විශ්වයේ ලොක්කා වුනු වීදියේ හැදුනු දරුවා ක්‍රිස්ටෝපර් හෙන්රි (Christopher Henry)

විශ්වයේ ලොක්කා වුනු වීදියේ හැදුනු දරුවා ක්‍රිස්ටෝපර් හෙන්රි (Christopher Henry) - Your Choice Way

ක්‍රිස් ගේල් (Chris Gayle) යන නම කියපු ගමන් නොදන්න ක්‍රිකට් ක්‍රීඩා රසිකයෙක් නැති තරම්. සමහර ක්‍රීඩා විචාරකයන් ගේල් ලෝක ඉතිහාසයේ පහල වූ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා විදිහටත් හදුන්වා දෙනවා. ඉතාමත් විනෝදකාමී පුද්ගලයෙක් වන ගේල් ක්‍රීඩා පිටියේ හරිම නිවුනු ඕණම වෙලාවක හිනා වෙලා ඉන්න වගේම දක්ෂකම් වලිනුත් පරිපූර්ණ ක්‍රීඩකයෙක්. බොහෝ පන්දුයවන්නන් පවසන්නේ ඔවුන්ට හමුවූ වඩාත් දක්ෂම ප්‍රතිවාදියා ගේල් බවයි. තුන් ඉරියව්වෙන්ම දක්ෂකම් පෙන්වන ගේල් මේතාක් අපූ ජීවිතය ගැන ඔබ කවදා හෝ කියවල තියෙනවද. ඇත්තටම ඔහු ඉතා කුඩා තැනක සිට අද අසීමිත සැප සම්පත් ලබන පුද්ගලයෙක් විදිහට තමන්ගේ ජීවිතයේ අති විශාල සාර්තකත්වයක් ලබපු පුද්ගලයෙක්. 

ගේල් ඉපදුනේ 1979 වසරේ සැප්තැම්බර් 21 ඉතාමත් දිලිදු පවුලක ක්‍රිස්ටෝපර් හෙන්රි ගේල් (Christopher Henry Gayle) නමින්. ඔහුගේ පියා ප්‍රාදේෂීය පොලිස් නිලධාරියෙක්. මව ජැමෙයිකාවේ කිංග්ටන් නගරයේ වීදි වල රටකජු විකුණූ කාන්තාවක්. සය දෙනෙකුගෙන් යුත් පවුලක පස් වෙනියා ලෙසයි ඔහු උපත ලැබුවේ. කාමර දෙකක් පමණක් තිබූ නිවසක ඉතාම දුක්බර කුඩා කාලයක් ගෙවූ ඔහු කුසගින්නේ සිටි දවස් අනන්තවත් තිබූ බව  ඔහු පවසා තිබෙනවා. ගේල් කිහිප වරක් ආහාර සොරකම් කර තිබෙන බවත් ඔහු පවසා තිබෙනවා.

යම්තාක් දුරකට අධ්‍යාපනය ලැබීමෙන් පසු ඔහු උසස් අධ්‍යාපනය නොලබා ජැමෙයිකාවේ කිංග්ස්ටන් ක්‍රිකට් ඇකඩමියට එක් වුනා. කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාවට දස්කම් දැක්වූ ඔහුගේ සිහිනය මල්පල ගැනීමේ මූලිකම අඩිතාලම වැටුනේ එහිදී. මුල්පෙල ක්‍රීඩා තරග වලදී තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූ මේ ක්‍රිඩකයා තරමක් කම්මැලි ක්‍රීඩකයෙකු ලෙසයි කුඩා කල සිටම හදුනාගෙන තිබුනේ. ඒ ඔහු එතරම් ජව සම්පන්න විදිහට දුවන්නෙ පනින්නෙ නැති නිසා. නමුත් ක්‍රමයෙන් ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක් බවට පත්වූ ක්‍රිස්ටෝපර් ඉතා කෙටි කලකින් බටහිර ඉන්දීය කොදෙව් පිලට අවතීරණ වන්න අවස්තාව උදා කර ගත්තා. ඔහුගේ දක්ෂතා නිසාම ඔහුව ජැමෙයිකා ජාතික කන්ඩායමට එක්කර ගනු ලැබුවා. ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එක් වුණේ එක්වුණේ 1999 වර්ෂයේදී. ඒ ඉන්දියාවට එරහිව පැවති තරගයකදී. එදා සිට ඔහු විසින් දක්වන ලද දක්ෂතා මෙපමණයි කියල නිම කරන්න බැහැ. ඔහු සිට පලමු ටෙස්ට් තරගයට සහභාගී වුනේ 2000 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරහිවයි. පලමු T20 තරගයට ක්‍රීඩා කලේ 2006 වර්ෂයේදී නවසීලන්ත කණ්ඩායමට එරහිව. 

එදා සිට අද දක්වා ඔහු විසින් හොබවන ලද වාර්තා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ක්‍රිස් බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් රැස් කල ක්‍රීඩකයා වගෙම වැඩිම තරග සංඛ්‍යාවක් සදහා සහභාගී වුනු ක්‍රීඩකයායි. ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 301 ක්‍රීඩා කරල තියෙනව දෙවන තැන රැදිල ඉන්න බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක බ්‍රයන් ලාරා ක්‍රීඩා කරල තියෙන්නෙ තරග 299යි. T20 තරගයක පලමු ශතකය වාර්තා කල ක්‍රීඩකයා වශයෙනුත් ගේල් ඉතිහාසයට එක්වෙලා තියෙනව. ඔහු මෙය වාර්තා කලේ 2007 20-20 ලෝක කුසලානයේ ආරම්භක තරගයේදී දකුණු අප්‍රිකාවට එරහිව. එහිදී ඔහු පන්දු 57කදී වේගවත් ලකුණු 117ක් රැස් කලා. 

2015වේදී ගේල් එක්දින ලෝක කුසලාන තරගයකදී ද්විතව ශතකයක් වාර්තා කල පලමු ක්‍රීඩකයා වශයෙන් වාර්තා අතරට එක් වුනා. ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරහිව වේගවත් ලකුණු 215ක් රැස් කරමින්. ඒ වගෙම ටෙස්ට් තරගයකදි ලකුණු 300 සීමාව දෙවතාවක් පසු කල ක්‍රීඩකයන් සිව් දෙනා අතරට එන්නත් ඔහුට හැකිවුනා. ටෙස්ට් තරගයක ලකුණු 300ක් වාර්තා කරනව කියන එක පහසු දෙයක් නෙමෙයි. නමුත් ක්‍රිස්ටෝපර් ගේල් සමග බ්‍රයන් ලාර්, සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් හා විරෙන්ද්‍ර ශිවාග්ද ලකුණු 300 සීමාව දෙවතාවක් පසුකර තිබෙනවා. ටෙස්ට් තරගයක ආරම්භක පන්දුවට හයේ පහරක් එල්ල කර ඔහු තවත් වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ 2004 වර්ෂයෙදී එංගලන්තය හා පැවති ටෙස්ට් තරගයකදි. එංගලන්ත ක්‍රීඩක මැතිව් හෝගාර්ඩ්ගෙ පන්දු ඕවරයකට 4 පහර 6ක් එල්ල කරමින් ඔහු ටෙස්ට් තරගයක එවැනි දක්ෂතාවක් දැක්වූ පලමු ක්‍රීඩකයා බවට පත්වුනා. ඒ වගෙම 2016 බිග් බෑෂ් ලීග් (Big Bash League) තරගාවලියේදී ඔහු පන්දු ඕවරයකදී හයේ පහර හයක් එල්ල කරමින් එක් ඕවරයකට හයේ පහර හයක් එල්ල කල ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනා අතරට එක්වුනා.

ගේල් සතු තවත් සුවිශේෂීම වාර්තාවක් තමයි ටෙස්ට් තරගයක ලකුණු 300ක් වාර්තා කර, එක්දින තරඟයක ලකුණු 200ක් වාර්තා කර, 20-20 තරගයකද ලකුණු 100ක් වාර්තා කල එකම ක්‍රීඩකයා බවට පත්වීම. ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේදී වේගවත්ම ශතකයට හිමි වාර්තාව දරන්නේත් මේ ජැමෙයිකානුවයි. 20-20 තරග වලදී ලකුණු 10,000 සීමාව පසුකල ලොව පලමු ක්‍රීඩකයා වශයෙන් ඔහු තවත් වාර්තාවක් පිහිටුවා තිබෙනවා. අද වන විට ගේල් 20 20 තරග සදහාම විශේෂ වූ ක්‍රීඩකයෙක් ලෙසයි සැලකෙන්නේ. ගේල් 2014දී ටෙස්ට් පිටියෙන් සමුගත්තා. ඒ වගෙම 2019 වර්ෂයෙදී ඔහු එක්දින ජාත්‍යන්තර තරග වලින්ද සමුගත්තා. 2021 වසරේ නොවැම්බර් මස 6වනදා ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කරනු ලැබුවා.

ටෙස්ට් පිටියට සමුදෙන විට ගේල් ශතක 15ක් හා අර්ධ ශතක 37ක් වාර්තා කර තිබුනා. ඔහු එක්දින තරග වලදී ශතක 25ක් හා අර්ධ ශතක 54කුත් T20 ජාත්‍යන්තර තරග වලදී පමණක් ශතක 2ක් හා අර්ධ ශතක 14ක්ද වාර්තා කර තිබෙනවා. ගේල් ටෙස්ට් තරග වලදී කඩුලු 73ක් එක්දින තරග වලදී කඩුලු 167ක් හා 20 20 තරග වලදී කඩුලු 20ක් බිද හෙලා තිබෙනවා. ඒ වගෙම ඔහු උඩ පන්දු 240ක් පමන රැකගෙන තිබෙන බවත් වාර්තා වෙනවා. 

මෙලෙස ක්‍රීඩාවෙන් ක්‍රමයෙන් ඉවත්වන ඔහු අද වන විට HipHop ගායකයෙක් ලෙසත් ජැමෙයිකාවේ හොද නමක් දිනාගෙන සිටිනවා. “Universe Boss” නැත්නම් විශ්වයේ ලොක්කා යන අනුවර්ත නාමයෙන් තමයි ඔහුව අද වන විට හදුන්වන්නේ. යුනිවර්ස් බොස් අද වන විට ගීත කිහිපයක්ම ගායනා කරල තියෙනව. ඒවාට විශාල ජනප්‍රියත්වයක්ද ලැබිල තියෙනව කියල වාර්තා වනවා. කිංග්ස්ටන් නගරයේ වීදිවල ක්‍රිකට් ගසමින් රස්තියාදු වෙමින් සිටි ක්‍රිස්ටෝපර් හෙන්රි නම් මේ තරුණ කොලු ගැටයා අද වන විට මිලියන පතියෙක්. කුසට හරි හැටි අහරක් නොමැතිව සොරකම් පවා සිදුකල ඔහු අද වන විට අහිංසක අසරණ මිනිසුන්ට උදව් උපකාර කරන ධානපතියෙක් බවට පත්වෙලා තිබෙනවා. 

ක්‍රිස්ගේ සහකාරිය ජැමෙයිකාවේ ප්‍රප්‍රසිද්ධ නිරූපිකාවක් වන නටාශා බෙරිඩ්ජ්. නටාශා හා ගේල් වසර ගනණාවක සිට එකිනෙකා අදුනන දෙදෙනෙක්. එක්ව වාසය කලත් ඔවුන් විවාහ වී නොමැති බව සමහර විදෙස් වෙබ් අඩවි වාර්තා කරනවා. ඔවුන්ට 2016 වසරේදී සුන්දර දියණියක් හම්බුවුනා. ඇගේ නම ක්‍රිස් ඇලීනා ගේල්. ක්‍රිස් ඇයට ආදරයට අමතන්නේ බ්ලෂ් (Blush) යන නමින් කියලත් වාර්තා වනවා. අද වෙනකම් ඔවුන් ඉතාමත් සතුටින් ජීවත් වන බවයි වාර්තා වන්නේ. 

2020 වසර අවසානය වන විට ක්‍රිස් සතු සමස්ත වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 31ක් බවයි වාර්තා වුනේ. ගේල් විනෝදාංශය ලෙස සිදු කරන්නේ වාහන පැදීම හා නර්තනයේ යෙදීමයි. ගේල් සතුව ඉතාමත් සුඛෝපභෝගී වාහන එකතුවක් තිබෙනවා. ඒ වාහන එකතුවේ ලැම්බෝගිනි ඇවෙන්ටේඩොර් SV J මෝටරථයක්, බෙන්ට්ලි කොන්ටිනෙන්ටල් GT මෝටරථයක්, ෆෙරාරි 458 ස්පයිඩර් මෝටරථයක්, මර්සිඩීස් බෙන්ස් GL 63 AMG වර්ගයේ මෝටරථයක් වගෙම ලෑන්ඩ් කෘසර් V8 වර්ගයේ මෝටරථයක්ද වන බව සදහන් වනවා. මීට අමතරව ඔහු Audi හා BMW රථ ඔහුගේ සාමාන්‍ය භාවිතය සදහා තබාගෙන සිටිනවා. මෝටර් රථ වලට අමතරව ඔහු සතුව හාලි ඩේවිඩ්සන් බෑඩ් බෝයි බයික් එකකුත් තිබෙන බව වාර්තා වනවා.

ක්‍රිස් ගේල් 2009 වසරේදී කිංග්ස්ටන් වල මුහුදු වෙරල ආසන්නයේ මහල් 4කින් යුත් දැවැන්ත මන්දිරයක් සාදනු ලැබුවා. ඔහු ඒ සදහා ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් යටකලා කියලත් වාර්තා වනවා. මේ නිවසේ විශාල කාමර 9ක් තිබෙනවා. මුහුද පෙනෙන ලෙස නිර්මාණය වුනු විශාල පිහිනුම් තටාකයක් එහි අන්තර්ගතයි. එහි පූල් බාර් එකක් වගේ විසිතුරු අලංකරණ තියෙන බවත් වාර්තා වනවා. ඔහුගේ නිවසේ Spa එකක් මෙන්ම නයිට් ක්ලබ් එකක්ද තිබෙන බව ඔහු වරක පවසා තිබුනා. ඔහු මෙම නිවස සාදනු ලැබුවේ එහි ඉහලම මහලට ගිය විට මුලු නගරයම දිස්වෙන ලෙසයි. ඒ ඔහුගේ theme එක වන යුනිවර්ස් බොස් කියන එක යතාර්තයක් කිරීමටයි. ඔහුගේ බොහෝ මියුසික් වීඩියෝ වල රූපරාමු වලට ඔහු තමන්ගේ නිවසම යොදාගෙන තියෙනවා. 

2015 වසරේ ඔහු ක්‍රිස් ගේල් ඇකඩමි එක ආරම්භ කලා. ඒ හරහා ඔහු ජැමෙයිකාවේ හා එංගලන්තයේ සිටින අඩු ආදායම් ලාභී නමුත් දක්ෂතා ඇති දරුවන්ට විවිධ ක්‍රීඩා වලින් සාර්තක වීම සදහා උදව් කරනු ලබනවා. ජැමෙයිකාවේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න දක්ෂතා ඇති දරුවන් බොහෝ දෙනෙක් අද වන විට මෙම ආයතනයේ පහසුකම් ලබන බව වාර්තා වනවා. මීට අමතරව ඔහු කිංග්ස්ටන් නගරයේ දිලිදු පවුල් වලට නිරන්තරයෙන් ආදාර උපකාර කරන බව වාර්තා වනවා. 

ඉතිං ක්‍රිස් ගේල් නැත්නම් ක්‍රිස්ටෝපර් හෙන්රි ගේල් කියන්නෙ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ අති දක්ෂ මෙන්ම අද්විතීය ක්‍රීඩකයෙක්. ඔහු තරම් ප්‍රහාරාත්මක ප්‍රතිවාදියකුට පන්දුව යොමු කිරීම බොහෝ පන්දු යවන්නන්ට හදවතේ තරමක් ගැස්මක් ඇති කරවන දෙයක් වුනා. ඔහුගේ විනෝදකාමී ජීවිතය හා ගායන හැකියාව ඉදිරියට ගෙන යාම ඔහුගේ අරමුණ වෙලා තියෙනව කියලයි වාර්තා වෙන්නේ. ක්‍රිස් අවස්තා කිහිපයකදී තමාව නොසලකා හැරි බවට ජැමෙයිකා රජය සමග ප්‍රශ්න ඇති කර ගත්තා. නමුත් ඔහුට අදටත් ලොවපුරා ක්‍රීඩට් ලෝලීන්ගේ ඇත්තේ අසීමිත ආදරයක්....

..................අන්තර්ජාලය ඇසුරෙනි.....................දැනුම සොයන්න මේ පාරෙන් එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
විශ්වයේ ලොක්කා වුනු වීදියේ හැදුනු දරුවා ක්‍රිස්ටෝපර් හෙන්රි (Christopher Henry) විශ්වයේ ලොක්කා වුනු වීදියේ හැදුනු දරුවා ක්‍රිස්ටෝපර් හෙන්රි (Christopher Henry) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 05, 2022 Rating: 5

0 comments:

Post a Comment