Your Choice Way

වාර්තාගත ඉතිහාසය තුළ සිදු වූ මහා කොල්ලකෑම් වලින් එකක් වූ බ්‍රිතාන්‍යය, ඉන්දියාවෙන් ඩොලර් ට්‍රිලියන 45 ක් සොරකම් කළ ආකාරය සහ එමගින් ඉන්දියාව දරිද්‍රතාවයට පත් වූ අයුරු (India)

වාර්තාගත ඉතිහාසය තුළ සිදු වූ මහා කොල්ලකෑම් වලින් එකක් වූ බ්‍රිතාන්‍යය, ඉන්දියාවෙන් ඩොලර් ට්‍රිලියන 45 ක් සොරකම් කළ ආකාරය සහ එමගින් ඉන්දියාව දරිද්‍රතාවයට පත් වූ අයුරු (India) - Your Choice Way

"ඉතිහාසය සැමවිටම වැරදි ලෙස ලියා ඇති අතර එම නිසා සෑම විටම එය නැවත නැවත ලිවිය යුතුය." - ජෝර්ජ් සන්ටායනා

“රන් කුරුල්ලා” (Golden Bird) යන අන්වර්ථ නාමයෙන් අතීතයේ හැඳින්වූ ඉන්දියාවට අතීතයේ ගෝලීය ධනයෙන් 25%ක තරම් විශාල කොටසක් අයත් විය. නමුත් මෙසේ සමෘද්ධිමත් රටක්ව පැවති ඉන්දියාව 1947දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබන විට ලෝකයේ ඉතා දිළිඳු රටක් බවට පත් විය.  අද අප මෙම ලිපියෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් ඉන්දියාව වැනි පෙර සමෘද්ධිමත් ජාතීන් ගණනාවක් සමූල ඝාතනය කිරීමට දායක වූයේ කෙසේද යන්න පිළිබඳව විමසා බලමු.

අනෙක් අතට බ්‍රිතාන්‍යයන්ද මෙහි වගකීම භාර ගැනීමට අකමැති ය. 2014දී සිදු කරන ලද මත විමසුමකට අනුව බ්‍රිතාන්‍ය පුරවැසියන්ගෙන් අඩකට වඩා ප්‍රකාශ කර සිටියේ යටත් විජිතකරණ වැඩපිළිවෙළ මගින් යටත් විජිතවලට ප්‍රතිලාභ ලබා දුන් නමුත් එමගින් බ්‍රිතාන්‍යයට හානියක් වූ බවයි. ඉතිහාසඥයෙකු වූ නියාල් ෆර්ගියුසන් සහ හිටපු බ්‍රිතාන්‍ය අගමැතිවරයෙකු වූ ඩේවිඩ් කැමරන්ද මෙම මතය අනුමත කළහ. ඔවුන් ප්‍රකාශ කර සිටියේ මෙලෙස යටත්විජිත පවත්වාගෙන යාමට බ්‍රිතාන්‍යයට අධික ලෙස වියදමක් දැරීමට සිදු වූ බවයි. එමෙන්ම මෙම සමීක්ෂණයන් තවදුරටත් හෙළි වූයේ බ්‍රිතාන්‍ය ජනගහනයෙන් අඩක් පමණ තවමත් විශ්වාස කරන්නේ බ්‍රිතාන්‍යය විසින් මෙම යටත් විජිත පිහිටුවන ලද්දේ අදාල යටත්විජිත ශිෂ්ඨ සම්පන්න සමාජයක් බවට පත් කිරීම සදහා බවයි.

ඉන්දියාවේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයකු වන උට්සා පට්නායික් විසින් 2018 දී පලකරන ලද ලිපියකට අනුව බ්‍රිතාන්‍යන්  විසින් පවසන ලද මෙම කරුණු තරයේ ප්‍රතික්ෂේප කරයි. ශතවර්ෂ දෙකකට ආසන්න කාලයක් තුළ නිවැරදි බදු සහ වෙළඳ දත්ත පදනම් කරගෙන 1765 සිට 1938 දක්වා කාලය තුළ බ්‍රිතාන්‍යය විසින් ඉන්දියාවෙන් ඩොලර් ට්‍රිලියන 45 කට ආසන්න මුදලක් කොල්ල කෑ බවට පට්නායික් විසින් මෙහිදී ප්‍රකාශ කරන ලදී. මෙම මුදල වර්තමාන බ්‍රිතාන්‍යයේ සහ ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතයට වඩා 17 ගුණයකටත් වඩා වැඩි අගයකි.

එමෙන්ම 2015 දී එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් ශෂි තරූර් ඔක්ස්ෆර්ඩ් සරසවියේ දේශනයකදී බ්‍රිතාන්‍ය රජයෙන් මෙම සොරකම වෙනුවෙන් වන්දි ඉල්ලා සිටියේය. පසුව ශෂි තරූර් විසින් රචිත "Inglorious Empire" නම් ග්‍රන්ථයේදී ඔහු වැඩිදුරටත් බ්‍රිතාන්‍යන් විසින් සිදු කළ මෙම කොල්ලය පිළිබඳව සෑම අවස්ථාවක්ම විස්තර කළේය. ඔහු එහිදී හිටපු බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් හැඳින්වූයේ “දරුණුතම ජන සංහාරක් සිදුකළ ඒකාධිපතියෙකු” ලෙස ය. එමෙන්ම දෙවන ලෝක යුද්ධ සමයේ ඉන්දියානු හමුදා සෙබළුන් දහස් ගණනක් මිය යාම සම්බන්ධයෙන්ද චර්චිල් වගකිව යුතු බව ඔහු මෙම ග්‍රන්ථයේ දී  තරයේම චෝදනා කරන ලදී.

1600 ගණන් වලදී නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගම ඉන්දියාවට පැමිණි අතර එහිදී ඔවුන් ලන්දේසි හා පෘතුගීසීන් සමඟ සටන් කළේය. පසුව ඔවුන් ඉන්දියාවේ තම කර්මාන්තශාලා ඉදිකිරීම ආරම්භ කරන ලදී. ඔවුන් මුලින් ඉන්දියාවේ ප්‍රධාන වෙරළබඩ නගර වන සූරත්, බොම්බේ, මදුරාසි, මසුලිපට්ටම් සහ බෙංගාලයේ කර්මාන්තශාලා ආරම්භ කළහ. ඉන්පසු මෙම නගර නැගෙනහිර ඉන්දියා සමාගමේ වෙළඳ මධ්‍යස්ථාන බවට පත් විය.

මුලදී ඔවුන් ඉන්දියානු නිෂ්පාදකයින්ගෙන් රිදී සහ රත්‍රන් මගින් ගෙවීම් සිදු කරමින් රෙදිපිළි සහ සහල් මිලදී ගත් අතර පසුව ඒවා යුරෝපීය වෙළඳපොළට වැඩි මිලකට අලෙවි කළහ.  මුලදී මෙම වෙළඳාම මගින් බ්‍රිතාන්‍යයන්ට මෙන්ම දේශීය ඉන්දියානු වෙළඳපොළටද ප්‍රයෝජනවත් විය.

කෙසේ වෙතත් නැගෙනහිර ඉන්දියා සමාගම දිගටම මෙලෙස වෙළඳාම් සිදු කළේ නැත. 1764 දී බක්සාර් සටනේ ජයග්‍රහණයෙන් පසු නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගම විසින් මුලින් බෙංගාලයේ බදු එකතු කිරීමේ අයිතිය අත්පත් කර ගත් අතර, පසුව එය ක්‍රමානුකූලව උප මහාද්වීපය පුරා ව්‍යාප්ත විය. පසුව ඔවුන් බදු ආදායමෙන් 1/3 කොටසක් ඉන්දියාවේ ආයෝජනය කරනවා වෙනුවට එය භාණ්ඩ මිලදී ගැනීම සඳහා භාවිතා කරන ලදී. මෙය එම මහා කොල්ලයේ ආරම්භයයි.

බදු එකතු කිරීමේ අයිතිය ලබා ගත් පසු ඔවුන් ඉන්දියානු සමාගම් වලින් ලබා ගත් බදු වලින් ඉන්දියානු භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණක් භාවිතා කළ අතර එමගින් ඉන්දියානුවන් පුළුල් ලෙස සූරාකෑමට ලක් විය. මෙය අතිවිශාල වංචාවකි. මීට පෙර ඔවුන් රන් හා රිදී වලින් ගෙවීම් සිදු කර ඉන්දියානු භාණ්ඩ මිලදී ගත් අතර එහෙත්  දැන් ඔවුන් එම භාණ්ඩ නොමිලයේ ගෙන 100% ලාභයක් උපයා ගන්නා ලදී.

නමුත් දීර්ඝ කාලයක් යන තුරු ඉන්දියානු නිෂ්පාදකයින් මේ පිළිබඳව දැන සිටියේ නැත. බදු එකතු කිරීම සහ භාණ්ඩ නිෂ්පාදන දෙපාර්තමේන්තු පරිපාලනය කරනු ලැබුවේ විශේෂ බලධාරීන් දෙදෙනෙකු වීම එයට හේතුවයි. බ්‍රිතාන්‍යයන් විසින් කාර්මික විප්ලවය ඇති කිරීම සඳහා අවශ්‍ය යකඩ හා දැව වැනි උපායමාර්ගික අමුද්‍රව්‍ය මිලදී ගැනීම සදහා මෙම දැවැන්ත ලාභය භාවිතා කරන ලදී. ඒ අනුව බලනකල පෙනී යන්නේ බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවය ආරම්භ වීමට හේතු වී ඇත්තේද නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගම විසින් ඉන්දියාව ඇතුළු යටත් විජිත රටවලින් සොරකම් කරන ලද ධනයෙන් බවයි.

පසුව 1858 දී බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව විසින් ඉන්දියාවේ පාලනය නිල වශයෙන් අත්පත් කර ගන්නා ලදී. ඉන්පසු ඔවුන් නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගම සතුව තිබූ ඒකාධිකාරය අහෝසි කළ අතර ඉන්දියානු නිෂ්පාදකයින්ට ඔවුන්ගේ නිෂ්පාදන සෘජුවම අපනයනය කිරීමට අවසර ලබා දෙන ලදී.  කෙසේ වෙතත් මෙය ඉන්දියානුවන් ව්‍යාකූල කිරීමේ බ්‍රිතාන්‍යයේ තවත් උපක්‍රමයක් විය.

මෙවර ඔවුන් සිදු කළේ වෙනත්ම දෙයකි. නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගමෙහි ඒකාධිකාරය අවසන් වූ පසු ඉන්දියානු නිෂ්පාදකයින් ඔවුන්ගේ නිෂ්පාදන අපනයනය කිරීමට පටන් ගත්හ.  කෙසේ වෙතත් රන් හා රිදී වෙනුවට බ්‍රිතාන්‍ය වෙළෙන්දන් ඉන්දියානු අපනයනකරුවන්ට “විශේෂ බිල්පත්” මගින් ගෙවීම් කිරීමට පටන් ගන්නා ලදී. මෙම විශේෂ බිල්පත් චෙක්පත් වලට සමානව ක්‍රියාත්මක වූ අතර ඉන්දීය නිෂ්පාදකයින්ට යටත් විජිත කාර්යාලවලින් ඒවාට අදාල මුදල් ලබා ගැනීමට හැකි විය. එහෙත් බ්‍රිතාන්‍ය නිලධාරීන් මෙවරද සිදු කළේ ඉන්දියාවේ බදු ආදායමෙන් එකතු කර ගත් මුදල් භාවිතා කරමින් ඔවුන්ට ගෙවීම් සිදු කිරිමයි. ඔවුන් සැබැවින්ම සිදු කළේ ඉන්දියානුවන්ගේ මුදල් යළි ඔවුන්ටම ලබා දීමයි.

මෙම ප්‍රතිපත්තියේ මූලික පරමාර්ථය වූයේ බ්‍රිතාන්‍යයේ සිට ඉන්දියාවට රත්‍රන් හෝ වෙනත් කිසිදු මූල්‍ය සම්පතක් පැමිණීම වැළැක්වීමයි. එක්සත් ජාතීන්ගේ දත්ත වලට අනුව 1900 සිට 1928 දක්වා කාලය තුළ ඉන්දියාවේ වෙළඳ භාණ්ඩ අපනයන අගය ලෝකයෙන්ම දෙවැනි තැනට පත් වී තිබූ අතර ඔවුන් එකල එක්සත් ජනපදයටත් වඩා ඉදිරියෙන් සිටින ලදී. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයන්ගේ වංක හා සදාචාර විරෝධී ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව ලෝකයේ දිළිදුම රටක් බවට පත් විය.

මෙවැනි විශාල කොල්ලකෑම් වලට අමතරව බ්‍රිතාන්‍යයන් විසින් ඔවුන්ගේ වෙළද ප්‍රතිපත්ති වරින්වර වෙනස් කරමින් ඉන්දියානු ආර්ථිකය තවත් විනාශ කරන ලදී. මෙමගින් මහත් පීඩාවට පත් වූ එක් ක්ෂේත්‍රයක් වූයේ ඉන්දියානු රෙදිපිළි කර්මාන්තයයි.

17 වන සියවසේ අග භාගය වන තෙක් ඉන්දියානු රෙදිපිළි කර්මාන්තය ඉතා දියුණු එකක් විය.  එක්සත් රාජධානිය ඇතුළු ලොව පුරා රටවල් බොහෝමයක ඉන්දියානු අත්කම් රෙදිපිළි සඳහා ඉහළ ඉල්ලුමක් පැවතුණි. කෙසේ වෙතත් එක්සත් රාජධානියේ සිදු වූ කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස ඉන්පසු ඔවුන්ටද යන්ත්‍රවලින් සාදන ලද ලාභදායී ඇඳුම් සාදා ගත හැකි විය.

බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ඇඳුම් ප්‍රවර්ධනය කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් ආනයනය කරන ලද ඉන්දියානු රෙදිපිළි සඳහා ඉහළ තීරුබදු පැනවූ අතර එම නිසා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ඇදුම් හා සංසන්දනය කිරීමේදී ඒවා ඉතා ඉහළ මිලක් ගන්නා ලදී. මේ නිසා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ඇදුම් සමග හොඳ තරඟයක් ලබා දීමට ඒවට නොහැකි විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස අඩු වියදම් යන්ත්‍ර සූත්‍ර රට තුළට පැමිණීම සහ ගෘහස්ථ අත්යන්ත්‍ර මගින් නිපදවූ ඇඳුම් සඳහා ඇති ඉල්ලුම අඩු වීම සිදු වූ අතර අවසානයේ ඉන්දියානු රෙදිපිළි කර්මාන්තයේ බිඳ වැටීමට මෙය හේතු විය.

බ්‍රිතාන්‍යයේ අසාධාරණ වෙළඳ ප්‍රතිපත්ති මගින් සාම්ප්‍රදායික ඉන්දියානු රෙදිපිළි කර්මාන්තය විනාශ වී ගිය අතර ඉන්දීය ආර්ථිකය ‘කාර්මිකකරණය’ වීම සිදුවිය. කාර්මිකකරණය ඉන්දියානු ආර්ථිකය විනාශ කළා පමණක් නොව කෘෂිකාර්මික කර්මාන්තයට ද එයින් විශාල පහරක් එල්ල විය.

බ්‍රිතාන්‍යයන් ඉන්දියාවෙන් ලද ආදායම ඉන්දියාවේ සංවර්ධනය සඳහා යොදා ගැනීමට වඩා යටත් විජිත අභිලාෂයන් ඉටු කිරීම සඳහා යොදා ගන්නා ලදී.  නිදසුනක් වශයෙන්, 1840 ගණන් වලදී බ්‍රිතාන්‍යයයේ චීන ආක්‍රමණ ව්‍යාපාරයට මුදල් යෙදවීමට සහ 1857 දී ඉන්දියානු කැරැල්ල මැඩපැවැත්වීමට ඔවුන් ඉන්දියානු මුදල් භාවිතා කරන ලදී. උස්තාසව් පට්නායික් පවසන පරිදි ‘ඉන්දියාව යටත් විජිත කිරීමෙන් පසු බ්‍රිතාන්‍යය විසින් කරන ලද සෑම සටනකටම පාහේ මුදල් යෙදවූයේ ඉන්දියානු බදු ගෙවන්නන් විසින් ලබා දෙන ලද මුදල් වලිනි.’ ඊට අමතරව යුරෝපයේ, කැනඩාවේ සහ ඕස්ට්‍රේලියාවේ ඔවුන්ගේ ධනවාදී න්‍යාය පත්‍රය පුළුල් කිරීම සඳහා ඉන්දියාවෙන් උපයන ලද ආදායම ඔවුන් උපයෝගී කර ගත්හ.

මේ අනුව බලන කල බටහිර ලෝකයේ කාර්මිකකරණය, ඉන්දියාව ඇතුළු යටත් විජිත රටවලින් කොල්ලකන ලද මුදල් මත රඳා පැවති බව අපට නිසැකවම පැවසිය හැකිය. ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍යයට ඩොලර් ට්‍රිලියන 45 ක මුදලක් ගලා ගිය බව පැවසුවද සත්‍ය වශයෙන්ම ඔවුන් ඊට වඩා සම්පත් ප්‍රමාණයක් කොල්ල කා ගෙන ඇති බව හොඳටම පැහැදිලිය. එනම් බ්‍රිතාන්‍යයන් විසින් ‘ගිවිසුම්ගත කම්කරුවන්’ භාවිතයෙන් ඉන්දියාවේ මානව සම්පතද අධික ලෙස සූරාකෑමට ලක් වීම මෙම වාර්තා වල සටහන්ව නොතිබීමයි.

පළමු සහ දෙවන ලෝක යුද්ද දෙකෙහිදීම මිත්‍ර පාර්ශවයේ සටන් කිරීමට බ්‍රිතාන්‍යයන් ඉන්දියානු හමුදා සෙබළුන් යවා ඇත.  ඉන්දියානු සොල්දාදුවන්ට මෙම යුද්ධයේදී සටන් කිරීමට කිසිදු කැමැත්තක් නොතිබුණද බ්‍රිතාන්‍ය රජතුමා විසින් ඔවුන්ට එසේ කිරීමට බල කරන ලදී. ශෂි තරූර්ට අනුව මෙම යුද්ධ සදහා සහභාගි වූ බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගෙන් හයෙන් එකක් පමණ ඉන්දියානු සම්භවයක් ඇති සොල්දාදුවන් වූ අතර දෙවන ලෝක යුද්ධයේදී පමණක් ඉන්දීය සොල්දාදුවන් 54,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇත. දෙවන ලෝක යුධ සමයේදී පමණක් අදාල යුධ වියදම් සදහා පමණක් බ්‍රිතාන්‍යයන් ඉන්දියාවෙන් ඩොලර් මිලියන 100කට වඩා වැඩි මුදලක් ලබා ගෙන ඇති බව ගණන් බලා තිබේ.

මෙතරම් කරුණු තිබියදීත් බ්‍රිතාන්‍ය ජනගහනයෙන් බොහෝ කොටසක් දිගින් දිගටම කියා සිටින්නේ බ්‍රිතාන්‍යය විසින් එම රටවල් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව ඇතුළු අනෙක් යටත් විජිත රටවල්, යටත් විජිත ලෙස පවත්වාගෙන සිටි බවයි.

එමෙන්ම බොහෝ බ්‍රිතාන්‍ය ආර්ථික විශේශඥයන් ප්‍රකාශ කරන්නේ එකල බ්‍රිතාන්‍ය පාඩු ලැබූ බවයි. නමුත් මෙම කාලයේ කලින් සදහන් කළ පරිදි බ්‍රිතාන්‍යයන් 100% ලාභයක් තබා ගෙන ඉන්දියාවෙන් භාණ්ඩ ලබා ගන්නා ලදී. මෝගල් අධිරාජ්‍යයේ පරිහානිය හේතුවෙන් බ්‍රිතාන්‍යයන් පැමිණීමට පෙර සිටම ඉන්දියානු ආර්ථිකය කඩා වැටී තිබූ බව තවත් බ්‍රිතාන්‍ය ඉතිහාසඥයින්ගේ මතයකි. එහෙත් ලෝකයේ දෙවන විශාලතම වෙළඳ භාණ්ඩ අපනයනය තිබියදීත් ඉන්දියාව දුප්පත් රටක් වූයේ කෙසේද යන්න බ්‍රිතාන්‍යයන්ට තවමත් පැහැදිලි කළ නොහැක.

බ්‍රිතාන්‍ය ඉතිහාසඥයින් විසින් ඉදිරිපත් කරන ලද තවත් තර්කයක් නම් නවීන අධ්‍යාපනය, දුම්රිය මාර්ග, තැපැල් ක්‍රමය සහ නවීන පරිපාලන ක්‍රම හඳුන්වා දීමෙන් බ්‍රිතාන්‍යයන් ඉන්දියාවේ සංවර්ධනයට දායක වූ බවයි.  මෙය ඇත්ත වශයෙන්ම ඉන්දියාවට ප්‍රයෝජනවත් විය.

එහෙත් ඉන්දියාව යනු බ්‍රිතාන්‍යය සතුව තිබූ ධනවත්ම යටත් විජිතය වූ බැවින් බ්‍රිතාන්‍යයන්ට ඉන්දියාවේ සන්නිවේදනය වැඩිදියුණු කිරීමට සහ එහි ශක්‍යතාවන් පූර්ණ ලෙස ප්‍රයෝජනයට ගැනීමට නිසි පරිපාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය විය.  මේවා මූලික වශයෙන් හඳුන්වා දී ඇත්තේ ඉන්දියාවේ සංවර්ධනය සදහා නොව ‘බ්‍රිතාන්‍ය අවශ්‍යතා’ ඉදිරියට ගෙනයාම සඳහා බැවින් ඔවුන්ට එසේ පැවසීමට සදාචාරාත්මක අයිතියක් නොමැත. එමෙන්ම බ්‍රිතාන්‍ය පරිපාලන සේවා සදහා අවශ්‍ය පුද්ගලයන් බඳවා ගැනීම සදහා බ්‍රිතාන්‍යයන් නවීන අධ්‍යාපනය ඉන්දියාවට හඳුන්වා දෙන ලදී. එමගින් ඔවුන්ගේ මූලික පරමාර්ථය වූයේ පහළ මට්ටමේ ලිපිකරුවන් බිහි කිරීම සහ ආගම ප්‍රචාරය යි.

බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව තරයේ කියා සිටියේ ඔවුන් ඉන්දියාව සංවර්ධනය කිරීම සඳහා ඔවුන් ඉන්දියාව යටත් විජිතකරණය කළ බවයි.  කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයේ වසර 200 ක කාලය තුළ ඉන්දියානු ආර්ථිකය විශාල ලෙස විනාශ විය.  දහනව වන ශතවර්ෂයේ දෙවන භාගයේදී ඉන්දියාවේ ජාතික ආදායම අඩකින් පමණ අඩුවිය.  1870 සිට 1920 දක්වා කාලය තුළ ඉන්දියාවේ සාමාන්‍ය ආයු අපේක්ෂාව පහෙන් එකකින් අඩු විය.

එමෙන්ම බ්‍රිතාන්‍ය පාලන ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ දැවැන්ත සාගත ඇති වූ අතර, ඒ අතුරින් වඩාත්ම දරුණු සාගතය වූයේ 1943 ඇති වූ සුප්‍රසිද්ධ බෙංගාල සාගතයයි. එමගින් ආසන්න වශයෙන් මිලියන 3 කට අධික ජනතාවක් මිය යන ලදී. 

අනෙක් රටවල් මෙන් ඉන්දියාව ඇතුළු අනෙකුත් යටත් විජිත රටවලටද තම රටවලින් ලද ආදායම් තම රට තුළම රදවා ගැනීමට හැකියාවක් ලැබුණේ නම් ඉතිහාසය මීට වඩා බෙහෙවින් වෙනස් වීමට ඉඩ තිබුණි. එසේ වී නම් වර්තමානය වන විට ආර්ථික අතින් බොහෝ විට එම රටවල් ඉදිරියෙන් සිටීමට ද ඉඩ ඇත.

අද එක්සත් රාජධානියට මේ පිළිබඳව සිදු කළ හැක්කේ කුමක්ද?  සමාව ඉල්ලීමද? එසේත් නැතිනම් එම යටත් විජිත රට වලට වන්දි ගෙවීමද? නමුත් යථාර්ථය නම් වන්දි වශයෙන් ඩොලර් ට්‍රිලියන 45 ක් ගෙවීමට තරම් හැකියාවක් වර්තමානයේ බ්‍රිතාන්‍යයට නොමැති වීමය.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වාර්තාගත ඉතිහාසය තුළ සිදු වූ මහා කොල්ලකෑම් වලින් එකක් වූ බ්‍රිතාන්‍යය, ඉන්දියාවෙන් ඩොලර් ට්‍රිලියන 45 ක් සොරකම් කළ ආකාරය සහ එමගින් ඉන්දියාව දරිද්‍රතාවයට පත් වූ අයුරු (India) වාර්තාගත ඉතිහාසය තුළ සිදු වූ මහා කොල්ලකෑම් වලින් එකක් වූ බ්‍රිතාන්‍යය, ඉන්දියාවෙන් ඩොලර් ට්‍රිලියන 45 ක් සොරකම් කළ ආකාරය සහ එමගින් ඉන්දියාව දරිද්‍රතාවයට පත් වූ අයුරු (India) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, March 29, 2022 Rating: 5

0 comments:

Post a Comment