කඹයක් උඩ කාන්තාවන් නටන දෙවොලේ හාස්කම් (The Miracles Of The Temple Where Women Dance On A Rope)

අඩි 20 පමණ උසින් ආධාරක කණු දෙකක් හරහා බැඳි කඹයකි. උඩුකය නිරුවත් යෞවනිය “බෙර හඬේ රිද්මයට රඟ දෙමින් කඹේ දිගේ ඒ මේ අත යන්නීය. රජතුමා කතරගම දේවාලය ට මුහණ ලා සැදුම්ලත් සිංහාසනයේ සිට ආශාවෙන් මේ රැඟුම් බලා සිටින්නේය. දෙවන විමලධර්මසූරිය රජදවස කරවන ලද බදුල්ල කතරගම දේවාලයටම පමණක් ආවේණික වූ මේ අංගය එදා රජ දවස ඉදිරිපත් වී ඇත්තේ එලෙසිනි. ඒ ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ගෙවැදීමට පෙරය. අදටත් මේ අංගය බදුල්ල කතරගමේ දෙවාලයේ අවසන් රන්දෝලිි පෙරහර ගෙවැදීමට පෙර සිදුවුවත් අද කඹේ නටන්නේ ඇඟ වැසෙන සේ සළු පෙරවූ මැදිවියේ කතකි. කඹය අඩි 4ක් පමණ උසින් අඩි 5ක් පමණ දිගට බැඳ ඇත්තේය. ඇය මේ කඹය දිගේ යන්නේද අසීරුවෙනි. කඹේ නැටීම පමණක් නොව පෙත්තේ කැරකැවීමද මෙම දෙ​ෙවාලට පමණක් ආවේණිකය.

අඩි 20 ක් පමණ උස රිටක උලක් මත උදරය තබා තිරස්ව සිරුර හසුරුවමින් සිහිමූර්ඡා වන තෙක් කරකැවීම එම අංගයයි. එය අදත් ක්‍රියාත්මක වෙතත් රිටේ උස හා කරකැවෙන කාලය අඩුය. එදා මෙදාතුර මිනිසුන්ගේ කාය ශක්තියද ආත්ම ශක්තියද පිරිහී ගොස් ඇතත් සම්ප්‍රදායන් නොනැසී පවත්වාගෙන ඒමට බලධාරීන් දරන්නේ මහත් වෑයමකි. බදුල්ල කතරගම දේවාලය දිවයිනේ කතරගම දේවාල අතර සුවිශේෂී එකකි. දිගම දිග්ගෙය පිහිටියේ මෙම දෙවොලේය. මීටර් 300 ක් පමණ දුරින් පිහිටි සිංහාසනය දේව මන්දිරයේ ඇතුළත දිස්වෙන අයුරින් කළ ඉදිකිරීමද විශ්මයජනකය. මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ මෙම දෙවොලේ අසාමාන්‍ය ඉතිහාස කතාවයි.

ක්‍රි.ව. 1584 සිට 1604 දක්වා කාලයේ මහනුවර රාජධානියේ රජකම් කළේ පළමු වන විමලධර්මසූරිය රජුය. ඔහු රජකමට පත් වී පළමු වසරේම කොළඹ කොටුව ඇතුළු මුහුදුබඩ ප්‍රදේශ කීපයක පාලන බලය අල්ලාගත් පෘතුගීසීන් මුළු ලක්දිවම නතු කර ගැනීමේ අටියෙන් පෙද්‍යෙ ද සූසා නම් පෘතුගීසි සෙන්පතියෙකුගේ නායකත්වයෙන් බළඇණියක් මහනුවර රාජධානිය ආක්‍රමණයට යැව්වේය. මෙම බළඇණියට 9000 ක් දෙනා ඇතුළත් වූහ. මෙම බළඇණිය 1584 අප්‍රේල් මාසයේයේදී කඩුගන්නාව බලන කපොල්ල සමීපයේදී විමලධර්මසූරිය රජුගේ සේනාව හා සටන්වැදිණ. එම සටනේදී පරාජය ලැබූ විමලධර්මසූරිය රජු පසුබැස ශ්‍රී දන්තධාතූන් වහන්සේද රැගෙන උඩුදුම්බර බෝගමුව ප්‍ර​ෙද්ශයේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වඩාහිඳුවා වේරගන්තොටින් බදුල්ලට පැමිණියේය.

වත්මන් බස්නායක නිලමේ රංජිත් උදයකුමාර දිසානායක පෙරහැරේ ගමන් කරමින් එවකට ඌවේ යුවරජුව සිටියේ වීර වික්‍රම ඈපාණන්ය. මේ රජුගේ මාළිගාව පිහිටා තිබුණේ දැනට කතරගම දේවාලය ඇති භූමිය නුදුරිනි. බදුල්ල සිට කි.මී. 6ක් පමණ දුරින් පිහිටි කෝට්ටගොඩ මළුව වත්ත බිම් පෙදෙසට රැස්වූ සිංහල හමුදාවෝ පෘතුගීසීන් පළවා හැරීමට යළි සංවිධානය වූහ. මහනුවර රාජධානිය යළි අත්පත්කර ගැනීම සඳහා වීර වික්‍රම ඈපාණන් (ඌවේ යුවරජු)ගේ පුත් කුමරු සහ ගංගොඩ ලංකාධිකාරි යන සේනාධිපතිවරුන්ගේ හමුදා විමලධර්මසූරිය රජු සමග එකතු වූහ. ඒ සටනට යාමට පෙර විමලධර්මසූරිය රජතුමා කතරගම දෙවියන්ට භාරයක් විය. මහනුර රාජධානිය යළි අත්පත් කර ගැනීම සඳහා ස්කන්ධකුමාර දෙවියන්ගේ පිහිටාධාරය හා ආරක්ෂාව ලාබදුනහොත් (දැනට කතරගම දේවාල ඇති ස්ථානයේ) ස්කන්ධ කුමාර දෙවි හාමුදුරුවන් උදෙසා දේවාලයක් කරවා එහි නඩත්තුව සඳහා ගම්බිම් පුදා රාජකාරි සඳහා දැසි දස්සන් පත් කරවන බව ඒ භාරයයි.

සටන උණුසුම් එකක් විය. එහෙත් පෘතුගීසින් මහනුවර රාජධානියෙන් පළවා හැරීමට දේශීය හමුදාවෝ සමත් වූහ. එපමණක් නොව (1584 ඔක්තෝබර් මස 6 වනදා) යටිනුවර දන්තුරේදී පැසුබැස පළායන පෘතුගීසි සේනාධිපති “සූසා“ ඇතුළු පෘතුග්‍රීසි හමුදාවේ දෙසීයක් පමණ ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට සිංහල හමුදාවෝ සමත් වූහ. පෘතුගීසින් විසින් මහනුවර රාජධානියේ රජකමට ගෙන ආ දෝන කැතරිනා නොහොත් කමලාසන දේවිය සමග සරණ මංගල්‍යය ට පිවිසි විමලධර්මසූරිය රජතුමා ත්‍රිසිංහලයේ අග රජු මේ සියලු ජයග්‍රහණවලින් පසු කතරගම දෙවියන් සඳහා වූ භාරය ඔප්පු කිරීමට අමතක කළේ නැත. බදුලු කතරගම දොවොල ඉදිකෙරිණ. දෙවියන් වැඩ සිටිනා මාළිගය, යාතිකා මණ්ඩපය ඇතුලු මූලික ගොඩනැගිලි එදා ඉදිවිය.

ඉක්බිති බදුල්ල කෝට්ටගොඩ මලුව වත්තේ කුඩා දෙවොලක වැඩ සිටි කතරගම දෙවියෝ අලි ඇතුන් සහිතව මහ පෙරහැරින් වැඩමකරවා මෙම දෙවොලේ තැන්පත් කෙරිණ. (මළුව වත්තේ දෙවොලේ නටබුන් අදත් දැකිය හැකිය) නව දෙවොල කරවීමෙන් පසු අක්කර පන්දහසක පමණ ගම් බිම් මෙම දෙවොලට පූජාකළ රජතුමා රාජකාරිකරුවන් සඳහා තුන්සිය හැට පස් දෙනෙක් පත්කොට ඔවුන්ටද ගම්බිම් ප්‍රදානය කළහ. ඉක්බිති වාර්ෂිකව ඇසළ මංගල්‍යය ඇතුළු මංගල්‍යය සිදුකෙරිණ. පුද පූජාවන් හා පුද පිළිවෙත් නියම කොට “ඌවේ ඈපාණන් “ ප්‍රථම බස්නායක නිළමේ ලෙස පත් කෙරිණ.

විමලධර්මසූරිය රජුගේ ඇවෑමෙන් සෙනරත් රජතුමා මහනුවර රාජධානියේ පාලනයට පත් විය. ඉන් අනතුරුව එම රජුගේ බාල පුත් දෙවැනි රාජසිංහ නමින් රජ විය. ක්‍රි.ව. 1634 සිට 1684 දක්වා කාලයේ ඌවේ යුව රජු වූයේ මෙම රජුගේම සොහොයුරෙකු වූයේ කුමාරසිංහ යන්ය. ඒ කාලයේද පෘතුගීසීන්ගෙන් වූ කරදරවලට අඩුවක් නොවීය. පෘතුගීසීන් යළි මහනුවර රාජධානිය ආක්‍රමණය කිරීම සඳහා හම්බන්තොට, මාතර, ගාල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, මන්නාරම යන බළකොටුවලින් සේනාවන් රැගෙන ඉදිරියට ගමන් කළහ. රටේ ඊසාන දෙස වන වෙල්ලස්ස ප්‍රදේශයෙන් පිටත්ව ඌව යටත්කොට මහනුවරට පැමිණෙන සැලසුමක් ඇති බවටත් ඔත්තුකරුවෝ වාර්තා කළහ.

ඊට මුහුණදීම සඳහා සිංහල හමුදා​ෙවා් සූදානම් වූහ. දෙවන රාජසිංහ රජතුමා කුමාරසිංහ රජු සමග එක්ව බදුල්ල කතරගම ට පැමිණ භාරයක් විය. මෙම යුද්ධයෙන් ජය ලබාදුන හොත් දිග්ගෙයක්, සිංහාසනයක් ඇතුලු තවත් අංගෝපාංගයන් මෙම දෙවොලට ඉදිකර දෙන බටවත් තවත් ගම්බිම් පුදන බවත් ඒ භාරයයි. එසේ දේවාශීර්වාදය ලබාගෙන විශාල සේනාවක් සමග පෘතුගීසි සේනාව සමග මුහුණට මුහුණලා සටනකට එක් විය. මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය රන්දෙනිවෙලදී මෙම සටන කෙරිණි. පෘතුගීසි හමුදාවට නායකත්වය දුන් ඔවුන්ගේ ආණ්ඩුකාර සේනාධිපති “නොරොඤ්​ෙඤා් සා “ඇතුළුව පෘතුගීසි හමුදාව සමූලඝාතනය කිරීමට මෙම සටනේදී සිංහල හමුදාවෝ සමත් වූහ.

මේ විජයග්‍රහණයෙන් පසු බදුලු කතරගම දෙවේලට වූ භාරය ඔප්පු කිරීම සඳහා දෙවෙනි රාජසිංහ රජුගේ නියමය පරිදි දේවාලය ට මුහුණලා මීටර් 300 ක් පමණ සිංහාසනය ඉදිකෙරිණ. 1818 ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය දුන් කැප්පෙටිපොළ විරුවාද මෙම දෙවේලට පැමිණ දේවාශිර්වාද ලබාගෙන තිබේ. ඔහු විසින් පූජාකරන ලද ඇත්දල දෙක ඔහුගේ නම කොටා දේවාලය තුල තිබෙනු අදත් දැකියහැකි වීම ඊට හොඳම සාක්ෂියකි. දිවයිනේ දිගින් වැඩිම කතරගම දෙවොල වන මෙහි දිග අඩි 188 කි. දේවාල ගොඩනැගිල්ලේ දේව මාළිගාවට උඩින් උඩ මාළිගාවය. ඊට ඉදිරියෙන් වැඩසිටිනා මාළිගාවය. යාබද ඉදිරියෙන් ඇති ගොඩනැගිලි මෙසේය.

සුවඳ පූජා මැදුර, කපුරාලාගේ කුටිය, කාමරය, යාතිකා කුටිය, හේවිසි මණ්ඩපය, දිග්ගේ, මකර තොරණ, වීථිය, වාහළකඩ, සිංහාසනය, දේව මාළිගාව හා උඩ මාළිගාව වටා සිතුවම්වලින් දැක්වෙන්නේ රජ දවස අලි ඇතුන් සහිතව මුතියංගන වෙහෙරේ පෙරහැර පෙරටුකොට මෙම දෙවොල් පෙරහැර පැවැත්වූ අයුරුය. මෙම දෙවොලේ ගොඩනැගිලිවල ගජසිංහ, නාරිලතා, භේරුන්ඩ පක්ෂියා, මකරා, බෝපත්, පළාපෙති යනාදී කැටයම් දැකිය හැකිය. හිරිගල් වලින් නෙලූ කැටයම් වඩාත් විසිතුරු ය.

සඳකඩ පහණ දෙකකි. මේ සියල්ල මහනුවර යුගයට අයත්ය. මෙහි රජ දවස සිට පැවැත එන මංගල්‍යයන් 3කි. අවරුදු මංගල්‍යය, ඇසළ මංගල්‍යය, සහ ඉල්මහ කාර්තික මංගල්‍යය යනුවෙනි. දින 16 ක් පුරා පැවැත්වෙන ඇසළ මංගල්‍යය වඩාත් විසිතුරුය. අවසන් රන්දෝලි පෙරහර ගමන් ගන්නේ මුතියංගණ රාජමහා විහාරස්ථානයේ සධාතුක කරඬුව වැඩම කරවන මුතියංගන පෙරහැර පෙරටු කොටගෙනය. කතරගම දෙවොල් බිමේම පිහිටි ඓතිහාසික පත්තිනි දේවාලයේ පෙරහරද මෙම පෙරහැ‍රේ ගමන් කරන්නේය. පෙරහැ‍ර ගෙවදීමෙන් පසු දේවාලයේ පහත මළුවේදී ගිනි පෑගීමේ චාරිත්‍රය පැවැත්වේ. බදුලු ඔයේ දියකැපුම් තොටුපළේදී දිය කැපීමෙන් පසු දිවා පෙරහර ගෙවැදීමෙන් ඇසළ මංගල්‍යය නිමා වන්නේය.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කඹයක් උඩ කාන්තාවන් නටන දෙවොලේ හාස්කම් (The Miracles Of The Temple Where Women Dance On A Rope) කඹයක් උඩ කාන්තාවන් නටන දෙවොලේ හාස්කම් (The Miracles Of The Temple Where Women Dance On A Rope) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, July 28, 2020 Rating: 5

0 comments:

Post a Comment