වල්ලි පුරාණයේ අසිරිමත් පුදබිම

කතරගම පුරාවෘතයේ තිඹිරි ගෙය සෙල්ල කතරගමය. එහෙත් ඉතිහාසයේ සිට කතරගම දේව පුරාණයේ මහගෙදර ‘කතරගම මහ දේවාලයයි’ කතරගම දෙවියන් වැඩ සිටින සර්ව ආගමික පුදබිමයි. සෙල්ල කතරගම, වැඩසිටිකන්ද ඇතුළු කතරගම සියලූ කෝවිල්, දේවාල පෙළගෑසී ඇත්තේ මහ දේවාලය වටාය. එහෙත් දැන් අප මේ කතා කරන්නට යන්නේ කතරගම මහ දේවාලය ගැන නොවේ. කතරගම පුරාවෘතයේ තිඹිරි ගෙය බඳු සෙල්ල කතරගම පුදබිමේ පිහිටි ගණදෙවි කෝවිලේ ආශ්චර්යමත් තතු විත්ති සහ දේව පුරාණය ගැනය. ඒ සියලූ විත්ති අපට කියන්නේ ගණදෙවි කෝවිලේ තේවාව භාර ප‍්‍රධාන පූජක උපුල් චන්දිම දිසානායක ස්වාමීය. මේ පෙළගැසෙන්නේ සෙල්ල කතරගම ආශ්චර්යය ගැන කියැවෙන කතා මාලාවේ පළමු කොටසය…

‘‘නාරද පුරාණය සහ ස්කන්ධ පුරාණය නමැති වේද පොත්වල කියැවෙන පරිදි වල්ලි මාතාව උප්පත්තිය ලබන්නේ සෙල්ල කතරගම උගුල් වළකය. ඕපපාතිකව ඉපදුණු වල්ලි මාතාව දිව්‍ය කන්‍යාවියකි. එකල සෙල්ල කතරගම අඩවිය භාර වැදි රජු වූයේ නන්දය. සිය පිරිවර සමඟ දඩයමේ ගිය නන්ද වැදි නායකයාට කුඩා දරුවකු හඬන ශබ්දය ඇසිණි. ඒ කටහඬ ඇසෙන ඉසව්ව සොයා ගිය වැදි නායකයා විසල් නුග රුකක් අසල මුව රංචුවක් සිටින අයුරු ඈත සිට දුටුවේය. එහෙත් නන්ද ඇතුළු පිරිස ගස යටට පැමිණෙන විට මුවැත්තියක් සිටින්නට සෙසු මුවන් දිව ගියහ. වැදි නායකයා ගස මුල සිටි මුවැත්තියට විදීමට සැරසිණි. ඒ සමඟ අසල උගුල් වළෙන් නැවත කුඩා දරුවකුගේ ඉකිබිඳුම් හඬ පිටවිණි. වැදි නායකයා මුවැත්තියට විදීම නතර කර ශබ්දය නැඟුණු වළට එබිකම් කළේය. පුංචි දියණියකි. නන්ද විශ්මයට පත් විය.

හිටි වනම බලා සිටි නන්ද මොහොතකින් වළට පැන සිඟිත්තිය දෝතට ගත්තේය. පුතණුවන් සත්දෙනකු සමඟ දියණියක් නැති සොවින් තැවෙමින් සිටි නන්දට මුව දෙන දැරියක් බිහි කර දුන්නායි සිතා සතුටින් ඉපිළිණි. වැදි නායකයා ඇතුළු පිරිස කැලේ දෙවනත් වන්නට කෑමෝර දුන්නාහ. අනතුරුව දෝතට පැමිණි දරුවා කැන්දාගෙන නන්ද ඇතුළු පිරිවර ගල් ගුහාව දෙසට ගියහ. වනයේ සිට හමු වූ නිසා වල් (වනය) ලිය (කත) වල්ලී යනුවෙන් සිඟිත්තියට නම් පටබැඳිණි. නන්ද වැදි නායකයා ඇතුළු ඔහුගේ පුතුන් වල්ලියට අසීමිත ලෙස ආදරය කළහ. දැරිය වේගයෙන් වැඩිණි. දිව්‍ය කන්‍යාවක් වූ වල්ලිය රූප සොබාවෙන් කිසිවකුට සම කළ නොහැකි විය. මිහිරි හඬින් ගීත ගයන විට කැලේ සතුන් පවා වල්ලි මාතාව වටා එක්රස් වූහ. වල්ලියගේ යාහළුවන් වූයේ ද මුවන්, හාවුන් වැනි අහිංසක සතුන්ය.

දිනක් වල්ලි මාතාව තම පියාගේ තණ හේනෙ සී පද කියමින් සිටින විට නාරද සෘෂිවරයා එම ඉසව්වෙන් ගමන් කළේය. වල්ලියගේ මිහිරි කටහඬ ඇසුණු නාරද සෘෂිවරයා මඳක් නතර වී කටහඬ ඇසෙන ඉසව්ව වපරම් කළේය. තණ හේන මැද සතුන් පිරිවරාගෙන සී පද කියන රූබර වල්ලිය දුටු විට නාරද සෘෂිවරයා ද විශ්මයට පත් විය. එහෙත් රූප, ශබ්ද ලක්‍ෂණවලින් මේ නම් සාමාන්‍ය මනුෂ්‍ය දුවක් නොව, දිව්‍ය කන්‍යාවියක් බව සෘෂිවරයා තේරුම් ගත්තේය. අනතුරුව මේ දිව්‍ය කන්‍යාව කවුරු වෙනුවෙන් පහළ වී සිටින්නේ ද යන්න සෘෂිවරයා දිව්‍යා ඥානයෙන් විමසා බැලීය.

මේ දිව්‍ය කන්‍යාව පහළ වී සිටින්නේ කතරගම දෙවියන් නොහොත් ස්කන්ධ කුමාරයා වෙනුවෙන් බව සෘෂිවරයාට පෙනිණි. ඒ වන විටත් ස්කන්ධ කුමාරයා තේවානි අම්මාන් සමඟ යුග දිවියට එළැඹ දකුණු ඉන්දියාවේ තිරුපරම් කුන්දම් ප‍්‍රදේශය වාස භූමිය කරගෙන සිටීයහ. එහෙත් නාරද සෘෂිවරයා ස්කන්ධ කුමරු හමු වී ‘ඔබ වහන්සේට සුදුසු කන්‍යාවක් ලංකාද්වීපයේ සෙල්ල කතරගම ප‍්‍රදේශයේ පහළ වී සිටිනවා… එම ප‍්‍රදේශයට ගොස් ඒ කන්‍යාවිය විවාහ කර ගන්න’ කියා කරුණු කාරණා පැහැදිළි කර දුන්නේය. සෘෂිවරයා ලබා දුන් තොරතුරු මත ස්කන්ධ කුමරු කතරගම වැඩසිටි කන්ද ප‍්‍රදේශයට පැමිණියේය. අනතුරුව විවිධ වෙස් ගෙන වල්ලි මාතාව ඉදිරියට පැමිණි ස්කන්ද කුමරුට ආදර සම්බන්ධයක් ගොඩනඟා ගැනීමට අසීරු විය. වල්ලි මාතාව සමඟ ආදර සම්බන්ධයක් ගොඩනඟා ගැනීමට දැරූ සියලූ උත්සාහයන් අසාර්ථක වූ ස්කන්ද කුමරු තම වැඩිමහල් සහෝදරයා වූ ගණදෙවියන් ඉදිරියට ගොස් ඒ සඳහා උපදෙස් පැතුවේය.

‘ඔබ මහලූ වේෂයක් අරගෙන වල්ලි මාතාව ඉදිරියට ගිහින් කන්ට යමක් ඉල්ලන්න… ඉතිරි ටික මම බලා ගන්නම්…’ කියා ගණදෙවි සහෝදරයා ස්කන්ධ කුමරුට උපදෙස් දුන්නේය.තම සහෝදරයාගේ උපදෙස් අකුරටම ක‍්‍රියාත්මක කළ ස්කන්ධ කුමරු මහලූ වේෂයක් ගෙන වල්ලි මාතාව ඉදිරියට පැමිණ කුස ගිනි නිවාගැනීමට කෑමට යමක් ඉල්ලූවේය. ඒ මොහොතේ ගුහාවේ තිබුණේ තණ හාල් පමණි. වල්ලි මාතාව තණ හාල් මිටක් ගෙන මී පැණි සමඟ අනා රොටියක් පුච්චා මහල්ලාට කෑමට දුන්නාය.

(කතරගම දෙවියන් මනුෂ්‍ය ලෝකයෙන් අනුභව කරපු එකම කෑම වේල එය පමණි. ඒ සිද්ධිය සිහිගැන්වීම වස් අදට ද කතරගම දේව මංගල්‍යයේදී ද්‍රවිඩ බැතිමතුන් තණ හාල්වලට මී පැණි කලවම් කර එළඟි තෙල් පහනකට දමා දල්වා කතරගම දෙවියන්ට පූජා කරති…) වල්ලි මාතාව පිළියෙල කර දුන් රොටිය අනුභව කළ මහල්ලා අනතුරුව පානය කිරීමට වතුර ඉල්ලා සිටියේය. වල්ලිය පොල් කට්ටක් රගෙන වතුර ගැනීමට කළය පෙරළන විට දිය සිඳී ගොස්ය. එහෙත් ස්වල්ප මොහොතකට පෙර කළය පිරෙන්නට වතුර ගෙනා ආ බව වල්ලියට මතකය.

‘‘අනේ දුවේ මට හොඳටම දිය පිපාසයි… වතුර ටිකක් දෙන්න, කියා මහල්ලා පින්සෙන්ඩු විය.‘එහෙම නම් යමු අපි මැණික් ගඟ දිහාට…’ කියා කළය උකුලට ගත් වල්ලිය ඉස්සර විය. ගඟ අසලට පැමිණෙන විට මහා සද්දන්ත ඇතෙක් කැලය කඩාගෙන වල්ලිය සහ මහල්ලා ඉදිරියට පැමිණියේය. අලි ඇතුන්ට මහා බියක් දැක් වූ රූබර වල්ලිය මහල්ලාගේ ඇෙඟ් වේලිණි. බියට පත්ව දෙනෙත් පියාගෙන කෑමෝර දුන්නීය. එසැණින් ක‍්‍රියාත්මක වූ ස්කන්ධ කුමරු නියම ස්වරූපය ගෙන ඇතා පළවා හැරියේය. අනතුරුව සියල්ල පැහැදිලි කළ ස්කන්ධ කුමරු ‘ඔබ පහළ වී සිටින්නේ මා වෙනුවෙන්… මම කැමැතියි ඔබව විවාහ කරගන්න.

ඔබ කැමතිද මා සමඟ විවාහ වෙන්න…’ කියා විමසා සිටියේය. වල්ලි මාතාව එම යෝජනාවට කැමති විය. අනතුරුව ඇත් වේශයක් ගෙන කැළය දෙවනත් කරගෙන පැමිණි ගණදෙවියන් දේව ස්වරූපයට පැමිණ, තවත් දෙවි දේවතාවුන් විශාල ප‍්‍රමාණයක් සමඟ ස්කන්ධ කුමරුට සහ වල්ලි මාතාවට අතපැන් වත්කර විවාහ මංගල්‍යය සිදු කළේය. දෙවි දේවතාවූන් විශාල පිරිසකගේ ජීවමාන පාදස්පර්ශය ලැබූ තැනක් වේ නම් ඒ සෙල්ල කතරගම එම ස්ථානය පමණි. එහෙයින් එම දේව මංගල්‍යය

සිහිගැන්වීම් වස් සෘෂිවරුන් විසින් දේව මංගල්‍යය සිදු කළ ස්ථානයේ ගණදෙවි පිළිරුවක් තැන්පත් කර වැඳුම් පිදුම් කිරීම ආරම්භ කළහ. සෙල්ල කතරගම ගණදෙවි කෝවිල ලෙස අදට ද පූජනීයත්වයට පත්ව තිබෙන්නේ එදා සෘෂිවරුන් වැඳුම් පිදුම් කළ එම කෝවිලයි. සෙල්ල කතරගම දේවාලය පිටුපස කුඩා දේවාලයේ අදටත් එම ගණදෙවි පිළිමය වන්දනාවට පාත‍්‍ර කර තිබේ. එහෙත් පැහැදිලි ගණදෙවි ස්වරූපය එම පිළිරුවෙන් නොපෙනේ. දැනට පෙනෙන්නට තිබෙන්නේ ගණදෙවියන්ගේ හොඬවැල පමණි. සෙල්ල කතරගම කෝවිල් භූමියේ දැනට කර ඇති පුරාවිද්‍යා පර්යේෂණවලට අනුව එම පූජා භූමිය අවුරුදු තුන්දාහකට වඩා පැරණි ස්ථානයක් බව හඳුනාගෙන තිබේ.

හින්දු ආගමික සම්ප‍්‍රදායන් තුළ පිහිටි සෙල්ල කතරගම ගණදෙවි කෝවිල සෘෂිවරුන්ගේ පාලන කාලයෙන් පසු ඉන්දියාවේ ‘ගිරි’ පරම්පරාවට හිමි විය. එදා සිට ගිරි පරම්පරාවේ පූජකවරු ගණදෙවියන් උදෙසා සෘෂිවරුන් සිදු කළ වත්පිළිවෙත් නොපිරිහෙළා සිද්ධ කරමින් දිවි හිමියෙන් සෙල්ල කෝවිල ආරක්‍ෂා කර ගත්හ. එහෙත් 1983 ජාතිවාදී කෝළාහළයට මැදිව අසරණ වූ ගිිරි පූජකවරුන් ඇතුළු ඔවුන්ගේ ඥාතීන් නැවත ඉන්දියාවට පිටත්ව යෑමට සූදානම් වන විට ‘නාරායන ගිරි’ පූජකතුමා ඇතුළු කිහිපදෙනකු ගණදෙවි කෝවිල අතහැර

නොගියහ. විවිධ බාධක මැද ගණදෙවි කෝවිල ආරක්‍ෂා කරගෙන සිටි නාරායන ගිරි ඇතුළු පූජකවරුන්ට දේශපේ‍්‍රමීන්ගේ තර්ජන ගර්ජන වැඩි විය. අවසානයේ නාරායන ගිරි පූජකවරයා ඉතිරි වන්නට සියලූ පූජකවරුන් ඇතුළු ඉන්දිය ජාතීහු කතරගම ප‍්‍රදේශය අතහැර ඉන්දියාවට ගියහ.

‘‘ඒ කාලය වෙනකොට මගේ පියාට ඉඩක් ලැබුණු හැටියේ කතරගම දේවාලය වඳින්න යනවා. නුවර පදිංචි වෙලා හිටිය අපි මාස තුනකට වතාවක් වගේ කතරගම වන්දනාවේ ගියා. ශ‍්‍රී ලංගම ඩිපෝ අධිකාරිවරයෙක් විදිහට සේවය කරපු මගේ පියාට හොඳට දෙමළ කතා කරන්නත් පුළුවන්. පියාට දෙමළ කතා කරන්න පුළුවන් වුණේ සේවා කාලයෙන් වැඩි කාලයක් උතුරු, නැගෙනහිර ප‍්‍රදේශවල සේවය කරපු නිසයි. ඒ වගේම පියා ගණදෙවියන්ගේ භක්තිවන්තයෙක්. හැමදාම ගණදෙවියන් වඳිනවා. කතරගම වන්දනාවේ ගිහාම මුලින්ම වඳින්නේ සෙල්ල කතරගම ගණදෙවි කෝවිල.

එහෙම ගිය අතරේ අපේ පියා සෙල්ල කතරගම ගණදෙවි කෝවිලේ නාරායන ගිරි සාමි එක්ක කතා බහ කරලා ලොකු හිතවත්කමක් ගොඩනඟාගෙන තිබුණා. 1983 අවුරුද්දේ පියා විශ‍්‍රාම ගත්තට පස්සෙ නාරායන ගිරි සාමි ගණදෙවි කෝවිලේ වැඩ කරන්න එන්න කියලා පියාට කිව්වා. සාමිට කරන උපකාරයක් විදිහට 1985 අවුරුද්දේ පියා ගණදෙවි කෝවිලේ ආවතේව වැඩවලට එකතු වුණා. පියා ගණදෙවියන්ට හොඳ භක්තිවන්තයෙක් වෙච්ච නිසා නාරායන සාමි අපේ තාත්තාව කෝවිලට ගෙවැද්දුවා…’’

‘‘ඒ වෙනකොට නාරායන ගිරි සාමිට වයස අවුරුදු අසූවක් විතර ඇති. ගණදෙවි කෝවිලේ වැඩවලට හිටියේ නාරායන ගිරි සාමියි, අපේ තාත්තයි විතරයි. කතරගම වඳින්න එන බැතිමතුන් වැඩි වෙනකොටගණදෙවි කෝවිලේ කාර්යමණ්ඩලය මදි වෙනකොට නාරායන ගිරි සාමිවරයා මාවයි, දෙවැනි මල්ලිවත් ගණදෙවි කෝවිලට ගෙවැද්දුවා. ඒ සමඟ ගණදෙවියන්ට වත්පිළිවෙත් සිද්ධ කිරීමේ වරමත් අපට හිමි වුණා. එතකොට මට වයස අවුරුදු දාහතක් විතර ඇති. ඒ කාලය රටේ භීෂණ සමය. හමුදාවයි, ජේවීපී කැරලිකරුවොයි වෙඩි තියා ගනිමින් මේ දේවාල භූමියෙන් දුවපු අවස්ථා තියෙනවා. හිටි හැටියේ රජය ඇඳිරිනීතිය දානවා. සමහර වෙලාවට ජේවීපී එකෙන් ඇඳිරි නීතිය දානවා. එතකොට දේවාලයේ ගණ්ඪාර නාද කරන්න බෑ. ලයිට් දාන්න බෑ. ඒත් කිසිම දවසක පූජාව තියන්න එපා කියලා දෙපැත්තෙන්ම තහනමක් ආවේ නෑ…’’

‘‘අපි දේවාලයේ රාජකාරි කටයුතු පටන් ගන්නේ පාන්දර තුනට. කළුවරේ කෝවිලට යනකොට හමුදාව අපිව පරීක්‍ෂා කරපු අවස්ථා තියෙනවා. මේ රාජකාරියටයි යන්නේ කිව්වහම හමුදා නිලධාරීන් අපිට යන්න අවසර දුන්නා. ඒ කාලයේ අපිත් ජීවිත පරිත්‍යාගයෙන් මේ කෝවිල ආරක්‍ෂා කරගත්තා. දෙවියන්ට වතාවත් සිද්ධ කළා. ඊට පස්සේ 1988 අවුරුද්ද වෙනකොට අපේ බාල සහෝදරයො දෙන්නවත් කෝවිලට ගෙවැද්දුවා. මට සහෝදරයෝ තුන්දෙනයි. එක සහෝදරියයි. දැන් අපි හතරදෙනාම කෝවිලේ රාජකාරි කටයුතු කරනවා.

1989 අවුරුද්ද ගෙවී ගෙන යනකොට දවසක් නාරායන සාමි කිව්වා ‘දැන් මට යන්න කාලය හරි, දිසානායක මහත්තයා දරුවොත් එක්ක එකතු වෙලා මේ කෝවිල හොඳින් කරගෙන යන්න…’ කියලා සම්පූර්ණයෙන්ම ගණදෙවි කෝවිල අපිට භාර දීලා නාරායන සාමි ඉන්දියාවට ගියා. ඒ ගිහින් මාසයක් විතර යනකොට සාමි නැති වුණා. 1990 මම ඉන්දියාවට ගිහින් හින්දු ආගම ගැන හැදෑරීමක් කරලා ඇවිත් ගණදෙවි කෝවිලේ ප‍්‍රධාන සාමිවරයා විදිහට රාජකාරි කටයුතු භාර ගත්තා. ඊට පස්සේ නැවත මම 2009 අවුරුද්දේ ඉන්දියාවට ගිහින් හින්දු ආගම සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යාපන කටයුතුවල නියැළිලා 2015 අවුරුද්දේ ලංකාවට ඇවිත් සුපුරුදු විදිහට දේව රාජකාරිය කරගෙන යනවා…’’

‘‘කෝවිල භාර දෙන අවස්ථාවේ නාරායන ගිරි සාමිවරයා අපෙන් කරපු එකම ඉල්ලීම අවුරුදු දහස් ගාණක් පැවැති මේ කෝවිලේ සාම්ප‍්‍රදාය වෙනස් කරන්න එපා කියන එක විතරයි. එදා නාරායන සාමි අපගෙන් කරපු ඒ ඉල්ලීම අදටත් ඉටුකරනවා…’’ සෙල්ල කතරගම ගණදෙවි කෝවිල ඉන්දියාවේ ගිරි පරම්පරාවෙන් නුවර දිසානායක පරපුරට ලැබුණු හැටි උපුල් දිසානායක සාමිවරයා විස්තරාත්මකව අපට පැහැදිලි කළේය. දිසානායක නුවර සිංහල බෞද්ධ පරපුරකින් පැවත එන කුලවත් පවුලකි. උපුල් දිසානායක එම පවුලේ වැඩිමහල් දරුවාය. උපුල් සාමිවරයාගේ භාරකාරත්වය යටතේ මේ වන විට සෙල්ල කතරගම ගණදෙවි කෝවිලේ සියලූ අවතේව කටයුතු සිදු වන්නේ සිංහල බෞද්ධ තරුණයන් අතිනි.

‘‘අපි කරන්නේ දේව රාජකාරියක්. අපේ සහෝදරයන් හතරදෙනාගෙන් එක් අයකු අනිවාර්යයෙන්ම ඒ රාජකාරිය ඉෂ්ට සිද්ධ කරන්න ඕනා. අපගේ ලේ ඥාතියකුගේ මරණයක්, මේ පූජා භූමියේ මරණයක් සිදුවීම, ගෙඟ් වතුර වැඩි වෙලා දේවාලයට යන්න බැරි වෙච්ච අවස්ථාවක් ඇති නොවෙන්න අනිවාර්යෙන්ම දිනපතා දේව පූජාව පවත්වන්න ඕනා. සතියේ දිනවල උදේ පාන්දර තුනට දේවාලයේ වැඩ කටයුතු ආරම්භ කරනවා. පාන්දර හතරට නානුමුර මංගල්‍යය සිද්ධ කරනවා. උදේ 6.10 ට මහ පූජාව පවත්වනවා. උදේ 10.10 ට මුළුතැන් බත් පූජාව පවත්වනවා. හවස 6.10 ට නැවත මහා පූජාව පවත්වනවා. සෙනසුරාදා පාන්දර 2.30 ට මහා ගණපති පූජාව පවත්වනවා. ඒ වගේම සෑම මාසයකම පුර හතරවන දිනයේ විශේෂ ගණපති පූජාවක් පවත්වනවා. ඒ හැරුණුකොට සූර්ය දෙවියන්ට තෛපොංගල් පූජාව පවත්වන්න පෙර ගණදෙවියන්ට ඒ පූජාව පවත්වනවා. ඒක දේව මණ්ඩලයේ නියමයක්. ඒ වගේම දේව මණ්ඩලයේ නියමයට අනුව දෙවියන් උදෙසා පවත්වන ඕනෑම පූජාවක පළමුවැනි පූජාව ලැබීමේ අයිතිය තියෙන්නේ ගණදෙවියන්ට…

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වල්ලි පුරාණයේ අසිරිමත් පුදබිම වල්ලි පුරාණයේ අසිරිමත් පුදබිම Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, June 02, 2020 Rating:

0 comments:

Post a Comment