ඉතිහාසයේ සිදු කළ අති බිහිසුණු ක්‍රීඩා හතක් (Seven Of The Most Terrifying Sports In History)

ඉතිහාසයේ සිදු කළ අති බිහිසුණු ක්‍රීඩා හතක් (Seven Of The Most Terrifying Sports In History) - Your Choice Way

ඔලිම්පික් ක්‍රීඩා උළෙලත් සමගම අද වන විට ලෝකයේ සියලු දෙනාගේම අවධානය ක්‍රීඩා කෙරෙහි යොමු වී තිබෙනු දකින්නට පුළුවන්. පවත්නා වසංගත තත්ත්වයට වුවද ක්‍රීඩාවන් සදහා මිනිසා තුළ පවතින ආශාව යටපත් කිරීමට හැකියාවක් ලැබී නැත. අද අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේත් අතීතයේ සිදු කරන ලද ක්‍රීඩා කිහිපයක් පිළිබඳවය. එහෙත් මෙහි ඇති සුවිශේෂත්වය නම් මෙම ක්‍රීඩා සියල්ලම විශ්වාස කිරීමටත් නොහැකි තරමේ බිහිසුණු ඒවා වීමයි.

ඔබ බොක්සිං හෝ මල්ලව පොර ප්‍රචණ්ඩකාරී ක්‍රීඩාවක් ලෙස සලකන්නේ නම්, මෙම ලිපිය කියවීම මගින් ඔබ මවිතයට පත් වනු නිසැකය. ලෝක ඉතිහාසය හැදෑරීමේදී අපට බොහෝ බිහිසුණු මෙන්ම මාරාන්තික ක්‍රීඩා රාශියක් හමුවන අතර ඒවායේ ප්‍රතිඵල ලෙස ක්‍රීඩකයන් බොහෝ විට මාරාන්තික තුවාල ලැබීම් හෝ මිය යාම් දැකිය හැකිය. අද අප අතීතයේ සිදු වූ ඒ ආකාරයේ බිහිසුණු ක්‍රීඩා හතක් පිළිබඳ අවධානය යොමු කරමු..

⚫මායාවරුන්ගේ පන්දු ක්‍රීඩාව
මායාවරුන්ගේ පන්දු ක්‍රීඩාව

මෙම පන්දු ක්‍රීඩාව ක්‍රීඩා කරනු ලැබුවේ මධ්‍යම ඇමරිකාවේ ජීවත් වූ පුරාණ මායාවරුන් විසිනි. මෙම ක්‍රීඩාව ක්‍රි.පූ.1600 දී පමණ ආරම්භ වූ අතර එය මායාවරුන්ට අමතරව පුරාණ මෙසෝඇමෙරිකා ගෝත්‍ර වන ඇස්ටෙක්වරුන් වැනි විවිධ ශිෂ්ටාචාරයන්ද ක්‍රීඩා කොට ඇති බව වාර්තා වනවා.

මෙය ක්‍රීඩා කිරීම සදහා මායාවරුන් විශාල ක්‍රීඩාංගන ඉදි කළ අතර එමගින් එම තරඟ විශාල පිරිසකට නැරඹීමටද හැකියාව ලැබෙන ලදී. එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 2-6 අතර සංඛ්‍යාවක් සමන්විත කණ්ඩායම් දෙකක් මෙම ක්‍රීඩාවේදී එකිනෙකාට එරෙහිව තරඟ වදිනු ලැබීය. කිලෝග්‍රෑම් හතරක් පමණ බරැති රබර් බෝලයක් මෙහිදී ක්‍රීඩා කිරීම සඳහා යොදා ගන්නා ලදී.

මෙම ක්‍රීඩාවේදී ක්‍රීඩකයාට දකුණු උකුල, දකුණු වැලමිට සහ දකුණු දණහිස පමණක් භාවිතා කරමින් පන්දුව ගෙනයාමට අවසර හිමි වේ. එහෙත් පන්දුව කිසි ලෙසකින් වත් බිම ස්පර්ශ නොවිය යුතුය. ප්‍රහාරක කණ්ඩායමේ අරමුණ වන්නේ විරුද්ධ කණ්ඩායමේ ක්‍රීඩකයන් අතරින් පන්දුව රැගෙන ගොස් බිත්තියේ සවි කර ඇති විශාල ගල් වළල්ල තුළින් දැමීමය. එමෙන්ම අනෙක් කණ්ඩායමේ අරමුණ වන්නේ කෙසේ හෝ බෝලය වෙනත් දිශාවකට යොමු කිරීම හෝ පන්දුව බිම ස්පර්ශ කිරීමට සැලැස්වීමයි.

මෙය කියවීමේදී ඔබට මෙහි කිසිදු භයානක බවක් තිබේ යැයි නොසිතෙන්නට හැක. නමුත් සැබැවින්ම මෙය භයානක වන්නේ ඔවුන් විසින් මෙම තරගයෙන් පරාජය වූ කණ්ඩායමේ ක්‍රීඩකයන් සියලු දෙනාම බිලි පූජාවක් පවත්වා මරා දමන නිසාය. බොහෝ දුරට පරාජිත කණ්ඩායමම හෝ එහි නායකයා දෙවියන් උදෙසා පූජා කරනු ලබයි. 

⚫පැන්ක්‍රේෂන්
පැන්ක්‍රේෂන්

මිශ්‍ර සටන් කලාව (MMA) වර්තමානය වන විට ලොව පුරා විශාල ලෙස ජනප්‍රිය වෙමින් පවතී. නමුත් පැන්ක්‍රේෂන් හා සැසදීමේදී මිශ්‍ර සටන් කලාව තුළ තිබෙන බිහිසුණුභාවය ඉතාමත්ම අඩුය. 

පැන්ක්‍රේෂන් යනු පුරාණ ග්‍රීසිය තුළ පැවති මිශ්‍ර සටන් කලාවට සමාන ක්‍රීඩාවකි. නමුත් මෙය වර්තමානයේ පවතින තරඟ වලට වඩා ඉතා බිහිසුණු ස්වරූපයක් ගත් අතර බොහෝ විට තරඟකරුවන්ගේ අස්ථී බිඳී යාම්, තුවාල සිදුවීම් මෙන්ම මරණද සිදු විය. එමෙන්ම මෙම තරඟය අවසානයේ සිය විරුද්ධවාදියාට යටත් වීම ප්‍රතික්ෂේප කරන බොහෝ දෙනාද ගෙල සිරකර මරා දමනු ලැබේ.

මෙහිදී සටන්කරුවන් සම්පූර්ණයෙන්ම නිරුවතින් සටන් කළ යුතු අතර ඔවුන්ගේ සිරුර පුරා ඔලිව් තෙල් ආලේප කරනු ලබයි. එමෙන්ම මෙම ක්‍රීඩාව පුරාණ ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙහිද කොටසක් විය. පැන්ක්‍රේෂන් වලට සැබැවින්ම තිබුණේ නීති දෙකක් පමණි. එනම් අනෙකා සපා කෑම සහ ඇස් වලට ඇනීම එහිදී තහනම් විය. එසේ වුවද ස්පාටා වලදී පමණක් ඕනෑම දේකට ඉඩ ලබා දී තිබුණි.

අප මීට පෙර ලිපියක පළ කර තිබූ ෆිගාලියා හි ඇරිචියන් යනු එකල සිටි දක්ෂ පැන්ක්‍රේෂන් ක්‍රීඩකයෙකු වූ අතර අවාසනාවන්ත ලෙස ඔහු තරඟයක් අතරතුරදී මිය යන ලදී.

⚫ග්ලැඩියේටර් ක්‍රීඩා
ග්ලැඩියේටර් ක්‍රීඩා

රෝමානු ග්ලැඩියේටර්වරුන් පිළිබඳ ඉතිහාසයට ආදරය කරන ඔබ සෑම කෙනෙක්ම හොදින් අසා ඇත. ග්ලැඩියේටර්වරුන් බලවත් රෝම අධිරාජ්‍යයේ සංකේතයක් බඳු විය. රෝමයේ වහලුන් ග්ලැඩියේටර්වරුන් ලෙස පුහුණු කරනු ලැබූ විශේෂ පාසල්ද පැවතෙන ලදී.

ග්ලැඩියේටර්වරුන්ගේ මූලික අරමුණ වූයේ ලේ පිපාසිත රෝමානු ජනතාව සඳහා සංදර්ශනයක් ඉදිරිපත් කිරීමයි. අවාසනාවට මෙන් එහිදී ග්ලැඩියේටර්වරුන්ගෙන් දිවි ගලවා ගත්තේ කිහිප දෙනෙකු පමණි. එකල ඔවුන්ගේ උපරිම ආයු අපේක්ෂාව අවුරුදු 27ක් පමණි.

⚫රෝම අශ්ව රථ ධාවන තරඟ
රෝම අශ්ව රථ ධාවන තරඟ

ග්ලැඩියේටර්වරුන්ට අමතරව රෝමවරු අශ්ව රථ ධාවන තරඟ නැරඹීම සදහාද ඉතා ආශාවක් දැක්වීය. මෙහිදී නරඹන්නන් ඔවුන්ගේ ප්‍රියතම රියදුරන්ට දැඩි ලෙස ඔට්ටු තැබූහ. මේ නිසා අශ්ව රථ රියදුරන්ද අති විශාල මුදලක් උපයා ගැනීමට සමත් විය. අප මීට පෙර ලිපියකින් සදහන් කර ඇති  ආකාරයට ඉතිහාසයේ ධනවත්ම මලල ක්‍රීඩකයා ලෙස හැඳින්වෙන්නේ රෝමානු අශ්ව රථ ධාවකයෙකු වන ගයස් අපුලියස් ඩයොක්ලීස් ය. එහෙත් මේ අශ්ව රථ ධාවන තරඟද අතිශයින්ම භයානක වූ අතර ඉන් විශ්‍රාම යන තෙක් දිවි ගලවා ගැනීමට සමත් වූයේ ධාවකයන් කිහිප දෙනෙකු පමණි.

මෙම තරඟ වලදී භාවිතා වූ නීති ඉතා අඩු වූ අතර අශ්ව රථ අනතුරු සිදු වීම එම නිසා ඉතා ඉහළ අගයක් ගන්නා ලදී. මෙහිදී රියදුරන්ට කසයෙන් තළා ඔවුන්ගේ විරුද්ධවාදීන්ට පහර දී ඔවුන්ව අශ්ව රථවලින් එළියට ඇද දැමීමට අවසර හිමි වී තිබුණි. එමෙන්ම තම රථය විරුදධවාදීන්ගේ රථයේ වද්දවා ඔවුන් අඩපණ කිරීමටද හැකි විය. ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය වූයේ කවුරුන් මරා හෝ තමා ඔට්ටු දැමූ ධාවකයා ජයග්‍රහණය කිරීමයි. 

එමෙන්ම මෙහිදී රථයෙන් බිම වැටුණු තරගකරුවා බොහෝ විට අශ්වයන් විසින් පාගා දැමුනු අතර තරග නැරඹීමේදී මිල අධිකම අසුන් පිහිටා ඇත්තේ අනතුරු බහුලව සිදු වන වංගු සහිත ප්‍රදේශයේ වීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

⚫ගොනුන් මතින් පැනීමේ තරඟය
ගොනුන් මතින් පැනීමේ තරඟය

ක්‍රි.පූ 3000 සිට 1100 දක්වා ග්‍රීක දූපතක් වූ ක්‍රීට්හි පැවති පුරාණ මිනෝවන් ශිෂ්ටාචාරය වෙනත් ආකාරයේ ක්‍රීඩාවක් හදුන්වා දුන්නා. ඔවුන් සඳහා ගවයා පූජනීය සතෙකු වූ අතර ගොනා මතින් පැනීම ඔවුන්ගේ ආගමික වත්පිළිවෙත් වල කොටසක් ලෙස ඔවුන් සලකනු ලැබුවා.

මෙය එම දූපතේ ගැහැණුන් සහ පිරිමින් යන දෙපාර්ශවයම සිදු කළ බව සදහන් වේ. එහිදී ඔවුන් ගොනාගේ අං දෙකෙන් අල්ලාගෙන ගොනාගේ හිසට තම බලය යොදා ගොනාගේ ඇග උඩින් ඉහළට පනිනු ලබයි. සැබැවින්ම මෙය මාරාන්තික තුවාල බහුලව සිදු වන ක්‍රීඩාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.

එමෙන්ම මෙම ක්‍රීඩාවේ ප්‍රභේද සියවස් ගණනාවක් පුරා අද දක්වාම පැවතේ. වර්තමානයේ ප්‍රංශයේ, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සහ ස්පා්ඤයේ ගොනුන් සම්බන්ධ මෙවැනි ආකාරයේ උත්සව දැකිය හැක.

⚫නෞමාචියා (ග්‍රීක භාෂාවෙන් නාවික සටන)
නෞමාචියා (ග්‍රීක භාෂාවෙන් නාවික සටන)

රෝමානුවන් සිදු කළ තවත් එක් අති බිහිසුණු ක්‍රීඩාවක් ලෙස මෙය හැදින්විය හැක. නමුත් මෙය එකල කෙතරම් ජනප්‍රියවීද යත් මෙම තරඟයට සහභාගී වීම සදහාද  මිනිසුන් අතර ගැටුම් ඇති විය. 

මෙම ක්‍රීඩාවේදී සැබෑ හෝ කෘතිමව සාදනු ලැබූ විලක් තුළදී සටන් කරුවන්ගෙන් පිරුණු නැව් වල සිට එකිනෙකා සටන් කර ගනී.මෙය සැබැවින්ම ග්ලැඩියේටර් ක්‍රීඩාවටත් වඩා භයානක එකක් විය.

ක්‍රි.පූ 46 දී ජුලියස් සීසර් විසින් පළමු වරට මෙම ක්‍රීඩාව සංවිධානය කරන ලදී. එමෙන්ම නැව් සියයක් සහ සටන්කරුවන් 19,000 ක් සිටි විශාලතම නෞමාචියා තරගාවලිය  ක්‍රි.ව. 52 දී ක්ලෝඩියස් අධිරාජ්‍යයා විසින් පවත්වන ලදී. මෙය ඉතා විශාල තරඟාවලියක් වූ නිසා ඔවුන්ට එහිදී සත්‍ය විලක් වූ ෆියුසන් විල ඒ සදහා භාවිතා කිරීමට සිදු විය. 

මෙයට යොදා ගත් සටන්කරුවන් සාමාන්‍යයෙන් මරණ දඬුවමට නියම වූ සිරකරුවන් විය. එමෙන්ම ඔවුන්ගේ සටන්කාමීත්වය වැඩි කිරීම සදහා රෝමවරු ඉඳහිට කැපී පෙනෙන ශක්තියකින් සටන් කරන අයට සමාව ලබා දුන්හ. මෙම තරගාවලිය පැවැත්වීම සදහා රෝමයේ සුප්‍රසිද්ධ කොලොසියම පවා ජලයෙන් පුරවා ඇති බවට වාර්තා වේ.

⚫පුරාණ ඊජි්ප්තුවේ ධීවර ක්‍රීඩාව
පුරාණ ඊජි්ප්තුවේ ධීවර ක්‍රීඩාව

ක්‍රි.පූ. 2800 දී පමණ පුරාණ ඊජිප්තුවරුන් විසින් සිදු කරන ලද මෙම ක්‍රීඩාව ජලාශ්‍රිත ක්‍රීඩාවකි. මෙය පැවැත්වීමේ අරමුණ වූයේ ගැමි ජනයා සහ ධීවරයින් අතර තිබූ ආරවුල් සහ එදිරිවාදිකම් නිරාකරණය කිරීම සඳහාය.

මෙම ක්‍රීඩාවේ දී මිනිසුන් කිසිදු ආවරණයක් නොමැතිව තියුණු උල් සහිත දිගු පොලු වලින් සටන් කරනු ලබයි. මෙයින් ජය ලැබීමට නම් තම ප්‍රතිවාදියාව කෙසේ හෝ නයිල් නදියට දැමිය යුතුය. 

පොලු වලින් පහර වැදීමෙන් මිනිසුන්ට තුවාල සිදු වූ නමුත් සැබෑ අනතුර එය නොවිය. බොහෝ පිරිමින්ට පිහිනීමට නොහැකි නිසා ඔවුන් සාමාන්‍යයෙන් දියේ ගිලී මිය ගියහ. අනෙක් අනතුර නම් කුසගින්නෙන් පෙළෙන කිඹුලන් සහ හිපපොටේමස් සතුන් ඔවුන් ජලයට වැටෙන තෙක් බලා සිටීමයි.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඉතිහාසයේ සිදු කළ අති බිහිසුණු ක්‍රීඩා හතක් (Seven Of The Most Terrifying Sports In History) ඉතිහාසයේ සිදු කළ අති බිහිසුණු ක්‍රීඩා හතක් (Seven Of The Most Terrifying Sports In History) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 20, 2022 Rating: 5

0 comments:

Post a Comment