හදමුද ස්පෙෂල් කොත්තු 3ක්? (Three Special Kottu)

1. ගෝදම්බ රොටිය හදාගමු
කොච්චර කලත් කඩේ පදමට ගෝදම්බ රොටිය හදාගන්න හුඟ දෙනෙක්ට අමාරුයි. ඒක දැක්කම හිතෙන්නෙ කොත්තු බාසුත් තෙලේ බැහැල ඉඳල රොටිය අනලයි කියල. ඒත් එච්චරම තෙල් ගොඩක් නොදා රොටිය රසටම කඩේ පදමටම හදාගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • පාන් පිටි කප් 2 (ස්ටෑන්ඩර්ඩ් මෙශරින් කප්)
  • ලුණු තේ හැඳි ½
  • පොල් තෙල් මේස හැඳි 3
සාදන ආකාරය:
  1. මේ සියල්ල එකට හොඳට මිශ්‍ර කරගෙන වතුර ටික ටික දාන ගමන් අනාගන්න.
  2. අතේ ඇලෙන පදමට යහමින් වතුර දාල විනාඩි දෙක තුනක් අනාගන්න. මේක අතේ ඇලෙන ඇදෙන සොෆ්ට් ඩෝ එකක් වෙන්න ඕන.
  3. මේ ඩෝ එක බෝලයක් වගේ හදාගෙන ඒකට තෙල් තේ හැන්දක් දාගන්න. ඇලෙන ගතිය නැති වෙලා දිලිසෙන ලිස්සන පිටි ඩෝ එකක් ලැබෙනව.
  4. මේක කොටස් හයකට කඩල බෝල හයක් හදාගෙන පොඩ්ඩක් අතින් පැතලි කරගන්න. භාජනයක එක උඩ එක නොයන්න තියාගෙන තෙල් මේස හැඳි 4ක් විතර මේ පැතලි කරගත්ත බෝල උඩින් දාගන්න.
  5. පැය තුනක් හතරක් වහල පැත්තකින් තියාගෙන, තෙල් තවරගත්ත මතුපිටක තියල තුනී කරගන්න ගෝදම්බ රොටිය ගාණට. තැටියක දාල දෙපැත්තම පුච්ච ගන්න.
  6. හදාගත්ත රොටි ටික ටිකක් නිවෙන්න තියල හීනියට කපාගන්න. හීනියට කපන තරමට අපි කොත්තුවට දාන හොදි රස රොටියට අල්ලගෙන කොත්තුව රසවත් වෙනව.
2. පාලන්ඩි චිකන් කොත්තු
මේක ඉන්දියන් ටේස්ට් එකට එන කොත්තුවක්. ඔය පිලාවූස් වගේ තැන් වල කොත්තුවට වහ වැටුන කෙනෙක් නම් මේක ගෙදරදිම මේ විදියට හදල බලන්න.

කරියට අවශ්‍ය ද්‍රව්‍ය: (අවශ්‍ය ද්‍රව්‍ය ගොඩක් තියනවා වගේ පෙනුනට මේව ඕනැම ගෙදරක තියෙන ජාති)
  • චිකන් 500g
  • ගරම් මසාල තේ හැඳි 1 ½
  • මිරිස් කුඩු තේ හැඳි 1 ½
  • ගම්මිරිස් ඇට තේ හැඳි ½
  • සූදුරු ඇට තේ හැඳි ½
  • කොත්තමල්ලි ඇට තේ හැඳි ½
  • බේ ලීෆ් 1
  • කරාබු නැටි 8
  • කරදමුංගු 4
  • අබ ඇට තේ හැඳි ½
  • මී කිරි කප් 1 ½
  • ගී මේස හැඳි 4, 5 හෝ පොල්තෙල්
  • හීනියට කපාගත් බී ළූණු ගෙඩි 2
  • රම්පෙ, කරපිංචා
  • තලාගත් ඉඟුරු, සුදු ළූණු
  • ලුණු
  • කොත්තමල්ලි කොළ
  • අමු මිරිස්
  • සියඹලා ඉස්ම තේ හැන්දක්
  • වතුර කප් 1/2ක්
කොත්තුවට අවශ්‍ය ද්‍රව්‍ය:
  • කපාගත් කැරට්
  • කපාගත් ලීක්ස්
  • කපාගත් ළූණු
  • තලාගත් ඉඟුරු, සුදුළූණු
  • ලුණු පොඩ්ඩක්
  • කරපිංචා
  • බිත්තර 2
සාදන ආකාරය:
  1. ගම්මිරිස්, සූදුරු, කොත්තමල්ලි ඇට ටික එකට කුඩු කරගන්න. (කුඩු කරපුවා නොගෙන ඇට අරගෙන කුඩු කරගන්න.)
  2. මේ පහේ ටිකයි, ගරම් මසාල, මිරිස්, ලුණු රස අනුව අරගෙන මී කිරි එකට හොඳින් මිශ්‍ර කරගන්න. මේ මිශ්‍රණයට කපල සෝදගත්තු චිකන් දාල චිකන් ටික මැරිනේට් වෙන්න අවම පැයක් හෝ උපරිම පැය 24ක් (ශීතකරණයක) තියාගන්න.
  3. ගී ටික රත් වෙන්න තියල එයට අබ, කරදමුංගු, කරාබුනැටි, බේ ලීෆ්, ළූණු, රම්පෙ, කරපිංචා, ඉඟුරු, සුදු ළූණු පිලිවෙලින් එකතු කරගන්න.
  4. ළූණු බැදුනම වතුර ටික එකතු කරන් ඒ එක්කම චිකන් ටික මේකට එකතු කරගෙන කලවම් කරන් අඩුම ගින්දරේ චිකන් තැම්බෙනකම් උයාගන්න.
  5. අන්තිමටම අමු මිරිස්, කොත්තමල්ලි කොළ, සියඹලා ඉස්ම එකතු කරල ලිප නිවාගන්න. කොත්තුවට නිසා ටිකක් කරි ගතිය තියෙන්න ගන්න.
  6. ඉඩකඩ ඇති භාජනයක තෙල් ටිකක් රත් වෙන්න තියාගන්න. ඒකට කොත්තුවට අවශ්‍ය ද්‍රව්‍ය වලින් බිත්තරයි ලීක්සුයි හැර අනික් සියල්ලම එකතු කරගෙන විනාඩියක් විතර තෙම්පරාදු කරගන්න.
  7. එළවළු ටික මැදින් වලක් හදාගෙන ගසාගත් බිත්තර දෙක එකතු කරන් වැඩි ගින්දරේ ස්ක්‍රැම්බල් කරගන්න එළවළු ටිකත් කලවම් කරගන්න ගමන්ම.
  8. දැන් මේකට හදාගත්තු චිකන් කරි එක කෑලිත් සමඟම එකතු කරගන්න. හොදි ප්‍රමාණය තමන්ගේ කැමැත්ත පරිදි එකතු කරගන්න. හොඳට කලවම් කරගෙන ලීක්ස් සහ කපාගත්ත රොටි එකතු කරන් වැඩි ගින්දරේ ඉක්මණින් කලවම් කරගන්න.
3. මික්ස් කොත්තු
මේක ටිකක් පැණි රස වගේම සැර කොත්තුවක්. විශේෂ වෙලාවක හදන්න නියමයි. දාගන්න එළවළු සහ මස් මාළු වල ප්‍රමාණය කැමැත්ත පරිදි අඩු වැඩි කරගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • ලුණු, ගම්මිරිස් අතගා බැදගත්ත ඉස්සන්, මාළු, චිකන් සහ පීකුදු
  • ලොකුවට කපාගත් ළූණු, මාළුමිරිස්, ලීක්ස් සහ තක්කාලි
  • කපාගත් කැරට්
  • තලාගත් ඉඟුරු, සුදුළූණු
  • කරපිංචා
  • බිත්තර 2
  • කෑලි මිරිස් සැර අනුව
  • සෝයා සෝස් මේස හැඳි 2
  • චිලි සෝස් මේස හැඳි 4
  • චිකන් හෝ මාළු කරි කප් 1/2
සාදන ආකාරය:
  1. ඉඩකඩ ඇති භාජනයක තෙල් ටිකක් රත් වෙන්න තියාගන්න. ඒකට කැරට්, ළූණු, ඉඟුරු, සුදුළූණු, කරපිංචා, කෑලිමිරිස් එකතු කරගෙන විනාඩියක් විතර තෙම්පරාදු කරගන්න.
  2. ඒ මිශ්‍රණය මැදින් වලක් හදාගෙන ගසාගත් බිත්තර දෙක එකතු කරන් වැඩි ගින්දරේ ස්ක්‍රැම්බල් කරගන්න වටෙන්ම එළවළු ටිකත් කලවම් කරගන්න ගමන්ම.
  3. දැන් හොදි එකට සෝස් වර්ග දෙක එකතු කරගෙන එළවළු මිශ්‍රණයට එකතුකරන් හොඳට කලවම් කරගන්න. බැදගත්ත මස්, මාළු සියල්ලමත් එකතු කරගන්න.
  4. ඒකටම ලීක්ස් සහ කපාගත්ත රොටි එකතු කරන් වැඩි ගින්දරේ ඉක්මණින් කලවම් කරගන්න. රස බලල අවශ්‍ය නම් ලුණු එකතු කරගන්න. හොදි ප්‍රමාණය අවශ්‍ය පරිදි අඩු වැඩි කරගන්න.
4. ටූනා/ සැමන් චීස් කොත්තු
චීස් කොත්තු කන්න කවුද අකමැති. හැමදාම කන චීස් කොත්තුවෙන් පොඩ්ඩක් වෙනස් වෙලා සැමන් දාල චීස් කොත්තුවක් කාල බලමුද?

අවශ්‍ය ද්‍රව්‍ය:
  • සාමාන්‍ය විදියට තෙල් දමාගත් සැමන් හෝ ටූනා
  • කපාගත් ළූණු, මාළුමිරිස්, ලීක්ස්, තක්කාලි සහ කැරට්
  • තලාගත් සුදුළූණු
  • කරපිංචා
  • බිත්තර 2
  • ගම්මිරිස් කුඩු
  • චීස් වෙජස් 4
  • ෆ්‍රෙශ් මිල්ක් කප් ¾
  • ලුණු
සාදන ආකාරය:
  1. ඉඩකඩ ඇති භාජනයක තෙල් ටිකක් රත් වෙන්න තියාගන්න. ඒකට කැරට්, මාළුමිරිස්, ළූණු, සුදුළූණු, කරපිංචා එකතු කරගෙන විනාඩියක් විතර තෙම්පරාදු කරගන්න.
  2. දැන් ඒකට තෙල් දමාගත් සැමන් හෝ ටූනා එකතු කර ටිකක් පොඩි කරමින් කලවම් කරගන්න.
  3. ඒ මිශ්‍රණය මැදින් වලක් හදාගෙන ගසාගත් බිත්තර දෙක එකතු කරන් වැඩි ගින්දරේ ස්ක්‍රැම්බල් කරගන්න වටෙන්ම එළවළු ටිකත් කලවම් කරගන්න ගමන්ම.
  4. මේ එළවළු සහ ටූනා මිශ්‍රණය භාජනයෙන් ඉවත් කරගෙන පැත්තකින් තියාගන්න. ඒ හිස් භාජනයම නැවත ලිපෙන් තියාගෙන එයට කිරි සහ චීස් එක් කර චීස් ටික දියකරමින් මද ගින්දරේ කිරි ටික උතුරුවා ගන්න. රස අනුව ගම්මිරිස් එකතු කරගන්න.
  5. ඒකට ලීක්ස්, එළවළු සහ ටූනා මිශ්‍රණය එකතු කරන් කලවම් කරගෙන ඒකටම රොටි ටික දාගෙන වැඩි ගින්දරේ ඉක්මණින් කලවම් කරගන්න. රස බලල අවශ්‍ය නම් ලුණු එකතු කරගන්න.
දැන් මේ විදිහේ ස්පෙෂල් කොත්තු ගෙදරදී හදල, රස බලල නිකම් ඉන්න එපා. ඔයාලගෙ රසම රස කොත්තුවේ පින්තූරෙකුත් අපිත් එක්ක ෂෙයාර් කරගන්න අමතක කරන්න එපා…

👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හදමුද ස්පෙෂල් කොත්තු 3ක්? (Three Special Kottu) හදමුද ස්පෙෂල් කොත්තු 3ක්? (Three Special Kottu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 20, 2020 Rating: 5

0 comments:

Post a Comment