Skip to main content
Latest:
Loading...
Englich - Your Choice Way Sinhala - Your Choice Way

Sponsor


බෞද්ධ කොඩියේ ආරම්භය | Your Choice Way

මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට බුදුදහම ගෙන ආ සමයේ සිට පොහෝ දිනය රාජ්‍ය මට්ටමෙන් නිවාඩු දිනයක් වශයෙන් සම්මතව පැවැති බව මූලාශ්‍රය ග්‍රන්ථයෝ දෙස් දෙති. බොදු ජනයා මෙසේ අවුරුදු දහස් ගණනක් පුරා අවිච්ඡින්නව භුක්ති විඳි පොහෝ නිවාඩුව, 1770 දී ඕලන්ද ජාතික පෝක් නම් ආණ්ඩුකාරයාගේ කාලයේ දී අවලංගු කොට ඒ වෙනුවට ඉරිදා දින නිවාඩු දිනයක් වශයෙන් නීතිගත කොට තිබේ. නීතිය කුමක් වූවද, බෞද්ධ ජනයා පොහෝ දිනයන් හි ආගමික වතාවන් හි නිරත වූ බව ඉතිහාසය විපරම් කිරීමේ දී ප්‍රකට වේ. මේ නිසා සුද්දන් අප රට යටත් කොට ගත් කල්හි එනම් බ්‍රවුන්රිග් ආණ්ඩුකාර සමයෙහි 1817 අංක 5 දරන ආඥා පනත යටතේ පොහෝ නිවාඩු දිනය අහෝසි කොට පාස්කු ඉරිදා දිනය රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කොට තිබේ.

මේ අනුව බෞද්ධාරක්‍ෂක සභාවේ ඉල්ලීම පරිදි ඕල්කට්තුමා විසින් එංගලන්තයට ගෙන යන ලද සංදේශයෙහි අන්තර්ගත වෙසක් පොහෝ දිනය රජයේ නිවාඩු දවසක් කළ යුතුයි, යන ඉල්ලීම සලකා බලා ඊට අනුමැතිය ලබා දීමට තීන්දු විය. ඒ අනුව 1885 මාර්තු 27 දින ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයෙහි වෙසක් පොහෝ දින මින් පසු රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. මෙයින් පී‍්‍රති ප්‍රමෝද්‍යයට පත් බෞද්ධාරක්‍ෂක සභාව එම වර්ෂයේ එළඹෙන වෙසක් පුරපසළොස්වක දින අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට තීරණය කොට එය සංවිධානය කිරීම පිණිස දස දෙනෙකුගෙන් සමන්විතකමිටුවක් පත් කළේ ය.එම කමිටුව මෙසේ ය.
  • පූජ්‍ය හික්කඩුවේ සුමංගල හිමි
  • පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි
  • දොන් කරෝලිස් හේවාවිතාරණ මහතා
  • ඒ.පී. ධර්ම ගුණවර්ධන මහතා
  • විලියම් ද ආබ්‍රෙව් මහතා
  • සී.පී. ගුණවර්ධන මහතා
  • චාර්ලස් ඒ. ද සිල්වාමහතා
  • ඇන්. ඇස්. ප්‍රනාන්දු මහතා
  • පීටර් ද ආබ්‍රෙව් මහතා
  • එච්. විලියම් ප්‍රනාන්දු මහතා
1885 වර්ෂයේ වෙසක් පුරපසළොස්වක දිනය යෙදී තිබුණේ අපේ‍්‍රල් 28 වන දිනයටයි. එදිනට එසවීම සඳහා බෞද්ධ කොඩියක් නිර්මාණය කළ යුතු යි. මෙම උක්ත කමිටුවේ අදහස විය. මේ සඳහා ඊට සුදුසු කොඩියක් නිර්මාණය කිරීම පිණිස කමිටු සාමාජිකයන්ට පැවැරිණි. ඔවුන් විසින් විවිධ කොඩි ඉදිරිපත් කරන ලදී. ඉදිරිපත් වූ කොඩි සමාලෝචනයෙන් ෂඩ් වර්ණ බුද්ධ රශ්මිය විදහාපාන කොඩියක් නිර්මාණය කොට බෞද්ධත්වය සංකේතවත් කිරීම සඳහා සම්මත වන්නට ඇතැයි තොරතුරුවලින් හෙළි වේ. සම්මත වූ ධ්වජය පිළිබඳ හාපුරා කියා ප්‍රසිද්ධ කළේ 1885 අප්‍රෙල් මස 17 දින සරසවි සඳරැස් පත්‍රයෙනි. එම වාර්තාව මෙසේ ය.

‘සරසවි සඳරැස වර්ෂ 1885 ක් වූ අපේ‍්‍රල් මස 17 වෙනි සිකුරාදා කොළඹදීය බෞද්ධයන් විසින් ඔසවන්නට ව්‍යවස්ථා කරගෙන තිබෙන කොඩියක්සර්වඥයන් වහන්සේ ලෝපහළ වූ දින ප්‍රකාශ කරන සලකුණක් වශයෙන්ද ගෞරවයක් වශයෙන්ද බුද්ධ රශ්මියේ වර්ණ සය ප්‍රකාශකරන කොඩියක් එසවීමට කොළඹ වැසි බෞද්ධයන් විසින් සම්මතයක් කරගෙන තිබෙයි, මේ කොඩිය මේ මස විසිඅටවෙනිදාට පැමිණෙන වෙසඟපුර පසළොස්වක් දිනදී කොළඹ මාලිගාකන්දේ පිරිවෙණේ සහ කොටහේනේ දීපදුත්තම විහාරස්ථානයෙහිද තවත් මේ අසල විහාරස්ථානවලද ඔසවන්ට ව්‍යවස්ථාකරගෙණ තිබෙයි. මේක ලක් දිව්වැසි සියළු බෞද්ධයන් විසින් අදෘශ්‍යයවනගතයුතු යහපත් වැඩක් මෙයින් අඟයන්නේ සර්වඥයන් වහන්සේ ජීවමාන කාලයෙහි උන්වහන්සේගේ ශරීරයෙන් නික්මුණු,

(1)නීල
(2) පීත
(3) ලෝහිත
(4)ඕදාත
(5) මාංජෙෂ්ට
(6) ප්‍රභාස්වර යන වර්ණ සයයි.

සර්වඥයන් වහන්සේ ජීවමාණ කාලයෙහි උන්වහන්සේගේ කේශධාතු ආදී නීලවර්ණ අවයවවලින් නීල වර්ණය ද දන්තධාතු ආදී ශේවතවර්ණ වූ අවයවවලින් සුදු පැහැද යනාදි වශයෙන් ෂඩ් වර්ණයන බුද්ධර්ශ්මීන් විහිදුන බව පොත්පත්වල ලියා තිබෙයි. එබැවින් මේ සය වර්ණ සහ ප්‍රකාශ කරණ කොඩියක් උන්වහන්සේ ලෝපහළ වූ දවසේ එසවීම යහපත් ආර්ථියක් අඟවන ක්‍රියාවකි. මේ වැඩේ කල්පනා කළ බෞද්ධයන්ට ස්තුති කරමින් සියලුම බෞද්ධයන් විසින් මේ ක්‍රියාව පැවැත්විය යුතු බව මතක් කරම්හ.’

නිර්මාතෘ?

ෂඩ් වර්ණයෙන් හෙබි බෞද්ධ ධ්වජයේ නිර්මාණෘවරයා පිළිබඳ මත භේද පවතියි. කොඩිය පිළිබඳ ප්‍රථමවතාවට කරුණු ප්‍රසිද්ධ කළ සරසවි සඳරැස පත්‍රයේ හෝ ඒ කාලයේ පළ වූ වෙනත් වාර්තාවක හෝ බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා පිළිබඳ සඳහන් කිරීමක් නොමැත. දස දෙනෙකුගෙන් සමන්විත ඉහත දැක් වූ වෙසක් උත්සව කමිටුවේ උතුමන්ගේ අදහස් හා සැලසුම්වල සමෝධානයෙන් ෂඩ් වර්ණයෙන් සුසැදි කොඩිය නිර්මාණය කොට සම්මත වී ඇත. ඒ අනුව දශවර්ගික වෙසක් උත්සව කමිටුවට ම ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියේ නිර්මාතෘවය හිමිවන්නේ යැයි නිගමනය කිරීම යුක්ති යුක්ත වන්නේ ය.

වෙසක් උත්සව කමිටුවේ ලේකම් ධූරිණ පූජිත ගුණවර්ධන මහතා බෞද්ධ කොඩියේ නිර්මාතෘ වශයෙන් පශ්චාත්කාලීන ලේඛනවල සඳහන් වේ. ඒ සඳහා මූලාශ්‍රය සපයා ඇත්තේ මෙම කොඩිය නිර්මාණය වී වසර 43 ක් පමණ ගත වූ කල් හි පළ වූ ‘සුදනමිණ’ මාසික සඟරාවයි. ඇන්. චාර්ලිස් මහතාගේ කර්තෘත්වයෙන් ආරම්භ වූ සුදනමිණ 1928 මැයි කලාපයෙහි බෞද්ධ කොඩියක් උවමනා යයි නියම කරගත් උතුමන් සැම දෙනාම නොයෙක් අන්දමේ සැලැස්මවල් (ප්ලෑන්) සැපයු නමුත්, ෂඩ් වර්ණ බෞද්ධ රශ්මිය මුල්කරගෙන සී.පී. ගුණවර්ධන මහත්මයා විසින් සාදන ලද කොඩිය වඩා සුදුසු යැයි සම්මත විය. යනුවෙන් සඳහන් ය. මෙය පාදක කොට බෞද්ධ කොඩිය පිළිබඳ ප්‍රකාශයට පත් ආචාර්ය කේ.සී. ජී. විමලසේන මහතාගේ ‘ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුදය’ පුස්තකයෙත්, ‘වෙසක් නිවාඩුව හා බෞද්ධ කොඩිය’ යන ගෝනහේනේ ජොතිපාල හිමියන්ගේ පුස්තකයත් ආදී කොට ඇති ලේඛනයන් හි කොඩියේ කර්තෘත්වය බෞද්ධ පුනරුදයේ යෝධයෙකු වූ පූජිත ගුණවර්ධන සුධීන් යැයි නිගමනය කොට ඇත.

මෙතුමා වෙසක් උත්සව කමිටුවේ ලේකම්වරයා ය. සභාවක යම් කරුණක් පිළිබඳ විවිධ මත ගොඩනැගුණු කල් හි ඒවා සමෝධානය කොට සභාවට ඉදිරිපත් කිරීම සභාවේ ලේකම්වරයාගේ වගකීම් ය. ඒ නයින් සැලකූ® විට ඉහත සඳහන්ද දෙනාගේ විවිධ සැලසුම් සමෝධානය කොට ගුණවර්ධන මහතා ෂඩ්වර්ණ රශ්මියෙන් යුත් බෞද්ධ කොඩිය ඉදිරිපත් කරන ලදුව සභා සම්මත වන්නට ඇත. ඒ කාරුණින්ම කොඩියේ නිර්මාණය ගුණවර්ධන මහතා වෙත පිරිනැමීම සෙසු සාමාජිකයන්ට කරණ අයුක්තියක් විය හැකි ය. හෑගොඩ ඛේමානන්ද නාහිමියන් 1985 දිනමිණ පුවත්පතට මේ පිළිබඳ ලිපියක් සපයමින් ‘කමිටුවේ සෑම කෙනෙකුන් ම කොඩියේ සැලැස්ම පිළිබඳ බොහෝ අදහස් ඉදිරිපත් කර ඇති අතර, සමිති සමාගම්වල චිරාගත සම්ප්‍රදාය අනුව ඒවා ලේකම්වරයාට භාර කොට සුදුසු ලෙස කොඩියේ සැලැසුම සකස් කරණ ලෙස නියම වී ඇත. ඒ අනුව ලේකම් මහතා විසින් ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩිය සකස් කරණ ලදුව කොමිටිය විසින් එය මැනවින් පිළිගෙන ප්‍රකාශයට පත්කර ඇත’ යනුවෙන් කර්තෘත්වය පිළිබඳ අදහස් දක්වා ඇත.

බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා හෙන්රි ස්ටීල් ඕල්කට් මහතා යැයි තවත් ප්‍රචලිත මතයකි. එහෙත් ඒ මතය කිසිසේත් පිළිගත නොහැකි සේ ම ඒ මහතා ම ස්වකීය දින පොත් සටහන්වලින් ඒ මතය බැහැරව කොට තිබේ. කොඩිය නිර්මාණය වී ප්‍රථමවතාවට එය ඔසවන විට ඕල්කට් මහතා සිටියේ දිවයිනෙන් බැහැරව ය. බෞද්ධාරක්ෂක සභාවේ ඉල්ලීම පරිදි 1884 ජනවාරි මස 27 දින මදුරාසියේ සිට ලංකාවට එතුමා පැමිණියේ ය. බෞද්ධාරක්ෂක සභාවේ පූර්ණ බල සහිත නියෝජිතයා වශයෙන් ලිපියක් රැගෙන 1884 අපේ‍්‍රල් මාසයේ අප රටෙන් පිටත්ව එංගලන්තයට ගියේ ය. නැවත 1886 ජනවාරි මස 28 දින පැමිණියේ ය. එමනිසා මේ වන විට බෞද්ධ කොඩිය නිර්මාණය වී ප්‍රසිද්ධ කොට අවසන් ය. ඒ අනුව කොඩිය නිර්මාණයෙහිලා එතුමාගේ දායකත්වයක් කිසිසේත් ම පිළිගත නොහැකි ය.

1892 ඩාර්ජලින් නුවර පැවැත් වූ බෞද්ධ සම්මේලනයට අනගාරික ධර්මපාලතුමා ෂඩ්වර්ණ බෞද්ධ කොඩියක් ද රැගෙන ගියේ ය. සම්මේලනය පිළිබඳ ‘තියෝසොපිස්ට්’ නම් සඟරාවට වාර්තාවක් සැප යූ හෙන්රිටා මුලර් මෙනවිය ඕල්කට්තුමා බෞද්ධ කොඩියේ නිර්මාතෘ වශයෙන් සදහන් කොට තිබුණි. එය නිවැරැදි කරමින් ඕල්කට් මහතා ස්වකිය දින පොතෙහි ‘ මා බෞද්ධ කොඩිය සැලසුම් කළ බව කියන මුලර්ගේ වාර්තාව වැරදියි. එහි ගෞරවය හිමිවිය යුත්තේ කොළඹ පරම විඥානාර්ථ සමාගමේ සාමාජිකයන්ටයි’ මා කළ එකම දෙය නම් හැඩය වෙනස් කිරීම යෝජනා කිරීම පමණයි’ යනුවෙන් සඳහන් කරයි.

ඕල්කට් මහතා ලංකාවට පැමිණි අවස්ථාවේ ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය දැක අතිශය පී‍්‍රතියට පත්විය. අපේ පුරාණ කොඩි අනුව යමින් දිගටි හැඩේට නිර්මාණය කර තිබූ බෞද්ධ කොඩිය, ඉංගී‍්‍රසි කොඩිය අනුව යමින් දිග පළල සම කළ නැතහොත් සෘජුකෝණාස්‍රකාරව සකස් ඛ්ලමට යෝජනා කළ බැවින් එය සම්මත විය. මෙසේ සම්මත වූ කොඩිය 1886 අපේ‍්‍රල් 9 දින සරසවි සඳරැස පත්‍රයේ පළ කොට තිබේ.වර්ණ සංයෝජනය බෞද්ධ කොඩිය නිර්මාණය වී ඇත්තේ නීල (නිල්) පීත (කහපාට) ලෝහිත (රතු පාට) ඔදාත (සුදු පාට) මාංජෂ්ට (මදටිය පාට) ප්‍රභාස්වර (සියලු පාටයන්ගේ එකතුව) යන වර්ණයන්ගෙන් යුත් තීරු සයකිනි. බුදුරජාණන්වහන්සේට ඇති වන අතිමාත්‍ර පී‍්‍රති සහගත අවස්ථාවන්හි බුදු සිරුරින් සවනක් රැස් විහිදෙයි. එම රැස් පදනම් කොට ඉහත සඳහන් වර්ණ හෙවත් පාට භාවිතා කොට ඇත. එම නිසා බෞද්ධ කොඩියෙන් පිළිබිඹු වන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරුරෙන් නික්මුණ රශ්මි මාලා ය.

බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රථම වතාවට රැස් විහිදුනේ සිව්වන සතියේ රුවන් ගෙයි වැඩ වසමින් සුවිසි ප්‍රත්‍යය මෙනෙහි කරද්දී ය. අභිධර්ම පිටකයට අයත් ධම්මසංගණීප්පකරණ ග්‍රන්ථයේ අටුවාව වන අත්ථසාලිනි නම් වූ ධම්මසංගණීප්පකරණට්ඨ කථාව බුද්ධ රශ්මිය පිළිබඳ සඳහන් වන පැරණිම මූලාශ්‍රය වේ. එහි (1940 සංස්කරණය කළ හේවාවිතාරණ අටුවා පෙළෙහි) 11 වන පිටුවෙහි මෙසේ සඳහන් වේ එනම්,

සත්ථු එවං ලද්ධොකාසෙන සබ්බඤ්ඤුත ඤාණෙන යථා සුඛං සණ්හ සුඛුම ධම්මං සම්මසන්තස්ස සරීරතො නීල පීත ලොහිතොදාත මඤ්ජෙට්ඨපභස්සර වසෙන ඡබ්බණ්ණ රස්මියො නික්ඛමිංසු’ එහි අර්ථය නම්, මෙසේ ශාස්තෘන් වහන්සේ ලද අවකාශයෙන් සර්වඥතා ඥානයෙන් ඉතා සියුම් වූ ධර්මය සුව සේ විමසා බලත්ම උන්වහන්සේගේ ශරීරයෙන් නීල, පීත, ලෝහිත, ඕදාත, මාංජෙෂ්ඨ – ප්‍රභාස්වර වශයෙන් සය වැදෑරුම් රශ්මි නික්මුණ හ.

බුද්ධ ශරීරයේ ඒ ඒ ස්ථානයන්ගෙන් එනම් කෙස් සහ නේත්‍රයන්හි නීල ස්ථානයන්ගෙන් නිල්වන් රශ්මීහු ද ශරීර සිවියෙන් ද නේත්‍රයන් හි රන්වන් ස්ථානයන්ගෙන් ද, කහවන් රශ්මිහූ ද, මාංශ ලෝහිතයන් ගෙන් ද, නේත්‍රයන්ගේ රක්ත ස්ථානයන්ගෙන් ද රක්ත වර්ණ රශ්මීහු ද, අස්ථින්ගෙන් ද, දන්තයන්ගෙන් ද, නේත්‍රයන්හි සුදු ස්ථානයන්ගෙන් ද ශ්වේතවර්ණ රශ්මීහු ද, මදටිය වන් වූ ද,, ප්‍රභාස්වරවන් ද,, රශ්මීහු ශරීරයේ ඒ ඒ ප්‍රදේශයන්ගෙන්ද නික්මුණ හ. යනුවෙන් දීර්ඝ විස්තරයක් එහි අන්තර්ගත වේ.

ලෝක බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම වතාවට 1885 අපේ‍්‍රල් මස 28 වන දිනට යෙදි තිබූ වෙසක් පුරපසලොස්වක දිනයේ දී ෂඩ්වර්ණයෙන් යුත් බෞද්ධ කොඩි කොටහේනේ දීපදුත්තාරාම විහාරස්ථානය, මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණ, කොළඹ හුණුපිටියේ ගංගාරාමය, කැලණි රජමහ විහාරය, කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සංගම් මූලස්ථානය යන ස්ථානයන්හි දී ඔසවන ලදී. ඓතිහාසික වූ උත්සවය පැවැත්වූ අන්දම පිළිබඳ දීර්ඝ වාර්තාවක් 1885 මැයි 1 දින සරසවි සඳරැස් පුවත පතෙහි ‘වෙසක් මස පුර පසලොස්වක් දින සහ කර්නල් එච්. ඇස්. ඕල්කට් තුමා’ යන හිසින් පළ විය. එයින් උපුටා ගත් කොටස් කීහිපයක් මෙසේ ය.

‘කලින් ප්‍රකාශ කර තිබුණු පරිද්දෙන් වෙසඟ පුර පසළොස්වක් දවස වූ ගිය මස විසි අට වෙනිදා සර්වඥයන් වහන්සේ ලෝ පහළ වූ දින සලකා ආණ්ඩුවේ සියළුම උසාවි කච්චේරි ආදිය වසා දමා නිවාඩු දවසක් කරන ලද්දේයි.සර්වඥ යන් වහන්සේ ලෝ පහළ වූ මෙම පුර පසළොස්වක දින කොයි කාලවලත් බෞද්ධයින් විසින් පාප ක්‍රියාවලින් දුරුව විවිධ පුණ්‍ය ක්‍රියාවල යෙදෙන දවසකි. නමුත් මේ පසුගිය වෙසක්පුර පසළොස්වක් දවස ආණ්ඩුව විසින් නිවාඩු දිනයක් කළ බැවින් ඒ පී‍්‍රතිය කරණ කොට ගෙන අතිශයින් ම ලක්දිව නානාදිග්භාග වාසී බෞද්ධයන් විසින් නොයෙක් පුණ්‍යකර්ම කිරීමෙන් හා මහත් පී‍්‍රතියෙන් කල්ගත කළ බව දැන ගතිමු.’

කොළඹ පරමවිඥානාර්ථ බෞද්ධ සමාගමේ සාමාජිකයින් විසින් කලින් ව්‍යවස්ථා කරගෙන මේ පත්‍ර මාර්ගයෙන් ප්‍රකාශ කළ ෂඩ්වර්ණ සර්වඥ රශ්මිය ප්‍රකාශ කරන කොඩිය කොළඹ විද්‍යෝදය පිරිවෙණෙහි ද කොටහේනේ දීපදුත්තම විහාරස්ථානයෙහි ද බොරැල්ල හුණුපිටිය ආදී කොළඹ පිහිටි අන්‍ය විහාරස්ථාවල ද, කැලණි විහාරය ආදී ස්ථානවල ද මනොහර ලෙස ඔසවන ලද්දේ යි. කොළඹ පරමවිඥානාර්ථ බෞද්ධ සභා ශාලාවේදී කොඩියක් නගන ලදී.

බොරැල්ලේ පටන් විසිතුරු පෙළහරක් කොටහේනේ දීපදුත්ත විහාරයට ගෙනයන ලද්දේ යි. පංචිකාවත්තේ පටන් බොරැල්ලේ පන්සලට පෙළහරක් ගෙන යන ලද්දේ යි. කොම්පඤ්ඤ වීදියේ සිට පෙළහරක් විද්‍යෝදය පිරිවෙණට ගෙනයන ලද්දේ යි. ලුණු පොකුණ පළාතේ සිටන් කොටහේනට පෙළහරක් ගෙන යන ලදී.

‘රාත්‍රී භාගයේ කොටහේනේ දීපදුත්තාරාම විහාරස්ථානයෙහි මොහොට්ටිවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාවක් කරන ලද්දේ යි. සිද්ධාර්ථ කුමාරයාණන්ගේ උප්පත්තිය සහ මේ නිවාඩු දවස සම්බන්ධ වැදගත් කරුණු මේ දේශනාවේ සඳහන් විය. දවස මුළුල්ලේ ම විද්‍යෝදය පිරිවෙණේ ධර්ම දේශනා පවත්වන ලදී. රාත්‍රී භාගයෙහි දී සිප්කඩුවේ නායක ස්වාමීන්වහන්සේ සිද්ධාර්ථ ගෞතම කුමාරයාණන් ලෝ පහළ වූ ආකාර, සර්වඥ පද ප්‍රාප්ත වූ ආකාර ආදිය ප්‍රකාශ කරන ධර්ම දේශනාවක් කළේ ය.
  • නීල වර්ණය: බුද්ධ ශරීරයේ කෙස්‌ ලොම් ආදියෙන් විහිදී ගිය වර්ණය.
  • පීත වර්ණය : බුද්ධ ශරීරයේ සම තුළින් විහිද ගිය වර්ණය.
  • ලෝහිත වර්ණය : බුද්ධ ශරීරයේ ලේ මස්‌ ආදිය තුළින් විහිදී ගිය වර්ණය.
  • ඕදාත වර්ණය : බුද්ධ ශරීරයේ ඇට සහ දත් තුළින් විහිද ගිය වර්ණය.
  • මාංඡේෂ්ඨ වර්ණය: බුද්ධ ශරීරයේ අතුල්ල පතුල්ල තොල් වලින් විහිද ගිය වර්ණය.
  • ප්‍රභාෂ්වර වර්ණය – මේ සියලු වර්ණයන්ගේ එකතුව ප්‍රමිතිය
අප රටේ දී නිර්මාණය වී භාවිතයට පත් බෞද්ධ කොඩිය 1956 වර්ෂයේ කොළඹ දී පැවැත් වූ ලෝක බෞද්ධ සංගමයේ ආරම්භක රැස්වීමේ දී ලෝක බෞද්ධ ප්‍රජාවගේ ම කොඩිය වශයෙන් ඒකඡන්දයෙන් සම්මත විය. 1987 දී ප්‍රමිති ගත වූ කෙටුම්පතෙහි සම්මත වූ බෞද්ධ කොඩිය අන්තර්ජාතික කොඩියක් වශයෙන් ධජ විශේෂඥයන් විසින් අනුමත කරන ලදී.‘බෞද්ධ කොඩිය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර’ කෙටුම් පතෙහි කොඩියේ සැළසුම දැක්වෙන්නේ මෙසේය.

3.1 කොඩියේ හැඩ සෘජුකෝණාස්‍රාකාර විය යුතු ය.

3.2 කොඩියේ පළල හා දිග අතර අනුපාතය 2.3 විය යුතු ය. දිග මැනිය යුත්තේ කොඩිය එසවීමට යොදා ඇති කොපුව ඇතුළත් නොවන ලෙස ය. කොඩිවල ප්‍රමාණ සඳහා නිර්දේශිත මාන සමහරක් ‘ආ’ පරිශිෂ්ඨයේ දී තිබේ.

3.3 කොඩිය, සමාන සිරස් තීරු හයකින් විය යුතු ය. කොඩිය ඔසවන කෙළවරේ සිට පිළිවෙල විය යුත්තේ නීල = නිල්, පීත = කහ, ලෝහිත = රතු, ඔදාත = සුදු සහ මාංජ්‍යෙෂ්ඨ = රතු මිශ්‍ර කහ යනුවෙනි. ප්‍රභාස්වර ලෙස හැඳින්වෙන හය වන තීරුවෙහි මෙම වර්ණ පහ තිරස්ව එකක් යට එකක් පිහිටන සේ සමාන ප්‍රමාණවලින් මෙම පිළිවෙළට ම තිබිය යුතු අතර නිල් වර්ණය උඩ කෙළවරෙන් තිබිය යුතු ය.

4.1 පියවි ඇසින් පරීක්ෂා කළ විට කොඩියේ වර්ණ හා මන්සෙල් ක්‍රමයෙන් දක්වා ඇති 1 වන වගුවේ සඳහන් අදාල වර්ණ අතර දෘශ්‍යමාන වන වෙනසක් නොතිබිය යුතු ය.

4.2 කොඩියේ වර්ණ පිළිබඳ මත භේදයක් ඇති වුන අවස්ථාවක දි එය වර්ණ මනින උපකරණයක් භාවිතයෙන් නිර්ණය කළ යුතු ය.

5.0 නිර්මාණය

5.1 දාර, තීරු එකතු කර මැසීම හා කොපුව මැසීම ආදී යන්ත්‍ර මගින් සිදු කරන සියලු මැසීම් සඳහා අගුල් මැස්ම යෙදිය යුතුය. මිලිමීටර් 10 ක තිබිය යුතු මැහුම් ගණන 4කට වඩා නො අඩු විය යුතුය.

5.2 කොඩියේ නිල් සිරස් තීරුව ඇති පැත්තේ කොපුවක් මසා තිබිය යුතු ය. මෙම කොපුවෙහි පළල සිරස් තිරුවක පළලින් තුනෙන් පංගුවක් නොඉක්ම විය යුතුය.

5.3 එළිමහන් භාවිතය සඳහා නිෂ්පාදනය කරනු ලබන කොඩිවල කොපුව දෙකෙළවර ගිරිවර දෙකක් (කොඩිය ඔසවන්නට රඳවන කොටස් ) තිබිය යුතු ය. මල නොබැඳෙන ද්‍රව්‍යයකින් ගිරිවරය සෑදිය යුතුය.

තොග වශයෙන් නිෂ්පාදනය කරන අවස්ථාවලදී භාවිතා ක්‍රමවේද ආදිය මෙහි සඳහන් කොට තිබේ.බෞද්ධ කොඩිය පිළිබඳව ශ්‍රී‍්‍ර ලංකා ප්‍රමිති පිරිවිතරයෙහි’ ද අත්‍යවශ්‍යම සාධකයක් වූ බෞද්ධ කොඩියේ භාවිතය පිළිබඳ කිසිදු සඳහනක් නොමැත. එම නිසා ඒ ආදී කරුණු සංශෝධන කර නැවත කෙටුම්පත් කිරීමට කාලය එළඹ ඇත.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...

Comments

Populat Posts Last 7 Days

Xiaomi Redmi Note 9 Review

It's the cheapest Xiaomi phone in the new 2020 UK line-up, but is Redmi Note 9 the high-value proposition you're looking for?
Should I Buy The Xiaomi Redmi Note 9?
Pros Competitive pricingQuad-lens cameraDual-4G3.5mm headphone jackCons Plastic bodyMediaTek chip sacrifices performance & battery lifeCamera focus can be softOur Verdict An excellent budget phone, but unless money is very tight the Redmi Note 9S offers better value still.

Elvis from Outer Space Movie Review

Blue Suede Saucers
"ATTENTION! ELVIS has left the planet! Elvis has left the planet!" Yup. A completely predictable remark you could expect from pretty much anybody after hearing the title of this movie.  Fortunately, the predictability of "Elvis from Outer Space" stops there. Instead, first time writer/directors Marv Silverman and Tracy Wuischpard have crafted a wonderfully original story that pushes aside all caricatures and tropes and replaces them with a fun and clever romp that fully lives up to its kooky title.

How to Setup an AddMeFast Bot With iMacros

Introduction AddMeFast is a website where you can collect points for various social media tasks. These mostly include following accounts, liking tweets or viewing YouTube videos. Register Now - addMeFast

කමු ද ජුජුබ්ස් කෑල්ලක් 🍭🍭🍭🍭 (Let's Eat A Piece Of Jujubes)

🖊️අවශ්‍ය ද්‍රව්‍ය:
🥇සීනි කෝප්ප එකක් .
🥇වතුර කෝප්ප භාගයක් .
🥇ජෙලටින් මේස හැදි දෙකක් .
🥇ජෙලටින් දිය කර ගැනීමට වතුර කෝප්ප බාගයක් .
🥇රතු කහ කොළ වර්ණක බින්දුව බැගින් .

ෂුගර් කුකීස් හදන විදිහ (How To Make Sugar Cookies)

අද අපි කියලා දෙන්න යන්නේ දරුවන්ටම විශේෂ වූ කුකීස් වර්ගයක් ගැන. දරුවන්ට රසට කන්න පුළුවන් වගේම අම්මලට ලේසියෙන් හදන්නත් පුළුවන්. කඩෙන් මිලදී ගන්න බිස්කට් වගේ කල් තබාගැනීමේ ද්‍රව්‍ය මුකුත් දාන්නැති නිසා කිසිම බයක් නැතුව ළමයින්ට දෙන්නත් පුළුවන්නේ.
විනාඩි 30ක් වගේ සුළු වෙලාවකින් මෙය සාදා නිමකරගත හැකි වගේම කැමති ආකාරයට හැඩ කරගත හැකිය. එනම් අපි බලමු හදන්නේ කොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය:(කුකීස් 12ක් හදන්න පුළුවන්)
බටර් 100gසීනි 100gබිත්තර 01පාන් පිටි 150gබේකින් පවුඩර් තේ හැඳි 01වැනිලා තේ හැඳි 01