ඔලිඳ [Olinda] (Abrus Precatorius)

ඔලිඳ [Olinda] (Abrus Precatorius) - Your Choice Way

🌿 ඔලිඳ මීටර් 6 පමණ දිගට අධාරක ශාකයක් මත පැතිරී වැවෙන බහුවාර්ෂික වැලකි. 

🌿 සෙ.මි. 5 සිට 12 දක්වා දිගු විය හැකි සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍රයක සම්මුඛව පිහිටන පත්‍රිකා යුගල් 5 සිට 15 දක්වා සංඛාවක් තිබිය හැකි ය. 

🌿 පුෂ්ප මංජරිය සංයුක්ත ඒකාක්ෂයකි. ද්වී ලිංගික මල් ළා දම් පැහැතිය. ඵලය පැතලි කරලකි. මේරූ කරල පුපුරා බීජ විසිරී යයි. එක් කරලක් තුල බීජ 12 දක්වා සංඛාවක් තිබිය හැකි ය. දිලිසෙන සුලු ඕවලාකාර හැඩැති බීජවල එක් පසක් කළු පැහැති වන අතර අනෙක් පස දීප්තිමත් රතු පැහැයෙන් යුක්ත ය. බීජය සම්පූර්ණයෙන්ම කළු පැහැති ප්‍රභේදයක් ඇති අතර එය කළු ඔලිඳ සහ ඇතැම්විට පැණි ඔලිඳ නමින් ද හඳුන්වයි.

🌿 මෙම උද්භිද ගණයටම අයත් Abrus melanospermus නම් උද්භිද නාමයෙන් හඳුන්වන සුදු පැහැති මල් සහ සුදු පැහැති බීජ හට ගන්නා ඔලිඳ වර්ගයක් ඇති අතර ඒවා එළ ඔලිඳ නම් වේ. 

🌿 ඔලිඳ විශේෂ Fabaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයන් ය.

🌿 ඔලිඳ වර්ග සමඟ පටලවා ගන්නා ශාකයක් වන්නේ වැල්මී ය. 

🌿 ඔලිඳ වර්ගවල කොළ, දඬු සහ විශේෂයෙන් මුල් පැණි රසින් යුක්තය. ඉහත සඳහන් කළ සම්පූර්ණයෙන්ම කළු පැහැති බීජ හට ගන්නා කළු ඔලිඳ සහ පැණි ඔලිඳ යන නම්වලින් හඳුන්වන ප්‍රභේදයේ මෙම පැණිරස ස්වභාවය තරමක් වැ ඩිය. එම නිසා ගැමියන් පමණක් නොව ඇතැම් වෛද්‍යවරු ද මෙම කළු ඔලිඳ ශාකය වැල්මී නමින් හඳුන්වා හෝ වැල්මී වෙනුවට ඖෂධ සඳහා භාවිතා කරනු දක්නට ලැබේ.එය වැරදි භාවිතයක් බව අවධාරණය කළ යුතුය.වැල්මී යනු Glycyrrhiza glabra නම් උද්භිද නාමයෙන් හඳුන්වන ශාකය වන අතර එය ලංකාව තුල හමු නොවෙයි. ආරෝහකයක් ලෙස නොව පඳුරක් ලෙස වැවෙන වැල්මී කලාතුරකින් ඔසු උයනක හෝ දේශීය වෛද්‍යවරයකු ලඟ තිබීමේ ඉඩකඩක් ඇති මුත් මෙරට ඇති බවක් වාර්ථා වී නැත.

🌿 සමේ රෝග, පිත්තාශ රෝග, වණ, කෘමි රෝග, කුෂ්ට, විෂ, සෙම් රෝග, අක්ෂි රෝග, මුඛ රෝග, උණ, කැස්ස, ඇදුම, මුත්‍ර අඩස්සිය, පිටගැස්ම, ජලභීතිකාව, උදරගත රෝග, ජීර්ණ පද්ධතියේ දෝෂ, සයටිකා, අකලට හිසකෙස් වැටීම, අර්ශස් ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීමට විශේෂයෙන් ඔලිඳ ශාකයේ කොළ, මුල්, ඇට ආදියත් පොදුවේ පංචාංගයමත් භාවිතා කරයි. 

🌿 එළ ඔලිඳ විශේෂයෙන් සර්ප විෂ, වකුගඩු ආබාධ සහ ස්නායු රෝග සඳහා භාවිතා කරන බව සඳහන්. ක්වාථ, තෛල, සෘත, ලේප, රසායන ආදී වශයෙන් යෙදන ඖෂධ යෝග රැසකද ඔලිඳ ඇතුත්ව ඇත. ඔලිඳ හෘදය සහ ගර්භාෂය උත්තේජනය කරන, රුධිරය පිරිසිදු කරන, වාතය සහ පිත සමනය කරන, වාජීකරණ, කුෂ්ඨ නසන, වණ රෝපණය කරන, මුත්‍රකාරක ආදී ගුණයන් රැසකින් සමන්විතයි.

🌿 ඔලිඳ ඇටවල අබ්රින් (Abrin) නැමැති විෂ රසායනිකයක් අඩංගු වන හෙයින් සම්මත ක්‍රමයන්ට අනුව විෂ ශෝධනය කර ඖෂධ සඳහා භාවිතා කළ යුතු වේ.

ඔලිඳ ඇට විනාකිරෙන් හෝ එළකිරෙන් තම්බා ගැනීම, උතුරන වතුරෙහි බහා පැය කීපයක් තම්බා ගැනීම එවැනි ශෝධන ක්‍රම දෙකකි. 

🌿 තවත් මතයකට අනුව ඔලිඳ මුල් ද විෂ සහිත බව සඳහන්.

🌿 මුත්‍ර අඩස්සියට ඔලිඳ කොල කොටා තැඹිලි ගෙඩියක බහා රැයක් පින්නෙහි තබා උදයට මිරිකා පානය කළ යුතුය.

🌿 අක්ෂිරෝගවලදී ඔලිඳ කොළ කොටා මඳ උණුසුමින් ඇස මතුපිට තැවීම ගුණය.

🌿 දරු ප්‍රසූතිය පහසු කිරීමට ඔලිඳ මුල් ක්වාතය යොදා ගනී.

🌿 වණවල මස් දලු ආ විට ඔලිඳ ඇට ප්‍රලේපය යෙදීමෙන් මල් දල්ල කැපී යයි.

🌿 කොළ අඹරා සීනි සමඟ චූෂණය (උරාබීම) මඟින් උගුර බැරැන්ඩිය සමනය වෙයි. 

🌿 ගෘධ්‍රසි, නාඩි ශූල හා සුදුකබර රෝගයන්ට බීජ අඹරාගත් ප්‍රලේපය යොදා ප්‍රතිකාර කරයි.

🌿 උඳුගොව්වා කෑමට අදාල ස්ථානයේ සේපාලිකා කොළයකින් පිරිමැද අඹරා ගත් ඔලිඳ කොළ ආලේප කළ යුතුය.

🌿 මුඛය වණවූ විට ඔලිඳ කොළ ක්වාතය මුඛයේ තබාගෙන සිටිමෙන් සුවය ලැබෙයි. වාජීකරණයට ඔලිඳ කිරි කෂාය ප්‍රතිඵලදායක ය.

🌿 ඔලිඳ කොළ යුෂට නිවුඩු හාල් යොදා පිස ගන්නා කොළ කැඳ හෘද රෝග, ඇස්රෝග ආදියට ගුණදායක ය. ඔලිඳ ඇට චූර්ණය වැඩිපුර භාවිතා කිරීම නිසා විෂ අවස්ථාවක් ඇති වුව හොත් කූරතම්පලා යුෂ සීනි සමඟ දීමෙන් විෂ නැසෙන බව සඳහන්.

🌿 ඔලිඳ ඇට ඇතැම් රටවල මාල වර්ග වැනි විසිතුරු භාන්ඩ නිපදවීම සඳහා සුලබව භාවිතා කරයි.

🌿 සිංහල අවුරුදු සමයෙහි ඔලිඳ ඇටවලින් ඔලිඳ කොලොම්ඹ යොදාගෙන සිදුකරන ඔලිඳ කෙලිය පෙර කළ මෙරට ජනප්‍රිය ගැමි ක්‍රීඩාවකි.

මූලාශ්‍ර ඔසුතුරු විසිතුරු, ආයුර්වේද ඖෂධ සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්

ඔලිඳ [Olinda] (Abrus Precatorius) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඔලිඳ [Olinda] (Abrus Precatorius) ඔලිඳ [Olinda] (Abrus Precatorius) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 16, 2021 Rating: 5

0 comments:

Post a Comment