ගොඩක් අය දන්නේ නැති ගාලු කොටුවේ පිරිමි මුහුද | Your Choice Way

ගාල්ලට යන ඕනෑම අයෙකු මුහුදේ නාන්නට උනන්දුවීම අරුමයක් නොවේ ගාල්ල කොටුවේ සීබාත් යනුවෙන් හැඳින්වෙන තැන දැන් නෑමට වඩාත් ප්‍රසිද්ධ වුව ද අදින් වසර සියයකට පමණ පෙර පටන් කොටුවේ ගැහැනුන් හා පිරිමින් වෙනුවෙන් ම වෙන්කර තිබූ නාන ස්ථාන ඇති බව බොහෝ දෙනෙක් දන්නේ නැත ගාල්ල මහ නගර සභාව විසින් කොටු පවුරේ සිට මුහුදු වෙරළට බැසිය හැකි පරිදි ආරක්ෂිත පියගැටපෙළ දෙකක් සාදා එම ස්ථාන වෙන්කර තිබිණි. එලෙස නාන ස්ථාන වෙන්කරන්නට ඇත්තේ 1910-1920 අතර කාලයක දී ය. නමුත් අද මේ ස්ථාන ගැන බොහෝ දෙනෙක් දන්නේ නැත පිරිමින්ට නෑමට වෙන්වූ ස්ථානය දැන් යුද හමුදාව භාරයේ ඇති අතර එතැන වසා දමා තිබේ ගැහැනුන්ට නෑම සඳහා වෙන්වූ තැන නම් අදට ද විවෘතය. එහෙත් ඒ ස්ථාන ගැන නොදන්නා ගාල්ලට පැමිණෙන පිරිස් අද මුහුදේ නාන්නේ ප්‍රදීපාගාරය අසල ඇති සී බාත් නම් ස්ථානයේය. මෙය මෑතකාලීනව කොටු පවුර අසලට වැලි එකතුවීමෙන් සෑදුණු ස්ථානයකි.
ප්‍රධාන ගොඩබිමට යාබදව මුහුද දෙසට වන්නට පිහිටි වගුරු සහිත ගල්පරවලින් ද කුඩා කඳු ශේෂයන්ගෙන් ද සමන්විත වූ ගාලු තුඩුව මනබන්දනීය වූ වෙරළකින් ද සුසැදියේය රාජසිංහ රජුගේ බළකොටුවට වඩා විශාල බළකොටුවක් පෘතුගීසීන් විසින් ගාල්ලේ ඉදිකළේ වරාය අසල සිට වත්මන් සමනල පාලම දක්වා වූ කොටසේ දැවැන්ත මුර අට්ටාල ඉදිකරමිනි. එම මුර අට්ටාලවලින් ඔවුහු ගාල්ලේ වරාය අසල විශාල කොටසක් සිය පරිපාලනයට නතුකර ගත්තෝය පුරාවිද්‍යා පර්යේෂකයන්ගේ අදහස වන්නේ එකල පෘතුගීසීන් ඉදිකළ ෆෝර්ටලේසා බළකොටුව ඔවුන්ගේ ආරක්ෂිත ස්ථානය වුව ද හිරු සඳු හා තරු යනුවෙන් නම් කරන ලද අට්ටාල තුනෙන් වටවූ සමස්ත භූමි භාගයම ඔවුන් එකල පරිහරණය කරන්නට ඇති බවයි. මේ භූමියේ පෘතුගීසි නිලධාරීන්ගේ සහ භටයන්ගේ නිවාස බඩු ගබඩා මෙන්ම දේවස්ථාන ද ඉදිකර තිබූ බවට සාක්ෂි තිබේ.

ඉන්පසු ගාල්ල කොටුව අල්ලාගත් ලන්දේසීන් මේ බළකොටුව විශාල කළේය. ඒ එදා වගුරක් ලෙස තිබූ ගාල්ල තුඩුව සම්පූර්ණයෙන් ම ගල් බැම්මකින් වට කරමිනි. අද අපට දක්නට ලැබෙන්නේ ලන්දේසීන් විසින් විශාල කර සෑදූ බළකොටුවයි මේ බළකොටුව ඉදිකළ ගාලු තුඩුව අතීතයේ කොරල්පර බහුලව තිබූ තැන දූපත් වැනි පස් ගොඩැලි සහිත ගල් පර්වත ඇති තැනක් වූ බව පෘතුගීසීන් සහ ලන්දේසීන් විසින් සැකසූ සිතියම්වලින් ද එකල අඳින ලද සිතුවම්වලින් ද අපූරුවට පැහැදිලි වෙයි මේ ස්වභාවික පරිසරය ගාල්ල කොටුව නිසා වෙනස් වී ඇතත් අදට ද ගාල්ලට පැමිණෙන ජනතාවගේ සිත් වශීකරවන නොගැඹුරු මුහුදු ප්‍රදේශයක් ගාල්ල කොටුව වටා පිහිටා තිබේ පිරිමින් සඳහා නෑමට වෙන්කළ මුහුද පිහිටා ඇත්තේ ඊලොස් නමැති අට්ටාලය අසලය. ඊලොස් යනු සුළඟට අධිපති දෙවි කෙනෙකි. පුරාවිද්‍යාඥයන් පවසන්නේ ලන්දේසීන් ගාල්ල කොටුව අල්ලාගැනීමෙන් පසු මුලින්ම ඉදිකර ඇති අට්ටාලය මෙය බවයි. 1760 වර්ෂය වනවිට ලන්දේසීන් විසින් මෙහි කාලතුවක්කු හයක් සවිකර තිබී ඇති අතර පසුව දෙවැනි ලෝක යුද්ධයේ දී ගුවන් යානා ඉලක්ක කරගෙන වෙඩි තැබීම සඳහා කරකැවීමට හැකි විශාල කාලතුවක්කුවක් සවිකර ඇත. 1940 දී පමණ එය සවිකරන්නට ඇති බව විශ්වාස කරයි.

කාලතුවක්කුවක් සවිකිරීමට පෙර ගාල්ල මහ නගර සභාව මෙම ස්ථානය සංවර්ධනය කරමින් පිරිමි නාන ස්ථානයක් ලෙස නම් කර ඇත්තේ පඩිපෙළක් ද ඉදිකරමිනි. අදට ද මේ පඩිපෙළ දක්නට ඇත. නමුත් ස්ථානයට ඇතුළුවීමට හෝ එහි නෑමට සාමාන්‍ය ජනතාවට කිසිදු අවසරයක් නැත අසල ඇති යුද හමුදා කඳවුර විසින් මේ අට්ටාලයත් මුහුදට බසින පඩිපෙළත් වසා දමා ඇත්තේ අන්තරාදායක බවත් ඇතුළුවීම තහනම් බවත් සඳහන් පුවරු සවිකරමිනි ගාල්ල දිස්ත්‍රික්කයේ පුපුරන ද්‍රව්‍ය පාලකගේ වෙඩි බෙහෙත් ගබඩාව ලෙස වසර ගණනාවක් මේ ස්ථානය පවත්වාගෙන ගියේය. ලන්දේසීන් විසින් එතැන ඉදිකර තිබූ මුරකුටි වෙඩි බෙහෙත් බහාලීම සඳහා භාවිත කෙරිණි. ස්ථානයේ භාරකරුවා වූයේ දිසාපතිවරයාය. වෙඩි බෙහෙත් භාවිතය සඳහා බලපත්‍ර ඇති පුද්ගලයන්ට හා ආයතන වෙත මේ ස්ථානයෙන් වෙඩි බෙහෙත් නිකුත් කළ අතර එහි ආරක්ෂාව ආසන්නයේ ම ඇති හමුදා කඳවුරට භාර දී තිබිණි. මේ ප්‍රදේශයට ඇතුළුවීම තහනම් කරන ලද්දේ වෙඩි බෙහෙත් ගබඩාව හේතුවෙනි මේ ගබඩාව පුපුරා ගියහොත් විනාශයක් සිදුවිය හැකි බැවින් වෙඩි බෙහෙත් මුර අට්ටාලයෙන් ඉවත් කරන ලෙස ප්‍රදේශයේ ජනතාවගෙන් සහ ගාලු උරුමයෙන් කෙරුණු ඉල්ලීම් අනුව 2007 වර්ෂයේ දී එතැනින් වෙඩි බෙහෙත් ගබඩාව ඉවත්කරන ලදී. දැන් එහි වෙඩි බෙහෙත් අංශු මාත්‍රයක් හෝ නැත. නමුත් එදා වෙඩි බෙහෙත් ගබඩාවක් ලෙස මෙතැන භාවිත කරද්දී එය රැකවල්ලා සිටි හමුදාව තවමත් මේ ස්ථානය මහජනතාව වෙනුවෙන් විවෘත කර නැත. ඒ නිසාම අතීතයේ පටන් පිරිමින්ට මුහුදේ නෑමට වෙන්ව තිබූ ස්ථානය අදට ද ගාල්ලට පැමිණෙන වැසියන්ගෙන් වසං කර තිබේ

නමුත් අප එහි යන විට ද පිරිසක් එතැන දිය නාමින් සිටියහ. ඇතුළු වීම වළක්වා වැට කඩොලු ඉදිකර බාධා සකසා ඇතත් යම් පිරිසක් එතැන නෑමට භාවිත කරන ආකාරය ගැටලුවකි. අප එම ස්ථානයට වැටෙන් පැන ඇතුළුවීමට උත්සාහ ගැනීමේ දී අසල ඇති හමුදා කඳවුරේ සිට එදෙසට ඇස් යොමා සිටි සෙබළු අපට ඇතුළු නොවන ලෙස කීවෝය. ඔවුන් අසලට ගිය විට කීවේ “ඇයි ඇතුළුවෙන්න තහනම් කියලා බෝඩ් ගහලා තියෙනවා දැක්කේ නැද්ද?” යනුවෙනි. කට්ටියක් පහළ නානවා. අපිත් යන්න හැදුවේ ඒකයි.” මම කීවෙමි හමුදාවෙන් අවසර ගත්තොත් විතරයි යන්න පුළුවන්.” සෙබළාගේ පිළිතුර විය. ගාල්ල කොටුවේ පදිංචිකරුවෙක් මෙසේ කීවේය. මේ තැන සාමාන්‍ය ජනතාවට නාන්න වෙන්කරපු තැනක්. ඉස්සර වෙඩි බෙහෙත් තිබුණා කියලා කිසිම කෙනෙකුට ඇතුළු වෙන්න දුන්නේ නැහැ. දැන් වෙඩි බෙහෙත් නැතත් තවම හමුදාවෙන් අල්ලගෙන ඉන්නවා. එතැන අපි කාටවත් නාන්න දෙන්නේ නැහැ. හමුදාවේ අයටයි එයාලගේ පවුල්වල අයටයි විතරක් මෙතැන නාන්න දෙනවා. මේක ලොකු අසාධාරණයක්. දැන් හමුදාවට මේ තැන අල්ලාගෙන ඉන්න කිසිම හේතුවක් නැහැ.”

ඊලොස් අට්ටාලය පහළ ඇති වෙරළේ පැරණි ළිඳක් දක්නට ලැබෙයි. මේ ළිඳ පෘතුගීසීන්ගේ කාලයේ සිට පානීය ජල අවශ්‍යතා සඳහා භාවිත කරන්නට ඇතැයි සිතිය හැකිය. මුහුද අයිනේ ම පිහිටා ඇතත් එහි අදට ද ඇත්තේ පානය සඳහා සුදුසු මිරිදිය ජලයයි. ඒ අසලම මුස්ලිම් පූජකවරයකුගේ සොහොනක් පිහිටා ඇත ගාලු උරුමය පදනමේ විමර්ශන නිලධාරී තරංග ලියනාරච්චි මහතා මෙසේ කීවේය ඊලොස් අට්ටාලය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක්. මෙතැන වෙඩි බෙහෙත් ගබඩාවක් තිබූ නිසා සාමාන්‍ය ජනතාවට තහනම් කලාපයක් බවට පත්ව තිබුණා. නමුත් දැන් වෙඩි බෙහෙත් නැතත් එතැන තවමත් විවෘත කර නැහැ. මේ ස්ථානය ඉක්මනින් සංරක්ෂණය කළ යුතු තැනක්. ඒ වගේම ගාල්ල කොටුව ලෝක උරුමයක් බවට පත්කිරීමේ අපේක්ෂාව සාර්ථක කරගන්න නම් මේ වගේ තැන් දේශීය හා විදේශීය සංචාරකයන්ට විවෘත කළ යුතුයි.”

කතෝලික ආගමට අනුව මුහුදට අධිපති දෙවඟනක වූ “ට්‍රයිටන්” නමින් නම් කර ඇති අට්ටාලය අසල පඩිපෙළක් සකසා එතැන ගැහැනුන්ට මුහුදේ නාන්නට හැකි අයුරින් සකසන ලද්දේ ද ගාල්ල මහ නගර සභාව විසිනි. දැනට එතැන ඕනෑම අයකුට දිය නෑමට හැකියාව පවතී ට්‍රයිටන් අට්ටාලයේ ද බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී ගුවන් යානා නාෂක කාලතුවක්කුවක් සවිකර තිබී ඇති අතර ලන්දේසීන්ගේ පාලනය පැවැති කාලයේ මේ ස්ථානයේ සුළං බලයෙන් ක්‍රියාත්මක ජල පොම්පයක් සවිකර තිබී ඇත. එමගින් ගාල්ල කොටුවේ මාර්ග පිරිසිදු කිරීම සඳහා මුහුදු ජලය ඇදගත් බව පැවසේ ගාල්ල කොටුවේ දැනට වැඩිම පිරිසක් නෑමට භාවිත කරන්නේ “සී බාත්” යනුවෙන් හඳුන්වන ස්ථානයයි. එතැන ද වැලි පිරුණු පුළුල් වෙරළක් දක්නට ඇති අතර කොටුවෙ පැරණි සිතියම් අනුව පැහැදිලිවන්නේ මේ ස්ථානයේ වෙරළ සැකසී ඇත්තේ මෑත කාලයේ බවයි මෙතැන දෙස් විදෙස් සංචාරකයන් විසින් මුහුදු දිය නෑමට භාවිතා කළ ද අද දක්වාම දිය නෑමට තිබූ හොඳම ස්ථානයක් හමුදාවෙන් වසා දමා තිබීම කොතරම්දුරට සාධාරණ ද යන්න විමසා බැලිය යුතුය.

මේ පිළිබඳ ගාලු උරුමය පදනමේ සභාපති පරාක්‍රම දහනායක මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය ගාල්ල කොටුවේ නාන්න වැඩියෙන්ම පුරුදු වෙලා ඉන්නේ ‘සී බාත්’ කියන තැන. නමුත් අදින් වසර 100කට පමණ පෙර පටන් නාන්න වෙන්කරපු ස්ථාන තිබුණා. ඒවා අතරින් ඊලොස් අට්ටාලය අසල පිහිටි පිරිමි වෙරළ ආරක්ෂක හේතූන් මත වසා දමා තිබෙනවා. දැන්නම් එතැන වෙඩි බෙහෙත් ගබඩාවක් නැහැ. ඒ නිසා අපි හමුදාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා මේ ස්ථානය සංරක්ෂණ කටයුතුවලටත් ලබාදෙන්න කියලා. ඒ වගේ ම දේශීය හා විදේශීය සංචරකයන්ට මේ ස්ථානය විවෘත කළ යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා හමුදාව මේ ස්ථානය විවෘත කරනු ඇතැයි කියා.

මේ සම්බන්ධයෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.ගාල්ල කොටුවේ වෙඩි බෙහෙත් ගබඩාව තවමත් හමුදාව භාරයේ තිබෙනවා ද කියා මා දැනුම්වත් වෙලා නැහැ. කෙසේ වෙතත් ගාලු උරුමය පදනමෙන් හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ මුරකුටිය නිදහස් කරන්න කියා ඉල්ලීමක් කර තිබෙනවා නම් ආරක්ෂක අමාත්‍යාංශය හමුදාව සමග කතා කරලා ඒ පිළිබඳ තීරණයක් ගනීවි. කොටුවේ සංචාරක කර්මාන්තයේ නිරතව සිටින්නන් පවසන්නේ මේ ස්ථානය පොදු ජනතාව සඳහා විවෘත කිරීම සංචාරක ප්‍රවර්ධනය සඳහා අතිශය වැදගත් වන බවයි. සටහන සහ ඡායාරූප සජීව විජේවීර

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගොඩක් අය දන්නේ නැති ගාලු කොටුවේ පිරිමි මුහුද | Your Choice Way ගොඩක් අය දන්නේ නැති ගාලු කොටුවේ පිරිමි මුහුද | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 16, 2020 Rating: 5

0 comments:

Post a Comment