මෙම වැලි තලාවට අංගංවැල්ල යයි නමක් පටබැඳුණේ පුරාණයේදී මෙහි ගැටවරයන් අංගම්පොර සටන් පුරුදු කළ නිසාය. අංගං ගුරුවරු තම ශිෂ්‍ය පිරිස සමඟවිත් දෙවියන්ට යාතිකා කර මෙහි අංගම් පොර පුහුණුවීම් කරන අතර විශාල වැලිතලාවේ රැඳී සිටින ජනතාව ඒ සටන් පුහුණුවන අයුරු බලමින් විනෝද වූ බවත් කියැවේ.
මේ ප්‍රදේශයේ මාඔය ඉවුරුවල අතිවිශාල උණ පඳුරු වැවී මාඔයට බරවී තිබී ඇත. එසේම මෙම අංගංවැල්ල ප්‍රදේශය අද්භූත සිදුවීම්වලින්ද පිරීගත් ප්‍රදේශයකි. හවස හයෙන් පසුව තනිපංගලමේ කිසිවෙක් මෙම ප්‍රදේශයේ ගැවසුණේ නැත. එයට හේතුව මේ ඉසව්වේ තිබූ අමුතු බලවේගයන් පිළිබඳ විශ්වාසයයි.
ඇතැම් දිනවල රාත්‍රී කාලයේ අංගංවැල්ල ප්‍රදේශයේ දියබුංගසමින් නාන ශබ්දය ඇසෙන බවත් ගොස් බැලූවිට කිසිවකු නැති බවත් ඒ පිළිබඳව විමසා බැලූවන්ගෙන් දැනගන්නට ලැබී ඇත.
අංගංවැල්ලේ මහසොහොන් සමයමක් පිළිබඳවද කතා අසන්නට ලැබේ. වරක් මේ ප්‍රදේශයේ ගොවිතැන් කළ අයෙක් වී බිස්සක් සකසා එයට වට මැටි ආදිය ගසා අටු නංවා සකස්කළේ වී ගබඩා කරතැබීම සඳහාය. බිහිපට්ටලය තබන්නේ කළුගල් කණු හතරක් උඩයි. මේ කණු අළු සහ වැලි කලවම් කර යොදාගත් මිශ්‍රණයක් ඉස ඒ අතර සාදාගත් තැන්වල කණු සිටුවා ගැනීමෙන් වේයන් වළක්වාගත හැකි බවට උපදෙස් ලැබුණ නිසා අළු කලවම් කිරීමට වැලි ප්‍රමාණයක් ඕනෑවිය.
ඔහුගේ බිරිඳ කීවේ දිය නෑම සඳහා ඔයට ගිය විට අංගංවැල්ලෙන් වැලිගොට්ටක් රැගෙන එන ලෙසයි. බිරිඳ කී ලෙසට කොළපත් ගොටුවක්ද රැගෙන ඔයට ගිය ඔහු දිය නා අහවරකොට අර කොළපත් ගොටුවට වැලි පුරවාගෙන ගෙදර ගෙන ආවේය. පසුදා අළු කලවම් කොට වැලි ඉසින තුරු එම වැලිගොට්ට බිහි පට්ටලය උඩ තබා තම ඉතිරි වැඩ කටයුතු කළේය.
රාත්‍රී ආහාර ගෙන සුපුරුදු ලෙස නින්දට ගිය ඔහුට එදා නින්ද යන පාටක් නැත. එනිසාම විට දෙක තුනක් ද හැපුවේය. මෙසේ ඉන්නා අතර යාන්තම් ඇස් පියවීගෙන එනවිට ලොමින් වැසුණ අයෙක් පෙනීසිට කීවේ ‘‘තෝ ඔය අංගංවැල්ලෙන් ගෙනා වැලි වහාම එතැනටම ගෙන ගොස් දමපිය’’ කියායි.
මේ පුද්ගලයාද ටිකක් බය නැති අයෙකි. යළිත් ඇඳේ දිගාවුණ ඔහුට යාන්තමින් නින්ද යාගෙන ආවේය. නැවතත් අර ලොම්වලින් සිරුර වැසීගත් මිනිහා පෙනී සිට කීවේ ‘‘තෝ අර වැලි ගොට්ට තිබුණ තැනටම ගිහිං නොදැම්මොත් බලාගං තොට කරන දේ’’ කියායි.
මෙවර ඔහුට බියක් ඇතිවුණි. ‘‘මේ මහ රෑ ඔයට යා නොහැකිය. මම හෙට උදේම වැලිගොට්ට ආපසු ගිහිං දාන්නං එතෙක් අවසර දෙන්ට’’ යයි බැගෑපත් ලෙස ඉල්ලා සිටියේය.
දුම් වලාවක් බඳු එම රූපය නොපෙනී ගියේය. ඔහුට ඉන්පසු නින්ද ගියේය. එහෙත් හදවතේ බියක් ඇතිවී තිබුණි. පසුදා හිමිදිරියේම වැලිගොට්ට ගත් තැනටම ගොස් හලා ආවේය. එම සිද්ධිය ඔහු කිසිවකුටත් කීවේ නැත.
බොහොම ඉස්සර කොච්චිකඩේට හා දංකොටුවට උණගස් ප්‍රවාහනය කළේ මාඔයෙන්. උණ ගස් සියයක පමණ මිටියක් පහුරක් සේ බැඳ සකසා, ඔයේ පාකරගෙන ගොස් විකුණා මුදල් ලබාගැනීමේ ක්‍රමයක් තිබුණේය. ඒ ජලය මතින් පාකරගෙන යාමේ පහසුව තිබූ නිසාය. එසේම ඒ යුගයේ අදමෙන් ප්‍රවාහන කටයුතු සඳහා ලොරි රථ නොවිණි.
කොච්චිකඩේ හා තෝප්පුව යන ප්‍රදේශවල මෙම උණ ගස් වෙළෙඳාම එදා සිදුවුණ අතර ඒ සඳහා පළපුරුදු උණ පහුරුකරුවෝ සිටියහ. සාමාන්‍යයෙන් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් මේ සඳහා හවුල් වේ.
නොයෙකුත් ඉදිකිරීම් ආදියේදී පලංචි බැඳගැනීම සඳහා උණ ගස් යොදාගත් අතර ඊට අවශ්‍ය වූ උණ ගස් ලබාගැනීම සිදුකළේ මේ අයුරින් මාඔය දිගේ පහුරු බැඳ ගෙන්වා ගැනීමෙන්ය. ඒ යුගයේ උණගසක සාමාන්‍ය මිල ශත පනහක් පමණ විය.
මේ පිළිබඳව පැරැන්නෝ අපට අදහස් පළකළහ.
බොහොම පැරණි යුගයේ උණ ලී පහුරු බැන්ඳ යාළුවෝ තුන්දෙනෙක් මේ අංගංවැල්ල පැත්තේ ඉඳ තිබෙනවා. එක් අයෙක් සීටිං, අනෙක් කෙනා හෙන්දප්පු. මේ තිදෙනා සමග සිටි දක්ෂ පහුරු පැදුම්කරු තමා අන්දිරිස්.
දින හත අටක් මහන්සිවෙලා කපන උණගස් මිටිකර බැඳීමත් අමාරු කටයුත්තක්. මේ තුන්දෙනා උණගස් හාරසීයක් පමණ එක් පහුරකට බඳිනවා. දවසක් මොවුහූ උණ පහුරක් හදාගෙන මීගොමු යන්ට තීරණය කරගත්තා. මේ ගමන යන්නෙ රාත්‍රී කාලයෙ. රාත්‍රී කාලයෙ යන්නෙ පහසුවට. රෑ යන නිසා ලන්තෑරුම් දෙක තුනකුත් පත්තු කරගන්නවා. හොඳ විට මල්ලකුත් හදාගන්නවා මෙහෙම යනකොට සීපදේකුත් කියනවා කාන්සියට.
එදා අන්දිරිසුයි, හෙන්දප්පුයි කලින්ම රාත්‍රී කෑම අරගෙන ගමන යාමට සූදානම් වුණා. දෙන්න ලන්තෑරුම් දෙකක් පත්තු කරගත්තා. ඒත් තාම සීටිං නෑ. වෙනද මේ ගමන පිටත්වෙන්ඩ කලින්ම එන මිනිහ තමයි සීටිං. ඒත් එදා සීටිං පරක්කුයි. හෙන්දප්පුයි, අන්දිරිසුයි ඔයට බැහැල පහුර දෙකොනේ ලන්තෑරුම් බැන්දා.
ඔන්න එතකොටම සීටිං පහුරට ගොඩවුණේ. මිනිහා කීව ‘‘හා හරි හරි යමල්ල. යමල්ල මං ටිකක් සුනංගු වුණා’’ කියලා අන්දිරිස් ලණුපට ගලෝල පහුරට දිය පාරෙ පාවෙන්ට අතින් ටිකක් තල්ලු කරල පහුරට ගොඩවුණා. මේ අය යන්නෙ අමුඩෙ ගහගෙන ආපහු එනකොට අදින සරොං කමිස කැටිකොරල මල්ලක දාගෙන තමයි යන්නෙ.
හා හරි ඕං රිටි ගහල අල්ලමු. ඒ කීවෙ සීටිං. දැං අනිත් දෙන්නත් දහිරිය දාල වැඩේ පටන්ගත්තා. ඔන්න ඔහොම තුන්දෙනා පහුර පැදං කොච්චිකඩේ යන්ඩ පටන්ගත්තා. හෙන්දප්පු සීපද කියන්ඩ හරිම දක්ෂයි. ඒ වගේම කටහඬත් මිහිරියි. කට්ට කරුවලේ හිතේ බය යන්ඩත් එක්ක දන්න සීපදයක් පටන්ගත්තා.
කෑම බීම හිඟ මග දුප්පත් අපට
දිය කඳ තමයි පාරුව පැදුමට පිහිට
උණ ලීයෙන් ලැබෙන සොච්චම හැරුණ කොට
මොන පිහිටක්ද? වෙන පොඩිඋන් අඬන කොට
රිටි ගසමින් නියමිත ලෙස හරවාගනිමින් උණපහුර පැදයාම බොහොම වීර ක්‍රියාවක්. තුන්දෙනා තරඟයට වගේ දැන් වැඩේ කරනව. තෝප්පුව ළංවෙනකොට ඔයේ සැඩ පාරත් එක්ක වංගුවකුත් තියෙනව. මෙන්න මෙතනදී බොහොම පරිස්සමෙන් පහුර පදින්න ඕනෑ. වංගුව ළංවෙනකොටම අග කෙළවරේ ඉන්න සීටිංට හෙන්දප්පු කෑගැහුව හරෝපං හරෝපං කියල.
දැං පහුර කෙළින්මයි යන්නෙ හැරවීමක් නෑ ටිකක් තරහගිය හෙන්දප්පුව යකෝ සීටියො ඇහෙන්නැද්ද? බොල හරෝපිය නැත්තං පහුර අයිනෙ තියන පටහිඟුරු ගොල්ලෙ හිරවෙයි.
එහෙම කීවත් සීටිං නෙමේ කීව දේ කළේ. පස්සෙ මහ වතුරට පැන්න සීටිං නොපෙනී ගිහිං තියෙනවා.
කොහොමිං හරි බොහොම අමාරුවෙන් උණ පහුර අයින් කරල ගැටගහල උදේ එළිවුනාම සල්ලිත් අරං රාත් බීල හෙන්දප්පුයි, අන්දිරිසුයි ගමට ආව. ගමට කිට්ටුවෙනකොට ටිකක් අමුතුයි. ගමේ මළගෙයක්. ඊයෙ රාත්‍රි යනකොට එහෙම දෙයක් ගමේ තිබුණේ නෑ. මොකද්ද මේ කියල දෙන්න ගමේ අයෙක් එක්ක කතාවට වැටුණා. ගමේ මනුස්සය කීවෙ මෙන්න මෙහෙම කතාවක්.
ඇයි දන්නැද්ද සීටිං අයියට යකෙක් ගහල මැරිලනෙ ඊයෙ රාත්‍රියෙ. මීගමු යන්ඩ උණපහුර ළඟට යනකොටලු වැඩේ වෙලා තියෙන්නෙ. බෙල්ල පැත්තටලු යකා ගහල තියෙන්නෙ. ඇඟිලි පාරත් තියෙනවලු.
මේ කතාව ඇසූ හෙන්දප්පු අන්දිරිස්ට කිට්ටු කර ඇසුවේ ඈ බං මලයො එතකොට කව්ද අපිත් එක්ක උණපහුර පැදගෙන ගියේ. ඒ සීටිං නොවෙයිද? කියායි.
ඇයි උඹ අහල නැද්ද ඔහොම දේවල් සිද්ධ වුණහම මහසොහොන් අවතාරෙ ඒ විදිහට එනවලු. එහෙම වෙන්නෙ හරියට ජාම වෙලාව ආවිටලුයි කී අන්දිරිස් ඉවත බලාගත්තේය.
මම නං ආයෙ කවදාවත්ම උණපහුරු පදින්ට යන්ට එන්නෙ නෑ. මට බෑ මහසොහොන් අවතාරත් එක්ක පයුරු පාසං, හෙන්දප්පු කිව්වා.
ඈ බං අන්දිරිස් අයියෙ පහුරෙ කෙළවරේ හිටි එකා අපිත් එක්ක කතා කළත් එක්කනෙ. උෟත් හරියටම සීටිය වගේමයි.
ඔව් බං අවතාර එහෙම තමා අපට හොයාගන්ඩ බැරි විදිහට වෙස්ගන්නවා කියමින් සීටිංගේ මළ ගෙදරට ගොස් මේ සම්පූර්ණ සිද්ධිය එහි සිටි අයට කීවෝය.
0 comments:
Post a Comment