ඉතිහාසයේ තනි පුද්ගලයෙකුට මෙතෙක් ගෙවන ලද ඉහළම කප්පම් මුදල (Extortion Money)

ඉතිහාසයේ තනි පුද්ගලයෙකුට මෙතෙක් ගෙවන ලද ඉහළම කප්පම් මුදල (Extortion Money) - Your Choice Way

ධනවත් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලීම ඉක්මනින් ධනවත් වීමට වර්තමානයේද භාවිතා කරන ප්‍රචලිත උපක්‍රමයකි. නමුත් එය විශාල අවදානමක් සහ ප්‍රචණ්ඩත්වයන් රාශියක් ඇති භයානක උපක්‍රමයකි. නමුත් ස්පාඤ්ඤ ආක්‍රමණික ෆ්‍රැන්සිස්කෝ පිසාරෝ විසින් ඉන්කා අධිරාජ්‍යයා වන අටහුල්පා පැහැර ගැනීමත් සමග ගෙවන ලද කප්පම් මුදල කිසිවෙකුට සිතා ගත නොහැකි තරමේ විශාල එකකි.

ඉන්කා අධිරාජ්‍යය යනු පූර්ව කොලොම්බියානු ඇමරිකාවේ විශාලතම අධිරාජ්‍යය විය. එමෙන්ම ඉන්කාවරු සතුව දියුණු කෘෂිකාර්මික ක්‍රම, ගෘහ නිර්මාණ ශිල්ප සහ රෙදිපිළි නිෂ්පාදන ක්‍රම ද විය. ඉන්කා අධිරාජ්‍යය එහි උච්චතම අවස්ථාව වන විට වර්තමානයේ චිලී, බොලිවියාව, පේරු සහ ඉක්වදෝරය ආදී ප්‍රදේශ වලද සිය ජනාවාස පිහිටුවා ගෙන ජීවත් විය. 13 වන සියවසේ මුල් භාගයේදී ඉන්කාවරුන් ඔවුන්ගේ අධිරාජ්‍යය පිහිටු වීය. එම අධිරාජ්‍යයේ ජනගහනය මිලියන දොළහක් පමණ විය.  ඉන්කා අධිරාජ්‍යයේ නායකයා වූයේ "සාපා ඉන්කා" යනුවෙන් පදවි නාමය සහිත අධිරාජ්‍යයා ය.  ඉන්කාවරුන් ඔවුන්ගේ අධිරාජ්‍යයන් ජීවමාන දෙවිවරුන් ලෙස සැලකූ අතර ඔවුන් අධිරාජ්‍යයන්ට නමස්කාර පවා සිදු කළහ.

1492 දී ඇමරිකාව සොයාගැනීමෙන් පසු ස්පාඤ්ඤ ජාතිකයන් නව ලෝකය ආක්‍රමණය කරමින් ධනවත් වීමට පටන් ගන්නා ලදී. 1521 දී මෙක්සිකෝවේ බලවත් ඇස්ටෙක් අධිරාජ්‍යය යටත් කර ගැනීමෙන් හර්නන් කෝර්ටස් විශාල ධනවතෙකු බවට පත් විය. මේ නිසා කෝර්ටෙස් සෙසු ස්පාඤ්ඤ ආක්‍රමණිකයන්ටද ආශ්වාදයක් විය.

ෆ්‍රැන්සිස්කෝ පිසාරෝ යනු මේ අයගෙන් එක් අයෙකි. ඔහු සතුව දියුණු වීම සදහා විශාල අභිලාෂයක් පැවතුණි. මුලදී ඔහු නව ලොව තුළ තනිවම ධනය සොයා යෑමට තීරණය කලද රත්තරන්වලින් පිරුණු දේශයක් වන එල් ඩොරාඩෝ වල පුදුම සහගත කතා ඇසූ පසු ඔහු එය සොයා ගැනීම සඳහා ගවේෂනාත්මක කණ්ඩායමක් සූදානම් කරන ලදී. එලෙස 1524 දී පේරු වල සිදු කළ පළමු ගවේෂණය අසාර්ථක වූ අතර 1526 දී දෙවැන්නද එලෙසම අසාර්ථක විය. එහෙත් 1530 දී සිදු කළ තුන්වන ගවේෂණය නිසා පිසාරෝ විශාල ධනවතෙකු බවට පත් විය.

1532 නොවැම්බරයේදී පිසාරෝ සොල්දාදුවන් 168 දෙනෙකු සමඟ උතුරු පේරු හි කජමාර්කා වෙත පැමිණියේය. ඊට මාස කිහිපයකට පෙර ඉන්කා අධිරාජ්‍යයා වන අටහුල්පා (1502-1533) සිය සහෝදර හුස්කාර්ට එරෙහිව තිබූ සිවිල් යුද්ධයක් ජයගෙන තිබුණි. 

අටහුල්පාගේ මේ ජයග්‍රහණය සැමරීම සඳහා පිසාරෝ අටහුල්පාට සාදයකට ආරාධනා කරන ලදී. අටහුල්පාද සිය හමුදාවේ මිනිසුන් 80,000ට කැජමාර්කා නගරයෙන් පිටත කඳවුරු බැඳ ගන්නා ලෙස අණකොට තවත් නිරායුධ මිනිසුන් 8,000 සමග සාදයට සහභාගී වීම සදහා නගරය තුළට යන ලදී. තමාට මෙම පුද්ගලයින්ගෙන් කිසිදු හානියක් නොවන බවට ඔහුට මහත් ලෙස විශ්වාස විය.

අටහුල්පා නගර මධ්‍යයට පැමිණි වහාම පිසාරෝ ඉන්කාවරුන්ට වෙඩි තැබීම ආරම්භ කරන ලදී.  ඉන්කාවරුන් ඊට පෙර කිසි දිනක තුවක්කුවක් දැක නොතිබූ අතර මෙයින් ඔවුන් මහත් සේ භීතියට පත්විය. එම නිසා ඔවුන් කිසිදු පෙරළා පහර දීමක් සිදු කලේද නැත. මෙහිදී ඉන්කාවරුන් දහස් ගණනක් ඝාතනය කරන ලද අතර අටහුල්පා අල්ලා ගන්නා ලදී.  කජමාර්කා නගරයෙන් පිටත කඳවුරු බැඳ සිටි අටහුල්පාගේ හමුදාව භීතියට පත්ව පලා ගියහ.

මෙහිදී එක් ස්පාඤ්ඤ සොල්දාදුවෙක්වත් මිය ගියේ නැත. තුවාල ලැබුවේද පිසාරෝට පමණි. ඒ ඔහු අටහුල්පා වෙඩි තැබීම් වලින් බේරා ගැනීමට උත්සාහ කිරීමේදීය. මිය ගිය ඉන්කා අධිරාජ්‍යයාට වඩා ජීවතුන් අතර සිටින ඉන්කා අධිරාජ්‍යයා ඉමහත් වටිනා බව පිසාරෝ දැන සිටියහ.

ස්පාඤ්ඤ ජාතිකයන් රන් හා රිදී සඳහා ඉතා කෑදර බව අටහුල්පා ඉක්මනින් තේරුම් ගත්තේය. එම නිසා ඔහු තමා නිදහස් කරන්නේ නම් කප්පම් මුදලක් ලෙස පිසාරෝට රත්රන් පිරුණු කාමරයක් සහ රිදී පිරවූ තවත් කාමර දෙකක් ලබා දෙන බව පැවසීය. අටහුල්පා මෙසේ පිරවීමට පොරොන්දු වූ කාමරයේ දිග මීටර් හතක් (අඩි විසි දෙකක්) සහ පළල මීටර් පහක් (අඩි දාහතක්) විය. එහි උස මීටර් තුනක් (අඩි නවයක්) පමණ විය.

වර්තමානයේ ගිනස් වාර්තා පොතට අනුව අටහුල්පා වෙනුවෙන් ගෙවූ කප්පම් මුදල පුද්ගලයෙකුට මෙතෙක් ගෙවන ලද ඉහළම මුදලයි. එහි රන් හා රිදී වල වටිනාකම ඩොලර් බිලියන 1.5 ක් පමණ විය.

එහෙත් මෙසේ කෙතරම් ගෙවීම් සිදු කළද ස්පාඤ්ඤ ජාතිකයන් ඔහුව නිදහස් කළේ නැත. ඔවුන් ඔහුට වෙනත් චෝදනා ඉදිරිපත් කරන ලදී. ස්පාඤ්ඤයට එරෙහිව කැරැල්ලක් මෙහෙය වීම, මිථ්‍යාදෘෂ්ටිය සහ ඔහුගේ සහෝදරයා වන හූස්කාර් ඝාතනය කිරීම ගැන පිසාරෝ ඔහුට චෝදනා කරන ලදී. මේවාට දඬුවම් ලෙස ඔහුව පණ පිටින් පුළුස්සා මරා දැමීමට තීරණය කරන ලදී.

ඉන්කාවරුන් විශ්වාස කළේ සිරුරක් පුළුස්සා දැමීමෙන් පුද්ගලයෙකු මරණින් මතු ජීවිතයට ඇතුළු වීම වළක්වන බවයි.  අටහුල්පා මරණයට බිය නොවීය. එහෙත් මරණින් මතු ජීවිතය අහිමි වේ යැයි ඔහු බිය විය. එම නිසා ඔහු ක්‍රිස්තියානි ආගමට හැරීමට එකඟ වූ අතර ඒ වෙනුවට ඔහු ඉල්ලා සිටියේ පුළුස්සා මරා දමනවා වෙනුවට ගෙල සිරකර මරා දමනා ලෙසය. 

ඒ අයුරින් 1533 ජූලි 26 වන දින අවසාන සාර්ථක ඉන්කා අධිරාජ්‍යයා වූ අටහුල්පා ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් විසින් ඝාතනය කරන ලදී. සිය උත්තරීතර නායකයාගේ වියෝවෙන් පසු ඉන්කා ශිෂ්ටාචාරයේ බිද වැටීම ආරම්භ වූ අතර 1572 පමණ වෙද්දී එය අවසන්ම විය. ද්‍රෝහී පිසාරෝ සම්බන්ධයෙන් ගත් කල ඔහුට ලැබිය යුතු අවසානය ඔහුට හිමි විය. ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් විසින් 1541 දී ඔහුට පහරදී මරා දැමීය.

ඉන්කා අධිරාජ්‍යයා වන අටහුල්පා පැහැර ගැනීමෙන් ස්පාඤ්ඤ ජාතිකයින් විශාල වශයෙන් ලාභයක් ලැබීය. ඔවුන්ට රත්රන් පිරුණු කාමරයක් සහ තවත් රිදීවලින් පිරුණු කාමර දෙකක් හිමි විය. එහි වටිනාකම ඩොලර් බිලියන 1.5 පමණ වේ යැයි වර්තමානයේ ගණන් බලා ඇත. නමුත් ඒ ඍජුව ලැබුණු වාසි පමණි. ඊට අමතරව වක්‍රව තවත් වාසි රාශියක් ඔවුනට හිමි විය.

අටහුල්පා ඝාතනය කිරීමෙන් පසු ස්පඤ්ඤය ජාතිකයන්ට ඉතා පහසුවෙන් ඉන්කා ප්‍රාන්තය යටත් කර ගැනීමට හැකි විය. ඉන්කා අධිරාජ්‍යය යටත් කර ගැනීමෙන් ස්පාඤ්ඤයට අතිවිශාල ධනයක් හිමි විය. එයත් සමග ස්පාඤ්ඤ අධිරාජ්‍යය මිනිස් ඉතිහාසයේ ධනවත්ම අධිරාජ්‍යයක් බවට පත්විය. 

ඊට අමතරව ස්පාඤ්ඤය ලද තවත් විශාල ජයග්‍රහණයක් වූයේ ලොව විශාලතම රිදී නිධිය වන පොටෝසි හි රිදී පතලෙහි අයිතිය ලැබීමයි. එය ස්පාඤ්ඤ වෙනුවෙන් රිදී ටොන් 40,000 ක් නිෂ්පාදනය කළේය.  අද වටිනාකම අනුව මෙය ඩොලර් බිලියන 36 කට සමාන වේ.

ස්පාඤ්ඤ රජවරු මෙම නව ධනය ආගමික යුද්ධ සදහා වියදම් කළ අතර එමගින් භාණ්ඩාගාරය සිදී යන ලදී. මෙම නොසැලකිලිමත් වියදම් නිසා 16 වන සියවස අවසන් වන විට ස්පාඤ්ඤ රාජාණ්ඩුවට තුන් වතාවක් බංකොලොත් බව ප්‍රකාශ කිරීමට බල කෙරෙන ලදී.

ඉතිහාසයේ තනි පුද්ගලයෙකුට මෙතෙක් ගෙවන ලද ඉහළම කප්පම් මුදල (Extortion Money) - Your Choice Way

ඉතිහාසයේ තනි පුද්ගලයෙකුට මෙතෙක් ගෙවන ලද ඉහළම කප්පම් මුදල (Extortion Money) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඉතිහාසයේ තනි පුද්ගලයෙකුට මෙතෙක් ගෙවන ලද ඉහළම කප්පම් මුදල (Extortion Money) ඉතිහාසයේ තනි පුද්ගලයෙකුට මෙතෙක් ගෙවන ලද ඉහළම කප්පම් මුදල (Extortion Money) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 25, 2022 Rating: 5

0 comments:

Post a Comment