මහා මොන්ගෝලියානු අධිරාජ්‍යයේ ගමන් මග - පළමු කොටස (The Path Of The Great Mongol Empire - Part One)

මහා මොන්ගෝලියානු අධිරාජ්‍යයේ ගමන් මග - පළමු කොටස (The Path Of The Great Mongol Empire - Part One) - Your Choice Way
12 වන ශතවර්ෂය වන විට කුඩා ගෝත්‍ර කණ්ඩායම් කිහිපයකට වාසස්ථානය සැපයූ මොංගෝලියාව වර්ෂ 1206 වන විට තෙමූජින් (පසුව ජෙන්ගිස් ඛාන්) නම් ශ්‍රේෂ්ඨ මිනිසකුගේ දූරදර්ශී නායකත්වය යටතේ එක්සත් වනු ලැබීය. ඉන්පසු එය ඉතිහාසය මෙතෙක් දැක තිබූ විශාලතම භූමි අධිරාජ්‍යය බවට පත් කිරීමට තෙමුජින් නම් මේ මිනිසා සමත් විය. එය කොරියාවේ සිට යුක්රේනය දක්වාත්, සයිබීරියාවේ සිට දකුණු චීනය දක්වාත් විහිදී ගිය බව පැවසේ. ඒ අයුරින් මේ මහා මොන්ගෝලියානු අධිරාජ්‍යය (1206-1368) ආරම්භ කරන ලද්දේ මොන්ගෝලියානු ජනතාව පළමු 'මහා ඛාන්' හෝ 'විශ්ව පාලකයා' ලෙස හදුන්වනු ලබන ජෙන්ගිස් ඛාන් (1206-1227) විසිනි. ජෙන්ගිස් ඛාන්ගේ නායකත්වය යටතේ ඉතිහාසයේ විශාලතම අධිරාජ්‍යය බවට එය පත්විය.

දක්ෂ අශ්වාරෝහකයන් සහ දුනුවායන් වූ මොංගෝලියානුවන් මධ්‍යම ආසියාවේ සහ ඉන් ඔබ්බෙහි ඉරානය, රුසියාව, නැගෙනහිර යුරෝපය, චීනය සහ තවත් බොහෝ ස්ථානවල හමුදාවන් සුනුවිසුනු කර දැමීමට සමත් විය. ජෙන්ගීස්ගෙන් පසුව ඒ මහා අධිරාජ්‍යය පාලනය කළ පුද්ගලයින් අධිරාජ්‍යය කොටසක් හතරකට බෙදා පාලනය කළ බව කියැවේ. කුබ්ලායි ඛාන් විසින් පිහිටුවන ලද චීනයේ මොන්ගෝලියානු යුවාන් රාජවංශය (1271-1368) එයින් වඩාත්ම බලවත්ම රාජ වංශය බවට පත් විය. නමුත් ඉන් පසුව කෙමෙන් අධිරාජ්‍යය බිඳ වැටීම ආරම්භ වූ අතර මොන්ගෝලියානුවන් ඉතා පහසුවෙන් යටපත් කළ හැකි සමාජ කොටසක් බවට පත් වූ අතර බොහෝ දෙනෙක් සාම්ප්‍රදායික ෂැමේනිස්වාදයේ සිට ටිබෙට් බුද්ධාගමට හෝ ඉස්ලාමයට පරිවර්තනය වූහ. එමෙන්ම අධිරාජ්‍යය කොටස් හතරකට බෙදා පාලනය කළ පාලකයන් අතරද නිතර ගැටුම් ඇති විය. 

කල්පවත්නා වාස්තු විද්‍යාත්මක නිර්මාණ හෝ දේශපාලන ආයතන නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මොන්ගෝලියානුවන් ප්‍රසිද්ධියක් උසුලන්නේ නැතත් පුළුල් වෙළඳ මාර්ග, රාජ්‍ය තාන්ත්‍රික තානාපති කාර්යාල සහ නැගෙනහිර හා බටහිර ලෝකයන් සම්බන්ධ කිරීම මගින් ලෝක සංස්කෘතියට මොංගෝලියානුවන් සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. අද සිට අප ඒ මහා මොංගෝලියානු අධිරාජ්‍යයේ නැගීම සහ බිඳ වැටීම පිළිබඳව අවධානය යොමු කරමු.

අධිරාජ්‍යයක් වීමට ප්‍රථම මොන්ගෝලියානුවන් බැටළුවන්, එළුවන්, අශ්වයන්, ඔටුවන් ආදී සතුන් බලා ගන්නා පුද්ගලයින් විය. මොවුන් කුඩා ගෝත්‍ර කණ්ඩායම් ලෙස ජීවත් වූ අතර කාලගුණය වෙනස් වන විට මොවුන්ද තම වාසස්ථාන වෙනස් කර ගනිමින් තැනින් තැනට යමින් ජීවත් විය. මොන්ගෝලියාවේ දේශගුණය බොහෝ විට කටුක එකක් විය. මේ නිසා ඔවුන් භාවිතා කලේ බැටළුවන්ගේ හෝ වෙනත් සතුන්ගේ ලොම් වලින් සාදන ලද ඇදුම් වන අතර එම ඇදුම් උණුසුම් මෙන්ම කල් පවතින ඒවා විය. 

මොන්ගෝලියානුවන්ගේ ආහාර බොහෝ විට කිරි මත පදනම් වූ අතර චීස්, බටර් සහ වියළි කළ කිරි (කුරුට්) ප්‍රධාන ආහාර විය. ඊට අමතරව ඔවුන් කිරි වලින් සාදා ගත් කුමිස් නැමති මෘදු මත්පැන් වර්ගයක්ද භාවිතා කළ බව කියැවේ. එමෙන්ම පලතුරු වර්ග මෙන්ම දඩයම් කර ලබා ගන්නා ලද මස් ද ආහාර ලෙස ලබා ගත් බවට සදහන් වේ. 

අනෙකුත් සමකාලීන ආසියානු සංස්කෘතීන්ට වඩා මෙහි කාන්තාවන්ට වැඩි අයිතිවාසිකම් සහ දේපළ හිමිකම සහ උරුමයක් තිබූ බව දැක ගත හැක. අනෙක් සංස්කෘතීන් වල සාමාන්‍යයෙන් මිනිසුන් දඩයම් කිරීම සහ කාන්තාවන් ඉවුම් පිහුම් කටයුතු කිරීම දැක ගත හැකි වුවද මොංගෝලියාව තුළ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම දුන්නක් භාවිතා කිරීම සහ අසුන් පැදීම ඇතුළු කාර්යයන් සිදු කළ බව දැකිය හැකිය. කාන්තාවන් බොහෝ විට සත්ව පාලනය, කදවුරු සකස් කිරීම, ගෝත්‍රයේ කරත්ත පැදවීම, දරුවන් බලා ගැනීම, ආහාර පිළියෙල කිරීම සහ අමුත්තන්ට විනෝදාස්වාදය ලබා දීම ආදී කටයුතු සිදු කරන ලදී. එමෙන්ම මහා ඛාන්වරුන්ගේ පාලන සමය තුළ කාන්තාවන් කිහිප දෙනෙකුම රාජ්‍යයේ ඉහළම තනතුරු හෙබවූ බව සදහන්ය. කාන්තාවන් ක්‍රියාකාරීව සම්බන්ධ වූ මොන්ගෝලියානු ජීවිතයේ තවත් අංශයක් වූයේ ආගමයි.

මොන්ගෝලියානුවන්ගේ ආගමට පූජනීය ග්‍රන්ථ හෝ විශේෂිත උත්සව නොතිබූ අතර එය ආත්ම වන්දනාව, මුතුන් මිත්තන්ට නමස්කාරය සහ ෂැමේනියම්වාදයේ සංකලනයකි. එමෙන්ම ඔවුන් ගින්න, පොළොව සහ ජලය යන මූලද්‍රව්‍යයන්, කඳු වැනි ආකර්ෂණීය භූගෝලීය ස්ථාන සහ කුණාටු වැනි ස්වාභාවික සංසිද්ධි වලටද ආත්මයන් ඇති බවට සලකන ලදී. මොවුන්ගේ ආගමික නායකයින් ෂමාන්වරුන් ලෙස හැඳින්වූ අතර ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ෂාමන්වරයකු බවට පත් විය හැක. ෂාමන්වරුන්ට ආත්මයන් සමග සන්නිවේදනය කිරීමට, නැති වූ ආත්ම සොයා ගැනීමට සහ අනාගතය පිළිබඳව පැවසීමට හැකි බව ඔවුන් විශ්වාස කරන ලදී. ඊට අමතරව ක්‍රිස්තියානි ධර්මය සහ 14 වන සියවසේ සිට ටිබෙට් බුදුදහම ද එහි ප්‍රචලිත විය. ඊට අමතරව බටහිර ප්‍රදේශ තුළ ඉස්ලාම් ධර්මය ද වර්ධනය විය.

නමුත් ඒ සියල්ලන්ටම වඩා ඔවුන් සශ්‍රීකත්වය නියෝජනය කළ එටුජන් (ඉටුගන්) ලෙස හැඳින්වෙන මව් දේවතාවිය එසේත් නැතිනම් පෘථිවිය සහ ටෙන්ග්‍රි (ගොක් මොන්ග්කේ ටෙන්ගරි) ‘නිල් අහස’ හෝ ‘සදාකාලික ස්වර්ගය’ නියෝජනය කරන දේවතාවිය යන ඔවුන්ගේ ප්‍රධාන දේවතාවන් ද්විත්වය වන්දනා කරන ලදී. ඔවුන් මෙම දේවතාවන් ඔවුන්ගේ ආරක්ෂක දෙවිවරුන් ලෙස සැලකූ අතර මෙම දෙවිවරුන් මොන්ගෝලියානු ජනතාවට මුළු ලෝකයම පාලනය කිරීමේ දිව්‍යමය අයිතියක් ලබා දී ඇතැයි විශ්වාස කරන ලදී. පසු කලෙක ජෙන්ගිස් ඛාන් සහ ඔහුගේ අනුප්‍රාප්තිකයන් සමස්ත ආසියානු මහාද්වීපයම පාහේ යටත් කර ගනිමින් ඉතිහාසයේ මෙතෙක් දැක ඇති විශාලතම අධිරාජ්‍යය නිර්මාණය කරමින් විශාල විනාශකාරී ක්‍රියාවන් සිදු කළේ මෙම දිව්‍යමය වාක්‍ය නිසාය.

සංචාරක ගෝත්‍රිකයන් වූ මොංගෝලියානුවන් ස්වාභායෙන්ම දුෂ්කර දිවියකට හුරුවී සිටි අතර කුඩා කාලයේ සිටම අශ්වයින් පැදීමට සහ දුනු විදීමට පුහුණුව ලැබීය. ඔවුන් සතුව තිබූ මෙම ගුණාංග සහ ඊට අමතරව දීර්ඝ සහ කටුක ගමන් දරා ගැනීමට ඇති හැකියාව, වේගවත් බව, අවම සැපයුම් වලින් දීර්ඝ කාලයක් ජීවත් වීමට ඇති හැකියාවත් නිසා ඔවුන් විශිෂ්ට රණශූරයන් බවට පත්විය. ඊට අමතරව ඔවුන්ගේ කාන්තාවන් පවා කඳවුරු සෑදීම හා ප්‍රවාහනය වැනි කාර්යයන් වලදී මොන්ගෝලියානු හමුදාවට උදව් කරන ලදී. මෙසේ විසිරී පවතින ගෝත්‍ර සහ ගෝත්‍රිකයින් එක්සත් කළ හැකි නම් මොන්ගෝලියානුවන්ට ලෝකයම වුවද යටත් කරගත හැකි බව පළමු මොන්ගෝලියානු නායක ජෙන්ගිස් ඛාන් හොදින් වටහා ගන්නා ලදී.

අප ජෙන්ගිස් ඛාන් පිළිබඳව මීට පෙර ලිපියකින් සවිස්තරාත්මකව තොරතුරු ගෙන එන ලදී. ඔබට එම ලිපිය පහතින් කියවිය හැකිය.

මුළු ආසියානු මහාද්වීපයම දශක දෙකකටත් වඩා අඩු කාලයක දී උඩු යටිකුරු කිරීමට ජෙන්ගිස් ඛාන් තම ආක්‍රමණ වලින් සමත් විය. නමුත් නොදන්නා රෝගයකින් ජෙන්ගිස් ඛාන් 1227 අගෝස්තු මස18 දින මිය ගිය අතර ඒ වන විට ඔහු ඉතිහාසයේ බිහි වූ විශාලතම අධිරාජ්‍යය බිහි කොට අවසන්ය.

තම අධිරාජ්‍යය ඔහුගේ පුතුන් සිව්දෙනා වන ජෝචි, චගතායි (චාගාඩයි), ටොලුයි (තලූයි) සහ ඔගෙඩෙයි (ඔගොඩෙයි) අතර බෙදී යා යුතු යැයි ජෙන්ගිස් ඛාන් නියම කර තිබුණි. තම පියාගෙන් පසු මහා ඛාන් තනතුරට සුදුසුකම් ලබා සිටියේ ජෝචි වුවද ඔගෙඩෙයි නව මහා ඛාන් (1229-1241) සහ සියලු මොංගෝලියානුවන්ගේ පාලකයා බවට පත්විය. 

දෙවන කොටසින් හමුවෙමු...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මහා මොන්ගෝලියානු අධිරාජ්‍යයේ ගමන් මග - පළමු කොටස (The Path Of The Great Mongol Empire - Part One) මහා මොන්ගෝලියානු අධිරාජ්‍යයේ ගමන් මග - පළමු කොටස (The Path Of The Great Mongol Empire - Part One) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 01, 2022 Rating: 5

0 comments:

Post a Comment