Your Choice Way

ටයිටැනික් නෞකාව ගිලීයාම අනතුරක් ද? එසේ නැතිනම් සිතා මතා සිදු කරන ලද්දක්ද? (Titanic)

ටයිටැනික් නෞකාව ගිලීයාම අනතුරක් ද? එසේ නැතිනම් සිතා මතා සිදු කරන ලද්දක්ද? (Titanic) - Your Choice Way

1912 අප්රේල් මස 10 වන දින ඉතිහාසයට නව ආරම්භයක් එක් කරමින් ඒවකට ඉදිකරන ලද විශාලතම සාගර නෞකාව වන "ටයිටැනික්" සවුත්හැම්ප්ටන් වරායේ සිට සිය මංගල ගමන ආරම්භ කරන ලදී. ප්‍රමුඛ පුද්ගලයින් ගණනාවක් ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 2,224 දෙනෙකු මේ ගමනට සහභාගී වූ බව සදහන් වේ. සිය ගමනාන්තය ලෙස ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයට යමින් සිටි මේ අති සුඛෝපභෝගී දැවැන්තයා එකල බොහෝ දෙනෙකු හදුන්වන ලද්දේ ‘කෝටිපතියන්ගේ නෞකාව’ ලෙසය.

මෙම නෞකාව අති සුඛෝපභෝගී වර්ගයේ එකක් වූ අතර බොහෝ දියුණු ආරක්ෂිත අංගයන්ගෙන්ද සමන්විත විය. එපමණක් නොව බොහෝ දෙනෙකු ‘ගිල්වා දැමිය නොහැකි නෞකාව’ ලෙස හැඳින්වූ මෙයට අණ ලබා දුන්නේ ජ්‍යෙෂ්ඨ නාවිකයකු වන 62 හැවිරිදි කපිතාන් එඩ්වඩ් ස්මිත් විසිනි. කීර්තිමත් නාවිකයකු වූ ඔහුගේ ආගමනය නිසා යාත්‍රාවේ සහ එහි මගීන්ගේ ආරක්ෂාව පිළිබද විශ්වාසය තවත් වර්ධනය විය.

කෙසේ වෙතත් මෙම දර්ශනීය නෞකාවේ ඉරණම කුමක්දැයි කියා ඔබ දැනටමත් හොදින් දන්නවා ඇත. 1912 අප්‍රේල් 14 වන දින ලෝක ජනතාව ඉතිහාසයේ සිදු වූ මාරාන්තික සිවිල් නාවික අනතුර පිළිබද පුවත අත්විඳින ලදී. එම අවාසනාවන්ත රාත්‍රියේදී රාත්‍රී 11.40ට පමණ ටයිටැනික් නෞකාව නිව්ෆවුන්ඩ්ලන්ඩ් වෙරළට ඔබ්බෙන් වූ අයිස් කුට්ටියක ගැටී ගිලෙන්නට පටන් ගත්තේය. 15 වනදා අලුයම 2.20 වන විට ලෝකය එතෙක් දැක තිබූ විශාලතම මගී නෞකාව උතුරු අත්ලාන්තික් සාගර පතුල සිප ගන්නා ලදී.

සීතල කාලගුණයත්, මුහුදු ජලයත් එම රාත්‍රියේදී නෞකාවේ මගීන් සහ කාර්ය මණ්ඩලයේ ජීවිත 1517 උදුරා ගැනීමට සමත් විය. ඔවුන්ගෙන් 706 දෙනෙක් පමණක් මේ බිහිසුණු හා දුක්බර කතාව ලෝකයට පැවසීමට ජීවිත බේරා ගැනීමට සමත් විය. 

ටයිටැනික් ව්‍යසනය පිළිබඳ පුවත ගොඩබිමට වාර්තා වෙත්ම අනතුර පිළිබඳ බොහෝ මත විවිධ දෙසින් මතු වන්නට විය. එකල තිබූ හොඳම තාක්ෂණික සැලසුම් අනුව නිපදවා තිබියදීත් ටයිටැනික් නෞකාව ගිලී ගියේ කෙසේද? ව්‍යසනයෙන් පසු බොහෝ කාලයක් ගත වන තුරු බොහෝ විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් මේ සදහා බොහෝ මත ඉදිරිපත් කරන ලදී.

නෞකාව ගිලී ගිය වහාම ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ විය. මෙම පරීක්ෂණ කණ්ඩායම් දෙකක් විසින් සිදු කළ අතර එකක් එක්සත් ජනපද සෙනෙට් සභාව සහ අනෙක බ්‍රිතාන්‍ය වෙළඳ මණ්ඩලය විසින් සිදු කරන ලදී. 

එක්සත් ජනපද පරීක්ෂණය මෙහෙයවනු ලැබුවේ සෙනෙට් සභික විලියම් ඇල්ඩන් ස්මිත් විසින් වන අතර බ්‍රිතාන්‍යය පරීක්ෂණය මර්සි සාමිවරයා විසින් මෙහෙය වන ලදී. ඔවුන් දිවි ගලවා ගත් මගීන්ගෙන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් මේ ඛේදවාචකය පිළිබඳ ප්‍රශ්න කිරීම් සිදු කරන ලදී. එයට මාස කිහිපයක් ගත වුවද පරීක්ෂණ ඉක්මනින් අවසන් විය.

පරීක්ෂණවල ප්රතිඵල වලින් හෙළි වූයේ මෙම නෞකාවේ භාවිතා කරන ලද ජාත්‍යන්තර නාවික හමුදාවේ බොහෝ ආරක්ෂක පියවරයන් සහ රෙගුලාසි යල් පැන ගිය ඒවා බවයි. අදාළ ප්‍රමිතියන්ට අනුව නෞකාවේ තිබී ඇති ආරක්ෂක පියවර ඉතා අඩු විය.

එකල උතුරු අත්ලාන්තික් සාගරයේ පැවති ශීත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ටයිටැනික් ගමන් කල කලාපයේ අයිස් කුට්ටිවලින් ඇති වූ තර්ජන ඉහළ මට්ටමක පැවතුනි. පසුව පරීක්ෂණ වලින් හෙළි වූයේ ටයිටැනික් නෞකාවට එම ප්‍රදේශයේ තිබූ අනෙකුත් යාත්‍රා වලින් අයිස් කුට්ටි පිළිබද අවම වශයෙන් අනතුරු හැගැවිමේ පණිවිඩ හයක්වත් ලැබී ඇති බවය. අයිස් කුට්ටි පිළිබඳ අනතුරු ඇඟවීම් පිළිබඳව නිසි අවධානයක් නෞකාවේ කපිතාන් යොමු නොකළ බව පසුව වාර්තා වලින් හෙළි විය. ඝට්ටනයට පැයකට පමණ පෙර ටයිටැනික් ගුවන්විදුලි ක්‍රියාකරු කැලිෆෝනියාව අසල පිහිටි නෞකාවකින් ලද අනතුරු ඇගවීමක් පිළිබද තැකීමක් නොකොට එය කපිතාන්ට භාර දුන්නේ නැත.

අයිස් කුට්ටි ඇති බව වාර්තා වී ඇතත් නෞකාව අධික වේගයෙන් ගමන් ගත් බව අනතුරින් පසු දිවි ගලවා ගත් අය සහ විමර්ශකයින් ඇතුළු බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වූ අනෙක් කරුණ විය. වාර්තා වලට අනුව ගැටීමට මිනිත්තු කිහිපයකට පෙර ටයිටැනික් නෞකාව උතුරු අත්ලාන්තික් සාගරයේ ජලය හරහා 22knots වේගයෙන් ගමන් කර ඇත.

එමෙන්ම මෙම නෞකාව එකල තිබූ හොඳම තාක්‍ෂණික ක්‍රමවේදයන් භාවිතා කොට ඉදිකර තිබුණේ යැයි මුලදී පැවසුවත් එහිද බොහෝ අඩුපාඩු තිබුණේ යැයි පසුව හෙළි වුණි. මෙම නෞකාව සෑදීම සදහා භාවිතා කරන ලද වානේ තහඩු අධික ශීතල තත්ත්වයන්හිදී අස්ථාවර වන ඒවා වන අතර කුඩා ගැටීමකින් පවා පහසුවෙන් ඉරිතලා යන ඒවා විය. අයිස් කුට්ටියේ ගැටී නෞකාව ගිලී යාමට ප්‍රධානතම හේතුවක් වන්නට ඇත්තේ මෙයයි.

එමෙන්ම මෙම පරීක්ෂණයේදි හෙළි වූ තවත් කරුණක් වන්නේ නෞකාව තුළ තිබූ ජීවිතාරක්ෂක බෝට්ටු ප්‍රමාණය එහි සිටි මගීන් හා සැසදීමේදී ප්‍රමාණවත් නොවූ බවයි. වාර්තාවලට අනුව නෞකාවේ මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 2000 කට අධික සංඛ්‍යාවක් සිටින විට එහි ජීවිතාරක්ෂක බෝට්ටු තිබුණේ පුද්ගලයන් 1200කට සරිලන ලෙස පමණි.

ඔවුන් සොයා ගත් ඊළග කරුණ නම් මෙවැනි විශාල නෞකාවක් පිළිබඳව සිතීමේදී විශ්වාස කළ නොහැකි ආකාරයේ කරුණකි. එනම් නෞකාවේ තිබූ සියලුම දුරදක්න එක් කාමරයකට දමා අගුල් දමා තිබූ අතර එම නිසා දුරදක්න භාවිතයක් සිදු වී නොමැත. සමහර විශ්ලේෂණයන් පවසන්නේ දුරදක්න රාත්‍රියේදී භාවිතා කිරීමට නොහැකි නිසා ඉන් ප්‍රයෝජනයක් නොවනු ඇති බවයි. එහෙත් මෙවැනි නෞකාවක මෙවැනි දෙයක් සිදු විය හැකිදැයි ප්‍රශ්නයකි.

මේ හේතූන් නිසා ටයිටැනික් ඛේදවාචකය යනු ලෝක ඉතිහාසයේ සිදු වූ වඩාත්ම කුතුහලය දනවන අනතුරක් බවට පත් විය. ශතවර්ෂයකට පමණ පසුව පවා තවමත් ටයිටැනික් ඛේදවාචකය කලාකරුවන්ට, චිත්‍රපට නිෂ්පාදකයින්ට සහ ලේඛකයින්ට විෂයයක් බවට පත්ව ඇත. ඒ අතරම, අනතුර සිදුවූ දා සිටම මෙම සමුද්‍ර ව්‍යසනයට හේතුව විස්තර කිරීම සඳහා විවිධ උපකල්පන න්‍යායන් ගණනාවක් ද ඉදිරිපත් වී තිබේ.

මෙයින් එක් ප්‍රධාන උපකල්පනයක් වන්නේ Jp.මෝගන් විසින් මෙම නෞකාව ගිල්වා දමන්නට ඇති බවයි. සැබැවින්ම මෝගන් යනු එකල ඉතා ධනවත් පුද්ගලයකු වූ අතර ටයිටැනික් නෞකාව අයත් වයිට් ස්ටාර් ලයින් සමාගම ඔහුට අයත් ජාත්‍යන්තර වෙළඳ නාවික සමාගම යටතේ පැවතිණි. එක්සත් ජනපදයේ ෆෙඩරල් සංචිත බැංකුව පිහිටුවීමට මග පාදා ගැනීම සඳහා ජේ.පී.මෝගන් ටයිටැනික් නෞකාව ගිල්වා දැමූ බවට එකල  බොහෝ මත පල විය. මෙම බැංකුව නිර්මාණය කිරීමට කෝටිපති ජෝන් ජේකොබ් ඇස්ටර්, පතල් කළමනාකරු බෙන්ජමින් ගුගන්හයිම් සහ මැසීගේ සම හිමිකරු ඉසිඩෝර් ස්ට්‍රෝස් ඉතා විරුද්ධ වූ බව වාර්තා වේ. නමුත් නෞකා අනතුරින් මොවුන් තිදෙනාම මිය යන ලදී. මෙම කරුණ තවත් තහවුරු වූයේ මෝගන්ද මෙම නෞකාවේ ගමන් කිරීමට සිටියද ඔහු අවසාන මොහොතේ තම තීරණය වෙනස් කර ගෙන එයට සහභාගී නොවීමයි. 

ඊට අමතරව තවත් උපකල්පනයකට අනුව කියවෙන්නේ ජර්මානු යූ - බෝට්ටු ප්‍රහාරයකින් මෙම නෞකාව ගිලී ගිය බවයි. එමෙන්ම ඊජිප්තු මමියක ශාපයක් නිසාත් නෞකාව මුහුදුබත් වූ බව තවත් මතයකි. මේ ඇතුළු තවත් බොහෝ උපකල්පන මෙම අනතුර පිළිබඳව ගොඩ නැගී ඇත. ඔබ සිතන පරිදි නෞකාව මුහුදුබත් වූයේ කුමන හේතුවක් නිසාද?
ටයිටැනික් නෞකාව ගිලීයාම අනතුරක් ද? එසේ නැතිනම් සිතා මතා සිදු කරන ලද්දක්ද? (Titanic) - Your Choice Way
Jp. මෝගන්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ටයිටැනික් නෞකාව ගිලීයාම අනතුරක් ද? එසේ නැතිනම් සිතා මතා සිදු කරන ලද්දක්ද? (Titanic) ටයිටැනික් නෞකාව ගිලීයාම අනතුරක් ද? එසේ නැතිනම් සිතා මතා සිදු කරන ලද්දක්ද? (Titanic) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, March 21, 2022 Rating: 5

0 comments:

Post a Comment