සුන්දර කැනඩාව ගැන ඔබ නොදන්නා තොරතුරු (Canda)

සුන්දර කැනඩාව ගැන ඔබ නොදන්නා තොරතුරු (Canda) - Your Choice Way

කැනඩාව කියපු ගමන් අපි හැමෝටම ඔලුවට එන්නේ ගොඩක් දියුණු රටක් ගැන සිතුවිල්ලක්. විශේෂයෙන් නයගරා ඇල්ල තමයි ගොඩක් අයගේ මතකයට එන්නේ කැනඩාව කියපු ගමන්. ඒ වගේම ලංකාවේ ඉන්න බොහොමයක් දෙනා පදිංචියට යන්න හිතන් ඉන්න රටවල් වලින් ඉහළින්ම තියෙන රටක් තමයි කැනඩාව. ඒ වගේම 2020 අවුරුද්දේ ලෝකයේ 9 වෙනි විශාලම ආර්ථිකය හිමි රට විදිහටත් කැනඩාව නම් කෙරුණා. ඔය වගේ දේවල් ඉතින් හැමෝම දන්න දේවල්. හැබැයි කැනඩාව කියන අති සුන්දර රට ගැන ඔයාලා නොදන්නා කාරණා එහෙමත් ගොඩක් තියෙනවා. ඉතින් ලංකාවෙන් කොයිවෙලේද පනින්න පුළුවන් කියලා මාන බලාගෙන ඉන්න අයට පොඩි තල්ලුවක් වෙන්නත් එක්ක කැනඩාව කියන රට ගැන අප්‍රකට තොරතුරු ටිකක් ඔයාල එක්ක බෙදාගන්නයි අපි අද ලෑස්ති වෙන්නෙ. 

* දිගම දේශ සීමාව.....
කැනඩාව ලෝකයේ දෙවෙනි විශාලම රට කියන එක ගොඩක් දෙනෙක් දන්න කාරණාවක්. ඒ වගේම කැනඩාව භූමියෙන් මායිම් වෙලා තියෙන්නෙ ඇමෙරිකා එක්සත් ජනපදයට. ඉතින් දකුණින් තියෙන ඇමරිකාවයි උතුරින් තියෙන කැනඩාවයි වෙන් වෙන දේශ සීමාව ලෝකයේ දිගම ජාත්‍යන්තර දේශ සීමාව විදිහට වාර්තා වෙනවා. හරියටම කිව්වොත් මේ දේශ සිමාවේ දිග කිලෝමීටර් 8,891ක් වෙනවා. මේ දේශ සීමාවේ කොටස් දෙකක් තියෙනවා. කලින් සඳහන් කළා වගේ දකුණින් තියෙන ඇමරිකාවයි, ඒ වගේම බටහිරින්, ඇමරිකාවේ ප්‍රාන්තයක් වෙන ඇලස්කාව කියන ප්‍රාන්තයයි වෙන් වෙන සීමාවන් දෙක තමයි ඒ. ජාත්‍යන්තර දේශසීමා කොමිසම මේ සීමාව සම්බන්ධයෙන් වෙන ගැටළු සම්බන්ධව කටයුතු කරනවා. ඒ වගේම මේ සීමාවේ දුර ප්‍රමාණය ගොඩක් වැඩි නිසා සමහර තැන් වල සංවේදක (Sensors) පවා සඟවලා තියෙනවා සීමා උල්ලංඝනය කිරීම් වළක්වන්න. 

* සැන්ටා ක්ලෝස් කැනඩා ජාතිකයෙක් ලු.....
ක්‍රිස්තියානි ආගමේ විශේෂම අවස්ථා වලින් එකක් තමයි නත්තල කියන්නෙ. ඉතින් නත්තල මතක් කරපු ගමන් අපේ ඔලුවට එන්නේ නත්තල් සීයව. ඉතින් නත්තල් සීයා එහෙම නැත්නම් ශාන්ත නිකලස් කියන චරිතය අපි අඳුනන්නේ නත්තලට පොඩි අයට තෑගී ගෙනත් දෙන කෙනෙක් විදිහට. ඉතින් ඈත අතීතයේ ඉඳලම පොඩි ළමයි නත්තල් සීයාට ලියුම් ලියන්න පුරුදු වෙලා හිටියා. ඉතින් ඒ එක එක රටවල ළමයින් තැපැල් පෙට්ටි වලට දාන ලියුම් වලට ඒ තැපැල් කන්තෝරු නිලධාරීන් පිළිතුරු යවන අවස්ථා එහෙම ගොඩක් තිබුණා. හැබැයි කැනඩාවේ, නත්තල් සීයාට විශේෂිත ලිපිනයක් වෙන් කරලා දීල තියෙනවා. ඒ කියන්නෙ නත්තල් සීයාගේ නිල ලිපිනය තියෙන්නෙ කැනඩාවේ.
Santa Claus 
North Pole 
H0H 0H0 
Canada 
කියන්නෙ ඒ ලිපිනයයි. ඉතින් ඕනෑම රටක ඕනෑම වයසක කෙනෙක්ට මේ ලිපිනය හරහා නත්තල් සීයාට ලිපි යවන්න පුළුවන් වගේම නැවත පිළිතුරු ලිපියක් ලබාගන්නත් හැකියාව තියෙනවා. හැබැයි 2021 අවුරුද්දට අදාළ ලිපි යැවීමේ අවසන් දිනය දැන් පහු වෙලා, ඒක තිබුණේ දෙසැම්බර් 10. ඒ වගේම මේ ලිපිනයට අවුරුද්දකට ලිපි මිලියනයකට වඩා එනවලු. 

* එහෙ බැලුවත් ස්මිත්, මෙහෙ බැලුවත් ස්මිත්...
ලංකාවේ ගොඩක් වෙලාවට පෙරේරා කියන නම ගොඩක් බහුලව දකින්න පුළුවන් නමක්. අර සින්දුවක තියෙනවා වගේ පාරක පෙරේරා කියල කෑගහුවොත් ගොඩක් දෙනෙක් හැරිලා බලන තරම් පෙරේරා නම ලංකාවේ බහුලයි. ඒ වගේම තමයි කැනඩාවට. කැනඩාවේ ස්මිත් කියන නම සෑම පුද්ගලයින් 192කින් එක්කෙනෙක්ට තියෙනවලු. ඒ වගේම කැනඩාවේ ජනප්‍රියම නම වගේම කැනඩාවේ ප්‍රාන්ත 7කත් මේ නම තමයිලු ජනප්‍රියම. 

* 20% ක් පිටරැටියන්....
කැනඩාව පිළිගැනෙන්නේ බහු සංස්කෘතික රටක් විදිහට. 2011දී කැනඩාවේ ජනගහණයෙන් පිටරටක ඉපදුනු අය 6,775,800ක් පමණ හිටියා. ඒක මුළු ජනගහණයෙන් 20.6% ක් වුණා. 2006 ඉඳලා 2011 වෙනකන් විදේශිකයින් 1,162,900ක් කැනඩාවට සංක්‍රමණය වෙලා තියෙනවා. ඒ විදිහට කැනඩාවට වැඩිම පිරිසක් සංක්‍රමණය වෙලා තියෙන්නෙ ආසියාවෙන්.  

* අධ්‍යාපන මට්ටම....
කැනඩාව කියන්නෙ අධ්‍යාපනය සහ ඒකෙ වැදගත්කම හොඳින්ම තේරුම් ගත්තු රටක්. ඒක ඒ රටේ මිනිස්සු දිහා බැලුවම තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම කැනඩාවේ ඉන්න වැඩිහිටි අයගෙන් 56%ක් උපාධියක් සහිත අය. ඒක සංවර්ධිත අනෙක් රටවල් එක්ක බැලුවම ඉහළම අනුපාතය. ඒ වගේම කැනඩාවේ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරනවා. ඉතින් අහන්න දෙයක් නෑනේ ඒ රටේ අධ්‍යාපන මට්ටම ගැන. 

* වැරදිලා තිබ්බ නම....
කැනඩාව කියන නම ඒ රටට ලැබුණේ කොහොමද කියන එක ගොඩක් අය නොදන්නා කාරණාවක්. ඉතින් ඒක සිද්ද වෙලා තියෙන්නෙ 1535 දී. දවසක් ප්‍රංශ ගවේෂකයෙක් මේ රටට ඇවිල්ල තියෙනවා. ඒ ආපු වෙලාවේ ඔහු ඒ රටේ හිටපු ස්වදේශික තරුණයින් දෙන්නෙක්ගෙන් අහලා තියෙනවා රට තුළට යන මාර්ගයක් ගැන. ඉතින් ඒ වෙලාවේ ඔවුන් ඔහුට කියලා දෙනවා ‘කනාටා’වට යන විදිහ. කනාටා කියන්නෙ ස්වදේශික භාෂාවෙන් ගම කියන තේරුම. නමුත් ඒ ගවේෂකයා තේරුම් අරන් තියෙන්නෙ ඒ මුළු රටටම කියන නම විදිහට. ඉතින් ඔහු ඒ රට කනටාව විදිහට වාර්තා කරගෙන තියෙනවා. ඔන්න ඔය නම තමයි පහු කාලෙක කැනඩාව විදිහට වෙනස් වුණේ. 

* සර්පයින් නැති දූපත...
නිව්ෆවුන්ඩ්ලන්ඩ් කියන්නෙ කැනඩාවට අයත් දුපතක්. ඉතින් වසරේ බොහෝ කාලයක් අධික ශීතලක් පවතින මේ දූපතේ කිසිම සර්පයෙකු වාර්තා වෙලා තිබුණේ නෑ. ඒකට හේතුව සර්පයින්ට මේ දුපතට ලඟා වෙන්න තියෙන නොහැකියාවයි. මොකද ලුණු සහිත මුහුදු වතුර එක්ක හරි අයිස් උඩ හරි සර්පයින්ට ගමන් කරන්න තියෙන බාධාව නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ. හැබැයි අද වෙද්දී නම් එහි සර්පයින් ඉන්න බව වාර්තා වෙනවා. ඒ අනවසරයෙන් ඔවුන්ව දුපත ඇතුළට ගෙන ඒමක් සිද්ද වෙලා තිබීම නිසයි. ඒ කාරණාව වගේම තමයි ලෝකයේ වැඩිම සර්ප ආකර්ෂණයක් තියෙන දුපත තියෙන්නෙත් කැනඩාවේ....

* පිරිසිදුම වාතය අතින්  දෙවනි තැන කැනඩාව...
කැනඩාව ලොව විශාලතම රටවල් කිහිපය අතරින් එකක් වෙනවා සේම මෙය ලොව දෙවනුවට පිරිසිදුම වාතය ඇති රට වෙනවා. මෙය උතුරු ඇමෙරිකා මහාද්වීපයේ උතුරට වන්නට පිහිටා ඇති අතර, දේශගුණික කලාප රාශියක් අන්තර්ගත වෙනවා. මේ හේතුවෙන් ශාක හා සත්ත්ව විශේෂ රාශියක් කැනඩාව තුළ වෙසෙනවා. කැනඩාව තුළ සොබාදහම රැකීම සඳහා තද නීති පනවා ඇති අතර, මේ නිසා වන විනාශය වැනි දේ සිදුවන්නේ අවම වශයෙනුයි.

* කැනඩාව සතු තෙල් සම්පත...
ගෝලීය තෙල් සම්පතෙන් 9.8% ක ප්‍රමාණයක් කැනඩාව සතු ය. 2019 වසරේදී නිෂ්පාදනය කළ බොරතෙල් ප්‍රමාණය දිනකට බැරල් 16,000කි. කැනඩාව ලෝකයේ තෙල් පරිභෝජනයෙන් 9වැනි ස්ථානය ගනි යි. වර්ෂ 2016 දත්තයන්ට අනුව කැනඩාව සාමාන්‍යයෙන් දිනකට තෙල් බැරල් 4,596,724.82 නිෂ්පාදනය කොට ඇත.  එය තෙල් නිෂ්පාදන රටවල් අතරින් කැනඩාව 5වැනි ස්ථානයට ගෙන එයි. ස්වකීය ඛණිජ තෙල් නිෂ්පාදනයෙන් 40%ක ප්‍රමාණයක් අපනයනය කරන කැනඩාව එයින් විශාල විදේශ විනිමයක් ජාතික ආර්ථිකයට උපයා ගනියි.

* ලොව තෙවනුවට ශීතාධික ම රට කැනඩාව...
කැනඩාව සැලකෙන්නේ ලොව තෙවනුවට ශීතාධික ම රට ලෙස යි. උතුරු අමෙරිකානු මහද්වීපයේ උතුරට වන්නට පිහිටා ඇති මෙහි වාර්තා වී ඇති පහළ ම උෂ්ණත්වය ලෙස සටහන් වන්නේ  සෙල්සියස් අංශක ඍණ 63 ක් හෙවත් ෆැරන්හයිට් අංශක ඍණ 81.4 ක අගයක්. එය යුකෝන් හි ස්නැග් පෙදෙසින් 1947 වසරේ දී වාර්තා වී තිබෙනවා. මෙම අගයට අමතර ව, කැනඩාවේ උතුරු දිග සමහර පෙදෙස්වලින් මේ තදාසන්න ම පහළ උෂ්ණත්ව වාර්තා වී තිබෙනවා.

ඇල්බර්ටාවේ බැසානෝ ඩෑම් පෙදෙසින් සෙල්සියස් අංශක ඍණ 61.1 ක් හෙවත් ෆැරන්හයිට් අංශක ඍණ 78 ක උෂ්ණත්වයක්, ෆෝත් ස්මිත් පෙදෙසෙන් සෙල්සියස් අංශක ඍණ 59.4 ක් හෙවත් ෆැරන්හයිට් අංශක ඍණ 74.9 ක් මෙන් ම ලිටන් හා ලිලූට් පෙදෙස්වලින් සෙල්සියස් අංශක ඍණ 58.9 ක් හෙවත් ෆැරන්හයිට් අංශක ඍණ 74 ක උෂ්ණතවයක් යනාදී වශයෙන් උෂ්ණත්ව වාර්තා වී තිබෙනවා.

* කැනඩාවට පැණි සපයන මේපල් ගස.....
උතුරු ඇමරිකා මහද්වීපය තුළ පිහිටා තිබෙන විශාලතම රාජ්‍යය වන්නේ කැනඩාව යි. මිලියන 38ක පමණ ජනගහනයක් වෙසෙන කැනඩාව තුළ සැලකිය යුතු වනාන්තර ප්‍රමාණයක් පිහිටා තිබෙනවා. එම වනාන්තරවල දක්නට ලැබෙන මේපල් ශාකය කැනඩාව තුළ ඉතාමත් ජනප්‍රිය යි. මේපල් ශාකය ලබාගෙන තිබෙන එම ජනප්‍රියත්වය නිසාම කැනඩා ජාතික කොඩිය මේපල් පත්‍රයකින් හැඩගන්වා ඇති අයුරු දක්නට ලැබෙනවා. 

මේපල් ගස පිළිබඳව කෙටියෙන්....
1996 වසරේ දී කැනඩාවේ ජාතික සංකේතය බවට පත්වුණු මේපල් ගස අලංකාර පත්‍රවලින් යුක්ත යි. ශීත ඍතුවේ දී  අධික ශීතලටත්, ගිම්හාන ඍතුවේ දී අධික උණුසුමටත් ඔරොත්තු දිය හැකි මෙම ශාකය අඩි 100 ඉක්මවා වර්ධනය වන ආකාරය දැකිය හැකියි. සාමාන්‍යයෙන් වසර 75-125 අතර ආයු කාලයක් තිබෙන මෙම ගස්වල රතු, කහ, සහ තැඹිලි වර්ණයන්ගෙන් යුත් මල් හටගන්නවා. එලෙස කැනඩාවේ වනාන්තරවලට අලංකාරයක් එක් කරන මේපල් ගස පැණි නිෂ්පාදනය කරනවා. එම නිසා කැනඩා වැසියන් මේපල් ශාකයෙන් පැණි ලබාගැනීමට පුරුදුව සිටිනවා.

මේපල් ගසේ යුෂ තිබෙන්නේ කොහේද...?
ලාංකිකයන් කිතුල්, පොල්, සහ තල් ශාකවලින් පැණි නිෂ්පාදනය කරනවා. එහි දී පැණි නිපදවීමට අවශ්‍ය වන තෙලිජ්ජ, මල් කැපීම මඟින් ලබාගන්නවා. නමුත් මේපල් ශාකයෙන් පැණි ලබාගැනීම සඳහා අවශ්‍ය යුෂය මල්වලින් ලබාගන්නට බැහැ. මේපල් සිරප් සෑදීම සඳහා අවශ්‍ය වන යුෂය ලබාගන්නේ මේපල් ගසේ කඳ සිදුරු කිරීම මඟින්. එහි දී මේපල් ගසේ කඳ සිදුරු කර යුෂය ලෙස ඉවතට ගන්නේ මුලේ සිට ශාකයේ අනිකුත් කොටස් කරා ජලය සමග පරිවහනය වන සීනි ද්‍රාවණය යි. 

යුෂ ලබාගත හැක්කේ කුමන තත්ත්වයේ මේපල් ගස්වලින් ද..?
සෑම මේපල් ගසකින්ම යුෂ ලබාගන්නට බැහැ. ඒ සඳහා ගස නියමිත වයසට පැමිණිය යුතු යි. සාමාන්‍යයෙන් මේපල් ගසක් යුෂ ලබාගන්නා තත්ත්වයට මේරීම සඳහා වසර 30ක් පමණ ගතවනවා. ගස නියම ප්‍රමාණයට මේරූ පසුව යුෂ ලබාගැනීමට කඳේ විෂ්කම්භය සෙ.මී 35ක් වත් විය යුතු යි. එලෙස යුෂ ලබාගැනීම සඳහා සුදුසු තත්ත්වයට පත්වුණු ගසකින් වාර්ෂිකව මේපල් යුෂ ලබාගැනීම සිදුකරනවා. පළමු විදීමෙන් පසුව ශාකයට වසර 100ක් පමණ ගතවන තුරු යුෂ ලබාගත හැකියි.

යුෂ ලබාගැනීමට සුදුසු කාලය....... 
මේපල් ශාකයෙන් ඉස්තරම් තත්ත්වයේ  යුෂ ලබාගැනීමට නම් ඒ සඳහා සුදුසු කාලය එළඹෙන තෙක් සිටිය යුතු යි. සාමාන්‍යයෙන් ඒ සඳහා වඩාත්ම සුදුසු වන්නේ ශීත සමය අවසන් වී වසන්ත සමය එළඹෙන කාලය යි.
එම කාල සීමාව තුළ රාත්‍රියට අයිස් මිදෙන උෂ්ණත්වයක් පවතින විට දහවල් කාලයට ඊට වඩා තරමක් වැඩි උණුසුමක් පවතිනවා. මාර්තු මාසයේ අග දී වඩාත් වැඩි සීනි සාන්ද්‍රණයක් සහිත මේපල් යුෂ ලබාගත හැකි බවට විශ්වාසයක් පවතිනවා. නමුත් එම කාල සීමාව දේශගුණික තත්ත්වයේ වෙනස්වීම් මත සුළු වශයෙන් විචලනය විය හැකියි.

යුෂ ලබාගැනීමට එම කාලය තෝරාගන්නේ ඇයි..?
ශීත කාලයේ දී ශාකවල පරිවහනය සිදුවන්නේ ඉතාමත් අඩුවෙන්. එම නිසා මේපල් ශාකයේ මුල් ආශ්‍රිතව වැඩි සීනි සාන්ද්‍රණයක් පවතිනවා. ශීත කාලය අවසන් වී වසන්ත සමය එළඹෙන විට ශාකයේ පරිවහන ක්‍රියාවලිය නැවතත් සක්‍රීය වනවා. එවිට උත්ස්වේදනය, මූල පීඩනය, සහ කඳේ පීඩනය මඟින් මුල්වල තිබෙන සීනි යුෂ සහ ඛනිජ පරිවහනය වීම සිදුවනවා. එම නිසා මේපල් යුෂ ලබාගැනීම සඳහා වඩාත්ම සුදුසු කාලය වන්නේ මාර්තු මාසයේ අග භාගය යි.

නිසි කලට යුෂ ලබානොගැනීම නිසා සිදුවන හානිය......
මේපල් ශාකය මඟින් ගුණාත්මක බවින් වැඩි පැණි නිපදවීමට නම් නියමිත කාලයට යුෂ ලබාගැනීම සිදුකළ යුතු යි. නියමිත කාලයට පෙර යුෂ ලබාගැනීම සඳහා ගස සිදුරු කළොත් ගස වියළීමකට ලක්විය හැකියි. එය ගසේ පැවැත්මට අහිතකර තත්ත්වයක්. එසේම නියමිත කාලයට පසුව මේපල් ගසෙන් ලබාගන්නා යුෂවල අඩංගු වන්නේ අඩු සීනි සාන්ද්‍රණයක්. එම තත්ත්වයේ යුෂවලින් නිපදවන මේපල් පැණිවල සීනි සාන්ද්‍රණය අඩු යි.  
මේපල් ශාකයෙන් යුෂ ලබාගන්නා ආකාරය 

මේපල් යුෂ ලබාගැනීමේ ක්‍රියාවලිය සඳහා උපකරණ කිහිපයක් අවශ්‍ය යි. එහි දී කඳ විදීම සඳහා ඩ්‍රිල් එකක් සහ මිටියක් අවශ්‍ය වන විට වෑහෙන යුෂ පිටතට ගැනීම සඳහා බටයක් හෝ විල්ලක් අවශ්‍ය වනවා. එසේම යුෂ එකතු කිරීම සඳහා පියනක් සහිත බාල්දියක් යොදාගන්නවා. එම කාර්යය සඳහා පියනක් සහිත බාල්දියක් භාවිතා කරන්නේ ගසෙන් වැටෙන රොඩු සහ කෝටු කෑලි යුෂ බාල්දියට වැටීමට ඉඩ තිබෙන නිසා යි. 

මේපල් කඳෙන් යුෂ ලබාගැනීම සඳහා කඳ සිදුරු කිරීමේ දී ඊට පෙර සිදුරු නොකළ ස්ථානයක් තෝරා ගන්නවා. ඉන්පසුව ශාකයේ මුලට ආසන්න ස්ථාන එකක් හෝ දෙකක් සිදුරු කර ඒ තුළට විල්ල සවි කරනවා. විල්ල සවිකිරීමෙන් පසුව ගසෙන් එන යුෂය බාල්දියට එකතු කරගැනෙනවා. එහි දී යුෂ පිරුණු බාල්දි ඉක්මනින්ම එම ස්ථානවලින් ඉවත් කරගන්නේ, එසේ නොවුණොත් යුෂවල තිබෙන ගුණාත්මකබව අඩුවිය හැකි නිසා යි.

මේපල් යුෂයෙන් පැණි හදන හැටි....
මේපල් යුෂය ජලය මෙන් පැහැදිලි ඝන නැති දියරයක්. ශාකයෙන් ලබාගත් යුෂවලින් පැණි ලබාගැනීම සඳහා ඒවා විශාල බඳුන්වලට දමා හැඳිගාමින් උණුකරන්නේ ජලය වාෂ්ප කිරීම සඳහා යි. එහි දී නියම පදම ලබාගැනීම සඳහා පැණි බඳුන සෙල්සියස් 104ක පමණ උෂ්ණත්වයකට රත්විය යුතු යි. එවිට බඳුන තුළ ඇති මේපල් පැණිවල සීනි සාන්ද්‍රණය ආසන්න වශයෙන් 67%ක් පමණ වනවා. 

සාමාන්‍යයෙන් මේපල් යුෂ උණු කිරීම සිදුකරන්නේ දෙපස හිටවූ කණු දෙකකට ඉහළින් යන හරස් කණුවක යෙදූ දම්වැල්වල එල්ලීම මඟින්. එහි දී මේපල් දර යොදා උණුකර විට පැණිවල රසය වැඩිවන බවට මතයක් පවතිනවා. එලෙස උණුකරන මේපල් පැණි ද්‍රාවණය නියම පදමට පැමිණි විට හොඳ සුවඳක් දැනෙනවා. එම නියම පදම ලබාගැනීම සඳහා නොකඩවා දින දෙකක්වත් රත්කළ යුතු යි. මේපල් යුෂයේ අඩංගු වන්නේ 2%කට ආසන්න සීනි ප්‍රමාණයක්. එම නිසා මේපල් පැණි ලීටරයක් සාදා ගැනීම සඳහා මේපල් යුෂ ලීටර් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වනවා. එලෙස නියම පදමට පැමිණි මේපල් ද්‍රාවණයේ පැණිය පිරිසිදු රෙදි භාවිතා කරමින් බඳුන්වලට පෙරා ගනියි. එසේ නැත්නම් මිශ්‍රණය එම බඳුනේම නිවෙන්නට හැර මණ්ඩි තැන්පත් වුණු පසුව උඩ තිබෙන පැණි වෙන්කර ගැනීම සිදු කරයි.

මේපල් පැණිවලින් ලබාගන්නා ප්‍රයෝජන.....
සමහර උදවිය මේපල් පැණිය තවදුරටත් රත්කර හකුරු හෝ ටොෆී සෑදීම සිදුකරනවා. නමුත් මේපල් යුෂය බහුලවම භාවිතා කරන්නේ පැණි නිෂ්පාදනය සඳහා යි. දැනට ලෝකයේ හොඳම මේපල් පැණි නිෂ්පාදකයා බවට පත්ව සිටින්නේ කැනඩාව යි. එසේම ගුණාත්මක බවින් වැඩි මේපල් පැණි නිෂ්පාදනය කරන්නේත් කැනඩාවේ ගම්මානවල යි. මේපල් පැණිවල සීනිවලට අමතරව කැල්සියම් සහ පොටෑසියම් වැනි ඛනිජ පෝෂක ද ස්වල්ප වශයෙන් අඩංගු වනවා. දින ගණනාවක් මහන්සි වී සාදාගන්නා මේපල් පැණිය වැඩිපුරම භාවිතා කරන්නේ ආහාර රසගැන්වීම සහ අතුරුපස සෑදීම සඳහා යි. එසේම සමහර උදවිය පෑන් කේක් සමග මේපල් පැණි ආහාරයට ගැනීමට ප්‍රියතාවයක් දක්වනවා. තව ද සමහර උදවිය සීනි වෙනුවට විකල්පයක් ලෙසින් ද මෙය භාවිතා කරනවා.

මේපල් පැණි හදන කාල සමය කැනේඩියානු වැසියන්ට ප්‍රීතිමත් කාලයක්. එම නිසා මාර්තු සහ අප්‍රේල් මාසවල දී එරට ගොවිපළවල් ආශ්‍රිතව උත්සව පැවැත්වෙනවා. එවැනි උත්සවවලට සහභාගි වන කැනඩා වැසියන් මේපල් පැණියෙන් රස ගැන්වූ විවිධ ආහාර අනුභව කරමින් විනෝද වනවා. එලෙස සති කිහිපයක් පැවැත්වෙන මේපල් උත්සව මැයි මාසය වන විට නිමාව දකින්නේ ඔවුන්ගේ ප්‍රීතිමත් කාල සමයක අවසානය උදාකර දෙමින්.

* නයගරාව සුන්දර කරන මල් ඔරලෝසුව...
කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය උතුරු ඇමරිකා මහද්වීපය තුළ පිහිටා තිබෙන විශාලතම රටවල් ද්විත්වය යි. එම රටවල් දෙක වෙන් වන දේශ සීමාවේ සුප්‍රකට නයගරා දිය ඇල්ල පිහිටා තිබෙනවා. ලොව දක්නට ලැබෙන සුන්දරම දිය ඇලි අතුරින් එකක් වන නයගරා ඇල්ල නැරඹීමට සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙනවා. එම සංචාරකයන් නයගරාවේ සුන්දරත්වය විඳගැනීමෙන් පසුව අනිවාර්යයෙන්ම නරඹන තවත් ස්ථානයක් තිබෙනවා. ඒ නයගරා උද්‍යානය තුළ පිහිටා තිබෙන අලංකාර මල් ඔරලෝසුව යි. 

දිය ඇලි තුනක් එකතු වී සෑදුණු නයගරා ඇල්ල....
ඊරි විලේ සිට ඔන්ටේරියෝ විල දක්වා ජලය රැගෙන යන නයගරා ගංඟාවෙන් හෝර්ස්ෂූ, බ්‍රයිඩ්ල් වේල්, සහ ඇමරිකන් යන දිය ඇලි ත්‍රිත්වය නිර්මාණය වී තිබෙනවා. එම දිය ඇලි එකතු වීමෙන් සෑදී ඇති නයගරා දිය ඇල්ල උසින් මීටර් 51ක් සහ පළලින් මීටර් 1204ක් වන විට එහි ජල ඝනත්වය තත්පරයට මීටර් 2400ක් පමණ වනවා. මීට වසර 18000කට පමණ පෙර පැවති අයිස් යුගයේ දී මෙම ප්‍රදේශය ඝනකම් අයිස් තට්ටුවකින් වැසී තිබුණා. එම අයිස් තට්ටුව දියවීම හේතුවෙන් පංච මහා විල් සහ නයගරා ගඟ නිර්මාණය වුණා. ඉන් අනතුරුව නිර්මාණය වුණු නයගරා දිය ඇල්ල වසර 12000ක් පමණ පැරණි යි. රටවල් දෙකක් වෙන් කරන නයගරා දිය ඇල්ලට ආසන්නයෙන් පිහිටා තිබෙන ප්‍රධාන නගර වන්නේ ඔන්ටේරියෝ සහ නිව්යෝක් යන නගර දෙක යි. 

මල් ඔරලෝසුව පිහිටා තිබෙන ස්ථානය....
නයගරා දිය ඇල්ලේ සිට ඔන්ටේරියෝ නගරය දෙසට කි. මී. 10ක් පමණ ගිය විට ඇඩම් බෙක් පළමු සහ දෙවන බලාගාර හමුවනවා. ඉන් ඇඩම් බෙක් පළමු බලාගාරය 1922 වසරේ දීත්, දෙවන බලාගාරය 1954 වසරේ දීත් ඉදිකර තිබෙනවා. ඊට අමතරව එම ප්‍රදේශය ආසන්නයේ ඔන්ටේරියෝ බලාගාරය පිහිටා තිබෙන ආකාරය දැකිය හැකියි. නව ඔන්ටේරියෝ බලාගාරය 1999 වසරේ දී ඉදිකර තිබුණත් ඊට පෙර එම ප්‍රදේශයේ පැරණි ඔන්ටේරියෝ බලාගාරයක් ක්‍රියාත්මක වුණා. 1906 වසරේ ආරම්භ කළ එම බලාගාරය 1999 වසරේ දී අක්‍රීය කරනු ලැබුවා. එම බලාගාර කිහිපය ආසන්නයේ ඉදිකර ඇති නයගරා උද්‍යානය තුළ සුප්‍රසිද්ධ නයගරා මල් ඔරලෝසුව නිර්මාණය කර තිබෙනවා.

මල් ඔරලෝසුවේ ඉතිහාසය.....
1940 දශකයේ අග භාගය වන විට ආචාර්ය රිචඩ් ලැන්කැස්ටර් හර්න් නම් ඉංජිනේරුවා පැරණි ඔන්ටේරියෝ බලාගාරයේ කළමනාකරු මෙන්ම ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙසින් කටයුතු කළා. පැරණි ඔන්ටේරියෝ බලාගාරය අසල පිහිටා තිබුණු සුන්දර නයගරා උද්‍යානය තුළ මල් ඔරලෝසුවක් ඉදිකිරීම පිළිබඳව මුලින්ම කල්පනා කළේ ලැන්කැස්ටර් ඉංජිනේරුවා යි. 1885 වසරේ දී ආරම්භ කළ නයගරා උද්‍යානය තුළ එවැනි මල් ඔරලෝසුවක් ඉදිකිරීමේ අදහස ඔහුට පහළ වුණේ එඩින්බරෝ මල් ඔරලෝසුව දැකීමෙන් පසුව යි. 1903 වසරේ දී ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර ඉදි කළ එය ලොව පැරණිම මල් ඔරලෝසුව බවට පත් වුණා. 

එඩින්බරෝ මල් ඔරලෝසුව අධ්‍යයනය කළ රිචඩ් ලැන්කැස්ටර් ඊට වඩා විශාල ඔරලෝසුවක් නයගරා උද්‍යානයේ ඉදිකරනු ලැබුවා. 1950 වසරේ දී වැඩ නිමා කළ එම මල් ඔරලෝසුව අයත් වුණේ පැරණි ඔන්ටේරියෝ බලාගාරයට යි. එම නිසා ඔරලෝසුවේ මුහුණතේ ඉලක්කම් 12 වෙනුවට ONTARIO HYDRO යන අකුරු 12 සටහන් කර තිබුණා. නමුත් 1977 වසරේ දී නයගරා උද්‍යානයට ඔරලෝසුවේ නඩත්තු කටයුතු භාරදීමත් සමගම එහි NIAGARA PARKS යනුවෙන් සටහන් කරනු ලැබුවා. එම නිසා වර්තමානය වන විට මල් ඔරලෝසු මුහුණතේ සටහන් කර තිබෙන්නේ NIAGARA PARKS යන අකුරු 12 යි.

ඔරලෝසුව පිළිබඳව තවදුරටත්.....
එඩින්බරෝ මල් ඔරලෝසුවේ විෂ්කම්භය අඩි 10ක් වන විට මෙම මල් ඔරලෝසුවේ විෂ්කම්භය අඩි 40ක් පමණ වනවා. නයගරා මල් ඔරලෝසුවේ අඩි 38ක් පමණ පළලින් යුත් භූමි ප්‍රදේශයක් පුරා විවිධ මල් වර්ග දක්නට ලැබෙනවා. එසේම ඔරලෝසුව වටා තිබෙන ජල උද්‍යානය එහි අලංකාරය තවත් වැඩිකර තිබෙනවා. නයගරා මල් ඔරලෝසු මුහුණත තුළ සුදුසු ආකාරයට මල් වර්ග වැවීම කරනු ලබන්නේ නයගරා උද්‍යානයේ සිටින උද්භිද විද්‍යාඥයන්ගේ අධීක්ෂණය යටතේ යි. සාමාන්‍යයෙන් මෙම ඔරලෝසුවට යොදාගන්නා මල් පැළවල ස්වරූපය වසරකට දෙවරක් වෙනස් කරයි. ඒ අනුව සිසිර සමයේ අළු පාටින් පැහැයෙන් දිස්වන මල් ඔරලෝසුව වසන්තයේ දී හරිත පැහැයෙන් දිස්වන්නේ වියෝලා මල් නිසා යි. දළ වශයෙන් මල් පැළ 24000 කින් පමණ සමන්විත මෙම ඔරලෝසුව වඩාත් අලංකාර වන්නේ එහි සිටුවා ඇති සියළුම පැළවල මල් හටගැනීමෙන් පසුව යි.  

භාවිතා කර තිබෙන තාක්ෂණය...
මෙම ඔරලෝසු මුහුණත තුළ දක්නට ලැබෙන පැය කටුව අඩි 14.5ක දිගකින් යුක්ත වන විට මිනිත්තු කටුව අඩි 17.5ක දිගකට සාදා තිබෙනවා. ඊට අමතරව මෙහි මුහුණතේ දක්නට ලැබෙන තත්පර කටුව අඩි 21ක පමණ දිගකට නිර්මාණය කර තිබෙන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. එසේම මෙම ඔරලෝසුවේ කටු තුනෙහි බර රාත්තල් 1250ක් පමණ වනවා. ශබ්දවාහීනී යන්ත්‍රයක් මඟින් සෑම විනාඩි 15කට වරක්ම මෙහි ඔරලෝසු නාදය විසුරුවා හරිනවා. එම කාර්යය සඳහා අශ්වබල 5කින් යුත් යන්ත්‍රයක් භාවිතා කරනවා. මෙහි ඔරලෝසු යාන්ත්‍රණය තෙල්වල ධාවනය වන අතර එය 2 hp-three-phase squirrel cage මෝටරයක් මඟින් මෙහෙයවනු ලබනවා. නමුත් දැන් එය 1500 RPM synchronous මෝටරයකින් ක්‍රියා කළ හැකි ආකාරයට සකස් කර තිබෙනවා. නයගරා මල් ඔරලෝසුව නිර්මාණය කළ අවධියේ එහි සියළුම තාක්ෂණික කටයුතු සිදුකරනු ලැබුවේ පැරණි ඔන්ටේරියෝ බලාගාරයේ කාර්යය මණ්ඩලය යි. 

දැනට වසර 43ක සිට නයගරා මල් ඔරලෝසුව නඩත්තු කරන්නේ නයගරා උද්‍යානයේ කාර්යය මණ්ඩලය යි. මෙම මල් ඔරලෝසුවේ මුල් අයිතිකරුවන් වුණු පැරණි ඔන්ටේරියෝ බලාගාරය අද එහි දක්නට නැහැ. එසේම මෙය නිර්මාණය කළ ඉංජිනේරුවරයා වුණු  රිචඩ් ලැන්කැස්ටර් ද අද ජීවතුන් අතර නැහැ. නයගරා මල් ඔරලෝසුව සෑදීමට දායක වුණු සියළුදෙනාම අද ජීවතුන් අතර නොසිටියත් ඔවුන් කළ විශිෂ්ට නිර්මාණය තව දිගු කලක් යන තුරු නොනැසී පවතිනු ඇති...

.................අන්තර්ජාලය ඇසුරෙනි................. දැනුම සොයන්න මේ පාරෙන් එන්න

සුන්දර කැනඩාව ගැන ඔබ නොදන්නා තොරතුරු (Canda) - Your Choice Way

සුන්දර කැනඩාව ගැන ඔබ නොදන්නා තොරතුරු (Canda) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සුන්දර කැනඩාව ගැන ඔබ නොදන්නා තොරතුරු (Canda) සුන්දර කැනඩාව ගැන ඔබ නොදන්නා තොරතුරු (Canda) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 27, 2022 Rating: 5

0 comments:

Post a Comment