කොරෝනා පස්වන මරණයත් මෙරටින් වාර්තාවෙයි / මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 159 දක්වා ඉහළට / "ලොක් ඩවුන් " වී සිටින මරදානේ ජනතාව වෙනුවෙන් පොලිස් විරුවන් ගී ගයති / 11 වසරේ මාතර සිසුවෙක් පුද්ගලයින් 100ක් එකවර විෂබීජහරණය කළ හැකි උපකරණයක් සාදයි / අපේ පොළවේ වතුර මට්ටම තියෙන්නේ ඉහළින් - හකීම්ගේ මිත්‍යාවන්ට අනිල් ජාසිංහ විද්‍යාවෙන් උත්තර දෙයි / රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් යෝජනා 8ක් / ඉන්දියාවේ අලුත උපන් නිවුන් දරුවන් දෙදෙනෙකුට කොරෝනා සහ කොවිඩ් ලෙස නම් තබයි

කොරෝනා පස්වන මරණයත් මෙරටින් වාර්තාවෙයි

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් අද තවත් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට මියගිය පිරිස පහක් දක්වා ඉහළ ගියා.

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 159 දක්වා ඉහළට
කොරෝනා වෛරසය ආසාදිත තවත් රෝගීන් අට දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, කොරෝනා ආසාදිත රෝගීන් ගණන 159ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් ක‍ළේය.
කොරෝනා ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 24කි.

"ලොක් ඩවුන් " වී සිටින මරදානේ ජනතාව වෙනුවෙන් පොලිස් විරුවන් ගී ගයති
කොරෝනා රෝගීන් දෙදනෙකු හමුවීම නිසා පසුගියදා මරදානේ ප්‍රදේශ කිහිපයක් සම්පූර්ණයෙන්ම වසා දමනු ලැබුවා.

එම ප්‍රදේශවල සිටින ජනතාව සහ මහල් නිවාසයන්හි වාසය කරන ජනතාවගේ ආතතිය අඩු කිරීම වෙනුවන් අද දිනයේදී පොලිස් නිලධාරීන් විසින් ආදර්ශමත් සහ අගය කල යුතුම ක්‍රියාවක් සිදු කරනු ලැබූවා.

ඒ පොලිස් සන්ගීත කණ්ඩායම් විසින් ඔවුන් වෙනුවෙන් ගීත ගායනා කිරීමයි.

ලොව කිසිම රටක මෙවන් ආකාරයේ මානුෂීයව කටයුතු කරන ආරක්ෂක අංශයක් දක්නට නොලැබෙන අතර මෙය සැබවින්ම පැසසිය යුතු කරුණක් වනවා.


11 වසරේ මාතර සිසුවෙක් පුද්ගලයින් 100ක් එකවර විෂබීජහරණය කළ හැකි උපකරණයක් සාදයි
මාතර ඌරුමුත්ත ප්‍රදේශයේ පාසල් සිසුවකු සහ ඔහුගේ අසල්වාසියකු විසින් පුද්ගලයන් 100 දෙනෙකු එකවර තප්පර දහයක් පහළොවක් වැනි කෙටි කාලයක් තුළ දී විෂබීජහරණ දියර ලීටරයකින් ස්වයංක්‍රීයව විෂබීජහරණය කිරීමේ නව නිපයුම් උපකරණ කුටියක් දින දෙකක දී සාදා නිමකර කඹුරුපිටිය මූලික රෝහලට නොමිලේ බාරදීම ඊයේ (03) සිදු කෙරුණි .

මෙම උපකරණය සාදා නිමකර ඇත්තේ ඌරුමුත්ත අල්මේදා මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන (16) හැවිරිදි එච්.ජී. මදුෂාන් නැමති පාසල් සිසුවා සහ ඔහුගේ අසල්වාසියකු වූ (32) හැවිරිදි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු වන උදාර ශ්‍රී වික්‍රම යන දෙදෙනා ය .

මෙම නව නිපයුම් කුටිය ඉදිකිරීම සඳහා මොවුන් දෙදෙනා රුපියල් 40000– 50000 අතර මුදලක් වැයවී ඇති අතර මෙමගින් පුද්ගලයකු ඉතා කෙටි කාලයක් තුළදී සම්පූර්ණයෙන්ම විෂබීජහරණය සිදුවන බව එම නිර්මාණකරුවන් දෙදෙනා පැවසීය.

මෙම කුටිය අද (3) කඹුරුපිටිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි රංජිත් ධර්මකීර්ති මහතාට බාර දුන් අතර ඒ මහතා කියා සිටියේ මින් ඉදිරියට මෙම කුටිය රෝහල් කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනයට ගන්නා බවත් සහ මෙවැනි නිර්මාණ සිදු කරන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් දිරිමත් කර ඒවා අප රට තුළම නිෂ්පාදනය කරන එක කාලෝචිත ක්‍රියාවක් බවයි . 


අපේ පොළවේ වතුර මට්ටම තියෙන්නේ ඉහළින් - හකීම්ගේ මිත්‍යාවන්ට අනිල් ජාසිංහ විද්‍යාවෙන් උත්තර දෙයි
බෞද්ධ, මුස්ලිම්, කතෝලික සේම අනෙකුත් ආගමිකයන්ටත් පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ විවිධ ගැටලු ඇති විය හැකි වුවත් සමස්ත සමාජය පිළිබඳ සළකා බලා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත කටයුතු කිරීමට රජය සෑම විටම පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ පැවැති සර්වපාක්ෂික නායකයින්ගේ සහ නියෝජිතවරුන්ගේ හමුව අතරවාරයේ දී කොරෝනා වංසගතයෙන් මරණයට පත්වන මුස්ලිම් පුද්ගලයින්ගේ මෘත දේහ ආගමානුකූලව භූමිදානය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මුස්ලිම් පක්ෂ නියෝජිතයින් යොමු කළ ගැටලුවට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කොරෝනා වෛරසය හඳුනාගෙන තවම මාස තුනයි. මේ වෛරසයේ හැසිරීම පිළිබඳව තවම නිසියාකාර තොරතුරු හඳුනාගෙන නැහැ. එසේම බෝවෙන වෙනත් ක්‍රම පෙන්නුම් කරමින් තිබෙන බවත් කොරෝනා වසංගතය පැතිරීමේ අවදානම වළක්වා ගැනීමට සෞඛ්‍ය අංශ දැඩි උත්සාහයක නිරත වන බවත් එහි දී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

මෘත දේහ ආදාහනය කිරීමේ දී ලංකාවේ සමස්ත තත්ත්වය සළකා බැලිය යුතුය. මෙය සංවේදී කාරණාවක්. එහෙත් අප කටයුතු කළ යුත්තේ සමස්ත ප්‍රජාව පිළිබඳව අවදානය යොමු කරමින් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මෙහිදී  රවුෆ් හකීම් මහතාගේ සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කරුණු දැක්වීම පහත දැක්වෙයි.

රවුෆ් හකීම්ගේ කතාව

මෘත දේහ ආදහනය කිරීම පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට අනුව නිකුත් කර තිබූ නිර්ණායකයන් වෙනස් කරමින් වසංගතයෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ දේහයන් පිළිබඳව කටයුතු කරන ආකාරය වෙනස් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව ආදාහනය සහ භූමිදානය කියන දෙකම කරන්න පු`ඵවන්. මීගමුවේ සිදුවීමත් එක්ක සමාජ මාධ්‍ය මහත් ආන්දෝලනාත්මක විදිහට හැසිරෙනවා. එහිදී මම ඉදිරිපත් කරපු කරුණු වලට අනුව මටත් අවලාද නගමින් ඉන්නවා. අපි ලෝක ව්‍යසනයකට මුහුණ දී තිබෙන අවස්ථාවේදී මේ වගේ අවශ්‍ය නැති දේවල් වලට තර්ක කරලා වැඩක් නැහැ. මම එහෙම ආන්දොලනයක් ඇතිවෙන්න දෙයක් ප්‍රකාශ කළෙත් නැහැ. අද හැම පක්ෂයක්ම නියෝජනය කරන මන්ත්‍රීවරු මෙතනට ඇවිත් ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිර්ණායකයන් වෙනස් කරමින් චක්‍රලේඛයක් නිකුත් කරලා තිබෙනවා. ඒවගේම මෘත දේහයක් හරහා වෛරසය පැතිරීම මිත්‍යාවක් කියල ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව කියලාතියෙනවා. එසේ තිබියදී මෙරට සෞඛ්‍ය අංශ කොරෝනා වසංගතයෙන් මරණයට පත්වූ පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ නව නිර්ණායක නිකුත් කිරීම පිළිබඳව ගැටලුවක් මතුවෙනවා. පවතින වාතාවරණය අනුව රෝග ලක්ෂණ තිබුණ පුද්ගලයින් වුණත් රෝහල් වලට යන එකක් නැතුව ගෙදරම මැරිලා යන තත්වයක් ඇතිවෙන්න පුඵවන් කියන එකයි මගේ අදහස.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා 

අන්තර් ජාලයේ තිබුන නිර්දේශ නීත්‍යානුකූළ ලියවිල්ලක් නොවෙයි. එය බලසහිත වීමට නම් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල් විදිහට මගේ අත්සන තිබිය යුතුයි. මගේ අත්සන සහිත නීත්‍යානුකූළ ලියවිල්ල ඊයේ ඉදිරිපත් කරනු ලැබූවා. මෙහි දී හිටපු අග්‍රාමාත්‍යවරයාත් තවත් හිටපු ඇමතිවරු කිහිපදෙනෙකුත් පරීක්ෂණ පිළිබඳව කතා කළා. මුල් අවස්ථාවේ දී අප උත්සාහ කළේ රටට වෛරසය එන එක වළක්වන්නයි. රට ඇතුලට වෛරසය ආ පසු අපි උත්සාහ කළේ රට තුළ ඒක පැතිරෙන එක වළක්වන්නයි. ක්‍රිකට් මැච් එකක් උදාහරණයට ගත්තොත් අපි එකේදි මුලින්ම උත්සාහ කරන්නේ විකට් එක බේරගන්නයි. මුලදිම හයේ ඒවා ගහන්න යන්නේ නැහැ. වැඩිපුර පරීක්ෂණ සිදු කළ යුතුයි කියන ක්‍රියාපටිපාටිය එන්නේ දෙවැනි අවස්ථාවටයි. අපි කොහොමද දැන් වයිරස් එකත් එක්ක සටන් කරන්න කියන එකයි දැන් අපි සලකා බලන්නේ. ඒ සියලු කාරණා ගත්තහම මේ වෛරසය සමාජයේ පැතිරීමට කිසි සේත්ම ඉඩ තියන්න බැහැ. කොරෝනා වෛරසය හඳුනාගෙන තවම මාස තුනයි. මේ වෛරසයේ හැසිරීම පිළිබඳ තවමත් නිසියාකාර තොරතුරු ඉදිරිපත් වෙලා නැහැ. මේ වෛරසය බෝවීම පිළිබඳ තවත් ක්‍රම පෙන්නුම් කරමින් තිබෙනවා. වෛරසය පිලිබඳ ඇතැම් තොරතුරු අසත්‍ය බව පේනවා. අවාසනාවන්ත ලෙස වසංගතයෙන් මරණයක් වූ විට අපේ මූලික පරමාර්ථය ඉතාම ඉක්මනින් වසංගතයෙන් මරණයට පත්වූ පුද්ගලයින්ගේ අවසාන කටයුතු සිදු කිරීමයි. එවැනි විටෙක කටයුතු කලයුතු ආකාරය ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ දක්වා තිබෙනවා. ඒ තුළින් වසංගතය පැතිරී යාමේ අවදානමක් තිබේ නම් එය වලක්වා ගන්නා අපි උත්සාහ කරනවා. මෙවැනි මෘතදේහ භූමිදානය කිරීමේදී වැඩි කාලයක් ගත වෙනවා සහ ඊට වැඩි පිරිසක් යොදා ගැනීමට සිදුවෙනවා. අද තිබෙන තත්ත්වය අපට පාලනය කරගන්න පුඵවන්. නමුත් අපි නොහිතන විදිහට මරණ සංඛ්‍යාව වැඩිවුනොත් අපට කළමනාකරණය කරගන්න බැරිවෙනවා. මෘත දේහ ආදාහනය කිරීමේදී ලංකාවේ සමස්ථ තත්වය සලකාබැලිය යුතුයි. ලංකාවේ එක එක ප්‍රදේශ වල තත්වය වෙනස්. අපිට කියන්න පුළුවන් යම්කිසි තැනක සුදුසු විදිහට කරන්න කියලා. සමස්ථ රටටම ක්‍රීයාවලියක් හදන්න අමාරුයි. ඒවගේම ඇමතිතුමිය කිව්වා වගේ ලංකාවේ වතුර මට්ටම තියෙන්නේ ඉහළින්. ඊට අමතරව අපේ පස කබොක් සහ පොහොර පසයි. මේ වෛරසය ඒ පස් ස්ථර හරහා යෑමේ තත්වයක් ඇතිවෙන්න පුඵවන්. ඒ වුනත් මීගමුවේ තත්ත්වය නෙවෙයි මඩකලපුවේ තියෙන්නෙ. මඩකලපුවෙ තත්වය නෙවෙයි මාතර තියෙන්නෙ. අපිට මේ කටයුතු කරන්න සිද්ධ වෙන්නේ ප්‍රජාවත් එක්ක. මේක සංවේදී කාරණාවක්. මීගමුවේ ඇතිවූ තත්වය ගත්තොත් මීගමුවේ පොළොවේ වතුර මට්ටම ඉහළ නිසා මෘතදේහය මාලිගාවත්තට ගේන්න උත්සහ කරා නමුත් එතකොට දුර ප්‍රමාණය වැඩියි. අපේ අරමුණ වෙන්නෙ රෝගියා මොන රෝහලේ මියගියත් ඒ ලඟම තියෙන ආදාහනාගාරය තුළ අවසන් කටයුතු සිදු කිරීමයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් යෝජනා 8ක්
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියයට 80ක ප්‍රශස්ථ සංචරණ සීමාවක් සහතික කිරිම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 8 වැදැරුම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා.

දිවයිනේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,022 හි, සිටින ග්‍රාම නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී සහ සමෘද්ධි නිලධාරී යොදා ගනිමින් එම වැඩපිලිවෙල ක්‍රියාවට නැංවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ දැනට ඉන්සියුලින් භාවිත කරන රෝගියෙකුටම ඉන්සියුලින් ලැබීම සහතික කරන ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

මේ අතර, අද පස්වරුවේ රැස්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මධ්‍ය සභාව ඉදිරි සති දෙක තුළද අඛන්ඩව රාජකාරි කටයුතුවල නිරතවීමට තීරණය කළා.

නිරෝධායන කටයුතු සිදුකිරීමේදී මහජන සෞඛ්‍ය නීතිය ක්‍රියාත්මක කිරීම, සේවා පහසුකම් ඇතුළු ගැටලූ කිහිපයක් සම්බන්ධයෙන් නිසි විසඳුමක් නොලැබීම නිසා රාජකාරිවලින් ඉවත් වන බවට ඔවුන් මීට පෙර අනතුරු ඇඟවූවා.

මේ අතර, පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ශ්‍රී ලංකාවාසීන් මෙන්ම ලෝකවාසීන් මුදා දෙන ලෙස ඉල්ලා විශේෂ දේව මෙහෙයක් අද පෙරවරුවේ රාගම - තේවත්ත - බැසිලිකා දේවස්ථානයේදී පැවැත්වුණා.

ඒ, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී කාදිනල් හිමිපාණන් ලක්වාසී සහ ලෝකවාසී ජනතාව දේව මෑණියන් වෙත භාර කරමින් හුදෙකලා යාඥාවක ද නිරත වූ අතර පසුව තම භාරය විශේෂ පත්‍රිකාවක සටහන් කර එය දෙව් මවුන්ගේ පාමුල තබමින් කන්නලව් කිරීම ද සිදුවුණා.

මේ අතර, බේරුවල - කුට්ටිමලේ මුස්ලිම් පල්ලියේ කොවිඩ් 19 පරීක්ෂණයක් සඳහා පැමිණි සෞඛ්‍ය නිලධාරීන් පිරිසකට ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ල වී තිබෙනවා.

සෞඛ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ කොරෝනා ආසාදනය වී ඇතැයි සැක සහිත පිරිසක් පරීක්ෂා කිරීම සඳහා එම ස්ථානයට පැමිණි අවස්ථාවේ මෙම සිද්ධිය සිදුව ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

කෙසේ වෙතත්, තීනගොඩ ඉස්ලාම් දේවස්ථාන සංගමයේ ලේකම් මොහොමඞ් ෂිහාම් සඳහන් කළේ සුළු පිරිසක් විසින් සිදුකළ මෙම ක්‍රියාව දැඩිලෙස හෙලා දකින බවයි.

මේ අතර, ත්‍රිකුණාමලය නිලාවෙලි ප්‍රදේශයේ හෝටල් තුනක ලියපදිංචි නොවී සිටි විදේශිකයින් 08 දෙනෙකු උප්පුවේලි පොලිසයට ලද තොරතුරකට අනුව සොයාගත් අතර ඔවුන් එම හෝටල් තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරිමට කටයුතු කෙරුණා.

එම විදේශිකයින් නිරෝධායනයට ලක් නොකිරිම සම්බන්ධයෙන් අදාළ සංචාරක හෝටල්වල හිමිකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ‘ශ්‍රී ලංකාව අමතන්න’ වෙබ් අඩවිය හරහා මේ දක්වා විදේශයන් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් 45,770 ක් ලියාපදිංචි වී ඇති බවයි.

දේශීය කර්මාන්ත ආයතනයක් විසින් දැඩි සත්කාර ඒකක සඳහා භාවිත කරන ඇඳන් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇති අතර එහි පළමු ඇඳ සාර්ථකව නිෂ්පාදනය කර අවසන් කර තිබෙනවා.

එය නිරීක්ෂණය කිරීම සඳහා අමාත්‍ය විමල් වීරවංශ අද එම කර්මාන්ත ආයතනය වෙත පැමිණියා.

ඉන්දියාවේ අලුත උපන්  නිවුන් දරුවන් දෙදෙනෙකුට කොරෝනා සහ කොවිඩ් ලෙස නම් තබයි
කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා දින 21 ක අගුලු දැමීමකට (Lockdown)ලක්ව සිටින ඉන්දියාවේ දැඩි දුෂ්කරතාවයකින් රෝහල්ගත වී නිවුන් දරුවන් බිහි කළ මවක් සිය සැමියාද සමග එක්ව උපත ලැබූ දරුවන් දෙදෙනාට කොරෝනා හා කොවිඩ් යන නම් යෙදීමේ පුවතක් ඉන්දියාවේ රයිපුර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මේ අනුව ඉකුත් 27 වැනිදා රයිපුර් ප්‍රදේශයේ බීආර් අම්බෙඩ්කාර් අනුස්මරණ රජයේ රෝහලේ උපත ලබා ඇති නිවුන් ගැහැණු දරුවා "කොරෝනා " යනුවෙන්ද නිවුන් පිරිමි දරුවා "කොවිඩ් " යනුවෙන්ද නම් කළ බව එම දරුවන්ගේ මව වන 27 හැවිරිදි ප්‍රීති වර්මා පවසනවා.

ඉකුත් මාර්තු 26 වැනිදා රාත්‍රියේ තමාට ප්‍රසුත වේදනාව දැනුනු පසු සිය සැමියා වහා ගිලන් රථයක් කැඳවා තමාව රයිපුර් හි රජයේ රෝහල වෙත ගෙන ආ බවත් ඉන්දියාව අගුලු දමා කිසිදු වාහනයකට මාර්ගවල ගමන් ගැනීමට ඉඩ නොදෙන තත්ත්වයක් තුළ වරින් වර තමා ගමන් ගත් ගිලන් රථය නවතා පොලිසිය විසින් පරික්ෂා කර බැලූ බව පවසන ප්‍රීති වර්මා කෙසේ හෝ තමන් සිටි තත්ත්වය දැක ගිලන් රථයට යාමට අවස්ථාව ලැබුණු බව සඳහන් කළා.

කොරෝනා වයිරසය පැතිරෙන වකවානුවක දුෂ්කරතා මැද මෙම නිවුන් දරුවන් දෙදෙනා බිහි කිරීම නිසාත් එම දරුවන් උපත ලැබූ පසු රෝහලේ කාර්ය මණ්ඩලයද ඔවුනට කොරෝනා හා කොවිඩ් යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට පටන් ගැනීම නිසා තමා හා සැමියා එම නම් දරුවන්ට යෙදීමට පියවර ගත් බව උත්තර් ප්‍රදේශයේ පුරානි බස්ති ප්‍රදේශයේ කුලී නිවෙසක වෙසෙන දරුවන්ගේ මව ප්‍රකාශ කර තිබෙනවා.


View the original article here - 1 2
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොරෝනා පස්වන මරණයත් මෙරටින් වාර්තාවෙයි / මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 159 දක්වා ඉහළට / "ලොක් ඩවුන් " වී සිටින මරදානේ ජනතාව වෙනුවෙන් පොලිස් විරුවන් ගී ගයති / 11 වසරේ මාතර සිසුවෙක් පුද්ගලයින් 100ක් එකවර විෂබීජහරණය කළ හැකි උපකරණයක් සාදයි / අපේ පොළවේ වතුර මට්ටම තියෙන්නේ ඉහළින් - හකීම්ගේ මිත්‍යාවන්ට අනිල් ජාසිංහ විද්‍යාවෙන් උත්තර දෙයි / රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් යෝජනා 8ක් / ඉන්දියාවේ අලුත උපන් නිවුන් දරුවන් දෙදෙනෙකුට කොරෝනා සහ කොවිඩ් ලෙස නම් තබයි කොරෝනා පස්වන මරණයත් මෙරටින් වාර්තාවෙයි / මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 159 දක්වා ඉහළට / "ලොක් ඩවුන් " වී සිටින මරදානේ ජනතාව වෙනුවෙන් පොලිස් විරුවන් ගී ගයති / 11 වසරේ මාතර සිසුවෙක් පුද්ගලයින් 100ක් එකවර විෂබීජහරණය කළ හැකි උපකරණයක් සාදයි / අපේ පොළවේ වතුර මට්ටම තියෙන්නේ ඉහළින් - හකීම්ගේ මිත්‍යාවන්ට අනිල් ජාසිංහ විද්‍යාවෙන් උත්තර දෙයි / රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් යෝජනා 8ක් / ඉන්දියාවේ අලුත උපන්  නිවුන් දරුවන් දෙදෙනෙකුට කොරෝනා සහ කොවිඩ් ලෙස නම් තබයි Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 04, 2020 Rating: 5

0 comments:

Post a Comment