙඩික්‌කරුවෙකි. එහෙත් දැන් ඔහු පවේ ආදීනව තේරුම් ගෙන, අම්බස්‌තලයේ අනුහස්‌ දැක දඩ කෙළියෙන් ඈත් වී හේනක්‌, කුඹුරක්‌ අස්‌වද්දගෙන දැහැමි දිවිපෙවෙතක්‌ ගත කරමින් සිටින්නේය.

මිහින්තලේ කඩපිලකදී අහම්බෙන් මුණගැසුණු ධර්මෙගේ කතාවට විරාමයක්‌ තබා අපි කටුසෑය වෙතට පැමිණියෙමු. එතැන කපුමහත්වරු කිහිපදෙනෙක්‌ම සිටීයහ. ඔවුන් අතර මිහින්තලේ විෂ්ණු දේවාලයේ කපු ධුරය දරන මහින්ද සෙනෙවිරත්න ළඟ අපි නතර වීමු. මිහින්තලේ ගෙවල් විස්‌සේ පදිංචි මහින්ද ජීවත්වීම සඳහා කුඩා ව්‍යාපාරයක්‌ කරගෙන යන්නෙකි. බැතිමතුන්ගේ ඉල්ලීම්වලට අනුව අෂ්ටඵල බෝධීන් වහන්සේ ළඟට, විෂ්ණු දේවාලයට පැමිණ බාර හාරවීම, පුද පූජා පැවැත්වීම වැනි වත්පිළිවෙත්වල යෙදෙන්නේ දේව කාර්යයක්‌ ලෙස සලකමිනි. විෂ්ණු දෙවියන් ඉදිරියේ කන්නලව් කිරීමට හෝ අෂ්ටඵල බෝධීන් වහන්සේ අභියස බෝධි පූජා පැවැත්වීම සඳහා කිසිදු විටක ඔහු බැතිමතුන්ගෙන් රුපියලක පඬුරක්‌ අය කරන්නේ නැත. ඔහුගේ සේවය දේව රාජකාරියක්‌ම පමණි.

“අපේ තාත්තා තමයි විෂ්ණු දේවාලයේ කපුකම කළේ. තාත්තා නැති වුණාට පස්‌සේ තමයි මම භාර ගත්තේ. යමක්‌ බලාපොරොත්තුවෙන් විෂ්ණු දේවාලයට ඇවිත් බාරයක්‌ වුණහම බොහෝ දුරට ඒක සාර්ථක වෙනවා. ඒත් සිතන, පතන දේවල් සාර්ථක වෙන්නේ බාර හාර වෙන පුද්ගලයන්ගේ පිං, පව් මත. ප්‍රාර්ථනාවේ යහපත්, අයහපත් තත්ත්වය මතයි. මේ අවට ගම්වල මිනිස්‌සු මොන දේ කරන්නත් ඉස්‌සෙල්ලා විෂ්ණු දේවාලයට ඇවිත් දෙවියන්ගෙන් අවසර ගන්නවා. මිහින්තලේ කටුපොත ගමේ හැම පවුලකම වගේ කොල්ලෙක්‌ ආරක්‍ෂක අංශයට බැඳිලා ඉන්නවා. කොල්ලො එකසිය පනහක්‌ විතර පොලිසියේ හමුදාවේ අදටත් සේවය කරනවා. යුද්දේ කාලෙත් ඒ කොල්ලො සටන් බිමේ යුද වැදුණා.

ඒත් සටන් බිමේදී කිසිම කොල්ලෙකුට සිරීමක්‌වත් වුණේ නෑ. එහෙම ආරක්‍ෂා වුණේ ඒ කොල්ලො නිවාඩු ඇවිත් යනකොට මිහින්තලේ විෂ්ණු දේවාලයට ගිහින් කිරි ආහාර පූජා කරලා, අෂ්ටඵල බෝධීන් වහන්සේට බාර හාර වෙලා ගිය නිසයි. කටුපොත ගමේ මිනිස්‌සු කුළුඳුලේ ඉපඳෙන දරුවා මුලින්ම අරගෙන එන්නේ මිහින්තලේ අෂ්ටඵල බෝධීන් වහන්සේ ළඟට. ඊට පස්‌සේ විෂ්ණු දේවාලයට අරගෙන ගිහින් දෙවියන්ට භාර දෙනවා. එදා ඉඳලා ඒ දරුවන්ට දෙවියන්ගේ රැකවරණය, ආශිර්වාදය තියෙනවා…” මහින්දගේ කතාව ඇසෙන විට මගේ සිත කටුපොත ගමට දිව ගියේය. කටුපොත ඉපැරැණි ගමට යන තෙක්‌ සිත නොඉවසිලිමත් විය. අනතුරව මහින්දව පෙරටු කරගත් අපි කටුපොත ගම සොයාගෙන ගියෙමු.

කුඹුරු යායවල් මැදි කරගත් කටුපොත ගම සොබාසිරියෙන් අනූනය. පිරිසිදු වාතයෙන් පිරුණු ඒ සුන්දර ගම්මානයේදී සිතට දැනුණ නිදහස්‌ බව, ගත වෙලාගත් සිසිලස පුදුමාකාරය. ඒ ගමේ වැසියන් ද ප්‍රිය සිනාවෙන්, කතාවෙන් පිරිපුන් නිහතමානී සුන්දර මිනිසුන්ය. කොන්ක්‍රීට්‌ ඇතිරූ පටු මඟ ඔස්‌සේ ගමන් කළ අපි ගම් මැද්දෑවේ පුංචි පැල්පතක්‌ ඉදිරිපිට නතර වීමු. දැලි බැඳුණු රෙද්ද, හැට්‌ටයක්‌ ගත දටවාගත් වියපත් මවක්‌ බුලත් කසටයෙන් පිරුණු දත් විරිත්තමින් අප ඉදිරියේ සිට ගත්තාය. රෙදි පොටේ එල්ලුණු පුංචි සිඟිත්තියක්‌ ද අප දෙස බලා ඉඟි මරති.

‘අම්මේ… මේ මහත්තෙලා ඇවිත් ඉන්නේ මිහින්තලේ පුදබිමේ අනුහස්‌ ගැන පත්තරේට ලියන්න…’ ඒ මවට මහින්ද අපව එසේ හදුන්වා දුන්නේය.”මිහින්තලේ කියන්නේ හාස්‌කම් පිරුණු බිමක්‌ පුතේ… අපිට එන, දුක්‌ කරදර සේරම කියන්නේ අෂ්ටඵල බෝධීන් වහන්සේටයි, විෂ්ණු දේවාලයටයි. කිරිගහට ඇන්නා වගේ ඒ කරදර දිය වෙලා යනවා. අපි මොන දේ කරන්නත් ඉස්‌සෙල්ලා විෂ්ණු දෙවියන්ගෙන් අවසර ගන්නවා. දෙවියන්ගේ බැල්ම නැතිව මේ හතර මායිමේ අපිට ජීවත් වෙන්න බෑ. වටේම කැලේ. කිසිම දවසක මේ ගමේ කෙනෙක්‌ට සර්පයෙක්‌වත් හොට තියලා නෑ. මගේ පුතා යුද බිමේ පෙරමුණේ සටන් කළා.

දෙවිහාමුදුරුවො ආරක්‍ෂා කරලා දුන්නා. මගේ පුතා අවුරුදු විසිතුනක්‌ හමුදාවේ. අදටත් මගේ දරුවා දෙවියෝ ආරක්‍ෂා කරනවා. යුද්දේ කාලේ කොටි ගහලා මැරිලා රට පුරා ගම්වලට මිනී ගෙනිව්වා. දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් අපේ ගමට තුවාලකාරයෙක්‌වත් ගෙනාවේ නෑ…” දෙවියන් කෙරෙහි දැඩි භක්‌තියට වියපත් මව හැඟීම්බර විය. වචන පැටලිණි. කතාව නතර විණි. ඇය පුංචි මැණිකාය. වයස අවුරුදු හැටඅටකි. එහෙත් ජීවිත කාලයම කුඹුරේ, හේනේ කැත්ත, උදැල්ල සමඟ ඔට්‌ටු වෙච්ච පුංචි මැණිකා වයසටත් වඩා පෙනුමෙන් වියපත්ය.

“පුතාලට කියන්න යුද්දේ කාලේ දවසක්‌ හරි අපූරු සිද්ධියක්‌ වුණා…” නැවතත් වෙව්ලන මුවේ හඬ අවදි වූවාය.”මගේ පුතා නිවාඩු ඇවිත් කෑම්ප් එකට යන්න ගියා. වව්නියාවට යන්න ගිය දරුවට බස්‌ එකේ නින්ද ගිහින් තිරප්පනේට ගිහින්. එදාම දරුවා ගිය කෑම්ප් එකට කොටි ගහලා තිබුණා. කෑම්ප් එකට ගැහුවා කියලා අපිට ආරංචිය ආවා. ඒත් පුතා ගැන කිසිම තොරතුරක්‌ නෑ. පස්‌සේ මම විෂ්ණු දේවාලයට දිව්වා. කපු මහත්තයා දෙවියෝ ඉදිරියට ගිහින් මායං වෙලා කිව්වා කිසි දේකට බය වෙන්න එපා. ඒකාව මම හිස හරවලා යෑව්වා, හෙට උදේ වෙනකොට ගෙදරට එයි කියලා. ඒ කිව්වා වගේම උදේ පාන්දර කොල්ලා ගෙදර ආවා. එතකොට දේවාලයේ කපුකම කළේ මේ මහින්ද පුතාගේ තාත්තා…”

“මේ සිද්ධියත් පුතාටම වෙච්ච ඇබැද්දියක්‌ තමයි. මහා වැස්‌සේ දවසක්‌ පුතා අනුරාධපුරේ ගිහින් ඇවිත් මිහින්තලේ හන්දියෙන් බස්‌ එකෙන් බැහැලා තිබුණා. වැස්‌ස නිසා පාර හරියට පෙනිලා නෑ. පුතා බස්‌ එකෙන් බහිනකොටම වාහනයක්‌ ඇවිත් හප්පගෙන ගිහින්. පුතාව විසි වෙලා ගිහින් පාර අයිනේ තිබුණු දිවුල් ගහක වැදිලා. දෙවිහාමුදුරුවන්ට පිං අයිති වෙන්නේ මගේ පුතාට සිරීම් තුවාලයක්‌වත් වෙලා තිබුණේ නෑ. එතැන හිටිය අය අදටත් ඒ සිද්ධිය පුදුමයෙන් කතා කරනවා…”

පුංචි මැණිකා අම්මාගේ ගෙපිළෙන් මඟට වැටුණු අපට වියපත් පියෙක්‌ මුරිච්චි විය. ඔහු උබේසේන මාමාය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු මුර සේවකයෙකි. කාලයක්‌ මිහින්තලේ පූජා භූමියේ මුරකරුවෙකි. ඔහු මිහින්තලය ගැන නොදන්නා අස්‌සක්‌ මුල්ලක්‌ නැත. ඔහු මිහින්තලේ ඉතිහාසයේ අත් පොතකි. දැන් අපි ඒ පොතේ පිටු එකිනෙක පෙරළමු.

mihinthale2″අපේ ගම්වල ගෑනු දරුවකුට දරුවෙක්‌ ලැබෙන්න ඉන්නකොට මුලින්ම කරන්නේ විෂ්ණු දේවාලයට ගිහින් බාර වෙන එක. දරුවා ලැබිලා මාස තුනක්‌ ගියාට පස්‌සේ ගිහින් ඒ වෙච්ච බාර ඔප්පු කරනවා. සමහර අය තිරයක්‌ බාර වෙනවා. තව සමහර අය පරානෙට, පරානයක්‌ බාර වෙනවා. තිරයක්‌ කියන්නේ දේව පිළිමයට පළන්දන්න නිල් පාට රෙදි කඩක්‌. පරානෙට පරානයක්‌ කියන්නේ පොල් පැළයක්‌. නැති නම් සල්ලි දෝතක්‌. ඒ වගේම තමයි කටුසෑයේ බහිරව හාමුදුරුවො. හොඳට, හොඳයි නරකට, නරකයි…” රැළි වැටුණු මුහුණේ ලේ නහර පිප්පේ. ඇස්‌ නළලේ රඳවාගෙන ඔහු කටුසෑයේ බහිරවයන් ගැන කතා කරයි.

“ඒ කාලේ අපිත් අඩියක්‌ පුඩියක්‌ ගහලා තමයි රෑට නිදාගන්නේ. කොච්චර අඩි, පුඩි ගැහුවත් මස්‌ කාලා කටුසෑය පැත්තට යන්නේ නෑ. දවසක්‌ රෑක මම කටුසෑයේ ඉන්නකොට අපේ ගමේ මුස්‌ලිම් හාදයෙක්‌ ආවා…”‘ලේකම් මහත්තයා මම හොඳට හරක්‌ මස්‌ කාලා අරක්‌කු බාගයක්‌ම බීලා ඉන්නේ, මෙන්න මම ලේකම් මහත්තයටත් ගෙනාවා…’ කියලා මටත් කාලක්‌ දිග් කළා. ඒක කිව්වම මාව දෙලොව රත් වුණා.කෑවා නම් බිව්වා නම් කට පියාගෙන හිටපං. මේ තැන ගැන නොදෙන ද උඹ කතා කරන්නේ…’ කියලා මම සැර දැම්මා.


‘ලේකම් මහත්තයා බය වුණාට මම ඔය බහිරවයන්ට බය නෑ…’ කියලා කයිවාරු ගගහා ගල් පඩි නැඟලා ගිහින් මැද මළුවේ සන්නිපාත ශාලාවේ දෙන්නා එක්‌ක නිදාගත්තා.මහා රෑ දොළහට විතර ‘අනේ ලේකම් මහත්තයො… කවුද සුදු ඇඳගත්ත මිනිහෙක්‌ මගේ බෙල්ල මිරිකනො…’ කියලා බෙරිහං දීගෙන නැඟිටලා ගාල කඩා ගත්ත වගේ දිව්වා.”මහත්තයාට කියන්න මම බලනකොට සුදු ඇඳ ගත්තු මිනිහෙක්‌ උසට, උසේ හිට ගෙන ඉන්නවා.

මූණක්‌ පෙන්නේ නෑ. කඳ විතරයි. මාව සිහිය නැතිව වැටුණා. ඒ එක්‌කම මගේ මුහුණට වතුර බින්දු කිහිපයක්‌ වැටුණා. සිහිය ඇවිත් බලනකොට කවුරුවත් නෑ. මිහින්තලේ පූජා භූමියේ ඉඳගෙන බහිරව හාමුදුරුවන්ට බැන්නොත් එදා රෑට ඒ බැනපු එකා ළඟට ඇවිත් කරදර කරනවා සිකුරුයි. මිහින්තලේ රාජ ලෙන ළඟ තියෙන බහිරව රූපය ලංකාවේ වෙන කොහේවත් නෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කරපු කෙනෙක්‌ විදිහට මම විශ්වාසයෙන් කියන්නේ. ඒ වගේම තමයි මිහින්තලේ වඳින්න ඇවිත් විෂ්ණු දෙවියන්ට බැනලා අපහාස කරලා ගියොත් ගියාම තමයි. විසුමක්‌ නෑ. ඒ කාලේ මම හැමදාම උදේට විෂ්ණු දේවාලයට ගිහින් වැඳ නමස්‌කාර කරලා තමයි පුරාවිද්‍යා කාර්යාලටය ගියේ. දවස තිස්‌සේ ඒ ආශීර්වාදය මට තිබුණා…”
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මිස්‌සක පව්වේ අදටත් සිදුවෙන හාස්කම් (Miracles That Still Happen Today In Missaka Pawwa) මිස්‌සක පව්වේ අදටත් සිදුවෙන හාස්කම් (Miracles That Still Happen Today In Missaka Pawwa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 23, 2020 Rating: 5

0 comments:

Post a Comment