විවාදයට යළි ලක් වන කච්චතිව් දූපතේ කතාව (The Story Of The Island Of Kachchatheevu Is Again Under Debate)

විවාදයට යළි ලක් වන කච්චතිව් දූපතේ කතාව (The Story Of The Island Of Kachchatheevu Is Again Under Debate) - Your Choice Way

කච්චතිව් දූපතේ පිහිටීම....
කච්චතිව් දූපත, කන්කසන්තුරයේ සිට කිලෝමීටර් 75.2ක් නිරිතදිගින් පිහිටා තිබෙනවා. කච්චතිව් දූපතට වඩාත් ආසන්නයෙන් පිහිටා තිබෙන්නේ ඩෙල්ෆ්ට් දූපත යි. ඩෙල්ෆ්ට් සහ කච්චතිව් යන දූපත් අතර පවතින දුර කිලෝමීටර් 23.5ක්. කච්චතිව් දූපතට වඩාත් ආසන්නයෙන් පිහිටි ඉන්දීය ගොඩබිම් ප්‍රදේශය වන්නේ පම්බන් දූපතේ පිහිටි රාමේෂ්වරම් ප්‍රදේශය යි. රාමේෂ්වරම් ප්‍රදේශය කච්චතිව් දූපතේ සිට කිලෝමීටර් 24.7ක් තරම් දුරකින් පිහිටා තිබෙනවා. 1964 දී සුළි කුණාටුවක් නිසා විනාශ වුණු ධනුස්කොඩි නගරය ද කච්චතිව් දූපතේ සිට කිලෝමීටර් 25.1ක දුරකින් පිහිටා තිබෙනවා.

එමඟින් පැහැදිලි වන්නේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයත් ඩෙල්ෆ්ට් දූපත සහ දකුණු ඉන්දියාවට අයත් රාමේෂ්වරම් ප්‍රදේශයට ආසන්න වශයෙන් සමාන දුරකින් පිහිටා තිබෙන බව යි.

කච්චතිව් දූපත පැරණි සිතියම්වල සටහන් වුණු ආකාරය....
බ්‍රිතාන්‍ය ජාතිකයන් 1815 දී අප රට සම්පූර්ණයෙන් ම යටත් කර ගත්තා. ඉන් පසුව වසර 133ක් අප රට ඔවුන්ගේ පාලනය යටතේ පැවතුණා. එම කාලය තුළ බ්‍රිතාන්‍යයන් සකස් කළ සිතියම් කිහිපයකට කච්චතිව් දූපත ඇතුළත් කර තිබුණා. ඒ අතුරින් එක් සිතියමක් ජෝන් ඇරෝස්මිත් 1857 දී නිර්මාණය කර තිබුණා.

එම සිතියමේ කච්චතිව් යාපන අර්ධද්වීපයට අයත් දූපතක් බව දක්වා තිබුණා. බ්‍රිතාන්‍ය ජාතික සිවිල් නිලධාරියෙක් වුණු සර් ජේම්ස් එමර්සන් ටෙනස්ට් 1860 දී සිලෝන් නමින් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කළා. එම ග්‍රන්ථයේ අඩංගු වුණු සිතියමක දක්වා තිබුණේ කච්චතිව් දූපත ලංකාවේ උතුරු ප්‍රදේශයට අයත් වුණු බව යි. 

කච්චතිව් දූපත වැදගත් ස්ථානයක් වීමට හේතු.....
කච්චතිව්, අක්කර 285ක විශාලත්වයකින් යුත් දූපතක්. එය ධීවර කටයුතු සඳහා ඉතාමත් වැදගත් ප්‍රදේශයක්. එපමණක් නොව සාගර සම්පත් ගවේෂණ කටයුතු සඳහා ද වැදගත් ස්ථානයක්. ඈත අතීතයේ දී මෙම දූපත පිහිටි ප්‍රදේශයේ වෙළෙඳ කටයුතු සිදුවුණු බව ද පැවසෙනවා.

ස්වභාව සුන්දරත්වයෙන් අනූන ප්‍රදේශයයක් වන මෙහි ස්වභාවික ඛනිජ තෙල් සහ ගෑස් තිබෙන බවට ද මතයක් පවතිනවා. එනිසා දශක ගණනාවක සිට මෙම දූපත අයිති කරගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සීතල යුද්ධයක් ඇති ව තිබෙනවා.

කච්චතිව් අයිති කර ගැනීමට පැවති සටන 
20 වන සියවසේ මුල් භාගයේ සිට කච්චතිව් දූපතේ අයිතිය පිළිබඳ ව ගැටලුවක් පැවතුණා. එම ගැටලුව විසඳා ගැනීම සඳහා 1921 දී දෙරට අතර සාකච්ඡාවක් පැවතුණා. එම සාකච්ඡාවට ලංකාවෙන් සහ ඉන්දියාවෙන් නියෝජිතයන් හතර බැගින් සහභාගි වුණා. මාස 7ක් පුරා පැවති එම සාකච්ඡාවල දී දෙරටෙහි නියෝජිතයන් තම රටට දූපතෙහි ඇති අයිතිය පෙන්වීම සඳහා සාක්ෂි ඉදිරිපත් කළා.

එහි දී ඉන්දියානුවන් ඉදිරිපත් කළ ප්‍රධාන තර්කයක් වුණේ කච්චතිව් හි පිහිටි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය වැඳ පුදා ගන්නට ඈත අතීතයේ සිට දකුණු ඉන්දීය කතෝලිකයන් එහි පැමිණ ඇති නිසා දූපතට ඔවුන් සතු ව අයිතියක් ඇති බව යි. තමිල්නාඩුවේ රාමනාථපුරම් හි රාමනාද් පෙළපත 19 වන සියවස මුල් භාගයේ කච්චතිව් දූපත පාලනය කළ බවට ද ඉන්දියානුවන් තර්කයක් ඉදිරිපත් කළා.

එම තර්කවලට පිළිතුරු දුන් ලංකාවේ නියෝජිත පිරිස පැරණි ඉතිහාස මූලාශ්‍ර උපුටා දක්වමින් පෙන්වා දුන්නේ යාපනයේ රජකම් කළ සංකිලි කුමාරන් නම් පාලකයා ඔහුගේ ප්‍රියත ම ආහාරයක් වුණු එක්තරා ඉබි විශේෂයක් ඇල්ලීම සඳහා කච්චතිව් දූපතට සිය මිනිසුන් යවා තිබෙන බව යි. කච්චතිව් දූපත එකල යාපනය රාජධානියට අයත් ව තිබුණු බව ඉන් මනාව පැහැදිලි වන බව ඔවුන් පෙන්වා දුන්නා.

ඉන් නොනැවතුණු ලාංකික නියෝජිත පිරිස 1766 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ලන්දේසීන් සමඟ ගිවිසුමකට එළඹෙමින් යාපන අර්ධද්වීපය ආශ්‍රිත ව පැවති දූපත් ලන්දේසීන්ට පවරා දුන් ආකාරය පිළිබඳව ද පැහැදිලි කළා. 
එලෙස ලන්දේසීන්ට අයිති වුණු යාපන අර්ධද්වීපයේ දූපත් පසු ව ඉංග්‍රීසින්ට අයිති වුණා. පසු යුගයක ඉංග්‍රීසින් එම දූපත් පාලනය කිරීම සඳහා රාමනාද් පෙළපතට භාර කළා. එම පෙළපතේ නියෝජිතයන් ඉංග්‍රීසින් වෙනුවෙන් බදු එකතු කිරීමේ නිරත වුණා.

ඈත අතීතයේ සිට කච්චතිව් දූපත ලංකාව සතුව තිබුණු බව ඉන් තවදුරටත් පැහැදිලි වන බව ලංකා නියෝජිත පිරිසේ තර්කය වුණා. එම සාකච්ඡාවලින් පසුව ද දූපතේ අයිතිය පිළිබඳ ගැටලුව එලෙස ම පැවතුණා. එහි දී ඉතිහාසඥයන්ගේ මතය වුණේ ආගමික අයිතිය තුළින් දූපතේ අයිතිය තීරණය කිරීමට නොහැකි බව යි. 
ශ්‍රී ලංකාවට කච්චතිව් දූපතේ අයිතිය ලැබීම

1940 දශකය අග භාගයේ දී ලංකාව සහ ඉන්දියාව නිදහස ලබා ගත්තා. කච්චතිව් දූපතේ අයිතිය පිළිබඳ ගැටලුව නිරාකරණය කරගැනීමට හැකි වුණේ නම් නැහැ. එනිසා 1950 සහ 1960 යන දශකවල දීත් කච්චතිව් දූපත සම්බන්ධ සාකච්ඡා පැවැත්වුණා. ඉන්දියාව සහ ලංකාව අතර පැවති කච්චතිව් දූපත සම්බන්ධ ගැටලුවට 1974 දී විසඳුමක් ලැබුණා. එම යුගයේ ඉන්දියාවේ අගමැතිනිය ලෙස කටයුතු කළ ඉන්දිරා ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ අගමැතිනිය ලෙස කටයුතු කළ සිරිමා බණ්ඩාරනායක දෙපළ දූපත සම්බන්ධ ගිවිසුමක් අත්සන් කළා. 

1974 ජූනි මාසයේ දී අත්සන් කළ එම ගිවිසුමට අනුව කච්චතිව් දූපත ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට අයත් කොටසක් බව ඉන්දීය රජය පිළි ගත්තා. එම දූපතේ අයිතිය ලබා ගැනීම සඳහා යළි සටන් නොකරන බව ඉන්දීය රජයේ ස්ථාවරය වුණා. කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවීම අප රට ලැබූ විශාල ජයග්‍රහණයක් බව මෙරට ජනයා සැලකුවා. 

 1974 ජූනි 29 වැනි දින පළ වුණු එක්තරා පුවත්පතක ප්‍රධාන සිරස්තලයේ දැක්වුණේ “කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට”. මවුබිමේ අයිතිය මැතිනිය දිනාගනී, ඉන්දියන් යෝධයෝ දණ ගසති. යන වාක්‍ය පෙළ යි. එකල ඉන්දිරා ගාන්ධි සහ සිරිමා බණ්ඩාරනායක අතර සමීප මිතුදමක් පැවතුණා. එනිසා රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා හරහා කච්චතිව් දූපතේ අයිතිය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා රජයට හැකි වුණා. 

ඊළාම් යුද සමයේ කච්චතිව් දූපත...
1976 දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තවත් ගිවිසුමක් අත්සන් කළා. එම ගිවිසුමට අනුව මෙරට ධීවරයන්ට ඉන්දියානු මුහුදු සීමාවේ ද, ඉන්දියානු ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ද ධීවර කර්මාන්තයේ යෙදීම තහනම් වුණා. එනිසා කච්චතිව් දූපත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ රිසි සේ ධීවර කටයුතු සිදුකිරීමට මෙරට ධීවරයන්ට හැකි වුණා.

1980 දශකයේ මුල් භාගයේ දී ඊළාම් යුද්ධය ආරම්භ වීමත් සමඟ ම කච්චතිව් දූපත තහනම් කලාපයක් බවට පත් වුණා. යුද සමයේ දී මෙම දූපත හමුදා අභ්‍යාස සඳහා ද යොදා ගත්තා. ඊළාම් යුද්ධය දරුණු ලෙසින් පැවති කාලයේ ඉන්දියාව සිය බලය යොදමින් කච්චතිව් දූපත අත්පත් කරගැනීමට මාන බැලුවා. නමුත් මෙරට පාලකයන්ගෙන් ඊට ඉඩක් ලැබුණේ නැහැ. 

තමිල්නාඩුවෙන් දිගින් දිගට ම බලපෑම් 
1991 වසරේ දී තමිල්නාඩු රජය කච්චතිව් දූපතේ අයිතිය පිළිබඳ ව යළි ප්‍රශ්න කිරීමට පටන් ගත්තා. එම කාලය වන විට ඉන්දියානු ධීවරයන් ද අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වුණා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ අවස්ථාවල ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවට ගැනුණා. ගෙවුණු දශක කිහිපය තුළ වැඩි කාලයක් තමිල්නාඩුවේ මහ ඇමති ධූරය හෙබ වූ ජයලලිතා ජයරාම් සහ මුතුවේල් කරුණානිධි කච්චතිව් දූපත ශ්‍රී ලංකාවෙන් උදුරා ගැනීමට ප්‍රබල උත්සාහයක නිරත වුණා. 

එහි දී ඔවුන් ඉන්දීය මධ්‍යම රජයට දැඩි ලෙස බලපෑම් කළා. එක් අවස්ථාවක ජයලලිතා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරමින් ඉල්ලා සිටියේ 1974 සහ 1976 ගිවිසුම් බල රහිත කරන ලෙස යි.

ඇයගේ එම උත්සාහය අසාර්ථක වුණු නිසා කච්චතිව් හි අයිතිය දිගට ම ශ්‍රී ලංකාව සතු ව පැවතුණා. ජයලලිතා මිය යන තුරුම කච්චතිව් දූපත ශ්‍රී ලංකාවෙන් උදුරා ගැනීමේ ප්‍රබල සටන අත්හැරියේ නෑ.

කච්චතිව් දූපත් කලාපයේ අයිතිය ශී‍්‍ර ලංකාව සතුයි - ඉන්දිය මධ්‍යම රජය.....
කච්චතිව් දූපත් කලාපයේ අයිතිය ශී‍්‍ර ලංකාව සතුයි - ඉන්දිය මධ්‍යම රජය කච්චතිව් දූපතේ අයිතිය ශී‍්‍ර ලංකාව සතු බැවින් එම දූපත් කලාපයේ ධීවර කටයුතුවල නියැළීමට තම ධීවරයන්ට කිසිදු අයිතියක් නැතැයි ඉන්දිය මධ්‍යම රජය අවධාරණය කරයි.

එම දූපත කරා ඉන්දීය ධීවරයන් යන්නේ නම් ඒ වෙනත් කිසිදු හේතුවක් මත නොව ධීවර දැල් ආම්පන්න වියළා ගැනීම සහ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන උත්සවය සඳහා පමණක් බව ද වෙනත් කිසිදු හේතුවක් මත එහි යාමට හැකියාවක් නොමැති බව ද ඉන්දීය මධ්‍යම රජය ප‍්‍රකාශ කරයි.

ශී‍්‍ර ලංකා, මාලදිවයින් සහ ඉන්දීය සාගර කලාපයේ නියෝජ්‍ය ලේකම් විශ්වේෂ් මහතා පසුගිය අඟහරුවාදා ඉන්දීය ධීවර රැකවරණ සංගමයේ සභාපති පීටර් රයන් විසින් මදුරාසි මහාධිකරණය වෙත ගොනුකර තිබෙන පෙත්සමක් සඳහා කරුණු දක්වමින් ප‍්‍රකාශකර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තමිල්නාඩු ධීවරයන්ට ශී‍්‍ර ලාංකා නාවික හමුදාව විසින් පහරදීම, කච්චතිව් දූපත ආසන්නයේ මසුන් සඳහා අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ආරක්ෂිත ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මක කරන ලෙසද ඉන්දීය ධීවර රැකවරණ සංගමයේ සභාපතිවරයා අදාළ පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

එම පෙත්සමට අනුව ඊට අදාළව ඉන්දීය ධීවරයන්ට කච්චතිව් දූපත ආසන්නයේ මසුන් මැරීමට ඇති හැකියාව මදුරාසි මහාධිකරණය විසින් එරට මධ්‍යම රජයෙන් විමසා තිබෙන අතර ඊට පිළිතුරු ලෙස මේ බව ප‍්‍රකාශ කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

1974 සහ 1976 වසරවලදී ඇති වූ ගිවිසුම් මඟින් කච්චතිව් දූපතේ අයිතිය ශී‍්‍ර ලංකාවට හිමිව තිබෙන බව පෙන්වා දී තිබෙන ඉන්දීය මධ්‍යම රජය එය ඉන්දියාවට අයිති නොවන්නත් බව ද කච්චතිව් දූපත ආසන්නයේ මසුන් මැරීමට ඉන්දීය ධ‍වරයන්ට කිසිදු අයිතියක් නොමැති බව ද තහවුරුකර තිබේ. එරට මධ්‍යම රජය ප‍්‍රකාශකර ඇත්තේ කච්චතිව් දූපත ආසන්නයේ සාම්ප‍්‍රදායිකව මසුන් මැරීම සඳහා ශී‍්‍ර ලංකා - ඉන්දීය ධීවරයන්ට හැකි බවට ගිවිසුම මඟින් ප‍්‍රකාශ කර තිබෙන්නේ යැයි ඉන්දීය ධීවර රැකවරණ සංගමයේ සභාපති රයන් විසින් ප‍්‍රකාශ කළ ද එය පදනම් විරහිත ප‍්‍රකාශයක් බවයි.

කච්චතිව් දූපතේ වර්තමාන තත්ත්වය....
2009 දී ඊළාම් යුද්ධය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාව කච්චතිව් දුපතේ ආරක්ෂාව තර කළා. නමුත් අනවසර ඉන්දීය ධීවර ප්‍රශ්නය අවසන් වුණේ නැහැ. ඔවුන් දිගින් දිගට ම අනවසරයෙන් කච්චතිව් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වුණා.

මෙම දූපත තුළ පිහිටා තිබෙන ශාන්ත අන්තෝනි දේවස්ථානය වැඳ පුදා ගැනීම සඳහා ද ඉන්දියානුවන් මුහුදු මාර්ග ඔස්සේ පැමිණෙනවා. ඒ සඳහා ඔවුන්ට අවසර ලැබී තිබෙනවා. කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට නීත්‍යානුකූල ව අයිති වුණත්, ඉන්දීය ධීවරයන් සහ විවිධ ජාවාරම්කරුවන් මුහුදු සීමා උල්ලංඝණය කරමින් එහි පැමිණෙනවා. 
තමිල්නාඩු රජය ද කච්චතිව් දිනාගැනීමේ සටන තවමත් අත්හැර නැති බව පැහැදිලිවම පෙනී යන කරුණක්. ශ්‍රී ලංකා ආර්ථිකය දුර්වල වී තිබෙන මෙම අවස්ථාවේ කච්චතිව් දූපත අත්පත් කරගැනීමට ඉන්දියාව සැරසෙමින් සිටින බව ඇතැම් පිරිස් උපකල්පනය කරනවා. එනිසා කච්චතිව් වැනි වැදගත් භූමි ප්‍රදේශයක් ඉදිරියටත් ශ්‍රී ලංකා රජයේ පාලනය යටතේ තබාගැනීම වැදගත්.... 

කච්චතිව් දූපත මැතිනිය හා ඉන්දිරා......
අපේ රටට අයත් දුරින්ම පිහිටි දූපත කච්චතිව් වේ. කන්කසන්තුර වරායේ සිට කිලෝමීටර් 90ක් දුරින් මේ දූපත පිහිටා ඇති අතර ජන ශූන්‍ය දූපතක්ව පවතින මෙයට ජනතාවට යන්න අවසර ලැබෙන්නේ වසරකට එක් වරක් පමණයි. ඒ කච්චතිව් වාර්ෂික මංගල්‍යයට පමණි. කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ 2017 වසරේ මාර්තු 12 වැනිදා පැවැත්වුණු වාර්ෂික මංගල්‍යයට සහභාගිවීම ඉන්දීය බැතිමතුන් වර්ජනය කර තිබුණි. මෙයට හේතුව වූයේ නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයකුට වෙඩි තබා ඝාතනය කළේ යැයි පවතින චෝදනාවයි. නමුත් නාවික හමුදාව මෙය ප‍්‍රතික්ෂේප කර තිබූ අතර මේ වාර්ෂික මංගල්‍යය සඳහා ලාංකික බැතිමතුන් 6600ක් පමණ සහභාගිව සිටියහ. 2017 වසරේ තිබෙන විශේෂත්වය වූයේ නාවික හමුදාව විසින් ගොඩනඟන ලද නවතම දේවස්ථානයේ ශාන්ත අන්තෝනි මංගල්‍යය පැවැත්වීමට හැකිවීමයි. යාපනයේ සිට නම් මුහුදු සැතපුම් හතළිස් දෙකක් පමණ දුරින් පිහිටි කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ මංගල්‍යයට වැඩි වශයෙන්ම සහභාගි වන්නේ ධීවර ජනතාව ය. 30 වසරක කුරිරු යුද්ධයේ සාපය නිසි 1982 වසරේ සිට වසර 27 ක් පුරා කච්චතිව් දූපත තහනම් ප‍්‍රදේශයක් විය. 2009 යුද්ධය නිමාවත් සමග 2010 වසරේ සිට කච්චතිව් දූපතේ පෙර පරිදි ශාන්ත අන්තෝනි මුනිතුමන්ගේ මංගල්‍යය පැවැත්වීම ඇරඹුණේ නාවික හමුදාවේ අනුග‍්‍රහය ඇතිවය. ලංකා මුහුදු සීමාවේ පිහිටි කච්චතිව් දූපතට වඩාත් සමීප වන්නේ ඊට කිලෝමීටර් 14 ක් දුරින් පිහිටි ඉන්දියාවේ රාමේශ්වරම් ප‍්‍රදේශයටයි.

කච්චතිව් ඉතිහාසය පිළිබඳවත් මේ අවස්ථාවේ සිහි කළ යුතුය. ක‍්‍රි.ව. 1800 දී ලන්දේසි යුගයේ ඇඳි සිතියමක් ඇතුළත් කරමින් ක‍්‍රි.ව. 1950දී ආර්. එල්. බ්‍රෝහියර් සම්පාදනය කළ කෘතියක ද කච්චතිව් දූපත උතුරට අයිති බව දැක්වේ. ඒ නිසා පැරණිකම අනුව එහි ලංකාවට ඇති අයිතිය තහවුරු වේ. ඉංග‍්‍රීසි ජාතික සිවිල් නිලධාරියකු වූ සර් ජේම්ස් එමර්සන් ටෙනස්ට් ක‍්‍රි.ව. 1860දී ”සිලෝන්” නමින් කළ ග‍්‍රන්ථයේ මෙම දූපතේ සිතියමක් අමුණා ඇත. ක‍්‍රි.ව. 1857 ජනවාරි 15 වැනිදා ජෝන් ඇරෝස්මිත් ලන්ඩනයේ දී අඳින ලද යාපන අර්ධද්වීපයට අයත් දූපතක් ලෙස නම් කෙරිණි. එහෙත් මේ දූපතේ අයිතිය පිළිබඳව ඇති මත ගැටුම නිසා තමිල්නාඩු මහ ඇමැතිනියව සිටි ජයලලිතා ජෙයරාම් මියයනතුරුම මේ දූපත ඉන්දියාව විසින් පවරා ගත යුතු යැයි ප‍්‍රකාශ කළාය. ඉතිහාසය මතක් කරන විට 2016 ජුනි මාසයේදී පැවති තමිල්නාඩු ප‍්‍රාන්ත සභා රැස්වීමේ දී කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගැනීම සඳහා තමා කටයුතු කරන බවට තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජෙයරාම් මහත්මිය ප‍්‍රතිඥාවක් ලබා දී තිබිණි. ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර 1974 වසරේ ඇති කරගත් ගිවිසුමකට අනුව ශ‍්‍රී ලංකාවට පැවරුණු කච්චතිව් දූපත තමිල්නාඩු ධීවරයින්ගේ සාම්ප‍්‍රදායික නැවතුම්පොළක් ලෙස ජෙයරාම් මහත්මිය හඳුන්වයි. 1974 දී ඇති කරගත් ගිවිසුමට අනුව එම දූපත අවට මසුන් මැරීමට අවසර ලබා දී තිබුණ ද 1976 දී ඇති කරගත් තවත් ගිවිසුමක් මඟින් එම අයිතිය අහෝසි කර ඇති බවට තමිල්නාඩු මහ ඇමැතිනිය චෝදනා කර තිබිණි. ඒ අනුව අදාළ ගිවිසුම් දෙකම අභියෝගයකට ලක් කරමින් ඇය 2008 වසරේ දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ගොනු කළාය.

කච්චතිව් අයිතිය ගැන 1947 සිට පැවැති ජාත්‍යන්තර අර්බුදයට තිත තැබුවේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය හා ඉන්දිරා ගාන්ධි අගමැතිනිය අතර 1974 ජූනි 26දා අත්සන් කළ ගිවිසුම තුළිනි. ”කච්චතිව් දූපතේ අයිතිය ශ‍්‍රී ලංකාවට” මවු බිමේ අයිතිය මැතිනිය දිනාගනී, ඉන්දියන් යෝධයෝ දණ ගසති. මැයෙන් ඒ දිනවල මෙරට පුවත්පත්වල මුල් පිටු අලංකාර වී තිබිණ. ශ‍්‍රී ලංකාවේ සැබෑ උරුමය පිළිගෙන කච්චතිව් දූපත ඉන්දියානු ග‍්‍රහණයෙන් මුදවාගත් අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට සියලූ ශ‍්‍රී ලාංකිකයින් එදා මෙන්ම අදත් අනාගතයේත් උපහාර දැක්විය යුතුය. ලොව ප‍්‍රථම අගමැතිනියගේ සමීපතම යෙහෙළිය වූ ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි සමග පැවැති සුහද එමෙන්ම රාජ්‍ය තාන්ත‍්‍රික සාකච්ඡාවල ප‍්‍රතිඵලය ලෙස කච්චතිව්හි අයිතිය මෙරටට දිනාගත හැකිවිය. කෙසේ නමුත් අක්කර 705 කින් පමණ සමන්විත මෙම දූපත ශ‍්‍රී ලංකාවට අයත් වුණත් ඉන්දීය පුරවැසියන්ට දූපතට පැමිණීමේ දී ගමන් බලපත් සහ වීසා ලබා ගැනීමට අවශ්‍ය නැත. ඒ මේ ආගමික උත්සවය නිසාය. 2017 දී ඉන්දීය විදේශ ලේකම් සංජෙයි බණ්ඩෙයි යාපනයේ කළ සංචාරයකදී අවධාරණය කර සිටියේ විටක කච්චතිව් අයිතිය ගැන ගැටලූවක් නැති බවයි. නැති ගැටලූ ඇති කරන්නේ තමිල්නාඩුවේ තක්කඩි දේශපාලකයින් වේ.


................අන්තර්ජාලය ඇසුරෙනි.................දැනුම සොයන්න මේ පාරෙන් එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
විවාදයට යළි ලක් වන කච්චතිව් දූපතේ කතාව (The Story Of The Island Of Kachchatheevu Is Again Under Debate) විවාදයට යළි ලක් වන කච්චතිව් දූපතේ කතාව (The Story Of The Island Of Kachchatheevu Is Again Under Debate) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 03, 2022 Rating: 5

0 comments:

Post a Comment