භූතාත්ම වෙතින් කලාව උගත් ලොව හොඳම ගුප්ත චිත්‍ර ශිල්පිනිය (Coral Polge)

භූතාත්ම වෙතින් කලාව උගත් ලොව හොඳම ගුප්ත චිත්‍ර ශිල්පිනිය (Coral Polge) - Your Choice Way

දන්නා දවසේ සිටම ඇය ආසා කළේ සුසාන භූමි, සොහොන් ගෙවල්, සොහොන් ගල් සහ ආදාහනාගාර යනාදියටය. කතෝලික සම්භවයකින් එන රටක්‌ වන එංගලන්තයේ ජනයා වැඩි වශයෙන් මෘත දේහ භුමදානය කළ ද සෙසු පිරිස ආදාහනාගාර වෙත යොමු වූහ. තම සිරුර පොළොවට පස්‌ කරනවාද, නැත්නම් අළු බවට පත් කර ගංගාවක හෝ සාගරයක විසුරුවා හරිනවාද තීන්දු කරන්නේ කෙනෙකුගේ අන්තිම කැමැත්තයි. මේ දෙවනුව කී චාරිත්‍රය හින්දු චාරිත්‍රයක්‌ වුවද, කතෝලික සමය පවතින ඇතැම් රටවල බහුලව සිදු කෙරෙයි. අප කියන මේ 'ඇය' හෙවත් කොරල් පොල්ගී (Coral Polge) ළමයකුව සිටි කාලයේදී මළ මිනිසුන්ගේ අළු දමන ගංගා සහ මිනී දවන ආදාහනාගාර අසල හුදෙකලාව හිඳගෙන චිත්‍ර අඳින්නට පුරුදුව සිටියාය. මේ දැරිය වැඩිහිටි ගැහැනියක ලෙස ජීවිතය කෙලවර කරන්නේ 'ගුප්ත චිත්‍ර කලාව' හෙවත් භූතාත්මවල උපකාරයෙන් චිත්‍ර කර්මයෙහි යෙදුණු ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පිනියක ලෙස ය. උඩුකය චිත්‍ර ඇඳීමෙහිලා ඇය තුළ තිබූ හැකියාව ඉතා විශිෂ්ටය. එහෙත් ඇය හැම විටම ඇන්දේ තමා විසින් කිසි කලෙකත් හැබැහින් නොදක්‌නා ලද අයගේ උඩුකය චිත්‍ර ය. සිය මියගිය ඥතියකු හෝ මිත්‍රයකුගේ චිත්‍රයක්‌ ඇඳ ගන්නට කෙනෙකුට ඕනෑ වූ විට කළ යුතුව තිබුණේ මියගිය පුද්ගලයා ජීවතුන් අතර සිටියදී පරිහරණය කළ දෙයක්‌ හෝ ඔහුගේ අත් අකුරු සහිත ලියුමක්‌ ගෙන කොරල් පොල්ගි හමුවීමය.

ඊළඟ මොහොතේදී ඇය චිත්‍රය අඳින්නට පටන් ගනී. එය හරියටම මියගිය පුද්ගලයා හා සමාන වන අතර එම චිත්‍ර ඇනවුම රැගෙන ඇය වෙත එන අයට අවශ්‍ය චිත්‍රයම වන්නේය. ඇනවුම ගෙනෙන්නාට අවශ්‍ය වන්නේ මියගිය තැනැත්තාගේ පැති පෙනුම සහිත චිත්‍රයක්‌ නම් කොරල් පොල්ගී ඒ බව නො අසාම පැති පෙනුම ඇඳ දෙයි. අවශ්‍යතාව ඉදිරි පෙනුම නම් ඒ බව නොකීවද කොරල් පොල්ගී එම චිත්‍රය අඳී. චිත්‍රය ඇඳ ගන්නට එන අයගෙන් ඇය කිසි විටෙකත් ප්‍රශ්න අසන්නේ නැත. කෙනකුගේ මතය වන්නේ මෙලොව පහළ වූ එකම ගුප්ත චිත්‍ර ශිල්පිනිය කොරල් පොල්ගී බවය. මේ චිත්‍ර කලාවට Spiritual Art යනුවෙන් කීවද එය සිංහලට පරිවර්තනය කිරීමේදී ගුප්ත විද්‍යාව අනුසාරයෙන් කරන කලාවක්‌ නිසා ගුප්ත චිත්‍ර කලාව යන්න වඩා යෝග්‍ය ය.

ගුප්ත චිත්‍ර කලාවට ඉතිහාසයක්‌ තිබේ. අබිරහස්‌ මිනීමරුවන්ගේ ස්‌වරූපය වචනයෙන් විස්‌තර කරන ගුප්ත ශාස්‌ත්‍රඥයෝ ලෝකයේ විවිධ රටවල සිටිති. ප්‍රශ්නය ඒ මිනිසුන්ට චිත්‍ර ඇඳීමට බැරි වීමය. එහෙත් කොරල් පොල්ගී ට මියගිය තැනැත්තියගේ හැඩ රුව වචනයෙන් විස්‌තර කරන්නට බැරිය. ඇය දන්නා එකම ශිල්පය ඒ රූපය ඇඳ දීමය. පළමුවැනි ක්‍රමයට වඩා මේ දෙවැනි ක්‍රමය ප්‍රායෝගිකය. ඇය චිත්‍ර අඳින්නේ පැන්සලයෙනි. නැත්නම් පැස්‌ටල්වලිනි.

කොරල් පොල්ගී සිය අසමසම හැකියාව යුරෝපය, ස්‌කැන්ඩිනේවියානු රටවල්, කැනඩාව, ඇමරිකාව, ඔස්‌ටේ්‍රලියාව යන රටවල ප්‍රදර්ශනය කර ඇත. ඇය චිත්‍ර අඳින අයුරු වාර්තා චිත්‍රපටකරුවන් විසින් රූපගත කරනු ලැබ තිබේ. ඇය ඇතැම් තැනෙක චිත්‍ර අඳින විට එම අවස්‌ථාව පුළුල් තිර ප්‍රොජෙක්‌ටර මගින් විශාල කර පෙන්වූ අවස්‌ථා තිබේ. (Coral Polge) යන නම අන්තර්ජාලයෙහි ටයිප් කළ විට ඇය ගැන ඇති වෙබ් අඩවි සහ Youtube චිත්‍රපට රැසක්‌ බලාගත හැකිය. ඇය චිත්‍ර අඳින විට එම චිත්‍රයකින් මියගිය පුද්ගලයකු මතුවන විට එම පුද්ගලයාගේ ඥාතීන් හඬා වැටුණු අවස්‌ථා බහුලය. විද්වතුන් කියන්නේ ඇයට අධි මානසික ශක්‌තියක්‌ ඇති බවය. සමහරු ඇය සැක කරති. එහෙත් ඒ සැක සංකාවලින් ඇයට කිසි කලෙකත් වැඩක්‌ නොවීය.

නැඟෙනහිර ලන්ඩනයේ ඉපදී හැදී වැඩෙන කොරල් පොල්ගී ළමා වියේ සිටම මරණය නමැති සංසිද්ධිය කෙරෙහි මහත් උනන්දුවකින් පසු වූවාය. ඇය මුලින්ම අඳින්නේ සොහොන් ගල් අතර සැරි සරමින් හඬා වැළපෙන්නේ යෑයි කියන සුරංගනාවන්ගේ චිත්‍ර ය. චිත්‍රපට ශාලා කළමනාකරුවකු වන කොරල් පොල්ගී ගේ පියා පසු කලෙක එංගලන්තයේම හැරෝ නමැති පළාතට මාරුවක්‌ ලබයි. මුළු පවුලම එහි යති. එහිදී ඇය හැරෝ නගරයේ චිත්‍ර කලා පාසලට ඇතුළත් වන්නීය. එහෙත් ඇය නිතරම අඳින්නේ ගුරුවරයා කියන දෙය නොව ගැහැනුන් හා පිරිමින්ගේ මුහුණු ය. ඇයගේ චිත්‍ර ඉතා නිවැරැදි පරිමාණයන්ගෙන් යුක්‌ත බව ගුරුවරු පිළිගනිති. එහෙත් ඇයට චින්තනමය හැකියාවක්‌ නැති බව ගුරුවරු කියති. ඇයට භූමි දර්ශන ඇඳිය නොහැක. කෙනෙකුගේ රුව දෙස බලාගෙන එය හරියටම ඇඳිය නොහැක.

දිනක්‌ ඇගේ ගුරුවරියක්‌ තම උඩුකය චිත්‍රයක්‌ අඳින ලෙස කොරල් පොල්ගී ට නියම කරයි. ගුරුවරිය දෙස එක වරක්‌ පමණක්‌ බලන ඇය ටික වේලාවකින් චිත්‍ර ඇඳ නිම කරයි. චිත්‍රය දෙස බලන ගුරුවරිය ක්‌ලාන්තව ඇඳ වැටෙන්නීය. එහි සිටින්නේ ගුරුවරියගේ මියගිය මවය. තමාට චින්තනමය ශක්‌තියක්‌ නැති බව වාසියක්‌ යෑයි දිනක්‌ ඇය කීවාය. "චින්තනමය ශක්‌තියක්‌ තිබෙන විට අප අඳින්නේ අපට අවශ්‍ය දෙයයි. එබඳු ශක්‌තියක්‌ නැති විට එතැන හටගන්නා රික්‌තයට පිවිසෙන භූතාත්මය තමන්ට අවශ්‍ය චිත්‍රය මා ලවා ඇඳ ගනී" ඇගේ තර්කය සැබෑවකි. ජීවතුන් අතර සිටින අයගේ උඩුකය චිත්‍ර ඇඳීමට හැකි අය ඕනෑ තරම් සිටිති. එහෙත් පින්තූර නැති මළගිය ප්‍රාණකාරයකුගේ චිත්‍ර අඳීමට හැකි අය මිහිමත නැත.

කොරල් පොල්ගී (Coral Polge) ගුප්ත විද්‍යාව හෙවත් මනුෂ්‍යයන්ගේ අධ්‍යාත්ම හරහා ගනුදෙනු කිරීමේ කාර්යය ඉගෙන ගන්නේ වයස 23 පිරුණු විට රූමත් තරුණියක ලෙස ය. විවිධ ප්‍රශ්නවලදී ලන්ඩනයේ අඳුරු වීථිවල සිටින ගුප්ත විද්‍යා ශාස්‌ත්‍රකරුවන් සොයා යන්නට ඇගේ මාපියෝ පුරුදුව සිටියහ. එහෙත් ඔවුන්ට කිසිදු ආකාරයක චිත්ත බලයක්‌ තිබුණේ නැත. කොරල් ගේ නැන්දණියක වතුර පිරවූ කෝප්පයක්‌ දෙස බලාගෙන ශාස්‌ත්‍ර කීමට දැන සිටියාය. ඒ පවුලේ කාටවත් එතැනින් එහා කිසිදු සුවිශේෂී චිත්ත බලයක්‌ තිබුණේ නැත. මේ අතර එක්‌ රාත්‍රියක කොරල් පොල්ගී, හැරෝ නගරයේ අධ්‍යාත්මික දේවස්‌ථානය ලෙස හැඳින්වෙන ස්‌ථානයකට යයි. ඇය මියගිය අයගේ චිත්‍ර ඇඳීමේ හැකියාව ඇත්තියක බව එහිදී ඇයට කිසිවෙක්‌ කියයි. මෙයින් පසුව ද විවිධ අවස්‌ථාවලදී ගුප්ත චිත්‍ර කලාවට යොමුවන ලෙස භූතාත්ම ඇයට දන්වති.

කොරල් පොල්ගී මුල් වතාවට විවාහ වන්නේ 1950 දීය. ගැහැනියක වීමට තීරණය කරන ඇය හුදෙකලාව සිටින විට පැන්සල් හා කොළ කැබලි ගෙන විවිධ දේ ලියයි. එසේ ලියන දේ තමන්ට අවශ්‍ය දේ නොව පිටස්‌තර බලවේග විසින් කියනු ලබන දේ බව ඇයට වැටහෙයි. මේ අනුව ඇය ගුප්ත ශාස්‌ත්‍රය ඉගෙනීමට තැනක්‌ සොයයි. එහෙත් ගුප්ත ශාස්‌ත්‍ර පාසල් ලන්ඩයේ නැත. හැරෝ ප්‍රදේශයේත් නැත. මේ අතර ඇය තමන් අසල කිසිවකු සිටින විට අඳින චිත්‍රය සිය පියා හෝ මවගේ රූපකාය බව ඇය අසල සිටින්නා කියයි. ඇගේ ගුප්ත චිත්‍ර කලාවේ නිසි ආරම්භය එතැනයි. ඇය මියගිය අයකුගේ චිත්‍රයක්‌ ඇඳ නිම කරනනේ විනාඩි කිහිපයක්‌ තුළ ය.

ඇගේ පළමු විවාහය කඩා වැටෙන්නේ ද මේ ගුප්ත ශාස්‌ත්‍රය නිසා ය. ඇය දෙවන වරට විවාහ වන්නේ ටොම් ජොන්සන් සමඟය. ඔහු බ්‍රිතාන්‍ය ගුප්ත ශාස්‌ත්‍රඥ සංගමයේ ලේකම් ය. 1984 වන විට ඇය විසින් අඳින ලද මළගිය ප්‍රාණකාරන්ගේ පින්තූර ප්‍රමාණය 90000 කි. (Worlds Greatest Mystics) පොතෙනි.

අනුර සොලමන්ස්‌
භූතාත්ම වෙතින් කලාව උගත් ලොව හොඳම ගුප්ත චිත්‍ර ශිල්පිනිය (Coral Polge) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
භූතාත්ම වෙතින් කලාව උගත් ලොව හොඳම ගුප්ත චිත්‍ර ශිල්පිනිය (Coral Polge) භූතාත්ම වෙතින් කලාව උගත් ලොව හොඳම ගුප්ත චිත්‍ර ශිල්පිනිය (Coral Polge) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 20, 2021 Rating: 5

0 comments:

Post a Comment