සරුංගලේ කතන්දරේ (The Story Of The Kite)

සරුංගලේ කතන්දරේ (The Story Of The Kite) - Your Choice Way

මේ සරුංගල් කාලයයි. එක එක මෝස්තරයට නිර්මාණය කළ පාට පාට සරුංගල් ගුවනෙහි පා වන විට, අපේ පොඩිත්තන්ගේ සිත් ඉහිලුම් නැති සටකින් පිරි ඉතිරී යන වග අමුතුවෙන් කිව යුතු නැත. පොඩිත්තන් වගේම අපේ වැඩිහිටියනුත් ගොඩක් කැමති මේ ප්‍රීතිමත් කාලය උදා වන්නේ අගෝස්තු පාසල් නිවාඩුවත් සමඟ ය. සරුංගල් යවමින් ලබන සතුට වගේම, සරුංගලය ගැන කියැවෙන මේ කාරණාත් දැනගතහොත්, එය පොඩිත්තන්ට අවාසියක් නොවේ.

සරුංගලයේ උපත....
දැනට අනාවරණය කරගෙන ඇති ආකාරයට සරුංගලයක් පළමුවෙන්ම නිර්මාණය කෙරුණේ ක්‍රි.පූ.5 වැනි සියවසේදී පමණ බව දැක්වේ. ඒ සඳහා මුල් වී තිබෙන්නේ චීන ජාතික දාර්ශනිකයන් දෙදෙනකු වන මෝසි හෙවත් මෝ ඩී සහ ලූ බෑන් ය.

මේ නිසා පළමු සරුංගලය නිර්මාණය කරන්නට චීන ජාතිකයන් දායකත්වය සැපයූ බවට සැකයක් නැත. කලින් කලට චීනුන් නිර්මාණය කළ සරුංගල් ඉන් පසු අවධියකදී කාම්බෝජය, තායිලන්තය, ඉන්දියාව, ජපානය සහ කොරියාව ආදී රටවලට ව්‍යාප්ත වී ගියේය. සරුංගල් බටහිර ලෝකයට ඇතුළු වන්නේ එයින් පසුව ය.

විවිධ දෙයින් නිර්මාණය වුණු සරුංගල්....
සරුංගල් නිර්මාණය කිරීමට යොදාගත් ද්‍රව්‍යය කලින් කලට මෙන් ම, සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වී තිබේ. මුල් කාලයේදී චීනුන් සරුංගල නිර්මාණය කර තිබෙන්නේ උණ බම්බු සහ සිල්ක් ආදිය යොදාගෙන ය. ඒ විධියට නිර්මාණය කෙරුණු සරුංගල විචිත්‍රවත් කර ගැනීම පසු කලෙක සිදු වී ඇත. එය සිදු කෙරී තිබෙන්නේ සරුංගල් මත නොයෙක් විධ සිතුවම් ඇඳ ගැනීමෙනි. තවත් කාලයකදී සිල්ක් වෙනුවට මුද්‍රිත පොලියෙස්ටර යොදාගෙන චීනුන් සරුංගල් තැනූ බව සඳහන් වේ. අද වනවිට සරුංගල නිපදවීම සඳහා ප්ලාස්ටික් සහ නොයෙක් ආකාරයේ පොලිතීන් වර්ග පවා භාවිතයට ගැනේ.

සරුංගල් මෝස්‌තර.....
සාමාන්‍යයෙන් සරුංගලයක් නිර්මාණය කෙරෙන මෝස්තර රැසක් අප අතර ඇත. එසේ වුවත්, විවිධ රටවල වැසියන් ඉන් පරිභාහිර මෝස්‌තර භාවිතයට ගනිමින් සරුංගල් නිර්මාණය කරන බව ඔබ දන්නවාද? ඉන්දුනීසියාවට අයත් බාලි දූපත් වැසියන් නිර්මාණය කරන සරුංගල් මෝස්තර සාමාන්‍යයෙන් අප අතර බහුලව දක්නට ලැබෙන්නේ නැත. කුරුල්ලන්, සමනලයින්, මකරුන් සහ නැව් ආදියේ ස්වරූපය ගත් සරුංගල ඔවුන් අතින් නිර්මාණය කෙරේ. වියට්නාම වැසියන් නිර්මාණය කරන සරුංගල්වලට වලිගය කොටසක් නැත. ඒ වෙනුවට ශබ්දය නඟන නළාවක් ඔවුහු සරුංගලයෙහි රඳවති. සැබෑ ලොව දක්නට නොලැබෙන සතුන්ගේ මනකල්පිත ස්වරූපයන්ට අනුව නිර්මාණය වන සරුංගලත් දැන් ප්‍රකට ය. නව තාක්ෂණය මුසු කර නිපදවෙන ඇතැම් සරුංගලවලට ටර්බයින පවා සවි කෙරෙනු අද දක්නට පුළුවන.

සහේතුක සරුංගල් යැවීම.....
බොහෝ රටවල වැසියන් සරුංගල් යවන්නේ විනෝදය පිණිස ය. එසේ වුවත් තවත් සමහර රටවල වැසියන් සරුංගල් යවන්නේ ඔවුන්ගේ සංස්කෘතිය හා බද්ධ වුණු අවශ්‍යතා සපුරා ගැනීම සඳහා බව බොහෝ දෙනෙක් නොදනිති. පාකිස්තාන ජනයා සරුංගල් යවන්නේ වසන්ත සැණකෙළි සැමරීමේ ශාන්ති කර්මයක් ලෙස ය. ඉන්දීය ජාතිකයන් වසන්ත උදාව සමරන්නේ මකර සංක්‍රාන්තිය නමැති සැණකෙළිය පැවැත්වීමෙනි.

මකර සංක්‍රාන්ති සැණකෙළි පැවැත්වීමේදී ඉන්දියානුවෝ සරුංගල් යවති. ජපාන ජාතිකයන් සරුංගල් යැවීම සලකන්නේ පිරිමි ළමයින්ගේ පාරම්පරික ක්‍රීඩාවක් හැටියට ය. ග්‍රීසිය, සයිප්‍රසය යන යුරෝපා රටවල ජනයා සරුංගල් යවමින් ක්‍රිස්තියානි ආගම හා සම්බන්ධ අවස්ථාවක් සමරති. මේ සැමරුම යෙදෙන්නේ අළු සඳුදාවට ය. බර්මියුඩා සහ ගයනා ජාතිකයෝ පාස්කුවේදී සරුංගල් යවති.

සරුංගල් යැවීමෙන් ඔබ්බට විනෝදය සඳහාත්, සංස්කෘතිය හා බද්ධ වුණු චාරිත්‍රයක් හැටියටත් සරුංගල් යැවීම ලෝ පුරා සිදු කෙරෙන බව සැබැවි. එහෙත්, ඒ හැරුණු විට විවිධ තාක්ෂණයන් යොදාගෙන නිර්මාණය කෙරුණු සරුංගල විවිධ කාර්යය සඳහා භාවිතයට ගැනෙන බව ඔබ දන්නවාද? සමහර අවස්ථාවලදී මිනිසුන් ගුවනට රැගෙන යාම සඳහාම සකස් කළ සරුංගල දක්නට ලැබේ. හමුදාමය කටයුතුවලදීත්, විද්‍යා හා තාක්ෂණ කාර්යයන්ටත්, ඡායාරූප ගැනීම සඳහාත්, ගුවන්විදුලි ඇන්ටෙනා ආදිය ඉහළට එසවීමටත්, බලශක්ති උත්පාදනයටත්, වායු ගතික අත්හදා බැලීම්වලටත් සරුංගල භාවිතයට ගැනෙන අවස්ථා එමට ය.

ජලය යටදී භාවිතයට ගත හැකි සරුංගල් ද විද්‍යාඥයන් අතින් මේ වනවිට නිෂ්පාදනය වී ඇත. එවැනි සරුංගල් ප්‍රයෝජනයට ගැනෙන්නේ ජල ධාරාවන්ගෙන් බලශක්තිය නිෂ්පාදනය කර ගැනීමේ කාර්යය සඳහා ය.

සරුංගල් කෞතුකාගාර......
සරුංගල් කෞතුකාගාර තිබෙන බව සමහරවිට ඔබ අසා නැතුවා වන්නට පුළුවන. ලොව විශාලතම සරුංගල් කෞතුකාගාරය ලෙස හැඳින්වෙන්නේ චීනයේ වෙයිෆැන්ග් සරුංගල් කෞතුකාගාරය ය. එය 1989 දී ස්ථාපනය කරන ලදී. ප්‍රදර්ශන ශාලා 12කට ආසන්න සංඛ්‍යාවක සරුංගල් ආශ්‍රිත ප්‍රදර්ශන භාණ්ඩ 2000කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය පිණිස තබා ඇත.

මැලේසියාවේ මෙලාකා නගරයේත් සරුංගල් කෞතුකාගාරයක් ඇත. සරුංගල්වලට සම්බන්ධ කෙරුණු සන්නිවේදන උපකරණ, සරුංගල් අවි හැටියට භාවිතයට ගැනෙන අන්දම, සරුංගල් ආශ්‍රිත ක්‍රීඩා, සරුංගල් සමඟ විවේක පාඩුවේ කාලය ගත කරන හැටි වගේම, විවිධ

රටවල සරුංගල, ඒ ඒ සරුංගල් සැකසීමට ගන්නා ද්‍රව්‍ය ආදියත් මේ කෞතුකාගාරයේදී ප්‍රදර්ශනය කෙරේ. මේ කෞතුකාගාරය විවෘත කෙරුණේ 1995 වසරේදී ය.

වැඩියෙන්ම ඉහළ ගිය සරුංගලය.....
ලොව වැඩියෙන්ම ඉහළ ගිය සරුංගලය ලෙස ගිනස් වාර්තා අතරට එක්ව තිබෙන්නේ, ඔස්ට්‍රේලියාවේ රොබර්ට් මෝරේ සහ පිරිස 2014 වසරේ සැප්තැම්බර් මාසයේදී යවන ලද සරුංගලයකි. මේ සරුංගලය මීටර 4880ක් හෙවත් අඩි 16,009ක් ඉහළට ගිය බැව් දැක්වේ.

ලොව විශාලතම සරුංගලය...  
ලොව විශාලතම සරුංගලය 2014 වසරේදී චීනයේ හොහ්හොට් සරුංගල් සැණකෙළියේදී ගුවන්ගත කෙරිණ. මේ සරුංගලය බූවල්ලකුගේ ස්වරූපයට නිර්මාණය කරන ලද සරුංගලයකි. එය මීටර 110ක් දිගු විය. එහි පළල මීටර 15ක් පමණ වූ බව දැක්වේ. එහි බර කිලෝග්‍රෑම් 200ක් පමණ විය. සරුංගලය බිම තැබූ විට එයින් ආවරණය වන භූමි ප්‍රමාණය වර්ග මීටර 1500කි. 

සරුංගල් සැණකෙළි...
ලෝකය පුරා සරුංගල් සැණකෙළි පැවැත්වේ. ඒ අතර අමෙරිකා එක්සත් ජනපදය, ඉන්දුනීසියාවේ බාලි දූපත්, ඉතාලිය, ප්‍රංශය, ඩෙන්මාර්කය, ජපානය, මැලේසියාව සහ ගෝතමාලාව කැපී පෙනෙයි. ලොව වඩාත් කැපී පෙනෙනම සරුංගල් සැණකෙළි වන්නේ, අමෙරිකා එක්සත් ජනපදයේ බර්ක්ලේ සරුංගල් සැණකෙළිය, ඕස්ට්‍රේලියාවේ සුළං සැණකෙළිය ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් සරුංගල් සැණකෙළිය, එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් සරුංගල් සැණකෙළිය, දකුණු කොරියාවේ බුසාන් සරුංගල් සැණකෙළිය යන ඒවා ය.

සරුංගල් යැවීම තහනම් රටවල්...
ලොව ඇතැම් රටවල ඇතැම් ප්‍රදේශ තුළ සරුංගල් යැවීම සපුරා තහනම් බව සමහරවිට ඔබ විශ්වාස නොකරනු ඇත. වැඩිපුරම මෙලෙස තහනමට ලක්ව තිබෙන්නේ සටන්කාමී සරුංගල් ය. එවැනි සරුංගල් භාවිතයට ගැනෙන්නේ සරුංගල් ආශ්‍රය කරගෙන සටනක් ආකාරයෙන් ක්‍රීඩා කිරීම සඳහා ය. එවැනි සටන්කාමී සරුංගල් යැවීම ඇෆ්ඝනිස්ථානය, ඉන්දියාව, බංගලිදේශය, ඉන්දුනීසියාව, නේපාලය, පාකිස්තානය, වියට්නාමය, කොරියාව, තායිලන්තය සහ බ්‍රසීලය වැනි රටවල් තහනම් කර ඇත.

මංජුලා විජයරත්න විසින් දිනමිණ පුවත්පතට ලියූ ලිපියක් ඇසුරෙනි ...

...........අන්තර්ජාලය ඇසුරෙනි.....දැනුම සොයන්න මේ පාරෙන් එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සරුංගලේ කතන්දරේ (The Story Of The Kite) සරුංගලේ කතන්දරේ (The Story Of The Kite) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 21, 2022 Rating: 5

0 comments:

Post a Comment