මුහම්මද් අලිගේ වේදනාකාරී පරාජයට මයික් ටයිසන් පළිගත් අයුරු (Mike Tyson's Revenge For Muhammad Ali's Painful Defeat)

මුහම්මද් අලිගේ වේදනාකාරී පරාජයට මයික් ටයිසන් පළිගත් අයුරු (Mike Tyson's Revenge For Muhammad Ali's Painful Defeat) - Your Choice Way

"මම ඔබ වෙනුවෙන් ඔහුව පරාජය කරන්නෙමි!" - මයික් ටයිසන්

හෙවිවේට් බොක්සිං ඉතිහාසය තුළ සදහටම රන් අකුරින් සටහන් වූ නාමයන් ද්විත්වයක් ලෙස මොහොමඩ් අලි සහ මයික් ටයිසන්ගේ නම් අපට හඳුන්වා දිය හැක. එහෙත් මේ බොක්සිං පුරාවෘතයන් ද්විත්වය එකිනෙකා සමග සම්බන්ධ වන්නේ ඔවුන් ලබා ගත් ජයග්‍රහණ පමණක්ම නිසා නොවේ. ඊටත් එහා ගිය දෛවෝපාගත සිදු වීමක් මේ දෙදෙනා අතර සිදු විය.

මොහොමඩ් අලි යනු ටයිසන්ගේ බොක්සින් දිවියට විශාල පූර්වාදර්ශයක් වූ බව නොරහසකි.  සම්මුඛ සාකච්ඡාවන් කිහිපයකදීම අලි තම වෘත්තිය ජීවිතය සාර්ථක කර ගැනීමට උපකාර කළ ආකාරය පිලිබද මයික් සදහන් කර ඇත.  මොවුන් දෙදෙනා සදාකාලික මිතුරන් වූ අතර අලිගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ අතළොස්සෙන් මයික් ටයිසන් ද එක් අයෙකු විය. කෙසේ වෙතත් මේ සියල්ල ආරම්භ වූයේ එවකට 14 හැවිරිදි මයික් ටයිසන් ලැරී හෝම්ස් සටනකදී පහරදී පරාජය කොට ඔහුගෙන් පලිගන්නා බවට මුහම්මද් අලිට පොරොන්දු වීමත් සමගය.

1978 සැප්තැම්බර් මාසයේදී නිව් ඕර්ලියන්ස් හි සුපර්ඩෝම් හිදී ලියොන් ස්පින්ක්ස් සමඟ පැවති තරඟය ජයග්‍රහණය කිරීමත් සමග මොහොමඩ් අලි තුන් වතාවක් ශූරතාව දිනාගත් ලොව පළමු හෙවිවේට් බොක්සිං ක්‍රීඩකයා බවට පත් වීමට සමත් විය. එහෙත් 1979 ජූනි මාසයේදී මේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයා තමන් බොක්සිං ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බවට නිවේදනය කළේය. ඒ වන විට ඔහු  56-3 ක් ලෙස සිය වෘත්තීය වාර්තාව තබා ගෙන සිටි අතර ලෝක හෙවිවේට් ශූරතා කිහිපයක්ද දිනා ගැනීමට සමත් විය. එමෙන්ම මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම බොක්සිං ක්‍රීඩකයා ලෙසද බොහෝ දෙනා ඔහුව අවිවාදයෙන් සලකනු ලැබීය.

කෙසේ වෙතත් ඔහුගේ මෙම "විශ්‍රාම ගැනීම" ඉතා කෙටි කලකට පමණක් සීමා වූයේ අලි යළිත් 1980 ඔක්තෝම්බර් 2 වන දින අපරාජිත ඩබ්ලිව්.බී.සී. ශූර ලැරී හෝම්ස්ට එරෙහිව තරඟයකට සහභාගී වූ බැවිනි. එහෙත් බොහෝ දෙනා සදහන් කළේ මෙය එතරම් හොඳ අදහසක් නොවන බවයි.

ඒ වන විට 38 වැනි වියේ පසුවූ අලිගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා දුර්වල වීමට පටන් ගෙන තිබූ අතර විශ්‍රාම ගැනීම නිවේදනය කර වසරක් තුළදී ඔහු නැවත කරලියට පැමිණීමට මුදල් හේතු වූ බවටද බොහෝ දුරට කටකථා පැතිර යන ලදී. මේ හේතුව නිසා නෙවාඩා ප්‍රාන්ත මලල ක්‍රීඩා කොමිෂන් සභාව මඟින් ලබා දෙන බලපත්‍රය ලබා ගැනීමට පෙර ඔහුට මායෝහි වෛද්‍ය සායනයේදී  වෛද්‍ය පරීක්ෂනයට පවා මුහුණ දීමට සිදු විය. පසුව ඒ පිළිබඳ විස්තර ප්‍රසිද්ධියට පත් වූ අතර එහිදී අලිට පාකින්සන් රෝගයේ පූර්ව ලක්ෂණ තිබී ඇති බව හෙළිවූ බවට සදහන් විය.

ලාස් වේගාස් හිදී හෝම්ස් සමඟ තරඟයට සහභාගී වන විට අලි වසර දෙකකටත් වඩා වැඩි කාලයක් කිසිදු තරඟයක් ක්‍රීඩා කර තිබුණේ නැත. සැබැවින්ම හෝම්ස් යනු අලීගේ දිගුකාලීන මිතුරෙකු මෙන්ම සහායකයෙකුද වූ නමුත් මේ කාලය වෙද්දී ඔහු විශිෂ්ඨ සටන්කරුවෙකු බවට පත්ව සිටින ලදී.

තරඟය වට 15 ක් සඳහා සැලසුම් කර තිබූ අතර එහෙත් වට 10කින් තරඟය අවසාන වූයේ අලිට දැඩි වේදනාකාරී පරාජයක් හිමි කර දෙමිනි. මුල සිටම තරගෙයේ ආධිපත්‍යය දැරීමට හෝම්ස් සමත් වූ අතර අලිට කිසිවිටෙකත් නිසියාකාරයෙන් පහරක් එල්ල කර ගැනීමට හැකි වූයේ නැත. අලීගේ වෘත්තිය බොක්සින් දිවිය තුළ තරඟයක් අතරමග නවතා ඔහු පරාජයට පත් වූ එකම අවස්ථාවද මෙය විය. 

එමෙන්ම මෙම තරඟය අතරතුරදී අලි ඉතා දරුණු ලෙස ප්‍රහාරයට ලක් වූ අතර ඔහුගේ පාකින්සන් රෝගය වඩාත් නරක අතට හැරීමටද මෙය දායක වූ බව කියවේ. මෙම වේදනාකාරී පරාජයෙන් පසු අලි සටන් කළේ තවත් එක් වරක් පමණි. ඒ 1981 දී ට්‍රෙවර් බර්බික්ට එරෙහිව වූ අතර එහිදීද ඔහු පරාජයට පත් විය.

මොහොමඩ් අලි ලැරී හෝම්ස්ට එරෙහිව සටන් කිරීමට සූදානම් වෙමින් සිටියදී, මයික් ටයිසන් නම් 14 හැවිරිදි පිරිමි ළමයෙක් ජනප්‍රිය පුහුණුකරුවකු වූ කුස් ඩී අමාටෝ යටතේ පුහුණු වීම් වල නිරතව සිටින ලදී. සැබැවින්ම මෙම කොළු ගැටයාට අවශ්‍ය වූයේ තමාගේම කියා නමක් ගොඩ නගා ගැනීමටය. මොහොම්මඩ් අලි යනු මේ පිරිමි ළමයාගේ පූර්වාදර්ශී චරිතය වූ අතර එම නිසා මොහොමඩ් අලි සහ ලැරී හෝම්ස්ගේ සටන ටයිසන් අනිවාර්යයෙන් නරඹන ලදී. එහෙත් තම වීරයා වේදනාකාරී ලෙස පරාජයට පත් වන අයුරු 14 හැවිරිදි මයික් ටයිසන් නොසන්සුන් කිරීමට සමත් විය. 

මෙම පරාජය නිසා ටයිසන් ඉතා දුක් වූ බව සදහන් වේ. කෙසේ හෝ ඔහුට ඊළග දිනයේදී තම පුහුණුකරු වූ කුස් ඩී අමාටෝගේ මාර්ගයෙන් අලි සමඟ දුරකථනයෙන් කතා කිරීමට අවස්ථාවක් හිමි විය. එහිදී ඔහු පැවසුවේ මෙම පරාජයට තමා කෙදිනක හෝ හෝම්ස්ගෙන් පළි ගන්නා බවය.

එම සිදුවීම පිළිබඳ ඔහුගේ පුහුණුකරු වූ කුස් ඩී අමාටෝ විස්තර කලේ මෙලෙසය.

"ඔහු අලිට පහර දුන් ආකාරය ගැන මම කෝපයට පත් වුණා. අපි තරගය නරඹා පුහුණු වීමේ මධ්‍යස්ථානයේ සිට යළි නිවස බලා යන විට, කාරයේ සිටි කිසිවෙකු වචනයක් හෝ කතා කළේ නැත, අපි සියල්ලෝම සිටියේ ඉතා කලබල වී අතර පසුදා උදෑසන මම මොහොමඩ් අලි සමඟ දුරකථනයෙන් කතා කළේය. එහිදී මම ඔහුට පැවසුවා ‘මා සමඟ සිටින යම් දිනෙක අනිවාර්යයෙන්ම ලෝක හෙවි වේට් ශූරයා බවට පත් වන මේ කළු ජාතික කුඩා දරුවාට (මයික් ටයිසන්) ඔබට කතා කිරීමට අවශ්‍යයි.' කියා".

ඒ අයුරින් ටයිසන් දුරකථනයෙන් කතා කර අලිට පොරොන්දුවක් විය. "කවදා හෝ මම හෝම්ස් සමග සටන් කොට ඔහුව ඔබ වෙනුවෙන් පරාජය කරනවා."

මයික් ටයිසන් මෙය පැවසුවේ ඔහුගේ වයස අවුරුදු 14 දී ය. සමහරවිට එම පොරොන්දුව ඉටු කිරීමට ඔහුට හැකි වන බව ඔහු නොදැන සිටියා වන්නටද පුළුවන්. එසේත් නැති නම් ඔහු ඇත්ත වශයෙන්ම කළා විය හැකිය. ඒ කෙසේ වෙතත් අවුරුදු හතකට පසු මොහොමඩ් අලි ඉදිරියේ එම පොරොන්දුව ඉටු කිරීමට මේ කොළු ගැටයා සමත් විය.

ලැරී හෝම්ස්ගෙන් පළිගන්නා බවට පොරොන්දු වී වසර හතකට පමණ පසු මයික් ටයිසන්ට මුහම්මද් අලිට දුන් පොරොන්දුව ඉටු කිරීමට අවස්ථාවක් ලැබුණි. ඔහුගේ පුහුණුකරු වූ කුස් ඩී අමාටෝගේ දැක්ම යථාර්ථයක් කරමින් මෙම කාලය තුළදී ටයිසන් ලෝක හෙවිවේට් ශූරයා බවට පත් වීමට සමත් විය. ඒ අනුව ඔහු වයස අවුරුදු 20 දී සිය පළමු ශූරතාව දිනාගත් අතර අපරාජිත හෙවි වේට් ශූරයා බවටද පත් විය.

මෙම කාලය වෙද්දී ලැරී හෝම්ස්ද වයස අවුරුදු 38දී විශ්‍රාම ගොස් සිටි අතර එහෙත් ලැබෙන විශාල මුදල නිසා මෙම තරඟයට සහභාගී වීමට කැමැත්ත පළ කරන ලදී. ඒ අනුව ඇට්ලැන්ටික් නගරයේ ට්‍රම්ප් ප්ලාසාහිදී මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබුනි. ඒ වන විට හෝම්ස් 1986 අප්‍රේල් මාසයේදී මයිකල් ස්පින්ක්ස්ට පරාජය වීමෙන් පසු වසර දෙකකට ආසන්න කාලයක් තරඟයකට සහභාගී වී සිටියේද නැත.

එමෙන්ම මෙම තරඟය නැරඹීම සඳහා මුහම්මද් අලීද පැමිණ සිටි අතර ඔහුද තරුණ ශූරයාට අමතර දිරිගැන්වීමක් ලබා දුන්නේය.

"ඔබ මට පැවසූ දේ මතක තබා ගන්න - ඔහුව මා වෙනුවෙන් විනාශ කරන්න". අලි එහිදී ටයිසන්ට පවසා ඇත.

ටයිසන් ඔහුගේ පොරොන්දුව ඉතා හොඳින් ඉටු කිරීමට සමත් විය. හෝම්ස්ට ටයිසන්ගේ වේගය සහ ශක්තිමත් පහරවල් සමග හැරීමටවත් නොහැකි විය. ඒ අනුව සිව් වන වටයේදී හෝම්ස්ව බිම දැමීමට ටයිසන් සමත් විය. හෝම්ස් වහාම නැගිට ගත් නමුත් වැඩි කල් නොගොස් එල්ල වූ තවත් පහරක් යළි ඔහු බිම දැමීමට සමත් විය. අවසානයේ ටයිසන්ගෙන් එල්ල වූ පහරවල් රාශිය නිසා තරඟය නතර කර දැමූ අතර ඒ අනුව ටයිසන්ට සිය වෘත්තිය බොක්සින් දිවියේ 33 වන ජයග්‍රහණය හිමි විය.

ඉන් අනතුරුව මයික් ටයිසන් හෙවිවේට් අංශයේ දිගටම සිය ආධිපත්‍යය දැරීමට සමත් වූ අතර ඔහු එම වසර අවසානයේදී අපරාජිත මයිකල් ස්පින්ක්ස් පරාජය කිරීමටද සමත් විය. එමෙන්ම අලිගේ පරාජයට පළිගැනීමට හැකිවීම ඔහුගේ වෘත්තීය ජීවිතයේ කැපී පෙනෙන සිදුවීමක් බව ටයිසන් පසුව ප්‍රකාශ කර සිටියේය.

විශ්මිත ඉතිහාසය
මුහම්මද් අලිගේ වේදනාකාරී පරාජයට මයික් ටයිසන් පළිගත් අයුරු (Mike Tyson's Revenge For Muhammad Ali's Painful Defeat) - Your Choice Way
හෝම්ස් සහ ටයිසන්ගේ තරඟය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මුහම්මද් අලිගේ වේදනාකාරී පරාජයට මයික් ටයිසන් පළිගත් අයුරු (Mike Tyson's Revenge For Muhammad Ali's Painful Defeat) මුහම්මද් අලිගේ වේදනාකාරී පරාජයට මයික් ටයිසන් පළිගත් අයුරු (Mike Tyson's Revenge For Muhammad Ali's Painful Defeat) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 06, 2022 Rating: 5

0 comments:

Post a Comment