නාසි සමූල ඝාතනයේ සංවිධායකයෙකු මෙන්ම නාසි යුද අපරාධකරුවෙකුද වූ ඇඩොල්ෆ් අයිච්මන් දඩයම (Adolf Eichmann)

නාසි සමූල ඝාතනයේ සංවිධායකයෙකු මෙන්ම නාසි යුද අපරාධකරුවෙකුද වූ ඇඩොල්ෆ් අයිච්මන් දඩයම (Adolf Eichmann) - Your Choice Way

ඇඩොල්ෆ් අයිච්මන් යනු කෲර මෙන්ම නිර්දය නාසි නිලධාරියෙකි. හිට්ලර්ගේ “අවසාන විසඳුම” ක්‍රියාත්මක කිරීමේදී ඉදිරියෙන්ම සිටි පුද්ගලයෙකු ලෙස ඔහුව හදුන්වාදිය හැක. එමෙන්ම දෙවන ලෝක යුද්ධ සමයේදී සිදු වූ යුදෙව්වන් සමූලඝාතනයන් සඳහා ඔහු සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන ලදී. එහෙත් යුද්ධය අවසන් වූ විගස මේ එස්.එස්. නාසි නිලධාරියා සිය සියලු අපරාධ වලින් මිදී පැන යාමට සමත් විය.

ඔහු නීතියේ රැහැනින් බේරීම සදහා තම අනන්‍යතාවය වෙනස් කර ගනිමින් යුරෝපය පුරා රටවල් කිහිපයක සැගවෙමින් සිටින ලදී. එහෙත් අවසානයේදී ඊශ්රායල බුද්ධි අංශ විසින් මේ දරුණු ඝාතකයාව ආජන්ටිනාවේදී කොටු කර ගැනීමට සමත් විය. නමුත් ඒ යුද්ධය අවසන් වී වසර 15කට පමණ පසු එනම් 1960දී ය. එතරම් දීර්ඝ කාලයක් මුළු ලෝකයෙන්ම වසන් වී දිවි ගෙවීමට මේ නාසි නායකයා සමත් විය.

1945 දී දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමග නැවත දැනුම් දෙන තුරු බ්‍රිතාන්‍ය හමුදාව විසින් සියලුම නාසි යුද අපරාධකරුවන් රැඳවුම් කඳවුරුවලට යවනු ලැබීය. අයිච්මන් යනු නාසි ජ්‍යෙෂ්ඨ ශ්‍රේණියේ නිලධාරියෙකි. එහෙත් ජර්මනියෙන් පිටත කිසිවෙකු ඔහුව දැක නොතිබූ නිසා මෙය තම වාසියට හරවා ගත් ඔහු පහළ මට්ටමේ ජර්මානු සොල්දාදුවෙකු ලෙස වෙස්වලා ගන්නා ලදී. ඉන්පසු ඔහු තමා හදුන්වා දුන්නේ “ඔටෝ එක්මන්” ලෙසය. 

සුප්‍රසිද්ධ නියුරම්බර්ග් නඩු විභාගය නොවැම්බර් අවසානයේ ආරම්භ විය. එමගින් බොහෝ නාසි යුද අපරාධකරුවන් සදහා ඔවුන්ගේ සාහසික ක්‍රියාවන් වලට නිසි දඩුවම් ලබා දෙන ලදී. එහෙත් අයිච්මන් ඒ සියල්ලෙන්ම බේරීමට සමත් වූ අතර එපමණක් නොව ඔටෝ එක්මන් යන තම නව අනන්‍යතාව භාවිතා කර ගනිමින් පැන යාමටද සමත් විය.

අයිච්මන් රැඳවුම් කඳවුරෙන් සාර්ථකව පැන යාමට සමත් විය. ඉන්පසු ඔහු උතුරු ජර්මනියට පලා ගියේ ඔහුගේ හිතවතුන්ගේ උපකාරයෙනි. ඉන්පසු "ඔටෝ හෙනිංගර්" ලෙස යළි තම අනන්‍යතාව වෙනස් කර ගත් ඔහු බ්‍රිතාන්‍යයන් යටතේ පැවති උතුරු ජර්මනියට ඇතුළු වන ලදී. ඉන්පසු අයිච්මන් වසර කිහිපයක් උතුරු ජර්මනියේ ජීවත් විය.

ඔහු ඉතා දක්ෂ ලෙස ව්‍යාජ ලිපි ලේඛන සකස් කරමින් සිය අනන්‍යතාවය වෙනස් කර ගත් නිසා ඔහුව අල්ලා ගැනීම ඉතා අපහසු කටයුත්තක් විය. ඔහුගේ මේ ක්‍රියාවන් නිසා අවසානයේදී අයිච්මන් සෞදි අරාබියට පලා ගිය බව බලධාරීන් විශ්වාස කිරීමට පටන් ගන්නා ලදී. 

මාස කිහිපයකට පසු ප්‍රාග්හි පුද්ගලයෙකු කියා සිටියේ අයිච්මන් වෙඩි තබා ඝාතනය වන අයුරු තමා සියැසින් දුටු බවයි. මේ නිසා විනිසුරුවරයා අයිච්මාන් මිය ගිය පුද්ගලයෙකු ලෙස සලකා ලිපි ලේඛන වලටද අත්සන් කිරීමට ගිය අතර එහෙත් පසුව හෙළි වූයේ මියගිය පුද්ගලයා ඇඩොල්ෆ් අයිච්මන් නොව ඔහුගේ මස්සිනා වන කාල් ලීබෙල් බවය.

පසුව සයිමන් විසෙන්තාල් නම් සමූල ඝාතනයන්ගෙන් දිවි ගලවා ගත් ඔස්ට්රියානු ජාතිකයකු අයිච්මාන්ගේ යුද අපරාධවලට එරෙහිව සාක්ෂි රැස් කිරීමට හා උසාවියේදී සාක්ෂි ලබා දීමට ඉදිරිපත් විය. ඔහු හංගේරියානු රජය සමඟ අයිච්මාන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළේය. හංගේරියානු රජයේ සහය ඇතිව විසෙන්තාල් එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේ අයිච්මන් ජර්මනියෙන් ආපසු ලබාගෙන හංගේරියාවට භාර දෙන ලෙසයි. 

එහෙත් 1951 දී ඇමරිකානු අධිකරණය ඔහුගේ ඉල්ලීම වසර 4 දක්වා කල් දැමූ අතර අවසානයේ අයිච්මන්ගේ යුද අපරාධ සම්බන්ධයෙන් නිසි විස්තර ලබා නොදුන් හෙයින් අයිච්මන්ගේ නඩුව විභාග කිරීම ප්රතික්ෂේප කළේය. පසුව 1989 දී සයිමන් විසෙන්තාල් කියා සිටියේ තමා 1954 දී අයිච්මන් පිළිබඳ තොරතුරු ඊශ්රායල රජයට පැවසූ බවයි. කෙසේ වෙතත් මොසාඩ් (ඊශ්රායලයේ ජාතික බුද්ධි ඒජන්සිය) කියා සිටියේ වීසෙන්තාල්ගේ මේ ප්‍රකාශ මගින් ඔවුන්ගේ පරීක්ෂණ ආර්ජන්ටිනාවට නොව මැද පෙරදිගට යොමු වූ බවයි.

අයිච්මාන් ඔහුව අල්ලා ගැනීමට කෙතරම් උත්සාහ කළද කෙසේ හෝ ඉන් බේරී තවමත් නිදැල්ලේ සිටීමට සමත් විය. ඔහු පශ්චාත් යුධ සමයේදී යුරෝපයේ රටවල් පුරා සංචාරය කළ අතර ඊට ඔහුට ප්‍රබල මිතුරන්ගෙන් සහාය ලැබුණි.

1950 දී අයිච්මන් ඉතාලියේ ජෙනෝවා සිට ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් වෙත පලා ගියේය. එහිදී රතු කුරුසය, වතිකානු බලධාරීන් සහ හෝර්ස්ට් කාලෝස් ෆුල්ඩ්නර් (එස්එස් නිලධාරියෙකුව සිට පසුව මිනිස් ජාවාරම්කරුවෙකු බවට පත් වූ පුද්ගලයෙක්) ඔහුට හසු නොවී ආර්ජන්ටිනාවට ආරක්ෂිතව පියාසර කිරීමට උපකාර කරන ලදී. එමෙන්ම එවකට ආර්ජන්ටිනාවේ ජනාධිපතිව සිටි ජුවාන් පෙරොන් විසින් අයිච්මන්ව තම රටට සාදරයෙන් පිළි ගන්නා ලදී. ආජන්ටිනා රජය පිටුවහල් කරනු ලැබූ ජනතාව කෙරෙහි ඉතා අනුකම්පා කළ අතර ආජන්ටිනාවේදී අයිච්මාන් ගොවියෙකු, රෙදි සෝදන සේවකයෙකු හා කාර්මිකයෙකු ලෙස රැකියාවේ නිරතව සිටින ලදී.

අයිච්මන් ආර්ජන්ටිනාවේදී  'රිකාඩෝ ක්ලෙමන්ට්' නමින් නව අනන්‍යතාවයක් යටතේ නව ජීවිතයක් ආරම්භ කරන ලදී.1952 දී අයිච්මාන්ගේ බිරිඳ වූ වේරාට සහ ඔහුගේ පුතුන් තිදෙනාට ආර්ජන්ටිනාවට පැමිණීමට සංචාරක වීසා ලැබෙන ලදී. 

මේ ආකාරයෙන් ඔවුන්ගේ පවුල යළි එකට එක් වූ අතර ඔවුන්ට 1955 දී තවත් පුතෙකු ලැබෙන ලදී. අයිච්මන් කිසි විටෙකත් ඔහුගේ සැබෑ අනන්‍යතාවය හෙළි කිරීමට ලැජ්ජා නොවීය. තමා පිළිබඳ විමසන ඕනෑම කෙනෙකුට ඔහු තමා කවුරුන්දැයි විවෘතව ප්‍රකාශ කරන ලදී. එම කාලයේදී ආර්ජන්ටිනාව යුද්ධයෙන් පලාගිය විශාල පිරිසකට රැකවරණය සැලසු නිසා අයිච්මාන්ට එම පිරිස සමඟ මිශ්‍ර වී ආරක්ෂිතව එහි විසීමට හැකි විය.

අයිච්මන් ජීවත් වන්නේ බුවනෝස් අයර්ස් වල බව බටහිර ජර්මානු රජයට වාර්තා විය. එහෙත් ඔවුන් කිසිවිටෙකත් අයිච්මන් අල්ලා ගැනීමට කටයුතු නොකළ අතර මෙම හේතුව නිසා ඔවුන්ගේ අධිකරණ පද්ධතිය කෙරෙහිද විශාල ප්‍රශ්නාර්ථයක් මතු වේ.

නමුත් 1958 දී බටහිර ජර්මානු නිලධාරීන් අයිච්මන් ආජන්ටිනාවේ ජීවත් වන බව එක්සත් ජනපද රජයට දැනුම් දෙන ලදී. එසේ වුවද සෝවියට් සංගමය සමඟ පැවති සීතල යුද්ධයේදී ආර්ජන්ටිනාව තම හවුල්කරුවෙකු ලෙස සිටීමට අවශ්‍ය වූ නිසා ඇමරිකානු නිලධාරීන් මේ පිළිබඳ ක්‍රියාමාර්ගයක් ගැනීමට බිය වූහ.

ඩචාවු වධ කඳවුරේ සිරකරුවෙකුව සිට නාසි සමූල ඝාතනයන්ගෙන් දිවි ගලවා ගැනීමට සමත් වූ ලොතර් හර්මන් නම් වූ යුදෙව් ජාතිකයාද යුද්ධය අවසන් වූ වහාම ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි ඔලිවෝස් ප්‍රදේශයට පලා විත් එහි පදිංචි වී සිටින ලදී.

1950 දශකයේ අග භාගයේදී හර්මන්ගේ දියණිය වූ සිල්වියා ඔවුන්ගේ නිවසට ඉතා ළඟින් ජීවත් වූ ක්ලවුස් අයිච්මන් නම් පුද්ගලයෙකු සමඟ පෙම් සබඳතාවක් ආරම්භ කලාය. මෙම ක්ලවුස් නම් පුද්ගලයා යුදෙව් ජනතාව කෙරෙහි දැඩි වෛරයක් පෙන්වූ යුදෙව් විරෝධී අදහස් දැරූ පුද්ගලයෙක් විය. දෙවන ලෝක යුද්ධයේදී නාසි සොල්දාදුවෙකු ලෙස තම පියා සිදු කළ සේවය පිළිබඳ ඔහු නිතර ඇය සමග පුරසාරම් දොඩන ලදී.

1957 දී නාසි නිලධාරියෙකුට එරෙහිව පැවැත්වූ සුප්‍රසිද්ධ නඩු විභාගයක් ලොව පුරා පුවත්පත් මගින් ප්‍රචලිත විය. මෙම නඩු විභාගය අතරතුර අයිච්මාන්ගේ නමද කිහිප වරක් සදහන් වූ අතර පුවත්පත් වලද ඔහුගේ නම කිහිප පලක පළ විය. මේ පුවත් දුටු හර්මන් තම දියණිය සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූ පිරිමි ළමයා පිළිබදව සහ ඔහුගේ පියා පිළිබඳව සැක කිරීමට පටන් ගන්නා ලදී.

මේ නිසා ඔහු වහාම ෆ්‍රෑන්ක්ෆර්ට් නඩු විභාග අධීක්‍ෂණය කළ විනිසුරු ෆ්‍රිට්ස් බවර්ට ලිපියක් ලිවීය. බර්නෝස් අයර්ස් හි ඔලිවෝස් හි තම අසල්වැසියා වන අයිච්මන් පිළිබඳ තමා සැක කරන බවට ඔහු එම ලිපියේ සදහන් කරන ලදී. එහෙත් අයිච්මන් අල්ලා ගැනීම සඳහා ඔහු පිළිබඳ නිශ්චිත තොරතුරු අවශ්‍ය බව විනිසුරුවරයා ඔහුට පැවසීය.

ඒ අනුව හර්මන් විසින් අයිච්මන් පිළිබඳ තව තොරතුරු ජර්මානු විනිසුරු ෆ්‍රිට්ස් බවර් හට ලබා දෙන ලදී. ඒ අනුව අයිච්මන් වෙනත් නමකින් ආජන්ටිනාවේ වාසය කරන බව ට විනිසුරු බවර් තහවුරු කර ගන්නා ලදී. එහෙත් බවර් මේ පිළිබඳ තොරතුරු ආර්ජන්ටිනා රජයට දැනුම් දුන්නේ නැත. ඒ වෙනුවට ඔහු කළේ වැඩිදුර විමර්ශනයන් සඳහා ඊශ්රායල් බුද්ධි අංශය වූ මොසාඩ් වෙත එම තොරතුරු ලබා දීමයි. 

ඒ අනුව මොසාඩ් සංවිධානය විසින් අයිච්මන්ව අල්ලා ගැනීම සඳහා ඔවුන්ගේ නියෝජිතයෙකු වන යොයෙල් ගෝරන් යොදවන ලදී. ගෝර්න් විසින් නිගමනය කළේ අයිච්මන් බුවනෝස් අයර්ස් හි මධ්‍යම පාන්තික පවුල් ජීවත් වන ප්‍රදේශයක ජීවත් විමට කිසිදු ඉඩක් නොමැති බවයි. 

එහෙත් විනිසුරු ෆ්‍රිට්ස් බවර්ගේ දැඩි ඉල්ලීම නිසා එවකට මොසාඩ් නායකයාව සිටි අයිසර් හරල් විසින් එෆ්රායිම් හොෆ්ස්ටෙටර් නම් ඔවුන්ගේ තවත් නියෝජිතයෙකු මේ පිළිබදව විමර්ශනය කිරීම සදහා බුවනෝස් අයර්ස් වෙත යවන ලදී. අයිච්මන්ගේ ආර්ජන්ටිනා අනන්‍යතාව ලබා ගැනීම සඳහා හොෆ්ස්ටෙටර් විසින් හර්මන්ට ඩොලර් 130ක මුදලක් ලබා දෙන ලදී.

ඒ අනුව හර්මන් විසින් වාර්තා කළේ අයිච්මන් සිය පවුල සමඟ ජීවත් වූ නිවසේ අයිතිකරු වන ෆ්‍රැන්සිස්කෝ ෂ්මිට්ගේ නමින් පෙනී සිටින බවයි. මෙම නිවස ෆ්‍රැන්සිස්කෝ ෂ්මිට්ගේ යැයි තහවුරු වූ නිසා මොසාඩ් සංවිධානය යළි අඩියක් පිටුපසට ගත් අතර ඔවුන්ට ඒ සිටින්නේ හරියටම අදාල පුද්ගලයාද යන්න තහවුරු කර ගැනීමට අවශ්‍ය විය.

මොසාඩ් සංවිධානයේ මේ අඩියක් පිටු පසට යාම නිසා විනිසුරු බවර් මහත් කලකිරීමට පත් විය. මේ හේතු නිසා ඔහු ඊශ්‍රායලයට ගිය අතර එහිදී ඔහු මොසාඩ් සංවිධානයට ප්‍රකාශ කර සිටියේ අයිච්මන්, ෆ්‍රැන්සිස්කෝ ෂ්මිට්ගේ නිවසේ රිකාඩෝ ක්ලෙමන්ට් නමින් කුලී නිවැසියෙකු ලෙස වාසය කරන බවයි. මෙම පරීක්ෂණ වල වර්ධනය පිළිබඳ මොසාඩ් සංවිධානය කෙරෙහි ඔහු සිටියේ ඉතා කෝපයෙනි. මේ නිසා ඔහු මොසාඩ් වෙත ප්‍රකාශ කර සිටියේ "ඕනෑම දෙවන පන්තියේ පොලිස් භටයෙකුට ඔහුගේ අනන්‍යතාව තහවුරු කර ගත හැක. ඔබලා නිකමට හෝ ගොස් ඒ අසල ඇති මස් කඩයෙන් හෝ එළවලු වෙළෙන්දාගෙන් විමසන්න. රිකාඩෝ ක්ලෙමන්ට් යනු හරියටම කවුරුන්දැයි ඔවුන් ඔබට පවසනු ඇත."

ඒ අනුව මොසාඩ් සංවිධානය අයිච්මන් අත්අඩංගුවට ගැනීම සඳහා තවත් නියෝජිතයකු යවන ලදී. මෙම නියෝජිතයා කෙසේ හෝ අසල පුද්ගලයකුගේද සහාය ඇතිව අයිච්මන්ගේ නිවස තුලට යාමට සමත් විය. කෙසේ වෙතත් අයිච්මන් ඒ වන විටත් එම නිවසෙන් වෙනත් ස්ථානයකට පලා ගොස් ඇති බවට ඔහු විසින් සොයා ගන්නා ලදී. එහෙත් මෙම නියෝජිතයා අයිච්මන් සෙවීම දිගටම කරගෙන යන ලදී. 

වැඩි කල් නොගොස් මෙම නියෝජිතයා විසින් අයිච්මන්ගේ පුත් ඩෙයිටර් භාණ්ඩ අලුත්වැඩියා කිරීමේ සාප්පුවක කාර්මිකයෙකු ලෙස සේවය කරන බව සොයා ගත්තේය. එම නිසා ඔහු මෙම තරුණයා පිළිබඳව විමර්ශනය කිරීමට පටන් ගත් අතර ඔහු පසුපස ගිය නියෝජිතයා අයිච්මන්ගේ පුත්‍රයා එම වීදියේ පිහිටි නිවසකට යන අයුරු නිරීක්ෂණය කරන ලදී. ඉන්පසු මෙම නිවස පිළිබඳ විමර්ශනය කළ ඔහුට දැනගත හැකි වූයේ එම නිවස වෙරෝනිකා කැටරිනා ලිබල් ද අයිච්මන් යන නමින් ලියාපදිංචි කර ඇති බවයි. ඒ අනුව අයිච්මන් එහි වාසය කරන බවට නියෝජිතයාට තහවුරු විය.

එමෙන්ම මෙම නියෝජිතයා අයිච්මාන්ගේ ඡායාරූප කිහිපයක් ගැනීමටද සමත් වූ අතර ඔහු එය මොසාඩ් මූලස්ථානය වෙත යවන ලදී. එම ඡායාරූපය දුටු මොසාඩ් මූලස්ථානය විසින් මේ සිටින්නේ අයිච්මන්ම බව තහවුරු කළේය.

ඒ අනුව හිටපු මොසාඩ් නිලධාරියෙකු වූ රෆී අයිටන්ගේද සහය ඇතිව මොසාඩ් සංවිධානය විසින් ආර්ජන්ටිනාවට නොදන්වා අයිච්මන් අල්ලා ගැනීමට සැලසුම් සකස් කරන ලදී. ඔහුව අල්ලා ගැනීම සඳහා අයිච්මන්ගේ දින චර්යාව සම්බන්ධව දත්ත ඔවුන් රැස් කරන ලදී. එහෙත් ඔවුන් මේ කිසිවක් ආජන්ටිනා රජයට හෙළි කර සිටියේ නැත.

මොසාඩ් සංවිධානය සැලසුම් කළේ අයිච්මන් පැහැරගෙන ඔහුව ආජන්ටිනාවෙන් පිටතට ගෙන යාමටයි. ඒ අනුව ඔවුන් අයිච්මන් අල්ලා ගැනීම සඳහා මොසාඩ්හි ඉහළ පෙළේ නියෝජිතයෙකු වූ පීටර් මැල්කින් යෙදවීය. 

එහෙත් ඔහුව එම රටින් ආපසු ගෙන ඒමට ගුවන් යානාවක් අවශ්‍ය විය. මේ නිසා මොසාඩ් සංවිධානය ආර්ජන්ටිනාවේ 150 වන නිදහස් සංවත්සර දිනයේදී ඊශ්‍රායල ගුවන් යානයක් ආර්ජන්ටිනාවට යැවීමේ උපක්‍රමයක් ලෙස  භාවිතා කළේය. ආජන්ටිනා රජය විශ්වාස කළේ සැමරුම් උත්සවයට සහභාගිවීම සඳහා ඊශ්‍රායල නියෝජිතයින් එම ගුවන් යානයේ එහි පැමිණි බවයි. 

අයිච්මන් එම කාලයේ සේවය කරමින් සිටියේ ආජන්ටිනාවේ මර්සිඩීස් බෙන්ස් සමාගමේ වැඩපොළක ය. එහෙත් හාස්‍යයට කරුණ නම් මේ හිටපු නාසි නායකයා දිනපතාම වැඩට යාම සහ ඒම සිදු කළේ බස් රථයේ වීමයි. 

ඒ අනුව උදෑසන 8 ට මොසාඩ් සහ ෂින් බෙට් (ඊශ්‍රායල් ආරක්ෂක ඒජන්සිය) නියෝජිතයින්ගෙන් පිරුණු කාර් රථයක් අයිච්මන් බස් රථයට ගොඩවීමට භාවිතා කළ බස් නැවතුම්පොළ අසලට පැමිණෙන ලදී. එහෙත් ඔවුන්ට එහිදී අයිච්මන් සොයා ගැනීමට නොහැකි වූ අතර ඉන් සුළු මොහොතකට පසු ඔවුන්ට අයිච්මන් ඊට මදක් එහායින් වූ මාර්ගයේ ගමන් කරමින් සිටිනු ඔවුන්ට දර්ශනය විය.

නියෝජිත පීටර් මැල්කින් ඔහු දෙසට ගිය අතර එහිදී ඔවුන් අයිච්මන්ව අල්ලා ගැනීමට සමත් විය. සිදුවෙමින් පවතින දේ පිළිබඳ අයිච්මන් දැනගත් පසු ඔහු තම සැබෑ අනන්‍යතාවය පිළිගන්නා ලදී.

ආර්ජන්ටිනා රජයේ සැකයට භාජනය නොවී අයිච්මාන් ඊශ්රායල ගුවන් යානයට හොරෙන් ගෙන යාමට මොසාඩ් සැලසුම් කළේය. මේ හේතුව නිසා ඔවුන් ඊශ්රායල නිර්වින්දන වෛද්යවරයෙකු පවා බඳවා ගත්තේ අයිච්මාන් නිහඩව තබා ගැනීමට අවශ්‍ය වූ නිසාය. මෙම නිර්වින්දන වෛද්‍යවරයා විසින් අයිච්මාන්ට නිදිමත ඇති කිරීමට සහ පැන යාමට නොහැකි වන තරම් ශක්තිමත් වේදනා නාශකයක් එන්නත් කරන ලදී. ඉන්පසු ඔවුන් අයිච්මන් තමන්ගේ රෝගී කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස වෙස් ගන්වා ගුවන් යානයට ගෙන යන ලදී. ඒ ආකාරයට ඔවුන් ආජන්ටිනා රජයට හොර රහසේ කිසිදු ගැටළුවකින් තොරව යානය ගුවන් ගත කිරීමට සමත් විය.

1961 දී ඇඩොල්ෆ් අයිච්මන්ගේ යුද අපරාධ වලට එරෙහිව ඊශ්රායල උසාවියේදී නඩුව විභාග කරන ලදී. එහෙත් ඔහු අතීතයේ කළ දේ ගැන මදක් හෝ පසුතැවිලි නොවූ අතර ඒ වෙනුවට ඔහු තමා ආර්ජන්ටිනාවේ ගත කළ ජීවිතය පිළිබඳ පුරසාරම් දොඩන ලදී.

අයිච්මන්ගේ නඩු විභාගයට සහභාගී වීම සඳහා ලොව පුරා මාධ්‍යවේදීන් රාශියක් ඊශ්‍රායලයට එක්රැස් වූහ. එමෙන්ම ඔහුගේ නඩු විභාගය රූපවාහිනියේ ද විකාශය විය. ඊට අමතරව යුදෙව් සංහාරයෙන් දිවි ගලවා ගත් 100 කට අධික සංඛ්‍යාවක පිරිසක් ඔහුට එරෙහිව සාක්ෂි ඉදිරිපත් කරනු ලැබීය.

කෙසේ වෙතත් අයිච්මන් සිය එකම ස්ථාවරයේ දිගටම රැඳී සිටි අතර ඔහු පැවසුවේ තමා එම වැරදි සිදු කළේ කිසිදු පෞද්ගලික අරමුණකින් නොවන බවත් තමා ඒවා සිදු කළේ ඉහළින් ලද නියෝග නිසා බවත්ය. ඔහු තවදුරටත් කියා සිටියේ තමා කිසිඳු මිනීමැරුමක් සඳහා නියෝග නොකළ බවයි.

එහෙත් සාක්ෂි සලකා බැලූ ඊශ්‍රායල අධිකරණය අයිච්මන් හට මරණ දඩුවම ලබා දෙන ලදී. ඒ අනුව 1962 මැයි 31වන දින ඇඩොල්ෆ් අයිච්මන් එල්ලා මරා දමන ලදී.

222
නාසි සමූල ඝාතනයේ සංවිධායකයෙකු මෙන්ම නාසි යුද අපරාධකරුවෙකුද වූ ඇඩොල්ෆ් අයිච්මන් දඩයම (Adolf Eichmann) - Your Choice Way
සයිමන් විසෙන්තාල්. නාසි සමූල ඝාතනයන්ගෙන් දිවි ගලවා ගෙන අයිච්මන් සොයා ගැනීමට ඊශ්රායල බුද්ධි අංශයට උදව් කළ පුද්ගලයා

නාසි සමූල ඝාතනයේ සංවිධායකයෙකු මෙන්ම නාසි යුද අපරාධකරුවෙකුද වූ ඇඩොල්ෆ් අයිච්මන් දඩයම (Adolf Eichmann) - Your Choice Way
ඇඩොල්ෆ් අයිච්මාන්ට ඔහුගේ නව ආර්ජන්ටිනා අනන්‍යතාවය වන රිකාඩෝ ක්ලමන් ලෙස නිකුත් කරන ලද හැඳුනුම්පත

නාසි සමූල ඝාතනයේ සංවිධායකයෙකු මෙන්ම නාසි යුද අපරාධකරුවෙකුද වූ ඇඩොල්ෆ් අයිච්මන් දඩයම (Adolf Eichmann) - Your Choice Way
ලෝතාර් හර්මන් සහ ඔහුගේ දියණිය සිල්වියා

නාසි සමූල ඝාතනයේ සංවිධායකයෙකු මෙන්ම නාසි යුද අපරාධකරුවෙකුද වූ ඇඩොල්ෆ් අයිච්මන් දඩයම (Adolf Eichmann) - Your Choice Way
ජර්මානු විනිසුරු ෆ්‍රිට්ස් බවර්

නාසි සමූල ඝාතනයේ සංවිධායකයෙකු මෙන්ම නාසි යුද අපරාධකරුවෙකුද වූ ඇඩොල්ෆ් අයිච්මන් දඩයම (Adolf Eichmann) - Your Choice Way
අයිච්මන් අල්ලා ගැනීම සඳහා ඊශ්රායල නියෝජිතයින් විසින් එකතු කර ගන්නා ලද ඔහුගේ දත්ත
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නාසි සමූල ඝාතනයේ සංවිධායකයෙකු මෙන්ම නාසි යුද අපරාධකරුවෙකුද වූ ඇඩොල්ෆ් අයිච්මන් දඩයම (Adolf Eichmann) නාසි සමූල ඝාතනයේ සංවිධායකයෙකු මෙන්ම නාසි යුද අපරාධකරුවෙකුද වූ ඇඩොල්ෆ් අයිච්මන් දඩයම (Adolf Eichmann) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 08, 2022 Rating: 5

0 comments:

Post a Comment