බඹර කැපීම හා බැඳි බඹර කවි වල සුන්දරත්වය (Bambara Kapima)

බඹර කැපීම හා බැඳි බඹර කවි වල සුන්දරත්වය (Bambara Kapima) - Your Choice Way

බඹර කැපිල්ල කියන්නෙ ලංකාවේ පැරණි ජන සමාජය හා බැඳුණු ආකර්ශනීය එහෙත් භයානක ජීවන වෘත්තියක්. මෙහිදී වඩාත් විශ්වාසනීය ලෙස සහයට යොදා ගැනුණේ තමන්ගෙ මස්සිනාය කියල කියනවා. හේතුව, යම් යම් කෝන්තර නිසා වෙන අය හැරපොට කැපීමට ඉඩ තිබුණත්, සොහොයුරා කිසිදා තමන්ගේ සොයුරිය වැන්දඹු වෙන්න ඉඩක් නොදෙන නිසා කවදාවත් මස්සිනාට අවිශ්වාසවන්ත වෙන් නෑ කියන පදනම මතයි… 

පහළ බඹර කවි අතරින් දෙවැන්නනම් අවිශ්වාසවන්ත වූවෙක් ගැන. පොඩි පන්තිවල අපිටනම් සිංහල පාඩමක මේ ගැන තිබුණා… ඒ වගේම ලංකාවෙ වැදි ජනයා ගැන විදේශිකයන් ලියූ පොත්වල මේ ගැන කියවා තිබෙනව බොහොම සවිස්තරව. මී කැපීම, මී ඉටි ගැනීම ආදියත් මෙසේමයි...

නව නවා බමර අතු අග යන කලට
නැමි නැමි කදින් බර විය අතු අගට
වදේ කඩා බැරිවුණි එය බාන්නට
මුලෙන් කද බිදුණි දෙන්නගේ කරුමයට...

කුසේ උපන් ලොකු අයියා කරපු හැටී
ගසේ සිටියදි හැරපොට කපා බසී
බමරු සිය දහස් ඇග ලේ උරා බොතී
පලයන් අයියන්ඩි මම එන ගමන් නැතී...

බඹර කවි ගැන කතා කරද්දි අපිට අමතක කරන්න බැරි ලයාන්විත ශෝකාකූල ගීයක් තියනවා. ඒ් ලයනල් රන්වලයන්ගේ සංගීත මුහුවෙන් සංවේගජනක රූපයක් අප හමුවේ තබන “සඳ සාවී මා” ගීතයයි. ඒම ගීතයට යාමට ප්‍රථම මා සඳහන් කරන්න කැමතියි මේ ගීතයේ සංගීතයට පදනම් වූ අපේ පැරණි ජන සංස්කෘතියෙන් පැවතෙව වෙස්සන්තර ගී විරිත ගැන.

බාලේ පෙම්බර කොණ්ඩා බැන්දට
තපසට නොගනිති වන්නා
දෙකණේ පුස්කොළ තෝඩු දැමූවට
තපසට නොගනිති වන්නා
කණ්ණඩි කැඩපත මුහුණ බැලූවට
තපසට නොගනිති වන්නා
දෙකණ දෙබික්කම මේවර ලූවත්
තපසට නොගනිති වන්නා...

ඉහත සඳහන් ගැමි ජන වෘත්තීය හා බැඳි ලයාන්විත වූ ගීයක් ඔබේ සවන් අතරත් රැඳී ඇති

සඳ සාවී මා….
සඳ මඩලේ පාළුවේ මෙදා
බඹර ගලින් රූටාලා
සඳ නිවුනිද කියපන් මයෙ මලයා
සඳ නිවුනිද කියපන් මයෙ මලයා
දෙමස්සිනාලා….
මල් පැණි බීවා දෝ…
බඹර කපන්ටා… බඹර කපන්ටා
බමන මතින් කරනම් ගැසුවාදෝ….
තනි වූවේ මාවයි මයෙ මලයා
තනි වූවේ මාවයි මයෙ මලයා
සිත පෑරීලා…..
බඹරුන් ඇන්නා දෝ…
අම්මාපල්ලා… අම්මාපල්ලා
උන් ඒ වග දන්නේ නැතුවාදෝ
තනි වූවේ මාවයි මයෙ මලයා
තනි වූවේ මාවයි මයෙ මලයා
පද රචනය: සිසිර දිසානායක මහතා
සංගීතය: ලයනල් රන්වල මහතා
ගායනය: වසන්තා මධුරංගනී මහත්මිය

මේ ගීයට රන්වල බලකාය ඉතා සංවේදී රංගනයකුත් ඉදිරිපත් කරනවා.. මස්සිනාගේ වියෝව අවාසනාවකට සිය සොයුරියට පවසන්න වෙන්නෙත් ඇගේ බාල සොයුරාට. එම සංවේගාත්මක පුවත ඉතා අපූරුවට ඉහත කවියේ පද, සංගීතය හා රංගනයත් සමග මුසු වී එන ආකාරය ඉතා සංවේගාත්මකයි. 

බඹර කවි සම්බන්ධ මෙම ගීය වෙස්සන්තර විරිතට අනුව නිර්මාණය වූවක්.

බුත්සරණෙහි දැක්වෙන වෙස්සන්තර කාව්‍යය තුල ඇති තවත් සංවේගාත්මක කවියක් ලෙස ජාලිය කුමරු මවගේ දානය පිළිබඳ නගන පහත ප්‍රශ්නය දැක්විය හැකියි..

බුදු බව පැතුව දරු දුක නෑදෝ
අම්මා නම් අප බැඳලා දේදෝ
ගොං බැඳ තැලුවට කිරි එරවාදෝ
සක්වන දෙවියා අසලක නෑදෝ

පරිසරය හා බැඳි සිය දිවියේ දුක සතුට ලැබීම් නොලැබීම් සම්පයෝග විප්පයෝග අපේ පැරණි ගැමියාට සුහුරු දෙයක් වුණා. ඉතිං ඔවුන්ගේ දිවියේ මෙකී සිතුවිලි දාමයන් මුදා හැරීමට ජන ගීය ඔවුනට රුකුලක් වුණා. මේ ලිපිය ආරම්භයේ මෙහි විස්තර කෙරෙන බඹර කැපීමේ වෘත්තිය හා සම්බන්ධ වූවොද තම දිවියේ පාලුව කාන්සිය පීඩාව දුක අවධානම මුදා හැරීමට කවිය මාධ්‍යයක් කොට ගත් අයුරු දැකිය හැකී. ඔවුන්ගේ ඒම අත්දැකීම් නූතනයේ සුමිහිරි ගීයක් වූ අයුරුයි මේ……..

බඹරුන් මී මැස්සන් ආශ්‍රිත පැණි, ඉටි එකතු කිරීම හුදෙක් ලංකාවට විතරක් ආවේණික වූවක් නොවේ. ලෝකයේ විවිධ සමාජ වල විශේශයෙන්ම ගෝත්‍රික සමාජ වල මේ වෘත්තිය දැකිය හැකියි. ලංකාවේත් අතීතයේ සිටම මෙය වැදි ජනතාවට හෙවත් ලංකාවේ ආදිවාසීන්ට සමීපතම වූ ජීවනෝපායක් වුණා. මේ පිළිබඳව ලංකාවේ දිවි ගෙවූ විදේශිකයින් කිහිපදෙනෙකුම ඔවුන්ගේ වාර්ථා වල දක්වනවා...

කුංකුණා කාබරා ඊ මුනේ ගච්චාලා
මස් පොජ්ජා ලෙනේන්ටා අප්පි මංගච්චාලා
කටුවාලා ගෝනාල උල් කැත්තෙන් හාරාලා
ඉන බැද්ද ගෙනෙන්ටා අම්මී මංගච්චාලා
කඳ අරණී කඳ පල්ලී හොද වාගේ පට ඇරලා
පැණි පොජ්ජා ගෙනේන්ටා අප්පි මංගච්චාලා
පුවාලා හාරාලා ලබු කැටේ පුරවාලා
දිය රුච්චා ගෙනේන්ටා අම්මී මංගච්චාලා
බොට කඳා කළු මඤ්ඤා පෙගිචා වාල් මී මඤ්ඤා
දුර හැරලා කිරි අම්මා රැක දෙන්නේ මේ දෙන්නා...

ඉහත දැක්වෙන්නේ වැදි ගීයකි. මෙහි තෙවන කවියෙන් “පැණි පොජ්ජා ගෙනේන්ටා අප්පි මංගච්චාලා” ලෙස දැක්වෙන්නේ ඒම සමාජයේ මී, බඹර කැපීමට පියා වන වැදී ඇති බවය‍.

ලංකාවේ බඹර කැපිල්ලෙන් මොහොතකට නේපාලයට හැරෙමු.....

මවුලි ධාන් – නේපාලයේ පැණි දඩයක්කරුවන්ගේ අවසන් පුරුක

ඔහු කුලුන්ග් සංස්කෘතියට අයත්‍ය. දැනට ඔහුගේ සස්කෘතිය අනූව ඔහුට හිමි වූ වෘත්තිය සිදු කරන්නේ පනස් ගණනක් වියැති ඔහු පමණි. සිය දූ පුතුන්, බෑණාවරුන්, මුණුබුරන් සියල්ලේ වගකීම දරා සිටින්නේ මේ මහළු මිනිසායි

ආසියානු කළු කඩය තුළ අවුන්සයක් ඩොලර් 60-80 අතර මිළකට අලෙවි වන සාමාන්‍ය නේපාල පැණි වලට වඩා හය ගුණයක් මිලෙන් වැඩි මේ පැණි අලෙවියෙන් ඒ සඳහා මුල් වන මොහුගේ අතට ලැබෙන්නේ සොච්චමකි. අතරමැදියන් පොහොසතුන් වන විට ඔහු තවමත් සිටින්නේ ගරා වැටෙමින් පවතින මැටි ගෙපැලකය.

සිය දිවි නොතකා අඩි තුන්සියයක් පමණ වූ උසකට හිමාලයානු යෝධ මීමැස්සන්ගේ අඩි හයක පමණ වදය සොයා මාරාන්තික ගමනක ඔහු නිරත වන්නේ පෞරාණික ජන විශ්වාසයන්ගෙන් හිත ශක්‍තිමත් කරගනිමිනි.

...............අන්තර්ජාලය ඇසුරෙනි................දැනුම සොයන්න මේ පාරෙන් එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බඹර කැපීම හා බැඳි බඹර කවි වල සුන්දරත්වය (Bambara Kapima) බඹර කැපීම හා බැඳි බඹර කවි වල සුන්දරත්වය (Bambara Kapima) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 16, 2022 Rating: 5

0 comments:

Post a Comment